Monday, April 26, 2010

ලබන්න බැරි සුව සහනය

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

හෙට ද දවසකි
හෙට මේ ලෙසම හිරු නැඟේ
නොයනු මැන ප්‍රියේ
පොදි බැඳ තිළිණ ඔබ මගේ

සිසිලෙ උණුසුමේ
මම ඔබ ලඟ සිටින්නෙමි
විසිර ගිය කුසුම්
පෙති දෝතට අරන් එමි

පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: ? රොක්සාමි මාස්ටර්
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

හැත්තෑව දශකයේ අපූරු භාව ප්‍රකාශකයකු වූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියා ගැන මා කලින් සඳහන් කරනු මතක ඇතැයි සිතමි. මිල්ටන් විසින් ඔහුගේ පළමු ගීත එකතුවට ගායනා කල ගීතයක් ලෙස මෙය හඳුනවා දිය හැකිය. මෙහි පද සිංහල ගීත රචකයන් අතර අග්‍රස්ථානයක් හිමි කර ගන්න කරුණාරත්න අබේසෙකරයන්ය. මා දන්න තරමට මෙහි සංගීතය කේ. රොක්සාමි මාස්ටර් ගෙනි. සුවහසක් ශ්‍රාවක සවන් බැඳ ගන්නා සංගීත ඉතිහාසයක් මිල්ටන් ගොඩ නගා ගත්තේ මේ ගීත හරහාය.

තම පෙම්වතිය ගේ පහස විඳින්නට නොහැකිය. එය ඔහුට සිතින් පමණක් අත් විඳිය හැකි දෙයකි. විඳින්නට ඉතිරිව ඇත්තේ ඇගේ මිහිරි සුවඳ පමණි. ඒ ඇය ඉවත් ගියහොත්ය. හෙට තවත් දවසකි. අද මෙන්ම හෙටද වෙනසක් නැතිව හිරු නැගේ. එනම් හෙට යනුත් තවත් විශේෂයක් නැති දවසක් පමණි. එසේ වුවත් නොයන්නට ඔහු ඇයද සිටියි. මන්ද ඇය ඔහු ලද අමිල තිළිණය බැවිනි. එසේ ඔහු හැර නොගිය හොත් (ජීවිතයේ) සිසිලේත් උණුසුමේත් එක සේ ලඟ සිටින්නට ඔහු පොරොන්දු වෙයි. (දබරයක් නිසා හෝ සිත් රිදවීමක් නිසා) විසිර ගිය (ආදරය නම් වූ) කුසුමෙහි පෙති එක් කර නැවත දෝතින් ඇය වෙත ගෙන එන බව ඔහු පවසයි. හෙට වෙනස් දවසක් නොවනු ඇත්තේ රැකියාවට යාම හා ජීවන සංග්‍රාමයේ නොනැවතී යෙදෙන්නට වන නිසා විය හැකිය. සමහර විට ඇය මේ ජීවන ක්‍රමය නිසා විඩාපත්ව සිටින්නී එයින් මිදීමට උත්සාහ ගන්නවා විය හැකිය. ඒ ජීවන සංග්‍රාමය අතරතුර ඔහුගේ සිතට සහනය ගෙන එන්නේ ඇයයි. මේ ගීතය ගෙන එන්නේ තාවකාලිකව අමනාප වූ පෙම්වතුන් යුවලකගේ සිතුවිලිය.

මේ ගීතය සවන වැකෙන විටම දැනී යන පලමු කරුන නම් එහි වූ තනුවේ පැරණි ස්වභාවයි. මිල්ටන් තබ්ලාව සමග එතරම් ගණු දෙනුවක් තිබූ ගායකයකු නොවේ. නමුත් ශාස්ත්‍රීය තනු ගැයීමට වුවද හැකි බව මනාව විදහා දක්වමින් මිල්ටන් තබ්ලාව සමග මෙය ගයයි. මිල්ටන් විසින් ගයන ලද අමරණීය ගී අතරට මෙයද අනිවාර්යයෙන්ම එක වන ගීතයකි.

Thursday, April 22, 2010

පිතු සෙනෙහේ

පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ

හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ


ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී


මව් ගුණ ගැන ගැයුණු ගී අපමණය. මව් සෙනෙහසේ මතකය නැවත
අප වෙත ගෙන එන ඒ ගී සමහරක් අති විශිෂ්ට ගීතයන්ද වේ. නමුත් පිය ගුණ ගී ඇත්නම් ඒ ඉතා සුළු සංඛ්‍යාවකි. කපුගේ ගෙ "වන්නි වන පෙතේ", ටී. එම්. ගෙ "පවනට සැලෙනා " වැනි, එවන් අල්ප වූ පිය ගුණ ගී අතරින් මා සිත වැඩිපුරම සංවේදි කරවන්නට සමත් වූ ගීය වූයේ මෙයයි. මගේ පියා මඳක් රෝගීවුවද තවමත් යහතින් කල් ගෙවයි. එනමුත් මේ ගීතය මුලින්ම ඇසූදා මා සිත තුළ ඇති කලේ මහත් කම්පනයකි. පිය සෙනෙහස නොමති දින දරුවන් හිනැහුණේ කවදා දැයි ගීත රචකයා අපෙන් ප්‍රශ්න කර සිටී. දරුවන් ගේ සිතේ රැඳුණ තනිය මකන්නට මවුවරුන්ට පමණක් නොහැකි හෙයිනි. පියවරු මහ සයුරක් ලෙස ගිනියම් වූ ලොවම නිවා දමති. හිරු කිරණක් සේ ආලෝකයත්, මහ විසල් නුග ගසක් මෙන් සිසිල, සෙවණ හා ආරක්ෂාවත් ලබා දෙයි. පිය කෙනෙකුගේ පවුල තුල වූ කාර්‍යභාරය ඒ පද පෙළට එක් කර ඇති හැටි අපූරුය. ගීතයේ සංවේදීම කොටස වන්නේ ඊලඟ අන්තරාවයි. අම්මා බුදු වේවා යන්න අප ව්‍යවහාරයේ එන යෙදුමකි. මෛත්‍රිය, මුදිතාව වැනි අනත ගුණ සිතේ දරා සිටින මවු වරු මතු බුදු වන බව රචකයාද පිළි ගනියි. නමුත් ඒ මතු බුදු වන මවුවරුන්ට, ඒ පිළිබඳව නියත විවරණ ලබා දෙන්නේ තවත් පිය කෙනෙකු බව රචකයා සඳහන් කරයි.එනම් මවු වරුන්ගේ අවසන් ප්‍රාර්ථනාව පවා ඉටු වීමට පියවරුන් උදවු කළ යුතු බවකි. මෙහිදී පියා ගේ නිහඬ කාර්‍යය මහත් සේ අගයා පෙන්වනු ලබයි.

කුමාරදාස සපුතන්ත්‍රී නොහොත් සපූ, ගුවන් විදුලි සංස්ථාවේ සුළු නිළධාරියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, තම හැකියාවන්ගෙන් ඉදිරියටම පැමිණි අයෙකි. රෝහණ වීරසිංහයන් අප සරල සංගීතයේ රජු බව නොවළහා පැවසිය හැකි සත්‍යයකි. ගීත 2500 කට අධික සංඛ්‍යාවකට ඔහු සංගීතයෙන් දායක වී ඇත. එෆ්.එම්. මාෆියාව නිසා වත්මන් කාලයේ මඳක් නිහඬව හා උකටලීව සිටින රෝහණ නැවත තම නිර්මාණ කාර්‍යයන් අරඹනු ඇතැයි අප සිතමු. දීපිකා ප්‍රියදර්ශනී, නිරෝශ විරාජිනී, සමිතා එරන්දතී හා නෙලූ අධිකාරි යන ගායිකාවන් සමග අප සංගීතය ඉදිරියට ගෙන යන හඬවල් ලෙස දැක්විය හැකිය. එයිනුත් දීපිකා විවිධ ශෛලීන් වල සංගීතයන්ට ගී ගැයීමට මහත් හැකියාවක් දක්වයි. "මධු සාද සිනා", "සමණල රෑනයි" වැනි පොප් සංගීත ආභාෂය ඇති ගී වලට ඇය ඇගේ මහා සම්ප්‍රදායට අනුගත හඬ මනාව මුසු කරයි. මේ ගීතය ඇයගේ සාමාන්‍ය සංගීත ශෛලිය වන ශාස්ත්‍රීය ගීතයක් වේ. එනිසාම ඇය ඉත සුලලිතව මේ ගීතය ගයයි. ඔබත් ගීය අසා බලන්න. සියුම් හිරිය ඔබේ පපු පෙදෙසේ ඇති විය යුතුමය.

අහන්න

බා ගෙනම අහන්න

Thursday, April 15, 2010

රතු පාට මල්

රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි

සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ

ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ


පාසල් සමයේ වූ අසිරිය අප විඳ ඇත්තෙමු. පාසලෙන් වෙන්වී යන විට දෝරේ ගලා ගිය හැඟුම් සමුදාය ගීතයන්ට කැටි වූ අයුරු දැක ඇත්තෙමු. එලෙස හැඟුම් දෝරේ ගලා යාමෙන් පසු කලෙකදී, ඒ අසිරිමත් පාසල් සමය දෙස මැදහත්ව බලන්නෝ පිරිසක්ද වෙති. ඔවුහු රතු මල් පිපී, බිම වැටි, රතු මල් පලසින් හැඩවූ ගුරු පාර දිගට පියමන් කලේ ඒ අතීතයේදී ය. එනමුත් දැන් කලක් ගතවී ඇත. එදා සෑම දිනක ම ගඳපාන, පේර වැනි පළතුරු තිබුණේය. එනමුත් දැන් අවාරයට මෙන් ඒවා නැත. එනම් ජීවිතයේ සරුසාරතම කාලය වූ ඒ වසත් සමය දැන් නිමා වී ඇත. සුදු පාට ගවුමේ රැලිත් කරදාසි සිරි සිරියත් වැස්සෙන් තෙමූ කලෙක මෙන් නිහඬය. සිතුවම් අඳින්නට හුණු කූරු ගත්තත් ඒවා ගෙවී යනතුරුම ඇඳෙන්නේ බලි රූප පමණි. එය චිත්‍ර ඇඳීමට නොහැකියාව නොව, නිර්මාණශීලීත්වය, හා ජීවිතයේ සතුට නැතිවීමකි. පන්තියේ මිතුරියන් අතර එකල සිටියත් ඔවුන් දැන් නැත. කාලය විසින් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි පවා අමතක කර ඇත.

60 දශකයේ අග භාගයේ ඉන්ද්‍රානි සේනාරත්න ශිල්පිණිය විසින් ගුවන් විදුලියට මේ ගීය ගයා ඇත. මෙහි පිටපත් සොයා ගැනම ඉතා අපහසුය. අන්තර්ජාලය පීරා යන්තමින් සොයා ගත් පිටපත් මේ සමග අමුණමි. අපේ හෙළ සංගීත කෙත පෝෂණය කල මෙවන් සරල් ගීත වා තලයට මුසු වී වියැකී නොයනු වස් ගන්නා සුභාවිත ප්‍රයත්නයක එක් පියවරක් ලෙස මේ සටහන සළකනු මැනවි.
 
 

Monday, April 12, 2010

මාගෙ මතකේ ඔබේ රුව



මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි

ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා


සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා

ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී


ගායනය: සුජාතා අත්තනායක හා එච්. ආර්. ජෝතිපාල
සිනමා පටය: මිනිසුන් අතර මිනිසෙක්
රඟපෑම: ගාමිණී ෆොන්සේකා හා වීණා ජයකොඩි


ආසියාතිකයෝ ස්වභාවයෙන්ම කුඩා මිනිසුන් වෙති. එනිසා ආසියානු ගායකයෙක්ට රළු කටහඬක් හිමි වනුයේ කලාතුරකිනි. අමරදේව, කසුන් කල්හාර හා අමරසිරි පීරිස් ඉතාම කුඩා දේහ ඇත්තෝ වෙති. නමුත් අප ජාතියේ පිනට අපට අසල්වැසි භාරතයේවත් ගයකයෙකුට නොමැති තරමේ ගැඹුරු කට හඬක් මොවුන් තිදෙනාට හිමිව ඇත. එනමුත් කුඩා ගායකයන් අතර පාංශු දේහධාරි එක් මිනිසෙක් සිටියේය. ඔහු ගයන විට ගුවන් විදුලි සංස්ථාවේ රිසීවර් යන්ත්‍ර දෙදරුම් කෑවේය. එකල ගුවන් විදුලි සංස්ථාවේ හා චිත්‍රපට වල භාවිත කල හර්ට්ස් 100 - 4000 රාමුව තුල ඔහුගේ කටහඬේ නියම පෞරුෂය පෙනී ගියේ නැත. අපගේ වාසනාවට 70 දශකයේ අග හයි - ෆයි වර්ධක සහිත කැසට් යන්ත්‍ර කරළියට පැමිණියේය. ජෝතිපාලයන් ගේ කටහඬේ නියම පෞරුෂය පෙනෙන්නට ගත්තේ හර්ට්ස් 20 - 20,000 වාදනය කල හැකි කැසට් යන්ත්‍ර පැමිණි පසුය. 

සුජාතා අත්තනායක ශිල්පිණිය කරළියට එන්නේද 70 දශකයේ මුල් භාගයේය. උච්ච ස්වර සහිත ගීත ගැයීමට ඇගේ ඇති නිපුණතාවය බොහෝ අයගේ ඇගයීමට ලක් විය. ඇන්ජලීන් ගුණතිලක සමග එකල සිනමාවේ රිදී ස්වරය වූයේ සුජාතාය. මේ අපූරු ද්වයයේ සුසංයෝගය මතක පොත මත සදා සැමරුම් ඇති කල ගීයක් අපට තිළිණ කර ඇත. මේ ගීතය අඩංගු වූයේ ජෝ දේව් ආනන්ද ගේ "මිනිසුන් අතර මිනිසෙක්" සිනමා පටයටයි. සිහිනයක් තුළ ගැයෙන ගීතයක් වන මෙහි නිරූපණය වීණා ජයකොඩි හා ගාමිණී ෆොන්සේකාගෙනි. මෙහි එන රූප පෙළ රැඟුමකි. මෙහි රිද්මය ද "මන්දගාමි පොප්" ලෙස හඳුන්වන ආලිංගන නැටුමට යොදන "තාලයක්" එනම් "බීට්" එකක් වෙයි. ප්‍රේමයෙහි සොඳුරු කඩ ඉමක් මේ ගීතය පුරා නිරූපණය වෙයි.

මගේ මතකයේ ඇත්තේ ඔබ රුව පමණි. එනිසා මගේ ජීවිතයද ඔබගේය. ඈත එපිටින් ඇසෙන පෙම් ගීතය, සීත සඳපානේ කිරි සයුර කලතා සොයන්නේ ඔබයි. ඕලු මානෙල් සීත තුෂාරෙන් වැසී යන්නේ ඔබේ මුහුණ සිහි කරමිනි. ඔබ මා හදේ කවුළුව දොරින් පැමිණි, මට ලංව සිටින්න, මන්ද සීත සුළඟක් ලෙස මේ ඇදී එන්නේ එක්ව සිටින්නට ඈත භවයේ සිට පැතු පැතුම් හෙයිනි.

ජෝතිපාල මියැදී දැන් වසර විස්සක් පමණ වේ. ඔහුගේ අඩුව පුරවන්නට හැකි හඬක් අදට ද ඇතිවී නැත. අමරසිරි හා කසුන් ගයන්නේ ජනප්‍රිය සරල සංගීතය නොවේ. එම සංගීතයට අනුගත ජෝතිපාල වැනි හඬක් අසන්නට අද ද අපි ආසාවෙන් සිටිමු. සුජාතා අත්තනායක ශිල්පිනිය දැන් සැට වැනි වියට පමණ ළංව සිටින්නීය. කුරිරු ත්‍රස්තවාදීන් විසින් ඇගේ දෙටු පුත් බිලි ගැනීමෙන් අනතුරුව ඇය ගායනට සමු දී සුදු වත සිය වත කර ගත්තාය. ඒ දෛවෝපගත සිද්ධිය වී දැනට වසර 15ක් පමණ වේ. එදා පටන් අපි ඇගේ ගොළු වී ගිය නද අසන්නට  බලා සිටිමු. ඈ නැවත ගයාවි දැයි මා දන්නේ නැත. එනිසා ඇය විසින් අපට තිළිණ කල මේ මිණි රැක ගත යුතුය. 

70 දශකයේ සිදු කල පර්යේෂණාත්මක ගීතයන් ගේ රසය අදද විඳිමු. මහා සම්ප්‍රදායයෙන් බැහැරවී ගීත ගැයිය හැකිදැයි බලන්නට කළ මේ ගීත වල සැබෑ රසය අපට දැනෙන්නේ අදය. ඒ අද ඇති නිර්මාණ රික්තය නිසාය. මේ ගීය අසමින්ම අප ඒ මිනිසුන් අතර සිටි ඒ උත්තුංග දේහධාරී සොඳුරු මිනිසාට මල් මිටක් පිදිය යුත්තේ ඒ නිසාමය.



Thursday, April 8, 2010

ආදර චාරිකා

ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා

 
ජීවන මාළිගා දේදුනු මාළිගා
ආදර සිතකින් හදනා
ජීවන මාළිගා

 
කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා

අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා

 
සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකා

තුෂාර කඳුලු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලා


ඔවුන් සිටියේ දුරස් වීය. පෙම කියා ගන්නට බැරිව ලැතවෙමින් සිටි යුගයක්ද විය. නමුත් ගමන් මග වසා ගත් අඳුරු පටල තුනී වී ඔවුන් එකිනෙකාට පෙනේ. එවන් උණුසුම් සුමධුර හමුවක් අමිතා වැදිසිංහ හ ඒ.එල්.බි. කන්දෙපොල විසින් මෙලෙස ගීයකට මුසු කෙරේ.

ජීවන චාරිකාව ආදර චාරිකාවකි. එසේම දේදුණු මාළිගාවකි. සිතුවිලි එකිනෙක පැටලි (අත් වැල් බැඳ) ආදර සිතකින් ඒවා තැනේ. (මුහුණේ) කෝමල රේඛාවන් අඩ නින්දෙන් පිබිදි වඩාත් මතුව පෙනේ. ඒ මිලාන සිත් අහසේ දේදුන්නක් ලෙසටය. මල් හී සර සමග ඇමිණී අසෝක මල් පෙත්තක් පාව එයි. එහි ලියැවී ඇති රහස කිමද? මෙතෙක් කල් පසන් නෙත් කැලුම් දුටුවේ සුමයුර වූ සිහින ලොව තුල සරන විට පමණි. මෙතෙක් කල් සිත් සිර කර තැබූ එක් ටැම් මැදුර මතින් දේ දුන්නක් පාය සැල කරනුයේ එම නෙත් සැබෑ ලොවදීත් දැකිය හැකි බවයි. 

ඒ.එල්.බී. කන්දෙපොල අප වැඩිපුර අසා පුරුදු ගායකයකු නොවේ. ලක් හඩ ගුවන් විදුලියේ සේවය කරන මා මිතුරකුගෙන් දැන ගැනීමට හැකි වූයේ ඔහු ගයා ඇත්තේ ගීත 12කටත් අඩු ගණනක් බවය. එනමුත් මෙම ගීතය තුල ප්‍රකාශිත ආදරයේ ප්‍රහර්ෂය මනාව දැක්වීමට සමත් වෙයි. "ආදර චාරිකා" ගායනා වූයේ මීට වසර 30 කට පමණ පෙර දීය. අමිතා වැදිසිංහ ඒවන විටත් රසික හද දිනා ගත් ගායිකාවක් ව සිටියාය. ඇයද අපට අමතක නොවන ගී රැසක් තිළිණ කල ගායිකාවකි. නැවතත් ගීතය අසන්න. ආදර චාරිකාවක ඔබටද ගමන් කරණු හැකි වන්නේය.


Thursday, April 1, 2010

රජ මැදුරක


රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිලි
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ


පද: ලුෂන් බුලත්සිංහල
තාල: එච්. එම්. ජයවර්ධන
නද: මාලිනී බුලත්සිංහල


දිළිඳු කම බොහෝ දෙනෙකුට බලපාන්නා වූ ප්‍රශ්නයකි. නමුත් සමහරුන් එයින් ඉතාම තදින් බැට කති. දිළිඳු කමේ පතුලේම ගිලී සිටින්නෝ මවු වරු සහ දරුවෝය. එවන් මවක හා දරුවකු පිළිබඳ වූ සංවේදී ගීතයක් ඉහත ශිල්පී ත්‍රිත්වය බිහි කර ඇත.

මේ දරුවා ඉතා කීකරු දරුවෙකි. කුඩා වුවද නැති බැරිකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇත. මග දිගට ඇති රස කැවිලි, සෙල්ලම් බඩු වලට ආශාව ඇතත් ඒ දෙස වත් නොබලමින් ඔහු පාසල් යන්නේ එහෙයිනි. ඔහු අළුත් ඇඳුම් ඉල්වමින් තම මවට කරදර කරන්නේ නැත. වැරහැලි ඇඳගෙනම සිටී. ගෙදර ලිප මෙළවෙන්නේ ඉඳහිටය. එහි පිසින්නේත් සුණු සහල් කැඳය. නමුත් එය රස කරමින් මේ දරුවා පානය කරයි. ඉන් නොනැවති, ඔහු නොදුටු සැප සම්පත් නොපතා හීනෙන් පවා සිනාසෙයි. තම පුතු ඉපිද ඇත්තේ අතු පැලකය. නිකම්ම පොල් අතු පැලක නොව සුළඟට ගසා ගෙන යන පොල් අතු සහිත, හිරිකඩ ගසන,  අබලන් පොල් අතු පැලකය. ඔහු රජ මැදුරක ඉපිද සිටියා නම් ඔහු රජ වන්නට පවා හැකිවනුයේ ඔහු දිරිය දරුවකු නිසාය. එවන් දරුවකුට මීට වඩා සැප සම්පත් නොදීමට හැකි වීම ගැන මව සොවින් තැවේ. හීනෙන් සිනා නොවී මව හඬවන්නට කියන්නේ එබැවිනි.

වඩාත් සියුම්ව බැලූ කල්හි මේ ගීයේ ඇතැම් වචන වලින් එහි අරුත් කුළු ගැන්වෙන අන්දම මනාව දැකිය හැකිය. රස කැවිලි "සිල්ලර" ය. "පුංචි පැටික්කන්" මග දිගට ඒවා ඉල්ලමින් හඬයි. නමුත් ඉන් කුස පිරෙන්නේ නැත. මේ දරුවා සමාජයේ පුහු ආටෝපයන් කෙරෙන් ඉවත බලා යන්නෙකි. රජකමට ඔහු සුදුසු වන්නේ එබැවිනි. "ඉඳහිට මොළවන" ලිප දක්වන්නේ ඔවුන් කෑම වේලක් ලබන්නේ ඉඳහිට බවයි. වේලක් ලැබූවත් ඒ මිලෙන් අඩු කැඩුණු (සුණු) සහල් පමණකි. එයද බතක් පිස ගැන්මට තරම් නොවේ. එනිසා කැඳ සාදා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. මේ පද කිහිපය මගින් මේ දරුවා මුහුණ පාන දරිද්‍ර බවේ තීව්‍රතාව මනා ලෙස දක්වා සිටී. එනමුත් එවන් වූ අහරක් පවා දිව බොජුනක් ලෙස මේ දරුවා සලකයි. ඔහු පාසල් යාමටද කිසි විටෙක මැලි නොවේ. මෙයින් මේ දරුවාගේ දිරිය මනාව පෙන්වා සිටී. කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි. 

මුළු ගීය පුරාම පියා ගැන වදනකදු සඳහන් නොවේ. අනෙක් කරුණුද සමග එකව ගත් කල්හි, මේ දරුවා අවජාතක දරුවකුදෝ යන සැකය සහෘදයා තුල ජනිත කරවයි. ලූෂන් බුලත්සිංහල යනු කවදත් විප්ලවීය පද ගීයට ගෙන ආ රචකයෙකි. එනමුත් ඔහු විසින් මෙවන් භාව පූර්ණ ගී ලියැවී ඇත්නම්, ඒ ස්වල්පයක් විය යුතුය. අකාලයේ අප අතරින් වියෝ වූ මාලිනී බුලත්සිංහල ශිල්පිණිය මේ ගීයේ අරුත කුළු ගැන්වෙන භාවයන්  සමගින් මේ ගීය ගයන්නීය. ඇගේ අකල් වියෝව අප සංගීත කෙතට එල්ල වූ මහ පහරක්ම වන්නේය.