Showing posts with label ගුණදාස කපුගේ. Show all posts
Showing posts with label ගුණදාස කපුගේ. Show all posts

Sunday, December 8, 2013

සුලං හමයි

සුලං හමයි - ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුලී

බිම වැතිරෙයි - යාය නිදයි
අතු හැකිළෙයි -  පිණි බේරෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී

ලොව සසලයි - නුඹ නිසලයි
ලොව නිසලයි - නුඹ හිනැහෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී


ගායනය: මහාචාර්ය සනත් නන්දසිරි
සංගීතය: ගුණදාස කපුගේ

නුඹ මල් කැකුලකි. නුඹ දන්නේ හඬන්නට පමණි. කුසගින්නටත්, වේදනාවටත්, සතුටටත්, බියටත් නුඹ දන්නේ හඬන්නටම පමණි. එනමුත් නුඹ හඬන්නේ මගේ දුකට යයි වරෙක සිතේ. අවට ලෝකයේ මඳ සුලං හමද්දී ලොව නැලැවී යයඉ. එවිට නුඹ සුවෙන් නිදයි. නමුත් සැම විටම ලොව සුව දායක නැත. බිම වැතිරෙන තරම් දරුණු පහරවලට ලක්වන්නට සිදුවෙයි. එය දැක දැක පාත්‍රවර්ගයා නිදනුද පෙනේ. එවිට සීත පින්නෙන් බොඳවී යන කඳුලු සඟවා අතු හකුලා ගනිමි. සසල ලොවේ නුඹ විටෙක නිසලය. ලොව නිසල වන විට නුඹ මා හා හිනැහෙයි. එනමුත් මගේ දුකට නුඹ නොහඬන්න. මගේ දුක මමම සඟවාගෙන විඳගන්නම්. 

බාගෙන අහන්න

Sunday, September 27, 2009

මාරියාවේ


මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . .
මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ


ගායනය - ගුණදාස කපුගේ

මාරියාව යනු විශාල රැල්ලකි. එය කුණාටු ආශ්‍රිතව ඇති වන්නකි. සුනාමි රැළි ද මාරියාවන් ලෙස සැලකිය හැකිය. ධීවර ජීවිත ආශ්‍රිතව මාරියාව යනු දරුණු ප්‍රතිඵල ගෙන දෙන්නකි. මාරියා රැල්ලකින් මුහුද ආශ්‍රිතව පිහිටි ඔවුන්ගේ නිවාස විනාශ වී යාම සිදු වෙයි. එවිට ඔවුන්ට ජීවත් වන්නට සිදු වන්නේ තාවකාලික ස්ථාන වලය. නිවාස විනාශ වීමට අමතරව ජීවිත විනාශ වීම පවා සිදු විය හැකිය. ඒ සියල්ලටම වඩා සිදු විය හැකි අනතුර නම් මෑත දියඹේ නවතවා ඇති ඔවුන්ගේ ධීවර බෝට්ටු මාරියාවෙන් සුණු විසුණු වී යාමයි. එවිට නැවත ධීවර උපකරණ සකසා ගන්නාතෙක් බඩගින්නේ සිටීමට ඔවුන්ට සිදු වේ. මාරියාවක ඇති මේ සියලු ලක්ෂණ මැනවීන් විස්තර කෙරෙන, හා මාරියාවක ප්‍රතිඵල ධීවර ඇසකින් දකින අපූරු ගීතයක් ලෙස ගුණදාස කපුගේ ශූරීන් ගයන මෙම ගීතය හැඳින්විය හැකිය.

මාරියාවට නොපැමිණ නවතින ලෙස ගීත රචකයා පවසයි. ධීවර සගයන් විඳින දුක බලා රුදුරු වෙසින් මෙහි නොපැමිණ සිටින ලෙස ඔහු අයැද සිටියි. මේ වළාල කාලයයි. (දකුණු මුහුදෙ නිරිත දිග මෝසම පවතින මැයි - සැප්තැම්බර් කාලය වාරකන් කාලය ලෙසද ඉතිරි කාලය වළාල කාලය ලෙසද හඳුන්වයි. උතුරු හා නැගෙනහිර මුහුදෙ ඊසන දිගා මෝසම පවතින නොවැම්බර් - පෙබරවාරි කාලය වාරකන් කාලය වන අතර, ඉතිරි කාලය වළාල කාලය වෙයි. ධීවරයන්ට අනතුරු රහිතව මුහුදු යා හැක්කේ වළාල කාලයේදීය). එබැවින් නිදහසේ කර්මාන්තය කරගෙන යාමට ඉඩ දෙන මෙන් ඔහු අයැද සිටියි.

කලින් වාරයේ නුඹ (මාරියාව) පැමිණි දින සිට තවමත් පැල අඳුරේය. එහි කිසි එලියක් නැත්තේ සමහර විට මාරියාවට අසුව යමෙක් මිය ගිය නිසා විය හැකිය. නැතිනම් දරිද්‍රතාව නිසා විය හැකිය. පැලේ සතුට සාමය හා සොම්නස නැත්තේත් ඉහත හේතුව නිසා විය හැකිය. නැතිනම් සියළු දේ අහිමි වීම නිසා ගෘහ මූලිකයා සුරාවට යොමුවීම නිසා විය හැකිය. ඒ නිසා ලිපේ ගිණි නොඇවිලෙයි. ලිප ඇවිලෙන්නේ කන්නට බොන්නට ඇතිනම් පමණි. ඒ ගිණි දැන් ඇවිලෙන්නේ පපුවෙහිය. ඒ ශෝකය නිසා විය හැකිය. නැතිනම් අසරණ කම නිසා විය හැකිය. තවත් වරක් මාරියාව ආවොත් තත්වය කොයි ලෙසක වේ දැයි සිතා ගත නොහැක.

චණ්ඩ රළක් ගසන අනුසාරයෙන් මෙහි සංගීතය නිමවා ඇත. කපුගේ ශූරීන් විසින් ගීතයේ වචනාර්ථයටම ගැලපෙන භාව ගුණයක් ඔහුගේ හඬටද මුසු කරනු ලබයි. වෙනස්ම මාතෘකා ඔස්සේ සිය හඬ මෙහෙය වීම පිළිබඳව කපුගේ ශූරීන් නමක් දිනා ඇත්තේ ඇයි දැයි මේ ගීතය ශ්‍රවණය කරන විට සිතා ගත හැකිය. සුනාමියෙන් විනාශ වූ ජීවිත පිළිබඳ මතකය තවමත් සිත් වලින් ඈත් නොවූ සමයෙක මේ ගීතය ඒ ඛේදවාචකය අපට නැවතත් සිහිකර දෙයි. ඉන් ජීවිත වැනසුණු සුවහසක් ජනයා මතක් කිරීමටද, ඉන් දිවි ගලවා ගෙන අදටත් දුකසේ ජීවත් වන්නන්ට අපට හැකි අයුරින් උදවු කිරීමටද මේ ගීතය නැවත නැවතත් අපට මතක් කර දෙනු ඇත.

අසන්න
.

Monday, April 27, 2009

පබළු නගේ

පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇළ ලඟ වත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා 
පාන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඬේ ඉස්මත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

ගී පද - අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය හා ගායනය - ගුණදාස කපුගේ


රජරට මහා තැනිතලාවේ උපන් ඔවුහු එහිම වැස එහිදී ම පෙමින් බැඳුණහ. නමුත් හදිසියේ ම ඉන් එක් අයෙක්, සුමනා වෙන්ව ගියා ය. යළි නො එන්නටම වෙන්ව ගියාය. ඈ වෙනුවෙන් ඇගේ පෙම්වතාගේ සිත් හි උපන් වේදනාව මෙම ගීය තුළ සනිටුහන් කර ඇත. මෙම ගීය පුරාවටම දිස්වෙන උපමා රූපක තනි කම, අහිමි සුන්දරත්වය, විනාශය යන සිද්ධි ත්‍රිත්වයම එක විට නිරූපණය කරයි. වැවෙහි පිපුණු නිකිණි, කෙකටිය සුන්දරය. නමුත් ඒවා ඉක්මණින්ම පරව යයි. කෙකටිය පිපෙන්නේ ද අඩ සඳ එළියට ය. පුන් සඳ මෙන් නොව අඩ සඳ ඉක්මණින් බැස යයි (සුමනා ගේ ජීවිතය ද අඩ සඳට සමානය). වැව් කන්දේ (කණ්ඩියේ) ගස් ඇත්තේ දුරින් පිහිටන සේය. බෝ ගසක් එහි ඉතාම දුර්ලභ ගසකි. එනිසා එය තනිව නැගී සිටියි. බෝ ගස වැව් කන්ද (සුමනා ගේ ජීවිතය මෙන්) පුපුරුවා දමයි. තල මල අලංකාරවත් දසුනකි. අලංකාර සුමනා ද තල මලකි. එක් වරක් පිපී මිය යි. මළ හිරු එලිය යන යෙදුම ද විනාශය හඟවන යෙදුමකි. මළ හිරු එළියෙන් තවමත් දිදුලන නිසා මිහින්තලා පව්ව බටහිර දෙසින් ඇත. කොක්කු පියාඹන්නේත් බටහිර දෙසටය. එය ද විනාශය හඟවන අසුබ ලකුණකි. 
වැව් කන්දේ බෝ ගසේ සෙවණත්, වැව් දියේ කෙකටිය වල අසිරියත්, තල මලේ සුන්දරත්වයත් විඳින්නට සුමනා අද නැත. රචකයා පෙන්වන්නා වූ අහිමි වූ සුන්දරත්වය යනු මෙයයි. එසේම ඇළ ඉස්මත්තේ වූ ඒ දණ්ඩ මත තනිව සිටින ඔහුට, මදටිය වැටී, සඳේ පිළිබිඹුව කැලතෙන අයුරු පෙනෙයි. මෙවිට සුමනා ඇත්තේ මිනී පෙට්ටියකය. ඈ දෙපස පොල්තෙල් පහන් දෙකක් ද දැල්වේ.
මෙතරම් කුඩා පද රචනාවකට මෙතරම් වූ උපමා රූපක සමුදායයක් යෙදීම තුළම ගීත රචකයකු ලෙස රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගේ විශිෂ්ටතාවය මනාව ප්රකට වේ. ගීත ඉතා ස්වල්පයක් ලියන ලද නමුත් ඒ සියල්ලම අග්‍රගණ්‍ය ඒවා වන බවට ඔහු වග බලා ගෙන ඇත. මෙම ගීතයේ වචනයක් පාසාම ගීයෙහි අරුත නැවත නැවතත් කුළු ගැන්වෙයි. දේශීයව ඇසෙන මළ බෙරයෙහි තාලය පදනම්ව ගැයෙන මෙම ගීතය ගුණදාස කපුගේ ශූරීන් ගේ සදානුසමරණිය නිර්මාණයකි.

අසන්න