Monday, April 27, 2009

පබළු නගේ

පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇළ ලඟ වත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා 
පාන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඬේ ඉස්මත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

ගී පද - අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය හා ගායනය - ගුණදාස කපුගේ


රජරට මහා තැනිතලාවේ උපන් ඔවුහු එහිම වැස එහිදී ම පෙමින් බැඳුණහ. නමුත් හදිසියේ ම ඉන් එක් අයෙක්, සුමනා වෙන්ව ගියා ය. යළි නො එන්නටම වෙන්ව ගියාය. ඈ වෙනුවෙන් ඇගේ පෙම්වතාගේ සිත් හි උපන් වේදනාව මෙම ගීය තුළ සනිටුහන් කර ඇත. මෙම ගීය පුරාවටම දිස්වෙන උපමා රූපක තනි කම, අහිමි සුන්දරත්වය, විනාශය යන සිද්ධි ත්‍රිත්වයම එක විට නිරූපණය කරයි. වැවෙහි පිපුණු නිකිණි, කෙකටිය සුන්දරය. නමුත් ඒවා ඉක්මණින්ම පරව යයි. කෙකටිය පිපෙන්නේ ද අඩ සඳ එළියට ය. පුන් සඳ මෙන් නොව අඩ සඳ ඉක්මණින් බැස යයි (සුමනා ගේ ජීවිතය ද අඩ සඳට සමානය). වැව් කන්දේ (කණ්ඩියේ) ගස් ඇත්තේ දුරින් පිහිටන සේය. බෝ ගසක් එහි ඉතාම දුර්ලභ ගසකි. එනිසා එය තනිව නැගී සිටියි. බෝ ගස වැව් කන්ද (සුමනා ගේ ජීවිතය මෙන්) පුපුරුවා දමයි. තල මල අලංකාරවත් දසුනකි. අලංකාර සුමනා ද තල මලකි. එක් වරක් පිපී මිය යි. මළ හිරු එලිය යන යෙදුම ද විනාශය හඟවන යෙදුමකි. මළ හිරු එළියෙන් තවමත් දිදුලන නිසා මිහින්තලා පව්ව බටහිර දෙසින් ඇත. කොක්කු පියාඹන්නේත් බටහිර දෙසටය. එය ද විනාශය හඟවන අසුබ ලකුණකි. 
වැව් කන්දේ බෝ ගසේ සෙවණත්, වැව් දියේ කෙකටිය වල අසිරියත්, තල මලේ සුන්දරත්වයත් විඳින්නට සුමනා අද නැත. රචකයා පෙන්වන්නා වූ අහිමි වූ සුන්දරත්වය යනු මෙයයි. එසේම ඇළ ඉස්මත්තේ වූ ඒ දණ්ඩ මත තනිව සිටින ඔහුට, මදටිය වැටී, සඳේ පිළිබිඹුව කැලතෙන අයුරු පෙනෙයි. මෙවිට සුමනා ඇත්තේ මිනී පෙට්ටියකය. ඈ දෙපස පොල්තෙල් පහන් දෙකක් ද දැල්වේ.
මෙතරම් කුඩා පද රචනාවකට මෙතරම් වූ උපමා රූපක සමුදායයක් යෙදීම තුළම ගීත රචකයකු ලෙස රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගේ විශිෂ්ටතාවය මනාව ප්රකට වේ. ගීත ඉතා ස්වල්පයක් ලියන ලද නමුත් ඒ සියල්ලම අග්‍රගණ්‍ය ඒවා වන බවට ඔහු වග බලා ගෙන ඇත. මෙම ගීතයේ වචනයක් පාසාම ගීයෙහි අරුත නැවත නැවතත් කුළු ගැන්වෙයි. දේශීයව ඇසෙන මළ බෙරයෙහි තාලය පදනම්ව ගැයෙන මෙම ගීතය ගුණදාස කපුගේ ශූරීන් ගේ සදානුසමරණිය නිර්මාණයකි.

අසන්න

හෙවණැලි ද ඉකි බිඳී

හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ
ගහකොළ ද පණ අදී බිම වැතිරී
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමෙන්

ගිරි හිසින් උදා වූ මධු සඳ බැස යයි
වන හිසින් නැගී ආ පිළි රැවු වියැකෙයි
මුණින් තලාවේ සුධවල යහනත 
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන්

කුළුඳුලේ පිපී ආ මධු මල මැලැවෙයි
දොළ දිගේ ගලා ආ දිය වැල බොරවෙයි
පිදූ පාපයෙන් හද සැලමුතු පෙම
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන්

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - නන්දා මාලිනී


ඈ හැර ඇගේ පෙම්වතා කොහි යන්නට සැරසේ ද? ඔහු නොමැතිව ඈ කෙසේ දිවි ගෙවන්න ද? ඇගේ සුළු වරදක් උදෙසා මෙලෙස ඈ හැර යා යුතු ද? ප්‍රිය විප්පයෝගයෙන් වලප්නා තරුණියක ගේ හැඟීම් හද සසල වන අයුර දක්වන්නා වූ ගීතයකි මෙය. ඇගේ ආලය කුළුඳුලේ පිපී ආ මධු මලකි. දොළ දිග ඇදී ආ සුනිමල දිය දහරකි. පර්වත මතින් නැගී ආ පුර සඳකි. වන හිසින් නැගී හා පිළිරැවු දෙන (කුරුළු) හඬකි. ඒ මධු මල දැන් මැලැවෙයි. ඒ දිය වැල දැන් බොර වෙයි. ඒ මධු සඳ බැස යයි. ඒ පිළිරැුවු වියැකෙයි. හද සැලමුතු පෙම (ප්‍රථම ප්‍රේමය) වෙන අයෙකුට පිදූ පවින් ඈ අද සුදු යහන (මංගල යහන විය හැකිය, මිය යාමට සූදානමින් විය හැකිය) මත මුනින් තලාවී තැවෙයි. ඇගේ ලොවේ සෙවණැලි පවා දැන් ශෝකයෙන් ඉකි බිඳි. ඔහු ආලය මෙන් ම ඇගේ සිහින ලොවේ ගහකොළ ද දැන් මියෙන්නට ආසන්නව පණ අදී. ඇගේ ආලය (ඇගේ ජීවිතයට සම කර) අභය දෙන මෙන් ඉල්ලා සිටී.

ගීතයක් සතු ඉතා කෙටි කලක දී සුවිසල් හැඟුමක් ඇතිකරන්නා වු ගුණය මැනැවින් පරරේ කට කරන පද වැලකි. කැඞී බිඳී යන. වියැකී යන දේ උපමා රූපක ලෙස භාවිතා කර ඇත. සඳ, මල, දිය, නද යන මේ සියල්ල ආලය පිළිබඳ වූ සංකේතයන් ය. එසේ ම ඒවා අස්ථිරත්වය පිළිබඳ සංකේත ද වෙයි. මෙම ගුණයන් දෙකම දක්වන්නා වූ උපමා රූපක ඉතා පරිස්සමින් පද වැල සඳහා රචකයා භාවිත කර ඇත. මේ ගිතය අසන්න. ඉන් ජනිත වන හැඟීම මෙහි විස්තර කිරීමට අනවශ්ය තරමටම ප්රභලය.

අසන්න

ඔරුව වසා

ඔරුව වසා වැලි පුරවා 
එගොඩ ගොඬේ ගං ඉම සොයලා
හිමිදිරියේ කාසි අතේ පැදපල්ලා
සඳ එළියයි පාළු මකන්නේ
තරු එළියයි පාර කියන්නේ

රකුසු දියේ ගැඹුරේ කිමිදී
වැලි කන්දේ තෙත් පස හමුවී
කූඩ හදා ගොඩට එවා කඹයේ දවටා
කඹයෙන් ම යි ගොඩට ඇදෙන්නේ

ඔරු බැම්මේ ඈතට දුවලා
රිටි පොවලා වැර යොදපන්නේ
හෙට උදයේ හිමිදිරියෙ ම කාසි උනන්නේ
ගංගාවේ ජීවත් වෙන්නේ

ගායනය - ටී.එම්. ජයරත්න

වැලි ගොඩ දැමීම ඉතාම වෙහෙසකර රැකියා වලින් එකකි. මෙබඳු රැකියා කරන මිනිසුන් අප අතර ඉන්නා බව පවා පිළි ගැනීමට බොහෝ විට අපි මැළිවන්නෙමු. ගැඹුරු ගං දියේ පතුලටම කිමිදී කන් අඩි පැලෙන ජල පීඩනය දරමින් ඔවුන් වැලි ගොඩ දමති. වැර යොදා කෙරෙන මෙම පිහිනුමක දී ඔවුන් ඉහළට ඇද ගනු ලබන්නේ බඳ වටා දැමූ ලණුවක් ඉහළට ඇදීමෙනි. කිමිදුම් කරුවාගේ මුළු ජීවිතය ම එම විනාඩි කීපය තුළ රැඳී පවතිනුයේ එම ලණුව මතය. එබැවින් කඹයේ දවටා ඔවුන් තම ජීවිතයත් ආර්ථිකයත් එවති. 

වැලි ගොඩ දැමූ පසු බරැති ඔරුව ගොඩට ගෙන ඒමට වැර යොදා රිටි ගැසිය යුතුය. හෙට දිනයේ කාසි උණන හීනය සිතෙහි තබා ගෙන ඔවුහු සැමදා ගංගාව සමග ජීවත් වෙති. ඔවුන් ගේ ජීවිතයේ එළිය දීමට ඇත්තේ සඳ එළිය පමණි. ජීවිතයට මඟ පෙන්වීම ට ඇත්තේ තරු එළිය ම පමණෙකි.

අසන්න

වසන්තයේ මල්

වසන්තයේ මල් පොකුරු නෙළා 
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා 
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළෙඟ් විසිරෙනු මා දුටුවා
සුළෙඟ් විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා

ගී පද - මහගමසේකර
සංගීතය හා ගායනය - අමරදේව

ආදරයේ සුන්දරත්වය හිමි හිරිමල් තරුණ වියට පමණක් නොවේ. ආදරය වයස් භේදයකින් තොරව පවතින්නකි. එබඳු වූ ජීවිතයේ වසන්තය ඉක්මවා පවත්නා වූ නොමියෙන ආදරයක් ගැන මෙම ගීතයෙන් කියැවේ. (ජීවිතයේ) වසන්තයේ දී ඇගෙන් පෙම පිළි ගැන්මට බලාපොරොත්තුව සිටින ඔහුට සොඳුරු වූ එම වසන්තය ගෙවෙන තුරුම බලා ඉන්නට සිදු වේ. පෙම්වතිය අතැ වූ මල් වල පෙති සේම ඇගේ යෞවනය ද වියැකී යයි. ගහකොළ මැලැවෙන (ජීවන) ගිම්හානයේ දාහය විසින් තරුණකම ද මළවා දමයි. ඒ ගිම්හානයේ අග දී ඇය ඔහු වෙත පැමිණෙයි. එසේ වුවත් යෞවනය නම් මලෙහි අවසාන විසිර ගියත් ආදරය තුළින් ඔහු ඇය ව දකී. මෙම ගිතය අසන විට සිතට නැගෙන හැඟීම ඉතා තීව්ර එහෙත් විස්තර කර දීමට අපහසු එකකි. ගිම්හානයේ මුදරාව තැවරුණු ගීත වලට ගුරු වූයේ මෙම ගීතය බැව් තරයේ ම අදහමි. උත්තර භාරතීය රාගයක් පදනම් කරගෙන ගැයෙන මෙම ගීතය සිංහල ගීත ඉතිහාසයේ අද්විතීය තැනක් හිමි කර ගන්නකි. 

 

අසන්න

සිනහ වෙනු මැන වේදනා පිසදා

සිනහ වෙනු මැන වේදනා පිසදා
සයුර රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

කඳුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ


ඔබට මා හා පෙමින් නොබැඳී ඉන්නට කාරණා කිම් ද? ඒ මගේ අතීතය ද, එසේ නැතිනම් ඔබේ අතීතය ද? කඳුළ, දොම්නස නොමැති, බමර ගුමුව ඇසෙන, එක්ව මියුරු කවි ගී ගයන වසන්තය අපි දකින්නේ කවදා ද? පළමුව අපි අප සිත තුළ වූ මෙම නොගැලපෙන බව ඉවත දමා ගත යුතුය. මන්ද වෙරළ රළ සමග වත්, වීණා නාදය එහි තත් සමග වත්, අහස සඳු සමග වත් තරහ නොවන බැවිණි. එබැවින් අතීතය ඉවත දමා අපි එක් වන්නෙමු.

නැවත වරක් සුනිල් එදිරිසිංහ / රෝහණ වීරසිංහ ද්වය අප හට හෘදයංගම ගීතයක් ගෙන එයි. කැඩුනු බිඳුණු මතක සමුදායක්, අමතක කල යුතු සිද්ධි බහුල අතීතය අතහැර නිර්මල වූ ආදරයක් සොයා යන ගමනක් ගැන ගීත රචකයා විස්තර කරයි. මෙම ගීතය මුලින් ම මා ඇසුවේ 1984 දී පමණය. මට වයස යන්තම් අවුරුදු 7ක් පමණ විය. නමුත් එදා මෙම ගීතය ඇති කල සුපහන් හැගුම් සමුදාය තවමත් මගේ සිතේ ඒ අයුරින්ම රැඳී තිබේ.

අසන්න

Friday, April 24, 2009

මලේ රුවට

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බමර නුවන් වෙළන්නනේ
පැතුම් සිනාසේ - නැහැ සිතුම් මුළාවේ
සිනාවී ආවා - මුළා වී ආවා

සිත ඒ රුවේ වෙළිලා තියේ
එය ආදරේ හඳුනා නොවේ
සිනාවී ආවා - මුළා වී ආවා

මදිරා මලේ උතුරා හැලේ
සැමදා ලොවේ නැහැ ඒ රසේ
සිනාවී ආවා - මුළා වී ආවා

ආදරය කෙබඳු ද? එය ජීවිතය සනහා ලන සිහිල් ඔසුවක් ද? එසේ නැති නම් විෂ කැටි කළ කපුරු මලක් ද? ශිෂ්ටාචාරය පටන් ගත් දා පටන් මේ ගැන වාද විවාද එමට පවතින්නට ඇත. ආදරය ගැන සර්ව සුභවාදී (optimistic) හා සර්ව අසුභවාදී (pessimistic) දෘෂ්ටි කෝණ වලින් බලන තරුණයන් දෙදෙනකු අතර සංවාදයක් ලෙස මෙය ලියැවී ඇත. ටී. එම් ජයරත්න හා සුනිල් එදිරිසිංහ යන ශිල්පීන් දෙදෙනා ගේ හඬින් මෙම ගීතය හැඩ වී ඇත. මෙම ගිතය සුවිශේෂ වන්නේ එය ඉදිරිපත් කරන ආකාරය නිසාය. වික්ටර් රත්නායකයන්ගේ මාලිනියේ ගීතය හැරුණු විට මෙම ගීතයට කිට්ටු වන ආකාරයේ වෙනත් නිර්මාණයක් සොයා ගැනීම හෝ අපහසුය. විවාදයක් ලෙස කෙරෙන මේ ගීතයේ දී අවසන ඔවුන් එකග වනුයේ එක් දෙයකට පමණි. එනම් මල් වෙත බමරුන් ඇදෙන බවට පණකි.

හිම කඳු අතරින්

හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා

මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා

එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ
දෑත නඟා නිල් වරල මුදා හැර 
බලන්න මා දෙස මඳහස පාලා

ගී පද - සරත් අමුණුගම
සංගීතය හා ගායනය - ආචාර්ය අමරදේව

අප සැම දෙනාගේ සිත තුළ වෙසෙන සිහින කුමරියක් හෝ කුමරකු වෙයි. මෙම ගීතය එබඳු සිහින කුමරියක ගැන කියැවෙන්නකි. දෑස පියා ගෙන මෙම ගීතයට මඳක් සවන් දෙන්න. ඔබ සැබෑවටම ආදරය කරන තැනැත්තිය ගේ රුව ඔබට සිතතුළ ඇඳී පෙනිය යුතුය. ගී පද හා සංගීතය එක්ව මෙයට වඩා කම්පනයක් සිත තුළ ඇති කරන ගීත සොයා ගැනීම ඉතාමත් අපහසු ය. රුවැති තරුණියක් පිය සලන සුමුදු තාලය මෙහි සංගීතය තුළින් මනාව පෙනෙයි. මෙයට වඩා වැඩි විස්තර ම විසින් ලිවීම අනවශ්ය ය. ගීතයට කන් දෙන්න. ඒ අතර ඔබේ හදවතට ත් කන් දෙන්න.

අසන්න

සියාතුවේ

සියාතුවේ මා මිතුරේ
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ
සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුණා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුනා සිත දැවුනා කෙත කර සුළ`ගින්

අඬලා කුමට ද මිතුරේ සියාතුවේ
හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අප හැමටයි සියාතුවේ

එය වර්ෂ 1995 යි. පසු කලෙක එ.ජා.ප. රජය විසින් කරළියට ගෙන ආ ජල කළමනාකරණ පනත ගෙන ඒමේ මූලික සූදානම මෙකල සිදු වෙමින් පැවතිණි. රජ රට ගොවි සංවිධාන වල දැඩි විරෝධය නොතකා මෙය ගෙන ඒමට එකල රජය උත්සාහ ගනු පෙණින. රජ රට ගොවීන් ගේ සිතුම් පැතුම් කැටි කල මෙම මුලින් ම අසන්නට ලැබුනේ මේ වටපිටාව තුළ දී ය.

සියාතු නම් අඳ ගොවියා පවා තම කුඹුරට ආලය කරයි. බුසල් බරින් අස්වැන්න ගත් කුඹුරෙහි පැලපත (තවාන් ගොයම) පවා සදා අවසන් ය. නමුත් වතුර හොරුන් දිය හොරකම් කර ඇත. ගොයමත් සිතත් කර සුළගින් මැලවී යනු ඇත. එනමුත් මුව රළ මෙන් කුසීතව සිටිනු නොහැකි ය. අප එක්ව වැවේ මහ සොරොව්ව (විශාලම සොරොව්ව ජල කළමනාකරණය යි) හැර දමා දිය ලබා ගත යුතුය. ගීත රචකයා එනයින් ආරාධනා කරනුයේ මේ පණත පැරදවීමට යි.

හෘදයාංගම හඬක් ඇති සුනිල් එදිරිසිංහ හා ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහ සුසංයෝගයට මෙබඳු අර්ථාන්විත ගීතයක් අප වෙත ගෙන ඒම ගැන සැබැවින්ම ස්තුතිවන්ත විය යුතුය.


සොඳුරිය

කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය


පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය


ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


ගේය පද - සමන්ත හේරත්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස්


ප්‍රේමය වනාහි නිත්‍යම වූ ස්ථිර වූ දෙයක් ලෙස බොහෝ තන්හි දැක්වේ. මෙම ප්‍රසිද්ධ අදහසට අනුගත නොවී කාලය විසින් ආදරය දිරාපත් කරවන අන්දම ගැන අප මනස කුළු ගන්වන ගීතයකි මෙය. ප්‍රේමය, කාලය විසින් කා දමා ගිය පසු කවියා ප්‍රේමයේ නටබුන් දෙස වත් බලා සතුටු වීමට උත්සාහ දරයි. ප්‍රේමයේ අවසාන නෂ්ටාවශේෂ වන පෙම්වතියගේ සිත ඇඳි රුවත් ඈ සමග බෙදා හදා ගත් සතුට පමණක් නොව දුක ද කාලයේ වැලි තලයට යටව ගොස් ඇත. එම නටබුන් වත් දක්නට නොලැබීමෙන් කවියා මහත් සන්තාපයට පත්වේ.

මෙහි පද රචනයට මහත් වූ සාධාරණත්වයක් කරමින් අමරසිරි පීරිස් ශිල්පියා මෙය ගායනා කරනු ලබයි. අද ලංකාවේ ප්‍රමුඛතම ගායන ගීල්පියා (vocalist) ඔහු බව මෙම ගීතයට සවන් දෙන විට නිතැතින් ම දැනෙයි. කවදත් වෙනස් ආරක සංගීත නිර්මාණ කරන කේමදාසයන් මෙම ගීතය සඳහා ද පෙර නො ඇසූ විරූ සම්ප්‍රදායයක් බිහි කරයි. ගීතයේ අවසන් භාගයේ දී ගීතය ගායකයා හා වයලීන් හා චෙලෝ වාදකයන් අතර තරඟයක් බවට පත්වේ. ගීතයේ සැබෑ අලංකාරය දෙගුණ තෙගුණ කීරීමට මෙම සංගීත සම්ප්‍රදායය ඉවහල් වී ඇත.