Showing posts with label ටී. එම්. ජයරත්න. Show all posts
Showing posts with label ටී. එම්. ජයරත්න. Show all posts

Thursday, February 25, 2010

මතු සංසාරේ


මතු සංසාරේ අප දෙදෙනා
හද සන්තානේ අද විඳිනා
දුක සන්තාපේ සංසිඳෙනා
පෙම ප්‍රාර්ථනා කරම්

මතු සංසාරේ අප දෙදෙනා
හද පෙම් තාපෙන් හිත දවනා
මේ වෙන් වීමේ දුක් නිවනා
පෙම ප්‍රාර්ථනා කරම්

බැඳිලා ප්‍රේමේ හද නිම්නේ
කවුදෝ කිසිදා ජයගන්නේ
අප මෙන් කඳුලේ ලතවෙන්නේ
ජය සීනු නාදේ නෑ ඇසී
මේ ප්‍රේමයේ විජිතේ

උදයේ හමුවී හිනැහෙනවා
නොනිදා සයනේ වැලපෙනවා
දෙදෙනා දෙපසේ තනිවෙනවා
කවදාද ප්‍රේමේ ගීතයේ
දුක් වේදනා නැසුනේ

 
ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න

සමහරුන් ආදරය නොලබති. ඔවුහු ආදරයේ අරුම නොදන්නෝය. සමහරු ආදරය ලබති. විවාහ ද වෙති. ඔවුහු වෙන් වීමේ දුක නොදන්නෝය. ආදරයේ අරුම දැන වෙන්වීමේ දුකින් තැවෙන්නෝද වෙති. මේ ගීතය එවැන්නන් උදෙසා ලියවුණු එකකි.

ආදරයට බොහෝ දෙනා අකුල් හෙළිය හැකිය. නමුත් බොහෝ විට ආදර වන්තයෝ ඒ බාධා මැඩ ඉන් ජය  ලබති. එනමුත් සමහර සටන් දිනන්නට බැරි අවස්ථාද වෙයි. මේ එවැනි අවස්ථාවකි. හද නිම්නයන් ප්‍රේමයෙන් බැඳුනත් ඔවුහු කඳුළු සලමින් ලතවෙති. ප්‍රේමයෙන් ජය ගන්නා අය ඇති බව ඇසීමත් ඔවුන්ට අරුමයකි. ජීවිතයේ ජය සීනු නාදය (මංගල සීනු විය හැකිය) ඔවුන්ට ඇසි නැත. උදයේ හමුවී සවසට වෙන්වී, තම දෛවය ගැන ඔවුහු රාත්‍රිය පුරා නිදි නොමැතිව සුසුම් සලන්නෝය. දෙදෙනා තනි වන බව ඔවුන්ටම ඉවෙන් මෙන් දැනේ. මේ පෙම් ගීතයේ දුක් වේදනා නැසෙන්නේ කවදාදැයි ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කර සිටිති. එබැවින් මතු ආත්මයකදී හෝ හද සංතාපය දවන, පෙම් තාපයෙන් සිත තවන මේ පෙම ඉටු කර ගැන්මට ලැබෙන ලෙස ඔවුහු පතති.

මේ ගීතය කුලරත්න ආරියවංශයන්ගේ පන්හිඳින් ලියැවී එච්.එම්. ජයවර්ධනයන්ගේ නාද සිත්තමින් හැඩ වුනකි. ටී.එම්. ජයරත්නයන් විසින් 1980 මුල් භාගයේ ගයන්නට යෙදුනු වෙනස් ආරයේ ගී ගොන්නෙන් එකක් ලෙස මෙය සැලකිය හැකිය. සරල පද, සරල තාලය හා බටහිර වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගනිමින් බටහිර ආරයට මෙම ගීත ගැයී ඇත. එනමුත් එම සරල බව තුලම මේ ගීතය අමුතු මිහිරක් ජනිත කරයි.


Tuesday, May 5, 2009

අකීකරු හිනාවෙන්

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම හැඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළං වෙන්න
සොඳුරු දඟකාරියේ

සිඟති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලන් ඒ දවස් අමතක ද
කියන් දඟකාරියේ

ගී පද - කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න


මේ ලොවෙහි කිසිම අයකු ප‍්‍රියයන්ගෙන් වෙන් වීමට අකැමැතිය. එනමුත් අපට සමහර විටෙක දී එසේ වෙන් වන්නට සිදු වේ. කලක් වෙන් වී සිටියකු නැවත ප‍්‍රියයන් ගේ ඇසුරට පැමිණි අවස්ථාව සොඳුරුතම එකකි. එවන් විටෙක දී යම් යම් අයගේ වෙනස් වීම්, නිවසේ සිටි අයට වඩා පැහැදිලිව පෙනෙන්නේ ඔවුන්ට ය. වැඩිපුර ම වෙනස් වන පුද්ගලයන් නම් දරුවන් ය.
කථා නායකයා මෙම තරුණිය දකිනුයේ ඇය කුඩා කල දී ය. අකීකරු සිනාවත්. පුංචි රතු මල් සහිත දිග ගවුමත් එයට දෙස් දෙයි. කෙළිදෙලෙන් හැංගි මුත්තන් කෙළිමින් ගත කල ඒ කාලයේ කථා නායකයා ළඟට වී ඇය හැන්දෑ යාමයේ සිරි පොද වැස්ස තුරල් ව දිලෙන (පහන්) තාරකාවන් නැගෙන තුරුත් සිටියා ය. නමුත් ඇය අද වියපත් ව සිටියි. ඇය අද මේරූ තරුණියකි. නමුත් කතා නායකයාට ඇය තවමත් ළදැරියකි. එබැවින් රතු මල් ගවුම ඇඳ ඇය දකින්නට එහු තවමත් බලා සිටියි.
මෙම ගීයෙහි ඇති සැබෑ මිහිර නම් එය බහු අරුත් දනවන රචනාවක් වීමයි. එහි අරුත මෙබඳු අයුරකට ද කැටි කර දැක්විය හැකිය. තම ප‍්‍රියාවිය දිග රතු මල් ගවුම හැඳ කවුළු දොරට වී බලා සිටි කාලයක් ද විය. සිහින් සිරි පොද වැස්ස තුරල් ව තාරකා නැගෙන තුරු ඔවුහු අතීතයේ ළං ව සිටියෝ ය. ගෙවත්තේ දුව පනිමින්, හොරෙන් ම ලං වී, ඔහු හා ඈ සිනාසුනාය. බොහෝ කෙළිදෙලෙන්, හිනැහෙමින්, ළං වෙමින් ගෙවූ එදවස් නිමා ව ඇත. සරල, සුන්දර, ආදර්ශවත් දිවිය ඇය හැර දමා ඇත. එම ජීවන රටාවට ඔහු ඇලූම් කරයි. එමෙන් ම එම ජීවන රටාව නැවත පටන් ගැන්මට ද ඔහුට අවැසිය. මෙම සරල ජීවන රටාව මූර්තිමත් කරන්නා වූ පුංචි රතු මල් වැටුණු දිග ගවුම (එය දිග ගවුමකි, කොට ගවුමක් නොවේ) හැඳ නැවත ඇය දැකීමට ඔහු ආශා කරයි.
ක්ලැරන්ස් විජේවර්ධන ශිල්පියා විසින් සංගීතය සපයන ලද මෙම ගීතය ටී. එම්. ජයරත්නයන් විසින් මනා කොට ගැයුණකි. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ සංගීතයට ගායනා කිරීම නිසා ප‍්‍රබුද්ධ යයි කියා ගත් පරපුරෙහි ගැරහීමට මෙම ගීය ලක් විය. නමුත් මේ ආකාර වු දිලෙන මිණි සැමදා පස යට තැබිය යුතු නොවේ. ඒවාට උචිත අල්මාරියෙහි ප‍්‍රදර්ශනයට ඒවා තැබිය යුතුම ය.

අසන්න

Monday, April 27, 2009

ඔරුව වසා

ඔරුව වසා වැලි පුරවා 
එගොඩ ගොඬේ ගං ඉම සොයලා
හිමිදිරියේ කාසි අතේ පැදපල්ලා
සඳ එළියයි පාළු මකන්නේ
තරු එළියයි පාර කියන්නේ

රකුසු දියේ ගැඹුරේ කිමිදී
වැලි කන්දේ තෙත් පස හමුවී
කූඩ හදා ගොඩට එවා කඹයේ දවටා
කඹයෙන් ම යි ගොඩට ඇදෙන්නේ

ඔරු බැම්මේ ඈතට දුවලා
රිටි පොවලා වැර යොදපන්නේ
හෙට උදයේ හිමිදිරියෙ ම කාසි උනන්නේ
ගංගාවේ ජීවත් වෙන්නේ

ගායනය - ටී.එම්. ජයරත්න

වැලි ගොඩ දැමීම ඉතාම වෙහෙසකර රැකියා වලින් එකකි. මෙබඳු රැකියා කරන මිනිසුන් අප අතර ඉන්නා බව පවා පිළි ගැනීමට බොහෝ විට අපි මැළිවන්නෙමු. ගැඹුරු ගං දියේ පතුලටම කිමිදී කන් අඩි පැලෙන ජල පීඩනය දරමින් ඔවුන් වැලි ගොඩ දමති. වැර යොදා කෙරෙන මෙම පිහිනුමක දී ඔවුන් ඉහළට ඇද ගනු ලබන්නේ බඳ වටා දැමූ ලණුවක් ඉහළට ඇදීමෙනි. කිමිදුම් කරුවාගේ මුළු ජීවිතය ම එම විනාඩි කීපය තුළ රැඳී පවතිනුයේ එම ලණුව මතය. එබැවින් කඹයේ දවටා ඔවුන් තම ජීවිතයත් ආර්ථිකයත් එවති. 

වැලි ගොඩ දැමූ පසු බරැති ඔරුව ගොඩට ගෙන ඒමට වැර යොදා රිටි ගැසිය යුතුය. හෙට දිනයේ කාසි උණන හීනය සිතෙහි තබා ගෙන ඔවුහු සැමදා ගංගාව සමග ජීවත් වෙති. ඔවුන් ගේ ජීවිතයේ එළිය දීමට ඇත්තේ සඳ එළිය පමණි. ජීවිතයට මඟ පෙන්වීම ට ඇත්තේ තරු එළිය ම පමණෙකි.

අසන්න

Friday, April 24, 2009

මලේ රුවට

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බමර නුවන් වෙළන්නනේ
පැතුම් සිනාසේ - නැහැ සිතුම් මුළාවේ
සිනාවී ආවා - මුළා වී ආවා

සිත ඒ රුවේ වෙළිලා තියේ
එය ආදරේ හඳුනා නොවේ
සිනාවී ආවා - මුළා වී ආවා

මදිරා මලේ උතුරා හැලේ
සැමදා ලොවේ නැහැ ඒ රසේ
සිනාවී ආවා - මුළා වී ආවා

ආදරය කෙබඳු ද? එය ජීවිතය සනහා ලන සිහිල් ඔසුවක් ද? එසේ නැති නම් විෂ කැටි කළ කපුරු මලක් ද? ශිෂ්ටාචාරය පටන් ගත් දා පටන් මේ ගැන වාද විවාද එමට පවතින්නට ඇත. ආදරය ගැන සර්ව සුභවාදී (optimistic) හා සර්ව අසුභවාදී (pessimistic) දෘෂ්ටි කෝණ වලින් බලන තරුණයන් දෙදෙනකු අතර සංවාදයක් ලෙස මෙය ලියැවී ඇත. ටී. එම් ජයරත්න හා සුනිල් එදිරිසිංහ යන ශිල්පීන් දෙදෙනා ගේ හඬින් මෙම ගීතය හැඩ වී ඇත. මෙම ගිතය සුවිශේෂ වන්නේ එය ඉදිරිපත් කරන ආකාරය නිසාය. වික්ටර් රත්නායකයන්ගේ මාලිනියේ ගීතය හැරුණු විට මෙම ගීතයට කිට්ටු වන ආකාරයේ වෙනත් නිර්මාණයක් සොයා ගැනීම හෝ අපහසුය. විවාදයක් ලෙස කෙරෙන මේ ගීතයේ දී අවසන ඔවුන් එකග වනුයේ එක් දෙයකට පමණි. එනම් මල් වෙත බමරුන් ඇදෙන බවට පණකි.