Showing posts with label අයිවො ඩෙනිස්. Show all posts
Showing posts with label අයිවො ඩෙනිස්. Show all posts

Saturday, September 19, 2009

වළාකුලින් බැස



වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් රිදී කදක් දෝ බැලූ බැලූ හැමතේ

යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ


එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය අඬා දොඩා වී මුවේ බලා යනවා

හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා


පද, සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්


සිංහල ශිෂ්ටාචාරය වසර 2500 කට හිමිකම් කියන ප්‍රෞඪ ශිෂ්ටාචාරයකි. එහි කොඳු ඇට පෙළ වූයේ බුදු දහමත්, වාරි කර්මාන්තයත් ය. වසර සිය ගණනක් තුළ ගොඩනැගුණු මෙම පුදුම එළවන සුළු වැව් කර්මාන්තයන් සිහල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැනට දිය සැපැයී ය. වසර 500ක විදෙස් ආක්‍රමණයෙන් පසුව කැඩී බිඳී ගිය මෙම ශිෂ්ටාචාරය නැවත පණ ගැසීම ඇරැඹියේ 1950 ගණන් වලය. මෙයට සමගාමීව අතීත ජල ශිෂ්ටාචාරයේ මහිම දක්වන මෙබඳු ගීත බිහිවීම ඇරැඹිණි.

කඳු මුදුනක සිට පහළට ගලා එන ගංගාවක් කරන ආයාචනයක් අයුරින් මෙය ලියැවී තිබේ. වළාකුලින් බැස සමන් කුළත් වැඳ එය පටන් ගනියි. එනම් සමනළ අඩවියට වට වතුරින් උපත ලබයි. එය මගෙන් වැඩ ගන්නා ලෙස කියමින් මුහුද වෙත ගලා බසී. එලෙස ගලා බසින ගංගාවට පෙනෙනුයේ දෙපස ඇති රිදී කදක් ලෙස දැවෙන බිම් ය. (මන්නාරම පෙදෙසේ විය හැකිය) අද දින මේ පොළොවේ ගිමන් නිවන්නට තමා එදෙසට හරවන මෙන් ගංගාව ඉල්ලා සිටී. එනමුත් අතීතයේ සිටි දනෝ මහත් වූ වෙහෙස ගෙන තැනින් තැන ගංගාව හරස් කර එහි ජලයෙන් ප්‍රයෝජන ගත්හ. ඉන් තමන්ටත් සෙතක් වූ බවත් ඒ දනන් එනිසා ම ලෝ පතළ වූ බවත් ගංගාව කියයි. එනමුත් මේ කාලයේ වැඩක් නොගත් එම දිය හඬමින් මුහුද වෙත ගලා ගොස් මුහුදු වතුරට මුසුව මිය යයි (වැඩක් ගත නොහැකි බවට පත් වේ).

සිංහල ගීය ළදරු කල දී බිහි වූ මෙම ගීතය සුනිල් ශාන්තයන් සතු පුදුම එළවන සුළු නිර්මාණ ශක්තිය මොනවට දක්වන උදාහරණයකි. ගංගාවක් පැද්දෙමින් නැළැවෙමින් ගලා යන ආකාරය මෙහි සංගීතය තුලින් සිතට දැනේ.

අසන්න
. . .