Showing posts with label සුරේෂ් මාලියද්ද. Show all posts
Showing posts with label සුරේෂ් මාලියද්ද. Show all posts

Monday, May 17, 2010

මධු සාද සිනා

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ. . හිරු පායා
නිවා. . සඳ තරු නිවා

පිපෙන හැඟුම් දෑසේ ඇවිලී
ලොවම සැලී සිහිනෙන් පිබිදී
සරා ගිනි නැගේ . .සිසිලසේ

පෑළ වියේ හිරු මියෙන පැයේ
සිහින බිඳී පිබිදී අඳුරේ
හඬා ඉකි බිඳී . . යෞවනේ

ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
සංගීතය: සුරේෂ් මාලියද්ද

මේ ගීතය අසන විටම ඔබට වෙනසක් දැනී යා යුතුමය. දීපිකා ප්‍රියදර්ශණී යනු ශාස්ත්‍රීය ගීත වල ආභාෂයෙන් ඉදිරියට ආ ගායිකාවකි. නමුත් ඈ ඒ සම්ප්‍රදාය උඩු යටිකුරු කරමින් "පොප්" සංගීත තනුවකට මේ ගීතය ගයන්නීය. මෙහි සංගීත ආභාෂය "පොප්" පමණකැයි කීමද එක අතකට වැරදිය. මන්ද මෙහි එන "ගිටාර් ඩිස්ටෝර්ෂන්" හා "ඩ්‍රම්ස්" වඩාත් කිට්ටු වන්නේ "මෙටල්" සංගීත ශෛලියට බැවිනි. එනමුත් සංගීතය හැසිරවීම හා නාද මාලා තුල මෙය "පොප්" ගීතයක් බව අවිවාදයෙන්ම පිළිගත හැකිය. ගීතය පුරාවටම සැක්සොෆෝනය වාදනය වෙයි. එමගින් බටහිර ඇමෙරිකානු අවන්හල් සංස්කෘතියට නෑකම් කියන වටපිටාවක් ගීතය මගින් ඇති කරයි. මෙසේ අති නවීන තනුවකට ගීය ගැයුවද ඇගේ හඬේ තවමත් ශාස්ත්‍රීය ලක්ෂණ ගැබ්වී ඇත. ඒ අනුව බලන කල මෙය අපූරු නිර්මාණයකි.

ඉන්පසුව දැනෙන වෙනස නම් ගීතයේ ශබ්ද සංස්කරණයයි. ඉකෝ (echo) වැනි ශබ්ද ප්‍රයෝග අසා පුරුදු ප්‍රබුද්ධ සහෘදයාට මෙහිදී මාලියද්ද විසින් "ෆේසර් (phaser)" වැනි නව ශබ්ද ප්‍රයෝග ගෙන එයි ("රැයේ හිරු පායා" යන කොටස ගයන විට මේ ප්‍රයෝගය අසා ගත හැකිය). සෙන්ටිග්‍රේඩ්ස් වැනි නව සංගීත කණ්ඩායම් මෙම ශබ්ද ප්‍රයෝග අතොරක් නැතිව භාවිත කිරීම නිසා ඒවා විහිළුවක් බවට පත්වී ඇති කාලයක, මේ ප්‍රයෝග අර්ථාන්විතව භාවිත කරන්නේ කෙසේද යන්න සුරේෂ් මාලියද්ද අපට පෙන්වා දෙයි.

මේ රැයකි. මධු සාදයකි. එහි අනුරාගී සිනා නැගේ. විදුලි බුබුළු නිසා රැයෙහි හිරු පෑයූ ලෙස පෙනේ. ඒ විදුලි හිරු විසින් සඳ හා තරු බොඳ කර නිවා දමා ඇත. මේ රාත්‍රී යාමයේ (එනම් පෑළ දිග අහසේ හිරු සැඟව යන මොහොතේ) ඇගේ සිහින බිඳී ඇත. එනමුත් නව සිහිනද ඒ සමග පිබිදේ (මේවා සමාජ විරෝධී සිහිනයන් වීමට ඉඩ ඇත). ලොව පිබිදී සැලෙයි. විකසිත වන හැඟුම් දැසෙන් පෙනෙයි. සරා ගිනි නැගේ. නමුත් යෞවනය ඉකිබිඳී. මේ ගීය ඇසෙන විට සිතෙනුයේ සමාජයේ ඉහළ පැලැන්තියේ තරුණියක් ආදරයෙන් පැරදීම නිසා හටගත් වේදනාවය. සාමාන්‍ය සමාජයේ මෙන් නොව ඉහළ සමාජයේ ඔවුන් විඳින වැඩි නිදහස සමග මෙවන් ලෙස වරදට යොමු වීම නිතැතින්ම සිදු විය හැකිය. මේ එවන් හැඟුම් සිත තුල පෙරැළි කරන මොහොතක ලියැවුණු ගීතයකි.

මේ ගීයට උචිත වන පරිදි නිමැවූ දෘෂ්‍ය පථයක් (video track) වසර කීපයකට කලින් ජාතික රූපවාහිනියේ දුටුවෙමි. ඒ සමග මේ ගීතය අපූරු සංයෝගයක් සාදයි.