Sunday, September 27, 2009

මාරියාවේ


මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . .
මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ


ගායනය - ගුණදාස කපුගේ

මාරියාව යනු විශාල රැල්ලකි. එය කුණාටු ආශ්‍රිතව ඇති වන්නකි. සුනාමි රැළි ද මාරියාවන් ලෙස සැලකිය හැකිය. ධීවර ජීවිත ආශ්‍රිතව මාරියාව යනු දරුණු ප්‍රතිඵල ගෙන දෙන්නකි. මාරියා රැල්ලකින් මුහුද ආශ්‍රිතව පිහිටි ඔවුන්ගේ නිවාස විනාශ වී යාම සිදු වෙයි. එවිට ඔවුන්ට ජීවත් වන්නට සිදු වන්නේ තාවකාලික ස්ථාන වලය. නිවාස විනාශ වීමට අමතරව ජීවිත විනාශ වීම පවා සිදු විය හැකිය. ඒ සියල්ලටම වඩා සිදු විය හැකි අනතුර නම් මෑත දියඹේ නවතවා ඇති ඔවුන්ගේ ධීවර බෝට්ටු මාරියාවෙන් සුණු විසුණු වී යාමයි. එවිට නැවත ධීවර උපකරණ සකසා ගන්නාතෙක් බඩගින්නේ සිටීමට ඔවුන්ට සිදු වේ. මාරියාවක ඇති මේ සියලු ලක්ෂණ මැනවීන් විස්තර කෙරෙන, හා මාරියාවක ප්‍රතිඵල ධීවර ඇසකින් දකින අපූරු ගීතයක් ලෙස ගුණදාස කපුගේ ශූරීන් ගයන මෙම ගීතය හැඳින්විය හැකිය.

මාරියාවට නොපැමිණ නවතින ලෙස ගීත රචකයා පවසයි. ධීවර සගයන් විඳින දුක බලා රුදුරු වෙසින් මෙහි නොපැමිණ සිටින ලෙස ඔහු අයැද සිටියි. මේ වළාල කාලයයි. (දකුණු මුහුදෙ නිරිත දිග මෝසම පවතින මැයි - සැප්තැම්බර් කාලය වාරකන් කාලය ලෙසද ඉතිරි කාලය වළාල කාලය ලෙසද හඳුන්වයි. උතුරු හා නැගෙනහිර මුහුදෙ ඊසන දිගා මෝසම පවතින නොවැම්බර් - පෙබරවාරි කාලය වාරකන් කාලය වන අතර, ඉතිරි කාලය වළාල කාලය වෙයි. ධීවරයන්ට අනතුරු රහිතව මුහුදු යා හැක්කේ වළාල කාලයේදීය). එබැවින් නිදහසේ කර්මාන්තය කරගෙන යාමට ඉඩ දෙන මෙන් ඔහු අයැද සිටියි.

කලින් වාරයේ නුඹ (මාරියාව) පැමිණි දින සිට තවමත් පැල අඳුරේය. එහි කිසි එලියක් නැත්තේ සමහර විට මාරියාවට අසුව යමෙක් මිය ගිය නිසා විය හැකිය. නැතිනම් දරිද්‍රතාව නිසා විය හැකිය. පැලේ සතුට සාමය හා සොම්නස නැත්තේත් ඉහත හේතුව නිසා විය හැකිය. නැතිනම් සියළු දේ අහිමි වීම නිසා ගෘහ මූලිකයා සුරාවට යොමුවීම නිසා විය හැකිය. ඒ නිසා ලිපේ ගිණි නොඇවිලෙයි. ලිප ඇවිලෙන්නේ කන්නට බොන්නට ඇතිනම් පමණි. ඒ ගිණි දැන් ඇවිලෙන්නේ පපුවෙහිය. ඒ ශෝකය නිසා විය හැකිය. නැතිනම් අසරණ කම නිසා විය හැකිය. තවත් වරක් මාරියාව ආවොත් තත්වය කොයි ලෙසක වේ දැයි සිතා ගත නොහැක.

චණ්ඩ රළක් ගසන අනුසාරයෙන් මෙහි සංගීතය නිමවා ඇත. කපුගේ ශූරීන් විසින් ගීතයේ වචනාර්ථයටම ගැලපෙන භාව ගුණයක් ඔහුගේ හඬටද මුසු කරනු ලබයි. වෙනස්ම මාතෘකා ඔස්සේ සිය හඬ මෙහෙය වීම පිළිබඳව කපුගේ ශූරීන් නමක් දිනා ඇත්තේ ඇයි දැයි මේ ගීතය ශ්‍රවණය කරන විට සිතා ගත හැකිය. සුනාමියෙන් විනාශ වූ ජීවිත පිළිබඳ මතකය තවමත් සිත් වලින් ඈත් නොවූ සමයෙක මේ ගීතය ඒ ඛේදවාචකය අපට නැවතත් සිහිකර දෙයි. ඉන් ජීවිත වැනසුණු සුවහසක් ජනයා මතක් කිරීමටද, ඉන් දිවි ගලවා ගෙන අදටත් දුකසේ ජීවත් වන්නන්ට අපට හැකි අයුරින් උදවු කිරීමටද මේ ගීතය නැවත නැවතත් අපට මතක් කර දෙනු ඇත.

අසන්න
.

Saturday, September 19, 2009

වළාකුලින් බැස



වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් රිදී කදක් දෝ බැලූ බැලූ හැමතේ

යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ


එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය අඬා දොඩා වී මුවේ බලා යනවා

හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා


පද, සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්


සිංහල ශිෂ්ටාචාරය වසර 2500 කට හිමිකම් කියන ප්‍රෞඪ ශිෂ්ටාචාරයකි. එහි කොඳු ඇට පෙළ වූයේ බුදු දහමත්, වාරි කර්මාන්තයත් ය. වසර සිය ගණනක් තුළ ගොඩනැගුණු මෙම පුදුම එළවන සුළු වැව් කර්මාන්තයන් සිහල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැනට දිය සැපැයී ය. වසර 500ක විදෙස් ආක්‍රමණයෙන් පසුව කැඩී බිඳී ගිය මෙම ශිෂ්ටාචාරය නැවත පණ ගැසීම ඇරැඹියේ 1950 ගණන් වලය. මෙයට සමගාමීව අතීත ජල ශිෂ්ටාචාරයේ මහිම දක්වන මෙබඳු ගීත බිහිවීම ඇරැඹිණි.

කඳු මුදුනක සිට පහළට ගලා එන ගංගාවක් කරන ආයාචනයක් අයුරින් මෙය ලියැවී තිබේ. වළාකුලින් බැස සමන් කුළත් වැඳ එය පටන් ගනියි. එනම් සමනළ අඩවියට වට වතුරින් උපත ලබයි. එය මගෙන් වැඩ ගන්නා ලෙස කියමින් මුහුද වෙත ගලා බසී. එලෙස ගලා බසින ගංගාවට පෙනෙනුයේ දෙපස ඇති රිදී කදක් ලෙස දැවෙන බිම් ය. (මන්නාරම පෙදෙසේ විය හැකිය) අද දින මේ පොළොවේ ගිමන් නිවන්නට තමා එදෙසට හරවන මෙන් ගංගාව ඉල්ලා සිටී. එනමුත් අතීතයේ සිටි දනෝ මහත් වූ වෙහෙස ගෙන තැනින් තැන ගංගාව හරස් කර එහි ජලයෙන් ප්‍රයෝජන ගත්හ. ඉන් තමන්ටත් සෙතක් වූ බවත් ඒ දනන් එනිසා ම ලෝ පතළ වූ බවත් ගංගාව කියයි. එනමුත් මේ කාලයේ වැඩක් නොගත් එම දිය හඬමින් මුහුද වෙත ගලා ගොස් මුහුදු වතුරට මුසුව මිය යයි (වැඩක් ගත නොහැකි බවට පත් වේ).

සිංහල ගීය ළදරු කල දී බිහි වූ මෙම ගීතය සුනිල් ශාන්තයන් සතු පුදුම එළවන සුළු නිර්මාණ ශක්තිය මොනවට දක්වන උදාහරණයකි. ගංගාවක් පැද්දෙමින් නැළැවෙමින් ගලා යන ආකාරය මෙහි සංගීතය තුලින් සිතට දැනේ.

අසන්න
. . .




Sunday, September 6, 2009

නළල වියළවා

නළල වියළවා විගසින් තිලකයක් තබා අතකින්
දොරකඩට ඇවිත් හිට ගෙන - හිනා වෙන නමුත්
තවම කෙහෙරැළින් දිය වෑහෙනව රාජිනී
ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී

දෙවොල් මඩුවෙ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන් දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැදින්
රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි නොවෙද රාජිනී

මග වසන වළා තිර පට ඉරා ගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සඳ
කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනෙ රාජිනී

ගායනය හා සංගීතය - සේනානායක වේරලියැද්ද

සුන්දරත්වය යන පදය ජාති, ආගම්, කුල ගොත් නොහඳුනයි. තරුණියකගේ සුන්දරත්වය ගැන මෙය නොකිවමනාය. අපට නුහුරු නුපුරු යාපනය පළාතේ සොබා සුන්දරත්වය සිතතුළට ගෙනෙන මනරම් පද වැලක් මෙම ගීතය සතුය. ස්නානයෙන් පසුව පළමුවෙන්ම කරන තිලක තැබීම මොනතරම් අපූරුවට රචකයා විස්තර කරන්නේද?

"නළල වියළවා විගසින් - තිලකයක් තබා අතකින්
දොරකඩට ඇවිත් හිට ගෙන - හිනා වෙන නමුත්"
"තවම කෙහෙරැළින් දිය වෑහෙනව රාජිනී"

උතුරු දිග මහා තැනිතලාවේ සුන්දරත්වය විස්තර කරන මෙම පද කෙතරම් ළගන්නා සුළු ද?

"ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
"
"රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි නොවෙද රාජිනී"

මෙම දමිළ තරුණියගේ සුන්දරත්වය මනාව විස්තර කෙරෙන පද, ඇගේ රූපය අප හමුවේ මවා පෙන්වයි. දෙවොල් මඩුවේ වැලි කැට පුරුද්දට වගේ ගණින ඇගේ සංවර භාවය මෙයින් පෙන්වයි. ඇය දේවාලයට යනුයේ බිම බලා ගෙනය. නමුත් දෙවොලේ සීනු හඬට කන් දෙමින් හිරු බැස යන දසුන අතරෙහි තම පෙම්වතා දකින ඇගේ සතුට මුහුණින් පිළිඹිබු වන්නේය. වැහි වළාකුලින් බර බක් මස රාත‍්‍රියක, වළාකුළු ඈත් මෑත් වූ මොහොතක, ඒ අතරින් පුර පස සඳ බැස යන යාමයෙක පවා ඇය සොඳුරුම කවියකි. ඇගේ ඇස් කථා කරයි (භාෂාවන් වෙනස් ය, ඔවුන්ට එමගින් කථා කළ නොහැක). තරුණියන් කතා නොකර කරන අගය පෙන්වීම ඇය කරනුයේ දෙනෙත් පියා ගැන්මෙනි. එවිට පවා ගීත රචකයා දුටු සොඳුරුතම කව වනුයේ ඇයයි. මෙම ගීතය පුරාවටම දිස්වෙන වචන භාවිතයේ සංවර භාවය අගය කළ යුතු කරුණකි. එබඳු සංවරයක් තුළ පවා සිටිමින් වචනයෙන් ඇඳි සිත්තමක් බවට මෙම ගීතය පෙරළා ඇත. සේනානායක වේරලියැද්ද නම් වූ සුවිශේෂ ශිල්පියාගේ මධුර තනුව මෙම පද වැලට අති සාධාරණයක් ඉටුකර ඇත. ඔහුගේ මනැසේ බිහිවූ අළුත් තාලයන්ගේ සංඛ්‍යාව, ඔහු ගේ ගීයන්හි ඇති විවිධතාවය මගින්ම මොනොවට පැහැදිලි වේ. මෑතක සිට නිහඬව සිටියත් නැවත ඔහු නිර්මාණකරණය අරඹනු ඇතැයි ප්‍රබුද්ධ ජනයා උදක්ම බලා පොරොත්තු වෙති.

අසන්න

Saturday, September 5, 2009

සලාම් කියා ගෙන

සලාම් කියා ගෙන ගෙට එන
ළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ

ඔවුහු ආගමේත්, සංස්කෘතියේත් ෆර්දාවෙන් වැසී සිටින්නාහ. පීඩාකාරී පුරුෂ මූලික සමාජයකින් පෙළෙන්නා වූ ඔවුහු තම පැතුම් හා හැඟුම් හිස පළඳනාවෙන් සඟවා ලෝකයේන් සැඟවෙති. තම සංස්කෘතියට අනුගත වූවන් හැර වෙනත් අය ඇසුර ලැබීමට ඔවුනට අවස්ථාවක් නැත. එනමුදු, මෙවැනි ජාති, ආගම් හා කුල භේද පුපුරා සුණු විසුණු වී යන අවස්ථා ද නැත්තේ නොවේ. තරඟකාරී සමජා රටාව තුළ එයට අනුගත වෙමින් ”නාගරිකයන්” වන පිරිසක් අපට කොළඹ පුරවරයේ දී හමුවේ. එබඳු තැනෙකදී හමු වූ සුන්දර මුස්ලිම් තරුණියක මෙම ගීයට නිමිති වී ඇත.

"සලාම්" (ආයුබෝවන්") කියමින් ගෙට ඇතුළු වන්නේ පිරිමි පක්ෂයේ උදවියය. නමුත් නාගරීකරණය වූ සමාජයෙහි අය "සලාම්" කියමින් රචකයාගේ හද දොරින් ඇතුළු වේ. නමුත් ඇගේ ආදරයත්, ළසෝ ගින්නත් ෆර්දාවෙන් වැසී ඇත. ඈ ඇඳ ඇති වලාකුළු සළුවෙන් ඇගේ මුහුණ නමැති අඩ සඳ වැසී ඇත. මෙහිදී වලාකුළු සම කරනුයේ ඈ හැඳි හිජාබයට හෝ බර්කාව ට(සම්ප‍්‍රදායික මුස්ලිම් කාන්තා ඇඳුම්) යි. එයින් ඇගේ ආදරයේ රන් දොරටුවේ වටිනාම මැණික ද වැසී ඇත. ඒ විඳින්නා වූ වේදනා නිසා ඇය හට සිනා වීමටද මතක නැති වී ඇත. රචකයා හා සමීප වීමේ දී ඈ හට (දුකින් වුවද) ඇගේ සංස්කීතිය අමතකව යයි. කුරානයේ අක්ෂර පද දෑසට හමු නොවන්නේ දැයි රචකයා ප‍්‍රශ්න කර සිටිනුයේ එබැවිනි. එසේ අමතක කරන්නට සූදානම් නම් පහන් තරුව සොයා යන්නට (ඈතට පලා යන්නට) රචකයා ඇයට ඇරැයුම් කරයි.

ගයන්නන් වාලේ ගීත ගායනා කරන තරුණ ගායකයන්ට, ගීත තෝරා ගැනීම ගැන මුල් පොත ලෙස සමන් ජයනාත් හැඳින්විය හැකියග වැදගත් ගමනක් හෙමෙන් හා ස්ථිරසාරව යාමට ඔහු උත්සාහ දරයි. මෙම ගීතය එම ගමනේ එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. මුළු ගීතය පුරාවටම දිස්වන කාරණයක් වනුයේ ඔහුගේ කට හඩෙහි පෞරුෂයයි. අරාබි සංගීතයට නෑකම් කියන සංගීත ශෛලියකින් ගීතය හැඩව ඇත.

සමන් ජයනාත් වෘත්තියෙන් සෙවණගල සීනි කම්හලේ විධායක ඉංජිනේරු වරයෙකි. එබඳු පාළු නිසල පරිසරයක අරුම රැගත් ”තණ මල් විල මල් ගෝමර” වැන ගීතත්, කොළඹ මාළිගාවත්තේ ජනාකීර්ණ නිවාස පේළියක සිදුවන සිද්ධියක් අළලා ලියැවුනු මෙම ගීතයේත් භාවයන් අතර ගායකයා දෝලනය වන අයුරු ඔහුගේ නිසග හැකියාවට ලියන ලද අටුවාවක් වැන්න.

ගම ගැන ලියැවුණු ගීත බොහෝය. ඇත්තටම එය මෝස්තරක් වන තරමටම බහුලය. කොළඹත් එහි තදාසන්න නගර වලත් වූ දස ලක්ෂ එකහමාරක හෝ දෙකක දනන්ගේ සිතිවිලි කවියට හෝ ගීයට නැගුනේ වී නම් ඒ ඉතා කලාතුරකිනි. මේ එබඳු විරල, සුභාවිත ප‍්‍රයත්නයක් ලෙස හැඳින්වීම යුක්ති යුක්තය.

අසන්න
.
.
.

පෙම් කල වරදට

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැණුනු දිනේ
යන එන හමුවන මග අවුරාලා
ආදරයක් වැළකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා වෙත
සැනසෙමු ඒ රැකවල් බිඳ දා
චිත‍්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ සුව ඔබට දැනේවි
පෙම්වතියක මුණ ගැහුණු දිනේ
ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ

තරුණියකට වැඩිමහලූ සොයුරන් සිටීම සාමාන්‍ය දෙයකි. නමුත් අප සමාජ ක‍්‍රමය තුළ වැඩිමහලූ සොයුරන් විසින් සිය සොයුරියන් වෙත කෙරෙන බලපෑම් අතිවිශාලය. මේ බලපෑම් වලින් ඇයට නිදහස් විය හැක්කේ ඉතාම තලාතුරකිනි. ඒ අතිශයින් ම උගත් කාන්තාවක් වීම තුළින් පමණි. අනෙක් අවස්ථා වල දී වැඩිමහලූ සොයුරන් ට අවනත ව කල් ගෙවීමට ඇයට සිදු වේ. මෙම තත්ත්වය හොඳ හෝ නරක ලෙස විග‍්‍රහ කිරීම උගහට ය. එනමුත් ඉන්ද්‍රාණි බෝගොඩ ශිල්පිණිය විසින් ගයන මෙම ගීතයෙන් ඒ ගැටුමේ එක් පැතිකඩක් ගෙන හැර පායි.
මෙහි දී ආදරයෙන් වෙළුණ නැගණිය ගේ හැඟීම් සොයුරා තේරුම් නොගනී. නැත්නම් ඔහු සිතන පරිදි තම නැගණිය ගේ පෙම්වතා ඇය අත ගැන්මට නුසුදුසු පුද්ගලයෙකි (ඇත්ත තත්ත්වය එයද විය හැකිය). ඒ තම සොයුරා ආදරය නොහඳුනන බැවිනැයි නැගණිය කියා සිටින්නී ය. එනමුත් ඇගේ සොහොයුරා ඇය ට නිබඳවම උපකාර කරන, සොයා බලන, කෙනෙකි. ඈ ඔහුගෙන් සමාව ඉල්වන්නේ එවන් සාහොයුරකු ගේ සිත රිදවීමට ඇයට සිදු වන බැවිනි. පෙම්වතුන් පෙම්වතියන් යන එන තැන් වල මග රැක හිඳීමෙන් හෝ ඔවුන් මුණ ගැසීම වැළැක්වීමෙන් ආදරයක් දිය කර හැකි නොහැකි බව දනිමු. එවන් ආදරයක් සමගින් සිය සොයුරා ගේ සියළු රැකවල් බිඳ දමා තම පෙම්වතා ගේ දෙප ළඟ සැනසීමට කැමති බව ඈ කියයි. ඒ ඇගේ ආදරය කියන කතාවයි. එවිටම ඇගේ යුතුකම් ද කථා කරයි. තමන් ට මෙතරම් උපකාර කළ සොයුරාගේ අදහස් වලට (ඒවා ආඥාදායක ස්වරූපයක් ගන්නා බැව් අණට හොරා යන වචන වලින් කියැවේ) විරුද්ධව උන්මාද චිත‍්‍රාවත් නොවන බව ඈ පවසයි. ඇගේ ප‍්‍රශ්නය තේරුම් ගැනීමට ඇගේ සොයුරා ආදරය හඳුනා ගත යුතු බව ඈ පවසයි. මෙලෙස ආදරය හා යුතුකම් අතරෙහි සිරවන තරුණියක ගේ සිතුම් පැතුම් කදිමට මෙම ගීය තුළින් නිරූපණය වේ. උභතෝකෝටිකයකට මැදිවන මෙවන් තරුණියක ගේ ඉරණම කුමක්දැයි සිතීමට ගීත රචකයා අපට අවස්ථාව සලසා දෙමින් ගීය අවසන් වේ. එබැවින් බොහෝ සාමාන්‍ය ගීතයන් මෙන් නොව මේ ගීතය අපට හිතන්නට යමක් ඉතිරි කරදෙමින් අවසන් වේ.


අසන්න
.
.
.

Tuesday, September 1, 2009

රුවන්මලී

තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුදුන් වලින්
සිහින් වලාවක් හෙමින් නැගීලා
ඒ තොටමුණ බද රැඳී සිටී

සුදු ඔසරිය ඇඳ වලා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුළෙ තබා ගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ

ගායනය හා සංගීතය - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
රචනය - මඩවල එස්. රත්නායක

වසර 1970 හෝ ඊට ආසන්න සමයෙක මෝසම් වැසි ඉතා තදින් ඇද හැලුණි. වෙනදා පුරුදු තොටමුණෙන් දිය ගන්නට එන ඈ සැඩ පහරට අසුවන්නීය. තරුණ ජවයෙන් හෙබි රුවන්මලී මහවැලිය අරක් ගෙන සිටි ජල රකුසා හා පොර බැදුවද, ඈ ඉන් පරාජිත වන්නී, ජල රකුසා ගේ මුවෙහි සැඟව යන්නීය. රුවන්මලී මුහුණ දුන් මේ ඛේදාන්තය මඩවල එස්. රත්නායකයන් අතින් සුන්දර ගී පෙළකට නඟුණේ ඉන් වසර කිහිපයකට පසුය. රුවන්මලී නැති සොවින් ඇගේ ප්‍රියයා ඈ සැම තැන්හි සොයයි. තොටමුණෙහි, දුම්බර කඳු වැටි අතර හා වලා පෙළෙහි ඇගේ මතක සටහන් ඔහුට හමුවේ. එම ප්‍රියයා ගේ බලාපොරොත්තු තුළ රුවන්මලී නව ජීවිතයක් ලබමින් තවත් ජීවත් වෙයි. වලාකුළු පෙළින් බසින ඇය නැවත දිය ගෙන ඒමට තොටමුණට පා නඟනු පෙනේ. විරහව තූළ මැවෙන අපූරු සොබා සුන්දරත්වය ද මෙම ගීය පුරාම මොනවට දිස්වේ. අමරදේවයන්ගේ සංවර, සෝකාකූල සංගීත රටාව අර්ථය තීව්‍රද කරයි. සිතෙහි රැඳුනා වූ සත්‍ය සෙනෙහස පරයා මරණයටවත් යා නොහැකි බව පසක් කර දෙන අපූරු නිර්මාණයක් ලෙස මේ ගීය හඳින්විය හැකිය.

අසන්න

සිතුවිලි ගංගා

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුනා

රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.