Thursday, October 7, 2010

සිවු වසරක් තුල


සිවු වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු කඳුලක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා

සීතල පව්වේ කඳු රැලි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා

හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා


ගායනය හා සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග


අද ඒ දවසයි. සිවු වසරක් මේ බිමේ ගෙවීමු. සිනා, කඳුළු, සුසුම් මැද මහ පොත් වන පොත් කළෙමු. එක පත බෙදා ගෙන කෑවෙමු. එක්ව ගැයීමු, රැඟීමු, නැගී සිටියෙමු. ඔබ මා ජීවිතයට ආවේ ඒ අතරය. එයදු නවමු අත්දැකීමක් විය. පෙම් මග, දේවදාර ගස් අතර, මහවැලි දෑලේ අප ඇවිද්දෙමු. ඔබ මට කිසිවෙකුට වඩා ලං ව සිටියේය. මා හද ගැහෙන රාවයද ඔබ දැන සිටියේය. එනමුදු සරසවියෙන් පිට ලොවක් ඇත්දැයි අප අමතක කළෙමු. නැතිනම් අපට එය අමත විය. දැන් බිහි දොර අබියෙසට අපි පැමිණ සිටින්නෙමු. හෙට දීන අප වැළඳගන්නට හෝ හපාකන්නට හැකි ලොවකට පියමනින්නෙමු. අද අවසන් දවසයි. සීතල හන්තානේ මීදුම් සේල, මහවැලියේ දිය සීරාව, සරසවි පහයේ තුරු සෙවනැල්ලෙන් අප හෙට සමු ගනිමු. ඒ අපේ පෙම වෙනුවෙන් වැලපෙන සටහන් වන්නේය. සසර දිග පොඩි දරුවකු පසු පස එන්නාක් මෙන් ඔබ මා පසු පස එන්නට ඇත. එනමුත් අද අවසන් දිනයයි. මින් පසු නොහඳුනන ලොවක නොහඳුනන දෙදෙනෙකු මෙන් අපට ඉවත බලා ගැන්මට සිදු වනු ඇත.

සරසවි පෙමක ශෝකාන්තය රැගත් දයාරත්න රණතුංගයන් ගයන ගීය 70 දශකයේ ගැයුනකි. පේරාදෙණි‍ය සරසවිය හා එහි නිමල සුන්දරත්වය විසින් සඟවා ගෙන සිටිනා, නිහඬව වළ දැමුණු පෙම් කතාවකට නැවත පණ දීමක් මේ ගීය තුලින් අසන්නට ලැබේ. මෙහි භාවයන් හා සංගීතය ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඊට කන්දීම පමණක් සෑහේ.



Thursday, September 30, 2010

කුණ්ඩුමණී


මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .

නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී . . .

සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
කුණ්ඩුමණී. . .

ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
කුණ්ඩුමණී. . .

සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී. . .

 
සංගීතය: වික්ටර් රත්නායක
පද: ප්‍රේමකීර්ති ද අල්විස්
නද: ෆ්‍රෙඩී සිල්වා


ෆ්‍රෙඩී අප හඳුනන්නේ 1960 - 1990 කාලය අතර වූ දශක තුනක් තුල සිටි අපගේ අසහාය විකට නලුවා ලෙසය. එසේ වුවද ඔහුගේ රඟපෑම විකට චරිත වලට පමණක් සීමා නොවීය. සූකිරි කෙල්ල චිත්‍ර පටයේ ඔහු මන්ද බුද්ධික තරුණයකුගේ භූමිකාවද රැඟ පෑවේ කොටන කුකුළාට කොයි කොටුවත් එකය යන්න සනාථ කරමිනි. එසේ වුවත් ෆ්‍රෙඩී සිල්වා අප හඳුනා ගත්තේ ඔහුගේ ගායනයෙනි. ඔහු මුලින්ම ගුවන් විදුලි සංස්ථාවට පැමිණියේත් ගායනයේ මහිමයෙනි. ෆ්‍රෙඩී එතරම් ගීත සංඛ්‍යාවක් ගයා නැත. අප අතරින් වෙන් කරනු ලැබූ ඒ සහෘදයා, ප්‍රේමකීර්ති ගේ පද වැල් වලට ෆ්‍රෙඩී ගීත දුසිමක් පමණ ගැයීය. මේ සියල්ලම එකල අතිශය ජනප්‍රිය වූ ගීත විය. කුණුඩුමණී වනාහි ෆ්‍රෙඩී ගීතය සමග එක්වූ අවස්ථාවන්ගේ කූට ප්‍රාප්තියයි.

මේ ගීතය සංගීත සම්ප්‍රදාය දෙකක සම්මිශ්‍රණයකි. එකක කතරගම හා ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතර ප්‍රචලිත කාවඩි නැටුම් වල එන තාලයයි. නමුත් සංගීත භාණ්ඩ වැයෙන්නේ කෝවිල් වල හා හින්දු මංගලෝත්සව වල වැයෙන් ගැටම්, මෘදංග හා නළා වර්ග භාවිතයෙනි. මේ සංගීත සම්ප්‍රදාය තුලට ප්‍රේමකීර්තිගේ පද වැල මනාව ගලපා තිබේ. සංගීතය සමග ගැයෙන ආකාරයට ද්‍රවිඩ වදන් මෙහි යොදා තිබෙන හැටිද අපූරුය.

පිටිවැල්ල යනු මන්නාරම පෙදෙසේ ඇති සිහින් කහ පැහැති වැල්ලකි. හින්දු ගෙවල් වල ඇතුළු උයනේ බඳින ඔංචිල්ලාවක් ඇත. කුණ්ඩුමණී ගේ නිවෙසේ එය වැසී ඇත්තේ මදටිය වලින් කල සැරසිල්ලකිනි. කතා නායකයා මේ පැමිණ සිටින්නේ කුණ්ඩුමණීගේ විවාහ මංගල්‍යයටය. ඔහු ඇතැම් විට දුප්පත් පවුලක විය හැකිය, මන්ද උයනේ ඔංචිල්ලා බැඳීම ආදිය කරනුයේ ධනවත් පවුල් වල බැවිනි. කුන්ඩුමණී ගේ නැහැයේ කරාබුව, කඩුක්කම් දමා, මොට්ටැක්කිලියෙන් හිස වසා ගෙන තල වේලන අයුරු ඔහුට මතක් වේ. ආඬි ලිඳෙන් කළයට දිය ගෙන ලූණු පාත්තියට දමන අයුරු, කෝවිල් ගොස්, පොල් ගසා පූජා පවත්වන'යුරු ඔහුට මතක් වේ. එසේ වුවත් අද ඇගේ ගෙය ගොම ඉහ පිරියම් කර ඇත. කෙසෙල් ගස් දෙකක් කැන් පිටින් සිටවා ඇත (හින්දු මංගලෝත්සව වල කෙරෙන සැරසිල්ලකි). විවිධ බෙර වර්ග වැයේ. එනම් මංගල්‍යයක් එම ගෙදර පැවත්වේ. කලකට පෙර රණ්ඩු කරමින්, බැණුම් අහමින් සහ සැඟවෙමින් කරන ලද ප්‍රේමය අද අවසන්ය. කුණ්ඩුමණී ගේ අත ගන්නා පුද්ගලයා (ඔහු මහ රජකු ලෙස ඔහුට වැටහෙයි) එන කල ඔහුට සිදු වී ඇත්තේ කීකරු වී පසෙකට වී බලා සිටීමටයි. ගීතය තුල ප්‍රේමකීර්ති අලංකාර ලෙස වචන භාවිත කරයි. එසේම ද්‍රවිඩ ජනයගේ ඇවතුම්පැවතුම් ගැන ඔහුගේ ඇති දැනුමද මෙයින්ම ප්‍රදර්ශනය වේ.

පසු කලෙකදී ආර්ථික දුෂ්කරතා නිසා ෆ්‍රෙඩී සන්ෆ්ලවර් ආදී ගීත වනසන සංගීත කණ්ඩායම් සමග ගායනයේ යෙදුණි. අප අවාසනාවකට අද සුරැකී ඇත්තේ එම ගීත ද පමණි. එනමුත් අන්තර්ජාලය මඳක් පිරික්සීමේදී ෆ්‍රෙඩී "නන්දන වින්දන" වැඩසටහනට 1983 දී ගැයූ කුණ්ඩුමණී ගීතයේ කොටසක් හමු විය. බාගත කරන්නට ඇති ගීය හා සසඳන විට ෆ්‍රෙඩී එකල කොතරම් ප්‍රතිභා පූර්ණ ගායකයකුද යන්න වටහා ගත හැකි වනු ඇත. 

එමෙන්ම මෙහි මුල්ම පටිගත කිරීමද මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරමි. 

බටහිර සංගීත භාණ්ඩ වලින් තොරව ඝටම්, මෘදංග, තබ්ලා සහ නළා වලින් මුල්ම ගීතය වාදනය වේ. මෙහි මා මුලින් සඳන් කල කාවඩි හා කෝවිලේ පූජාවන් යන දෙකෙහිම ඇති ශබ්ද හඳුනා ගන්නට හැකි වනු ඇත. ෆ්‍රෙඩී ලා, විජයලා, ප්‍රේමකීර්තිලා නැතිව ගියේ අප අවාසනාවටය. ඔවුන්ට මෙවන් නිර්මාණ බොහෝ කරන්නට ඉඩ තිබිණි. නමුත් දෛවය ඔවුන්ට හරස් විය.

Monday, August 2, 2010

සුදු නෙළුම කෝ


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව


"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය විටෙක කන් කරච්චලයක් සේ දැනේ. නමුත් දියේ කිමිද, මල් කඩා, ඒවා සුළු මුදලකට විකුණන්නේ මොවුන්ට වෙනත් රැකියාවක් නොමැතිකම නිසාමය. මේ රැකියාවේ අප නුදුටු පැත්තක්, ශෝකාන්තයක අයුරින් රත්න ශ්‍රී හා අමරදේව ශූරීන් අප වෙත ගෙන එයි.

සොර බොර වැව අසල වාසය කළ සුදු නෙළුම අද නැත. ඇය මහියංගනයේ මල් සුවඳයි. පාළොස්වක දාට මහියංගන සෑය වඳින මහ පිරිසට මල් ඇය අලෙවි කරන්නී, ඉන් දිවි සරි කර ගන්නීය. එවන් සොර බොර වැවට කලුවර පායා එයි. මේ වනාහි හිරු බැස යාමෙන් එන කළුවරක් නොවේ. පාළුව නිසා එන්නා වූ කළුවරෙකි. සිහින් සිරිපොද වැටෙයි. ඉන් වැවේ දෙකොපුල් වැනි ඉවුරුද සේදෙයි. එනමුත් සුදු නෙළුම දක්නට නැත. ඈ විසින් නෙළු මල් මිට එහා ඉවුරට පාවී ගොසිනි. ඇගේ දෙකොපුල් ඉවුරු සොදා ගලන සිරිපොද යටින්, දෑස පියවුණු (මිය ගිය) ඈ මෙහා ඉවුරට පාවී එන්නීය. මේ පද වැල මල් විකුණන තරුණියකගේ ඉරණම ගැන කඳුළු කතාවක් කියවෙන ශෝකාන්තයක් බවට පත් වන්නේ එලෙසිනි. මේ ගීතය ප්‍රබල හැඟුම් ජනිත කරවන ගීතයකි. මේ හා සමාන වෙනත් එවැනි ගීත ඇතොත් ඒ මඩවල එස්. රත්නායක - පණ්ඩිත අමරදේව සුසංයෝගයෙන් බිහිවූ රුවන්මලී ගීතයත්, විමල් ජයශාන්ත
හා සනත් නන්දසිරි සුසංයෝගයෙන් නිමැවුනු එදා මෙදා තුර ගීතයත් පමණි.

රත්න ශ්‍රී වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙකි. එබැවින් මෙවන් පද වැලක් තුල රත්න ශ්‍රී විසින් සඟවන ලද පනිවුඩය සෙවීමද සිත් ගන්නා කරුණක් වනු ඇත. මේ මුළු ගීය පුරාම රත්න ශ්‍රී පෙන්වන්නේ ජීවිතයේ ආටෝපයේ පුහු භාවය හා අස්ථිර භාවයයි. අපගේ ආශාවන් මූර්තිමත් කෙරෙන මල් පොකුර සසරේ මහා වැවෙහි එහා ඉවුරට පාවෙද්දී මරණයෙන් පසු අප මලකුණ පාවී එන්නේ මෙහා ඉවුරටට්යි. තදින් බදා සිටියද මේ දේවල් එකිනෙකා ගෙන් අවසන වෙන් වන බව ගීයෙන් ඉඟි කෙරේ.

මේ ගීතය අමර්දේවයන් විසින් 80 දශකයේ ගයන ලද නව ගීතයකි. මේ ගීය ලියන විට රත්න ශ්‍රී නවක කවියකු පමණක් වන්නට ඇත. එනමුත් අරුත් සපිරි පදවැලක්, අනන්‍ය වූ හඬකින් ගැයෙන් මේ දුක්ඛාන්තයේ ශෝකී රසය අප විඳ ගනිමු.


Thursday, July 15, 2010

සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ 
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

 
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී


නන්දා මාලිනිය ගීත ගායනයට පිවිසියේ 1960 දශකයේ තිරගත වූ රන් මුතු දූව සිනමා පටය හරහා ය. එතැන් පටන් අද දකවා වසර 40කට අධික කාලයක් ඇය අප වෙනුවෙන් ගී ගයන්නීය. ඇයගේ ගී නදෙහි ස්වර්ණමය යුගය උදා වූයේ සිංහල ගීතයේ ස්වර්ණමය යුගයට දශකයක් පමාවීය. වර්ෂ 1975 දී පිට කළ කප් සුවහස් කල් , 1977 දී පිට කළ යාත්‍රා, 1980 දී පිට කළ යුගයෙන් යුගයේ හා 1984 දී පිට කල හේමන්තයේ යන ගීත සමුච්චයන් නන්දා මාලිනියගේ කටහඬෙහි උපරිම භාවමය රසය ගෙනෙන ගීතයන් ඇතුලත් වේ. අප කතා කරන මේ ගීතයත් 1979 පමණ කාලයේදී සුනිල් ආරියරත්නයන් විසින් ලියවුනකි.  

මෙම ගීයේ පද රචනය අතිශයින්ම සංකේතාත්මක වෙයි. එනිසා ගීයෙහි සැබෑ රසය විඳ ගැනීමට නම් මේ සංකේතයන් ගැන මනා දැනුමක් ලබා ගත යුතුය. මෙහි කිරිල්ලිය හා කුරුල්ලා ලෙස හැඳින්වෙනුයේ තරුණයකු තා තරුණියක බව වටහා ගැනීම අපහසු නැත. මේ කිරිල්ලිය කූඩුව එනම්, සිය පවුල් ජීවිතය ගෙන යන්නේ සුලං කපොල්ලකය. සුලං කපොල්ල භූ විද්‍යාත්මකව විග්‍රහ කරන විට දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. එමෙන් ම  මේ ගීතයේ සුලං කපොල්ලත්, ජීවිතයේ නේක දුෂ්කරතා වලින් කැළඹුන, පවුල් දෙකක් අතර සිර වුණු ස්ථානයකි. සිදු විය යුතු ලෙසින් ම ඇගේ පවුල් ජීවිතය නම් කැදැල්ල කැඩී ඉහිරී යයි. මෙලෙස කූඩුව කැඩී තැනින් තැන ගමන් ගන්නා කිරිල්ලිය (ආදරය සොයා විය හැකියි ), එක්තරා කුරුල්ලකු ලඟ නවතී. ඇය දැන් අන්නථය. යාමට තැනක් නැත. කූඩුව කැඩී සුලං කපොල්ල හැරදා ගිය නිසා ඇයට මව පියා හෝ නෑදෑයන් නොමැත. ඇයට තනියට ඇත්තේ කඳුල පමණි. ඇය මෙතරම් දුර සොයා ආවේ නිදැල්ලේ වෙසෙන මේ තනිකඩ කුරුළු රජුම ය. එබැවින් ඇයට ඔහුගේ කැදැල්ලේ ඉඩ දිය යුතුය. මෙහිදී කැදැල්ලේ ලැබෙනුයේ ලැගුම් ගැනීමට ඉඩක් පමණකි. එය පෙර පරිදි තැනූ කැදැල්ලක් ද නොවේ. එබැවින් මේ සබඳතාවය සමාජ සම්මතයන් ඉක්මවා යන්නක් බව යන්තමින් ඉඟි කරනු ලැබේ.

ගීයේ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි. පියානෝව, ෂේකර්ස් හා මැන්ඩලීනය යහමින් උපයෝගී කරගන්නා රෝහණ එතෙක් මෙරට ප්‍රබුද්ධ ගීතයට එතරම් එකනොවූ සංගීත භාණ්ඩ වල හඬෙහි අරුමය මනාව දන්වා සිටී. මේ ගීතය අසන විට මේ ගීතය සුනිල් හා නන්දා තමන් වෙනුවෙන් ගායනය කල එකක් දැයි වරෙක සිතේ. නන්දා මාලිනිය ගේ අසාර්ථක විවාහයත්, සුනිල් ආරියරත්නයන්ගේ තනිකඩ කමත්, ඔවුන් ගේ ඉන් පසුව ගෙවූ පුද්ගලික ජීවිතත් ගැන සලකන විට මේ අදහස බැහැර කළ නොහැකි එකක් බවට පත්වේ.

Monday, June 7, 2010

ඉක්මන් නොවුනා


ඉක්මන් නොවුනා නම් අපි
අපි අපගෙයි තාමත් හිතවතී
මේ වසන්තය නෑවිදින් සිටියා නම්
මේ තරම් දුක නෑ සඳවතී

මල් කැකුළු පුරවා අතු ඉතී
අපෙ මූණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යලී
ඔබ කොහිද කියපන් හිතවතී

ගෙට එන්ට කල් බැලු සේ අපි
වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
ඒ වසන්තය ආයෙම ඉතින්
හිමි නැතිද අප වෙත හිතවතී


ගායනය: ක්‍රිෂාන්ත එරන්දක

වසර පහකට පසුව කලින් සේවය කල සේවා ස්ථානයට ගියෙමි. වසර පහකට පෙර ලෙසම එම ස්ථානය ඇත. ගහ කොලද එසේමය. සමහරුන් විශ්‍රාම ගොස් ඇත. නවක මුහුණුද දකින්නට ඇත. මේ සියල්ල අතර වසර පහකට පෙරදී බලන්නට පෙරුම් පුරමින් සිටි මුහුණද විය. ඇය මදක් වයස් ගතව ඇත. නමුත් පෙර සේම සුන්දරය. මාද වයස්ගතව ඇත. එකල මෙන් නොව දැන් මා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. මගේ මතකය අතීතයට දිව යයි. එකට එක්වී සිනා සුණු, කතා බහ කල, අතිනත පටලා සක්මන් කල යුගය හීනයක් වාගේ මතකයට නැගෙයි. අපි පෙමින් වෙළී සිටියෙමු. නමුත් ඒ අපට එක්වන්නට ඉඩ නැති බව දන්නා අතරතුරදීමය. වසන්තය එකල අප වෙත විය. කුරුළු කිචි බිචිය කරච්චලයක් නොව ගීතයක්ම වූයේය. හැම පාටකම එළියක් අපි දැක්කෙමු. හෙට වන දේ නොසිතා අද පෙම් කළෙමු.

හෙට වන දෙය ගැන සිතන්නට වන් කල්හි අප පෙම දෙදරා ගියේ ඇයි? අපට ඇති ප්‍රශ්න විසඳා ගත නොහැකි බවට ඉක්මන් තීරණ අප ගත්තේ ඇයි? සමහර විට ටිකක් ඉවසුවා නම් ඔබ මා පියන් කැමති කරවා ගැන්මට හැකියාව තිබිණි. දුර රටක සිටින ඔබ විවාහ කර ගැන්මට බලා පොරොත්තු වන පුද්ගලයා නො එන්නට ඉඩ තිබිණි. අපි ඉක්මන් වූයේ ඇයි? ඒ ඉක්මන නිසාම එදා අප දෙපසට වීමු. ඔබත් ඉක්මන් විය, මමත් ඉක්මන් වීමි. කාලය ගෙවී ගොස් ඇත. අද මා විවාහකය. ජීවිතයේ වසන්තය අග ගිම්හානයට පිවිස ඇත්තෙමි. නමුත් මේ බිම තුල වසන්තයේ සොඳුරු සුවඳ තවමත් මා හට දැනෙයි. එහි සොඳුරු පැහැය ඔබ දකින විට සිතට නැගෙයි. ඔබ ඇඟිලි තවමත් හිස්ය. ඔබ විවාහ ගිවිස ගත් කෙනා වසර පහකට පසුත් පැමිණ නැත. ඔබ දෑසේ ඇත්තේ එක පැණයකි. "අපි ඉක්මන් වූයේ මන්ද" යන්නයි. එනමුත් මේ වසන්තය අපට හිමි නැත. ඒ වසන්තය නැවත කිසිදාක නො එයි. මල පුරා ගත් අතු රිකිලි නැවත අප දෙස බලා හිනැහෙන්නේ නැත. ඔබෙත් මගේත් දිවි මග ඒ සොඳුරු මොහොතක අතිපිහිත විය. නමුත් දැන් අප අපෙන් තව තවත් ඈතට ගමන් කරමින් සිටින්නෙමු.නැවත අප හමු නොවීමටද ඉඩ ඇත. එනිසා හිතවතිය ඒ වසන්ත නෑවිදින් සිටියා නම් හොඳ යයි නොසිතන්නේද?

Saturday, June 5, 2010

වළාකුළු පෙළින් බසින්න




වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ

දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැමදින
සදා හිනැහෙමි ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ
නුඹට ආදරේ

ගායනය - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා
පද පෙළ - වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය - නවරත්න ගමගේ

ඇය සිටිනුයේ ඈතකය. ගතින් හෝ සිතින් නොවේ. ඇයත් ඔහුත් අතර මහත් වූ ප්‍රාකාරයක් සෑදී ඇත. ඇය අහස් තලයේ සරනා සඳ කුමරියකි. ඔහු දේවදාර තුරු පාමුල හිඳගෙන සිටින සාමාන්‍ය මිනිසෙකි. එනමුත් පෙමට එය ප්‍රශ්නයක් නොවේ. මේ අදිසි ප්‍රාකාරය හරහා පැන ඒමට ඔහු ඇරයුම් කර සිටියි. වළාකුළු පෙළින් බැස ඔහුගේ හද නැමති මල් ගැබේ නිදන්නට ඇරයුම් කරයි. ඇය දේවතාවියක් විලසින් (ඉහළ සිට) මදහස නගන්නීය. ඔහු දේවදාර තුරු පාමුල තනිව ඉඳ ඇයගේ ආදරය දිනන අන්දම ගැන තැවෙන්නේය. ඔහු තමන්ට ආදරය කරන බව සඳ කුමරිය දනි. ඔහු තුන් යම පවසනෙන එයයි. නමුත් ඇයට අහසින් (තම සමාජ තත්වයෙන්) බැස පොළොවට (වඩාත් පහත් සමාජ තත්වයකට) ඒමටද නොහැකිය. එබැවින් තමන් ඉන්න තැනම සිට ඔහුට ආදරය කරන්නට ඈ උත්සාහ දරන්නීය. එකී අහස් කුසේ රැඳෙමින්ම ඔහු වෙනුවෙන් දිලෙන්නට ඇය ඉටා ගනී.

මෙහි ගායකයන් යුවල අප එතරම් අසා පුරුදු ගායකයන් නොවේ. ඩබ්ලිව්.ඩී. ආරියසිංහ යන නම කී පමණින් සිතට එන්නේ "කාඩ්බෝඩ් අමරදේව" යන යෙදුමයි. කලෙකට ඉහටහ් මුදල් උදෙසා ඔහු හා ප්‍රේමසිරි කේමදාස එක්ව අමරදේවයන්ගේ ගීත නැවත් ගැයීම තුළ ඔහු කළු පැල්ලමක් එක් කර ගත්තෙකි. එනමුත් ආරියසිංහ යනු ප්‍රතිභා පූර්ණ ගායකයෙකි. ඒ බවට ඇති යාව ජීව උදාහරණය නම් මේ ගීතයයි. ඔහුගේ හඬ භාවිතය කොතරම් අලංකාරද යන්න මේ ගීතය අසන විට සිතට නැඟේ. රශ්මි සංගීතා යනු සංගීත දැනුමෙන් පරිපූර්ණ කථිකාචාර්යවරියකි. ඇය ගයා ඇත්තේ ගීත ස්වල්පයකි. නමුත් ඇය ගායිකාවක් ඉස්තරම් දක්ෂතා ඇත්තියකි.

යසනාත් ජයවර්ධනපුර වෛද්‍ය පීඨයෙන් බිහිවූ තරුවකි. ඔහු විසින් රචිත ගීත අර්ථ ශබ්ද දෙරසයෙන්ම යුක්තය. ඔහුත් ගයාමන් දිසානායකත්, ප්‍රභා කුමාරත් හැර ගීත රචකයන් ලෙස කටයුතු කරන වෛද්‍යවරුන් නොමැති වීම නම් වෛද්‍යවරයෙක් ලෙස මට නම් ලජ්ජාවට කරුණකි. ජ'පුර සරසවියේ දේවදාර යාය මේ ගීතයට එක්වී තිබීම ද ගීතයේ සම්භවය ගැන ඉඟියක් සපයයි. නවරත්න ගමගේ කවදත් අළුත් ශබ්දයන් තම ගීත වලට එක් කර ගන්න අයෙකි. මේ ගීතයට බටහිර වාද්‍ය භාණ්ඩ ඔහු එක් කර ගන්නේ එහි ශබ්ද රසය මනාව ප්‍රයෝජනයට ගනිමිනි.

ඉහිහාසය විසින් උරුම කල ඒ කලු පැල්ලම මකා ගැන්මට ආරියසිංහයන්ට හොඳටම හැකියාව තිබේ. මෙවන් ගීත දුසිමක් ඔහුට ගයන්නට හැකිනම්, ඔහු ගේ නම් ශ්‍රාවක සවන් පත් අතර සදා රැඳෙනු ඇත. එය එසේම වේවා යන්න අපේ පැතුමයි.

Thursday, May 20, 2010

නාරද ඔබට නිවන් සුව!


සිංහල ගීතයේ අමරණීය සිහිවටන රැසක් එක් කළ ගායකයානෙණි, ඔබ 76 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර යයි. නමුත් සදාදරණීය කලාකරුවකු ලෙස ඔබ අප සිත් නම් හැර නොයනු ඇත්තේම ය.

1960 දශකයේ කාර්මික ශිල්පියකු ලෙස ගුවන් විදුලියට එක් වූ ඔබ තුල වූ නිසග කුසලතා හඳුනා ගැනීම වෙනුවෙන් අමරදේවයන්ට අපි තුති පුදමු. ඔහු විසින් තබන ලද විශ්වාසය, මධුර හඬකට පෙරලා අප ගීත කෝකිලාවිය සමග එක්ව, රන් මුතු දූවෙහි ගැයූ "ගලන ගඟකි" ගීය අදද අප සවන් පත් හි රැඳී පවතී. "පිපී පිපී රේනු" නැටූයේ ඔබ හඬටය. මුලු හදින් කළ පෙම දියව ගිය විට ඔබ විසින් ගැයූ ඒ ගීය සමග ඒකාත්මික වූයෙමු. ආදර නිල් දෑස දිහා බලමින් සිටි යුගය සිහිනයක් වූ කල්හි මේ දිය දාය (ලෝකය ) තුල මේ භවයේදී එක් වීමට නොහැකි බව කියූ ඔබ ගී සමග කඳුළු වැල් බෙදා ගත්තෙමු.

ඔබ වෙන්ව යාමෙන් ඇති කල රික්තය මහත්ය. ඔබ තැන ගන්නට යමෙක් නොවීම අප හද දවන කරුණෙකි. එනමුත් ඔබ නාරද ලකුණ අමරණීයව පවතී.

සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!

Monday, May 17, 2010

මධු සාද සිනා

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ. . හිරු පායා
නිවා. . සඳ තරු නිවා

පිපෙන හැඟුම් දෑසේ ඇවිලී
ලොවම සැලී සිහිනෙන් පිබිදී
සරා ගිනි නැගේ . .සිසිලසේ

පෑළ වියේ හිරු මියෙන පැයේ
සිහින බිඳී පිබිදී අඳුරේ
හඬා ඉකි බිඳී . . යෞවනේ

ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
සංගීතය: සුරේෂ් මාලියද්ද

මේ ගීතය අසන විටම ඔබට වෙනසක් දැනී යා යුතුමය. දීපිකා ප්‍රියදර්ශණී යනු ශාස්ත්‍රීය ගීත වල ආභාෂයෙන් ඉදිරියට ආ ගායිකාවකි. නමුත් ඈ ඒ සම්ප්‍රදාය උඩු යටිකුරු කරමින් "පොප්" සංගීත තනුවකට මේ ගීතය ගයන්නීය. මෙහි සංගීත ආභාෂය "පොප්" පමණකැයි කීමද එක අතකට වැරදිය. මන්ද මෙහි එන "ගිටාර් ඩිස්ටෝර්ෂන්" හා "ඩ්‍රම්ස්" වඩාත් කිට්ටු වන්නේ "මෙටල්" සංගීත ශෛලියට බැවිනි. එනමුත් සංගීතය හැසිරවීම හා නාද මාලා තුල මෙය "පොප්" ගීතයක් බව අවිවාදයෙන්ම පිළිගත හැකිය. ගීතය පුරාවටම සැක්සොෆෝනය වාදනය වෙයි. එමගින් බටහිර ඇමෙරිකානු අවන්හල් සංස්කෘතියට නෑකම් කියන වටපිටාවක් ගීතය මගින් ඇති කරයි. මෙසේ අති නවීන තනුවකට ගීය ගැයුවද ඇගේ හඬේ තවමත් ශාස්ත්‍රීය ලක්ෂණ ගැබ්වී ඇත. ඒ අනුව බලන කල මෙය අපූරු නිර්මාණයකි.

ඉන්පසුව දැනෙන වෙනස නම් ගීතයේ ශබ්ද සංස්කරණයයි. ඉකෝ (echo) වැනි ශබ්ද ප්‍රයෝග අසා පුරුදු ප්‍රබුද්ධ සහෘදයාට මෙහිදී මාලියද්ද විසින් "ෆේසර් (phaser)" වැනි නව ශබ්ද ප්‍රයෝග ගෙන එයි ("රැයේ හිරු පායා" යන කොටස ගයන විට මේ ප්‍රයෝගය අසා ගත හැකිය). සෙන්ටිග්‍රේඩ්ස් වැනි නව සංගීත කණ්ඩායම් මෙම ශබ්ද ප්‍රයෝග අතොරක් නැතිව භාවිත කිරීම නිසා ඒවා විහිළුවක් බවට පත්වී ඇති කාලයක, මේ ප්‍රයෝග අර්ථාන්විතව භාවිත කරන්නේ කෙසේද යන්න සුරේෂ් මාලියද්ද අපට පෙන්වා දෙයි.

මේ රැයකි. මධු සාදයකි. එහි අනුරාගී සිනා නැගේ. විදුලි බුබුළු නිසා රැයෙහි හිරු පෑයූ ලෙස පෙනේ. ඒ විදුලි හිරු විසින් සඳ හා තරු බොඳ කර නිවා දමා ඇත. මේ රාත්‍රී යාමයේ (එනම් පෑළ දිග අහසේ හිරු සැඟව යන මොහොතේ) ඇගේ සිහින බිඳී ඇත. එනමුත් නව සිහිනද ඒ සමග පිබිදේ (මේවා සමාජ විරෝධී සිහිනයන් වීමට ඉඩ ඇත). ලොව පිබිදී සැලෙයි. විකසිත වන හැඟුම් දැසෙන් පෙනෙයි. සරා ගිනි නැගේ. නමුත් යෞවනය ඉකිබිඳී. මේ ගීය ඇසෙන විට සිතෙනුයේ සමාජයේ ඉහළ පැලැන්තියේ තරුණියක් ආදරයෙන් පැරදීම නිසා හටගත් වේදනාවය. සාමාන්‍ය සමාජයේ මෙන් නොව ඉහළ සමාජයේ ඔවුන් විඳින වැඩි නිදහස සමග මෙවන් ලෙස වරදට යොමු වීම නිතැතින්ම සිදු විය හැකිය. මේ එවන් හැඟුම් සිත තුල පෙරැළි කරන මොහොතක ලියැවුණු ගීතයකි.

මේ ගීයට උචිත වන පරිදි නිමැවූ දෘෂ්‍ය පථයක් (video track) වසර කීපයකට කලින් ජාතික රූපවාහිනියේ දුටුවෙමි. ඒ සමග මේ ගීතය අපූරු සංයෝගයක් සාදයි.


Monday, May 10, 2010

ගීයෙන් ගයන්නෙ


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්
ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවා වී
ඒ මිහිකත ගෙන් සමු ගන්නට හෙට යළි ඒවී
ඒ ලෙසකින් හැකි නම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේ වී

පෑයූ ඉර සඳු එළියයි ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට හමු වෙමු හද ගිමන නිවා ලූ
පායන්න හැකි ද සඳ සේ ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවා ලූ

පද රචනය, ගායනය හා සංගීතය - ෂර්ලි වෛජයන්ත

හැත්තෑව දශකය සිහළ ගීයේ ස්වර්නමය යුගය බවට මා හා බොහෝ දෙනෙකු එකඟ වනු ඇත. ඒ ස්වර්ණමය යුගයේ ආභාෂය 80 දශකය තුලට කාන්දු වීම තුල විශිෂ්ට නිර්මාණ, කලින් තරම් නොවූවත්, සෑහෙන ප්‍රමාණයකින් තව දුරටත් සැකසිණි. අසූව දශකය මුල් භාගයේ ඉලෙක්ට්‍රොනික වාදන භාණ්ඩ කරළියට ඒමත් සමගම නාද රටා වලද වෙනසක් ඇති විය. අළුතින් පැමිණි මේ රැල්ල ග්‍රහණය කර ගනිමින්ම, වින්දනීය බවින් අඩුවක් නොවන ගීත නිර්මාණය කිරීම සමග ෂර්ලි වෛජයන්තයන් ගී ලොවට ප්‍රවිෂ්ඨ විය.

ෂර්ලි ගායනයේ අත් පොත් තැබූවේ තරුණ සේවා සභාව හරහාය. වසර 1981 දී, හොඳම තරුණ ගායකයා ලෙස කිරුළු පළන් ෂර්ලි, එම වසරේම ගායන දිවියද ඇරඹීය. "මට එපා ඔබේ හසරැල්" ගීතය ඔහුගේ මුල්ම ගීතයයි. ගායකයන් බොහූ සිටියද, ගායනය, වාදනය හා පද රචනය යන තුන් අංශයම නිපුණ ලෙස හසුරුවන ශිල්පීන් බොහෝ අඩුය. සෝමතිලක ජයමහ සහ ෂර්ලි හැරුණු විට මෙතරම් ගීත ප්‍රමාණයක් තමන් විසින්ම නිර්මාණය කල ශිල්පීන් නැති තරම්ය.

මේ ගීතය ෂර්ලි ගේ පළමු ගීත ඇල්බමයට අඩංගු වූවකි. ගීයේ පැරණි පටිගත කිරීම තුල පවා විද්‍යුත් ඕගනය බහුල ලෙස ඔහු යොදා ගනී. විද්‍යුත් භාණ්ඩ පවා සංයමයකින් භාවිත කළ හැකි බව ඔහු විසින් මොනවට ඔප්පු කර පෙන්වන ලදී.

පෙම්වතා තම හදේ ඇති ආදරය කියා ගත නොහැකිව ලතවෙයි. ඇය දකින විට ඔහු ගේ සිත සැලෙයි. එනිසා ගීයක් ගයා තම ආදරය පැවසීමට ඔහු සිතයි. ඇය ගැන හදේ උපන් ආදරය පද වැලකට පෙරළා තනුව යොද ඔහු ගයයි. ඔහු ගයන්නේ ඔහු වෙත පෙම පුද කරන ලෙසයි. ඉර හා තරු කඳු වැටි වලට මුවා වෙමින් බැස යයි, නැග එයි. එලෙසින් ඉර හා තරු මිහිකතගෙන් සමුගන්නා විට තම සිතට මුවා වී හිනැහෙමින් සිත් සනසා ගැනීමට ඔහු ඇරයුම් කරයි. එසේම හිරු සඳු ලොව ගන අඳුර මකයි. එවන් හිරු, සඳු හා තරු යට හමුවී හදෙහි ගිමන් නිවා ගන්නට ඔහු සිතයි. එවන් ගණ අඳුර දුරලන හිරු - සඳු සේ තම පෙම් පවස නිවන්නට ඔහු අයැදියි.

අසූවේ දශකෙයෙන් ගමන් ඇරඹූ ෂර්ලි, වසර පහළොවක් පමණ පුරා කළ නිර්මාණ ආශ්‍රයෙන් ගීත සමුච්චයන් හතරක් පමන එළි දක්වා ඇත. ඉන් පසුව නිහඬව සිටියත්, ලඟකදි ඔහු විසින් නැවත ගීත කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ ගී, නව යොවුන් වියේ සිටි අප සිත් කම්පනය කළ ගීතයන් වූයේය. අසා බලන්න, ඔබටත් එසේ දැනේද කියා.


Sunday, May 2, 2010

සඳු ද අවදියෙන්


සඳු ද අවදියෙන්
තරු ද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනි වුණ වසන්තයේ

සීතල ඇතිරුණු මිහිලිය ළය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම අද මා තනිවම

පහන් නොදැල්විණි ඔබ පැල්පත තුළ
නිදිමත අඩ නෙතු පිය සනහා
මගේම කඳුලක් මේ පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මත


ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: ප්‍රේමසිරි කේමදාස

 
මේ රැයේ තරු ද, තරුපති ද මා සමගම අවදියෙන් සිටිති. මේ එසේ ගෙවෙන පළමු රැයද නොවේ. නොනවතින වේදනාවෙන් පිරුන තවත් දවසක් මෙලෙස ගෙවී යයි. මම නිදි නොමැතිව බලා ඉඳිමි. කුමුදු මල් (කොඳ) කෙමි පැණියෙන් පිරී පිපිරී යයි. ඒ සීතල ගලාවිත් මිහි තලය වසා ගනිද්දීය. ඔබ සිටියා නම් එහි උණුසුමක් සොයා ගැන්මට හැකි වනු ඇත. නමුත් ඔබ නැත. ඔබ කුඩා නිවසේ පහන් නොදැල්වෙයි. (ඒ ඔබද දුකින් වෙළී සිටින නිසා බව දනිමි). නිදි මත ගලන අඳුර එය වසා සිටියි. බලන්න, මගේ කඳුළු ඔබ උයනේ මල් මත පවා වැටී සිටියි!

වසර දහතුනකට පෙර මේ වේදනාව මෙලෙසම මා වින්දෙමි. නො එන්නට වෙන්ව ගිය සුහදිනිය පිළිබඳ වූ පශ්චත්තාප ඇති සිතින් ගෙවුණු රාත්‍රී බොහෝය. මල්වල සුවඳ, කුරුළු නදෙහි පවා මිහිර නොවිඳින කලක් ද විය. විරහව යනු එවන් අති බලවත් හැඟීමකි. ඇගේ නිවසෙහි මේ වනතුරුත් පහන් නොදැල්වෙයි. (ඒ නිවසේ පහන ඈ වූ බැවිනි ). කුරිරු ලෙස සිඳ දමනු ලැබූ ඒ සබැඳියාවෙන් හිත වූ වණ සුව වීමට වසර ගණනක් ගත් වී ගියේය. වසර පහමාරක සරසවි ජීවිතය පවා එයට ප්‍රමාණවත් නොවීය. අපමණ දයාවක්, සෙනෙහසක් අද මා ලැබූවද, ඉඳ හිට ඒ මතකයන් හොල්මන් කර සිත පෙළයි. මේ අටුවාව ලියන්නට සිත් වූයේ අප බ්ලොග් සහෘදයකුට සිදු වූ, කිසිවෙකුට සිදු නොවිය යුතු වූ සිදුවීමක් දැකීමෙනි. මා ගැන කියන්නට මා අකමැතිය. නමුත් මේ සිදුවීම මා එතරම්ම කළඹාලූයේය.

මේ ගීයේ හඬ අමරසිරි පීරිස් ගෙනි. ඒ මෝහනීය හඬ මේ ගීයේ මිහිර දෙගුණ තෙගුණ කරයි. කේමදාසයන්ගේ සංගීතයද එයටම නොදෙවෙනිය. ගීය පුරා දිවෙන සංගීත ඛණ්ඩ කියා පාන්නේ තනිකමයි. මේ ගීය අසා බලා ගොලු වූ හා ගොලු කල හදවත් වල වේදනාවන් හා ඒකාත්මික වනු ඇතැයි සිතමි.
 

Monday, April 26, 2010

ලබන්න බැරි සුව සහනය

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

හෙට ද දවසකි
හෙට මේ ලෙසම හිරු නැඟේ
නොයනු මැන ප්‍රියේ
පොදි බැඳ තිළිණ ඔබ මගේ

සිසිලෙ උණුසුමේ
මම ඔබ ලඟ සිටින්නෙමි
විසිර ගිය කුසුම්
පෙති දෝතට අරන් එමි

පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: ? රොක්සාමි මාස්ටර්
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

හැත්තෑව දශකයේ අපූරු භාව ප්‍රකාශකයකු වූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියා ගැන මා කලින් සඳහන් කරනු මතක ඇතැයි සිතමි. මිල්ටන් විසින් ඔහුගේ පළමු ගීත එකතුවට ගායනා කල ගීතයක් ලෙස මෙය හඳුනවා දිය හැකිය. මෙහි පද සිංහල ගීත රචකයන් අතර අග්‍රස්ථානයක් හිමි කර ගන්න කරුණාරත්න අබේසෙකරයන්ය. මා දන්න තරමට මෙහි සංගීතය කේ. රොක්සාමි මාස්ටර් ගෙනි. සුවහසක් ශ්‍රාවක සවන් බැඳ ගන්නා සංගීත ඉතිහාසයක් මිල්ටන් ගොඩ නගා ගත්තේ මේ ගීත හරහාය.

තම පෙම්වතිය ගේ පහස විඳින්නට නොහැකිය. එය ඔහුට සිතින් පමණක් අත් විඳිය හැකි දෙයකි. විඳින්නට ඉතිරිව ඇත්තේ ඇගේ මිහිරි සුවඳ පමණි. ඒ ඇය ඉවත් ගියහොත්ය. හෙට තවත් දවසකි. අද මෙන්ම හෙටද වෙනසක් නැතිව හිරු නැගේ. එනම් හෙට යනුත් තවත් විශේෂයක් නැති දවසක් පමණි. එසේ වුවත් නොයන්නට ඔහු ඇයද සිටියි. මන්ද ඇය ඔහු ලද අමිල තිළිණය බැවිනි. එසේ ඔහු හැර නොගිය හොත් (ජීවිතයේ) සිසිලේත් උණුසුමේත් එක සේ ලඟ සිටින්නට ඔහු පොරොන්දු වෙයි. (දබරයක් නිසා හෝ සිත් රිදවීමක් නිසා) විසිර ගිය (ආදරය නම් වූ) කුසුමෙහි පෙති එක් කර නැවත දෝතින් ඇය වෙත ගෙන එන බව ඔහු පවසයි. හෙට වෙනස් දවසක් නොවනු ඇත්තේ රැකියාවට යාම හා ජීවන සංග්‍රාමයේ නොනැවතී යෙදෙන්නට වන නිසා විය හැකිය. සමහර විට ඇය මේ ජීවන ක්‍රමය නිසා විඩාපත්ව සිටින්නී එයින් මිදීමට උත්සාහ ගන්නවා විය හැකිය. ඒ ජීවන සංග්‍රාමය අතරතුර ඔහුගේ සිතට සහනය ගෙන එන්නේ ඇයයි. මේ ගීතය ගෙන එන්නේ තාවකාලිකව අමනාප වූ පෙම්වතුන් යුවලකගේ සිතුවිලිය.

මේ ගීතය සවන වැකෙන විටම දැනී යන පලමු කරුන නම් එහි වූ තනුවේ පැරණි ස්වභාවයි. මිල්ටන් තබ්ලාව සමග එතරම් ගණු දෙනුවක් තිබූ ගායකයකු නොවේ. නමුත් ශාස්ත්‍රීය තනු ගැයීමට වුවද හැකි බව මනාව විදහා දක්වමින් මිල්ටන් තබ්ලාව සමග මෙය ගයයි. මිල්ටන් විසින් ගයන ලද අමරණීය ගී අතරට මෙයද අනිවාර්යයෙන්ම එක වන ගීතයකි.

Thursday, April 22, 2010

පිතු සෙනෙහේ

පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ

හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ


ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී


මව් ගුණ ගැන ගැයුණු ගී අපමණය. මව් සෙනෙහසේ මතකය නැවත
අප වෙත ගෙන එන ඒ ගී සමහරක් අති විශිෂ්ට ගීතයන්ද වේ. නමුත් පිය ගුණ ගී ඇත්නම් ඒ ඉතා සුළු සංඛ්‍යාවකි. කපුගේ ගෙ "වන්නි වන පෙතේ", ටී. එම්. ගෙ "පවනට සැලෙනා " වැනි, එවන් අල්ප වූ පිය ගුණ ගී අතරින් මා සිත වැඩිපුරම සංවේදි කරවන්නට සමත් වූ ගීය වූයේ මෙයයි. මගේ පියා මඳක් රෝගීවුවද තවමත් යහතින් කල් ගෙවයි. එනමුත් මේ ගීතය මුලින්ම ඇසූදා මා සිත තුළ ඇති කලේ මහත් කම්පනයකි. පිය සෙනෙහස නොමති දින දරුවන් හිනැහුණේ කවදා දැයි ගීත රචකයා අපෙන් ප්‍රශ්න කර සිටී. දරුවන් ගේ සිතේ රැඳුණ තනිය මකන්නට මවුවරුන්ට පමණක් නොහැකි හෙයිනි. පියවරු මහ සයුරක් ලෙස ගිනියම් වූ ලොවම නිවා දමති. හිරු කිරණක් සේ ආලෝකයත්, මහ විසල් නුග ගසක් මෙන් සිසිල, සෙවණ හා ආරක්ෂාවත් ලබා දෙයි. පිය කෙනෙකුගේ පවුල තුල වූ කාර්‍යභාරය ඒ පද පෙළට එක් කර ඇති හැටි අපූරුය. ගීතයේ සංවේදීම කොටස වන්නේ ඊලඟ අන්තරාවයි. අම්මා බුදු වේවා යන්න අප ව්‍යවහාරයේ එන යෙදුමකි. මෛත්‍රිය, මුදිතාව වැනි අනත ගුණ සිතේ දරා සිටින මවු වරු මතු බුදු වන බව රචකයාද පිළි ගනියි. නමුත් ඒ මතු බුදු වන මවුවරුන්ට, ඒ පිළිබඳව නියත විවරණ ලබා දෙන්නේ තවත් පිය කෙනෙකු බව රචකයා සඳහන් කරයි.එනම් මවු වරුන්ගේ අවසන් ප්‍රාර්ථනාව පවා ඉටු වීමට පියවරුන් උදවු කළ යුතු බවකි. මෙහිදී පියා ගේ නිහඬ කාර්‍යය මහත් සේ අගයා පෙන්වනු ලබයි.

කුමාරදාස සපුතන්ත්‍රී නොහොත් සපූ, ගුවන් විදුලි සංස්ථාවේ සුළු නිළධාරියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, තම හැකියාවන්ගෙන් ඉදිරියටම පැමිණි අයෙකි. රෝහණ වීරසිංහයන් අප සරල සංගීතයේ රජු බව නොවළහා පැවසිය හැකි සත්‍යයකි. ගීත 2500 කට අධික සංඛ්‍යාවකට ඔහු සංගීතයෙන් දායක වී ඇත. එෆ්.එම්. මාෆියාව නිසා වත්මන් කාලයේ මඳක් නිහඬව හා උකටලීව සිටින රෝහණ නැවත තම නිර්මාණ කාර්‍යයන් අරඹනු ඇතැයි අප සිතමු. දීපිකා ප්‍රියදර්ශනී, නිරෝශ විරාජිනී, සමිතා එරන්දතී හා නෙලූ අධිකාරි යන ගායිකාවන් සමග අප සංගීතය ඉදිරියට ගෙන යන හඬවල් ලෙස දැක්විය හැකිය. එයිනුත් දීපිකා විවිධ ශෛලීන් වල සංගීතයන්ට ගී ගැයීමට මහත් හැකියාවක් දක්වයි. "මධු සාද සිනා", "සමණල රෑනයි" වැනි පොප් සංගීත ආභාෂය ඇති ගී වලට ඇය ඇගේ මහා සම්ප්‍රදායට අනුගත හඬ මනාව මුසු කරයි. මේ ගීතය ඇයගේ සාමාන්‍ය සංගීත ශෛලිය වන ශාස්ත්‍රීය ගීතයක් වේ. එනිසාම ඇය ඉත සුලලිතව මේ ගීතය ගයයි. ඔබත් ගීය අසා බලන්න. සියුම් හිරිය ඔබේ පපු පෙදෙසේ ඇති විය යුතුමය.

අහන්න

බා ගෙනම අහන්න

Thursday, April 15, 2010

රතු පාට මල්

රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි

සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ

ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ


පාසල් සමයේ වූ අසිරිය අප විඳ ඇත්තෙමු. පාසලෙන් වෙන්වී යන විට දෝරේ ගලා ගිය හැඟුම් සමුදාය ගීතයන්ට කැටි වූ අයුරු දැක ඇත්තෙමු. එලෙස හැඟුම් දෝරේ ගලා යාමෙන් පසු කලෙකදී, ඒ අසිරිමත් පාසල් සමය දෙස මැදහත්ව බලන්නෝ පිරිසක්ද වෙති. ඔවුහු රතු මල් පිපී, බිම වැටි, රතු මල් පලසින් හැඩවූ ගුරු පාර දිගට පියමන් කලේ ඒ අතීතයේදී ය. එනමුත් දැන් කලක් ගතවී ඇත. එදා සෑම දිනක ම ගඳපාන, පේර වැනි පළතුරු තිබුණේය. එනමුත් දැන් අවාරයට මෙන් ඒවා නැත. එනම් ජීවිතයේ සරුසාරතම කාලය වූ ඒ වසත් සමය දැන් නිමා වී ඇත. සුදු පාට ගවුමේ රැලිත් කරදාසි සිරි සිරියත් වැස්සෙන් තෙමූ කලෙක මෙන් නිහඬය. සිතුවම් අඳින්නට හුණු කූරු ගත්තත් ඒවා ගෙවී යනතුරුම ඇඳෙන්නේ බලි රූප පමණි. එය චිත්‍ර ඇඳීමට නොහැකියාව නොව, නිර්මාණශීලීත්වය, හා ජීවිතයේ සතුට නැතිවීමකි. පන්තියේ මිතුරියන් අතර එකල සිටියත් ඔවුන් දැන් නැත. කාලය විසින් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි පවා අමතක කර ඇත.

60 දශකයේ අග භාගයේ ඉන්ද්‍රානි සේනාරත්න ශිල්පිණිය විසින් ගුවන් විදුලියට මේ ගීය ගයා ඇත. මෙහි පිටපත් සොයා ගැනම ඉතා අපහසුය. අන්තර්ජාලය පීරා යන්තමින් සොයා ගත් පිටපත් මේ සමග අමුණමි. අපේ හෙළ සංගීත කෙත පෝෂණය කල මෙවන් සරල් ගීත වා තලයට මුසු වී වියැකී නොයනු වස් ගන්නා සුභාවිත ප්‍රයත්නයක එක් පියවරක් ලෙස මේ සටහන සළකනු මැනවි.
 
 

Monday, April 12, 2010

මාගෙ මතකේ ඔබේ රුව



මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි

ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා


සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා

ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී


ගායනය: සුජාතා අත්තනායක හා එච්. ආර්. ජෝතිපාල
සිනමා පටය: මිනිසුන් අතර මිනිසෙක්
රඟපෑම: ගාමිණී ෆොන්සේකා හා වීණා ජයකොඩි


ආසියාතිකයෝ ස්වභාවයෙන්ම කුඩා මිනිසුන් වෙති. එනිසා ආසියානු ගායකයෙක්ට රළු කටහඬක් හිමි වනුයේ කලාතුරකිනි. අමරදේව, කසුන් කල්හාර හා අමරසිරි පීරිස් ඉතාම කුඩා දේහ ඇත්තෝ වෙති. නමුත් අප ජාතියේ පිනට අපට අසල්වැසි භාරතයේවත් ගයකයෙකුට නොමැති තරමේ ගැඹුරු කට හඬක් මොවුන් තිදෙනාට හිමිව ඇත. එනමුත් කුඩා ගායකයන් අතර පාංශු දේහධාරි එක් මිනිසෙක් සිටියේය. ඔහු ගයන විට ගුවන් විදුලි සංස්ථාවේ රිසීවර් යන්ත්‍ර දෙදරුම් කෑවේය. එකල ගුවන් විදුලි සංස්ථාවේ හා චිත්‍රපට වල භාවිත කල හර්ට්ස් 100 - 4000 රාමුව තුල ඔහුගේ කටහඬේ නියම පෞරුෂය පෙනී ගියේ නැත. අපගේ වාසනාවට 70 දශකයේ අග හයි - ෆයි වර්ධක සහිත කැසට් යන්ත්‍ර කරළියට පැමිණියේය. ජෝතිපාලයන් ගේ කටහඬේ නියම පෞරුෂය පෙනෙන්නට ගත්තේ හර්ට්ස් 20 - 20,000 වාදනය කල හැකි කැසට් යන්ත්‍ර පැමිණි පසුය. 

සුජාතා අත්තනායක ශිල්පිණිය කරළියට එන්නේද 70 දශකයේ මුල් භාගයේය. උච්ච ස්වර සහිත ගීත ගැයීමට ඇගේ ඇති නිපුණතාවය බොහෝ අයගේ ඇගයීමට ලක් විය. ඇන්ජලීන් ගුණතිලක සමග එකල සිනමාවේ රිදී ස්වරය වූයේ සුජාතාය. මේ අපූරු ද්වයයේ සුසංයෝගය මතක පොත මත සදා සැමරුම් ඇති කල ගීයක් අපට තිළිණ කර ඇත. මේ ගීතය අඩංගු වූයේ ජෝ දේව් ආනන්ද ගේ "මිනිසුන් අතර මිනිසෙක්" සිනමා පටයටයි. සිහිනයක් තුළ ගැයෙන ගීතයක් වන මෙහි නිරූපණය වීණා ජයකොඩි හා ගාමිණී ෆොන්සේකාගෙනි. මෙහි එන රූප පෙළ රැඟුමකි. මෙහි රිද්මය ද "මන්දගාමි පොප්" ලෙස හඳුන්වන ආලිංගන නැටුමට යොදන "තාලයක්" එනම් "බීට්" එකක් වෙයි. ප්‍රේමයෙහි සොඳුරු කඩ ඉමක් මේ ගීතය පුරා නිරූපණය වෙයි.

මගේ මතකයේ ඇත්තේ ඔබ රුව පමණි. එනිසා මගේ ජීවිතයද ඔබගේය. ඈත එපිටින් ඇසෙන පෙම් ගීතය, සීත සඳපානේ කිරි සයුර කලතා සොයන්නේ ඔබයි. ඕලු මානෙල් සීත තුෂාරෙන් වැසී යන්නේ ඔබේ මුහුණ සිහි කරමිනි. ඔබ මා හදේ කවුළුව දොරින් පැමිණි, මට ලංව සිටින්න, මන්ද සීත සුළඟක් ලෙස මේ ඇදී එන්නේ එක්ව සිටින්නට ඈත භවයේ සිට පැතු පැතුම් හෙයිනි.

ජෝතිපාල මියැදී දැන් වසර විස්සක් පමණ වේ. ඔහුගේ අඩුව පුරවන්නට හැකි හඬක් අදට ද ඇතිවී නැත. අමරසිරි හා කසුන් ගයන්නේ ජනප්‍රිය සරල සංගීතය නොවේ. එම සංගීතයට අනුගත ජෝතිපාල වැනි හඬක් අසන්නට අද ද අපි ආසාවෙන් සිටිමු. සුජාතා අත්තනායක ශිල්පිනිය දැන් සැට වැනි වියට පමණ ළංව සිටින්නීය. කුරිරු ත්‍රස්තවාදීන් විසින් ඇගේ දෙටු පුත් බිලි ගැනීමෙන් අනතුරුව ඇය ගායනට සමු දී සුදු වත සිය වත කර ගත්තාය. ඒ දෛවෝපගත සිද්ධිය වී දැනට වසර 15ක් පමණ වේ. එදා පටන් අපි ඇගේ ගොළු වී ගිය නද අසන්නට  බලා සිටිමු. ඈ නැවත ගයාවි දැයි මා දන්නේ නැත. එනිසා ඇය විසින් අපට තිළිණ කල මේ මිණි රැක ගත යුතුය. 

70 දශකයේ සිදු කල පර්යේෂණාත්මක ගීතයන් ගේ රසය අදද විඳිමු. මහා සම්ප්‍රදායයෙන් බැහැරවී ගීත ගැයිය හැකිදැයි බලන්නට කළ මේ ගීත වල සැබෑ රසය අපට දැනෙන්නේ අදය. ඒ අද ඇති නිර්මාණ රික්තය නිසාය. මේ ගීය අසමින්ම අප ඒ මිනිසුන් අතර සිටි ඒ උත්තුංග දේහධාරී සොඳුරු මිනිසාට මල් මිටක් පිදිය යුත්තේ ඒ නිසාමය.



Thursday, April 8, 2010

ආදර චාරිකා

ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා

 
ජීවන මාළිගා දේදුනු මාළිගා
ආදර සිතකින් හදනා
ජීවන මාළිගා

 
කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා

අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා

 
සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකා

තුෂාර කඳුලු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලා


ඔවුන් සිටියේ දුරස් වීය. පෙම කියා ගන්නට බැරිව ලැතවෙමින් සිටි යුගයක්ද විය. නමුත් ගමන් මග වසා ගත් අඳුරු පටල තුනී වී ඔවුන් එකිනෙකාට පෙනේ. එවන් උණුසුම් සුමධුර හමුවක් අමිතා වැදිසිංහ හ ඒ.එල්.බි. කන්දෙපොල විසින් මෙලෙස ගීයකට මුසු කෙරේ.

ජීවන චාරිකාව ආදර චාරිකාවකි. එසේම දේදුණු මාළිගාවකි. සිතුවිලි එකිනෙක පැටලි (අත් වැල් බැඳ) ආදර සිතකින් ඒවා තැනේ. (මුහුණේ) කෝමල රේඛාවන් අඩ නින්දෙන් පිබිදි වඩාත් මතුව පෙනේ. ඒ මිලාන සිත් අහසේ දේදුන්නක් ලෙසටය. මල් හී සර සමග ඇමිණී අසෝක මල් පෙත්තක් පාව එයි. එහි ලියැවී ඇති රහස කිමද? මෙතෙක් කල් පසන් නෙත් කැලුම් දුටුවේ සුමයුර වූ සිහින ලොව තුල සරන විට පමණි. මෙතෙක් කල් සිත් සිර කර තැබූ එක් ටැම් මැදුර මතින් දේ දුන්නක් පාය සැල කරනුයේ එම නෙත් සැබෑ ලොවදීත් දැකිය හැකි බවයි. 

ඒ.එල්.බී. කන්දෙපොල අප වැඩිපුර අසා පුරුදු ගායකයකු නොවේ. ලක් හඩ ගුවන් විදුලියේ සේවය කරන මා මිතුරකුගෙන් දැන ගැනීමට හැකි වූයේ ඔහු ගයා ඇත්තේ ගීත 12කටත් අඩු ගණනක් බවය. එනමුත් මෙම ගීතය තුල ප්‍රකාශිත ආදරයේ ප්‍රහර්ෂය මනාව දැක්වීමට සමත් වෙයි. "ආදර චාරිකා" ගායනා වූයේ මීට වසර 30 කට පමණ පෙර දීය. අමිතා වැදිසිංහ ඒවන විටත් රසික හද දිනා ගත් ගායිකාවක් ව සිටියාය. ඇයද අපට අමතක නොවන ගී රැසක් තිළිණ කල ගායිකාවකි. නැවතත් ගීතය අසන්න. ආදර චාරිකාවක ඔබටද ගමන් කරණු හැකි වන්නේය.


Thursday, April 1, 2010

රජ මැදුරක


රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිලි
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ


පද: ලුෂන් බුලත්සිංහල
තාල: එච්. එම්. ජයවර්ධන
නද: මාලිනී බුලත්සිංහල


දිළිඳු කම බොහෝ දෙනෙකුට බලපාන්නා වූ ප්‍රශ්නයකි. නමුත් සමහරුන් එයින් ඉතාම තදින් බැට කති. දිළිඳු කමේ පතුලේම ගිලී සිටින්නෝ මවු වරු සහ දරුවෝය. එවන් මවක හා දරුවකු පිළිබඳ වූ සංවේදී ගීතයක් ඉහත ශිල්පී ත්‍රිත්වය බිහි කර ඇත.

මේ දරුවා ඉතා කීකරු දරුවෙකි. කුඩා වුවද නැති බැරිකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇත. මග දිගට ඇති රස කැවිලි, සෙල්ලම් බඩු වලට ආශාව ඇතත් ඒ දෙස වත් නොබලමින් ඔහු පාසල් යන්නේ එහෙයිනි. ඔහු අළුත් ඇඳුම් ඉල්වමින් තම මවට කරදර කරන්නේ නැත. වැරහැලි ඇඳගෙනම සිටී. ගෙදර ලිප මෙළවෙන්නේ ඉඳහිටය. එහි පිසින්නේත් සුණු සහල් කැඳය. නමුත් එය රස කරමින් මේ දරුවා පානය කරයි. ඉන් නොනැවති, ඔහු නොදුටු සැප සම්පත් නොපතා හීනෙන් පවා සිනාසෙයි. තම පුතු ඉපිද ඇත්තේ අතු පැලකය. නිකම්ම පොල් අතු පැලක නොව සුළඟට ගසා ගෙන යන පොල් අතු සහිත, හිරිකඩ ගසන,  අබලන් පොල් අතු පැලකය. ඔහු රජ මැදුරක ඉපිද සිටියා නම් ඔහු රජ වන්නට පවා හැකිවනුයේ ඔහු දිරිය දරුවකු නිසාය. එවන් දරුවකුට මීට වඩා සැප සම්පත් නොදීමට හැකි වීම ගැන මව සොවින් තැවේ. හීනෙන් සිනා නොවී මව හඬවන්නට කියන්නේ එබැවිනි.

වඩාත් සියුම්ව බැලූ කල්හි මේ ගීයේ ඇතැම් වචන වලින් එහි අරුත් කුළු ගැන්වෙන අන්දම මනාව දැකිය හැකිය. රස කැවිලි "සිල්ලර" ය. "පුංචි පැටික්කන්" මග දිගට ඒවා ඉල්ලමින් හඬයි. නමුත් ඉන් කුස පිරෙන්නේ නැත. මේ දරුවා සමාජයේ පුහු ආටෝපයන් කෙරෙන් ඉවත බලා යන්නෙකි. රජකමට ඔහු සුදුසු වන්නේ එබැවිනි. "ඉඳහිට මොළවන" ලිප දක්වන්නේ ඔවුන් කෑම වේලක් ලබන්නේ ඉඳහිට බවයි. වේලක් ලැබූවත් ඒ මිලෙන් අඩු කැඩුණු (සුණු) සහල් පමණකි. එයද බතක් පිස ගැන්මට තරම් නොවේ. එනිසා කැඳ සාදා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. මේ පද කිහිපය මගින් මේ දරුවා මුහුණ පාන දරිද්‍ර බවේ තීව්‍රතාව මනා ලෙස දක්වා සිටී. එනමුත් එවන් වූ අහරක් පවා දිව බොජුනක් ලෙස මේ දරුවා සලකයි. ඔහු පාසල් යාමටද කිසි විටෙක මැලි නොවේ. මෙයින් මේ දරුවාගේ දිරිය මනාව පෙන්වා සිටී. කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි. 

මුළු ගීය පුරාම පියා ගැන වදනකදු සඳහන් නොවේ. අනෙක් කරුණුද සමග එකව ගත් කල්හි, මේ දරුවා අවජාතක දරුවකුදෝ යන සැකය සහෘදයා තුල ජනිත කරවයි. ලූෂන් බුලත්සිංහල යනු කවදත් විප්ලවීය පද ගීයට ගෙන ආ රචකයෙකි. එනමුත් ඔහු විසින් මෙවන් භාව පූර්ණ ගී ලියැවී ඇත්නම්, ඒ ස්වල්පයක් විය යුතුය. අකාලයේ අප අතරින් වියෝ වූ මාලිනී බුලත්සිංහල ශිල්පිණිය මේ ගීයේ අරුත කුළු ගැන්වෙන භාවයන්  සමගින් මේ ගීය ගයන්නීය. ඇගේ අකල් වියෝව අප සංගීත කෙතට එල්ල වූ මහ පහරක්ම වන්නේය.


Tuesday, March 23, 2010

ඔබ වෙනුවෙන් මා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුනාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

 

සිහළ ගීයේ රන්වන් යුගය වූයේ 70 දශකය බව කලින් සඳහන් කර ඇත්තෙමි. අමරදේව, වික්ටර්, සුනිල්, නන්දා මාලිනි වැනි ශාස්ත්‍රීය ගායකයන් ශ්‍රාවක සවන් පත් සන්හාලන කලෙකදී , සරල ගී ගායකයකු ලෙස ඔහු ගුවන් විදුලිය හරහා දොරට වැඩියේය. ශ්‍රී ලංකාවට කැසට් පට සංස්කෘතිය මුලින්ම හඳුන්වා දුන්නේත් ඔහුය. 70 දශකය විසින් බිහි කරන ලද තවත අපූරු භාව ප්‍රකාශකයකු වූයේ මෙම මිනිසාය. ඒ කවරෙකුත් නොව මිල්ටන් මල්ලවාරච්චිය. විරහ ගීතයන් තුලින් දහස් ගණන් හදවත් ප්‍රකම්පිත කිරීමට ඔහු සමත් වූයේය. මේ ඔහුගේ එම අපූරු හැකියාව දක්වන එක් නිදසුනක් පමණක් වන්නේය. 

ඇය වෙනුවෙන් පෙර දාක ගයන ලද ගී නැවත කිසිදිනෙක ඇය සවනේ නොවැකෙනු ඇත. ඒ ගීයන් සුළඟේ මිලින වී යනු ඇත. සඳ කිරණ පවා, සැඩ හිරු කිරණ (ගත දවන) අයුරින් සිත දවයි.  මඳ පවනෙහි ද සිසිලක් නැත්තේමය. ඇගේ සුවඳ උදය හවා මතකයට නැගේ. ඒ සමග නෙත තෙත් වීමත් සිදු වේ. ඇයගේ (නෙළුමකට සමාන) තොල් පෙති අතරේ රැඳී ඇත්තේ වෙනෙකෙකුගේ නම බැවිනි. එනම් ඇය ඔහුට අහිමි වී ඇති බැවිනි. 

මිල්ටන් ජීවත් වූයේ අප නිවසට මීටර 750 පමණ දුරිනි. ඉඳ හිට ඔහුගේ නිවසට යාමට මටද අවස්තාව ලැබී ඇත. මිල්ටන් නම් මේ අපූරු මිනිසා සජීවීව ගයනු දැකීමට තරම් මම වාසනාවන්ත වීමි. මිල්ටන් ගේ මේ අපූරු විරහ ගී ගැයීමෙ හැකියාව ඔහු ජීවිත්යේ ප්‍රථම ප්‍රේමය පැරදීම නිසා හටගත් එකකැයි ඇතැම් විචාරකයෝ කියති. පන්ති පරතරය නිසා වෙන් කෙරෙනු ඔවුන් ගේ පෙමෙහි අමරණීය මතක සටහන් ලෙස මේ ගීත සැලකේ. ජෝතිපාල ගැයුවේ හින්දි අනුකාරක ගීය. නමුත් මිල්ටන් ගැයුවේ ස්වතන්ත්‍ර තනුය. ලංකාවේ සරල සුගම තනු බිහිවීමට මහත් මෙහෙයක් මිල්ටන් ගෙන් සිදු වූ බව ඔහු ගී දෙස බලන විට පෙනේ. මේ ගීය අසා බලන්න. විරහවෙන් මඩ්නා ලද ඔහු චිත්ත සන්තානයේ වේදනාවන් පද වැල් හරහා කෙතරම් අපූරුවට ඔහු අපට පවසන්නේද?

අසන්න

Sunday, March 21, 2010

කොත්තිලාක්කු පහන


කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියට

රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
ඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නට
අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට

ඉස්සර විදියට මගෙ අයියට සලකන්නට
නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිට
වෙනස් කමක් කරන්න එපා කවදාවත් මට

ගායනය - නිරංජලා සරෝජිනී
 

ජීවිතයේ විවිධ කාලයන්න්හීදී අපට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. පවුලක් තුල ඇති ස්ථානය ඉන් එකකි. කලින් පවුලක් තුල සිටි වැදගත් පුද්ගලයන් කාලානුරූපීව නොවැදගත් බවට පත් විය හැකිය. මේ සනාතන සත්‍යය, මෙම ගීය තුලින් මනාව විස්තර කර දෙයි.

කොත්තිලාක්කු පහන එනම් පොල්තෙල් පහන පැරණිය. එහි එළිය අඩුය. එය වඩාත් නවීන කුප්පි ලාම්පුවෙන් ආදේශනය වී ඇත. මේ අතර තවත් එළිය වැඩි ලාම්පුවක් ගෙනා විට කුප්පි ලාම්පුවද එළිය දෙන උපකරණ වල වැදගත් කමින් අඩු එකක් බවට පත් වේ. පහන උපමා රූපකයක් ලෙස යොදා ගනිමින් රචකයා ගැඹුරු විවරණයක් ජීවිතය ගැන සිදු කරයි.

පොල්තෙල් පහණ දැන් ඇත්තේ පෙට්ටගම යටය. එනම් කිසිම වැදගැම්මකට නැති තැනක එය ත්බා ඇත. තවදුරටත් එයින් ප්‍රයෝජනද නැත. කොත්තිලාක්කු පහන යනු ආච්චී ය. ඇය මිය ගොස් හො ඔත්පලව සිටිනවා විය හැකියි. මෙතරම් කල සාලයට එළිය ලබා දුන්නේ කුප්පි ලාම්පුවයි. එමෙන්ම මෙතෙක් කල් පවුලට එලිය ලබා දුන්නේ මවයි. නමුත් නව ලේලිය (අලුත් ලාම්පුව) විසින් ඇය කුස්සිය වෙත තල්ලු කර ඇත. එමෙන්ම සියළු දෙනා කතා වන්නේත් මේ අළුත් ලාම්පුව ගැන මිස පරණ ලාම්පු ගැන නොවේ. මේ නැගණිය පෙර පරිදි සිය සොයුරා සමග කල් ගෙවීමට නොහැකියාවෙන් දුක් වන්නීය. එමෙන්ම ඇය පවුලෙන් කොන්වී යාදැයි බියද ඇය සමීපයේ පවතියි. කුප්පි ලාම්පු එළියේ මවගේ දෙපසින් සිට කතා අහන්නට, අඩක් ඉතුරු කළ බත් පතේ රස බලන්නට ආදියට දැන් ඇයට ඉඩක් නැත. එතැන දැන් අයියාගේ බිරිඳ විසින් සොරා ගෙන ඇත.

සරල උදාහරණයක් උපමා රූපකයක් ලෙස භාවිත කරමින් සුවිසල් පණිවුඩයක් දෙන මෙවන් ගී අතිශයින්ම අගය කළ යුතු වන්නේය.

Saturday, March 20, 2010

මීන නුවන් යුග

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුනේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන්වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ


අප රට ආර්ථිකව පොහොසත් රටක් නොවේ. දරිද්‍රතාවයෙන් මිරිකී ගිය කල්හි, අන් සරණ නැති කල්හි, දුරු රටවලට ඔව්හු යති. ඉන් සමහරුන් නෑඹුල් යෞවන විය නො ඉක්මවූවෝ වෙති. එසේ දුර රටකට යන තරුණියන් තම ගම රට සිහිවි නෙතු අග කඳුළ නගති. ඔවුන්ගේ පෙම්වත්තු හෝ සැමියෝ එලෙසම ඔවුන් මතක් කරන අතර ඇතැම්හු දුක තුනී කර ගැන්මට මධු විතක සරණ පතති. ඇතැම් විට ඔවුන් බාල වියේ සිට හඳුනන්නෝ වෙති. ඇතැම් විට දුරු කතර ගෙවා පැමිණ හමුවන්නෝ වෙති. නමුත් මේ වෙන්ව යාම තුල ඇගේ දෑස තුලම සැඟවී ඉන්නට පෙම්වතාට සිත්වේ. ඔවුන්ගේ ජීවිත වල අහසෙහි කළු වලා නැග එයි. ඔවුන්ගේ මුදු වදන් අද එකිනෙකාට අසෙනුයේ වයරයන් දිග එන බොඳ වූ හඬක් ලෙසිනි. 
විප්‍රයෝගයේ හැඟීම් කුළු ගන්වන ලෙස ඊට උචිතම හඬකින් වේරලියද්ද ශිල්පියා විසින් ගයනු ලබයි. "කාල වලා නැග එන්නා . ." හා "දැසේ වෙළී . ." යන පද ගායනයේදී ඔහු ඉහල ස්වර පරාස වලට ගමන් ගන්නේ ශෝකී හැඟීම් තිව්‍ර කරමිනි. භාව ප්‍රකාශනය උපරිම ලෙස දැක්විය හැකි මෑත පරපුරේ ගායකයෙක් වන වේරලියද්ද විරල හැකියාවන්ගෙන් පිරිපුන් ගායකයෙකි. ඔහුගේ ගීත සෑහෙන ගණනකට ඔහුම සංගීතය සපයා ඇති අතර එම ගී වල තාලයන්ගේ පරාසය විශ්මය ජනක වේ. වෘත්තීය හා අති විශිෂ්ට ගණයේ උඩරට නැටුම්කරුවකු වන වේරලියද්ද, තම කුඩා කල සිට ප්‍රගුණ කල ජන ගී තාලයන් එකක් වත් ඔහුගේ ගී වලට යොදා නොගන්නා අතර ඔහුගේ ගායන විලාශය පවා එම ලක්ෂණ නොදක්වයි. ඒ වෙනුවට ඔහු යොදා ගන්නේ බටහිර ආරයේ තාලයන්ය. නමුත් ඔහුගේ ගැමි, හා භාවපූර්ණ කටහඬ එම සංගීතය සමග ඔහු මනාව මුසු කරයි. මෙම ගීයද එම ලක්ෂණ මනාව ප්‍රකට කරයි. මෙහි සංගීත භාණ්ඩ මුළුමණින්ම බටහිර ඒවා වේ. නමුත් ඔහු කට හඬ හසුරුවන අයුර තුල අව්‍යාජ ගැමි කමක් ගැබ්වී ඇත.

මෙම ගීය ඔහුගේ අවසාන ගීත එකතුවට අයත් වූවකි. මැත වසර 2 - 3 තුල ඔහු මඳක් නිහඬව සිටිනු දක්නට ලැබිණි. මේ නිහැඬියාව තවත් අති විශිෂ්ට ගී එකතුවක් නිකුත් කිරීමේ පූර්ව සළකුණකැයි අප උදක්ම පතමු.

අහන්න

බා ගෙනම අහන්න

Monday, March 15, 2010

පවන් සුසුම්

පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා


පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ 
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න

අභිෂේක යාමේ උදාවේ


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව
පද -  ධර්මසිරි ගමගේ
සිනමා පටය -  තරංගා


සිංහල ගීතයේ ස්වර්ණමය යුගය එළඹියේ 1970 දශකයේ පමණය. ශාස්ත්‍රීය ගායකයන් මෙන්ම සරල ගී ගයක ගායිකාවන්ද මෙකල ඉහළ දක්ෂ කම් දැක්වූහ. මෙම ගීතය ගයන ලද්දේ එවකට ප්‍රවීණ ගායකයකුව සිටි, එනමුත් වැඩිපුර කතා බහට ලක් නොවන චරිතයක් වූ දේවානන්ද වෛද්‍යසේකර ශිල්පියා ය. කැලිප්සෝ සංගීත ධාරාවේ ගමන් කල ඉන්ද්‍රාණි පෙරේරා ඉන් මදකට ඉන් ඉවතට ගෙන ඇගේ කටහඬේ සුමධුරත්වය සරල ගීයකට එක් කිරීමට අමරදේවයන්ට හැකි වී ඇත.

ඇස කොනින් ගලන හැඟුම්, පවන් රැලි වැදී නැටවෙන දිය රැලි හා ශෘංගාර රාවය හා නින්නාද වෙයි. මීමැසි මුවින් නැගෙන රාවයන්, ලඳුන්ගේ සුසුම් හා එකව ප්‍රසන්න වූ නීල වැව් තීරයේ නාද තරංග නංවයි. පෙම් ගීත වරෂාව,  වැව් තලාවට වැටේ. මනමාලියක් වීමට පැතු පැතුම් සඵලව තිබේ. මල්හාරියන්ගේ පෙම්වතුන් හා තුරුල් ව සිටී. මුව සිප එහි උණුසුම ලැබීමට කාලයද එළඹී ඇත. මන්ද මේ අභිෂේක යාමය බැවිනි. 

මේ ගීතයේ පද ධර්මසිරි ගමගේ ගෙනි. සංගීතය දේවානන්ද වෛද්‍යසේකරයන් සතුය. තරංගා සිනමා පටය වෙනුවෙන් මේ ගීතය නිමැවී ඇත. විවාහයට අවසර ලද හෝ අලුත විවාහ වූ යුවළකගේ උණුසුම් හැඟුම් උණුසුම් අයුරෙන් ගීතය තුලින් කියැවේ. මෙහි තනුව එයටම ගැලපෙන පරිදි ලයාන්විතය. වෛද්‍යසේකරයන් වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර අද ඔහු මහනුවර ප්‍රදේශයේ විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි. ඉන්ද්‍රානි පෙරේරා ශිල්පිණියද දැන් විශ්‍රාම ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. ඇයද පසු ගිය වසර 10 ක් 15 ක් කාලය තුලම කිසිදු නව ගීතයක් හඳුනවා දුන්නේ නැත. නමුත් සිංහල ගීතයේ ස්වර්ණමය යුගයෙන් සිහිවටනයක් ලෙස මේ ගීතය බොහෝ කල් සහෘද සිත් සතන්හි රැඳී පවතිනු ඇත.

Thursday, February 25, 2010

මතු සංසාරේ


මතු සංසාරේ අප දෙදෙනා
හද සන්තානේ අද විඳිනා
දුක සන්තාපේ සංසිඳෙනා
පෙම ප්‍රාර්ථනා කරම්

මතු සංසාරේ අප දෙදෙනා
හද පෙම් තාපෙන් හිත දවනා
මේ වෙන් වීමේ දුක් නිවනා
පෙම ප්‍රාර්ථනා කරම්

බැඳිලා ප්‍රේමේ හද නිම්නේ
කවුදෝ කිසිදා ජයගන්නේ
අප මෙන් කඳුලේ ලතවෙන්නේ
ජය සීනු නාදේ නෑ ඇසී
මේ ප්‍රේමයේ විජිතේ

උදයේ හමුවී හිනැහෙනවා
නොනිදා සයනේ වැලපෙනවා
දෙදෙනා දෙපසේ තනිවෙනවා
කවදාද ප්‍රේමේ ගීතයේ
දුක් වේදනා නැසුනේ

 
ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න

සමහරුන් ආදරය නොලබති. ඔවුහු ආදරයේ අරුම නොදන්නෝය. සමහරු ආදරය ලබති. විවාහ ද වෙති. ඔවුහු වෙන් වීමේ දුක නොදන්නෝය. ආදරයේ අරුම දැන වෙන්වීමේ දුකින් තැවෙන්නෝද වෙති. මේ ගීතය එවැන්නන් උදෙසා ලියවුණු එකකි.

ආදරයට බොහෝ දෙනා අකුල් හෙළිය හැකිය. නමුත් බොහෝ විට ආදර වන්තයෝ ඒ බාධා මැඩ ඉන් ජය  ලබති. එනමුත් සමහර සටන් දිනන්නට බැරි අවස්ථාද වෙයි. මේ එවැනි අවස්ථාවකි. හද නිම්නයන් ප්‍රේමයෙන් බැඳුනත් ඔවුහු කඳුළු සලමින් ලතවෙති. ප්‍රේමයෙන් ජය ගන්නා අය ඇති බව ඇසීමත් ඔවුන්ට අරුමයකි. ජීවිතයේ ජය සීනු නාදය (මංගල සීනු විය හැකිය) ඔවුන්ට ඇසි නැත. උදයේ හමුවී සවසට වෙන්වී, තම දෛවය ගැන ඔවුහු රාත්‍රිය පුරා නිදි නොමැතිව සුසුම් සලන්නෝය. දෙදෙනා තනි වන බව ඔවුන්ටම ඉවෙන් මෙන් දැනේ. මේ පෙම් ගීතයේ දුක් වේදනා නැසෙන්නේ කවදාදැයි ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කර සිටිති. එබැවින් මතු ආත්මයකදී හෝ හද සංතාපය දවන, පෙම් තාපයෙන් සිත තවන මේ පෙම ඉටු කර ගැන්මට ලැබෙන ලෙස ඔවුහු පතති.

මේ ගීතය කුලරත්න ආරියවංශයන්ගේ පන්හිඳින් ලියැවී එච්.එම්. ජයවර්ධනයන්ගේ නාද සිත්තමින් හැඩ වුනකි. ටී.එම්. ජයරත්නයන් විසින් 1980 මුල් භාගයේ ගයන්නට යෙදුනු වෙනස් ආරයේ ගී ගොන්නෙන් එකක් ලෙස මෙය සැලකිය හැකිය. සරල පද, සරල තාලය හා බටහිර වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගනිමින් බටහිර ආරයට මෙම ගීත ගැයී ඇත. එනමුත් එම සරල බව තුලම මේ ගීතය අමුතු මිහිරක් ජනිත කරයි.


Tuesday, January 12, 2010

සැන්දෑ කළුවර

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි


කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ


පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවේ



පද වැල - සුනිල් සරත් පෙරේරා
ගායනය හා සංගීතය - විශාරද සනත් නන්දසිරි

 

මෙයට වසර තිහ හතළිහකට පමණ පෙර මෙරට සාමාන්‍ය පවුලක දැකිය හැකි සංසිද්ධියක් විය. ස්වාමි පුරුෂයා උදෑසන රක්ෂාවට පිටත්ව යාමත්, බිරිඳ ගෙදර දොර කටයුතු බලා ගැනිමත් සාමාන්‍යයෙන් සිදු විය. අද මෙන් නොව, ප්‍රවාහන දුෂ්කරතා තිබු එකල කොලඹ යන අයකු සවස හතරට වැඩ ඇරීමෙන් පසුව නිවසට පැමිණෙන විට බොහෝ වේලා ගත විය. මෙලෙස වෙහෙස වී පැමිණෙන පුරුෂයකුගේ සිත සනහන දසුන වන්නේ තම බිරිඳයි. මේ දෛනික ජීවන චක්‍රය මනරම් පද වැලකට නැගීමෙන් මෙම ගීය බිහි වී ඇත.


සැන්දෑ කළුවර ගැලුවත් කවියාගේ නිවස ආලොකවත් වී ඇත. ඒ තම බිරිඳගේ සෙනෙහසේ ප්‍රභාවෙනි. එසේම පරිසරය ආලෝකවත් වී ඇත්තේ ඇගේ සිනාවෙන මුහුණ නම් සඳ මඬලෙනි. ජීවිතයේ දුක හා වෙහෙස නිමවී යන්නේ ඒ දකින විටය. අතු පැලක් වුවත් එහි කුරුළු කැදැල්ලක උණුහුම ඇත. ජීවිතයේ පීඩාවන්ගෙන් අසරණ වූ දින එක්ව හඬන්නට, සැනසුම සුඟක් ගෙන දෙන්නට සිටින්නේත් ඈ මය. මේ සුවය තාවකාලික බව කවියා දනී. එය පවතින්නේ පසුදා උදැසන තෙක් පමණි. ලෝකය හා එක්ව ජීවන තරඟය දිව යන්නට උදෑසනම ඔහු නිවසින් පිටවිය යුතුය. කවියා තම බිරිඳගෙන් ඈත්ව සිටින මොහොතේදි ඇගේ අගය වැඩිමනත් ඔහුට දැනේ. ඇගේ හදට තවත් ළං වී ආදරය කරන්නේ එබැවිනි.



වත්මන් සමාජය තුල තම සැමියා සේවයට ගොස් ආපසු එන තුරු බලා සිටිනා බිරින්ඳෑ වරු ගණන එන්න එන්නටම අඩු වේ. විෂේශයෙන්ම නගර බද ඉහළ මධ්‍යම පංතික දරුවන් හැදී වැඩෙන්නේ දෙමාපියන් දෙදෙනාම රැකියා කරන පරිසරයකය. උස් මහත් වී වැඩෙන ඔවුන් විවා පත්වූ කලද මෙබඳු සම්බන්ධතාවයක් ගැන අත්දැකීමක් ඔවුනට නැත. එබැවින් එවැනි අත් දැකීමක සුන්දරත්වය විඳ ගැනීම ඔවුනට අපහසු විය හැකිය. ඇත්තෙනම ඉතාම කාර්ය බහුල රැකියාවක යෙදී සිටින මම මේ අත් දැකීමේ සුන්දරත්වය විඳ ගැනීමට නොහැකි වූවෙක්මි. මා බිරිඳ ද ඉතා කාර්ය බහුල නිර්වින්දන වෛද්‍යවරියකි. ඉතා කලාතුරකින් ලැබෙන විවේකයකදී අප අප ගැනම කතා කරමින් සිටියදි අහම්බයෙන් මේ ගීතය අසන්නට ලැබිණ. අපෙන් ඈත් කරන ලද ඒ සුන්දර අත්දැකීම ගන මඳ හෝ වැටහීමක් මා සිතට ඇතුලු වූයේ එවිටය. මා බිරිඳ ද කියා සිටියේ බටහිර අනුකාරක මේ ජීවන තරඟය මඳකට හෝ නවතින විටෙක, මා රැකියාවට ගොස් එනතුරු ඈ හට බලා සිටින්නට ඇත්නම් කොපමණ සුන්දරද යන්නයි. එබැවින් මේ ගීතය මගේ පුද්ගලික අත්දැකීමක් ලෙස මා හට අහිමි සුන්දරත්වය විඳ ගැන්මට මා උත්සුක කළ ගීයක් විය.


මේ ගීතයේ හඬ හා නද විශාරද සනත් නන්දසිරි මහතාගෙනි. ඔහුගේ ගඹුරු හඬ පෞරුෂය ගීතය පුරාම මනාවට දිස් වේ. පද රචනය සුනිල් සරත් පෙරේරා මහතා ගේය. හර බර වචන යොදා කරන ගීත රචනා හා සරල සුගම වචන යොදා කරන නිර්මාණ යන විශාල පරාසයක ගීත රචනා කල ඔහුගේ රචනා කෞෂල්‍යය මේ පද වැල පුරම හොඳින් ප්‍රදර්ශනය වේ.

බාගෙන අහන්න