Sunday, August 30, 2009

මට මතකයි

මට මතකයි ඔබ පිපිලා උන්නා දුණුකේ ගසක සුදෝ . . .
මට මතකයි ඔබ සොයලා ආවා බමරෝ සුවඳ මගේ . . .

වත්සුණු තවරා කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා - මතකයි අත වැනුවා
අත්තල හඬ ගා මහ මග කුර ගා
ඔබ යද්දී දවසක් දා - මතකයි අත වැනුවා

දිය සුළි නැගිලා වෙරළට එද්දී
බෙලි කටුවේ සැඟවීලා - මුතු ඇටයක් තිබුණා
සසරේ පෙරදා වරම් ලැබූ ලෙස
බෙල්ලකු වී සඟවාලා - මම ඔබ රැක ගත්තා

මේ ගීතය මගේ සවණ වැකුනේ මෙයට වසර 25 කට පමණ පෙරය. කුඩා දරුවකුව සිටි මගේ සිත මුළින්ම ඇදී ගියේ එහි තාලයට සහ ගායන විලාශයටය. නැවත වසර ගණනකට පසුව හිරිමල් යොවුන් වියෙදී, ආදරයේ සුවඳ දැනෙන මොහොතක මේ ගීතය මට නැවතත් අසන්නට ලැබිණ. හුරු පුරුදු වූ තාලයට ගැයෙන ගී පද වල අරුත වැටහුණේ ඉන් පසුවය. සිතක ආදර හැඟීම් මෝදු කරන්නා වූත්, මෝදු වූ හැඟීම් කුළු ගන්වන්නා වූත් අපූරු ගීතයක් ලෙස මට එය එදා වැටහි ගියේය. නැවත වසර පහළොවකට පමණ පසුව "ආරාධනා" ගීතාවලියෙන් නැවත මේ අපූරු ගීතය මට අසන්නට ලැබිණ. මෙවන් ගීයක් ගැන සටහනක් තබන්නට සිතුනේ ඉන් පසුව යයි කීමෙහි වරදක් නොවේ.

හෙක්ටර් සිල්වා නම් අප නොහඳුනන ගායකයා ගේ හඬින් හා පුණ්‍යා කත්‍රිආරච්චි නම් ප්‍රතිභා පූර්ණ ශිල්පිණිය විසින් ගයන ලද මේ ගීතය අද දිනයේ නො ඇසෙන ගීතයකි. පෙම්වති‍ය දුනුකේ මලකටද, පෙම්වතා එහි සුවඳ සොයා එන බමරකු ලෙසද උපමා කරමින් ගීය ඇරඹේ. ඔවුන්ගේ අහඹු හමුවීම ගැන සොඳුරු මතකය අවදි කිරීමත් ඉන්පසු සිදු කරයි. මහ පාරේ ගමන් කරමින් සිටි පෙම්වතාට කවුලුවකින් හිස දමා අත වැනුමකින් ප්‍රේමය ඇරඹේ. මෙලෙස ඇරඹෙන ප්‍රේමය සසරේ පතා ගෙන ආ පරිදි මුතු ඇටයක් රකින බෙල්ලකු මෙන් මේ ප්‍රේමය ඔවුන් විසින් රැක ගෙන ඇත. මෙහි එන වචන ඉතාම සරල, සුගම මෙන්ද සුන්දර ද වෙයි. මෙහි පද රචකයා සොයා ගැනීමට බොහෝ උත්සාහ කළත් එය අසීරු විය. මෙහි සංගීතය ආචර්ය අමරදේවයන්ගේ බව මිතුරකු පැවසීය.

70 දශකයේ ගැයුණු මෙම ගීය, 70 දරුවන්ගේ ජීවිත සමග ඒකාත්මික වන්නාවු ගීයකි. අමරදේව, වික්ටර් රත්නායක, ටී. එම්., සනත් නන්දසිරි හා සුනිල් එදිරිසිංහ, මාලිනි බුලත්සිංහල, ගුණදාස කපුගේ, නන්දා මාලිනී යන ශාස්ත්‍රීය ගායක ගායිකාවන් මෙන්ම පුණ්‍යා කත්‍රිආරච්චි වැනි සරල ගී ගායිකාවන් අතින්ද බිහි වූ ගීයන්ගේ ද සහෘදයා සමග ඒකාත්මික වීමෙ මේ ගුණය නොඅඩුවම පවතී. මෙහි සරල, සුගම ස්වභාවය, කඨෝර සංගීත ඛණ්ඩ පිරිණු වත්මන් ගී අතරට නවමු වෙනසක් ගෙන නො එන්නේද?

අසන්න

Wednesday, August 19, 2009

මේ මල් උයනේ

මේ මල් උයනේ මල් වාරයයි
උන්මාදයෙන් මල් මල් කොඳුරන කාලයයි
මේ මල් උයනේ මල් වාරයයි

උයන අසබඩ නිසල ගං තෙර
රාග රාගිනී රාව දෙයි
පිණි බිඳ බිඳ රූරා ගලයි

තනිවූ ඔරුවක් ගී හඬ ඔස්සේ
ගං ඉවුරට අඳුරේ ඇදේ
මුණු මුණු ගෑ මල් මුනු මුනු නවතා
තුරු සිදුරෙන් එබිකම් කරයි

රාග රාගිනී නවතී - තරු කැට ගඟට වැටේ
හංසයෙක් ගාටයි - රත්සර කැකුලට තුඩු දෙයි

"ගං ඉවුරක මල් උයනක හිඳ ගත් සිත්තරෙක් අවට පරිසරය සිත්තම් කිරීමට සූදානම් විය. හදිසියේම සිත්තරා කවියෙක් විය. මේ ඒ සිත්තරා කවියෙන් කල සිතුවමයි" නන්දා මාලිනිය මෙම ගීතය හඳුන්වා දෙනුයේ එලෙසයි. සැබැවින් ම මෙම ගීතය පද වැලකින් කල සිත්තමකි. මල් උයනේ මල් වාරය එළැඹී ඇත. මල් උමතුවෙන් මෙන් මුමුණයි. රාග රාගිනී (ගීත) නිසල ගං ඉවුර අසල ඇසේ. පිණි බිඳු වැටේ. මේ අතර ඔරුවක් අඳුරේ ම ගං ඉවුරට ඇදෙයි. ඒ දකින මල් මුණු මුණුව නවතා ගස් අතරින් එබිකම් කරයි. ගීත නවතින, තරු බැස යන රෑ යාමයේ හංසයෙක් තනිව හිඳ මල් කැකුළකට තුඩ තබයි.

මතුපිටින් පෙනෙන අරුත අනුව මෙය අලංකාරවත් වූ පරිසර වැනුමකි. නමුත් සංකේතාත්මකව එයින් ඔබ්බට වූ අරුතක් මින් දනවයි. මල් යනු තරුණියන් ය. මල් උයනේ මල් වාරය, එනම් තරුණ විය එළැඹෙන විට ඔවුන් ප්‍රේමයෙන් උන්මාද වී කොඳුරති. පෙම් ගී ද වැයේ. ඒ අතර බිංදුවෙන් බිංදුව සිත් හි ආශාවන් ද වැඩිවේ. එනිසා ම රාග රාගිනී රාව වැයේ. මේ අතර තනි වූ ඔරුවක් රහසේ ම ගං ඉවුරට (මල් උයන දෙසට ඇදේ). එහි එනුයේ කවුද? ඒ එන පුද්ගලයා දෙස මෙම පිරිස කතා නවතා තුරු සිදුරෙන් (ගස් අතරින්) හොරෙන් බලයි. තරු ගිලෙන රෑ යාමයේ දී හංසයා (තනිව ඔරුවේ ආ පුද්ගලයා) රත්සර කැකුළකට තුඩ තබයි. අවසන රාග රාගිනී ගී ද නවතී. නිර්මාණාත්මක පුද්ගලයාට ඕනෑම මාතෘකාවක් අලංකාරව ඉදිරිපත් කළ හැකිය. ශෘංගාරය පිළිබඳ වූ නිර්මාණ ද එලෙසම ය. මෙම ගීතය නවක ගීත රචකයකු විසින් නන්දා මාලිනිය ගේ අරලිය ලන්දට ඇල්බමය වෙනුවෙන් ලියැවුණකි. රාගධාරී සංගීතයෙන් ආභාෂය ලබා ඇති මෙහි සංගීතය මෙහි පද වැලට අමුතුම මිහිරක් සපයයි.

අසන්න

Saturday, August 15, 2009

මලින් මලට



මලින් මලට ඉගිළුණාට
සමණලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට
වන බමරුන් නොවේ

හිතේ ගින්න උහුලාගෙන
හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි
අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැළිලය
පූදින මල් තළන්නේ
අපේ දුකට හඬන මලේ
කඳුලයි පැණි පෙරෙන්නේ

අහසින් වඩින පින ලැබිලයි
උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය
ගුවනේ සැරි සරන්නේ
නැති බැරි කමයි උඩු හුළෙඟේ
ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට
අපි දහදිය හෙළන්නේ

පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

පැණි සදන්නෝ සමණලයෝ ය, වන බමරුන් ය. උන් හදන පැණි අප තලූ මරමින් රස විඳිමු. ඒ උන් ගේ මහන්සියෙන් ඒවා තිත්ත වූ බැව් නොම දැන ය. පැණි සදන්නෝ සියල්ලෝ ම සමණලූන් හෝ වන බමරුන් නොවෙති. මේ තුන් වැනිව කී කොට්ඨාශය සාදන පැණි වල ද ඔවුන් ගේ දහඩියෙ හි, නැති බැරි කම් හි හා කඳුළු වල තිත්ත රසය ගැබ් වී ඇත. එනමුත් අපට නැවතත් එම තිත්ත රසය නො දැනේ.

කුස ගින්නෙන් හඬන දරුවන් ගේ කුස පිරවීමේ අරමුණින් ඔවුහු ඉතාමත් භයානක කාර්යයක් වූ අතුරේ යාම කරති. අතුරේ එසේ ගොස් කිතුල් හෝ පොල් මල් තළන්න ට පෙර සමාජය විසින් ඔවුන් තළා දමා ඇත. එබැවින් ඔවුනට සාපේක්ෂව මල තැළී ඇත්තේ අඩුවෙනි. තෙලිදිය ලෙස වෑහෙන්නේ එලෙස ඔවුන් ගේ දුකට හඬන මලේ කඳුළු යි. අතුරේ යන්නට හැකිවන්නේ ද පින් ඇති තාක් කල් පමණි. අප අවසන සවුදිය ලෙස පුරනුයේ මෙම දහදිය වල ප‍්‍රතිඵලයි.

මෙම ගීත රචනයෙ හි භාව රූපී හැඟීම් දනවන අවස්ථා එමට ය. ගීතයේ ස්ථායී කොටස ම අසන්නා තුළ පැනයක් ඇති කරයි. එනම් මලින් මලට යන, මලින් මලේ පැණි පුරන මොවුන් කවුරුන් ද යන්න යි. මලට කලින් අපි තැළිලයි පූදින මල් තළන්නේ - අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි පෙරෙන්නේ යන දෙපදය තුළින් මල් තළන්නන් ගේ කටුක ජීවන යතාර්ථය අප වෙත ගෙන හැර පායි. නැති බැරි කමයි උඩු හුළෙඟේ ලණු දෙපොටින් වැනෙන්නේ යන දෙපදය ද මෙලෙස වඩාත් ගැඹුරු වූ අරුතක් දැනවීම ට භාවාතා කරනු ලැබේ. අතුරේ ලණු පොටවල් පැද්දෙනු යේ යමකු ඉන් බිම වැටුණු විට ය. මොවුන් ගේ හිසට ඉහළින් එල්ලෙන එම ඛේදවාචකය මෙම පදයෙන් ධ්වනිත කරනු ලබයි. සවුදිය පුරන මහ පොළොවට අපි දහදිය හෙළන්නේ ලෙසින් සේව්‍ය - සේවක පන්තීන් අතරෙහි අසමාන වූ සම්පත් බෙදී යාම විග‍්‍රහ කරනු ලබයි. සේව්‍යයා මධු විත තොල ගානුයේ කා නිසා ද යන පැනය මෙයාන් අසනු ලබයි. වසර විසිපහක් පුරා මෙම ගීතය ශ‍්‍රාවක සිත් සතන් පින වූවකි. සුනිල් එදිරිසිංහයන් ගේ පිරිපුන් හඬත්, රෝහණ වීරසිංහයන් ගේ සංගීතයත් මුසු වුණු මෙම ගීතය පැණි රස පෙත්තක දවටා අප වෙත පිළි ගන්වන්නා වූ සමාජ යතාර්ථය නම් තිත්ත ඔසුව ය.

අසන්න

දස බිම්බර මාර සෙනග

දස බිම්බර මාර සෙනග - තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය ගං තීරය
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිහිල මවා
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගගේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ

එදා මෙදා තුර සිංහල සංගීතයෙහි බුදු ගුණ ගියට ලැබෙනුයේ අතිවිශේෂ ස්ථානයකි. අසන්නා ගේ සිතෙහි බොදු බැතිය ඇති කරවා දහම වෙත ලං කරවී මේ බලා පොරොත්තුව මෙම ගීත තුළ අඩංගු වේ. සෝමතිලක ජයමහ සූරීන් විසින් ගයනු ලබන මෙම ගීතය පිරිනිවිත බුදුන් යළි ජීවමානව මනසට ගෙන ඒමට දරන්නා වූ උත්සාහයකි. හද වෙත බුදුන් වඩිනවා යන්වෙන් ගම්‍ය වන්නේ එයයි. මෙලෙස වඩින්නා වූ බුදු රදුන්ගේ ගුණ සමුදායෙන් බිඳක් මෙම ගීතය තූළට ඇතුළු කර ඇත. භූමි භාර දහයක් වූ මර සෙනඟ, තණ්හා, රතී, රගා යන මාර දූවරුන් තිදෙනා සමග බුදුන් අබිමුවෙහි පැරද පළා ගියහ. එසේ වඩින උන් වහන්සේ සවණක් බුදු රැස් පතුරමින්, කරුණාවෙන් ලෝකය බලමින්. සියළු දෙනා ගේ සිත් සිහිල් කරන්නාහ. සංසාරයේ ඉම දකිනු රිසිව, බලා පොරොත්වේ ඔරුව පැද අවසන ලං වන ගං තීරය ද උන්වහන්සේ ම වෙති. ආදරය නමැති ගංගාව මෛත‍්‍රිය නමැති දිය ඇල්ල ලෙස ඇද හැලෙන මොහොතේ ඉන් නැගෙන අනන්ත රැළිති මෙන් රචකයාගේ සිත තුළ බුදු ගුණ ගී ගැයෙන බැව් ඔහු පවසයි.

මෙම ගීයේ රචනය, සංගීතය හා ගායනය සෝමතිලක ජයමහ ශිල්පියාණන් සතුය. මේ තෙ අංශයෙන් ම ඔහු තුළ වු නිසග කුසලතාවය පිළිබිඹු කෙරෙන අවස්ථාවක් ලෙස මෙම ගීය හඳුන්වා දිය හැකිය. ගීතය අසන්නා ගේ සිත තුළ තැන්පත් ගමනක් යෙදෙන හෝ සක්මනක යෙදෙමින් බවුන් වඩන්නා වු භික්ෂුවක් පාද තබන්නා වූ තාලය නිතැතින්ම සිතට නැගේ. සිංහල බුදු ගුණ ගී වංශ කතාවේ එක් අමරණිය පිටුවක් මෙම ගීතයට නිතැතින්ම හිමි වනුයේ එබැවිනි.

අසන්න

Tuesday, August 11, 2009

මුළු නුවරම



මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
ඉඟි කරනා කල රාති‍්‍රයේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නේ
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - ලයනල් අල්ගම

මුළු නගරයම නිදයි. එ නමුත් ඔබ යහනේ අවදිව සිටියි. මේ පාළුව දැනෙනුයේ ඔබත් මමත් වෙන්ව සිටින බැවිනි. වන උයන් පුරා වසන්ත සමයේ මල් පිපී, මියුරු ගීත ඇසුණත් අප හමුවන්නේ කවදාදැයි අප නොදනිමු. පෙර ආත්මයක සිට පැවතෙන බැඳීමක් ලෙස දැණුන ද, මේ පාළු රාත‍්‍රියේ හද සොවින්, නිදි නොලබා වැලපෙන මම උන්මාද චිත‍්‍රා දැයි මට සිතේ. ඒ ඔබත් මමත් එක්ව නොසිටින බැවිනි.

නන්දා මාලිනිය විසින් කප් සුවහස් කල් ගීත සමුච්චය උදෙසා ගායනා කරන ලද මෙම ගීතය ශ‍්‍රී ලාංකික ගායිකාවකගේ ගායනයෙහි මුදුන් මල්කඩ ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මෙය එතරම්ම පිරිපුන් ගීතයක් වන බැවිනි. ගීතය පුරාවට දිවෙන්නේ තනිකමේත් වියෝගයේත් වේදනාවයි. පරිසරයේ අසිරියට මෙම විෂයය නොගැලපෙන අන්දමට දිවෙන වේදනාව මින් ධ්වනිත වෙයි.

කවියාගේ පෙම්වතා නිදි නොලබා පැලෙහි තනිව සිටිනුයේ මුළු නුවරක් ම නිදිගත් මොහොතක, එකම හඳකුත් එකම තරුවකුත් යට ය. සඳ හා තරුව පවා තනිව සිටින බව කීමෙන් ගීතය පුරා දිව යන තනිකම පිළිබඳ හැඟීම තීව‍්‍ර වේ. මුළු පරිසරයම මෙම යුවළගේ පේ‍්‍රම සමාගමයට සැදී පැහැදී සිටින බවක් කවියාට දැනේ. ඔවුන්ගේ මධුරතර වූ එක් වීම සඳහා සොබාදම විසින් ගයනු ලබන ස්තුති (තියු) ගීත රාවය කවදා අසන්නේ දැයි කවියා තැවෙන්නේ ය. කවදා ද අප හමු වන්නේ යන පදය දෙවරක් ගායනා කිරීමෙන් අදහස තව දුරටත් තීව‍්‍ර කරනු ලැබේ. ඉන් පසුව ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන්නෙන් මෙම වෙන්වීම උච්චස්ථානයක් දක්වා ගෙන එනු ලබයි. මෙම යුවළට ඔවුන් පෙර ආත්මයක සිට ඔවුනොවුන් පතා පැමිණි බවක් හැගේ. නමුත් නිදි නොලබා සිහින මාළිගා තනමින් සිත සොවින් වැලැපේ. දීඝ ගාමිණි වෙතින් සඟවනු ලැබූ උන්මාද චිත‍්‍රා තමා දැයි කවියා නැවත ප‍්‍රශ්න කර සිටින්නීය.

මෙම ගීතයෙහි ගායන විලාශය සලකා බලන විට ඉතා පුළුල් ස්වර පරාසයක ගැයෙන පද මෙයට ඇතුලත් ය. කට හඬෙහි දක්වන භාව ප‍්‍රකාශය ද ඉතා ඉහළ මට්ටමක පවතී. එකම හඳක් එක තරුවක් යට යන පද ගැයෙන විට තනිකම පිළිබඳ භාවයත් ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන පදය ගැයෙන විට වෙන් වීම පිළිබඳ භාවයත් මනාව පිළිබිඹු වේ. ගීය අවසානය වන විට විප‍්‍රයෝගයෙහි වේදනාව දක්වා සිටින මුත් ඔවුන් දුරස් වීමට හේතු ඉදිරිපත් නොකරයි. ඇත්තෙන්ම ගීය අවසන් වන විට රසිකයා එම හේතුව දැන ගැන්මට උනන්දු නොවන තත්ත්වයක පසුවෙයි. ගීය එතරම් ම සිත තුළට එවිට කිඳා බැස ඇති බැවිනි.

අසන්න

Monday, August 10, 2009

චන්දෝ මා බිලිඳේ

පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්ඳේ
නාඬන් දැන් එනු බෑ

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
බැන්දෝ කොමලත නිරිඳුට දාවුන්

දැන් ගොවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් බැඳි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද බැන්ඳලු සුන්දර රූපා

තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා

අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

ගායනය - පන්ඩිත් අමරදේව හා අමිතා වැදිසිංහ

දෙවන රාජසිංහ රජුට බොහෝ බිසෝවරුන්ගෙන් සැදුම්ලත් අන්තඃපුරයක් විය. මේ අතර එක් වැදි බිසවක් ද වූවාය. කලක් ඇවෑමෙන් ඇයට රජුට දාව පුතකු ලැබිණ. එදා මෙදා තුර සියළුම මවුවරුන් සේ ඇයද තම දරුවා නැළවීමට නැළවිලි ගීත ගැයුවාය. තමා නිතර දකින ලද වන වදුළු තුල වූ පරිසරය තම නැලැවිලි ගීයට නගා එහී අලංකාරත්වයත් රජුගේ තෙදවත් බවත් එක්විටම පැවසෙන සේ ඇය තම දරුව නැළවූයේ ඉහත ලෙසටය. පද රචකයා මේ පුරවෘත්තය අලංකාර කාව්‍යමය චිත්‍රයකට නගා ඇත. මේ බිසවට රජු විසින් ගරු නම්බු නාමයක් දී ඇත. කුංකුම ආදි අබරණ ලබාදී ඇත. එනිසා ඇගේ රැහැට හිරූ පැයූ සේ ආලෝකයක් ඇති වී තිබේ. මේ සියල්ලම ලක පතල බල ඇති රජු නිසාය. මා ඔහු සමීපයේ නිසා නොහඳා නිදියා ගන්නා ලෙස මේ මව දරුවාට කියයි.

අනතුරුව ඇය වනයේ රිලවුන් සැරිසරන අයුරු තම දරුවාට කියා දෙන්නීය. රිළවුන් පිළිබඳ විස්තරය චිත්‍රයක් මෙන් මනාව ගලපා ඇති'යුරු බලන්න. රිළවා අතු අග සිට බුදින ආකාකය, උසුළු විසුළු ස්වභාවය හා අනතුරකදී පැටවුන් ලං කර ගන්න අන්දම සිද්ධි දාමයක් ලෙස මවා පෙන්වීමට කවියා සමත් වෙයි. අනතුරුව කුකුළන් ගේ දින චරියාව ලෙස පැටවුන් සමග සාරමින් අහුලමින් කෑම, රාත්‍රියේ ගස් මත නිදා ගැනීම හා උදෑසනට හැඬලීම එලෙසම මනාව චිත්ත රූප ජනනය වන අන්දමින් පෙන්වා ඇත. ඕලාරික ශුෂ්ක, වන්ධ්‍ය හා සක්ක පද කිසිවක් නොමැතිව කර ඇති මේ නිර්මාණය ඕනෑම අංකුර නිර්මාණ කරුවකුට ගුරු හරුකම් ගත හැකි අගනා නිර්මාණයකි

අසන්න