Showing posts with label සෝමතිලක ජයමහ. Show all posts
Showing posts with label සෝමතිලක ජයමහ. Show all posts

Saturday, April 19, 2014

දමා යන්නට

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුම ද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩහුන්
ළබැඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මග දකිනා

බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇත ද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන සියළු බැමි සිඳිනා


පද රචනය, ගායනය සහ සංගීතය: සෝමතිලක ජයමහ

එය සිදුවූයේ මීට සියවස් විසි හයකට පමණ පෙරදීය. ජීවිතයේ අරුත කිමැයි සොයන්නට උත්සාහ කළ තෙදවත් රජ කුමරුවෙක් ලෝකය දකින්නට නික්මෙන්නට නියමිත මොහොතයි. එනමුත් ඔහු සිත තුල සැකයෙක් ඇත. තම බිරිය සහ පුතු දමා යන්නට සිත් නොදේ. එවන් අවස්ථාවකදී නැගෙන සිතුවිලි සමුදාය කැටි කරගෙන මේ ගීය ලියැවී තිබේ. රජ මැදුරට එහා වූ ලෝකයට පිවිසෙන්නට ඔහු යත්න දරතත් දමා යන්නට නොහැකි වස්තුවක් ඔහු සමීපයේ වෙයි. ඇය හා ඇති බැඳීම සියළු බැඳුම් දිය කර හැරි කල්හිත් පවතින්නකි.

දුක සැප දෙකෙහිදීම නිති පතා බැඳී සිටියත්, තනි නොතනියට සෙවණැල්ලක් මෙන් සිටියත්, නිම් හිම් නොවන සෙනෙහසින් බැඳී සිටියත් මේ සියල්ල රැකෙන්නේ ජීවිතය රැඳෙන තුරාවට පමණි. ඒ ලැබැඳි සිත් පරව යන තෙක් (එනම් මරණයට පත්වන තෙක්), පමණකි, මේ ලොව අනියත බව දැනෙන්නේ. එවන් වූ අත්වැල කවදා හෝ ලිහී ගිලිහෙන්නට නියමිතය. එයට පෙර සියළු බැමි සිඳින්නට අබිනික්මන කල යුතුවේ. නැති නම් සසර මගෙහි සිහිනයක් වූ ජීවිතය තුල නෑත නැවතත් අතරමං වනු ඇත්තේය.

ගීතය බොදු සාහිත්‍යයේ අංගයන් මනාව විස්තර කරන්නේ එයට අනුගත වන එකදු වචනයක් හෝ භාවිත කරමින් නොවේ. පද රචකයෙකු ලෙස සෝමතිලක ජයමහ දක්වන දක්ෂතාවය මෙහිදී ප්‍රශංශනීය වේ. සරල කාරණා එසේ විස්තර ක්‍රද්දී ගැඹුරු ධර්ම කාරණාද විග්‍රහයට ඔහු රුසියෙකි. නාගර්ජුන හිමියන්ගේ ශූන්‍යතා සංකල්පය ඔහු විස්තර කරන්නේ මෙසේය.

සක්වළ තලයේ සොයා බලා 
සැපතැයි කියනා කිසිවක් ඇත්නම්
පවසව හඳුනා ගනු රිසියෙම්

නීලාකාසේ නිල්ල මුළාවකි 
ධවල වලාවේ සුද ද මුළාවෙකි
නොලැබුනු ලෝකය සැපතැයි සිතු මුත්
ලද පසු එලොවත් කඳුළු ගුලාවෙකි

චන්ද්‍රාලෝකේ පැහැය මුසාවකි 
අඳුරු අගාධේ කළුව මුසාවකි
සැපතේ සිහිනය හෙට දින සතුමුත්
පත් වන දිනයෙදි හෙටද අපායකි


අහස, පොළොව, හිරු, සඳු, අනාත්මය සහ කාලය යන්න මුළාවක් බව මේ ගීතය තුලින් කියා පායි. මේ ගීත දවයම සෝමතිලක ජයමහ ශූරීන්ගේ බොදු දැනුම විදහා පාන ගීතයන් ලෙස දැක්විය හැකිය.

Monday, October 5, 2009

කොහේදෝ පිපෙන්නේ

කොහේදෝ පිපෙන්නේ ඇගේ නයන නිලූපුල්
කොහේදෝ වැයෙන්නේ ඇගේ ගීත රසු දැල්

ඇගේ දෙනුවන නිසා ම්ලාන වූ නිලූපුලේ
යළි පිපී හිනැහියන් ඒ නයන දැන් නොවේ

ඇගේ පිය රැවු අසා පලා ගිය කොවුලනේ
යළි පැමිණ ගී ගයන් ඈ නැවත මෙහි නොඒ

පද රචනය හා ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - ඩන්ස්ටන් සිල්වා

ආදරය කරන්නන් ට සුන්දරතම දෙය කුමක් ද? ඒ තම පෙම්වතිය යි. ස්වභාව ධර්මයේ ඇති අලංකාරවත් ම දෙයටත් වඩා ඇය අලංකාරය. ඒ අලංකාරය මන් මත් කරවන සුළුය. ඒ අලංකාරය නැතිව ගියහොත්? ඈ ඇස් දැක්මෙන් මහනෙල් මිලින වී ගියේ ය. ඈ පා හඬ පමණක් ඇසුමෙන් ම (ගී හඬ ඇසුමට පෙර) කොවුලෝ ගීත ගැයීම නවත්වා ලජ්ජාවෙන් පළා ගියහ. නමුත් දැන් මහනෙල් මලට නැවත පිබිදිය හැකිය. කොවුලන්ට නැවත ගී ගැයිය හැකිය. මන් ද ඈ නුවන් නිලූපුල් මා සමීපයේ නොපිපෙන බැවිනි. ඇගේ පිය සටහන් මා සමීපයේ නැවත නො නැගෙන බැවිනි. ඈ ගී නැවත නො ඇසෙන බැවිනි. ගීත සාහිත්‍යය තුළ සංවර පද හැසිරවීම යනු කුමක් දැයි මොනවට විදහා දක්වන ගීතයකි මෙය. සෝමතිලක ජයමහ ශූරීන් ගායකයකු ලෙස පෙන්වූ පරිචය අපි දැක ඇත්තෙමු. ඔහු ගේය පද රචකයකු ලෙස දක්වන ප්‍රතිභාව මේ ගීයෙන් මනාව පෙනේ. ඩන්ස්ටන් සිල්වා යනු නිතර කතා නොකෙරෙන සංගීතඥයෙකි. එනමුත් ගීත සියයකට කට වැඩි ප්‍රමාණයකට ඔහු සංගීතය සපයා ඇත. වර්තමාන එෆ්. එම්. රැල්ල තුල මේ ගීත නොඇසී යන තත්වයට පත්වී ඇත්තේ රටේ ප්‍රබුද්ධ ශ්‍රාවකයාගේ අවාසනාවට විය යුතුය.

අසන්න


.

Saturday, August 15, 2009

දස බිම්බර මාර සෙනග

දස බිම්බර මාර සෙනග - තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය ගං තීරය
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිහිල මවා
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගගේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ

එදා මෙදා තුර සිංහල සංගීතයෙහි බුදු ගුණ ගියට ලැබෙනුයේ අතිවිශේෂ ස්ථානයකි. අසන්නා ගේ සිතෙහි බොදු බැතිය ඇති කරවා දහම වෙත ලං කරවී මේ බලා පොරොත්තුව මෙම ගීත තුළ අඩංගු වේ. සෝමතිලක ජයමහ සූරීන් විසින් ගයනු ලබන මෙම ගීතය පිරිනිවිත බුදුන් යළි ජීවමානව මනසට ගෙන ඒමට දරන්නා වූ උත්සාහයකි. හද වෙත බුදුන් වඩිනවා යන්වෙන් ගම්‍ය වන්නේ එයයි. මෙලෙස වඩින්නා වූ බුදු රදුන්ගේ ගුණ සමුදායෙන් බිඳක් මෙම ගීතය තූළට ඇතුළු කර ඇත. භූමි භාර දහයක් වූ මර සෙනඟ, තණ්හා, රතී, රගා යන මාර දූවරුන් තිදෙනා සමග බුදුන් අබිමුවෙහි පැරද පළා ගියහ. එසේ වඩින උන් වහන්සේ සවණක් බුදු රැස් පතුරමින්, කරුණාවෙන් ලෝකය බලමින්. සියළු දෙනා ගේ සිත් සිහිල් කරන්නාහ. සංසාරයේ ඉම දකිනු රිසිව, බලා පොරොත්වේ ඔරුව පැද අවසන ලං වන ගං තීරය ද උන්වහන්සේ ම වෙති. ආදරය නමැති ගංගාව මෛත‍්‍රිය නමැති දිය ඇල්ල ලෙස ඇද හැලෙන මොහොතේ ඉන් නැගෙන අනන්ත රැළිති මෙන් රචකයාගේ සිත තුළ බුදු ගුණ ගී ගැයෙන බැව් ඔහු පවසයි.

මෙම ගීයේ රචනය, සංගීතය හා ගායනය සෝමතිලක ජයමහ ශිල්පියාණන් සතුය. මේ තෙ අංශයෙන් ම ඔහු තුළ වු නිසග කුසලතාවය පිළිබිඹු කෙරෙන අවස්ථාවක් ලෙස මෙම ගීය හඳුන්වා දිය හැකිය. ගීතය අසන්නා ගේ සිත තුළ තැන්පත් ගමනක් යෙදෙන හෝ සක්මනක යෙදෙමින් බවුන් වඩන්නා වු භික්ෂුවක් පාද තබන්නා වූ තාලය නිතැතින්ම සිතට නැගේ. සිංහල බුදු ගුණ ගී වංශ කතාවේ එක් අමරණිය පිටුවක් මෙම ගීතයට නිතැතින්ම හිමි වනුයේ එබැවිනි.

අසන්න