Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts
Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts

Saturday, May 7, 2016

හදේ කොතැනක හෝ


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රෑනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත දවා ගිය ඔබ
දවයි මා සිත
තනි වෙනා මොහොතේ

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්


පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: සුනිල් එදිරිසිංහ


බොහෝ කලෙකට පසු ඔබ දකින්නට ලැබුණේ අහම්බෙන් මෙන්ය. නොදුටූ සේ හැරී යන්නට සැරසුණත්, මා නම කියා අමතනු ලබනු ඇසීමෙන් මඳක් පසුබට වුණෙමි. ඔබ මට අඬ ගසනු සිහිනයකින් මෙන් මට ඇසිණ. මළ හිරු බසින විටෙක, බිම් අඳුරේ වටපිටාව සැඟව යන කලකදී මෙන් මා අඳුරේ හොවා ඔබ ඉවත්ව ගිය'යුරු මා සිත හරහා ඇඳී යයි. ඉන් සිඳිණු, මඩිනු ලැබූ සිත සිය වරක් ඉකි ගසා හැඳුවේ මා කාත් කවුරුත් නැති දුරු රටෙක තනි වූ මොහොතේදීය. ඔබ හදවත කොණෙක තවමත් සැඟව ඇති බව මට වැටහුණේ එවිටය! ඔබ ගැන වූ ප්‍රේමණීය හැඟුම් මියගොස් ඇතැයි සිතුවෙමි. නමුත් ඒවා නිදාගෙන වත් සිට නොමැත. නින්දෙන් නොනින්දෙන් සිටි එම හැඟුම් ඔබේ මඳහස් රෑනින් පිබිදී, මෙතෙක් කල් මා ගෙවූ සුව දැහැනින් මුදවා මා පෙළයි. එනමුත්, ඔබ නැවත වෙන්වී යනු ඇත. මේ අහඹු මිනිත්තු කීපයෙන් පසුව එළඹෙනු ඇත්තේ අති දීර්ඝ නිහැඬියාව, අඳුර, පාළුව සහ හිස් කම පමණෙකි. ඔබට පුදකල ඒ උතුම් පෙම පිළිණ කොට, ඔබ හා මා එකව පැතූ ඒ සුවහසක් පැතුම් නාමයෙන් ඔබ වෙන්ව යා යුතුය. මා නෙතෙහි ඔබ වෙනුවෙන් නැගුනු කඳුල වි‍යළී යන්නට පෙර යදින්නේ, මා තනි කරදා, මගේ මතකයෙන් මැකී යන ලෙසය. අඳුරට, පාළුවට, තනිකමට සහ නිහඬතාවයට මා හද අරක්ගෙන සිටීමට එවිට හැකිවේවි.

සුනිලුන් විසින් ගයන්නට යෙදුණු විරහවේ වේදනාව සිත කීරිගස්වන අයුරින් ගෙන් එන ගීයකි මේ. සපු විසින් වචන යොදන්නේ ඉතාම පරිස්සම් සහගතවය. මුළු ගීතයම "ජීවිතයෙන් පෙත්තක්" ලෙස හඳුන්වන කෙටි කතාවක ශෛලිය බඳුය. ඉතාම සුළු සිද්ධියක් පාදක කොට කෙන සිතුවිලි සමුදායක් එක පිට එක නැග එන අන්දම සපු මනාව දක්වා සිටිට්යි. ගීය පුරාම දැවෙන්නේ අවිනිශ්චිතභාවයයි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකදැයි ඔහු නොදනියි. එසේම සිතිවිලි අවදි වෙන්නටද කල්යල් බලමින් සිටියි. ඒවා අවදි වන්නේද තනි වෙනා මොහොතේදීය. තනිවීම යනු හුදෙකලාව පමණක්ම නොව, දුර්වල වන අවස්ථාවක යන්නද සිතිය හැකිය.

මේ ගීතය පෙම් විරහවෙන් තැවුණු, අමතක කල නොහෙන පෙමක් ඇති සියල්ලන්ගේම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු ගීයෙකි, මෙහි භාවය ඒ තරම්ම ශක්තිමත්ය. 

Thursday, July 14, 2011

හිරු දැවී

හිරු දැවී සඳු ගිලී
කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා
හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින් . . .

සිටු මැදුරු යස ඉසුරු
පිරුණු ලොවකට - මහරු
කදෝපැණියෙක්මි මා
ඇඳිරියේ
කෙලෙස නම් එලිය දෙම්
කුමරියේ . . .

කතරකට පිණිබිඳකි
කුමුදකට පුරසඳකි
මතකයෙන් ගිලිහිලා
කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි
මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකළු කල මැන
මහද සෙනෙහසින් . . .


ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනී
සංගීතය: රෝහණ වීරසිංහ
ටෙලිය: අවසඳ (1990)


ඇය ධනවත් සිටු පවුලක උගත් තරුණියකි. සිය දෙමාපියන්ට නොපිහිටි රැඩිකල් ගති ඈ සතු විය. එනිසාම ඇගේ සරසවි පෙම්වතා ඇගේ දෙමාපියන් අණින් "අතුරුදහන්" කෙරවෙයි. ඉන් පසු ඇය ගෙවන්නේ උමතු තත්වයකට ආසන්න දිවියකි. ඔහු උපාධිධරයෙකි. විරැකියාවෙන් ඇති වූ ජීවන බර උසුලා ගත නොහී හෙතෙම රියැදුරකු ලෙස රැකියාව කරන්නේය. ඔහු ඇයගේ රියැදුරා වෙයි. මොවුන් අතර ඇති වන සංකීර්ණ සම්බන්ධතාවයත්, ඇගේ දෙමාපියන් එය අසම්මත පෙමකැයි වටහා ගැන්මත්, 1990 මුල් භාගයේ පුංචි තිරයට එක් වූ අවසඳ ටෙලි වෘතාන්තයට පාදක විය. දැන් ඇති මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය මෙන් නොව එකල තිරගත නාට්‍ය ඉතාම තියුණු තේමාවන් රැගත් ඒවා විය. හිරු දැවී ගීතය මේ නාට්‍යයේ තේමා ගීතය වන අතර, මුළු නාට්‍යයම එම ගීතය තුලට කැට කර ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. 
ඇගෙ ලොව අඳුරු වී ඇත. ඒ හිරු දැවී ගොස් සඳු ගිලී යාමෙන් නොනැවතී අසංඛ්‍ය වූ තරු ද නිවී යාමෙනි. හිරු වැසී නැත, ඇත්තේ දැවී විනාශ වීය. සඳු ද වැසී නැත. එය යළි ගොඩ නො එන්නට ගිලී ගොස් ය. එ මගින් මේ ඇගේ සිතෙහි ඇති වන පාළුව පිලිබඳ වූ දැඩි භාවයන් ප්‍රකාශ කෙරෙයි. ඔහු නැතිව යාමෙන් විමානය අඳුරු වී ඇය මග නොමග හඳුනා ගැනීමට නොහැකී වල්මත්ව ඇත. ඇය වල්මත්ව ඇත්තේ පුහු ආටෝපය නම් වනයේය. ඔහුට හිරු සඳු වී ඇයගේ එළිය කරන්නට ඇය ඇරැයුම් කරයි. එ නමුත්, ඔහු සිය තත්වය මනාව තේරුම් ගත් අයෙකි. මේ යස ඉසුරෙන් පිරුණු ලොවට ඔහුගේ එළිය කදෝපැනියකු හා සමානය. එනිසා ලොවට එළිය දෙන්නට කෙරෙන ඇගේ ඇරැයුම් නිසරු එකක් බව ඔහු පවසයි. ඇයට අනුව ඔහු කුමුදකට පුරසඳක් මෙන්ය. එනම් ඔහු දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි. නමුත් ඔහුට අනුව ඔහු කතරකට පිණි බිඳුවකි. කතර තෙත් කිරීමට එය නොසෑහෙන අතර නිරුදක කතර හා ගැටුණු සැනින් පිණි බිඳුව මිය යයි. එනිසා හිරු දැවෙන, සඳු ගිලෙන ඇගේ ලොව එළිය කිරීම ඔහුට කළ නොහැක්කකි. 
මේ ගීය පුරාම දිවෙන භාවයන් එහි වචන මගින් මනාවට විස්තර වේ. පංති ගැටුම හා ආදරය ගැන මනා කියැවීමක් මේ ගීතයෙන් ලැබේ. එසේම ශ්‍රී ලාංකික යුග ගීත ඉතිහාසයේ උච්චස්ථානය ලෙස මේ ගීතය සැලකීමටද මම පසුබට නොවෙමි. තනුව හා සංගීතය වඩාත් හොඳ වූ ගීත තිබිය හැකිය. එනමුත් භාවයන් දැනවීම අතින් හා පද රචනය අතින් නම් කිසිදු යුග ගීයකට මේ හා ලං වීමටවත් නොහැකි වන තරමටම මේ ගීය සාරවත්ය. ගීය පුරාම අසන්නාට දැනෙන්නේ මෙවන් පුවතකට පිළිණ දෙන අයෙකු වීමට සිදු වීමේ කාළකණ්නි කමේ හැඟීමයි. කිසිදා විසඳිය නොහැකි ප්‍රහේළිකාවක අසන්නා මෙ ගීතය විසින් අතරමං කර දැමෙන අතර, එමගින් තැනෙන භාවමය අගාධය තුල තමා ඇත්තේ කොතනැදැයි සෙවීමට අසන්නාව මේ ගීතය තුලින් දිරි ගන්වයි. අසා බලන්න, මෙය හෙළ යුග ගීයේ සිළුමිණයි.

Thursday, July 15, 2010

සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ 
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

 
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී


නන්දා මාලිනිය ගීත ගායනයට පිවිසියේ 1960 දශකයේ තිරගත වූ රන් මුතු දූව සිනමා පටය හරහා ය. එතැන් පටන් අද දකවා වසර 40කට අධික කාලයක් ඇය අප වෙනුවෙන් ගී ගයන්නීය. ඇයගේ ගී නදෙහි ස්වර්ණමය යුගය උදා වූයේ සිංහල ගීතයේ ස්වර්ණමය යුගයට දශකයක් පමාවීය. වර්ෂ 1975 දී පිට කළ කප් සුවහස් කල් , 1977 දී පිට කළ යාත්‍රා, 1980 දී පිට කළ යුගයෙන් යුගයේ හා 1984 දී පිට කල හේමන්තයේ යන ගීත සමුච්චයන් නන්දා මාලිනියගේ කටහඬෙහි උපරිම භාවමය රසය ගෙනෙන ගීතයන් ඇතුලත් වේ. අප කතා කරන මේ ගීතයත් 1979 පමණ කාලයේදී සුනිල් ආරියරත්නයන් විසින් ලියවුනකි.  

මෙම ගීයේ පද රචනය අතිශයින්ම සංකේතාත්මක වෙයි. එනිසා ගීයෙහි සැබෑ රසය විඳ ගැනීමට නම් මේ සංකේතයන් ගැන මනා දැනුමක් ලබා ගත යුතුය. මෙහි කිරිල්ලිය හා කුරුල්ලා ලෙස හැඳින්වෙනුයේ තරුණයකු තා තරුණියක බව වටහා ගැනීම අපහසු නැත. මේ කිරිල්ලිය කූඩුව එනම්, සිය පවුල් ජීවිතය ගෙන යන්නේ සුලං කපොල්ලකය. සුලං කපොල්ල භූ විද්‍යාත්මකව විග්‍රහ කරන විට දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. එමෙන් ම  මේ ගීතයේ සුලං කපොල්ලත්, ජීවිතයේ නේක දුෂ්කරතා වලින් කැළඹුන, පවුල් දෙකක් අතර සිර වුණු ස්ථානයකි. සිදු විය යුතු ලෙසින් ම ඇගේ පවුල් ජීවිතය නම් කැදැල්ල කැඩී ඉහිරී යයි. මෙලෙස කූඩුව කැඩී තැනින් තැන ගමන් ගන්නා කිරිල්ලිය (ආදරය සොයා විය හැකියි ), එක්තරා කුරුල්ලකු ලඟ නවතී. ඇය දැන් අන්නථය. යාමට තැනක් නැත. කූඩුව කැඩී සුලං කපොල්ල හැරදා ගිය නිසා ඇයට මව පියා හෝ නෑදෑයන් නොමැත. ඇයට තනියට ඇත්තේ කඳුල පමණි. ඇය මෙතරම් දුර සොයා ආවේ නිදැල්ලේ වෙසෙන මේ තනිකඩ කුරුළු රජුම ය. එබැවින් ඇයට ඔහුගේ කැදැල්ලේ ඉඩ දිය යුතුය. මෙහිදී කැදැල්ලේ ලැබෙනුයේ ලැගුම් ගැනීමට ඉඩක් පමණකි. එය පෙර පරිදි තැනූ කැදැල්ලක් ද නොවේ. එබැවින් මේ සබඳතාවය සමාජ සම්මතයන් ඉක්මවා යන්නක් බව යන්තමින් ඉඟි කරනු ලැබේ.

ගීයේ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි. පියානෝව, ෂේකර්ස් හා මැන්ඩලීනය යහමින් උපයෝගී කරගන්නා රෝහණ එතෙක් මෙරට ප්‍රබුද්ධ ගීතයට එතරම් එකනොවූ සංගීත භාණ්ඩ වල හඬෙහි අරුමය මනාව දන්වා සිටී. මේ ගීතය අසන විට මේ ගීතය සුනිල් හා නන්දා තමන් වෙනුවෙන් ගායනය කල එකක් දැයි වරෙක සිතේ. නන්දා මාලිනිය ගේ අසාර්ථක විවාහයත්, සුනිල් ආරියරත්නයන්ගේ තනිකඩ කමත්, ඔවුන් ගේ ඉන් පසුව ගෙවූ පුද්ගලික ජීවිතත් ගැන සලකන විට මේ අදහස බැහැර කළ නොහැකි එකක් බවට පත්වේ.

Thursday, April 22, 2010

පිතු සෙනෙහේ

පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ

හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ


ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී


මව් ගුණ ගැන ගැයුණු ගී අපමණය. මව් සෙනෙහසේ මතකය නැවත
අප වෙත ගෙන එන ඒ ගී සමහරක් අති විශිෂ්ට ගීතයන්ද වේ. නමුත් පිය ගුණ ගී ඇත්නම් ඒ ඉතා සුළු සංඛ්‍යාවකි. කපුගේ ගෙ "වන්නි වන පෙතේ", ටී. එම්. ගෙ "පවනට සැලෙනා " වැනි, එවන් අල්ප වූ පිය ගුණ ගී අතරින් මා සිත වැඩිපුරම සංවේදි කරවන්නට සමත් වූ ගීය වූයේ මෙයයි. මගේ පියා මඳක් රෝගීවුවද තවමත් යහතින් කල් ගෙවයි. එනමුත් මේ ගීතය මුලින්ම ඇසූදා මා සිත තුළ ඇති කලේ මහත් කම්පනයකි. පිය සෙනෙහස නොමති දින දරුවන් හිනැහුණේ කවදා දැයි ගීත රචකයා අපෙන් ප්‍රශ්න කර සිටී. දරුවන් ගේ සිතේ රැඳුණ තනිය මකන්නට මවුවරුන්ට පමණක් නොහැකි හෙයිනි. පියවරු මහ සයුරක් ලෙස ගිනියම් වූ ලොවම නිවා දමති. හිරු කිරණක් සේ ආලෝකයත්, මහ විසල් නුග ගසක් මෙන් සිසිල, සෙවණ හා ආරක්ෂාවත් ලබා දෙයි. පිය කෙනෙකුගේ පවුල තුල වූ කාර්‍යභාරය ඒ පද පෙළට එක් කර ඇති හැටි අපූරුය. ගීතයේ සංවේදීම කොටස වන්නේ ඊලඟ අන්තරාවයි. අම්මා බුදු වේවා යන්න අප ව්‍යවහාරයේ එන යෙදුමකි. මෛත්‍රිය, මුදිතාව වැනි අනත ගුණ සිතේ දරා සිටින මවු වරු මතු බුදු වන බව රචකයාද පිළි ගනියි. නමුත් ඒ මතු බුදු වන මවුවරුන්ට, ඒ පිළිබඳව නියත විවරණ ලබා දෙන්නේ තවත් පිය කෙනෙකු බව රචකයා සඳහන් කරයි.එනම් මවු වරුන්ගේ අවසන් ප්‍රාර්ථනාව පවා ඉටු වීමට පියවරුන් උදවු කළ යුතු බවකි. මෙහිදී පියා ගේ නිහඬ කාර්‍යය මහත් සේ අගයා පෙන්වනු ලබයි.

කුමාරදාස සපුතන්ත්‍රී නොහොත් සපූ, ගුවන් විදුලි සංස්ථාවේ සුළු නිළධාරියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, තම හැකියාවන්ගෙන් ඉදිරියටම පැමිණි අයෙකි. රෝහණ වීරසිංහයන් අප සරල සංගීතයේ රජු බව නොවළහා පැවසිය හැකි සත්‍යයකි. ගීත 2500 කට අධික සංඛ්‍යාවකට ඔහු සංගීතයෙන් දායක වී ඇත. එෆ්.එම්. මාෆියාව නිසා වත්මන් කාලයේ මඳක් නිහඬව හා උකටලීව සිටින රෝහණ නැවත තම නිර්මාණ කාර්‍යයන් අරඹනු ඇතැයි අප සිතමු. දීපිකා ප්‍රියදර්ශනී, නිරෝශ විරාජිනී, සමිතා එරන්දතී හා නෙලූ අධිකාරි යන ගායිකාවන් සමග අප සංගීතය ඉදිරියට ගෙන යන හඬවල් ලෙස දැක්විය හැකිය. එයිනුත් දීපිකා විවිධ ශෛලීන් වල සංගීතයන්ට ගී ගැයීමට මහත් හැකියාවක් දක්වයි. "මධු සාද සිනා", "සමණල රෑනයි" වැනි පොප් සංගීත ආභාෂය ඇති ගී වලට ඇය ඇගේ මහා සම්ප්‍රදායට අනුගත හඬ මනාව මුසු කරයි. මේ ගීතය ඇයගේ සාමාන්‍ය සංගීත ශෛලිය වන ශාස්ත්‍රීය ගීතයක් වේ. එනිසාම ඇය ඉත සුලලිතව මේ ගීතය ගයයි. ඔබත් ගීය අසා බලන්න. සියුම් හිරිය ඔබේ පපු පෙදෙසේ ඇති විය යුතුමය.

අහන්න

බා ගෙනම අහන්න

Saturday, October 3, 2009

නාලිනී එන්න

නාලිනී එන්න - මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගි නෙතග - රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන - මල් මධු සමේ සුවඳ
සිත්සේ විඳින්න - නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ - හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ - නුඹට සිහිලක් නොවී
නිල් වන රොදේ නිලෙන - මල් මදහසින් දුලන
මල් වැල් පැණි - පුරන යෞවන වියේ

නුඹ දිරි දැවී තැවෙන - සිත සියුමැලී නොවන
දුටු තැන අනේ කවර - මිහිරක් ලොවේ
පිය රැවු සලා - සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතේ පෙමින් - වතළ සෞමිය මගේ


ගී පද: සමන්ත හේරත්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ


පෙම් ගීත බොහෝ වෙයි. ඒවා බොහොමයක් වාගාලාපයන් පමණකි. කලාතුරකින් අසන්නට ලැබෙන ඇතැම් පෙම් ගීත සිත මිහිරෙන් පුරවා ලයි. "නාලිනී එන්න" එබඳු එක ගීතයකි. සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගයන්නාවූ මේ ගීතය රෝහණ වීරසිංහයන්ගේ සංගීත සරින් හැඩවී ඇත. කවදත් අමුතු ආරෙක ගීත ලියන සමන්ත හේරත් මෙහි ගේය පද රචකයා වෙයි.

මල් පිපීදැයි බලන්නට නාලිනී එන ලෙස රචකයා කියා සිටියි. ඒ කුමකටද යත්, තරුණවියේ වූ ආදරයේ සුවය සිත් සේ විඳ ගන්නටය. මේ පෙම්වතුන් කිරෙන් කා තෙලෙන් අත සෝදන ගණයේ ධනවතුන් නොවේ. ඔවුන්ගේ ජීවිතය හැල්මේ ගලා යන ගංගාවකට සම කෙරේ. එය දුක් දොම්නසින් ගහණය. නාලිනී සියුමැලි යුවතියක්ද නොවේ. ඇය දුක් දරා ඇත්තියකි. එබැවින් ඈ දැකීම හැර අනෙක් සැපයක්ද රචකයාට නැත. නමුත් ඔවුන්ගේ ආදරය වන ගැබ නිල්වන් තුරු වදුලේ නිල්ලේ දිලෙන් පැණි පිරී ගිය මල් වැලකි. ලෝකය නම මහ විසල් විජිතයේ කුරුලු පියාපත් සැලෙන් රාවයද රචකයාට ඇයමය. මේ ගීතය අසන ඕනෑම කෙනෙකුට පළමුව දැනෙනුයේ එහි වූ මධුර තනුවයි. එය සාමන්‍යයෙන් අසන්නට නොලැබෙන ආකාරයේ තනුවකි. ඉන් පසු විෂය වන කාරණය ගායකය ගීතය ගැයීමෙ පෙන්වන දක්ෂතාවයයි. ගීතය නැවතත් අසන්න. ආදරයේ ප්‍රහර්ෂය ඔබට දැනී යා යුතුමය.

බා ගෙන අහන්න

Saturday, August 15, 2009

මලින් මලට



මලින් මලට ඉගිළුණාට
සමණලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට
වන බමරුන් නොවේ

හිතේ ගින්න උහුලාගෙන
හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි
අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැළිලය
පූදින මල් තළන්නේ
අපේ දුකට හඬන මලේ
කඳුලයි පැණි පෙරෙන්නේ

අහසින් වඩින පින ලැබිලයි
උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය
ගුවනේ සැරි සරන්නේ
නැති බැරි කමයි උඩු හුළෙඟේ
ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට
අපි දහදිය හෙළන්නේ

පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

පැණි සදන්නෝ සමණලයෝ ය, වන බමරුන් ය. උන් හදන පැණි අප තලූ මරමින් රස විඳිමු. ඒ උන් ගේ මහන්සියෙන් ඒවා තිත්ත වූ බැව් නොම දැන ය. පැණි සදන්නෝ සියල්ලෝ ම සමණලූන් හෝ වන බමරුන් නොවෙති. මේ තුන් වැනිව කී කොට්ඨාශය සාදන පැණි වල ද ඔවුන් ගේ දහඩියෙ හි, නැති බැරි කම් හි හා කඳුළු වල තිත්ත රසය ගැබ් වී ඇත. එනමුත් අපට නැවතත් එම තිත්ත රසය නො දැනේ.

කුස ගින්නෙන් හඬන දරුවන් ගේ කුස පිරවීමේ අරමුණින් ඔවුහු ඉතාමත් භයානක කාර්යයක් වූ අතුරේ යාම කරති. අතුරේ එසේ ගොස් කිතුල් හෝ පොල් මල් තළන්න ට පෙර සමාජය විසින් ඔවුන් තළා දමා ඇත. එබැවින් ඔවුනට සාපේක්ෂව මල තැළී ඇත්තේ අඩුවෙනි. තෙලිදිය ලෙස වෑහෙන්නේ එලෙස ඔවුන් ගේ දුකට හඬන මලේ කඳුළු යි. අතුරේ යන්නට හැකිවන්නේ ද පින් ඇති තාක් කල් පමණි. අප අවසන සවුදිය ලෙස පුරනුයේ මෙම දහදිය වල ප‍්‍රතිඵලයි.

මෙම ගීත රචනයෙ හි භාව රූපී හැඟීම් දනවන අවස්ථා එමට ය. ගීතයේ ස්ථායී කොටස ම අසන්නා තුළ පැනයක් ඇති කරයි. එනම් මලින් මලට යන, මලින් මලේ පැණි පුරන මොවුන් කවුරුන් ද යන්න යි. මලට කලින් අපි තැළිලයි පූදින මල් තළන්නේ - අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි පෙරෙන්නේ යන දෙපදය තුළින් මල් තළන්නන් ගේ කටුක ජීවන යතාර්ථය අප වෙත ගෙන හැර පායි. නැති බැරි කමයි උඩු හුළෙඟේ ලණු දෙපොටින් වැනෙන්නේ යන දෙපදය ද මෙලෙස වඩාත් ගැඹුරු වූ අරුතක් දැනවීම ට භාවාතා කරනු ලැබේ. අතුරේ ලණු පොටවල් පැද්දෙනු යේ යමකු ඉන් බිම වැටුණු විට ය. මොවුන් ගේ හිසට ඉහළින් එල්ලෙන එම ඛේදවාචකය මෙම පදයෙන් ධ්වනිත කරනු ලබයි. සවුදිය පුරන මහ පොළොවට අපි දහදිය හෙළන්නේ ලෙසින් සේව්‍ය - සේවක පන්තීන් අතරෙහි අසමාන වූ සම්පත් බෙදී යාම විග‍්‍රහ කරනු ලබයි. සේව්‍යයා මධු විත තොල ගානුයේ කා නිසා ද යන පැනය මෙයාන් අසනු ලබයි. වසර විසිපහක් පුරා මෙම ගීතය ශ‍්‍රාවක සිත් සතන් පින වූවකි. සුනිල් එදිරිසිංහයන් ගේ පිරිපුන් හඬත්, රෝහණ වීරසිංහයන් ගේ සංගීතයත් මුසු වුණු මෙම ගීතය පැණි රස පෙත්තක දවටා අප වෙත පිළි ගන්වන්නා වූ සමාජ යතාර්ථය නම් තිත්ත ඔසුව ය.

අසන්න

Tuesday, May 5, 2009

සුසුම්

ආඩි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ
නාඹර තල් ගෙඩි වල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරල් මෝරන විට පාට දෙන්නෙ ලේ
නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ

ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු

දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු
අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලවු
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලවු
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලවු

උතුරේ යුද්ධයට වසර විසි පහකට ආසන්නව ඇත. නොකඩවා කෙරුණු යුද්ධයෙන් සමාජ ජීවිතය හා සිවිල් සමාජය කැඞී බිඳී යන තත්ත්වයට ආසන්නව ඇත. ෂෙල් වෙඩි හා මල්ටි බැරල් වලට ත් කොටි සංවිධානයේ මිනීමරු භීෂණයටත් යටත් ව සැබැවින්ම දුක් විඳින්නෝ වන්නියේ දෙමළ වැසියෝ ය. වන්නියේ වැසියන්ගේ සිත් හි බුර බුරා නගින කෝපය මෙලෙස නන්දා මාලිනිය විසින් ගයන්නා වූ ගීයක පද වැලට නැගී ඇත.
වන්නියේ සුලභ දර්ශන වන ආඩි ලිඳේ වතුර, තල් ගෙඩිය, මිරිස් කරල හා නළලේ තිලකය යන සියල්ලලේ ම රතුපාට ඇති කරනුයේ ලේ බව රචකයා කියයි. එතරම්ම ප්‍රමාණයක් ලේ හැලී ඇති බව එයින් ගම්‍යවේ. ඉන් පසුව ඔවුන් ඉල්ලන දේ පද වැලින් කියැවේ. ලේ නොගලන බිමක ජීවත් වන්නට ඔවුන් අයැදි යි. කැමැති කෝවිලක ට යන්න ට, එනම් ආගමික නිදහස ඉල්ලයි. දරු පැටවුන් බලෙන් අල්ලා ගෙන යුද්ධය ට ගෙන නොගොස් දෙමාපියන් සමගින් ඉන්නට ඉඩ දෙන මෙන් ඉල්ලයි. ඉන් පසුව නිදහසේ කතා කරන්නට ත්, නිදහසේ ඉන්නට ත් ඉඩ දෙන මෙන් ඉල්ලයි. මේ ඉල්ලීම් ඔවුන් ඉල්ලනුයේ ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් යැයි පෙනී සිටින ඊනියා සංවිධානයෙනි. දමිළ ජනතාව දිනා ගත යුතු දේ ඇතත් ආයුධ බලය හා ත්‍රස්තවාදය ඒ සඳහා මාර්ගය නොවේ. ඒ සඳහා වන නිවැරදි මග සොයා බැලිය යුතුය. මෙම යුද්ධයට යවා මිය යන්නේ වන්නියේ දහස් තරුණයන්ය. ඔවුන් ගේ මළ සිරුරු වලින් ගලා ගිය ලේ කඳින් සෙතක් වුණි ද යන්න ඉන් පසුව විමසා බැලේ. වැලි කතර විසින් ඒ සියළු ලේ උරා බී ඇත. අවසන අමු සොහොනක් දිනා ගැන්මෙන් ඇති ඵලය කුමක්ද යන්න් රචකයා පර කතශ්න කර සිටී.
කොටි සංවිධානයේ ෆැසිස්ට් වාදය ගැන පැහැදිලි ලෙසම විදහා පාන ගීතයක් වන මෙය සිංහල ගීත කලාවේ අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෘදංග හා සිතාරය ආශ්‍රයෙන් ශෝකී වූ, නමුත් ඉතා ශක්තිමත් වූ වාදනයක් මෙම ගීතය පුරාවට ම දැකිය හැක. එසේම ලේ යන පදය සමූහ ගායනයක් තුළින් ඉදිරිපත් වීමෙන් ද එහි පොදු භාවය ඔප් නංවනු ලබයි.

අසන්න

Saturday, May 2, 2009

ළඳු ඕවිටි

ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා

හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා

අපේ ශ්‍රමය කළු ගල් වී බිම ඇතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා සිටිනවා

පද රචනය - කුමාරදාස සපුතන්තරී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - එඞ්වඞ් ජයකොඩි


නවතම වූ බිම් තීරුවක් මැදින් සුසුම් ගඟක් ඔවුහු ගෙන යන්නාහ. කඳු, ඕවිටි හා මඩ වගුරු යනාදී බාධක මතින් මේ සුසුම් ගඟ ගලයි. හිසට සෙවණ දෙන්නේ හිරු පමණි. පයට සිහිල සැදීමට ඇත්තේ ගිනියම් මහ පොළොව පමණකි. වෙහෙස නිවන්න ට හමන මද නල පවා දූවිලි රැගෙන එන්නා වූ කඨෝර එකකි. පවන් සලා ගැන්මට ඉතුරු වන්නේ ද කර ගැට පිරි දෑත පමණකි. ඔවුන් ගේ ශරි රමයත් දහඩියත් කළු ගලූත් තාරත් වී පොළොව තුල හැංගී යයි. ඒවා ට නිසි ඇගැයුමක් නො ලැබේ. ඇගැයුම ලබන්නෝ මැති උතුමන් ය. ඔවුන් අගයමින් මාවත විවෘත කරනු ලබයි. අප සැමදා පාර අයිනට වී බලා හිඳිනුයේ නැවතත් පාරක් සාදන තුරුය.
මහ පොළොව මත දිවෙන මාවතකට මෙන්ම ජීවිතයේ ශ්රම මාවතට ද මෙම ගීතය එකසේ අදාලය. ජීවිතයේ කඳු ශිඛර පසු කර සුසුම් ගඟක් ලෙස ජීවිතය ද ගලා යයි. වෙහෙස මහන්සිය නිවා ගැන්මට ද සිත් පිනවන යමක් ද නැත. අවසන තමා ළඟ කර ගත් දේ වෙන අයකුගේ නමට පුදනු ලැබේ.
කම්කරුවන් ගේ ජීවිතයේ මෙන් ම අප හැමගේ දුකින් පිරුණු මෙම ජීවන සංගරා්සිමය ගැන හද ට දැනෙන අයුරින් මෙම ගීතය එඞ්වඞ්, සපු හා රෝහණ ත්රිත්වය විසින් නිමවා ඇත.

Monday, April 27, 2009

සිනහ වෙනු මැන වේදනා පිසදා

සිනහ වෙනු මැන වේදනා පිසදා
සයුර රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

කඳුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ


ඔබට මා හා පෙමින් නොබැඳී ඉන්නට කාරණා කිම් ද? ඒ මගේ අතීතය ද, එසේ නැතිනම් ඔබේ අතීතය ද? කඳුළ, දොම්නස නොමැති, බමර ගුමුව ඇසෙන, එක්ව මියුරු කවි ගී ගයන වසන්තය අපි දකින්නේ කවදා ද? පළමුව අපි අප සිත තුළ වූ මෙම නොගැලපෙන බව ඉවත දමා ගත යුතුය. මන්ද වෙරළ රළ සමග වත්, වීණා නාදය එහි තත් සමග වත්, අහස සඳු සමග වත් තරහ නොවන බැවිණි. එබැවින් අතීතය ඉවත දමා අපි එක් වන්නෙමු.

නැවත වරක් සුනිල් එදිරිසිංහ / රෝහණ වීරසිංහ ද්වය අප හට හෘදයංගම ගීතයක් ගෙන එයි. කැඩුනු බිඳුණු මතක සමුදායක්, අමතක කල යුතු සිද්ධි බහුල අතීතය අතහැර නිර්මල වූ ආදරයක් සොයා යන ගමනක් ගැන ගීත රචකයා විස්තර කරයි. මෙම ගීතය මුලින් ම මා ඇසුවේ 1984 දී පමණය. මට වයස යන්තම් අවුරුදු 7ක් පමණ විය. නමුත් එදා මෙම ගීතය ඇති කල සුපහන් හැගුම් සමුදාය තවමත් මගේ සිතේ ඒ අයුරින්ම රැඳී තිබේ.

අසන්න

Friday, April 24, 2009

මලේ රුවට

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බමර නුවන් වෙළන්නනේ
පැතුම් සිනාසේ - නැහැ සිතුම් මුළාවේ
සිනාවී ආවා - මුළා වී ආවා

සිත ඒ රුවේ වෙළිලා තියේ
එය ආදරේ හඳුනා නොවේ
සිනාවී ආවා - මුළා වී ආවා

මදිරා මලේ උතුරා හැලේ
සැමදා ලොවේ නැහැ ඒ රසේ
සිනාවී ආවා - මුළා වී ආවා

ආදරය කෙබඳු ද? එය ජීවිතය සනහා ලන සිහිල් ඔසුවක් ද? එසේ නැති නම් විෂ කැටි කළ කපුරු මලක් ද? ශිෂ්ටාචාරය පටන් ගත් දා පටන් මේ ගැන වාද විවාද එමට පවතින්නට ඇත. ආදරය ගැන සර්ව සුභවාදී (optimistic) හා සර්ව අසුභවාදී (pessimistic) දෘෂ්ටි කෝණ වලින් බලන තරුණයන් දෙදෙනකු අතර සංවාදයක් ලෙස මෙය ලියැවී ඇත. ටී. එම් ජයරත්න හා සුනිල් එදිරිසිංහ යන ශිල්පීන් දෙදෙනා ගේ හඬින් මෙම ගීතය හැඩ වී ඇත. මෙම ගිතය සුවිශේෂ වන්නේ එය ඉදිරිපත් කරන ආකාරය නිසාය. වික්ටර් රත්නායකයන්ගේ මාලිනියේ ගීතය හැරුණු විට මෙම ගීතයට කිට්ටු වන ආකාරයේ වෙනත් නිර්මාණයක් සොයා ගැනීම හෝ අපහසුය. විවාදයක් ලෙස කෙරෙන මේ ගීතයේ දී අවසන ඔවුන් එකග වනුයේ එක් දෙයකට පමණි. එනම් මල් වෙත බමරුන් ඇදෙන බවට පණකි.

සියාතුවේ

සියාතුවේ මා මිතුරේ
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ
සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුණා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුනා සිත දැවුනා කෙත කර සුළ`ගින්

අඬලා කුමට ද මිතුරේ සියාතුවේ
හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අප හැමටයි සියාතුවේ

එය වර්ෂ 1995 යි. පසු කලෙක එ.ජා.ප. රජය විසින් කරළියට ගෙන ආ ජල කළමනාකරණ පනත ගෙන ඒමේ මූලික සූදානම මෙකල සිදු වෙමින් පැවතිණි. රජ රට ගොවි සංවිධාන වල දැඩි විරෝධය නොතකා මෙය ගෙන ඒමට එකල රජය උත්සාහ ගනු පෙණින. රජ රට ගොවීන් ගේ සිතුම් පැතුම් කැටි කල මෙම මුලින් ම අසන්නට ලැබුනේ මේ වටපිටාව තුළ දී ය.

සියාතු නම් අඳ ගොවියා පවා තම කුඹුරට ආලය කරයි. බුසල් බරින් අස්වැන්න ගත් කුඹුරෙහි පැලපත (තවාන් ගොයම) පවා සදා අවසන් ය. නමුත් වතුර හොරුන් දිය හොරකම් කර ඇත. ගොයමත් සිතත් කර සුළගින් මැලවී යනු ඇත. එනමුත් මුව රළ මෙන් කුසීතව සිටිනු නොහැකි ය. අප එක්ව වැවේ මහ සොරොව්ව (විශාලම සොරොව්ව ජල කළමනාකරණය යි) හැර දමා දිය ලබා ගත යුතුය. ගීත රචකයා එනයින් ආරාධනා කරනුයේ මේ පණත පැරදවීමට යි.

හෘදයාංගම හඬක් ඇති සුනිල් එදිරිසිංහ හා ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහ සුසංයෝගයට මෙබඳු අර්ථාන්විත ගීතයක් අප වෙත ගෙන ඒම ගැන සැබැවින්ම ස්තුතිවන්ත විය යුතුය.