Tuesday, May 5, 2009

දස මසක්

දස මසක් මා කුස තුල සිටි පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබට දෑස පියා ගෙන
නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා
වග වළසුන්ගෙන් පියෙකු ලබාවා

දැඩිවී වග වළසුන් අතරේ
වළසකු වී අවුදින්
පුතුනේ . . . වීසි කරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ

සැතපී නයි පොළොඟූන් දරණේ
පොළඟෙකු වී අවුදින්
පුතුනේ. . . අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසනු පුතුනේ

ඔබ කෙදිනක හෝ රෝහලක ප්‍රසව සහ නාරිවේද වාට්ටුවකට ගොස් තිබේද? නිතර එබඳු වාට්ටු වල දකින්නට ලැබෙන සිද්ධියක් මෙම ගීතයට පාදක වී ඇත. දුප්පත්කම නිස හෝ අවජාතක දරුවකු වීම නිසා සමහර බිලිඳන් මව්වරුන් විසින් අත්හැර දමා යනු ලැබෙයි. මෙම බිලිඳුන් ගේ ඉරණම කුමක්ද?
මවක් දස මසක් ආදරයෙන් කුස තුල රුවාගෙන සිටි දරුවා බිහි කර ඇත. නමුත් යම් හෙතුවක් ඉසා මෙම දරුවා රැගෙන යාමට ඇයට නොහැකිය. එබැවින් දරුවා වන වදුලකට විසි කර යාමට ඇය සිතයි. නමුත් අම්මා කෙනෙකු වශයෙන් එය එකවරම කළ නොහැකිය. එනිසා නයි පොලොඟූන් ගෙන් මවකත්, වග වළසුන්ගෙන් පියෙකුත් ලැබෙන ලෙස ඇය පතයි. එම දරුවා වියපත් වූ දිනෙක වළසකු සේ හපාකෑමෙන් හෝ පොලොඟකු ලෙස දෂ්ඨ කිරීමෙන් මෙම සමාජය නසා දමන ලෙස ඇය අයැදියි. ඒ වීසි කරන්නටත්, අහක දමන්නටත්, දරුවන් වදනා හෝ තනනා බැවිණි.

මෙම ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබඳිනු ලදුව, එච්. එම්. ජයවර්ධනයන්ගේ සංගීතයෙන් හැඩව, නන්දා මාලිනිය විසින් ගයන්නකි. බොහෝ මත භේදයන්ට පාත්‍ර වූ "පවන" ගීත ඇල්බමයට මෙය ඇතුලත් විය. නිසි ඇගයීමට ලක් නොවු "පවන" තුල වූ මෙබඳු නිර්මාණ ගෙනහැර දක්වීම අප යුතුකමක් වන්නේය.

අසන්න

1 comment:

රූ_று_Ru said...

ධනපති සමාජය තුල ජනිත වන දරුවන් නිසි වයස උදාවත්ම කර්කස වූත් කටුක වූත් විකිනෙන විකුණන සමාජයට භාර කිරීමට සිදුවන බව සැබෑවකි. එතුල එකෙකු ඉතා ආයාසයෙන් ජීවිතය ගෙවතත් බොහෝ පිරිසක් සියළු බලාපොරොත්තු සුන් වී තවකෙකු පරයා යෑමට දරන නොනිමි උත්සයෙන් නයින් පොලොගුන් සේ ක්‍රියාකරයි. වග වලසුන් සේ ක්‍රියාකරයි. නන්දා මාලනිය මෙම ගීතයෙන් කියාපාන්නෙ. පුතුනි මේ විශම වූත් කටුක වූත් සමාජය වෙනස් කරනු. මේ සමජයේම හිදිමින් මෙහිම වැඩෙමින්.. එය ඉතා දුස්කර බව හැබෑවකි. එහෙත් එය කරනු..