Tuesday, May 5, 2009

මේ නගරය

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

ගී පද - පේ‍්‍රමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා


සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්‍යයන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. නමුත් අත් දැකීම් අඩු කාලයේ ඇති කරගන්නා මෙම සම්බන්ධතා වලින් බොහොමයක් වසර හතර පහක් ඇවෑමෙන්, අවසන් වසර වන විට නිම වේ. ඉක්බිති සරසවියෙන් විදුදරයන් ලෙස පිටවූ පසු ඔවුහු නැවත හමු වනුයේ කලාතුරකිනි.
නමුත් මෙහි රචකයා හට නැවත තම පුරාණ පෙම්වතිය හමුවේ. ඒ ඇය අත ගෙන ගමන් කල මාවත දිගම, තම බිරිය හා කුඩා පුතු සමග පිය නගද්දී ය. ඇය දකින ඔහු සිත හීනයක් වන් වූ අතීතයට දිව යයි. ඈ සමග නැවත යන්නට කැමැති සරසවි බිම අද ද ඔහුට පෙනේ. ඈ හා එක් ව අහස උසට පැතූ පැතුම් තවමත් සිහි වේ. නමුත් ඒ කඳුරැුල්ලක් (විවාහය) නම් වූ බාධකයෙන් අද දින ඔහු එහි යාම නවත්වනු ලබයි. ආදරවන්තයන් වෙන් වූවාට ලොව වෙනස් වී නැත. නුවර වැව් ඉවුරේ දිය රළ එදා වගේම අදත් නැගේ. ඒ නුග ගස් පෙළම අදත් වෙනසක් නොමැතිව දළු දමයි. පරම පිවිතුරු පෙමක් බිඳී විසිරී එහි අයිතිකරුවන් දෙපසට වී ඇත. නමුත් ලෝකයත් ජීවිතයත් එලෙසම දළු ලමින්, ගලා යයි.
හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්‍ය ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේ‍්‍රමකීර්ති කවියාණෝ මනාවට විග‍්‍රහ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්‍යාත ශ‍්‍රාවක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

අසන්න

6 comments:

රොයිලි said...

මම මේක ඇහුවේ ගුවන්විදුලි වැඩසටහනකින්. ඔය ගීතය පේ‍්‍රමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්‍රබලම පදය කියලා.

ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද?
ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!

ධනික | Dhanika said...

මර්වින් පෙරේරා නම් වූ ඒ සොඳුරු සංගීතවේදියාණන් අප අතරින් සමු ගැනීම අපේ මුළු රටටම මහා පාඩුවක්. ලංකාවේ සරසවි අධ්‍යාපනය තිබෙන තාක්කල් මෙම ගීතය සදහටම අප අතර නොමැකී තියේවි... විශේෂයෙන්ම සරසවි ශිෂ්‍යයින් අතර...

TG said...

යුග යුගයන්හි සරසවි සිසුන අතර රැව්දෙන ගීයක් මේ . කවදාවත් අහල නිමානොවෙන එපා නොවෙන ගීයක් . තවත් සරසවි දිවිය ගැන ලියවුන මේ තරම් ජනප්‍රිය නැතත් ලස්සන ගී කීපයක් තියෙනවා .

1.නවාතැනින් ඇය යනවා වරම් ලබා සරසවියට - ගැයුම සනත් නන්දසිරි
2.රොබරෝසියා මල්-ගැයුම දිවුල්ගනේ
3.හන්තාන කන්දුපෙල -ගැයුම බද්‍රජි මහින්ද
4 රඟහල ඇත දැන් අඩ අන්දුරේ -ගැයුම විජේරත්න වරකාගොඩ
5. හන්තාන අඩවියේ- ගැයුම නන්දා මාලිනි
6.අල්ලට ශිලප සිඟා-ගැයුම කපුගේ

පුලුවන් නම් මේ ගී කීපයත් ගී රසවිනිසට එක් කරලා විමසුමට ලක් කරන්න .මුල් ගී කීපය සරසවි දිවියේ සොඳුරු පැති ගැන කියන අතරේ අවසන් ගීත දෙකෙන් සරසවි දිවියේ තවත් දුක්බර පැත්තක් ගැන කියනවා.

somebody-anybody said...

මිය ගියද නොමියෙන කලාකරුවන් දෙදෙනකුගේ නොමියෙන ගීයක්!
(පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ මර්වින් පෙරේරා ගේ මේ නගරය...)

Anonymous said...

මෙයට පිලිතුරු ගීතයක් 80 දශකයේදී කවුරුන් හෝ අසා තිබෙනවාද, "මා ඔබ මුණ ගැසුන අයුරු"...යනුවෙන්.
නැතිනම් මගේ හිතලුවක් ද?

Anonymous said...

මේ සිදුවීම වෙලා තියෙන්නෙ..ප්‍රවීන් ගුවන් විදුලි නිවේදක පාලිත පෙරේරා මහතාට