Wednesday, August 19, 2009

මේ මල් උයනේ

මේ මල් උයනේ මල් වාරයයි
උන්මාදයෙන් මල් මල් කොඳුරන කාලයයි
මේ මල් උයනේ මල් වාරයයි

උයන අසබඩ නිසල ගං තෙර
රාග රාගිනී රාව දෙයි
පිණි බිඳ බිඳ රූරා ගලයි

තනිවූ ඔරුවක් ගී හඬ ඔස්සේ
ගං ඉවුරට අඳුරේ ඇදේ
මුණු මුණු ගෑ මල් මුනු මුනු නවතා
තුරු සිදුරෙන් එබිකම් කරයි

රාග රාගිනී නවතී - තරු කැට ගඟට වැටේ
හංසයෙක් ගාටයි - රත්සර කැකුලට තුඩු දෙයි

"ගං ඉවුරක මල් උයනක හිඳ ගත් සිත්තරෙක් අවට පරිසරය සිත්තම් කිරීමට සූදානම් විය. හදිසියේම සිත්තරා කවියෙක් විය. මේ ඒ සිත්තරා කවියෙන් කල සිතුවමයි" නන්දා මාලිනිය මෙම ගීතය හඳුන්වා දෙනුයේ එලෙසයි. සැබැවින් ම මෙම ගීතය පද වැලකින් කල සිත්තමකි. මල් උයනේ මල් වාරය එළැඹී ඇත. මල් උමතුවෙන් මෙන් මුමුණයි. රාග රාගිනී (ගීත) නිසල ගං ඉවුර අසල ඇසේ. පිණි බිඳු වැටේ. මේ අතර ඔරුවක් අඳුරේ ම ගං ඉවුරට ඇදෙයි. ඒ දකින මල් මුණු මුණුව නවතා ගස් අතරින් එබිකම් කරයි. ගීත නවතින, තරු බැස යන රෑ යාමයේ හංසයෙක් තනිව හිඳ මල් කැකුළකට තුඩ තබයි.

මතුපිටින් පෙනෙන අරුත අනුව මෙය අලංකාරවත් වූ පරිසර වැනුමකි. නමුත් සංකේතාත්මකව එයින් ඔබ්බට වූ අරුතක් මින් දනවයි. මල් යනු තරුණියන් ය. මල් උයනේ මල් වාරය, එනම් තරුණ විය එළැඹෙන විට ඔවුන් ප්‍රේමයෙන් උන්මාද වී කොඳුරති. පෙම් ගී ද වැයේ. ඒ අතර බිංදුවෙන් බිංදුව සිත් හි ආශාවන් ද වැඩිවේ. එනිසා ම රාග රාගිනී රාව වැයේ. මේ අතර තනි වූ ඔරුවක් රහසේ ම ගං ඉවුරට (මල් උයන දෙසට ඇදේ). එහි එනුයේ කවුද? ඒ එන පුද්ගලයා දෙස මෙම පිරිස කතා නවතා තුරු සිදුරෙන් (ගස් අතරින්) හොරෙන් බලයි. තරු ගිලෙන රෑ යාමයේ දී හංසයා (තනිව ඔරුවේ ආ පුද්ගලයා) රත්සර කැකුළකට තුඩ තබයි. අවසන රාග රාගිනී ගී ද නවතී. නිර්මාණාත්මක පුද්ගලයාට ඕනෑම මාතෘකාවක් අලංකාරව ඉදිරිපත් කළ හැකිය. ශෘංගාරය පිළිබඳ වූ නිර්මාණ ද එලෙසම ය. මෙම ගීතය නවක ගීත රචකයකු විසින් නන්දා මාලිනිය ගේ අරලිය ලන්දට ඇල්බමය වෙනුවෙන් ලියැවුණකි. රාගධාරී සංගීතයෙන් ආභාෂය ලබා ඇති මෙහි සංගීතය මෙහි පද වැලට අමුතුම මිහිරක් සපයයි.

අසන්න

2 comments:

ඩෝසන් said...
This comment has been removed by the author.
sruberu said...

මේ ගීතය සම්බන්දයෙන් අවසානයේ දක්වා ඇති කරුණු නිවැරදි නැහැ. මෙම ගීතය ඇතුලත් උනේ "අරලිය ලන්දට" කැසට් පටයට නෙවෙයි. ඊට පෙර නිකුත් කළ "මධු බඳුන්" කැසට්පටයට. මෙම කැසට් පටයේ තිබූ සියළුම ගී පදමාලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ. මෙම ගීතයේ සංගීතය මර්වින් පෙරේරාගෙ.