Tuesday, May 17, 2016

තාදු ගණ ජන මනා

තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන්ය ගයන්නේ වයන්නේ

කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි

නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා
ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්

කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳහළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දෙශයක්, රාජ්‍යයක්

අනන්තවූ දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි
අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පළා ගිය මධුර ගී . . .


රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: නන්දා මාලිනී


ඒ ලංකාවේ අඳුරු සමයකි. අසූ ගණන් වල මුල් හරියේ ලංකාව දෙකොණින් දැවෙන විලක්කුවක සිරි ගත්තේ උතුරේත්, දකුණේත් සටන් ඇවිලී ගිය නිසාය. මේ සටන් වල නායකයන් අතිශය ෆැසිස්ට්වාදී, මිනීමරු පන්නයේ වුන් වූ මුත්, මහ පොළොව මත සටන් කල "සටන් කාමීන් / කාඩරයන් / කොම්රේඩ්ලා" දුප්පත් බවින් මිරිකී ගිය සමාජ අසාධාරණයට ලක්වූ පන්තියක් විය. මේ සමාජ පීඩනය පාදක කර ගණිමින් බොහෝ නිර්මාණ බිහිවිණි. "පවන" ප්‍රසංගය එයින් එකකි. දැඩි විප්ලවවාදී ස්වරූපයක් ගත් පවනේ අද්විතීය භාවමය රසැති ගීත කිහිපයක්ද අඩංගුව පැවතිණි. මේ ගීත රචනය කළෙ මහැදුරු සුනිලුන් බවට සඳන් වුවත්, මේ ගීතය සුනිලුන්ගේ රටාවෙන් අත්ගිශයින්ම වෙනස් එකකි. ඇතැම් විචාරකයන් දක්වන පරිදි මෙය ජනතා විමුක්ති පෙරමුණේම සාමාජිකයකු විසින් ලියන්නට ඇතය යන මතයද බැහැර කල නොහැකිය.

විප්ලවවාදිනිය ගයන්නේ නොසැලෙන (තාදු) ජන සමූහයකට. වැයෙන්නේ යකඩ ගොඩවල්ය. ගයන්නේ මිනිසුන්ය. ලෙයින්, යකඩින් කෙරෙතැයි කියනා විප්ලවය ඉන් සනිටුහන් වේ.

"තාදු ගන ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්"

දැහැනෙන් මිදී විප්ලවය ගැන ඇස හැරගන්නා ලෙස ගීයෙන් බල කර සිටියි. සීරුවෙන් සිටින්නේ පුටු මත නොව පුටු කබල් මතය. දරිද්‍රතාවයේ සංකේතයක් අපට එහිදී හමුවේ.

"කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි"

ඇය කියන ගී දල, රළු ඒවා වේ. (ඇත්තෙන්ම වචන භාවිතය ඉතාම රළුය. එහෙත් මිණි කැට වැනි යෙදුම් මේ ගීය තුල එමට දකින්නට ඇත.) ගී ලියා ඇත්තේ ක්මහලේ බිත්තියේ අඟුරු කැටයෙන් මිස මහා කිවියරන් විසින් පොත් වල නොවේ. තමන් ගයන්නේ පීඩිතයාගේ ගීයක් බව එයින් ගම්‍ය වේ.

"ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි"

නැවතත් විප්ලවවාදිනිය කියා සිටින්නේ තමා කම්කරු සමාජයේ කෙනෙකුම මිසෙක, ගීත කෝකිලාවියක් නොවන බවයි. එම ගී වලින් කියැවෙන්නේ ගී නොව, තලන, මඬින ලද, සුවහසක් ආත්මයන්ගෙන් නැගෙන හැඬුම් සහ බැණුම් වල හඬයි. මෙහිදී රාවය නැගෙන්නේ සිතේ ඇති වන හඬට වඩා ආත්මයෙන් ඇති වන හඬෙනි. "තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා - ඉකි බිඳින බැණ නැගෙන රාවයයි" යන්න රළු පරළු යෙදුම් අතර ඇති මිණි කැටයක් වැනි සුන්දර යෙදුමකි.

අපට මිත්‍ර වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැත. ඒ නිසා අතිශයින් මහාර්ඝ වූ රසභාවයන් විඳීමට අපට ඉඩක් නැත. එනිසා එවන් උත්තම කලාවේ ගැඹුරු රස භාව සොයන ජනී ජනයන් ඇතොත් ඉවත්වී යන්නට ඇය ආරාධනා කරයි. මන්ද එවන් ගී ඈ'තින් ගැයෙන්නේ දුලබ ලෙසින් නිසාය. "පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා - ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්" යන්න නැවතත් සුන්දර යෙදුමකි.

කලා මල්දම් යදම් ලෙස, චණ්ඩ මැරවරියක් ලෙසින් බිඳහරින බව කීමෙන් අදහස් වෙන්නේ ඇය සම්ප්‍රදායන්ගෙන් ඔබ්බට යන බවයි. අපට මිතුරු (භද්‍ර) වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැති බව ඈ සඳහන් කරන්නීය.

අවසන් ගී පද වලින් මුළු ගීයම තීව්‍ර අන්තයකට ගෙන එයි. මහත් විස්සෝපයෙන් වුව භාව නිශ්‍රිත ගී ඇත හැර, කම්කරුවන් විසින් කම්හලේ බිත්තියේ ගී පොතෙන් උපුටා ගත්, රළු පරළු ගී පද ඇය ගයන්නේ අනාගත පරපුර වෙනුවෙනි. විප්ලවය සාර්ථක, භද්‍ර වූ කාලයක සහ දේශයක, ඇගේ පරපුර වෙතින් පළවා හරින ලද ඒ මධුරතර වූ ගී, අනාගත පරපුර විසින් ගයනු දකින්නට ඈ සිහින මවන්නීය. ඒ සමගම ගීය එක්වරම කෙළවර වීමේන් විපලවයට සුපුරුදු ක්ෂණික මරණය සංකේතවත් කරනවා විය හැකිය.

පවනේ ගීත අසන විට දැනෙන පළමු කාරණය වන්නේ අසූ ගණ වල මැද හරියේ තරුණ පරපුරේ රසඥතා මට්ටමයි. මෙවන් සංකීර්ණ පද ඇති ගීයක් වටහාගෙන එහි සාරය උරා ගැනීමට තරම් ඔවුහු දැනුමින් පොහොසත් වූ අතර, මේ ගීය පුරා වැයෙන සංගීතයේ විප්ලවීය භාවය වටහා ගැනීමට තරම් විඳීමක් ඇත්තෝද වූහ. විප්ලවය නම් මිරීඟුව විසින් වනසා දැමුණේ මෙවන් රසඥතාවක් සහිත තරුණ පරපුරකි. අනාගත පරම්පරාවල රසඥතාවය කෙළෙසීයාමට ඔවුන්ගේ අඩුව හේතුවක් නොවී යැයි කාට නම් කිව හැකිද? 

Saturday, May 7, 2016

හදේ කොතැනක හෝ


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රෑනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත දවා ගිය ඔබ
දවයි මා සිත
තනි වෙනා මොහොතේ

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්


පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: සුනිල් එදිරිසිංහ


බොහෝ කලෙකට පසු ඔබ දකින්නට ලැබුණේ අහම්බෙන් මෙන්ය. නොදුටූ සේ හැරී යන්නට සැරසුණත්, මා නම කියා අමතනු ලබනු ඇසීමෙන් මඳක් පසුබට වුණෙමි. ඔබ මට අඬ ගසනු සිහිනයකින් මෙන් මට ඇසිණ. මළ හිරු බසින විටෙක, බිම් අඳුරේ වටපිටාව සැඟව යන කලකදී මෙන් මා අඳුරේ හොවා ඔබ ඉවත්ව ගිය'යුරු මා සිත හරහා ඇඳී යයි. ඉන් සිඳිණු, මඩිනු ලැබූ සිත සිය වරක් ඉකි ගසා හැඳුවේ මා කාත් කවුරුත් නැති දුරු රටෙක තනි වූ මොහොතේදීය. ඔබ හදවත කොණෙක තවමත් සැඟව ඇති බව මට වැටහුණේ එවිටය! ඔබ ගැන වූ ප්‍රේමණීය හැඟුම් මියගොස් ඇතැයි සිතුවෙමි. නමුත් ඒවා නිදාගෙන වත් සිට නොමැත. නින්දෙන් නොනින්දෙන් සිටි එම හැඟුම් ඔබේ මඳහස් රෑනින් පිබිදී, මෙතෙක් කල් මා ගෙවූ සුව දැහැනින් මුදවා මා පෙළයි. එනමුත්, ඔබ නැවත වෙන්වී යනු ඇත. මේ අහඹු මිනිත්තු කීපයෙන් පසුව එළඹෙනු ඇත්තේ අති දීර්ඝ නිහැඬියාව, අඳුර, පාළුව සහ හිස් කම පමණෙකි. ඔබට පුදකල ඒ උතුම් පෙම පිළිණ කොට, ඔබ හා මා එකව පැතූ ඒ සුවහසක් පැතුම් නාමයෙන් ඔබ වෙන්ව යා යුතුය. මා නෙතෙහි ඔබ වෙනුවෙන් නැගුනු කඳුල වි‍යළී යන්නට පෙර යදින්නේ, මා තනි කරදා, මගේ මතකයෙන් මැකී යන ලෙසය. අඳුරට, පාළුවට, තනිකමට සහ නිහඬතාවයට මා හද අරක්ගෙන සිටීමට එවිට හැකිවේවි.

සුනිලුන් විසින් ගයන්නට යෙදුණු විරහවේ වේදනාව සිත කීරිගස්වන අයුරින් ගෙන් එන ගීයකි මේ. සපු විසින් වචන යොදන්නේ ඉතාම පරිස්සම් සහගතවය. මුළු ගීතයම "ජීවිතයෙන් පෙත්තක්" ලෙස හඳුන්වන කෙටි කතාවක ශෛලිය බඳුය. ඉතාම සුළු සිද්ධියක් පාදක කොට කෙන සිතුවිලි සමුදායක් එක පිට එක නැග එන අන්දම සපු මනාව දක්වා සිටිට්යි. ගීය පුරාම දැවෙන්නේ අවිනිශ්චිතභාවයයි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකදැයි ඔහු නොදනියි. එසේම සිතිවිලි අවදි වෙන්නටද කල්යල් බලමින් සිටියි. ඒවා අවදි වන්නේද තනි වෙනා මොහොතේදීය. තනිවීම යනු හුදෙකලාව පමණක්ම නොව, දුර්වල වන අවස්ථාවක යන්නද සිතිය හැකිය.

මේ ගීතය පෙම් විරහවෙන් තැවුණු, අමතක කල නොහෙන පෙමක් ඇති සියල්ලන්ගේම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු ගීයෙකි, මෙහි භාවය ඒ තරම්ම ශක්තිමත්ය. 

Sunday, May 1, 2016

පිරිත් පොත සේ


පිරිත් පොත සේ පිවිතුරුයි
බණ කතා මෙන් පින්බරයි
සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ
මං නුඹට පානා ආදරේ

රුවන් වැලි සෑයට උසයි - මහා පැරකුම් වැව වගෙයි
ඉසුරුමුණි පෙම් යුවලවත් විඳ නෑ
අපි අපිට පානා ආදරේ

තුන් රුවන් සරණින් බෙලෙන් - සිව් වරම් දෙවි අනුහසින්
සෙත් පිරිත් සේ වාසනා වේවා
මං නුඹට පානා ආදරේ
නුඹ මටම පානා ආදරේ

පද: ආනන්ද හේවා රංහිඳගේ
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: ජානක වික්‍රමසිංහ

ආදරයේ අගය සහ ප්‍රහර්ෂය වචනයට නැගීම අපහසුය. වෙසෙසින්ම තමා අවට ඇති සියළු දෙනාටම තේරුම් ගත හැකි බසෙකින් එය කිරීම තවත් අසීරුය. මේ ගීය, ආදරයේ ප්‍රහර්ෂය විස්තර කිරීමට දැවැන්ත වචන, උපමා, උපමේය අවැසි නොවන බව පෙන්වන වර්තමාන නිදසුනක් බව මා මතයයි. වචන සරල වනවා මෙන්ම, මේ ගීතය තුල උතුරු දිග තැනිතලාවේ ජනයාගේ ජීවන සුවඳ ද මනාව කැටිවී තිබෙනු දක්නට හැකිය.

කථා නායකයාගේ ආදරය පිවිතුරු, අගය කලයුතු, අති වෙසෙස් එකකි. එය පිරුවාණා පොත් වහන්සේ මෙන් පිවිතුරු එකකි. බණ කතා මෙන් පින්බර, කව් සිළුමිණ මෙන් සුන්දර එකකි. පිරුවාණා පොත්වහන්සේ, ජාතක කතා පොත සහ කව් සිළුමිණ යනු සිහළ සාහිත්‍යය තුල අමරණීය සලකුණු තබන නිර්මාණයන්ය. පිරුවානා පොත් වහන්සේ භක්තියත්, පන්සිය පණස් ජාතක කතා පොත, ව්‍යවහාර සාතිත්‍යයත්, කව්සිළුමින් ව්‍යාකරණ සම්බන්ධයෙනුත් ඉහළම පොත් වේ. එසේම මේ ආදරයේ පිවිතුරු බව, එහි විශාලත්වය සහ ගැඹුර දැක්වීමට රචකයා මේ උපමා භාවිත කරයි.

රුවන්වැලි සෑය සහ පැරකුම් සමුදුර යනු නැවතත් උතුරු දිග තැනිතලාවේ ජනී ජනයාගේ එදුනෙදා ජීවිතයේ හමුවන දැවැන්තම වස්තූන්ය. මේ ආදයර ඒවාටද වඩා විසල්ය. ඉසුරුමුණි පෙම් යුවල යොදන්නේ, ඔවුන් දීර්ගකාලීන්ව පෙමින් වෙලී සිටින නිසාවෙනි. නමුත් කථා නායකයාගේ කෙටි කාලීන ප්‍රේමය තරම් එකක් ඔවුන් ද විඳ නැත! මෙවන් පිවිතුරු සහ ගැඹුරු පෙමක් තුණුරුවන් බලයෙන් සහ සිව් වරම් දේව අනුහසින් හා සෙත් පිරිත් බෙලෙන් රැක දෙන මෙන් කථා නායකයා ඉල්වයි.

මේ ගීතය පුරාවටම යෙදෙන වචන ඉතාම සරල මෙන්ම, අනුරාධපුර පළාතට ආවේණික ගතියක් සහිත ඒවාද වෙයි. මේ ගීතය වසර දහයකට පමණ පෙර ජානක වික්‍රමසිංහයන් විසින් ගායනා කල එකකි. අද ජානක නිහඬව සිටින්නේ ඇයිද යන්න අපට ප්‍රශ්නයකි. ඒ හඬ පෞරුෂය අසීමට අපි අද ද ආශා ඇත්තෙමු.

Saturday, April 19, 2014

දමා යන්නට

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුම ද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩහුන්
ළබැඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මග දකිනා

බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇත ද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන සියළු බැමි සිඳිනා


පද රචනය, ගායනය සහ සංගීතය: සෝමතිලක ජයමහ

එය සිදුවූයේ මීට සියවස් විසි හයකට පමණ පෙරදීය. ජීවිතයේ අරුත කිමැයි සොයන්නට උත්සාහ කළ තෙදවත් රජ කුමරුවෙක් ලෝකය දකින්නට නික්මෙන්නට නියමිත මොහොතයි. එනමුත් ඔහු සිත තුල සැකයෙක් ඇත. තම බිරිය සහ පුතු දමා යන්නට සිත් නොදේ. එවන් අවස්ථාවකදී නැගෙන සිතුවිලි සමුදාය කැටි කරගෙන මේ ගීය ලියැවී තිබේ. රජ මැදුරට එහා වූ ලෝකයට පිවිසෙන්නට ඔහු යත්න දරතත් දමා යන්නට නොහැකි වස්තුවක් ඔහු සමීපයේ වෙයි. ඇය හා ඇති බැඳීම සියළු බැඳුම් දිය කර හැරි කල්හිත් පවතින්නකි.

දුක සැප දෙකෙහිදීම නිති පතා බැඳී සිටියත්, තනි නොතනියට සෙවණැල්ලක් මෙන් සිටියත්, නිම් හිම් නොවන සෙනෙහසින් බැඳී සිටියත් මේ සියල්ල රැකෙන්නේ ජීවිතය රැඳෙන තුරාවට පමණි. ඒ ලැබැඳි සිත් පරව යන තෙක් (එනම් මරණයට පත්වන තෙක්), පමණකි, මේ ලොව අනියත බව දැනෙන්නේ. එවන් වූ අත්වැල කවදා හෝ ලිහී ගිලිහෙන්නට නියමිතය. එයට පෙර සියළු බැමි සිඳින්නට අබිනික්මන කල යුතුවේ. නැති නම් සසර මගෙහි සිහිනයක් වූ ජීවිතය තුල නෑත නැවතත් අතරමං වනු ඇත්තේය.

ගීතය බොදු සාහිත්‍යයේ අංගයන් මනාව විස්තර කරන්නේ එයට අනුගත වන එකදු වචනයක් හෝ භාවිත කරමින් නොවේ. පද රචකයෙකු ලෙස සෝමතිලක ජයමහ දක්වන දක්ෂතාවය මෙහිදී ප්‍රශංශනීය වේ. සරල කාරණා එසේ විස්තර ක්‍රද්දී ගැඹුරු ධර්ම කාරණාද විග්‍රහයට ඔහු රුසියෙකි. නාගර්ජුන හිමියන්ගේ ශූන්‍යතා සංකල්පය ඔහු විස්තර කරන්නේ මෙසේය.

සක්වළ තලයේ සොයා බලා 
සැපතැයි කියනා කිසිවක් ඇත්නම්
පවසව හඳුනා ගනු රිසියෙම්

නීලාකාසේ නිල්ල මුළාවකි 
ධවල වලාවේ සුද ද මුළාවෙකි
නොලැබුනු ලෝකය සැපතැයි සිතු මුත්
ලද පසු එලොවත් කඳුළු ගුලාවෙකි

චන්ද්‍රාලෝකේ පැහැය මුසාවකි 
අඳුරු අගාධේ කළුව මුසාවකි
සැපතේ සිහිනය හෙට දින සතුමුත්
පත් වන දිනයෙදි හෙටද අපායකි


අහස, පොළොව, හිරු, සඳු, අනාත්මය සහ කාලය යන්න මුළාවක් බව මේ ගීතය තුලින් කියා පායි. මේ ගීත දවයම සෝමතිලක ජයමහ ශූරීන්ගේ බොදු දැනුම විදහා පාන ගීතයන් ලෙස දැක්විය හැකිය.

Sunday, January 19, 2014

Will you be there

ගී රස විනිසෙන් සිංහල ගීත පමණක් ඉදිරිපත් කරන්නේ මන්දැයි පාඨකයෝ මගෙන් ප්‍රශ්න කර සිටිති. සංගීතය විශ්ව භාෂාවක් බැවින්, විදේශීය ගීත රස විඳීම්ද ගී රස විනිසට ඇතුලත් විය යුතු බවට ඔවුහු තර්ක කරන්නෝය. එවන් පාඨකයන්ගේ අභිරුචීන්ට අනුගත වීමක් ලෙස විදේශීය ගීත වල රස විනිසක් ඉදිරිපත් කිරීමට ටීරණය කළෙමි.

මේ ගීතය ගයන්නේ මයිකල් ජැක්සන් අන්ද්‍රේ සහ සැන්ඩ්‍රා ක්‍රවුච් විසිනි. ගීතයේ වචන සහ සංගීතය මයිකල් ජැක්සන්ගෙනි. 1993දී තිරගත වූ "ෆ්‍රී විලී" (Free Willy) නම් චිත්‍රපටය උදෙසා ගීතය සම්පාදනය කෙරුණකි. "ෆ්‍රී විලී" යනු "විලී" නම් ඔර්කාවකු (තල්මස් ගණයේ සතෙකි) වටා ගෙතෙන කතාවකි. ඔර්කාවන් ඩොල්ෆින්ටත් වඩා බුද්ධිමත් ලෙස විද්‍යාඥයන් විසින් සලකනු ලබන අතර මේ සතුන් සංදර්ශන වල බෙහෙවින් භාවිත වේ. මීටර ද
යක් තරම් දිගට වැඩෙන, ප්‍රචන්ඩ ලෙස මසුන් දඩයම් කරන ඔර්කා, කුඩා දරුවකු ලෙස මිනිසුන් සමග පණිවුඩ හුවමාරු කර ගනීම අරුමයක් නොවේ. ෆ්‍රී විලී චිත්‍රපටය ගොඩ නැගෙන්නේ එවන් ඔර්කාවකු නැවත සාගරයට මුදා හැරීමේ කතාවක් පසුබිම් කරගෙනයි.



Hold me
like the river jordan
and i will then say to thee
you are my friend

carry me
like you are my brother
love me like a mother
will you be there?

Weary
tell me will you hold me
when wrong, will you scold me
when lost will you find me?

But they told me
a man should be faithful
and walk when not able
and fight till the end
but i'm only human

everyone's taking control of me
seems that the world's
got a role for me
i'm so confused
will you show to me
you'll be there for me
and care enough to bear me

(hold me)
(lay your head lowly)
(softly then boldly)
(carry me there)

(lead me)
(love me and feed me)
(kiss me and free me)
(i will feel blessed)

(carry)
(carry me boldly)
(lift me up slowly)
(carry me there)

(save me)
(heal me and bathe me)
(softly you say to me)
(i will be there)

(lift me)
(lift me up slowly)
(carry me boldly)
(show me you care)

(hold me)
(lay your head lowly)
(softly then boldly)
(carry me there)

(need me)
(love me and feed me)
(kiss me and free me)
(i will feel blessed)


in our darkest hour
in my deepest despair
will you still care?
Will you be there?
In my trials
and my tribulations
through our doubts
and frustrations
in my violence
in my turbulence
through my fear
and my confessions
in my anguish and my pain
through my joy and my sorrow
in the promise of another tomorrow
i'll never let you part
for you're always in my heart.

Vocals: Michael Jakson, Andrae Crouch, Sandra Crouch
Music and Lyrics: Michael Jackson
Film: Free Willy
Album: Dangerous
 

සරුසාර ජොර්දාන් නදිය මෙන් මා රඳවා ගන්න. ඔබ මගේ මිතු කියා එවිට මා කියන්නම්. මා ඔසොවා ගන්න, සහෝදර පෙමින්, මවක මෙන් ආදරය කරන්න, ඔබ ඉන්නවාද? වෙහෙසුන විටෙක ඔබ මා සනසන්න. වැරදි කල විටෙක ඔබ මට බණිනවාද? අතරමං වූ දා මග සොයා දෙනවාද? මිනිසෙකු භක්තිවන්ත විය යුතු බව ඔවුහු කියන්නෝය. වැටුණු විටෙක නැවත නැගිට ඇවිදිය යුතු බවත්, අවසන් මොහොත දවා සටන් කල යුතු බවත් ඔවුහු කියන්නෝය. එනමුත්, මා මිනිසෙක්ම පමණකි! හැමදෙනම මා පාලනය කරන්නට උත්සාහ කරති. මා කළයුතු චරිතය කුමක්දැයි මා වෙනුවෙන් ලියා තබති. මේ අවුල්ජාලය මැද, ඉවසා සිටින්නට, මග පෙන්වන්නට හා මා වෙනුවෙන් සිටින්නට ඔබ ඉන්නවාද? මා අල්ලාගෙන, හිස සෙමෙන් පහත් කොට, සෙමෙන්, නමුත් ශක්තිමත්ව, මා එහි ගෙන යන්න. මග පෙන්වන්න, මගේ ආදරයට ආදරයත්, ආහාරත් ලබා දෙන්න, සිප ගෙන මා නිදහස් කරන්න, මා ආශීර්වාද ලද්දකු වේවි. මගේ තුවාල සුව කර, මා (ආදරයෙන්) නහවන්න. රහසින් මගේ කණට කොඳුරා, ඔබ මා වෙනුවෙන් සිටින බව පවසා මා රැක ගන්න.

අපේ අඳුරුම පැයේදී, මගේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුණු කලෙක, ඔබ මා ගැන සැලකිලිමතද? ඔබ මා වෙනුවෙන් සිටිනවාද? මා විනිශ්චයට ලක්වෙද්දී, අති මහත් කරදර ගොන්නකට මැදිව සිටිද්දී, අපගේ සැකයන් සහ කලකිරීම් මැදින්, මගේ ප්‍රචණ්ඩත්වයේදී සහ කැළඹීම්වලදී, මගේ බිය හා පාපොච්චාරනයන් මැදින්, මගේ වේදනාවන්, දුක සහ සතුට මැද, තවත් හෙට දවසක් පතමින්, ඔබට කිසි දිනෙක වෙන්ව යන්නට නොදෙන්නෙමි. ඒ මන්ද, ඔබ මගේ හදවතේ සදා රැඳී සිටින නිසාවෙනි.

මේ ගීතයේ රූප පෙළ නරඹන විට ඔබට පෙනෙන්නේ විලී නම් ඔර්කාවාගේ වෙනව යාමයි. නමුත් ගීතයේ අරුත එයට සහමුලින්ම වෙනස් එකකි. ඔක්සිමෝරොනයක් (oxymoron) ලෙස හඳුන්වන්නේ මෙවන් සංසිද්ධීන්ය. එම ප්‍රතිවිරෝධතාව චිත්‍රපටයට එක් කරන්නේ ගැඹුරු අර්ථයකි. විලී නම් ඔර්කාවා අයිති කුඩා දරුවා ගේත්, විලීගේත් සිත් තුල සටහන් වන වෙන්ව යාමේ දුක මේ ගීතය තුලින් මනාව ප්‍රකට කරවයි.

චිත්‍රපටයෙන් ස්වායත්තව ගත් කල්හි මේ ගීතය බහු අරුත් සපයන්නක් වෙයි. එහි පද පෙළ දෙස බැලීමෙන්ම එයින් හට ගන්නා වෙනත් අරුත් ලබා ගත හැක. විටෙක එය ආදරවන්තයන් දෙදෙනකු අතර සිදු වන හුවමාරුවක් ලෙස හැඟේ. විටෙක මිනිසක දෙවියන් වහන්සේගෙන් කරන ඉල්ලිමක් ලෙසත් හැඟේ. ගීතයේ සොඳුරු බව වැඩි වන්නේ එවිටයි. මයිකල් ජැක්සන් ගේ සැඟවුණු සාහිත්‍යමය කුසලතා පුදුම එළවන සුළු බව නම් නොකියාම බැරිය.

මේ ගීතය 1990 මුල් යුගයේ අති මහත් ජනප්‍රියත්වයට පත්වූ එකකි. ලොව හොඳම චිත්‍රපට ගීත අතරට මේ ගීතය නිතැතින්ම එක්වන්නකි.

Sunday, December 8, 2013

සුලං හමයි

සුලං හමයි - ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුලී

බිම වැතිරෙයි - යාය නිදයි
අතු හැකිළෙයි -  පිණි බේරෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී

ලොව සසලයි - නුඹ නිසලයි
ලොව නිසලයි - නුඹ හිනැහෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී


ගායනය: මහාචාර්ය සනත් නන්දසිරි
සංගීතය: ගුණදාස කපුගේ

නුඹ මල් කැකුලකි. නුඹ දන්නේ හඬන්නට පමණි. කුසගින්නටත්, වේදනාවටත්, සතුටටත්, බියටත් නුඹ දන්නේ හඬන්නටම පමණි. එනමුත් නුඹ හඬන්නේ මගේ දුකට යයි වරෙක සිතේ. අවට ලෝකයේ මඳ සුලං හමද්දී ලොව නැලැවී යයඉ. එවිට නුඹ සුවෙන් නිදයි. නමුත් සැම විටම ලොව සුව දායක නැත. බිම වැතිරෙන තරම් දරුණු පහරවලට ලක්වන්නට සිදුවෙයි. එය දැක දැක පාත්‍රවර්ගයා නිදනුද පෙනේ. එවිට සීත පින්නෙන් බොඳවී යන කඳුලු සඟවා අතු හකුලා ගනිමි. සසල ලොවේ නුඹ විටෙක නිසලය. ලොව නිසල වන විට නුඹ මා හා හිනැහෙයි. එනමුත් මගේ දුකට නුඹ නොහඬන්න. මගේ දුක මමම සඟවාගෙන විඳගන්නම්. 

බාගෙන අහන්න

Sunday, December 1, 2013

පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ -  මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්


ගායනය: නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්


මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!

අසූව දශකයේ නන්දා මාලිනිය විසින් ගැයූ සිත් පාරවන වියෝ ගීතයකි පෙර දා මහ රෑ. අසම්මත පෙම්වතුන්ගේ වෙන්ව යාම හද පාරවන අන්දමින් ගෙන හැර දක්වන පද වැලක් මේ ගීතය සතුය. නමුත් මේ ගීය සාධනීය වන්නේ එහි වූ සංගීතය නිසාවෙනි. මිනිස් කටහඬ සංගීතය ලෙස යොදා ගත් ශ්‍රී ලාංකික සංගීතඥයින් අතර මුල් තැන් ගන්නේ කේමදාස හා ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. ස්ටැන්ලි පීරිස් මේ මග අනුව යමින් මිනිස් කටහඬ සංගීතය ලෙස මෙහිදී යොදා ගන්නේ විප්‍රයෝගයේ භාවයන් තීව්‍ර ලෙසම දැක්වීමටය. මා සිතන අන්දමට මේ ගීතය ස්ටැන්ලිගේ අනගිතම ගීතයද වෙයි.