Tuesday, September 1, 2009

සිතුවිලි ගංගා

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුනා

රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.

1 comment:

eranga said...

සිතැගි සිතුවිල්ල.

අද තමයි මම මේ බ්ලොග් එක දැක්කේ . මේ හැම ගීතයකටම හොද අර්ථයක් තියෙනවා. ඒත් මම ගොඩක්ම ආශා කරන ගීතයක් තමයි මේක. ඔයා ගොඩක් ලස්සනට කෙටියෙන් ගීතයට හොද රසවින්දනයක් ලබා දීලා තියෙනවා.

මෙම බ්ලොග් අඩවියට එන හැම කෙනෙකුටම අරගෙන යන්න දෙයක් ඔයාගේ බ්ලොග් එකේ තියෙනවම යි. නව දැනුම ආකල්ප සොයා යන කව්රු වුවත් මදක් නැවතී යා යුතුම තැන ගී රස විනිස කියලා තමයි මට නම් හිතෙන්නේ. මෙම ගීතය වගේ තවත් ගීත දකින්න අපි කැමතියි.
මම ඔයාට සුභ පතනවා!
සදීපා එරංගි කුමානායක.
හ/ථෙරපුත්ත ජාතික පාසල,
අම්බලන්තොට.