Tuesday, May 5, 2009

අකීකරු හිනාවෙන්

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම හැඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළං වෙන්න
සොඳුරු දඟකාරියේ

සිඟති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලන් ඒ දවස් අමතක ද
කියන් දඟකාරියේ

ගී පද - කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න


මේ ලොවෙහි කිසිම අයකු ප‍්‍රියයන්ගෙන් වෙන් වීමට අකැමැතිය. එනමුත් අපට සමහර විටෙක දී එසේ වෙන් වන්නට සිදු වේ. කලක් වෙන් වී සිටියකු නැවත ප‍්‍රියයන් ගේ ඇසුරට පැමිණි අවස්ථාව සොඳුරුතම එකකි. එවන් විටෙක දී යම් යම් අයගේ වෙනස් වීම්, නිවසේ සිටි අයට වඩා පැහැදිලිව පෙනෙන්නේ ඔවුන්ට ය. වැඩිපුර ම වෙනස් වන පුද්ගලයන් නම් දරුවන් ය.
කථා නායකයා මෙම තරුණිය දකිනුයේ ඇය කුඩා කල දී ය. අකීකරු සිනාවත්. පුංචි රතු මල් සහිත දිග ගවුමත් එයට දෙස් දෙයි. කෙළිදෙලෙන් හැංගි මුත්තන් කෙළිමින් ගත කල ඒ කාලයේ කථා නායකයා ළඟට වී ඇය හැන්දෑ යාමයේ සිරි පොද වැස්ස තුරල් ව දිලෙන (පහන්) තාරකාවන් නැගෙන තුරුත් සිටියා ය. නමුත් ඇය අද වියපත් ව සිටියි. ඇය අද මේරූ තරුණියකි. නමුත් කතා නායකයාට ඇය තවමත් ළදැරියකි. එබැවින් රතු මල් ගවුම ඇඳ ඇය දකින්නට එහු තවමත් බලා සිටියි.
මෙම ගීයෙහි ඇති සැබෑ මිහිර නම් එය බහු අරුත් දනවන රචනාවක් වීමයි. එහි අරුත මෙබඳු අයුරකට ද කැටි කර දැක්විය හැකිය. තම ප‍්‍රියාවිය දිග රතු මල් ගවුම හැඳ කවුළු දොරට වී බලා සිටි කාලයක් ද විය. සිහින් සිරි පොද වැස්ස තුරල් ව තාරකා නැගෙන තුරු ඔවුහු අතීතයේ ළං ව සිටියෝ ය. ගෙවත්තේ දුව පනිමින්, හොරෙන් ම ලං වී, ඔහු හා ඈ සිනාසුනාය. බොහෝ කෙළිදෙලෙන්, හිනැහෙමින්, ළං වෙමින් ගෙවූ එදවස් නිමා ව ඇත. සරල, සුන්දර, ආදර්ශවත් දිවිය ඇය හැර දමා ඇත. එම ජීවන රටාවට ඔහු ඇලූම් කරයි. එමෙන් ම එම ජීවන රටාව නැවත පටන් ගැන්මට ද ඔහුට අවැසිය. මෙම සරල ජීවන රටාව මූර්තිමත් කරන්නා වූ පුංචි රතු මල් වැටුණු දිග ගවුම (එය දිග ගවුමකි, කොට ගවුමක් නොවේ) හැඳ නැවත ඇය දැකීමට ඔහු ආශා කරයි.
ක්ලැරන්ස් විජේවර්ධන ශිල්පියා විසින් සංගීතය සපයන ලද මෙම ගීතය ටී. එම්. ජයරත්නයන් විසින් මනා කොට ගැයුණකි. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ සංගීතයට ගායනා කිරීම නිසා ප‍්‍රබුද්ධ යයි කියා ගත් පරපුරෙහි ගැරහීමට මෙම ගීය ලක් විය. නමුත් මේ ආකාර වු දිලෙන මිණි සැමදා පස යට තැබිය යුතු නොවේ. ඒවාට උචිත අල්මාරියෙහි ප‍්‍රදර්ශනයට ඒවා තැබිය යුතුම ය.

අසන්න

1 comment:

යූත්මැක්ස් said...

ගීතයේ අලංකාරයට බෙහෙවින්ම ඉවහල් වී ඇත්තේ ළගන්නා සුළු සංගීතය බව ම‍ගේ හැඟීමයි. මෙවන් සුන්දර සංගීතයක් ගැරහීමකට ලක් වන්නේ නම් එයින් පැහැදිලි ව පෙනෙන්නේ ප‍්‍රබුද්ධ යයි කියා ගත් පරපුරෙහි කුහකත්වය මිසක් වෙන මොනවද. ලිපියට මගෙන් තුති෴