Monday, December 21, 2009

සඳ ඇවිත් මගේ මිදුලට

සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එලිය අරන් සිහිලැල්
ඔබ ඉන්නව නම් මා ලඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ලඟ
කොඳ මලින් සදා හසරැල්

දුර ඈත නිම්න කඳු වැටි
සුදු මීදුමින් වැසේවි
ලඟ දෙනෝ දහක් සිටියත්
මට තනිකමක් දැනේවි

රෑ නින්ද බිඳී ඇහැරී
පැණි කුරුල්ලන් හඬාවී
මගෙ සිහින හොරෙන් අරගෙන
මේ සඳත් යන්න යාවි



ආදරණීය ගීත අප සිත තුල සැමදා රැඳි පවතී. අමරසිරී පීරිස් ශිල්පියා විසින් ගයන්නා වූ මේ පද වැල එවන් සුභාවිත ආදර ගීතයක මහිම ගෙන හැර පායි. තම පෙම්වතිය ලඟින් සිටීම ඔහුට මහත් සතුටකි. ඇය නිලුපුල් ඇසි පිය නොසලා කුමුදු (කොඳ ) මල් වැනි වු දසන් දෙපළ පා සිනාසෙද්දී සඳ මඬල සීත සඳ කැළුම් විහිදුවමින් ගෙමිදුලට පැමිණි අයුරක් ඔහුට දැනේ. දුර පිහිටි කඳු වැටි මීදුමින් වැසෙන්නාක් මෙන්, ඇය නැති විටෙක ඔහු ගේ සිත තනි වේ. දෙනෝදාහක් දෙනා වට පිට සිටීයත් එය එසේම බව කවියා කියයි. එමෙන්ම ඇය නැතිවිට මිහිරි හඳින් ගී ගයන පැනි කුරුල්ලන් නින්දෙන් අවදි වී හඬනු ඇත. එවිට සඳ බැස යන්නේ කවියාගේ සිහිනයන් ඔහුටම හොරෙන් ක්ෂය කරමිනි. "හොරෙන් අරගෙන" යන යෙදුමෙන් කියැවෙන්නේ ඒ ඔහුගේ දැනුමක් නොමැතිව සිදු වන දෙයක් හෙයිනි.

මා බොහෝවිට තෝරා ගන්නේ සංයමයක් සහිත වූ පද රච්නාය. ඒ සංයමය තුලින් වුවද වින්දනීය වූ චිත්ත රූපයන් හා භාවයන් මැවීමට හැකියාව ඇති බව පෙන්වා දීමටය. මේ ගීතයත් එයින් වෙනස් නොවේ. අමරසිරි පීරිස් ශූරීන්ට මෙවැනී ගීත බොහොමයක් ගායනා කිරීමට හැකි වේවායි අපි පතමු. මන්ද මුදලට තම ආත්මයන් යට නොකර උඩුගං බලා පිහිනන කලා කරුවන් කිහිප දෙනාට ඔහුද අයත් බැවිනි.


Thursday, November 12, 2009

හේමන්තයේ දී

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් දැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ ගෙවී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් නුරා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී

ආදරය ඇති වනුයේ යොවුන් වියේදීය. එය දිවියේ නව දලු මල් පුබුදන, සිහින් සරින් කුරුළු ගීත ඇසෙන, හිරිපොද වැස්සෙන් තෙමෙන ආදරණීය වසන්තයක් ලෙස ඇතැම්හු හඳුන්වති. මේ නවතාවය තුලට අලුත්ම අත්දැකීමක් ලෙසට ආදරය එකතු වෙයි.

නමුත් සියළු දෙනාටම දිවියේ වසන්තයේදී ආදරය හමු වන්නේ නැත. පාසල අවසන් කර, උසස් ඉගෙනුම ලබා ගත් පසු ආදරය හඳුනා ගන්නා අයද වෙති. මේ වනාහි දිවියේ ශක්තිමත් පදනමක් සහිතව සිටින කාලයකි. ගිම්හානයේ මුද්‍රාව තැවරුණු ආදරය ඔවුන් හඳුනා ගන්නේය.

නමුත් දිවියේ මැදි වයසේදී ආදරය හඳුනන අතළොස්සක්ද වෙති. වසත් කළ නිදා සිටි යෞවනයේ කොවුලන් ගී ගයන්නේ හා මුකුලිතව ගිය මල් කැකුළු අවදි වන්නේත් දිවියේ හේමන්තයේදිය. මැදි වයසේ කාන්තාවක ආදරය හඳුනා ගැනීමෙ ප්‍රහර්ෂය සිය ආදර වන්තයාට ප්‍රකාශ කරන අයුරු මේ ගීයෙන් කියැවේ.

හඬා වැටීමෙන් (ප්‍රතික්ෂේප වීම නිසා විය හැකිය) විඩා වී, අයාලේ යන වළාවක් මෙන් ද, පින්න සහිත රැයෙක නොපෙනී ගිය සඳක් මෙන් ද, ජිවිතයේ අතරමංව සිටි ඇයට මං සොයන නෙත ලබා දෙනුයේ ඇගේ පෙම්වතාය. එසේම ගැරහුම් මැද ජීවිතයෙන් පළා ගිය ඇයට නැවත මඟ සොයා ගැන්ම නෙත් සදන්නේ ද ඔහුමය.

1983 පමණ කාලයේ මතභේදාත්මක ගීත සමුච්චයක් රැගත් "හේමන්තයේ" ගීත ඇල්බමයට මෙමෙ ගීය ඇතුලත් විය. මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනා කෞශල්‍යය මොනවට විදහා පාන ජීවමාන සාධකයකි මේ ගීය. එච්. එම්. ජයවර්ධනයන් අති විශාල වාදක කණ්ඩායමක් යොදවා මේ ගීත සමුච්චයට සංගීතය සැපයීය. ගීය අසන විට තාල තරංග, ගිටර, සිතාර ආදී තත් භාණ්ඩ එක වර්ගයකින් එකකට වඩා වැයෙනු ඇසිය හැකිය. මේ ගීතය අප සංගීත ඉතිහාසයේ වැදගත් තැනක් සනිටුහන් කරන්නේ ආදරයේ අමුතුම මානයන් සොයා ගිය අපූරු අත්දැකීමක් හෙයිනි

අසන්න
.

Tuesday, November 3, 2009

සිනිඳු සුදු මුතු



සිනිඳු සුදු මුතු තලාවේ

පිපෙන පෙණ පිඬු සිනා සේ


සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවී යේ


ගැඹුරු සත් සමුදුර පතුල බිඳ

ඇඹරි ඇඹරී වියරු දළ රළ

තුමුළ මහ මෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ

දෙරණ සම්පත ගිල ගනී


සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: ආචර්ය අමරදේව

පද වැල: මහගමසේකර

සිනමා පටය: සත් සමුදුර



ඒ 1967 වසරයි. සිංහල සංගීතය අනුකාරකත්වයෙන් මුදවා ගන්නට තැත් කල යුගයකි එය. සුනිල් ශාන්තයන් විසින් අරඹන ලද එම මහඟු කාර්යය මඳකට මෙකල නැවතී තිබිණි. නමුත් අමරදේවයන්ගේ නැගී ඒම සිදු වූයේ මෙකලය. භාරතීය මහා සම්ප්‍රදාය ගුරු කරගෙන ඒ අනුකූලව දේශීය නාද රටා මෙහෙයවීම ඒ වන විට අමරදේවයන් අරඹා තිබුනි. මෙකල ප්‍රේමසිරි කේමදාස සිටියේ තම සංගීත දිවියේ බිළිදු අවධියේය. සිම්ෆනි, කැන්ටාටා සහ ඔපෙරා යන වචන අසා නුපුරුදු ලාංකිකයාගේ දෙසවනට ප්‍රථම වරට මෙකී ශාස්ත්‍රීය සංගීතය ගෙන ආවේ සෝමදාස ඇල්විටිගලයන්ය. සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර සිනමා පටයට අඩංගු වූ මේ ගීතය සිංහල සංගීතයේ නොමැකෙන සළකුණක් තැබූවකි. පසු කලෙක ආ කේමදාසයන් මෙන් නොව ඇල්විටිගලයන්ගේ සංගීතය මුළුමණින්ම මහා සම්ප්‍රදායයේ එකකි. නමුත් එතුල සිටිමින් ඔහු නිමැවූ මේ අපූරු ගීතය වනාහි මිනිත්තු හතකට කිට්ටුව දිවෙන "සාගරික සිම්ෆනියකි". චණ්ඩ කුණාටුවක් සෙමින් සෙමින් නිශ්චලත්වයෙන් පිරි මුහුදින් ඇරඹි දෙරණ දෙදරවා ගොඩට ගලන ආකාරය මෙයින් සංගීතවත් වේ. කුඩා රළ, මහා රළ, අතර මැද නිශ්චලතාවය, හා සිවුරුහන් නගන කුණාටු සුළඟේ හඬ සියල්ලම මෙහි සංගීතය තුල අඩංගු වේ. අමරදේවයන් ඔපෙරා ගායකයකු වී නම්, ඔහු ලෝක පූජිත වන්නට තිබූ බව මේ ගීයට සවන් දෙන විට නිතැතින්ම වැටහේ. ඔහු අප රටේ උපන්නේ අප පිනටය. නමුත් ඔහු භාරතයේ උපන්නේ නම්, ආසියාවේ මහා ගන්ධර්වයා බවට ඔහු පත් වනු නො අනුමානය.

අපට අපේ දෑ අගය නැත. මේ ගීතයත් එසේමය. සාගරය පදනම් කරගෙන මෙබඳු නිර්මාණ ජගත් තලයේ පවා බිහි වී ඇත්තේ අල්ප වශයෙනි. නමුත් අප අද මේ ගීතය හෝ එහි නිර්මාපකයා ගැන කතා කරන්නේ නැත.ඒ වෙනුවට අප උඩ දමන්නේ වෙනත් නිර්මාණයන්ය. මේ නිර්මාණයට කිට්ටු කල හැකි නිර්මාණ ලංකාවේ ඇත්තේ අතළොස්සකි. ඒ කේමදාසයන් "බඹරු ඇවිත්" සිනමා පටයට නිමැවූ "උදුම්බරා" ගීතයත් කසුන් කල්හාරගේ "වර්ණ" ගීතයත් පමණි. වරක් අන්තර්ජාලය හරහා විදේශීය සංගීත ලෝලීන් පිරිසකට මම මේ ගීතය ඉදිරිපත් කළෙමි. ඉන් සමහරු ශ්‍රි ලංකාව ගැන අසා තිබුනේ ත්‍රස්තවාදය නිසා පමණකි. නමුත් සියලු දෙනාගේම වාගේ මතය වූයේ මේ ගීතය වසර 42ක් පුරා සඟවා තැබුවේ කොහිද යන්නයි. අපට අගය නොවූවත් සංගීතයේ විශ්ව සාධාරණීය රසය විදේශිකයන් විඳ ගත්තේ එලෙසය.මෙහි පද මාලාව විස්තර කරන්නේද කුණාටුවකි. නමුත් කුණාටුව ඇති වන්නේ මුහුදේද, සිත තුලද යන්න පද වැල දෙස බලන විට නොවැටහේ. ඇත්ටෙන්ම මෙමෙ ගීතයට පෙර වූ දර්ශන පෙල බලන්නේ නම්, ගීතය තුල කියැවෙන්නේද ඉන් කුමක්ද යන්න බහු අරුත් අනුව සිතා ගත හැකිය. මහගමසේකරයන් පද නිර්මාණයේ පෙන්වූ විශිෂ්ටතාවය මෙමගින් මොනවට පැහැදිලි වේ.

වසර 42ක් පුරා ශ්‍රී ලංකික ගීතයේ මුදුන් මල්කඩ වූයේ මේ ගීතය බව මම තරයේ අදහමි. තවත් සිය වසකටත් එය එසේම වනු ඇති බව මා විශ්වාසයයි.


අසන්න


බාගෙන අහන්න (@ ElaKiri.com)

. . .

Monday, October 5, 2009

කොහේදෝ පිපෙන්නේ

කොහේදෝ පිපෙන්නේ ඇගේ නයන නිලූපුල්
කොහේදෝ වැයෙන්නේ ඇගේ ගීත රසු දැල්

ඇගේ දෙනුවන නිසා ම්ලාන වූ නිලූපුලේ
යළි පිපී හිනැහියන් ඒ නයන දැන් නොවේ

ඇගේ පිය රැවු අසා පලා ගිය කොවුලනේ
යළි පැමිණ ගී ගයන් ඈ නැවත මෙහි නොඒ

පද රචනය හා ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - ඩන්ස්ටන් සිල්වා

ආදරය කරන්නන් ට සුන්දරතම දෙය කුමක් ද? ඒ තම පෙම්වතිය යි. ස්වභාව ධර්මයේ ඇති අලංකාරවත් ම දෙයටත් වඩා ඇය අලංකාරය. ඒ අලංකාරය මන් මත් කරවන සුළුය. ඒ අලංකාරය නැතිව ගියහොත්? ඈ ඇස් දැක්මෙන් මහනෙල් මිලින වී ගියේ ය. ඈ පා හඬ පමණක් ඇසුමෙන් ම (ගී හඬ ඇසුමට පෙර) කොවුලෝ ගීත ගැයීම නවත්වා ලජ්ජාවෙන් පළා ගියහ. නමුත් දැන් මහනෙල් මලට නැවත පිබිදිය හැකිය. කොවුලන්ට නැවත ගී ගැයිය හැකිය. මන් ද ඈ නුවන් නිලූපුල් මා සමීපයේ නොපිපෙන බැවිනි. ඇගේ පිය සටහන් මා සමීපයේ නැවත නො නැගෙන බැවිනි. ඈ ගී නැවත නො ඇසෙන බැවිනි. ගීත සාහිත්‍යය තුළ සංවර පද හැසිරවීම යනු කුමක් දැයි මොනවට විදහා දක්වන ගීතයකි මෙය. සෝමතිලක ජයමහ ශූරීන් ගායකයකු ලෙස පෙන්වූ පරිචය අපි දැක ඇත්තෙමු. ඔහු ගේය පද රචකයකු ලෙස දක්වන ප්‍රතිභාව මේ ගීයෙන් මනාව පෙනේ. ඩන්ස්ටන් සිල්වා යනු නිතර කතා නොකෙරෙන සංගීතඥයෙකි. එනමුත් ගීත සියයකට කට වැඩි ප්‍රමාණයකට ඔහු සංගීතය සපයා ඇත. වර්තමාන එෆ්. එම්. රැල්ල තුල මේ ගීත නොඇසී යන තත්වයට පත්වී ඇත්තේ රටේ ප්‍රබුද්ධ ශ්‍රාවකයාගේ අවාසනාවට විය යුතුය.

අසන්න


.

Sunday, October 4, 2009

ඇතින්නියේ

සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා රැඳි විලංගුවේ

වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි

පුතුන් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොම් දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි

ගායනය - අතුල අධිකාරි

ඔවුහු දිළිඳුකම නිසා ම, දරුවන් නිසා ම, පවුල නිසා ම මෙය කළහ. නොරටට ගොස් දහඩිය හෙළා නොවිඳිනා දුක් විඳින ඔවුහු රටට විදේශ විනිමය රැගෙන එන්නාහ. ඒ අතර අරාබින් විසින් තලා පෙලා හා මරා දමන ගණන ද සුළු පටු නොවේ. නමුත් මෙම වෑයමේ දී නිතර කතා බහට ලක් නොවන තවත් පිරිසක් පීඩාවට පත් වෙති. ඒ ඔවුන් ගේ දරුවන් ය. රට සල්ලි වෙනුවෙන් දරු සෙනෙහස හැර යාම ගැන මෙම ගීතයෙන් සාධනීය ලෙස ප්‍රශ්න කරයි.

සොඬින් නෙළුම ගෙය යන සුදු ඇතින්න අද බතික් ඇඳුමෙන් සැරසී රනින් හැඩ වී ඇත (හවෙනදා ඇයට එබඳු ඇඳුම් තිබුණේ නැත). බතික් ඇඳුමේ අලංකාරත්වයෙන් මත්වී සිටින ඇය ට ඇගේ පා බැඳි සංස්කෘතියේ විලංගු අමතකව ඇත. ඇයට මිනිසුන් වඳිනුයේ ඇය අම්මා (දරුවන් හදන්නියක්) නිසා මිස ඇතින්න (දරුවන් වදන්නියක්) නිසා නොවේ. දරු පැටවුන් ගේ සෙනෙහස ‍මවු නැති කුටුම්බයක ගාල් කරන මැද පෙරදිග මවු වරුන්ගේ භූමිකාව මෙමගින් නිර්දය විවේචනයකට ලක් කරයි. මෙම ගීතය අතුල අධිකාරි ශිල්පියා විසින් ගයන ලද්දකි. ලාංකික ගීත රචකයකු විසින් (රත්න ශ්‍රී විජේසිංහ) සිරස එෆ්. එම්. නාලිකාවේ අළුත් සිංදු වැඩසටහනට මෙය ඉදිරිපත් කරන ලදී. ප්‍රබුද්ධ විචාරකයන් කබ්බකු ලෙස හංවඩු ගැසූ යුගයක, ඇතින්නියේ, සිලිලාර සිත නයනා, මුතු ලතා හා දන්සැල් වල පෝලිම් වල ආදී ගීත ගයමින් ඔවුන්ට දැවැන්ත අතුල් පහරක් එල්ල කිරීමට ද අතුල අධිකාරි අමතක නොකළේ ය. පසු කලෙක ගීත ගැයීමෙන් මඳක් බැහැරව සිටියත් අතුල විසින් ලාංකික ගී කෙතට තිළිණ කල මේ ගීතය ඔහුට යා හැකිව තිබූ දුර ගැන මනා වැටහීමක් ලබා දෙයි.

අසන්න

.

Saturday, October 3, 2009

නාලිනී එන්න

නාලිනී එන්න - මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගි නෙතග - රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන - මල් මධු සමේ සුවඳ
සිත්සේ විඳින්න - නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ - හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ - නුඹට සිහිලක් නොවී
නිල් වන රොදේ නිලෙන - මල් මදහසින් දුලන
මල් වැල් පැණි - පුරන යෞවන වියේ

නුඹ දිරි දැවී තැවෙන - සිත සියුමැලී නොවන
දුටු තැන අනේ කවර - මිහිරක් ලොවේ
පිය රැවු සලා - සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතේ පෙමින් - වතළ සෞමිය මගේ


ගී පද: සමන්ත හේරත්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ


පෙම් ගීත බොහෝ වෙයි. ඒවා බොහොමයක් වාගාලාපයන් පමණකි. කලාතුරකින් අසන්නට ලැබෙන ඇතැම් පෙම් ගීත සිත මිහිරෙන් පුරවා ලයි. "නාලිනී එන්න" එබඳු එක ගීතයකි. සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගයන්නාවූ මේ ගීතය රෝහණ වීරසිංහයන්ගේ සංගීත සරින් හැඩවී ඇත. කවදත් අමුතු ආරෙක ගීත ලියන සමන්ත හේරත් මෙහි ගේය පද රචකයා වෙයි.

මල් පිපීදැයි බලන්නට නාලිනී එන ලෙස රචකයා කියා සිටියි. ඒ කුමකටද යත්, තරුණවියේ වූ ආදරයේ සුවය සිත් සේ විඳ ගන්නටය. මේ පෙම්වතුන් කිරෙන් කා තෙලෙන් අත සෝදන ගණයේ ධනවතුන් නොවේ. ඔවුන්ගේ ජීවිතය හැල්මේ ගලා යන ගංගාවකට සම කෙරේ. එය දුක් දොම්නසින් ගහණය. නාලිනී සියුමැලි යුවතියක්ද නොවේ. ඇය දුක් දරා ඇත්තියකි. එබැවින් ඈ දැකීම හැර අනෙක් සැපයක්ද රචකයාට නැත. නමුත් ඔවුන්ගේ ආදරය වන ගැබ නිල්වන් තුරු වදුලේ නිල්ලේ දිලෙන් පැණි පිරී ගිය මල් වැලකි. ලෝකය නම මහ විසල් විජිතයේ කුරුලු පියාපත් සැලෙන් රාවයද රචකයාට ඇයමය. මේ ගීතය අසන ඕනෑම කෙනෙකුට පළමුව දැනෙනුයේ එහි වූ මධුර තනුවයි. එය සාමන්‍යයෙන් අසන්නට නොලැබෙන ආකාරයේ තනුවකි. ඉන් පසු විෂය වන කාරණය ගායකය ගීතය ගැයීමෙ පෙන්වන දක්ෂතාවයයි. ගීතය නැවතත් අසන්න. ආදරයේ ප්‍රහර්ෂය ඔබට දැනී යා යුතුමය.

බා ගෙන අහන්න

Sunday, September 27, 2009

මාරියාවේ


මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . .
මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ


ගායනය - ගුණදාස කපුගේ

මාරියාව යනු විශාල රැල්ලකි. එය කුණාටු ආශ්‍රිතව ඇති වන්නකි. සුනාමි රැළි ද මාරියාවන් ලෙස සැලකිය හැකිය. ධීවර ජීවිත ආශ්‍රිතව මාරියාව යනු දරුණු ප්‍රතිඵල ගෙන දෙන්නකි. මාරියා රැල්ලකින් මුහුද ආශ්‍රිතව පිහිටි ඔවුන්ගේ නිවාස විනාශ වී යාම සිදු වෙයි. එවිට ඔවුන්ට ජීවත් වන්නට සිදු වන්නේ තාවකාලික ස්ථාන වලය. නිවාස විනාශ වීමට අමතරව ජීවිත විනාශ වීම පවා සිදු විය හැකිය. ඒ සියල්ලටම වඩා සිදු විය හැකි අනතුර නම් මෑත දියඹේ නවතවා ඇති ඔවුන්ගේ ධීවර බෝට්ටු මාරියාවෙන් සුණු විසුණු වී යාමයි. එවිට නැවත ධීවර උපකරණ සකසා ගන්නාතෙක් බඩගින්නේ සිටීමට ඔවුන්ට සිදු වේ. මාරියාවක ඇති මේ සියලු ලක්ෂණ මැනවීන් විස්තර කෙරෙන, හා මාරියාවක ප්‍රතිඵල ධීවර ඇසකින් දකින අපූරු ගීතයක් ලෙස ගුණදාස කපුගේ ශූරීන් ගයන මෙම ගීතය හැඳින්විය හැකිය.

මාරියාවට නොපැමිණ නවතින ලෙස ගීත රචකයා පවසයි. ධීවර සගයන් විඳින දුක බලා රුදුරු වෙසින් මෙහි නොපැමිණ සිටින ලෙස ඔහු අයැද සිටියි. මේ වළාල කාලයයි. (දකුණු මුහුදෙ නිරිත දිග මෝසම පවතින මැයි - සැප්තැම්බර් කාලය වාරකන් කාලය ලෙසද ඉතිරි කාලය වළාල කාලය ලෙසද හඳුන්වයි. උතුරු හා නැගෙනහිර මුහුදෙ ඊසන දිගා මෝසම පවතින නොවැම්බර් - පෙබරවාරි කාලය වාරකන් කාලය වන අතර, ඉතිරි කාලය වළාල කාලය වෙයි. ධීවරයන්ට අනතුරු රහිතව මුහුදු යා හැක්කේ වළාල කාලයේදීය). එබැවින් නිදහසේ කර්මාන්තය කරගෙන යාමට ඉඩ දෙන මෙන් ඔහු අයැද සිටියි.

කලින් වාරයේ නුඹ (මාරියාව) පැමිණි දින සිට තවමත් පැල අඳුරේය. එහි කිසි එලියක් නැත්තේ සමහර විට මාරියාවට අසුව යමෙක් මිය ගිය නිසා විය හැකිය. නැතිනම් දරිද්‍රතාව නිසා විය හැකිය. පැලේ සතුට සාමය හා සොම්නස නැත්තේත් ඉහත හේතුව නිසා විය හැකිය. නැතිනම් සියළු දේ අහිමි වීම නිසා ගෘහ මූලිකයා සුරාවට යොමුවීම නිසා විය හැකිය. ඒ නිසා ලිපේ ගිණි නොඇවිලෙයි. ලිප ඇවිලෙන්නේ කන්නට බොන්නට ඇතිනම් පමණි. ඒ ගිණි දැන් ඇවිලෙන්නේ පපුවෙහිය. ඒ ශෝකය නිසා විය හැකිය. නැතිනම් අසරණ කම නිසා විය හැකිය. තවත් වරක් මාරියාව ආවොත් තත්වය කොයි ලෙසක වේ දැයි සිතා ගත නොහැක.

චණ්ඩ රළක් ගසන අනුසාරයෙන් මෙහි සංගීතය නිමවා ඇත. කපුගේ ශූරීන් විසින් ගීතයේ වචනාර්ථයටම ගැලපෙන භාව ගුණයක් ඔහුගේ හඬටද මුසු කරනු ලබයි. වෙනස්ම මාතෘකා ඔස්සේ සිය හඬ මෙහෙය වීම පිළිබඳව කපුගේ ශූරීන් නමක් දිනා ඇත්තේ ඇයි දැයි මේ ගීතය ශ්‍රවණය කරන විට සිතා ගත හැකිය. සුනාමියෙන් විනාශ වූ ජීවිත පිළිබඳ මතකය තවමත් සිත් වලින් ඈත් නොවූ සමයෙක මේ ගීතය ඒ ඛේදවාචකය අපට නැවතත් සිහිකර දෙයි. ඉන් ජීවිත වැනසුණු සුවහසක් ජනයා මතක් කිරීමටද, ඉන් දිවි ගලවා ගෙන අදටත් දුකසේ ජීවත් වන්නන්ට අපට හැකි අයුරින් උදවු කිරීමටද මේ ගීතය නැවත නැවතත් අපට මතක් කර දෙනු ඇත.

අසන්න
.

Saturday, September 19, 2009

වළාකුලින් බැස



වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් රිදී කදක් දෝ බැලූ බැලූ හැමතේ

යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ


එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය අඬා දොඩා වී මුවේ බලා යනවා

හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා


පද, සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්


සිංහල ශිෂ්ටාචාරය වසර 2500 කට හිමිකම් කියන ප්‍රෞඪ ශිෂ්ටාචාරයකි. එහි කොඳු ඇට පෙළ වූයේ බුදු දහමත්, වාරි කර්මාන්තයත් ය. වසර සිය ගණනක් තුළ ගොඩනැගුණු මෙම පුදුම එළවන සුළු වැව් කර්මාන්තයන් සිහල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැනට දිය සැපැයී ය. වසර 500ක විදෙස් ආක්‍රමණයෙන් පසුව කැඩී බිඳී ගිය මෙම ශිෂ්ටාචාරය නැවත පණ ගැසීම ඇරැඹියේ 1950 ගණන් වලය. මෙයට සමගාමීව අතීත ජල ශිෂ්ටාචාරයේ මහිම දක්වන මෙබඳු ගීත බිහිවීම ඇරැඹිණි.

කඳු මුදුනක සිට පහළට ගලා එන ගංගාවක් කරන ආයාචනයක් අයුරින් මෙය ලියැවී තිබේ. වළාකුලින් බැස සමන් කුළත් වැඳ එය පටන් ගනියි. එනම් සමනළ අඩවියට වට වතුරින් උපත ලබයි. එය මගෙන් වැඩ ගන්නා ලෙස කියමින් මුහුද වෙත ගලා බසී. එලෙස ගලා බසින ගංගාවට පෙනෙනුයේ දෙපස ඇති රිදී කදක් ලෙස දැවෙන බිම් ය. (මන්නාරම පෙදෙසේ විය හැකිය) අද දින මේ පොළොවේ ගිමන් නිවන්නට තමා එදෙසට හරවන මෙන් ගංගාව ඉල්ලා සිටී. එනමුත් අතීතයේ සිටි දනෝ මහත් වූ වෙහෙස ගෙන තැනින් තැන ගංගාව හරස් කර එහි ජලයෙන් ප්‍රයෝජන ගත්හ. ඉන් තමන්ටත් සෙතක් වූ බවත් ඒ දනන් එනිසා ම ලෝ පතළ වූ බවත් ගංගාව කියයි. එනමුත් මේ කාලයේ වැඩක් නොගත් එම දිය හඬමින් මුහුද වෙත ගලා ගොස් මුහුදු වතුරට මුසුව මිය යයි (වැඩක් ගත නොහැකි බවට පත් වේ).

සිංහල ගීය ළදරු කල දී බිහි වූ මෙම ගීතය සුනිල් ශාන්තයන් සතු පුදුම එළවන සුළු නිර්මාණ ශක්තිය මොනවට දක්වන උදාහරණයකි. ගංගාවක් පැද්දෙමින් නැළැවෙමින් ගලා යන ආකාරය මෙහි සංගීතය තුලින් සිතට දැනේ.

අසන්න
. . .




Sunday, September 6, 2009

නළල වියළවා

නළල වියළවා විගසින් තිලකයක් තබා අතකින්
දොරකඩට ඇවිත් හිට ගෙන - හිනා වෙන නමුත්
තවම කෙහෙරැළින් දිය වෑහෙනව රාජිනී
ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී

දෙවොල් මඩුවෙ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන් දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැදින්
රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි නොවෙද රාජිනී

මග වසන වළා තිර පට ඉරා ගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සඳ
කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනෙ රාජිනී

ගායනය හා සංගීතය - සේනානායක වේරලියැද්ද

සුන්දරත්වය යන පදය ජාති, ආගම්, කුල ගොත් නොහඳුනයි. තරුණියකගේ සුන්දරත්වය ගැන මෙය නොකිවමනාය. අපට නුහුරු නුපුරු යාපනය පළාතේ සොබා සුන්දරත්වය සිතතුළට ගෙනෙන මනරම් පද වැලක් මෙම ගීතය සතුය. ස්නානයෙන් පසුව පළමුවෙන්ම කරන තිලක තැබීම මොනතරම් අපූරුවට රචකයා විස්තර කරන්නේද?

"නළල වියළවා විගසින් - තිලකයක් තබා අතකින්
දොරකඩට ඇවිත් හිට ගෙන - හිනා වෙන නමුත්"
"තවම කෙහෙරැළින් දිය වෑහෙනව රාජිනී"

උතුරු දිග මහා තැනිතලාවේ සුන්දරත්වය විස්තර කරන මෙම පද කෙතරම් ළගන්නා සුළු ද?

"ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
"
"රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි නොවෙද රාජිනී"

මෙම දමිළ තරුණියගේ සුන්දරත්වය මනාව විස්තර කෙරෙන පද, ඇගේ රූපය අප හමුවේ මවා පෙන්වයි. දෙවොල් මඩුවේ වැලි කැට පුරුද්දට වගේ ගණින ඇගේ සංවර භාවය මෙයින් පෙන්වයි. ඇය දේවාලයට යනුයේ බිම බලා ගෙනය. නමුත් දෙවොලේ සීනු හඬට කන් දෙමින් හිරු බැස යන දසුන අතරෙහි තම පෙම්වතා දකින ඇගේ සතුට මුහුණින් පිළිඹිබු වන්නේය. වැහි වළාකුලින් බර බක් මස රාත‍්‍රියක, වළාකුළු ඈත් මෑත් වූ මොහොතක, ඒ අතරින් පුර පස සඳ බැස යන යාමයෙක පවා ඇය සොඳුරුම කවියකි. ඇගේ ඇස් කථා කරයි (භාෂාවන් වෙනස් ය, ඔවුන්ට එමගින් කථා කළ නොහැක). තරුණියන් කතා නොකර කරන අගය පෙන්වීම ඇය කරනුයේ දෙනෙත් පියා ගැන්මෙනි. එවිට පවා ගීත රචකයා දුටු සොඳුරුතම කව වනුයේ ඇයයි. මෙම ගීතය පුරාවටම දිස්වෙන වචන භාවිතයේ සංවර භාවය අගය කළ යුතු කරුණකි. එබඳු සංවරයක් තුළ පවා සිටිමින් වචනයෙන් ඇඳි සිත්තමක් බවට මෙම ගීතය පෙරළා ඇත. සේනානායක වේරලියැද්ද නම් වූ සුවිශේෂ ශිල්පියාගේ මධුර තනුව මෙම පද වැලට අති සාධාරණයක් ඉටුකර ඇත. ඔහුගේ මනැසේ බිහිවූ අළුත් තාලයන්ගේ සංඛ්‍යාව, ඔහු ගේ ගීයන්හි ඇති විවිධතාවය මගින්ම මොනොවට පැහැදිලි වේ. මෑතක සිට නිහඬව සිටියත් නැවත ඔහු නිර්මාණකරණය අරඹනු ඇතැයි ප්‍රබුද්ධ ජනයා උදක්ම බලා පොරොත්තු වෙති.

අසන්න

Saturday, September 5, 2009

සලාම් කියා ගෙන

සලාම් කියා ගෙන ගෙට එන
ළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ

ඔවුහු ආගමේත්, සංස්කෘතියේත් ෆර්දාවෙන් වැසී සිටින්නාහ. පීඩාකාරී පුරුෂ මූලික සමාජයකින් පෙළෙන්නා වූ ඔවුහු තම පැතුම් හා හැඟුම් හිස පළඳනාවෙන් සඟවා ලෝකයේන් සැඟවෙති. තම සංස්කෘතියට අනුගත වූවන් හැර වෙනත් අය ඇසුර ලැබීමට ඔවුනට අවස්ථාවක් නැත. එනමුදු, මෙවැනි ජාති, ආගම් හා කුල භේද පුපුරා සුණු විසුණු වී යන අවස්ථා ද නැත්තේ නොවේ. තරඟකාරී සමජා රටාව තුළ එයට අනුගත වෙමින් ”නාගරිකයන්” වන පිරිසක් අපට කොළඹ පුරවරයේ දී හමුවේ. එබඳු තැනෙකදී හමු වූ සුන්දර මුස්ලිම් තරුණියක මෙම ගීයට නිමිති වී ඇත.

"සලාම්" (ආයුබෝවන්") කියමින් ගෙට ඇතුළු වන්නේ පිරිමි පක්ෂයේ උදවියය. නමුත් නාගරීකරණය වූ සමාජයෙහි අය "සලාම්" කියමින් රචකයාගේ හද දොරින් ඇතුළු වේ. නමුත් ඇගේ ආදරයත්, ළසෝ ගින්නත් ෆර්දාවෙන් වැසී ඇත. ඈ ඇඳ ඇති වලාකුළු සළුවෙන් ඇගේ මුහුණ නමැති අඩ සඳ වැසී ඇත. මෙහිදී වලාකුළු සම කරනුයේ ඈ හැඳි හිජාබයට හෝ බර්කාව ට(සම්ප‍්‍රදායික මුස්ලිම් කාන්තා ඇඳුම්) යි. එයින් ඇගේ ආදරයේ රන් දොරටුවේ වටිනාම මැණික ද වැසී ඇත. ඒ විඳින්නා වූ වේදනා නිසා ඇය හට සිනා වීමටද මතක නැති වී ඇත. රචකයා හා සමීප වීමේ දී ඈ හට (දුකින් වුවද) ඇගේ සංස්කීතිය අමතකව යයි. කුරානයේ අක්ෂර පද දෑසට හමු නොවන්නේ දැයි රචකයා ප‍්‍රශ්න කර සිටිනුයේ එබැවිනි. එසේ අමතක කරන්නට සූදානම් නම් පහන් තරුව සොයා යන්නට (ඈතට පලා යන්නට) රචකයා ඇයට ඇරැයුම් කරයි.

ගයන්නන් වාලේ ගීත ගායනා කරන තරුණ ගායකයන්ට, ගීත තෝරා ගැනීම ගැන මුල් පොත ලෙස සමන් ජයනාත් හැඳින්විය හැකියග වැදගත් ගමනක් හෙමෙන් හා ස්ථිරසාරව යාමට ඔහු උත්සාහ දරයි. මෙම ගීතය එම ගමනේ එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. මුළු ගීතය පුරාවටම දිස්වන කාරණයක් වනුයේ ඔහුගේ කට හඩෙහි පෞරුෂයයි. අරාබි සංගීතයට නෑකම් කියන සංගීත ශෛලියකින් ගීතය හැඩව ඇත.

සමන් ජයනාත් වෘත්තියෙන් සෙවණගල සීනි කම්හලේ විධායක ඉංජිනේරු වරයෙකි. එබඳු පාළු නිසල පරිසරයක අරුම රැගත් ”තණ මල් විල මල් ගෝමර” වැන ගීතත්, කොළඹ මාළිගාවත්තේ ජනාකීර්ණ නිවාස පේළියක සිදුවන සිද්ධියක් අළලා ලියැවුනු මෙම ගීතයේත් භාවයන් අතර ගායකයා දෝලනය වන අයුරු ඔහුගේ නිසග හැකියාවට ලියන ලද අටුවාවක් වැන්න.

ගම ගැන ලියැවුණු ගීත බොහෝය. ඇත්තටම එය මෝස්තරක් වන තරමටම බහුලය. කොළඹත් එහි තදාසන්න නගර වලත් වූ දස ලක්ෂ එකහමාරක හෝ දෙකක දනන්ගේ සිතිවිලි කවියට හෝ ගීයට නැගුනේ වී නම් ඒ ඉතා කලාතුරකිනි. මේ එබඳු විරල, සුභාවිත ප‍්‍රයත්නයක් ලෙස හැඳින්වීම යුක්ති යුක්තය.

අසන්න
.
.
.

පෙම් කල වරදට

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැණුනු දිනේ
යන එන හමුවන මග අවුරාලා
ආදරයක් වැළකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා වෙත
සැනසෙමු ඒ රැකවල් බිඳ දා
චිත‍්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ සුව ඔබට දැනේවි
පෙම්වතියක මුණ ගැහුණු දිනේ
ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ

තරුණියකට වැඩිමහලූ සොයුරන් සිටීම සාමාන්‍ය දෙයකි. නමුත් අප සමාජ ක‍්‍රමය තුළ වැඩිමහලූ සොයුරන් විසින් සිය සොයුරියන් වෙත කෙරෙන බලපෑම් අතිවිශාලය. මේ බලපෑම් වලින් ඇයට නිදහස් විය හැක්කේ ඉතාම තලාතුරකිනි. ඒ අතිශයින් ම උගත් කාන්තාවක් වීම තුළින් පමණි. අනෙක් අවස්ථා වල දී වැඩිමහලූ සොයුරන් ට අවනත ව කල් ගෙවීමට ඇයට සිදු වේ. මෙම තත්ත්වය හොඳ හෝ නරක ලෙස විග‍්‍රහ කිරීම උගහට ය. එනමුත් ඉන්ද්‍රාණි බෝගොඩ ශිල්පිණිය විසින් ගයන මෙම ගීතයෙන් ඒ ගැටුමේ එක් පැතිකඩක් ගෙන හැර පායි.
මෙහි දී ආදරයෙන් වෙළුණ නැගණිය ගේ හැඟීම් සොයුරා තේරුම් නොගනී. නැත්නම් ඔහු සිතන පරිදි තම නැගණිය ගේ පෙම්වතා ඇය අත ගැන්මට නුසුදුසු පුද්ගලයෙකි (ඇත්ත තත්ත්වය එයද විය හැකිය). ඒ තම සොයුරා ආදරය නොහඳුනන බැවිනැයි නැගණිය කියා සිටින්නී ය. එනමුත් ඇගේ සොහොයුරා ඇය ට නිබඳවම උපකාර කරන, සොයා බලන, කෙනෙකි. ඈ ඔහුගෙන් සමාව ඉල්වන්නේ එවන් සාහොයුරකු ගේ සිත රිදවීමට ඇයට සිදු වන බැවිනි. පෙම්වතුන් පෙම්වතියන් යන එන තැන් වල මග රැක හිඳීමෙන් හෝ ඔවුන් මුණ ගැසීම වැළැක්වීමෙන් ආදරයක් දිය කර හැකි නොහැකි බව දනිමු. එවන් ආදරයක් සමගින් සිය සොයුරා ගේ සියළු රැකවල් බිඳ දමා තම පෙම්වතා ගේ දෙප ළඟ සැනසීමට කැමති බව ඈ කියයි. ඒ ඇගේ ආදරය කියන කතාවයි. එවිටම ඇගේ යුතුකම් ද කථා කරයි. තමන් ට මෙතරම් උපකාර කළ සොයුරාගේ අදහස් වලට (ඒවා ආඥාදායක ස්වරූපයක් ගන්නා බැව් අණට හොරා යන වචන වලින් කියැවේ) විරුද්ධව උන්මාද චිත‍්‍රාවත් නොවන බව ඈ පවසයි. ඇගේ ප‍්‍රශ්නය තේරුම් ගැනීමට ඇගේ සොයුරා ආදරය හඳුනා ගත යුතු බව ඈ පවසයි. මෙලෙස ආදරය හා යුතුකම් අතරෙහි සිරවන තරුණියක ගේ සිතුම් පැතුම් කදිමට මෙම ගීය තුළින් නිරූපණය වේ. උභතෝකෝටිකයකට මැදිවන මෙවන් තරුණියක ගේ ඉරණම කුමක්දැයි සිතීමට ගීත රචකයා අපට අවස්ථාව සලසා දෙමින් ගීය අවසන් වේ. එබැවින් බොහෝ සාමාන්‍ය ගීතයන් මෙන් නොව මේ ගීතය අපට හිතන්නට යමක් ඉතිරි කරදෙමින් අවසන් වේ.


අසන්න
.
.
.

Tuesday, September 1, 2009

රුවන්මලී

තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුදුන් වලින්
සිහින් වලාවක් හෙමින් නැගීලා
ඒ තොටමුණ බද රැඳී සිටී

සුදු ඔසරිය ඇඳ වලා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුළෙ තබා ගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ

ගායනය හා සංගීතය - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
රචනය - මඩවල එස්. රත්නායක

වසර 1970 හෝ ඊට ආසන්න සමයෙක මෝසම් වැසි ඉතා තදින් ඇද හැලුණි. වෙනදා පුරුදු තොටමුණෙන් දිය ගන්නට එන ඈ සැඩ පහරට අසුවන්නීය. තරුණ ජවයෙන් හෙබි රුවන්මලී මහවැලිය අරක් ගෙන සිටි ජල රකුසා හා පොර බැදුවද, ඈ ඉන් පරාජිත වන්නී, ජල රකුසා ගේ මුවෙහි සැඟව යන්නීය. රුවන්මලී මුහුණ දුන් මේ ඛේදාන්තය මඩවල එස්. රත්නායකයන් අතින් සුන්දර ගී පෙළකට නඟුණේ ඉන් වසර කිහිපයකට පසුය. රුවන්මලී නැති සොවින් ඇගේ ප්‍රියයා ඈ සැම තැන්හි සොයයි. තොටමුණෙහි, දුම්බර කඳු වැටි අතර හා වලා පෙළෙහි ඇගේ මතක සටහන් ඔහුට හමුවේ. එම ප්‍රියයා ගේ බලාපොරොත්තු තුළ රුවන්මලී නව ජීවිතයක් ලබමින් තවත් ජීවත් වෙයි. වලාකුළු පෙළින් බසින ඇය නැවත දිය ගෙන ඒමට තොටමුණට පා නඟනු පෙනේ. විරහව තූළ මැවෙන අපූරු සොබා සුන්දරත්වය ද මෙම ගීය පුරාම මොනවට දිස්වේ. අමරදේවයන්ගේ සංවර, සෝකාකූල සංගීත රටාව අර්ථය තීව්‍රද කරයි. සිතෙහි රැඳුනා වූ සත්‍ය සෙනෙහස පරයා මරණයටවත් යා නොහැකි බව පසක් කර දෙන අපූරු නිර්මාණයක් ලෙස මේ ගීය හඳින්විය හැකිය.

අසන්න

සිතුවිලි ගංගා

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුනා

රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.

Sunday, August 30, 2009

මට මතකයි

මට මතකයි ඔබ පිපිලා උන්නා දුණුකේ ගසක සුදෝ . . .
මට මතකයි ඔබ සොයලා ආවා බමරෝ සුවඳ මගේ . . .

වත්සුණු තවරා කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා - මතකයි අත වැනුවා
අත්තල හඬ ගා මහ මග කුර ගා
ඔබ යද්දී දවසක් දා - මතකයි අත වැනුවා

දිය සුළි නැගිලා වෙරළට එද්දී
බෙලි කටුවේ සැඟවීලා - මුතු ඇටයක් තිබුණා
සසරේ පෙරදා වරම් ලැබූ ලෙස
බෙල්ලකු වී සඟවාලා - මම ඔබ රැක ගත්තා

මේ ගීතය මගේ සවණ වැකුනේ මෙයට වසර 25 කට පමණ පෙරය. කුඩා දරුවකුව සිටි මගේ සිත මුළින්ම ඇදී ගියේ එහි තාලයට සහ ගායන විලාශයටය. නැවත වසර ගණනකට පසුව හිරිමල් යොවුන් වියෙදී, ආදරයේ සුවඳ දැනෙන මොහොතක මේ ගීතය මට නැවතත් අසන්නට ලැබිණ. හුරු පුරුදු වූ තාලයට ගැයෙන ගී පද වල අරුත වැටහුණේ ඉන් පසුවය. සිතක ආදර හැඟීම් මෝදු කරන්නා වූත්, මෝදු වූ හැඟීම් කුළු ගන්වන්නා වූත් අපූරු ගීතයක් ලෙස මට එය එදා වැටහි ගියේය. නැවත වසර පහළොවකට පමණ පසුව "ආරාධනා" ගීතාවලියෙන් නැවත මේ අපූරු ගීතය මට අසන්නට ලැබිණ. මෙවන් ගීයක් ගැන සටහනක් තබන්නට සිතුනේ ඉන් පසුව යයි කීමෙහි වරදක් නොවේ.

හෙක්ටර් සිල්වා නම් අප නොහඳුනන ගායකයා ගේ හඬින් හා පුණ්‍යා කත්‍රිආරච්චි නම් ප්‍රතිභා පූර්ණ ශිල්පිණිය විසින් ගයන ලද මේ ගීතය අද දිනයේ නො ඇසෙන ගීතයකි. පෙම්වති‍ය දුනුකේ මලකටද, පෙම්වතා එහි සුවඳ සොයා එන බමරකු ලෙසද උපමා කරමින් ගීය ඇරඹේ. ඔවුන්ගේ අහඹු හමුවීම ගැන සොඳුරු මතකය අවදි කිරීමත් ඉන්පසු සිදු කරයි. මහ පාරේ ගමන් කරමින් සිටි පෙම්වතාට කවුලුවකින් හිස දමා අත වැනුමකින් ප්‍රේමය ඇරඹේ. මෙලෙස ඇරඹෙන ප්‍රේමය සසරේ පතා ගෙන ආ පරිදි මුතු ඇටයක් රකින බෙල්ලකු මෙන් මේ ප්‍රේමය ඔවුන් විසින් රැක ගෙන ඇත. මෙහි එන වචන ඉතාම සරල, සුගම මෙන්ද සුන්දර ද වෙයි. මෙහි පද රචකයා සොයා ගැනීමට බොහෝ උත්සාහ කළත් එය අසීරු විය. මෙහි සංගීතය ආචර්ය අමරදේවයන්ගේ බව මිතුරකු පැවසීය.

70 දශකයේ ගැයුණු මෙම ගීය, 70 දරුවන්ගේ ජීවිත සමග ඒකාත්මික වන්නාවු ගීයකි. අමරදේව, වික්ටර් රත්නායක, ටී. එම්., සනත් නන්දසිරි හා සුනිල් එදිරිසිංහ, මාලිනි බුලත්සිංහල, ගුණදාස කපුගේ, නන්දා මාලිනී යන ශාස්ත්‍රීය ගායක ගායිකාවන් මෙන්ම පුණ්‍යා කත්‍රිආරච්චි වැනි සරල ගී ගායිකාවන් අතින්ද බිහි වූ ගීයන්ගේ ද සහෘදයා සමග ඒකාත්මික වීමෙ මේ ගුණය නොඅඩුවම පවතී. මෙහි සරල, සුගම ස්වභාවය, කඨෝර සංගීත ඛණ්ඩ පිරිණු වත්මන් ගී අතරට නවමු වෙනසක් ගෙන නො එන්නේද?

අසන්න

Wednesday, August 19, 2009

මේ මල් උයනේ

මේ මල් උයනේ මල් වාරයයි
උන්මාදයෙන් මල් මල් කොඳුරන කාලයයි
මේ මල් උයනේ මල් වාරයයි

උයන අසබඩ නිසල ගං තෙර
රාග රාගිනී රාව දෙයි
පිණි බිඳ බිඳ රූරා ගලයි

තනිවූ ඔරුවක් ගී හඬ ඔස්සේ
ගං ඉවුරට අඳුරේ ඇදේ
මුණු මුණු ගෑ මල් මුනු මුනු නවතා
තුරු සිදුරෙන් එබිකම් කරයි

රාග රාගිනී නවතී - තරු කැට ගඟට වැටේ
හංසයෙක් ගාටයි - රත්සර කැකුලට තුඩු දෙයි

"ගං ඉවුරක මල් උයනක හිඳ ගත් සිත්තරෙක් අවට පරිසරය සිත්තම් කිරීමට සූදානම් විය. හදිසියේම සිත්තරා කවියෙක් විය. මේ ඒ සිත්තරා කවියෙන් කල සිතුවමයි" නන්දා මාලිනිය මෙම ගීතය හඳුන්වා දෙනුයේ එලෙසයි. සැබැවින් ම මෙම ගීතය පද වැලකින් කල සිත්තමකි. මල් උයනේ මල් වාරය එළැඹී ඇත. මල් උමතුවෙන් මෙන් මුමුණයි. රාග රාගිනී (ගීත) නිසල ගං ඉවුර අසල ඇසේ. පිණි බිඳු වැටේ. මේ අතර ඔරුවක් අඳුරේ ම ගං ඉවුරට ඇදෙයි. ඒ දකින මල් මුණු මුණුව නවතා ගස් අතරින් එබිකම් කරයි. ගීත නවතින, තරු බැස යන රෑ යාමයේ හංසයෙක් තනිව හිඳ මල් කැකුළකට තුඩ තබයි.

මතුපිටින් පෙනෙන අරුත අනුව මෙය අලංකාරවත් වූ පරිසර වැනුමකි. නමුත් සංකේතාත්මකව එයින් ඔබ්බට වූ අරුතක් මින් දනවයි. මල් යනු තරුණියන් ය. මල් උයනේ මල් වාරය, එනම් තරුණ විය එළැඹෙන විට ඔවුන් ප්‍රේමයෙන් උන්මාද වී කොඳුරති. පෙම් ගී ද වැයේ. ඒ අතර බිංදුවෙන් බිංදුව සිත් හි ආශාවන් ද වැඩිවේ. එනිසා ම රාග රාගිනී රාව වැයේ. මේ අතර තනි වූ ඔරුවක් රහසේ ම ගං ඉවුරට (මල් උයන දෙසට ඇදේ). එහි එනුයේ කවුද? ඒ එන පුද්ගලයා දෙස මෙම පිරිස කතා නවතා තුරු සිදුරෙන් (ගස් අතරින්) හොරෙන් බලයි. තරු ගිලෙන රෑ යාමයේ දී හංසයා (තනිව ඔරුවේ ආ පුද්ගලයා) රත්සර කැකුළකට තුඩ තබයි. අවසන රාග රාගිනී ගී ද නවතී. නිර්මාණාත්මක පුද්ගලයාට ඕනෑම මාතෘකාවක් අලංකාරව ඉදිරිපත් කළ හැකිය. ශෘංගාරය පිළිබඳ වූ නිර්මාණ ද එලෙසම ය. මෙම ගීතය නවක ගීත රචකයකු විසින් නන්දා මාලිනිය ගේ අරලිය ලන්දට ඇල්බමය වෙනුවෙන් ලියැවුණකි. රාගධාරී සංගීතයෙන් ආභාෂය ලබා ඇති මෙහි සංගීතය මෙහි පද වැලට අමුතුම මිහිරක් සපයයි.

අසන්න

Saturday, August 15, 2009

මලින් මලට



මලින් මලට ඉගිළුණාට
සමණලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට
වන බමරුන් නොවේ

හිතේ ගින්න උහුලාගෙන
හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි
අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැළිලය
පූදින මල් තළන්නේ
අපේ දුකට හඬන මලේ
කඳුලයි පැණි පෙරෙන්නේ

අහසින් වඩින පින ලැබිලයි
උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය
ගුවනේ සැරි සරන්නේ
නැති බැරි කමයි උඩු හුළෙඟේ
ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට
අපි දහදිය හෙළන්නේ

පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

පැණි සදන්නෝ සමණලයෝ ය, වන බමරුන් ය. උන් හදන පැණි අප තලූ මරමින් රස විඳිමු. ඒ උන් ගේ මහන්සියෙන් ඒවා තිත්ත වූ බැව් නොම දැන ය. පැණි සදන්නෝ සියල්ලෝ ම සමණලූන් හෝ වන බමරුන් නොවෙති. මේ තුන් වැනිව කී කොට්ඨාශය සාදන පැණි වල ද ඔවුන් ගේ දහඩියෙ හි, නැති බැරි කම් හි හා කඳුළු වල තිත්ත රසය ගැබ් වී ඇත. එනමුත් අපට නැවතත් එම තිත්ත රසය නො දැනේ.

කුස ගින්නෙන් හඬන දරුවන් ගේ කුස පිරවීමේ අරමුණින් ඔවුහු ඉතාමත් භයානක කාර්යයක් වූ අතුරේ යාම කරති. අතුරේ එසේ ගොස් කිතුල් හෝ පොල් මල් තළන්න ට පෙර සමාජය විසින් ඔවුන් තළා දමා ඇත. එබැවින් ඔවුනට සාපේක්ෂව මල තැළී ඇත්තේ අඩුවෙනි. තෙලිදිය ලෙස වෑහෙන්නේ එලෙස ඔවුන් ගේ දුකට හඬන මලේ කඳුළු යි. අතුරේ යන්නට හැකිවන්නේ ද පින් ඇති තාක් කල් පමණි. අප අවසන සවුදිය ලෙස පුරනුයේ මෙම දහදිය වල ප‍්‍රතිඵලයි.

මෙම ගීත රචනයෙ හි භාව රූපී හැඟීම් දනවන අවස්ථා එමට ය. ගීතයේ ස්ථායී කොටස ම අසන්නා තුළ පැනයක් ඇති කරයි. එනම් මලින් මලට යන, මලින් මලේ පැණි පුරන මොවුන් කවුරුන් ද යන්න යි. මලට කලින් අපි තැළිලයි පූදින මල් තළන්නේ - අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි පෙරෙන්නේ යන දෙපදය තුළින් මල් තළන්නන් ගේ කටුක ජීවන යතාර්ථය අප වෙත ගෙන හැර පායි. නැති බැරි කමයි උඩු හුළෙඟේ ලණු දෙපොටින් වැනෙන්නේ යන දෙපදය ද මෙලෙස වඩාත් ගැඹුරු වූ අරුතක් දැනවීම ට භාවාතා කරනු ලැබේ. අතුරේ ලණු පොටවල් පැද්දෙනු යේ යමකු ඉන් බිම වැටුණු විට ය. මොවුන් ගේ හිසට ඉහළින් එල්ලෙන එම ඛේදවාචකය මෙම පදයෙන් ධ්වනිත කරනු ලබයි. සවුදිය පුරන මහ පොළොවට අපි දහදිය හෙළන්නේ ලෙසින් සේව්‍ය - සේවක පන්තීන් අතරෙහි අසමාන වූ සම්පත් බෙදී යාම විග‍්‍රහ කරනු ලබයි. සේව්‍යයා මධු විත තොල ගානුයේ කා නිසා ද යන පැනය මෙයාන් අසනු ලබයි. වසර විසිපහක් පුරා මෙම ගීතය ශ‍්‍රාවක සිත් සතන් පින වූවකි. සුනිල් එදිරිසිංහයන් ගේ පිරිපුන් හඬත්, රෝහණ වීරසිංහයන් ගේ සංගීතයත් මුසු වුණු මෙම ගීතය පැණි රස පෙත්තක දවටා අප වෙත පිළි ගන්වන්නා වූ සමාජ යතාර්ථය නම් තිත්ත ඔසුව ය.

අසන්න

දස බිම්බර මාර සෙනග

දස බිම්බර මාර සෙනග - තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය ගං තීරය
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිහිල මවා
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගගේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ

එදා මෙදා තුර සිංහල සංගීතයෙහි බුදු ගුණ ගියට ලැබෙනුයේ අතිවිශේෂ ස්ථානයකි. අසන්නා ගේ සිතෙහි බොදු බැතිය ඇති කරවා දහම වෙත ලං කරවී මේ බලා පොරොත්තුව මෙම ගීත තුළ අඩංගු වේ. සෝමතිලක ජයමහ සූරීන් විසින් ගයනු ලබන මෙම ගීතය පිරිනිවිත බුදුන් යළි ජීවමානව මනසට ගෙන ඒමට දරන්නා වූ උත්සාහයකි. හද වෙත බුදුන් වඩිනවා යන්වෙන් ගම්‍ය වන්නේ එයයි. මෙලෙස වඩින්නා වූ බුදු රදුන්ගේ ගුණ සමුදායෙන් බිඳක් මෙම ගීතය තූළට ඇතුළු කර ඇත. භූමි භාර දහයක් වූ මර සෙනඟ, තණ්හා, රතී, රගා යන මාර දූවරුන් තිදෙනා සමග බුදුන් අබිමුවෙහි පැරද පළා ගියහ. එසේ වඩින උන් වහන්සේ සවණක් බුදු රැස් පතුරමින්, කරුණාවෙන් ලෝකය බලමින්. සියළු දෙනා ගේ සිත් සිහිල් කරන්නාහ. සංසාරයේ ඉම දකිනු රිසිව, බලා පොරොත්වේ ඔරුව පැද අවසන ලං වන ගං තීරය ද උන්වහන්සේ ම වෙති. ආදරය නමැති ගංගාව මෛත‍්‍රිය නමැති දිය ඇල්ල ලෙස ඇද හැලෙන මොහොතේ ඉන් නැගෙන අනන්ත රැළිති මෙන් රචකයාගේ සිත තුළ බුදු ගුණ ගී ගැයෙන බැව් ඔහු පවසයි.

මෙම ගීයේ රචනය, සංගීතය හා ගායනය සෝමතිලක ජයමහ ශිල්පියාණන් සතුය. මේ තෙ අංශයෙන් ම ඔහු තුළ වු නිසග කුසලතාවය පිළිබිඹු කෙරෙන අවස්ථාවක් ලෙස මෙම ගීය හඳුන්වා දිය හැකිය. ගීතය අසන්නා ගේ සිත තුළ තැන්පත් ගමනක් යෙදෙන හෝ සක්මනක යෙදෙමින් බවුන් වඩන්නා වු භික්ෂුවක් පාද තබන්නා වූ තාලය නිතැතින්ම සිතට නැගේ. සිංහල බුදු ගුණ ගී වංශ කතාවේ එක් අමරණිය පිටුවක් මෙම ගීතයට නිතැතින්ම හිමි වනුයේ එබැවිනි.

අසන්න

Tuesday, August 11, 2009

මුළු නුවරම



මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
ඉඟි කරනා කල රාති‍්‍රයේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නේ
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - ලයනල් අල්ගම

මුළු නගරයම නිදයි. එ නමුත් ඔබ යහනේ අවදිව සිටියි. මේ පාළුව දැනෙනුයේ ඔබත් මමත් වෙන්ව සිටින බැවිනි. වන උයන් පුරා වසන්ත සමයේ මල් පිපී, මියුරු ගීත ඇසුණත් අප හමුවන්නේ කවදාදැයි අප නොදනිමු. පෙර ආත්මයක සිට පැවතෙන බැඳීමක් ලෙස දැණුන ද, මේ පාළු රාත‍්‍රියේ හද සොවින්, නිදි නොලබා වැලපෙන මම උන්මාද චිත‍්‍රා දැයි මට සිතේ. ඒ ඔබත් මමත් එක්ව නොසිටින බැවිනි.

නන්දා මාලිනිය විසින් කප් සුවහස් කල් ගීත සමුච්චය උදෙසා ගායනා කරන ලද මෙම ගීතය ශ‍්‍රී ලාංකික ගායිකාවකගේ ගායනයෙහි මුදුන් මල්කඩ ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මෙය එතරම්ම පිරිපුන් ගීතයක් වන බැවිනි. ගීතය පුරාවට දිවෙන්නේ තනිකමේත් වියෝගයේත් වේදනාවයි. පරිසරයේ අසිරියට මෙම විෂයය නොගැලපෙන අන්දමට දිවෙන වේදනාව මින් ධ්වනිත වෙයි.

කවියාගේ පෙම්වතා නිදි නොලබා පැලෙහි තනිව සිටිනුයේ මුළු නුවරක් ම නිදිගත් මොහොතක, එකම හඳකුත් එකම තරුවකුත් යට ය. සඳ හා තරුව පවා තනිව සිටින බව කීමෙන් ගීතය පුරා දිව යන තනිකම පිළිබඳ හැඟීම තීව‍්‍ර වේ. මුළු පරිසරයම මෙම යුවළගේ පේ‍්‍රම සමාගමයට සැදී පැහැදී සිටින බවක් කවියාට දැනේ. ඔවුන්ගේ මධුරතර වූ එක් වීම සඳහා සොබාදම විසින් ගයනු ලබන ස්තුති (තියු) ගීත රාවය කවදා අසන්නේ දැයි කවියා තැවෙන්නේ ය. කවදා ද අප හමු වන්නේ යන පදය දෙවරක් ගායනා කිරීමෙන් අදහස තව දුරටත් තීව‍්‍ර කරනු ලැබේ. ඉන් පසුව ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන්නෙන් මෙම වෙන්වීම උච්චස්ථානයක් දක්වා ගෙන එනු ලබයි. මෙම යුවළට ඔවුන් පෙර ආත්මයක සිට ඔවුනොවුන් පතා පැමිණි බවක් හැගේ. නමුත් නිදි නොලබා සිහින මාළිගා තනමින් සිත සොවින් වැලැපේ. දීඝ ගාමිණි වෙතින් සඟවනු ලැබූ උන්මාද චිත‍්‍රා තමා දැයි කවියා නැවත ප‍්‍රශ්න කර සිටින්නීය.

මෙම ගීතයෙහි ගායන විලාශය සලකා බලන විට ඉතා පුළුල් ස්වර පරාසයක ගැයෙන පද මෙයට ඇතුලත් ය. කට හඬෙහි දක්වන භාව ප‍්‍රකාශය ද ඉතා ඉහළ මට්ටමක පවතී. එකම හඳක් එක තරුවක් යට යන පද ගැයෙන විට තනිකම පිළිබඳ භාවයත් ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන පදය ගැයෙන විට වෙන් වීම පිළිබඳ භාවයත් මනාව පිළිබිඹු වේ. ගීය අවසානය වන විට විප‍්‍රයෝගයෙහි වේදනාව දක්වා සිටින මුත් ඔවුන් දුරස් වීමට හේතු ඉදිරිපත් නොකරයි. ඇත්තෙන්ම ගීය අවසන් වන විට රසිකයා එම හේතුව දැන ගැන්මට උනන්දු නොවන තත්ත්වයක පසුවෙයි. ගීය එතරම් ම සිත තුළට එවිට කිඳා බැස ඇති බැවිනි.

අසන්න

Monday, August 10, 2009

චන්දෝ මා බිලිඳේ

පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්ඳේ
නාඬන් දැන් එනු බෑ

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
බැන්දෝ කොමලත නිරිඳුට දාවුන්

දැන් ගොවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් බැඳි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද බැන්ඳලු සුන්දර රූපා

තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා

අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

ගායනය - පන්ඩිත් අමරදේව හා අමිතා වැදිසිංහ

දෙවන රාජසිංහ රජුට බොහෝ බිසෝවරුන්ගෙන් සැදුම්ලත් අන්තඃපුරයක් විය. මේ අතර එක් වැදි බිසවක් ද වූවාය. කලක් ඇවෑමෙන් ඇයට රජුට දාව පුතකු ලැබිණ. එදා මෙදා තුර සියළුම මවුවරුන් සේ ඇයද තම දරුවා නැළවීමට නැළවිලි ගීත ගැයුවාය. තමා නිතර දකින ලද වන වදුළු තුල වූ පරිසරය තම නැලැවිලි ගීයට නගා එහී අලංකාරත්වයත් රජුගේ තෙදවත් බවත් එක්විටම පැවසෙන සේ ඇය තම දරුව නැළවූයේ ඉහත ලෙසටය. පද රචකයා මේ පුරවෘත්තය අලංකාර කාව්‍යමය චිත්‍රයකට නගා ඇත. මේ බිසවට රජු විසින් ගරු නම්බු නාමයක් දී ඇත. කුංකුම ආදි අබරණ ලබාදී ඇත. එනිසා ඇගේ රැහැට හිරූ පැයූ සේ ආලෝකයක් ඇති වී තිබේ. මේ සියල්ලම ලක පතල බල ඇති රජු නිසාය. මා ඔහු සමීපයේ නිසා නොහඳා නිදියා ගන්නා ලෙස මේ මව දරුවාට කියයි.

අනතුරුව ඇය වනයේ රිලවුන් සැරිසරන අයුරු තම දරුවාට කියා දෙන්නීය. රිළවුන් පිළිබඳ විස්තරය චිත්‍රයක් මෙන් මනාව ගලපා ඇති'යුරු බලන්න. රිළවා අතු අග සිට බුදින ආකාකය, උසුළු විසුළු ස්වභාවය හා අනතුරකදී පැටවුන් ලං කර ගන්න අන්දම සිද්ධි දාමයක් ලෙස මවා පෙන්වීමට කවියා සමත් වෙයි. අනතුරුව කුකුළන් ගේ දින චරියාව ලෙස පැටවුන් සමග සාරමින් අහුලමින් කෑම, රාත්‍රියේ ගස් මත නිදා ගැනීම හා උදෑසනට හැඬලීම එලෙසම මනාව චිත්ත රූප ජනනය වන අන්දමින් පෙන්වා ඇත. ඕලාරික ශුෂ්ක, වන්ධ්‍ය හා සක්ක පද කිසිවක් නොමැතිව කර ඇති මේ නිර්මාණය ඕනෑම අංකුර නිර්මාණ කරුවකුට ගුරු හරුකම් ගත හැකි අගනා නිර්මාණයකි

අසන්න

Monday, July 27, 2009

දෑස වසා ගමි


දෑස වසා ගමි ඔබ නො පෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කර ගමි ඔබට නොඑන්නට
සිතිවිල්ලක් වී ඔබ එනවා

අහසට ඔසවන විටක දි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ ගැලපෙනවා

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා

අහසත් පොළොවත් ඔබම ද මා හට
නැතිව ද ඔබ මා හැර යන්නේ
තහනම් දේසෙ දි බැඳි පෙම් බිඳ දා
කෙදින ද ඔබ මා හමු වන්නේ

පද: දයා ද අල්විස්
සංගීතය: ගුණදාස කපුගේ
හඬ: පුණ්‍යා කත්‍රිආරච්චි

මා ඔබට එතරම් ආදරය කරමි. කෙතරම් ද යත්, ඔබ වෙනතක ගිය ද, ඒ ආදරය මට අමතක කළ නොහැක. විටෙක දෑස පියා ගෙන ඔබ රුව නොදැක සිටීමට වෙහෙස දරමි. විටෙක ඔබ නො එන පරිදි ඉඳුරු දොරටු වසා ගනිමි. එනමුත් සිහිනයක් සමග හෝ සිතිවිල්ලක් වී ඔබ මසිතට ඇතුළු වේ. අහස දෙස හිස ඔසවා බැලූ කල්හි පවා හිරු-සඳු මුවෙහිත් ඔබ පෙනේ. ලොවෙහි ඇති කුමන සුන්දර දසුනක් සමග වුවද ඔබ රුව ගැලපෙයි. පාළුවෙන් මා තනිව සිටිනා කල්හි සුසුමක් වී මා සමග ඇදෙයි. මගේ අහසත් පොළොවත් ඔබම ය. ඔබ මා හැර දමා යන්නේ ද නැත. ඒ තහනම් ආදරයෙන් මිදී මා වෙත පැමිණෙනුයේ කවදා දා?

1970 මැද භාගයේ දී සරල ගී ශිල්පිනියක් වූ පුණ්‍යා කත‍්‍රිආරච්චි විසින් ගයන ලද, දයා ද අල්විස් විසින් රචිත මෙය සිංහල ගීත සාහිත්‍යය තූළ බිහිවූ අනුවේදනීය හැඟුම් දනවන ගීතයකි. තහනම් ආදරයක වෙළුණු තම සහකරු වෙත දක්වන්නා වූ අප‍්‍රමාණ වූ ආදරය වචන වලට පෙරළන ලද අවස්ථාවකි. ආදරයේ තරම දක්වන්නට ගීතය පුරා යෙදෙන පද, සුවිශාලත්වය, අචල බව හා තිරසර බව දක්වන පදයන් ය. හිරු-සඳු, අහස-පොළොව, සිතිවිලි හා සුසුම්, මේ ආදරයේ සුවිශාලත්වය දැක්වීමට රචකයා භාවිතා කරයි. කල්පිත ලොවෙහි ගී පොත පෙරළන්නේත් ඔහුම ය. අවසන එහි ම වූ ගීයක් වී ඔහු පිළිබඳ මතකය වැලැපෙයි.

ගීතය පුරාවටම දක්වන වචනයන් හි සංවර භාවය නිසා ආදරයෙන් මුසපත් වූ තැනැත්තියක ගේ සිතිවිලි ලෙසම ගීය ගලා යයි. ගීයෙහි කොතැනක දී වත් දොස් පැවැරීම ක් හෝ ද්වේෂ කිරිමක් දක්නට නො ලැබේ. ගීය අවසන් වන්නේ ද බහු අරුත් සපයා ගත හැකි ස්ථානයකට ශ්‍රාවකයා ඇද දමමිනි. තව ද "කල්පිත ලෝකේ ගී පොත පෙරළා - ගීයක් වී ඔබ වැළපෙනවා" යන්න ගැයෙනා විට මේ පෙමවතියගේ සිත තුළ නැගෙන අදහස් රල පෙළක් මෙන් උච්ඡ ස්ථානයකට පත්වෙයි.

ඉතාම සරල වූ සංගීතයකට අනුව ගැයෙන මෙම ගීය, අදාල ශිල්පිනිය විසින් ගයන ලද අතේ ඇඟිලි ගණනටත් අඩු ගීත ගණනින් එකකි. වන ගැබ පිපී, වන ගැබ පරව ගිය ඇය වැනි පුෂ්පයන් හි සුවඳ හෝ යම් තරමක් ලොව වෙත ගෙන ඒම ඒම ශිල්පීන් වෙනුවෙන් අපට කල හැකි දේ වන්නේ ය.

Thursday, July 2, 2009

අඬහැරේ

අඬහැරේ හඬට කන් දෙමිනා
කළුවරේ වුවද දිව එන්නා
මිතුරනේ ඔබ කෙරෙන් වෙන් වී
පුරවරේ තනිව මා ඉන්නා

රටාවට අතු බඳින දා වහලේ
ගෙවිලියක් බිම හාන දා කුඹුරේ
මගේ තනියට දැවටෙමින් ළඟ
විපත දැක අත් නො ඇර ආ මිතුරේ
හුදෙකලා වූ සිතින් මා නගරේ

උනුන් පාගා තරඟයට දුවනා
අනුන දුක දැක මුනිවතින් හිඳිනා
දෙනෝදාහක් දනන් අතරේ
හිනයක් සේ ඇවිත් ළඟ ඉන්නා
නුඹ සෙනේ මා හදින් සිප ගන්නා

ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ
ගී තනු - සරත් වික්‍රම
ගායනය - සුනිල් එදිරිසිංහ

ගම හැරදා නගරයට බොහෝ දෙනා පැමිණෙනුයේ ඉසුරු සොයන්නට ය. නගරයේ ඇති ඉසුරු ලැබෙනුයේ ජීවිතයේ වැදගත් අංගයන් කැප කිරීමෙන් පසුව බව තේරුම් ගන්නා විට බොහෝ දෙනා පරි ඉමාද වී ඇත. ගමෙහි සංස්කෘතියේ වටිනා දේවල් කැප කරන පුද්ගලයා ඉසුරු ලබා අවසන, ඒ වටිනා දේ නැවත මුදලින් මිළ දී ගත නොහැකි වන බැව් දැක සන්තාපයට පත් වේ. ගම් වල සී සානා අඩහැරයටත් පන්සලේ ඝණ්ඨාවටත් රාත්‍රියේ වුවද ගම්මු දිව එති. ගමේ ගෙදරක පොල් අතු සෙවිලි කරන දා, බිම් මැඩුමක දී හෝ විපතක දී දකින්නට ලැබෙන මිනිස් ගුණාංගයන් නගරයේ දී නොදැකීමෙන් කවියා දුකට පත්වේ. ඔහුට නුහුරු හුදෙකලා බවක් දැනේ. අනෙකා පාගා ගෙන දියුණු වන්නට වෙර දරන, පෑගෙන උන් ගේ දුක මුනිවතින් බලා හිඳින මිනිසුන් අතර දී වුවත් මෙම මිනිස් ගුණාංගයන් කවියා ළඟ දැවටෙමින් පවතී. කවියා පුරවරෙහි තනිව සිටිය ද, ඔහු එය මහත් වූ සෙනෙහසින් මිතුරකු සේ වැළැඳ ගනී.
මෙම ගීතයෙහි පද රචකයා අඥාතය. වසර 1990 දී පමණ ගැයුණු ගීතයක් වන අතර සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඩින් හැඩව ඇත. අද දින වැඩිපුර අසන්නට නොහැකි වන ගීතයක් වේ.

Saturday, June 13, 2009

පැහැසර අරුණෙක













පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

සිත සිර කොට ඇති දඩු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ

ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය - නිලාර් එන්. කාසිම්


අප රට වසර විස්සක් පුරා පවතින්නා වූ කුරිරු යුද්ධයකින් බැට කන රටකි. එබඳු රටක ජනයා හැර සාමයෙහි අගය දන්නෝ වෙන කවුරුන් ද? බොහෝ දනන් තම හදවත් පතුලෙන්ම පතන්නා වූ පැතුමක් ගීයකට නඟා අසංක ප්‍රියමන්ත අප වෙත ගෙන එයි.
ගීය අසන පළමු මොහොතේ දීම දැනෙනු යේ එහි ඇති ඉතා ම සජීවී හා ශක්තිමත් වූ සංගීතය යි. ගීතය පටන් ගැනෙණුයේ ද ජන සමුහයක් නගන හඬක් ලෙසිනි. එතැන් පටන් ගීය අවසන් වන තුරුම ඉතාම සවිමත් ව ගායකයා හා කරට කර සිටිමින් සංගීතය වැයේ. අසංක ප්‍රියමන්ත ශිල්පියා ද ගීයෙහි පද මාලාව තුළට ප්‍රවිශ්ට වෙමින් ගයයි.
අලංකාර උදයෙක මලක් මෙන් පිපිණු හිරු පායද්දී යුග ගණනක් අඳුර ඇති කළ යුද්ධයේ දුම් වළලූ තුනී වී, පරෙවි පියාපතක සරය ඇසීමට සියළු ජනයා සිහින දකිති. සීතල උදයෙක ගුලි වී නිදන සුළු කාලයේ දී දකින සිහිනයක පවා එම තත්ත්වය කවදා උදා වන්නේ දැයි රචකයා සිතයි. සිත් අතර වූ වෛරය නමැති දඬු වැට බිඳී සිත් යා කරන සෙනෙහස ගලන දිනයේ දී, මල් වැල් යළිත් අවදි වී මල් පුබුදන බවත්, දෙපස (උතුර-දකුණ) යා කර දේදුණු පායන බවත් රචකයා කියා සිටී.
මෙම ගීත රචනාව දෙස බලන විට එහි යෙදෙන්නා වූ වචනයන් හි සංකේතාත්මක අරුත් ගැන සොයා බැලීම ද වටී. හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත් ලෙස කියැවෙන කොටස දුර්ලභත්වය ගැන කියා පායි. අප රට ජනයා උදෑසනට ගුලිවී නිදා ගනුයේ ඉතා කලාතුරකිනි. එවන් විටෙක වුව ද හීනයක් පෙනීම ඊටත් කලාතුරෙකින් සිදු වන්නකි. එවන් සිහිනයක් තුළ හෝ යුද දුම පහව යුගඳුර දුරු වී, පරෙවි පියාපත් දැකීමට අප ජනයා ගේ පැතුම බැව් කියැවේ. සිත සිර කර ඇති දඬු වැට නම් ජාතිවාදය යි. එය බිඳ සෙනෙහසින් සිත් යා වීම දෑලම යා කර දේදුණු (ඉඳු සැව්) පෑයීම මගින් අර්ථවත් කෙරේ. සමාන අරුත් දෙන පද යුගල බැගින් යෙදීම මගින් පරරෙ ශ්නයෙහි දෙපැත්තක් අති බව රචකයා පෙන්වයි (සිිත-සිත, ලිය වැල්).
ජනප්‍රිය රැල්ලේ කරවටක් ගිලී සිර වීමට පෙර අසංක ප්‍රියමන්තයන් විසින් ගයන ලද මෙම ගීතය ඔහුගේ සැබෑ ගායන කුසලතාවයන් විදහා පාන්නකි. ජනප්‍රිය රැල්ලෙන් මිදී නැවත මෙවැනි යුග යුග පවතින නිර්මාණ ඔහු කරනු ඇතැයි යන්න ප්‍රබුද්ධ සැමගේ පැතුමද වන්නේය.

Thursday, June 4, 2009

සුදුපාට මල් පිපුණු

සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා

ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොණෙක
ගයා නිමවූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා

සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමයි සිහිනෙකි
සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවේ අප
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

ජීවිතයේ ප‍්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙන අවස්ථා එමට වෙයි. නමුත් වැහිටියකු ලෙස, දැනුම් තේරුම් ඇති අයකු ලෙස, අප බොහෝ දෙනා අත් විඳින මේ අවස්ථාව පාසලෙන් සමු ගැන්මයි. පුරා වසර දහතුනක් දෑසට හුරු වූ පරිසරයත්, එහි පුද්ගලයනුත් සමඟ දැඩි බැඳීමක් පාසල් සමයේදී ඇතිවේ. මෙම බැඳුමේ සැබෑ තැරම දැනෙනු යේ උසස් පෙළ විභාග ප‍්‍රතිඵල නිකුත් වී එකිනෙකා සමු ගන්නා දා ටය. ඇතැම් විට ඒ අප ළබැඳි මිතුරන් අප දක්නා අවසන් අවස්ථාව ද වන්නේ ය. පාසල් ජීවිතය තුළ දී වේවැල් පහර කද්දී පවා නොහඬන ඇතැම් දඩබ්බරයින් මේ අවස්ථාවේ දී හඬති. සැම දෙනාම නොහැඬුවත් කදුලින් නොපිරෙන ඇසක් සොයැ ගැන්ම නම් උගහටය.

සුනිල් දයානන්ද කෝනාර විසින් රචිත මෙම ගීතය ඈත කලෙක මා අත් විඳි එම අත් දැකීම නැවත ඒ අයුරින් ම දනවන්නට සමත් වෙයි. වසර දහයක් පුරා රසික හදවත් හි මෙම ගීතය අති කල කම්පනය සුළු පටු නොවේ. වෙන්ව යන මොහොතේ ඇති වන පාළුව පිළිබඳ හැඟීම "බාලිකාවේ සුවඳ තනි වෙලා”, "ගෙවී ගිය මල් සමයි සිහිනෙකි”, "ගයා නිමවූ කවිය ඉකිබිඳී”යන පද වලින් තීව‍්‍ර කරයි. පාසල් කාලයන් හි ලබන ජය හා පරාජය යන දෙකම පසු කාලීන දිවියට ඇදී ඒ නම්, ඒ දුලබ වශයෙනි. "අපි ඉතින් වෙන්ව යමු - අපි අතින් ගිලිහි ගිය - සියළු දේ අතීතෙට පවරලා” ලෙස රචකයා පවසන්නේ පරාජයන් ද සුවඳ අරලිය මල් පිපි බාලිකාව සමගම හැර යන බවකි. මේ අයුරින් විසිර යන අයට නැවත පාසල් ඒමට නොහැක. පෙර ලෙසින් සියළු දෙනාම එක් වන්නේ ද නැත. කොටින් ම ස්වකීය පුද්ගල භාවයන් හා පෞරුෂයන් පළමු වරට තීරණාත්මක ලෙස පිරික්සෙන්නේ පාසල හැර පසු ය. තමා පෙර සිටි පාසල් සිසුවාගෙන් කොතරම් වෙනස් ද යන වග සැබැවින් ම වැටැහෙන්නේ එවිට ය. තමා තුළ පාසල් සිසුවකු ලෙස තිබූ අව්‍යාජත්වය අහිමි වූ බව දැනෙන්නේ ත් එවිටය. නමුත් ඒ වන විට එම පාසල් සිසුවා අතීතයට හිමි වී අවසන්ය. "අපට අප පමණක් නොවේ - නැණ නුවන් සැදූ තක්සලාවත් අහිමි වීලා""සඳට ඉකි බිඳ හඩන නොදරුවන් නොවේ අප - සිනාසෙමු අතීතෙට සෙනෙහසින්" ලෙස රචකයා ගෙන හැර පාන්නේ මෙම සත්‍යයයි.  මේ වෙනස් වීම්, දුක් සංකා මැද වුව අප දරා ගන්නෙමු. මතක සුවඳ පිරි අතීතයක් ලෙස ඒය සිහි කර ආදරයෙන් වැළැඳ ගත හැකිය.

කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියාගේ මෝහනීය හඬිනුත්, තිස්සසිරි පෙරේරා ගේ සංගීතයෙනුත් හැඩවුණු මෙම ගීතය පාසල් සමයේ පැරණි මතක පුබුදා ඒ අතීතය ආදරයෙන් වැළඳ ගැනීමට අපට අයැද සිටියි.

Tuesday, June 2, 2009

පායන් රන් සඳ

පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැග එන පාළුව මකා දමා
කොතෙක් වෙලා මම බලා හිඳින්න ද
ඔබ එනතුරු හිස් දෙනෙත යොමා

නිල් මිණි තරු කැට නෙතු යුග පියැවී නිදිබර වී ඉන්නේ
පුන් සඳ වෙනුවට මේ කුළු නැඟිලා අඳුරයි මේ එන්නේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙලූ කඳුළු කැට
එකතු වෙලා දෝ කඩා හැලෙන මේ
මහ වරුසා මැවුනේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙලූ සුසුම් වැල්
එකතු වෙලාදෝ හමා යනෙන මේ
කුණාටු වැල් මැවුනේ

ඉඳහිට මුවගේ නැගුණු සිනා රැළි
අතරමංව යන එන මං නැති වී
වියරු වැටී දෝ විදුලිය වාගේ
දුව පැන මේ යන්නේ

පදරචනය - මහගම සේකර
ගායනය හා සංගීතය - ආචාර්ය අමරදේව


පාළුව යනු කුමක් ද? පාළුවට අකැමැති අයට එය දැනෙනුයේ ත්, තනි වීමට කැමැත්තන්ට එය නොලැබෙන්නේ ත් ඇයි දැයි නොදනිමු. මෙම රුදුරු පාළුව දැනෙනුයේ වියෝගය නිසාය. පාළුව මකන්නට සඳ නැගෙන තුරු මම හිස් දෙනෙතින් අහස දෙස බලා ඉඳිමි. මා බැල්ම හිස් වන්නේ නුඹ නොමැති බැවිනි. නමුත් පුන් සඳ වසා ගෙන එන්නේ රුදුරු කළු මේඝ වලා පෙළයි. මේ හමන කුණාටු සැදුණේ මා වැනි පෙම්වතුන් හෙලූ සුසුමිනි. මේ මහ වරුසා ලෙස වැටෙනුයේ මා වැනි පෙම්වතුන් නෙතින් ගලා ගිය කඳුළු වැල් ය. මේ පැන නටන විදුලිය මැවුණේ මා සිනාවන්ට යන එන මං නැති වී වියරු වැටීමෙනි. මුවගේ නැගෙන සිනාරැළි පෙන්වීමට කෙනෙක් නොමැත. එනිසා සිනාවන් වියරු වී දුව පැන ඇවිදියි. මේ සියල්ලම ඔබ එන තුරුය. ඔබ කවදා ඒ දැයි මම බලා සිටිමි.

තනිවූ මිනිසකු ගේ සිතෙහි පෙරැලි කරන්නා වූ හැඟුමන් මෙම ගීතය තුළින් පිළිබිඹු වේ. ගරා වැටුණු සිතුම් පෙළ තුළින් නැගෙන කඳුළු වරුසාවකින් සිත තෙමා දමයි. අමරදේවයන් සතු භාවමය ගුණය මනාව පෙන්වන අවස්ථාවක් ලෙස මේ ගීතය හඳුන්වා දීමට හැකිය. භාෂාව නොදන්නකුට වුවද ඔහු හඬ තුලින් මතු වන තනි කම පිළිබඳ භාවමය ගුණය දැනෙනු ඇත. නිතර නොඇසෙන මෙබඳු ගීත වල ඇති මිහිර කෙතරම් දැයි බලන්න.

අසන්න

Wednesday, May 27, 2009

මා හැර දමා ගිය මියු ලැසී

ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක
මා හැර දමා ගිය මියුලැසී

හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුණු රසබර මතක මතු කර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී

හිනැහෙමින් වැළපෙමින් තුටු සිතින් පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැර දමා ගිය මියුලැසී

ගායනය - අසංක ප්‍රියමන්ත

ඔබ මා අතහැර දමා දැන බොහෝ කලෙකි. ඔබට මා ආදරය කළ තරම ඔබ දන්නේ නැත. ඔබ විසින් අතහැර දැමූ මට හෙට දිනක්, පෙර මගක් හෝ අරමුණක් නැත. ඒ ඉසිබුවෙක ඔබ ගීතයක් සේ නොසිතූ මොහොතක, හීනයක් සේ නොසිතූ විරාමෙක පෑදී පැරැණි රස බර මතකයන් සමඟින් දැවටෙන්නේ නම්? අප හිනැහෙමින්, වැළපෙමින් පෙම් පිරූ යුගය අවසන් වී ඇත. නමුත් එහි සළකුණක් ලෙසවත් පුරුදු ඉමිහිරි සිහිනයක් සමඟ පැමිණ මා ළඟ දැවටෙන්න. ඔබ මගේ මියුලැසියයි.

අසංක ප්‍රියමන්ත විසින් බොහෝ කලෙකට පසුව ගයන ලද්දා වූ හෘදයාංගම ගීතයකි. පෙම්වතිය විසින් අතැර දැමනු ලද්දා වු පෙම්වතකුගේ හැඟීම් කදිමට මෙම ගීතය තුළ විස්තර වේ. ඔබ කවර දිනෙක හෝ විරහ වේ වේදනාව විඳ තිබේ ද? ඔබ පෙම්වතිය ඔබට සමු දී තිබේ ද? එය විඳ නැති නම් මේ ගීතය අසන්න. හදවත පුරා විහිදී ගොස් හිත කීරි ගස්වන වේදනාව ඔබට ද යන්තම් හෝ දැනෙනු ඇත.

අසන්න

නිය පෙළ සිඳලයි

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුළට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳ ලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්

මව් නැති යාමේ මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැණුනි ද පුතුනේ
දෙරණට මුමුණන නුඹ වෙනුවෙන්

නිදි නැති යාමේ මා ළය තුරුලේ
කැලූම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැණුනිද පුතුනේ
පවනට මුමුණන නුඹ වෙනුවෙන්

සංගීතය - ජයන්ත රත්නායක
ගැයුම - වික්ටර් රත්නායක


සිංහබාහු නාටකයේ සිංහබාහු සිංහයාට විදින්නට එන විට සිංහයා ආදරයෙන් තම දෑත දිගු කර තම පුතරසන යා වැළැඳ ගැන්මට උත්සාහ දරයි. ලෙනක් තුළ සිරගත කළ නොහැකි නවීන චින්තනයත් සම්පරු දායික චින්තනයත් අතර ගැටුම දක්වන සිංහබාහු නාටකය සිහි ගන්වමින් මෙම ගීය පබැඳී ඇත. වැළැඳ ගන්නා විට තුවාල විය හැකි නිසා සිංහයා නිය පෙළ සිඳ දමයි. එසේම පහසුවෙන් සිප ගැන්මට රළු වූ කෙසරු (දැලිපත=රැවුල) බූ ගා දමයි. මව් නැති විට උර මඬලේ ද, නිදි නැති විට ළය තුරුලේ ද පුත්රයා සුරතල් වෙයි. එවිට ඔහු ට දැනෙන දහඩිය සුවඳත්, උණුසුම් සුසුමත් නැගෙනුයේ තමා වෙනුවෙන් ම බව සිතන්නට ඔහු පුතුගෙන් අයැදියි.
වර්තමාන ගීත ක්ෂේත්‍රයේ අයකු අතින් ලියැවුණු උත්කෘෂ්ට ගණයේ ගීයක් ලෙස මෙය සදානුස්මරණිය ව රසික හද තුල පැල පදියම් වනු ඇත. සඳ නාවත් කමක් නැති, සුදු මල් පොකුරක් අතින් දරා එන ඕලාරික පිය ගුණ ගීත අතර හද පිරිමදින ගී කිහිපයෙන් එකක් ලෙස මෙය හඳුන්වා දිය හැක. දෑස පියා ගෙන මෙම ගීතය අසන්න. ඔබට ඔබේ පියාණන් මතක් නොවන්නේ ද?

අසන්න

Tuesday, May 5, 2009

සුසුම්

ආඩි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ
නාඹර තල් ගෙඩි වල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරල් මෝරන විට පාට දෙන්නෙ ලේ
නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ

ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු

දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු
අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලවු
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලවු
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලවු

උතුරේ යුද්ධයට වසර විසි පහකට ආසන්නව ඇත. නොකඩවා කෙරුණු යුද්ධයෙන් සමාජ ජීවිතය හා සිවිල් සමාජය කැඞී බිඳී යන තත්ත්වයට ආසන්නව ඇත. ෂෙල් වෙඩි හා මල්ටි බැරල් වලට ත් කොටි සංවිධානයේ මිනීමරු භීෂණයටත් යටත් ව සැබැවින්ම දුක් විඳින්නෝ වන්නියේ දෙමළ වැසියෝ ය. වන්නියේ වැසියන්ගේ සිත් හි බුර බුරා නගින කෝපය මෙලෙස නන්දා මාලිනිය විසින් ගයන්නා වූ ගීයක පද වැලට නැගී ඇත.
වන්නියේ සුලභ දර්ශන වන ආඩි ලිඳේ වතුර, තල් ගෙඩිය, මිරිස් කරල හා නළලේ තිලකය යන සියල්ලලේ ම රතුපාට ඇති කරනුයේ ලේ බව රචකයා කියයි. එතරම්ම ප්‍රමාණයක් ලේ හැලී ඇති බව එයින් ගම්‍යවේ. ඉන් පසුව ඔවුන් ඉල්ලන දේ පද වැලින් කියැවේ. ලේ නොගලන බිමක ජීවත් වන්නට ඔවුන් අයැදි යි. කැමැති කෝවිලක ට යන්න ට, එනම් ආගමික නිදහස ඉල්ලයි. දරු පැටවුන් බලෙන් අල්ලා ගෙන යුද්ධය ට ගෙන නොගොස් දෙමාපියන් සමගින් ඉන්නට ඉඩ දෙන මෙන් ඉල්ලයි. ඉන් පසුව නිදහසේ කතා කරන්නට ත්, නිදහසේ ඉන්නට ත් ඉඩ දෙන මෙන් ඉල්ලයි. මේ ඉල්ලීම් ඔවුන් ඉල්ලනුයේ ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් යැයි පෙනී සිටින ඊනියා සංවිධානයෙනි. දමිළ ජනතාව දිනා ගත යුතු දේ ඇතත් ආයුධ බලය හා ත්‍රස්තවාදය ඒ සඳහා මාර්ගය නොවේ. ඒ සඳහා වන නිවැරදි මග සොයා බැලිය යුතුය. මෙම යුද්ධයට යවා මිය යන්නේ වන්නියේ දහස් තරුණයන්ය. ඔවුන් ගේ මළ සිරුරු වලින් ගලා ගිය ලේ කඳින් සෙතක් වුණි ද යන්න ඉන් පසුව විමසා බැලේ. වැලි කතර විසින් ඒ සියළු ලේ උරා බී ඇත. අවසන අමු සොහොනක් දිනා ගැන්මෙන් ඇති ඵලය කුමක්ද යන්න් රචකයා පර කතශ්න කර සිටී.
කොටි සංවිධානයේ ෆැසිස්ට් වාදය ගැන පැහැදිලි ලෙසම විදහා පාන ගීතයක් වන මෙය සිංහල ගීත කලාවේ අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෘදංග හා සිතාරය ආශ්‍රයෙන් ශෝකී වූ, නමුත් ඉතා ශක්තිමත් වූ වාදනයක් මෙම ගීතය පුරාවට ම දැකිය හැක. එසේම ලේ යන පදය සමූහ ගායනයක් තුළින් ඉදිරිපත් වීමෙන් ද එහි පොදු භාවය ඔප් නංවනු ලබයි.

අසන්න

අකීකරු හිනාවෙන්

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම හැඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළං වෙන්න
සොඳුරු දඟකාරියේ

සිඟති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලන් ඒ දවස් අමතක ද
කියන් දඟකාරියේ

ගී පද - කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න


මේ ලොවෙහි කිසිම අයකු ප‍්‍රියයන්ගෙන් වෙන් වීමට අකැමැතිය. එනමුත් අපට සමහර විටෙක දී එසේ වෙන් වන්නට සිදු වේ. කලක් වෙන් වී සිටියකු නැවත ප‍්‍රියයන් ගේ ඇසුරට පැමිණි අවස්ථාව සොඳුරුතම එකකි. එවන් විටෙක දී යම් යම් අයගේ වෙනස් වීම්, නිවසේ සිටි අයට වඩා පැහැදිලිව පෙනෙන්නේ ඔවුන්ට ය. වැඩිපුර ම වෙනස් වන පුද්ගලයන් නම් දරුවන් ය.
කථා නායකයා මෙම තරුණිය දකිනුයේ ඇය කුඩා කල දී ය. අකීකරු සිනාවත්. පුංචි රතු මල් සහිත දිග ගවුමත් එයට දෙස් දෙයි. කෙළිදෙලෙන් හැංගි මුත්තන් කෙළිමින් ගත කල ඒ කාලයේ කථා නායකයා ළඟට වී ඇය හැන්දෑ යාමයේ සිරි පොද වැස්ස තුරල් ව දිලෙන (පහන්) තාරකාවන් නැගෙන තුරුත් සිටියා ය. නමුත් ඇය අද වියපත් ව සිටියි. ඇය අද මේරූ තරුණියකි. නමුත් කතා නායකයාට ඇය තවමත් ළදැරියකි. එබැවින් රතු මල් ගවුම ඇඳ ඇය දකින්නට එහු තවමත් බලා සිටියි.
මෙම ගීයෙහි ඇති සැබෑ මිහිර නම් එය බහු අරුත් දනවන රචනාවක් වීමයි. එහි අරුත මෙබඳු අයුරකට ද කැටි කර දැක්විය හැකිය. තම ප‍්‍රියාවිය දිග රතු මල් ගවුම හැඳ කවුළු දොරට වී බලා සිටි කාලයක් ද විය. සිහින් සිරි පොද වැස්ස තුරල් ව තාරකා නැගෙන තුරු ඔවුහු අතීතයේ ළං ව සිටියෝ ය. ගෙවත්තේ දුව පනිමින්, හොරෙන් ම ලං වී, ඔහු හා ඈ සිනාසුනාය. බොහෝ කෙළිදෙලෙන්, හිනැහෙමින්, ළං වෙමින් ගෙවූ එදවස් නිමා ව ඇත. සරල, සුන්දර, ආදර්ශවත් දිවිය ඇය හැර දමා ඇත. එම ජීවන රටාවට ඔහු ඇලූම් කරයි. එමෙන් ම එම ජීවන රටාව නැවත පටන් ගැන්මට ද ඔහුට අවැසිය. මෙම සරල ජීවන රටාව මූර්තිමත් කරන්නා වූ පුංචි රතු මල් වැටුණු දිග ගවුම (එය දිග ගවුමකි, කොට ගවුමක් නොවේ) හැඳ නැවත ඇය දැකීමට ඔහු ආශා කරයි.
ක්ලැරන්ස් විජේවර්ධන ශිල්පියා විසින් සංගීතය සපයන ලද මෙම ගීතය ටී. එම්. ජයරත්නයන් විසින් මනා කොට ගැයුණකි. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ සංගීතයට ගායනා කිරීම නිසා ප‍්‍රබුද්ධ යයි කියා ගත් පරපුරෙහි ගැරහීමට මෙම ගීය ලක් විය. නමුත් මේ ආකාර වු දිලෙන මිණි සැමදා පස යට තැබිය යුතු නොවේ. ඒවාට උචිත අල්මාරියෙහි ප‍්‍රදර්ශනයට ඒවා තැබිය යුතුම ය.

අසන්න

දස මසක්

දස මසක් මා කුස තුල සිටි පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබට දෑස පියා ගෙන
නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා
වග වළසුන්ගෙන් පියෙකු ලබාවා

දැඩිවී වග වළසුන් අතරේ
වළසකු වී අවුදින්
පුතුනේ . . . වීසි කරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ

සැතපී නයි පොළොඟූන් දරණේ
පොළඟෙකු වී අවුදින්
පුතුනේ. . . අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසනු පුතුනේ

ඔබ කෙදිනක හෝ රෝහලක ප්‍රසව සහ නාරිවේද වාට්ටුවකට ගොස් තිබේද? නිතර එබඳු වාට්ටු වල දකින්නට ලැබෙන සිද්ධියක් මෙම ගීතයට පාදක වී ඇත. දුප්පත්කම නිස හෝ අවජාතක දරුවකු වීම නිසා සමහර බිලිඳන් මව්වරුන් විසින් අත්හැර දමා යනු ලැබෙයි. මෙම බිලිඳුන් ගේ ඉරණම කුමක්ද?
මවක් දස මසක් ආදරයෙන් කුස තුල රුවාගෙන සිටි දරුවා බිහි කර ඇත. නමුත් යම් හෙතුවක් ඉසා මෙම දරුවා රැගෙන යාමට ඇයට නොහැකිය. එබැවින් දරුවා වන වදුලකට විසි කර යාමට ඇය සිතයි. නමුත් අම්මා කෙනෙකු වශයෙන් එය එකවරම කළ නොහැකිය. එනිසා නයි පොලොඟූන් ගෙන් මවකත්, වග වළසුන්ගෙන් පියෙකුත් ලැබෙන ලෙස ඇය පතයි. එම දරුවා වියපත් වූ දිනෙක වළසකු සේ හපාකෑමෙන් හෝ පොලොඟකු ලෙස දෂ්ඨ කිරීමෙන් මෙම සමාජය නසා දමන ලෙස ඇය අයැදියි. ඒ වීසි කරන්නටත්, අහක දමන්නටත්, දරුවන් වදනා හෝ තනනා බැවිණි.

මෙම ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබඳිනු ලදුව, එච්. එම්. ජයවර්ධනයන්ගේ සංගීතයෙන් හැඩව, නන්දා මාලිනිය විසින් ගයන්නකි. බොහෝ මත භේදයන්ට පාත්‍ර වූ "පවන" ගීත ඇල්බමයට මෙය ඇතුලත් විය. නිසි ඇගයීමට ලක් නොවු "පවන" තුල වූ මෙබඳු නිර්මාණ ගෙනහැර දක්වීම අප යුතුකමක් වන්නේය.

අසන්න

මේ නගරය

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

ගී පද - පේ‍්‍රමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා


සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්‍යයන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. නමුත් අත් දැකීම් අඩු කාලයේ ඇති කරගන්නා මෙම සම්බන්ධතා වලින් බොහොමයක් වසර හතර පහක් ඇවෑමෙන්, අවසන් වසර වන විට නිම වේ. ඉක්බිති සරසවියෙන් විදුදරයන් ලෙස පිටවූ පසු ඔවුහු නැවත හමු වනුයේ කලාතුරකිනි.
නමුත් මෙහි රචකයා හට නැවත තම පුරාණ පෙම්වතිය හමුවේ. ඒ ඇය අත ගෙන ගමන් කල මාවත දිගම, තම බිරිය හා කුඩා පුතු සමග පිය නගද්දී ය. ඇය දකින ඔහු සිත හීනයක් වන් වූ අතීතයට දිව යයි. ඈ සමග නැවත යන්නට කැමැති සරසවි බිම අද ද ඔහුට පෙනේ. ඈ හා එක් ව අහස උසට පැතූ පැතුම් තවමත් සිහි වේ. නමුත් ඒ කඳුරැුල්ලක් (විවාහය) නම් වූ බාධකයෙන් අද දින ඔහු එහි යාම නවත්වනු ලබයි. ආදරවන්තයන් වෙන් වූවාට ලොව වෙනස් වී නැත. නුවර වැව් ඉවුරේ දිය රළ එදා වගේම අදත් නැගේ. ඒ නුග ගස් පෙළම අදත් වෙනසක් නොමැතිව දළු දමයි. පරම පිවිතුරු පෙමක් බිඳී විසිරී එහි අයිතිකරුවන් දෙපසට වී ඇත. නමුත් ලෝකයත් ජීවිතයත් එලෙසම දළු ලමින්, ගලා යයි.
හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්‍ය ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේ‍්‍රමකීර්ති කවියාණෝ මනාවට විග‍්‍රහ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්‍යාත ශ‍්‍රාවක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

අසන්න

Saturday, May 2, 2009

මාලිනියේ

මාලිනියේ (ඉන්ද්‍රජාලය)
මා මනසේ (අන්ධකාරය)
මා දෑස සොයනා (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ (නොරැවටෙන්)

මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය)
මම ඇය අත ගනිමී 
(ඉතින් එය ඔය තරම් සොඳුරු ද)

පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමී
(වරද නොබැඳෙන ළඳුන් ලොව නැත)

ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


පෙරුම් පුරා ආදරය කරන පෙම්වතිය කෙබඳු තැනැත්තියක් ද? ඇය මුළු හදින් ම විශ්වාස කළ යුතු ද? නැතිනම් ඇය මා රවටනවා ද? බොහෝ දෙනෙකුගේ හිත තුළ ඇති වන්නා වූ මෙම සංකීර්ණ හැඟීම් සුනිල් ආරියරත්නයන් විසින් ගීයකට නැඟුණේ ඉහත අයුරිනි. සිතක් තුළ ඇති වන්නා වු සැක සහගත හැඟීම් මෙම ගීතය තුල මනාවට පිළිබිඹු වේ. 

මාලිනියට කතාකරන විට සිත තුළින් ඇසෙන්නේ ඒ ඉන්ද්රජාලයක් සේ නැතිවී යා හැකි බවත්, මනසේ අන්ධකාරය ඉන් පසු මැවෙන බවත් ය. මා දෑස සොයන රුව ඈ වුවත් නොරැවටෙන ලෙස සිත තුළින් නැවත ඇසේ. එබඳු කාන්තාවක් සමග අතිනත ගන්නා නුඹ අමන (මෝඩ) තරුණයෙකි. අවසන අතිනත ගැනීම එතරම් සොඳුරු වන්නේ ද නැත. මෙම අරුම පුදුම පතිවත රකිනා කුල කුමරිය නුඹට රකින්නට ද නොහැකිය. මන් ද වරද නොබැඳෙන ළඳුන් ලොව නැති හෙයිනි.

මෙලස සිත තුළ මැවෙන කෙළවරක් නැති වාදයක් (obsessive rumination) තුළට අසන්නා මෙම ගීතයෙන් රැගෙන යයි. නාද මාලාවට උචිතම ස්වරයකින් ගයන වික්ටර් රත්නායකයන් මෙම ගීය අමුතුම මිහිරක් ගෙන එයි. ශරීය ලාංකික ගීත ඉතිහාසයේ පළමු වරට සජීවි සංගීතය නොමැතිව, සංගීත පථයකට (track) ගීතයක් ලෙස ගැයුණේ මෙම ගීතයයි. 

ළඳු ඕවිටි

ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා

හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා

අපේ ශ්‍රමය කළු ගල් වී බිම ඇතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා සිටිනවා

පද රචනය - කුමාරදාස සපුතන්තරී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - එඞ්වඞ් ජයකොඩි


නවතම වූ බිම් තීරුවක් මැදින් සුසුම් ගඟක් ඔවුහු ගෙන යන්නාහ. කඳු, ඕවිටි හා මඩ වගුරු යනාදී බාධක මතින් මේ සුසුම් ගඟ ගලයි. හිසට සෙවණ දෙන්නේ හිරු පමණි. පයට සිහිල සැදීමට ඇත්තේ ගිනියම් මහ පොළොව පමණකි. වෙහෙස නිවන්න ට හමන මද නල පවා දූවිලි රැගෙන එන්නා වූ කඨෝර එකකි. පවන් සලා ගැන්මට ඉතුරු වන්නේ ද කර ගැට පිරි දෑත පමණකි. ඔවුන් ගේ ශරි රමයත් දහඩියත් කළු ගලූත් තාරත් වී පොළොව තුල හැංගී යයි. ඒවා ට නිසි ඇගැයුමක් නො ලැබේ. ඇගැයුම ලබන්නෝ මැති උතුමන් ය. ඔවුන් අගයමින් මාවත විවෘත කරනු ලබයි. අප සැමදා පාර අයිනට වී බලා හිඳිනුයේ නැවතත් පාරක් සාදන තුරුය.
මහ පොළොව මත දිවෙන මාවතකට මෙන්ම ජීවිතයේ ශ්රම මාවතට ද මෙම ගීතය එකසේ අදාලය. ජීවිතයේ කඳු ශිඛර පසු කර සුසුම් ගඟක් ලෙස ජීවිතය ද ගලා යයි. වෙහෙස මහන්සිය නිවා ගැන්මට ද සිත් පිනවන යමක් ද නැත. අවසන තමා ළඟ කර ගත් දේ වෙන අයකුගේ නමට පුදනු ලැබේ.
කම්කරුවන් ගේ ජීවිතයේ මෙන් ම අප හැමගේ දුකින් පිරුණු මෙම ජීවන සංගරා්සිමය ගැන හද ට දැනෙන අයුරින් මෙම ගීතය එඞ්වඞ්, සපු හා රෝහණ ත්රිත්වය විසින් නිමවා ඇත.

සිලිං බිලිං

සිලිං බිලිං
කූරු වළලූ - පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ - පියා සලන සූටික්කෝ 
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා

මද්දහනේ හිරු දෙවියෝ - කැඩපතකින් පොරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා

ගේය පද - හේමසිරි ගුණතිලක
සංගීතය - කලණි පෙරේරා
ගායනය - නීලා වික්‍රමසිංහ

බෝනික්කනුත්, කුරුල්ලනුත් අයිති කුඩා දරුවන්ට ය. ලෑලි කෑල්ලෙන් කැපූ බෝනික්කා ගේ සිට ඉලෙක්ට්රොතනික බල මහිමයෙන් සෑදු කතා කරන බෝනික්කන් දක්වා දරුවන් ඔවුන් ට දක්වන ආදරයේ පරලි මාණයෙහි වෙනසක් නොවේ. කුරුල්ලන් ගැන ද එසේම ය. නමුත් දරුවන් ගේ ආශාවන් හි සීමාවන් තීරණය කරන සාධකය බවට අද මුදල් පත් වී තිබේ. පාරම්පරික සමාජ රටාව වෙනස් කරමින් දරුවන් ගේ ලොකයට තොරොම්බල් කාරයා පැමිණෙයි. ඒ පාට පාට මාල, වළලූ සහ අරුමෝසම් පිරුණු හීන පොකුරක් ද සමග ය. ඇඳුමේ ඉරුණු තැන් වහන්නට ආය කටුවක් නැති ඔවුහු කතා කරන බෝනික්කන් හා පියා සලන සූටික්කන් කාසි වලට මාරු වන ලොවෙහි තනි වෙති. අයිති කර ගන්නට ආසා මුත් එයට මුදල් ඔවුන් සතුව නැත. එසේ ම මෙම සමාජ කරඉර මය තුළ කඳුළු වල වටිනාකමක් ද නැත. එම සමාජ සන්දර්භය තුළ පුංචි එවුන් ගේ බෝනික්කන් නමැති හීනය කඳුළු වල බොඳවී යයි. පාරම්පරික ලද දෙයින් තුටු වන සමාජ කරළ පමය දිය කර හරින වත්මන් ආර්ථික දර්ශනය තුළ දරුවන් ගේ හීන බිඳ වැටෙන අන්දම අපේ ඇස් හරින අයුරින් මෙම ගීතය තුළින් කියා පායි.