Showing posts with label සමන්ත හේරත්. Show all posts
Showing posts with label සමන්ත හේරත්. Show all posts

Saturday, October 3, 2009

නාලිනී එන්න

නාලිනී එන්න - මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගි නෙතග - රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන - මල් මධු සමේ සුවඳ
සිත්සේ විඳින්න - නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ - හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ - නුඹට සිහිලක් නොවී
නිල් වන රොදේ නිලෙන - මල් මදහසින් දුලන
මල් වැල් පැණි - පුරන යෞවන වියේ

නුඹ දිරි දැවී තැවෙන - සිත සියුමැලී නොවන
දුටු තැන අනේ කවර - මිහිරක් ලොවේ
පිය රැවු සලා - සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතේ පෙමින් - වතළ සෞමිය මගේ


ගී පද: සමන්ත හේරත්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ


පෙම් ගීත බොහෝ වෙයි. ඒවා බොහොමයක් වාගාලාපයන් පමණකි. කලාතුරකින් අසන්නට ලැබෙන ඇතැම් පෙම් ගීත සිත මිහිරෙන් පුරවා ලයි. "නාලිනී එන්න" එබඳු එක ගීතයකි. සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගයන්නාවූ මේ ගීතය රෝහණ වීරසිංහයන්ගේ සංගීත සරින් හැඩවී ඇත. කවදත් අමුතු ආරෙක ගීත ලියන සමන්ත හේරත් මෙහි ගේය පද රචකයා වෙයි.

මල් පිපීදැයි බලන්නට නාලිනී එන ලෙස රචකයා කියා සිටියි. ඒ කුමකටද යත්, තරුණවියේ වූ ආදරයේ සුවය සිත් සේ විඳ ගන්නටය. මේ පෙම්වතුන් කිරෙන් කා තෙලෙන් අත සෝදන ගණයේ ධනවතුන් නොවේ. ඔවුන්ගේ ජීවිතය හැල්මේ ගලා යන ගංගාවකට සම කෙරේ. එය දුක් දොම්නසින් ගහණය. නාලිනී සියුමැලි යුවතියක්ද නොවේ. ඇය දුක් දරා ඇත්තියකි. එබැවින් ඈ දැකීම හැර අනෙක් සැපයක්ද රචකයාට නැත. නමුත් ඔවුන්ගේ ආදරය වන ගැබ නිල්වන් තුරු වදුලේ නිල්ලේ දිලෙන් පැණි පිරී ගිය මල් වැලකි. ලෝකය නම මහ විසල් විජිතයේ කුරුලු පියාපත් සැලෙන් රාවයද රචකයාට ඇයමය. මේ ගීතය අසන ඕනෑම කෙනෙකුට පළමුව දැනෙනුයේ එහි වූ මධුර තනුවයි. එය සාමන්‍යයෙන් අසන්නට නොලැබෙන ආකාරයේ තනුවකි. ඉන් පසු විෂය වන කාරණය ගායකය ගීතය ගැයීමෙ පෙන්වන දක්ෂතාවයයි. ගීතය නැවතත් අසන්න. ආදරයේ ප්‍රහර්ෂය ඔබට දැනී යා යුතුමය.

බා ගෙන අහන්න

Friday, April 24, 2009

සොඳුරිය

කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය


පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය


ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


ගේය පද - සමන්ත හේරත්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස්


ප්‍රේමය වනාහි නිත්‍යම වූ ස්ථිර වූ දෙයක් ලෙස බොහෝ තන්හි දැක්වේ. මෙම ප්‍රසිද්ධ අදහසට අනුගත නොවී කාලය විසින් ආදරය දිරාපත් කරවන අන්දම ගැන අප මනස කුළු ගන්වන ගීතයකි මෙය. ප්‍රේමය, කාලය විසින් කා දමා ගිය පසු කවියා ප්‍රේමයේ නටබුන් දෙස වත් බලා සතුටු වීමට උත්සාහ දරයි. ප්‍රේමයේ අවසාන නෂ්ටාවශේෂ වන පෙම්වතියගේ සිත ඇඳි රුවත් ඈ සමග බෙදා හදා ගත් සතුට පමණක් නොව දුක ද කාලයේ වැලි තලයට යටව ගොස් ඇත. එම නටබුන් වත් දක්නට නොලැබීමෙන් කවියා මහත් සන්තාපයට පත්වේ.

මෙහි පද රචනයට මහත් වූ සාධාරණත්වයක් කරමින් අමරසිරි පීරිස් ශිල්පියා මෙය ගායනා කරනු ලබයි. අද ලංකාවේ ප්‍රමුඛතම ගායන ගීල්පියා (vocalist) ඔහු බව මෙම ගීතයට සවන් දෙන විට නිතැතින් ම දැනෙයි. කවදත් වෙනස් ආරක සංගීත නිර්මාණ කරන කේමදාසයන් මෙම ගීතය සඳහා ද පෙර නො ඇසූ විරූ සම්ප්‍රදායයක් බිහි කරයි. ගීතයේ අවසන් භාගයේ දී ගීතය ගායකයා හා වයලීන් හා චෙලෝ වාදකයන් අතර තරඟයක් බවට පත්වේ. ගීතයේ සැබෑ අලංකාරය දෙගුණ තෙගුණ කීරීමට මෙම සංගීත සම්ප්‍රදායය ඉවහල් වී ඇත.