Thursday, May 20, 2010

නාරද ඔබට නිවන් සුව!


සිංහල ගීතයේ අමරණීය සිහිවටන රැසක් එක් කළ ගායකයානෙණි, ඔබ 76 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර යයි. නමුත් සදාදරණීය කලාකරුවකු ලෙස ඔබ අප සිත් නම් හැර නොයනු ඇත්තේම ය.

1960 දශකයේ කාර්මික ශිල්පියකු ලෙස ගුවන් විදුලියට එක් වූ ඔබ තුල වූ නිසග කුසලතා හඳුනා ගැනීම වෙනුවෙන් අමරදේවයන්ට අපි තුති පුදමු. ඔහු විසින් තබන ලද විශ්වාසය, මධුර හඬකට පෙරලා අප ගීත කෝකිලාවිය සමග එක්ව, රන් මුතු දූවෙහි ගැයූ "ගලන ගඟකි" ගීය අදද අප සවන් පත් හි රැඳී පවතී. "පිපී පිපී රේනු" නැටූයේ ඔබ හඬටය. මුලු හදින් කළ පෙම දියව ගිය විට ඔබ විසින් ගැයූ ඒ ගීය සමග ඒකාත්මික වූයෙමු. ආදර නිල් දෑස දිහා බලමින් සිටි යුගය සිහිනයක් වූ කල්හි මේ දිය දාය (ලෝකය ) තුල මේ භවයේදී එක් වීමට නොහැකි බව කියූ ඔබ ගී සමග කඳුළු වැල් බෙදා ගත්තෙමු.

ඔබ වෙන්ව යාමෙන් ඇති කල රික්තය මහත්ය. ඔබ තැන ගන්නට යමෙක් නොවීම අප හද දවන කරුණෙකි. එනමුත් ඔබ නාරද ලකුණ අමරණීයව පවතී.

සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!

Monday, May 17, 2010

මධු සාද සිනා

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ. . හිරු පායා
නිවා. . සඳ තරු නිවා

පිපෙන හැඟුම් දෑසේ ඇවිලී
ලොවම සැලී සිහිනෙන් පිබිදී
සරා ගිනි නැගේ . .සිසිලසේ

පෑළ වියේ හිරු මියෙන පැයේ
සිහින බිඳී පිබිදී අඳුරේ
හඬා ඉකි බිඳී . . යෞවනේ

ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
සංගීතය: සුරේෂ් මාලියද්ද

මේ ගීතය අසන විටම ඔබට වෙනසක් දැනී යා යුතුමය. දීපිකා ප්‍රියදර්ශණී යනු ශාස්ත්‍රීය ගීත වල ආභාෂයෙන් ඉදිරියට ආ ගායිකාවකි. නමුත් ඈ ඒ සම්ප්‍රදාය උඩු යටිකුරු කරමින් "පොප්" සංගීත තනුවකට මේ ගීතය ගයන්නීය. මෙහි සංගීත ආභාෂය "පොප්" පමණකැයි කීමද එක අතකට වැරදිය. මන්ද මෙහි එන "ගිටාර් ඩිස්ටෝර්ෂන්" හා "ඩ්‍රම්ස්" වඩාත් කිට්ටු වන්නේ "මෙටල්" සංගීත ශෛලියට බැවිනි. එනමුත් සංගීතය හැසිරවීම හා නාද මාලා තුල මෙය "පොප්" ගීතයක් බව අවිවාදයෙන්ම පිළිගත හැකිය. ගීතය පුරාවටම සැක්සොෆෝනය වාදනය වෙයි. එමගින් බටහිර ඇමෙරිකානු අවන්හල් සංස්කෘතියට නෑකම් කියන වටපිටාවක් ගීතය මගින් ඇති කරයි. මෙසේ අති නවීන තනුවකට ගීය ගැයුවද ඇගේ හඬේ තවමත් ශාස්ත්‍රීය ලක්ෂණ ගැබ්වී ඇත. ඒ අනුව බලන කල මෙය අපූරු නිර්මාණයකි.

ඉන්පසුව දැනෙන වෙනස නම් ගීතයේ ශබ්ද සංස්කරණයයි. ඉකෝ (echo) වැනි ශබ්ද ප්‍රයෝග අසා පුරුදු ප්‍රබුද්ධ සහෘදයාට මෙහිදී මාලියද්ද විසින් "ෆේසර් (phaser)" වැනි නව ශබ්ද ප්‍රයෝග ගෙන එයි ("රැයේ හිරු පායා" යන කොටස ගයන විට මේ ප්‍රයෝගය අසා ගත හැකිය). සෙන්ටිග්‍රේඩ්ස් වැනි නව සංගීත කණ්ඩායම් මෙම ශබ්ද ප්‍රයෝග අතොරක් නැතිව භාවිත කිරීම නිසා ඒවා විහිළුවක් බවට පත්වී ඇති කාලයක, මේ ප්‍රයෝග අර්ථාන්විතව භාවිත කරන්නේ කෙසේද යන්න සුරේෂ් මාලියද්ද අපට පෙන්වා දෙයි.

මේ රැයකි. මධු සාදයකි. එහි අනුරාගී සිනා නැගේ. විදුලි බුබුළු නිසා රැයෙහි හිරු පෑයූ ලෙස පෙනේ. ඒ විදුලි හිරු විසින් සඳ හා තරු බොඳ කර නිවා දමා ඇත. මේ රාත්‍රී යාමයේ (එනම් පෑළ දිග අහසේ හිරු සැඟව යන මොහොතේ) ඇගේ සිහින බිඳී ඇත. එනමුත් නව සිහිනද ඒ සමග පිබිදේ (මේවා සමාජ විරෝධී සිහිනයන් වීමට ඉඩ ඇත). ලොව පිබිදී සැලෙයි. විකසිත වන හැඟුම් දැසෙන් පෙනෙයි. සරා ගිනි නැගේ. නමුත් යෞවනය ඉකිබිඳී. මේ ගීය ඇසෙන විට සිතෙනුයේ සමාජයේ ඉහළ පැලැන්තියේ තරුණියක් ආදරයෙන් පැරදීම නිසා හටගත් වේදනාවය. සාමාන්‍ය සමාජයේ මෙන් නොව ඉහළ සමාජයේ ඔවුන් විඳින වැඩි නිදහස සමග මෙවන් ලෙස වරදට යොමු වීම නිතැතින්ම සිදු විය හැකිය. මේ එවන් හැඟුම් සිත තුල පෙරැළි කරන මොහොතක ලියැවුණු ගීතයකි.

මේ ගීයට උචිත වන පරිදි නිමැවූ දෘෂ්‍ය පථයක් (video track) වසර කීපයකට කලින් ජාතික රූපවාහිනියේ දුටුවෙමි. ඒ සමග මේ ගීතය අපූරු සංයෝගයක් සාදයි.


Monday, May 10, 2010

ගීයෙන් ගයන්නෙ


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්
ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවා වී
ඒ මිහිකත ගෙන් සමු ගන්නට හෙට යළි ඒවී
ඒ ලෙසකින් හැකි නම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේ වී

පෑයූ ඉර සඳු එළියයි ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට හමු වෙමු හද ගිමන නිවා ලූ
පායන්න හැකි ද සඳ සේ ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවා ලූ

පද රචනය, ගායනය හා සංගීතය - ෂර්ලි වෛජයන්ත

හැත්තෑව දශකය සිහළ ගීයේ ස්වර්නමය යුගය බවට මා හා බොහෝ දෙනෙකු එකඟ වනු ඇත. ඒ ස්වර්ණමය යුගයේ ආභාෂය 80 දශකය තුලට කාන්දු වීම තුල විශිෂ්ට නිර්මාණ, කලින් තරම් නොවූවත්, සෑහෙන ප්‍රමාණයකින් තව දුරටත් සැකසිණි. අසූව දශකය මුල් භාගයේ ඉලෙක්ට්‍රොනික වාදන භාණ්ඩ කරළියට ඒමත් සමගම නාද රටා වලද වෙනසක් ඇති විය. අළුතින් පැමිණි මේ රැල්ල ග්‍රහණය කර ගනිමින්ම, වින්දනීය බවින් අඩුවක් නොවන ගීත නිර්මාණය කිරීම සමග ෂර්ලි වෛජයන්තයන් ගී ලොවට ප්‍රවිෂ්ඨ විය.

ෂර්ලි ගායනයේ අත් පොත් තැබූවේ තරුණ සේවා සභාව හරහාය. වසර 1981 දී, හොඳම තරුණ ගායකයා ලෙස කිරුළු පළන් ෂර්ලි, එම වසරේම ගායන දිවියද ඇරඹීය. "මට එපා ඔබේ හසරැල්" ගීතය ඔහුගේ මුල්ම ගීතයයි. ගායකයන් බොහූ සිටියද, ගායනය, වාදනය හා පද රචනය යන තුන් අංශයම නිපුණ ලෙස හසුරුවන ශිල්පීන් බොහෝ අඩුය. සෝමතිලක ජයමහ සහ ෂර්ලි හැරුණු විට මෙතරම් ගීත ප්‍රමාණයක් තමන් විසින්ම නිර්මාණය කල ශිල්පීන් නැති තරම්ය.

මේ ගීතය ෂර්ලි ගේ පළමු ගීත ඇල්බමයට අඩංගු වූවකි. ගීයේ පැරණි පටිගත කිරීම තුල පවා විද්‍යුත් ඕගනය බහුල ලෙස ඔහු යොදා ගනී. විද්‍යුත් භාණ්ඩ පවා සංයමයකින් භාවිත කළ හැකි බව ඔහු විසින් මොනවට ඔප්පු කර පෙන්වන ලදී.

පෙම්වතා තම හදේ ඇති ආදරය කියා ගත නොහැකිව ලතවෙයි. ඇය දකින විට ඔහු ගේ සිත සැලෙයි. එනිසා ගීයක් ගයා තම ආදරය පැවසීමට ඔහු සිතයි. ඇය ගැන හදේ උපන් ආදරය පද වැලකට පෙරළා තනුව යොද ඔහු ගයයි. ඔහු ගයන්නේ ඔහු වෙත පෙම පුද කරන ලෙසයි. ඉර හා තරු කඳු වැටි වලට මුවා වෙමින් බැස යයි, නැග එයි. එලෙසින් ඉර හා තරු මිහිකතගෙන් සමුගන්නා විට තම සිතට මුවා වී හිනැහෙමින් සිත් සනසා ගැනීමට ඔහු ඇරයුම් කරයි. එසේම හිරු සඳු ලොව ගන අඳුර මකයි. එවන් හිරු, සඳු හා තරු යට හමුවී හදෙහි ගිමන් නිවා ගන්නට ඔහු සිතයි. එවන් ගණ අඳුර දුරලන හිරු - සඳු සේ තම පෙම් පවස නිවන්නට ඔහු අයැදියි.

අසූවේ දශකෙයෙන් ගමන් ඇරඹූ ෂර්ලි, වසර පහළොවක් පමණ පුරා කළ නිර්මාණ ආශ්‍රයෙන් ගීත සමුච්චයන් හතරක් පමන එළි දක්වා ඇත. ඉන් පසුව නිහඬව සිටියත්, ලඟකදි ඔහු විසින් නැවත ගීත කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ ගී, නව යොවුන් වියේ සිටි අප සිත් කම්පනය කළ ගීතයන් වූයේය. අසා බලන්න, ඔබටත් එසේ දැනේද කියා.


Sunday, May 2, 2010

සඳු ද අවදියෙන්


සඳු ද අවදියෙන්
තරු ද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනි වුණ වසන්තයේ

සීතල ඇතිරුණු මිහිලිය ළය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම අද මා තනිවම

පහන් නොදැල්විණි ඔබ පැල්පත තුළ
නිදිමත අඩ නෙතු පිය සනහා
මගේම කඳුලක් මේ පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මත


ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: ප්‍රේමසිරි කේමදාස

 
මේ රැයේ තරු ද, තරුපති ද මා සමගම අවදියෙන් සිටිති. මේ එසේ ගෙවෙන පළමු රැයද නොවේ. නොනවතින වේදනාවෙන් පිරුන තවත් දවසක් මෙලෙස ගෙවී යයි. මම නිදි නොමැතිව බලා ඉඳිමි. කුමුදු මල් (කොඳ) කෙමි පැණියෙන් පිරී පිපිරී යයි. ඒ සීතල ගලාවිත් මිහි තලය වසා ගනිද්දීය. ඔබ සිටියා නම් එහි උණුසුමක් සොයා ගැන්මට හැකි වනු ඇත. නමුත් ඔබ නැත. ඔබ කුඩා නිවසේ පහන් නොදැල්වෙයි. (ඒ ඔබද දුකින් වෙළී සිටින නිසා බව දනිමි). නිදි මත ගලන අඳුර එය වසා සිටියි. බලන්න, මගේ කඳුළු ඔබ උයනේ මල් මත පවා වැටී සිටියි!

වසර දහතුනකට පෙර මේ වේදනාව මෙලෙසම මා වින්දෙමි. නො එන්නට වෙන්ව ගිය සුහදිනිය පිළිබඳ වූ පශ්චත්තාප ඇති සිතින් ගෙවුණු රාත්‍රී බොහෝය. මල්වල සුවඳ, කුරුළු නදෙහි පවා මිහිර නොවිඳින කලක් ද විය. විරහව යනු එවන් අති බලවත් හැඟීමකි. ඇගේ නිවසෙහි මේ වනතුරුත් පහන් නොදැල්වෙයි. (ඒ නිවසේ පහන ඈ වූ බැවිනි ). කුරිරු ලෙස සිඳ දමනු ලැබූ ඒ සබැඳියාවෙන් හිත වූ වණ සුව වීමට වසර ගණනක් ගත් වී ගියේය. වසර පහමාරක සරසවි ජීවිතය පවා එයට ප්‍රමාණවත් නොවීය. අපමණ දයාවක්, සෙනෙහසක් අද මා ලැබූවද, ඉඳ හිට ඒ මතකයන් හොල්මන් කර සිත පෙළයි. මේ අටුවාව ලියන්නට සිත් වූයේ අප බ්ලොග් සහෘදයකුට සිදු වූ, කිසිවෙකුට සිදු නොවිය යුතු වූ සිදුවීමක් දැකීමෙනි. මා ගැන කියන්නට මා අකමැතිය. නමුත් මේ සිදුවීම මා එතරම්ම කළඹාලූයේය.

මේ ගීයේ හඬ අමරසිරි පීරිස් ගෙනි. ඒ මෝහනීය හඬ මේ ගීයේ මිහිර දෙගුණ තෙගුණ කරයි. කේමදාසයන්ගේ සංගීතයද එයටම නොදෙවෙනිය. ගීය පුරා දිවෙන සංගීත ඛණ්ඩ කියා පාන්නේ තනිකමයි. මේ ගීය අසා බලා ගොලු වූ හා ගොලු කල හදවත් වල වේදනාවන් හා ඒකාත්මික වනු ඇතැයි සිතමි.