මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
ගී පද - පේ‍්‍රමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා
සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්‍යයන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. නමුත් අත් දැකීම් අඩු කාලයේ ඇති කරගන්නා මෙම සම්බන්ධතා වලින් බොහොමයක් වසර හතර පහක් ඇවෑමෙන්, අවසන් වසර වන විට නිම වේ. ඉක්බිති සරසවියෙන් විදුදරයන් ලෙස පිටවූ පසු ඔවුහු නැවත හමු වනුයේ කලාතුරකිනි.
නමුත් මෙහි රචකයා හට නැවත තම පුරාණ පෙම්වතිය හමුවේ. ඒ ඇය අත ගෙන ගමන් කල මාවත දිගම, තම බිරිය හා කුඩා පුතු සමග පිය නගද්දී ය. ඇය දකින ඔහු සිත හීනයක් වන් වූ අතීතයට දිව යයි. ඈ සමග නැවත යන්නට කැමැති සරසවි බිම අද ද ඔහුට පෙනේ. ඈ හා එක් ව අහස උසට පැතූ පැතුම් තවමත් සිහි වේ. නමුත් ඒ කඳුරැුල්ලක් (විවාහය) නම් වූ බාධකයෙන් අද දින ඔහු එහි යාම නවත්වනු ලබයි. ආදරවන්තයන් වෙන් වූවාට ලොව වෙනස් වී නැත. නුවර වැව් ඉවුරේ දිය රළ එදා වගේම අදත් නැගේ. ඒ නුග ගස් පෙළම අදත් වෙනසක් නොමැතිව දළු දමයි. පරම පිවිතුරු පෙමක් බිඳී විසිරී එහි අයිතිකරුවන් දෙපසට වී ඇත. නමුත් ලෝකයත් ජීවිතයත් එලෙසම දළු ලමින්, ගලා යයි.
හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්‍ය ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේ‍්‍රමකීර්ති කවියාණෝ මනාවට විග‍්‍රහ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්‍යාත ශ‍්‍රාවක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.
අසන්න