Wednesday, March 23, 2011

සුවඳ සලනවා

සුවඳ සලනවා
කටු අකුලක මලක් පිබිදිලා
බමරු බමනවා
සුවඳ වැදී මත්වෙලා

තරු යුවලක් සිනා සලයි
ලඟා වෙන්න බෑ
පියාපත් ඇතත්
ඒ දුර පියාඹන්න බෑ
කිසිවක් මට සිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා

වෙනසක් නැති ආදරයයි
සිතක් සොයන්නේ
කඳුලක් නැති ආදරයයි
ලොවක් පතන්නේ
කිසිවක් මට සිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා


ගායනය: දයාරත්න පෙරේරා

සාමාන්‍ය පෙළ පන්තිය වනාහි නව අත්දැකීම් ලබා ගන්නා කාලයකි. එසේම රැඩිකල් අදහස් මෝදු වන කාලයක්ද වෙයි. සම්භාව්‍ය සංගීතයට කොතරම් ඇලුම් කළත් වේග රිද්මයට හිත ඇදී යන කාලයයි. එසේම ආදරය ගැන නැවුම් හැඟුම් මෝදු වන කාලයයි. ඒ නිසාම නව සංගීතය හා ගායකයන්ගේ ගීත කෙරෙහි සිත යොමු වන කාලයයි. 
අපට ද මෙවන් කාලයක් විය. රාජකීය විදුහලේ මා උගත් පන්තිය කලාගාරයෙකැයි කීම අතිශයෝක්තියක් නොවේ. එතරම් දක්ෂ කලා හැකියාව ඇති පිරිසක් මේ පන්තියේ වූහ. සුපුන්, අස්තික, ඉලීෂ හා සන්තුෂ් අපේ සිටි හොඳම ගායකයෝය. සුපුන් අද භෞතික විද්‍යා පශ්චාත් උපාධිධරයෙක් ලෙස එක්සත් ජනපදයේ වසයි. අස්තික නීතිවේදියෙකි. බරපතල ලෙස රෝගාතුර වී සිටි ඉලීෂ කොහේදැයි නොදනිමි. සන්තුෂ් අද භාතිය සමග එකව ගීත ගයයි. එමෙන්ම වාදකයෝ රාශියක් ද එහි සිටියහ. බණ්ඩාර, මනෝජ්, ගයාන් ඇතුලු බොහෝදෙනෙක් එහි වූහ. මා සිදු කලේ ඩෙස්ක් එක උපයෝගී කරගෙන බෙර ගැසීමය. පන්තියේ නිදහස් කාල ඡේදයක් ලැබූ ගමන් අප සිදු කලේ ගීත ගැයීමය. පන්තියේ ගයන ගීත වලින් බහුතරය මෙවන් වේග රිද්ම සරල ගීත විය. 
එදාත් එවන්ම දිනයකි. උදේ පාන්දරම හැඩ කෙල්ලෙක් දැක් ගෙන ආ විකුම් පුවත අප සැමට හෙළි කලේය. වෙනදා මෙන් නොව විකුම් සිටින්නේ අද අමුතු සන්තෝෂයකින් නිසා, ඇණෙන්නට සින්දුවක් කිව යුතු බව අප කාගේත් අදහස විය. අප පටන් ගත්තේ මේ ගීතයයි. සුපුන් වයලීනයත්, බණ්ඩාර බට නළාවත්, සන්තුෂ් ඕගනයත් වාදනය කළහ. මම බෙර ගැසූ අතර අපේ අනෙක් සොයුරෝ අත්පුඩි තලමින් තාලය ඇල්ලූහ. 
අපේ සින්දුව හදිසියේ නැවතී ගියේ උප විදුහල්පති පන්තියට කඩා වැදීමත් සමගය. "ඕයි, මේක රෝයල් එක, මේක කෝලම් මඩුවක් නෙවෙයි" යනුවෙන් කෑගාගෙන ආ ඔහු බණ්ඩාරගේ බටනලාව ගෙන පොළොවේ ගැසුවේ කෑලි කෑලි යන්නටය. බණ්ඩාර ජීවිතයේ අපමණ කම්කටොලු මැදින් උගත් නොසැලෙන සිසුවෙකි. වලි වලදී ගුටි කන නමුත් ඔහු කිසිදා අඬනු මම නම් දැක නැත්තෙමි. නමුත් ඔහු එතරම් ආදරය කල බටනලාව කැබලි වීයාම නම් ඔහුට කිසිසේත් දරා ගන්නට නොහැකි විය. ඔහු සෙමින් හඬමින් සිටියේ අප සැමට නොපෙනෙන ලෙසය! පසුව අපි ටක් ෂොප් එකට දෙන මුදල සති කීපයක් තිස්සේ ඉහුරු කර අපි බණ්ඩාරට බට නලාවක් මිළදීගෙන දීමු. 
වසර විස්සකට පසුව දයාරත්න පෙරේරාගේ මේ ගීතය අසද්දී මට ක්ෂණයෙන් මතක් වූයේ මේ සිදු වීමයි. දයාරත්න පෙරේරා අප සවණට ආවේ අප සා.පෙළ. සිසුවන්ව සිටි කාලයේදීය. "දිගු නෙත් හසරැල්ලේ", "නොදොඩා මුවින්" වැනි ගීත එකල වෙනසක් සෙවූ අප සිත් වලට ආමන්ත්‍රණය කලේය. "සුවඳ සලනවා" ගීතයත් එසේ අප නව යොවුන් හදවත් ආදරයේ ප්‍රහර්ෂයෙන් පුරවා ලූ ගීයක් වූයේය. මේ ගීයේ ඇහ්තේ ඉතාම සරල පද වැලකි. තරුණියක් දැකීමෙන් සිත මන්මත් වන තරුණයකුගේ අහිංසක සිතිවිලි මේ ගීතයේ ව්‍යංගාර්ථයෙන් සඳන් වේ. කටු අකුලක මලක් පිපී සුවඳ දෙයි. එය අප සිටි පශ්චාත් ජේ.වී.පී. භීෂණ සමයෙන් පසුවද එහි බලපෑම අප සිත් තුලින් පහ නොවීය. එවන් විටෙකදී හැඩ කෙල්ලක් යනු කටු අකුලක මලක් දැකීම වැන්නක්මය. ඇගේ ඇස් සිනාසෙන තරු යුවලක් වැනිය. සිත මන්ත් වී ඉගිල ගියත් එහි යන්නට පියාපත් මට නැත්තේය. මේ කෙල්ලන් සමහර විට සැප රියවල ගමන් ගනු අප දකිනා දෙයකි. 138 බසයේ සැමන් මාළුන් මෙන් තෙරපී ගිය පාසල් සිසුන් වූ අපට එහි පියඹන්නට පියාපත් කොයින්ද? ඒ වයසට අප සෙවූයේ වෙනසක් නොවන ආදරයක් නම් මුසාවකි. එනමුත් ඒ වයසට එය සුන්දර අත් දැකීමක්ද විය. මේ කිසිවක් අපට සිතා ගන්නට බැරි වූයේ අප සිත් සුන්දරතාවය හමුවේ ඉගිලී ගොස් තිබීම නිසාය. 
දයාරත්න පෙරේරා වැඩිපුර ගීත ගය නැත. නමුත් ඔහු විසින් ගැයූ සමහර ගීත නව යෞවනයන් ලෙස අප ඉත සිතින් වැලඳ ගත් ඒවා බව නම් කිව යුතුමය.


Tuesday, March 22, 2011

සමණල රෑනක් සේ

සමණල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

පොදි වුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ලා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලේ

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලං වේ

සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳ වත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා


මේ කතාව අවුරුදු 17ක් පැරණිය. නමුත් ඒ කථාව පැරණි නොවේ. ස්ථානය වූයේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. අද තට්ටු බර ගණනක ගොඩනැගිල්ලක් වුවත් එකල ලයිසියමය වනාහි හිස එසැවීමට යත්න දරන ජාත්‍යන්තර පාසලක් හා ටියුෂන් මධ්‍යස්ථානයක් වීය. පොත පත යන්තමින් අල්ලා සම්ත් වූ සාමාන්‍ය පෙළින් පසුව අපි උසස් පෙළ පන්තියට පැමිණ සිටියෙමු. අද මෙන්ම අප කලත් ටියුෂන් වන්දනාව නො අඩුව තිබුණ නිසාදෝ මටත් එකී ටියුෂන් පන්තියට යාමට සිදු විය. මා එකල පොත් ගුල්ලෙක් වූ අතර, අනෙක් වුන් කෙල්ලන් දිහා බල්ද්දී මා කලේ කලා කෘති රස විඳීමයි. එනමුත් අනෙකුත් කොල්ලන් සමග "වල බැසීම" නම් පුරුද්දක් ලෙසම කල බව අදටත් මතකය. අපේ ටියුෂන් පන්තියට අළුතින්ම හැඩ කෙල්ලෙක් පැමිණීමත් සමගම උපාසක වෙස් ගෙන සිටි මා මිතුරා ගේ හැසිරීම වෙනස් වන්නට විය. ඔහු මේ ගැහැණු ළමයා ගැන දැක්වූයේ බොහෝ උනන්දුවකි. නමුත් මේ කෙල්ල එසේ මෙසේ නොව ටිකක් ආඩම්බරකාර එකියක් බැවින් මගේ මිතුරා ඇය හා දොඩන්නට ගත් සියළු උත්සාහ ගඟට කැපූ ඉණි මෙන් විය. කපු කම කරන්නට මට බලපෑම් පැමිණි මුත් කපු කම් තියා කෙල්ලන් සමග හරියට දොඩන්නටවත් නොදන්නා මට මෙය ඉතා අමාරු කාරියක් විය. කෙසේ හො මගේ වාරය පැමිණියේය. පන්තියේ අවුරුදු නිවාඩුවට කලින් සාදයක් පැවැත්විණි. මෙහිදී ගීයක් ගයන ලෙස ආරාධනාවක් ලැබිණි. එකල මට ඉතා හොඳ යෙහෙළියක් විය. ඇය නමින් වින්ධ්‍යාය. (ඇය කොහි දැයි අද ද මා නොදන්නෙමි) මගේම අච්චුවේ පොත් ගුල්ලකු වූ ඇයට ඇසක් ගසා කතා කොට හෙමින්ම මම සිද්ධිය විස්තර කළෙමි.

"මෙහෙ වරංකො බං, පොඩි රහසක් තියෙනව" මම කීවෙමි.
"දන්නවද අර අපේ චින්තක වත්සලාට ලයින් නෙ. වත්සලා ඉතින් හෙන ගණන් නෙ. දැන් මේක අපට පොඩ්ඩක් ඉන්ඩිරෙක්ට් විදියට ඔළුවට දාන ඕන"
"වත්සලා සින්දු වලට හරි කැමතියි. හොඳ සින්දුවක් කියල වැඩේ දෙමු" වින්ධ්‍යා කීවාය.
"මොකද්ද කියන්න හොඳ?" මම ඇසීමි.
"සමණල රෑන්ක සේ" වින්ධ්‍යා කීවාය.
"ඒකට දෙන්නෙක් ඕනනෙ බන්"
"ඇයි උඹයි මමයි ඉන්නේ!" කීවේ වින්ධ්‍යාය.
"මේක මට කියන්න පුළුවන් එකක්ද බන්, මගේ කට හඬ මේකට ගොරෝසු වැඩියිනේ" මම කීවෙමි.
"කමක් නෑ බන්, බළල මැටියෙන් වුණත් මොකෝ මීයො අල්ලනව නම්" වින්ධ්‍යා කීවාය.

ඉතින් අපි චින්තකටත්, වත්සලාටත් පුදමින් මේ ගීතය ගායනා කළෙමු. (ගායනා කළා කීවාට සින්දුව කිව්වා පමණක් වන්නට ඇත!). අද චින්තක හා වත්සලා දරුමල්ලන් පිරිවරා ගත් සතුටුදායක පවුලකි.

මේ ගීයේ ඉතිහාසය එබඳුය. පළමු වරට මා පිරිසක් ඉදිරියේ ගායනා කලේද මෙම ගීතයයි. මෙහි ගැයුම මිල්ටන්
මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා ගෙනි. පද රචනය මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. ආදරයේ ප්‍රහර්ෂය සමණල රෑනක් සේ අනන්තය. එය කීමට වචන අප සතුව නැත. දිව දෙතොලේ පැටලෙන්නේ එහෙයිනි. ඒ රුව දකින විට පොදි බැඳගත් සිතුවිලි තෙරපෙමින් අවදි වෙන නිසා සුලඟේ සැලෙන ලපල්ලක් මෙන් මහද සැලේ. දේදුණු දහසක් සේ ආලය ප්‍රසන්න හැඟුමකි. රිදී සිනා මල් පාන සීගිරි ලියක්, නැතහොත් ඩින දින පතන ඔබේ සොමි වුවන මෙන් පණ නල ඇති තුරුම ඔබ සිහිවේ.

මේ ගීතය 1980 මුල් භාගයේ නිර්මාණය වූ ගීයකි. මිල්ටන් ගැන අපි ඇති තරම් කතා කොට ඇත්තෙමු. එසේම කැලිප්සෝවෙන් මිදුණ ඉන්ද්‍රාණි පෙරේරා යනු කෙතරම් සුන්දර හඬක් දැයි අපට මතක් කොට දෙන්නේ මේ ගීතයි.