Showing posts with label මිල්ටන් මල්ලවාරච්චි. Show all posts
Showing posts with label මිල්ටන් මල්ලවාරච්චි. Show all posts

Tuesday, March 22, 2011

සමණල රෑනක් සේ

සමණල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

පොදි වුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ලා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලේ

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලං වේ

සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳ වත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා


මේ කතාව අවුරුදු 17ක් පැරණිය. නමුත් ඒ කථාව පැරණි නොවේ. ස්ථානය වූයේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. අද තට්ටු බර ගණනක ගොඩනැගිල්ලක් වුවත් එකල ලයිසියමය වනාහි හිස එසැවීමට යත්න දරන ජාත්‍යන්තර පාසලක් හා ටියුෂන් මධ්‍යස්ථානයක් වීය. පොත පත යන්තමින් අල්ලා සම්ත් වූ සාමාන්‍ය පෙළින් පසුව අපි උසස් පෙළ පන්තියට පැමිණ සිටියෙමු. අද මෙන්ම අප කලත් ටියුෂන් වන්දනාව නො අඩුව තිබුණ නිසාදෝ මටත් එකී ටියුෂන් පන්තියට යාමට සිදු විය. මා එකල පොත් ගුල්ලෙක් වූ අතර, අනෙක් වුන් කෙල්ලන් දිහා බල්ද්දී මා කලේ කලා කෘති රස විඳීමයි. එනමුත් අනෙකුත් කොල්ලන් සමග "වල බැසීම" නම් පුරුද්දක් ලෙසම කල බව අදටත් මතකය. අපේ ටියුෂන් පන්තියට අළුතින්ම හැඩ කෙල්ලෙක් පැමිණීමත් සමගම උපාසක වෙස් ගෙන සිටි මා මිතුරා ගේ හැසිරීම වෙනස් වන්නට විය. ඔහු මේ ගැහැණු ළමයා ගැන දැක්වූයේ බොහෝ උනන්දුවකි. නමුත් මේ කෙල්ල එසේ මෙසේ නොව ටිකක් ආඩම්බරකාර එකියක් බැවින් මගේ මිතුරා ඇය හා දොඩන්නට ගත් සියළු උත්සාහ ගඟට කැපූ ඉණි මෙන් විය. කපු කම කරන්නට මට බලපෑම් පැමිණි මුත් කපු කම් තියා කෙල්ලන් සමග හරියට දොඩන්නටවත් නොදන්නා මට මෙය ඉතා අමාරු කාරියක් විය. කෙසේ හො මගේ වාරය පැමිණියේය. පන්තියේ අවුරුදු නිවාඩුවට කලින් සාදයක් පැවැත්විණි. මෙහිදී ගීයක් ගයන ලෙස ආරාධනාවක් ලැබිණි. එකල මට ඉතා හොඳ යෙහෙළියක් විය. ඇය නමින් වින්ධ්‍යාය. (ඇය කොහි දැයි අද ද මා නොදන්නෙමි) මගේම අච්චුවේ පොත් ගුල්ලකු වූ ඇයට ඇසක් ගසා කතා කොට හෙමින්ම මම සිද්ධිය විස්තර කළෙමි.

"මෙහෙ වරංකො බං, පොඩි රහසක් තියෙනව" මම කීවෙමි.
"දන්නවද අර අපේ චින්තක වත්සලාට ලයින් නෙ. වත්සලා ඉතින් හෙන ගණන් නෙ. දැන් මේක අපට පොඩ්ඩක් ඉන්ඩිරෙක්ට් විදියට ඔළුවට දාන ඕන"
"වත්සලා සින්දු වලට හරි කැමතියි. හොඳ සින්දුවක් කියල වැඩේ දෙමු" වින්ධ්‍යා කීවාය.
"මොකද්ද කියන්න හොඳ?" මම ඇසීමි.
"සමණල රෑන්ක සේ" වින්ධ්‍යා කීවාය.
"ඒකට දෙන්නෙක් ඕනනෙ බන්"
"ඇයි උඹයි මමයි ඉන්නේ!" කීවේ වින්ධ්‍යාය.
"මේක මට කියන්න පුළුවන් එකක්ද බන්, මගේ කට හඬ මේකට ගොරෝසු වැඩියිනේ" මම කීවෙමි.
"කමක් නෑ බන්, බළල මැටියෙන් වුණත් මොකෝ මීයො අල්ලනව නම්" වින්ධ්‍යා කීවාය.

ඉතින් අපි චින්තකටත්, වත්සලාටත් පුදමින් මේ ගීතය ගායනා කළෙමු. (ගායනා කළා කීවාට සින්දුව කිව්වා පමණක් වන්නට ඇත!). අද චින්තක හා වත්සලා දරුමල්ලන් පිරිවරා ගත් සතුටුදායක පවුලකි.

මේ ගීයේ ඉතිහාසය එබඳුය. පළමු වරට මා පිරිසක් ඉදිරියේ ගායනා කලේද මෙම ගීතයයි. මෙහි ගැයුම මිල්ටන්
මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා ගෙනි. පද රචනය මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. ආදරයේ ප්‍රහර්ෂය සමණල රෑනක් සේ අනන්තය. එය කීමට වචන අප සතුව නැත. දිව දෙතොලේ පැටලෙන්නේ එහෙයිනි. ඒ රුව දකින විට පොදි බැඳගත් සිතුවිලි තෙරපෙමින් අවදි වෙන නිසා සුලඟේ සැලෙන ලපල්ලක් මෙන් මහද සැලේ. දේදුණු දහසක් සේ ආලය ප්‍රසන්න හැඟුමකි. රිදී සිනා මල් පාන සීගිරි ලියක්, නැතහොත් ඩින දින පතන ඔබේ සොමි වුවන මෙන් පණ නල ඇති තුරුම ඔබ සිහිවේ.

මේ ගීතය 1980 මුල් භාගයේ නිර්මාණය වූ ගීයකි. මිල්ටන් ගැන අපි ඇති තරම් කතා කොට ඇත්තෙමු. එසේම කැලිප්සෝවෙන් මිදුණ ඉන්ද්‍රාණි පෙරේරා යනු කෙතරම් සුන්දර හඬක් දැයි අපට මතක් කොට දෙන්නේ මේ ගීතයි.

Monday, April 26, 2010

ලබන්න බැරි සුව සහනය

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

හෙට ද දවසකි
හෙට මේ ලෙසම හිරු නැඟේ
නොයනු මැන ප්‍රියේ
පොදි බැඳ තිළිණ ඔබ මගේ

සිසිලෙ උණුසුමේ
මම ඔබ ලඟ සිටින්නෙමි
විසිර ගිය කුසුම්
පෙති දෝතට අරන් එමි

පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: ? රොක්සාමි මාස්ටර්
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

හැත්තෑව දශකයේ අපූරු භාව ප්‍රකාශකයකු වූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියා ගැන මා කලින් සඳහන් කරනු මතක ඇතැයි සිතමි. මිල්ටන් විසින් ඔහුගේ පළමු ගීත එකතුවට ගායනා කල ගීතයක් ලෙස මෙය හඳුනවා දිය හැකිය. මෙහි පද සිංහල ගීත රචකයන් අතර අග්‍රස්ථානයක් හිමි කර ගන්න කරුණාරත්න අබේසෙකරයන්ය. මා දන්න තරමට මෙහි සංගීතය කේ. රොක්සාමි මාස්ටර් ගෙනි. සුවහසක් ශ්‍රාවක සවන් බැඳ ගන්නා සංගීත ඉතිහාසයක් මිල්ටන් ගොඩ නගා ගත්තේ මේ ගීත හරහාය.

තම පෙම්වතිය ගේ පහස විඳින්නට නොහැකිය. එය ඔහුට සිතින් පමණක් අත් විඳිය හැකි දෙයකි. විඳින්නට ඉතිරිව ඇත්තේ ඇගේ මිහිරි සුවඳ පමණි. ඒ ඇය ඉවත් ගියහොත්ය. හෙට තවත් දවසකි. අද මෙන්ම හෙටද වෙනසක් නැතිව හිරු නැගේ. එනම් හෙට යනුත් තවත් විශේෂයක් නැති දවසක් පමණි. එසේ වුවත් නොයන්නට ඔහු ඇයද සිටියි. මන්ද ඇය ඔහු ලද අමිල තිළිණය බැවිනි. එසේ ඔහු හැර නොගිය හොත් (ජීවිතයේ) සිසිලේත් උණුසුමේත් එක සේ ලඟ සිටින්නට ඔහු පොරොන්දු වෙයි. (දබරයක් නිසා හෝ සිත් රිදවීමක් නිසා) විසිර ගිය (ආදරය නම් වූ) කුසුමෙහි පෙති එක් කර නැවත දෝතින් ඇය වෙත ගෙන එන බව ඔහු පවසයි. හෙට වෙනස් දවසක් නොවනු ඇත්තේ රැකියාවට යාම හා ජීවන සංග්‍රාමයේ නොනැවතී යෙදෙන්නට වන නිසා විය හැකිය. සමහර විට ඇය මේ ජීවන ක්‍රමය නිසා විඩාපත්ව සිටින්නී එයින් මිදීමට උත්සාහ ගන්නවා විය හැකිය. ඒ ජීවන සංග්‍රාමය අතරතුර ඔහුගේ සිතට සහනය ගෙන එන්නේ ඇයයි. මේ ගීතය ගෙන එන්නේ තාවකාලිකව අමනාප වූ පෙම්වතුන් යුවලකගේ සිතුවිලිය.

මේ ගීතය සවන වැකෙන විටම දැනී යන පලමු කරුන නම් එහි වූ තනුවේ පැරණි ස්වභාවයි. මිල්ටන් තබ්ලාව සමග එතරම් ගණු දෙනුවක් තිබූ ගායකයකු නොවේ. නමුත් ශාස්ත්‍රීය තනු ගැයීමට වුවද හැකි බව මනාව විදහා දක්වමින් මිල්ටන් තබ්ලාව සමග මෙය ගයයි. මිල්ටන් විසින් ගයන ලද අමරණීය ගී අතරට මෙයද අනිවාර්යයෙන්ම එක වන ගීතයකි.

Tuesday, March 23, 2010

ඔබ වෙනුවෙන් මා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුනාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

 

සිහළ ගීයේ රන්වන් යුගය වූයේ 70 දශකය බව කලින් සඳහන් කර ඇත්තෙමි. අමරදේව, වික්ටර්, සුනිල්, නන්දා මාලිනි වැනි ශාස්ත්‍රීය ගායකයන් ශ්‍රාවක සවන් පත් සන්හාලන කලෙකදී , සරල ගී ගායකයකු ලෙස ඔහු ගුවන් විදුලිය හරහා දොරට වැඩියේය. ශ්‍රී ලංකාවට කැසට් පට සංස්කෘතිය මුලින්ම හඳුන්වා දුන්නේත් ඔහුය. 70 දශකය විසින් බිහි කරන ලද තවත අපූරු භාව ප්‍රකාශකයකු වූයේ මෙම මිනිසාය. ඒ කවරෙකුත් නොව මිල්ටන් මල්ලවාරච්චිය. විරහ ගීතයන් තුලින් දහස් ගණන් හදවත් ප්‍රකම්පිත කිරීමට ඔහු සමත් වූයේය. මේ ඔහුගේ එම අපූරු හැකියාව දක්වන එක් නිදසුනක් පමණක් වන්නේය. 

ඇය වෙනුවෙන් පෙර දාක ගයන ලද ගී නැවත කිසිදිනෙක ඇය සවනේ නොවැකෙනු ඇත. ඒ ගීයන් සුළඟේ මිලින වී යනු ඇත. සඳ කිරණ පවා, සැඩ හිරු කිරණ (ගත දවන) අයුරින් සිත දවයි.  මඳ පවනෙහි ද සිසිලක් නැත්තේමය. ඇගේ සුවඳ උදය හවා මතකයට නැගේ. ඒ සමග නෙත තෙත් වීමත් සිදු වේ. ඇයගේ (නෙළුමකට සමාන) තොල් පෙති අතරේ රැඳී ඇත්තේ වෙනෙකෙකුගේ නම බැවිනි. එනම් ඇය ඔහුට අහිමි වී ඇති බැවිනි. 

මිල්ටන් ජීවත් වූයේ අප නිවසට මීටර 750 පමණ දුරිනි. ඉඳ හිට ඔහුගේ නිවසට යාමට මටද අවස්තාව ලැබී ඇත. මිල්ටන් නම් මේ අපූරු මිනිසා සජීවීව ගයනු දැකීමට තරම් මම වාසනාවන්ත වීමි. මිල්ටන් ගේ මේ අපූරු විරහ ගී ගැයීමෙ හැකියාව ඔහු ජීවිත්යේ ප්‍රථම ප්‍රේමය පැරදීම නිසා හටගත් එකකැයි ඇතැම් විචාරකයෝ කියති. පන්ති පරතරය නිසා වෙන් කෙරෙනු ඔවුන් ගේ පෙමෙහි අමරණීය මතක සටහන් ලෙස මේ ගීත සැලකේ. ජෝතිපාල ගැයුවේ හින්දි අනුකාරක ගීය. නමුත් මිල්ටන් ගැයුවේ ස්වතන්ත්‍ර තනුය. ලංකාවේ සරල සුගම තනු බිහිවීමට මහත් මෙහෙයක් මිල්ටන් ගෙන් සිදු වූ බව ඔහු ගී දෙස බලන විට පෙනේ. මේ ගීය අසා බලන්න. විරහවෙන් මඩ්නා ලද ඔහු චිත්ත සන්තානයේ වේදනාවන් පද වැල් හරහා කෙතරම් අපූරුවට ඔහු අපට පවසන්නේද?

අසන්න