Showing posts with label ජෝතිපාල. Show all posts
Showing posts with label ජෝතිපාල. Show all posts

Thursday, March 22, 2012

සරා සඳේ සිනා සේලේ

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා

සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ සිනා වාසනා


සිනමා පයට: මිහිදුම් සිහින
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්. ජෝතිපාල
රංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකා



ජෝතිපාලයන් ගැන කිහිප වරෙක අපි කතා කොට ඇත්තෙමු. ඔහුගේ හඬ පෞරුෂය, ස්වර පරාසය සහ ගැඹුරු හඬ අපට හුරු පුරුදු ඒවාය. එනමුත් ජෝතිපාලයන්ගේ කූටප්‍රාප්තිය යම් ගීතයක් සමග වේද ඒ මේ ගීතය බව නොවළහා පැවසිය හැකිය. ජෝතිපාල ගැයූ අනුකාරක තනු වලින් මිදී, ස්වතන්ත්‍ර තනුවකට ගී ගයද්දී ඔහුගේ ප්‍රතිභාව ගැන හොඳ අදහසක් මේ ගීතය ලබා දේ. මේ ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැත. අසා බලන්න.

Monday, April 12, 2010

මාගෙ මතකේ ඔබේ රුව



මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි

ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා


සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා

ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී


ගායනය: සුජාතා අත්තනායක හා එච්. ආර්. ජෝතිපාල
සිනමා පටය: මිනිසුන් අතර මිනිසෙක්
රඟපෑම: ගාමිණී ෆොන්සේකා හා වීණා ජයකොඩි


ආසියාතිකයෝ ස්වභාවයෙන්ම කුඩා මිනිසුන් වෙති. එනිසා ආසියානු ගායකයෙක්ට රළු කටහඬක් හිමි වනුයේ කලාතුරකිනි. අමරදේව, කසුන් කල්හාර හා අමරසිරි පීරිස් ඉතාම කුඩා දේහ ඇත්තෝ වෙති. නමුත් අප ජාතියේ පිනට අපට අසල්වැසි භාරතයේවත් ගයකයෙකුට නොමැති තරමේ ගැඹුරු කට හඬක් මොවුන් තිදෙනාට හිමිව ඇත. එනමුත් කුඩා ගායකයන් අතර පාංශු දේහධාරි එක් මිනිසෙක් සිටියේය. ඔහු ගයන විට ගුවන් විදුලි සංස්ථාවේ රිසීවර් යන්ත්‍ර දෙදරුම් කෑවේය. එකල ගුවන් විදුලි සංස්ථාවේ හා චිත්‍රපට වල භාවිත කල හර්ට්ස් 100 - 4000 රාමුව තුල ඔහුගේ කටහඬේ නියම පෞරුෂය පෙනී ගියේ නැත. අපගේ වාසනාවට 70 දශකයේ අග හයි - ෆයි වර්ධක සහිත කැසට් යන්ත්‍ර කරළියට පැමිණියේය. ජෝතිපාලයන් ගේ කටහඬේ නියම පෞරුෂය පෙනෙන්නට ගත්තේ හර්ට්ස් 20 - 20,000 වාදනය කල හැකි කැසට් යන්ත්‍ර පැමිණි පසුය. 

සුජාතා අත්තනායක ශිල්පිණිය කරළියට එන්නේද 70 දශකයේ මුල් භාගයේය. උච්ච ස්වර සහිත ගීත ගැයීමට ඇගේ ඇති නිපුණතාවය බොහෝ අයගේ ඇගයීමට ලක් විය. ඇන්ජලීන් ගුණතිලක සමග එකල සිනමාවේ රිදී ස්වරය වූයේ සුජාතාය. මේ අපූරු ද්වයයේ සුසංයෝගය මතක පොත මත සදා සැමරුම් ඇති කල ගීයක් අපට තිළිණ කර ඇත. මේ ගීතය අඩංගු වූයේ ජෝ දේව් ආනන්ද ගේ "මිනිසුන් අතර මිනිසෙක්" සිනමා පටයටයි. සිහිනයක් තුළ ගැයෙන ගීතයක් වන මෙහි නිරූපණය වීණා ජයකොඩි හා ගාමිණී ෆොන්සේකාගෙනි. මෙහි එන රූප පෙළ රැඟුමකි. මෙහි රිද්මය ද "මන්දගාමි පොප්" ලෙස හඳුන්වන ආලිංගන නැටුමට යොදන "තාලයක්" එනම් "බීට්" එකක් වෙයි. ප්‍රේමයෙහි සොඳුරු කඩ ඉමක් මේ ගීතය පුරා නිරූපණය වෙයි.

මගේ මතකයේ ඇත්තේ ඔබ රුව පමණි. එනිසා මගේ ජීවිතයද ඔබගේය. ඈත එපිටින් ඇසෙන පෙම් ගීතය, සීත සඳපානේ කිරි සයුර කලතා සොයන්නේ ඔබයි. ඕලු මානෙල් සීත තුෂාරෙන් වැසී යන්නේ ඔබේ මුහුණ සිහි කරමිනි. ඔබ මා හදේ කවුළුව දොරින් පැමිණි, මට ලංව සිටින්න, මන්ද සීත සුළඟක් ලෙස මේ ඇදී එන්නේ එක්ව සිටින්නට ඈත භවයේ සිට පැතු පැතුම් හෙයිනි.

ජෝතිපාල මියැදී දැන් වසර විස්සක් පමණ වේ. ඔහුගේ අඩුව පුරවන්නට හැකි හඬක් අදට ද ඇතිවී නැත. අමරසිරි හා කසුන් ගයන්නේ ජනප්‍රිය සරල සංගීතය නොවේ. එම සංගීතයට අනුගත ජෝතිපාල වැනි හඬක් අසන්නට අද ද අපි ආසාවෙන් සිටිමු. සුජාතා අත්තනායක ශිල්පිනිය දැන් සැට වැනි වියට පමණ ළංව සිටින්නීය. කුරිරු ත්‍රස්තවාදීන් විසින් ඇගේ දෙටු පුත් බිලි ගැනීමෙන් අනතුරුව ඇය ගායනට සමු දී සුදු වත සිය වත කර ගත්තාය. ඒ දෛවෝපගත සිද්ධිය වී දැනට වසර 15ක් පමණ වේ. එදා පටන් අපි ඇගේ ගොළු වී ගිය නද අසන්නට  බලා සිටිමු. ඈ නැවත ගයාවි දැයි මා දන්නේ නැත. එනිසා ඇය විසින් අපට තිළිණ කල මේ මිණි රැක ගත යුතුය. 

70 දශකයේ සිදු කල පර්යේෂණාත්මක ගීතයන් ගේ රසය අදද විඳිමු. මහා සම්ප්‍රදායයෙන් බැහැරවී ගීත ගැයිය හැකිදැයි බලන්නට කළ මේ ගීත වල සැබෑ රසය අපට දැනෙන්නේ අදය. ඒ අද ඇති නිර්මාණ රික්තය නිසාය. මේ ගීය අසමින්ම අප ඒ මිනිසුන් අතර සිටි ඒ උත්තුංග දේහධාරී සොඳුරු මිනිසාට මල් මිටක් පිදිය යුත්තේ ඒ නිසාමය.