Tuesday, May 17, 2016

තාදු ගණ ජන මනා

තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන්ය ගයන්නේ වයන්නේ

කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි

නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා
ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්

කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳහළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දෙශයක්, රාජ්‍යයක්

අනන්තවූ දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි
අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පළා ගිය මධුර ගී . . .


රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: නන්දා මාලිනී


ඒ ලංකාවේ අඳුරු සමයකි. අසූ ගණන් වල මුල් හරියේ ලංකාව දෙකොණින් දැවෙන විලක්කුවක සිරි ගත්තේ උතුරේත්, දකුණේත් සටන් ඇවිලී ගිය නිසාය. මේ සටන් වල නායකයන් අතිශය ෆැසිස්ට්වාදී, මිනීමරු පන්නයේ වුන් වූ මුත්, මහ පොළොව මත සටන් කල "සටන් කාමීන් / කාඩරයන් / කොම්රේඩ්ලා" දුප්පත් බවින් මිරිකී ගිය සමාජ අසාධාරණයට ලක්වූ පන්තියක් විය. මේ සමාජ පීඩනය පාදක කර ගණිමින් බොහෝ නිර්මාණ බිහිවිණි. "පවන" ප්‍රසංගය එයින් එකකි. දැඩි විප්ලවවාදී ස්වරූපයක් ගත් පවනේ අද්විතීය භාවමය රසැති ගීත කිහිපයක්ද අඩංගුව පැවතිණි. මේ ගීත රචනය කළෙ මහැදුරු සුනිලුන් බවට සඳන් වුවත්, මේ ගීතය සුනිලුන්ගේ රටාවෙන් අත්ගිශයින්ම වෙනස් එකකි. ඇතැම් විචාරකයන් දක්වන පරිදි මෙය ජනතා විමුක්ති පෙරමුණේම සාමාජිකයකු විසින් ලියන්නට ඇතය යන මතයද බැහැර කල නොහැකිය.

විප්ලවවාදිනිය ගයන්නේ නොසැලෙන (තාදු) ජන සමූහයකට. වැයෙන්නේ යකඩ ගොඩවල්ය. ගයන්නේ මිනිසුන්ය. ලෙයින්, යකඩින් කෙරෙතැයි කියනා විප්ලවය ඉන් සනිටුහන් වේ.

"තාදු ගන ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්"

දැහැනෙන් මිදී විප්ලවය ගැන ඇස හැරගන්නා ලෙස ගීයෙන් බල කර සිටියි. සීරුවෙන් සිටින්නේ පුටු මත නොව පුටු කබල් මතය. දරිද්‍රතාවයේ සංකේතයක් අපට එහිදී හමුවේ.

"කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි"

ඇය කියන ගී දල, රළු ඒවා වේ. (ඇත්තෙන්ම වචන භාවිතය ඉතාම රළුය. එහෙත් මිණි කැට වැනි යෙදුම් මේ ගීය තුල එමට දකින්නට ඇත.) ගී ලියා ඇත්තේ ක්මහලේ බිත්තියේ අඟුරු කැටයෙන් මිස මහා කිවියරන් විසින් පොත් වල නොවේ. තමන් ගයන්නේ පීඩිතයාගේ ගීයක් බව එයින් ගම්‍ය වේ.

"ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි"

නැවතත් විප්ලවවාදිනිය කියා සිටින්නේ තමා කම්කරු සමාජයේ කෙනෙකුම මිසෙක, ගීත කෝකිලාවියක් නොවන බවයි. එම ගී වලින් කියැවෙන්නේ ගී නොව, තලන, මඬින ලද, සුවහසක් ආත්මයන්ගෙන් නැගෙන හැඬුම් සහ බැණුම් වල හඬයි. මෙහිදී රාවය නැගෙන්නේ සිතේ ඇති වන හඬට වඩා ආත්මයෙන් ඇති වන හඬෙනි. "තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා - ඉකි බිඳින බැණ නැගෙන රාවයයි" යන්න රළු පරළු යෙදුම් අතර ඇති මිණි කැටයක් වැනි සුන්දර යෙදුමකි.

අපට මිත්‍ර වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැත. ඒ නිසා අතිශයින් මහාර්ඝ වූ රසභාවයන් විඳීමට අපට ඉඩක් නැත. එනිසා එවන් උත්තම කලාවේ ගැඹුරු රස භාව සොයන ජනී ජනයන් ඇතොත් ඉවත්වී යන්නට ඇය ආරාධනා කරයි. මන්ද එවන් ගී ඈ'තින් ගැයෙන්නේ දුලබ ලෙසින් නිසාය. "පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා - ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්" යන්න නැවතත් සුන්දර යෙදුමකි.

කලා මල්දම් යදම් ලෙස, චණ්ඩ මැරවරියක් ලෙසින් බිඳහරින බව කීමෙන් අදහස් වෙන්නේ ඇය සම්ප්‍රදායන්ගෙන් ඔබ්බට යන බවයි. අපට මිතුරු (භද්‍ර) වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැති බව ඈ සඳහන් කරන්නීය.

අවසන් ගී පද වලින් මුළු ගීයම තීව්‍ර අන්තයකට ගෙන එයි. මහත් විස්සෝපයෙන් වුව භාව නිශ්‍රිත ගී ඇත හැර, කම්කරුවන් විසින් කම්හලේ බිත්තියේ ගී පොතෙන් උපුටා ගත්, රළු පරළු ගී පද ඇය ගයන්නේ අනාගත පරපුර වෙනුවෙනි. විප්ලවය සාර්ථක, භද්‍ර වූ කාලයක සහ දේශයක, ඇගේ පරපුර වෙතින් පළවා හරින ලද ඒ මධුරතර වූ ගී, අනාගත පරපුර විසින් ගයනු දකින්නට ඈ සිහින මවන්නීය. ඒ සමගම ගීය එක්වරම කෙළවර වීමේන් විපලවයට සුපුරුදු ක්ෂණික මරණය සංකේතවත් කරනවා විය හැකිය.

පවනේ ගීත අසන විට දැනෙන පළමු කාරණය වන්නේ අසූ ගණ වල මැද හරියේ තරුණ පරපුරේ රසඥතා මට්ටමයි. මෙවන් සංකීර්ණ පද ඇති ගීයක් වටහාගෙන එහි සාරය උරා ගැනීමට තරම් ඔවුහු දැනුමින් පොහොසත් වූ අතර, මේ ගීය පුරා වැයෙන සංගීතයේ විප්ලවීය භාවය වටහා ගැනීමට තරම් විඳීමක් ඇත්තෝද වූහ. විප්ලවය නම් මිරීඟුව විසින් වනසා දැමුණේ මෙවන් රසඥතාවක් සහිත තරුණ පරපුරකි. අනාගත පරම්පරාවල රසඥතාවය කෙළෙසීයාමට ඔවුන්ගේ අඩුව හේතුවක් නොවී යැයි කාට නම් කිව හැකිද? 

Saturday, May 7, 2016

හදේ කොතැනක හෝ


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රෑනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත දවා ගිය ඔබ
දවයි මා සිත
තනි වෙනා මොහොතේ

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්


පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: සුනිල් එදිරිසිංහ


බොහෝ කලෙකට පසු ඔබ දකින්නට ලැබුණේ අහම්බෙන් මෙන්ය. නොදුටූ සේ හැරී යන්නට සැරසුණත්, මා නම කියා අමතනු ලබනු ඇසීමෙන් මඳක් පසුබට වුණෙමි. ඔබ මට අඬ ගසනු සිහිනයකින් මෙන් මට ඇසිණ. මළ හිරු බසින විටෙක, බිම් අඳුරේ වටපිටාව සැඟව යන කලකදී මෙන් මා අඳුරේ හොවා ඔබ ඉවත්ව ගිය'යුරු මා සිත හරහා ඇඳී යයි. ඉන් සිඳිණු, මඩිනු ලැබූ සිත සිය වරක් ඉකි ගසා හැඳුවේ මා කාත් කවුරුත් නැති දුරු රටෙක තනි වූ මොහොතේදීය. ඔබ හදවත කොණෙක තවමත් සැඟව ඇති බව මට වැටහුණේ එවිටය! ඔබ ගැන වූ ප්‍රේමණීය හැඟුම් මියගොස් ඇතැයි සිතුවෙමි. නමුත් ඒවා නිදාගෙන වත් සිට නොමැත. නින්දෙන් නොනින්දෙන් සිටි එම හැඟුම් ඔබේ මඳහස් රෑනින් පිබිදී, මෙතෙක් කල් මා ගෙවූ සුව දැහැනින් මුදවා මා පෙළයි. එනමුත්, ඔබ නැවත වෙන්වී යනු ඇත. මේ අහඹු මිනිත්තු කීපයෙන් පසුව එළඹෙනු ඇත්තේ අති දීර්ඝ නිහැඬියාව, අඳුර, පාළුව සහ හිස් කම පමණෙකි. ඔබට පුදකල ඒ උතුම් පෙම පිළිණ කොට, ඔබ හා මා එකව පැතූ ඒ සුවහසක් පැතුම් නාමයෙන් ඔබ වෙන්ව යා යුතුය. මා නෙතෙහි ඔබ වෙනුවෙන් නැගුනු කඳුල වි‍යළී යන්නට පෙර යදින්නේ, මා තනි කරදා, මගේ මතකයෙන් මැකී යන ලෙසය. අඳුරට, පාළුවට, තනිකමට සහ නිහඬතාවයට මා හද අරක්ගෙන සිටීමට එවිට හැකිවේවි.

සුනිලුන් විසින් ගයන්නට යෙදුණු විරහවේ වේදනාව සිත කීරිගස්වන අයුරින් ගෙන් එන ගීයකි මේ. සපු විසින් වචන යොදන්නේ ඉතාම පරිස්සම් සහගතවය. මුළු ගීතයම "ජීවිතයෙන් පෙත්තක්" ලෙස හඳුන්වන කෙටි කතාවක ශෛලිය බඳුය. ඉතාම සුළු සිද්ධියක් පාදක කොට කෙන සිතුවිලි සමුදායක් එක පිට එක නැග එන අන්දම සපු මනාව දක්වා සිටිට්යි. ගීය පුරාම දැවෙන්නේ අවිනිශ්චිතභාවයයි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකදැයි ඔහු නොදනියි. එසේම සිතිවිලි අවදි වෙන්නටද කල්යල් බලමින් සිටියි. ඒවා අවදි වන්නේද තනි වෙනා මොහොතේදීය. තනිවීම යනු හුදෙකලාව පමණක්ම නොව, දුර්වල වන අවස්ථාවක යන්නද සිතිය හැකිය.

මේ ගීතය පෙම් විරහවෙන් තැවුණු, අමතක කල නොහෙන පෙමක් ඇති සියල්ලන්ගේම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු ගීයෙකි, මෙහි භාවය ඒ තරම්ම ශක්තිමත්ය. 

Sunday, May 1, 2016

පිරිත් පොත සේ


පිරිත් පොත සේ පිවිතුරුයි
බණ කතා මෙන් පින්බරයි
සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ
මං නුඹට පානා ආදරේ

රුවන් වැලි සෑයට උසයි - මහා පැරකුම් වැව වගෙයි
ඉසුරුමුණි පෙම් යුවලවත් විඳ නෑ
අපි අපිට පානා ආදරේ

තුන් රුවන් සරණින් බෙලෙන් - සිව් වරම් දෙවි අනුහසින්
සෙත් පිරිත් සේ වාසනා වේවා
මං නුඹට පානා ආදරේ
නුඹ මටම පානා ආදරේ

පද: ආනන්ද හේවා රංහිඳගේ
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: ජානක වික්‍රමසිංහ

ආදරයේ අගය සහ ප්‍රහර්ෂය වචනයට නැගීම අපහසුය. වෙසෙසින්ම තමා අවට ඇති සියළු දෙනාටම තේරුම් ගත හැකි බසෙකින් එය කිරීම තවත් අසීරුය. මේ ගීය, ආදරයේ ප්‍රහර්ෂය විස්තර කිරීමට දැවැන්ත වචන, උපමා, උපමේය අවැසි නොවන බව පෙන්වන වර්තමාන නිදසුනක් බව මා මතයයි. වචන සරල වනවා මෙන්ම, මේ ගීතය තුල උතුරු දිග තැනිතලාවේ ජනයාගේ ජීවන සුවඳ ද මනාව කැටිවී තිබෙනු දක්නට හැකිය.

කථා නායකයාගේ ආදරය පිවිතුරු, අගය කලයුතු, අති වෙසෙස් එකකි. එය පිරුවාණා පොත් වහන්සේ මෙන් පිවිතුරු එකකි. බණ කතා මෙන් පින්බර, කව් සිළුමිණ මෙන් සුන්දර එකකි. පිරුවාණා පොත්වහන්සේ, ජාතක කතා පොත සහ කව් සිළුමිණ යනු සිහළ සාහිත්‍යය තුල අමරණීය සලකුණු තබන නිර්මාණයන්ය. පිරුවානා පොත් වහන්සේ භක්තියත්, පන්සිය පණස් ජාතක කතා පොත, ව්‍යවහාර සාතිත්‍යයත්, කව්සිළුමින් ව්‍යාකරණ සම්බන්ධයෙනුත් ඉහළම පොත් වේ. එසේම මේ ආදරයේ පිවිතුරු බව, එහි විශාලත්වය සහ ගැඹුර දැක්වීමට රචකයා මේ උපමා භාවිත කරයි.

රුවන්වැලි සෑය සහ පැරකුම් සමුදුර යනු නැවතත් උතුරු දිග තැනිතලාවේ ජනී ජනයාගේ එදුනෙදා ජීවිතයේ හමුවන දැවැන්තම වස්තූන්ය. මේ ආදයර ඒවාටද වඩා විසල්ය. ඉසුරුමුණි පෙම් යුවල යොදන්නේ, ඔවුන් දීර්ගකාලීන්ව පෙමින් වෙලී සිටින නිසාවෙනි. නමුත් කථා නායකයාගේ කෙටි කාලීන ප්‍රේමය තරම් එකක් ඔවුන් ද විඳ නැත! මෙවන් පිවිතුරු සහ ගැඹුරු පෙමක් තුණුරුවන් බලයෙන් සහ සිව් වරම් දේව අනුහසින් හා සෙත් පිරිත් බෙලෙන් රැක දෙන මෙන් කථා නායකයා ඉල්වයි.

මේ ගීතය පුරාවටම යෙදෙන වචන ඉතාම සරල මෙන්ම, අනුරාධපුර පළාතට ආවේණික ගතියක් සහිත ඒවාද වෙයි. මේ ගීතය වසර දහයකට පමණ පෙර ජානක වික්‍රමසිංහයන් විසින් ගායනා කල එකකි. අද ජානක නිහඬව සිටින්නේ ඇයිද යන්න අපට ප්‍රශ්නයකි. ඒ හඬ පෞරුෂය අසීමට අපි අද ද ආශා ඇත්තෙමු.