Showing posts with label කේමදාස. Show all posts
Showing posts with label කේමදාස. Show all posts

Friday, August 17, 2012

හමුවුණා අප වෙන්වුණා

හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්
හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණා
හදවතේ සුමිහිරි හැඟුම්
දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලා
පෙරදා එන සුසුම් වි‍යැකුණා
හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්

ජීවිතේ මල් මාවතේ
එකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකා
සෙනෙහසේ පැතුමන් පිරූ
පිවිතුරු දෙ හදේ අමරණීය වේ
ආදරේ . . .

අප ලොවේ වසන්තයේ
පිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවා
ආදරේ සොමනස සොයා
පිය නගනා මග ආසිරි ගී
වැයුනාවදෙන් . . .


පද, හඬ හා ගායනය: ෂර්ලි වෛජයන්ත


ෂර්ලි වනාහි අපූරු කලා කරුවෙකි. හෙතෙම ගීත තමන් විසින් ම රචනා කර ගත්තෙකි. ඒවාට පද'රුත් සපයා සංගීතය මුසු කලේත් ඔහුම ය. අවසන ඒවා ගැයුවේද ඔහුම ය. ෂර්ලිට තිබුනේ තාරුණ්‍යය වශී කරන කට හඬකි. අතිශය හැඟීම් බර, එනමුත් සංවර කට හඬකි.  එනිසාම 80 දශකය මැද භාගය වන විට ෂර්ලි ඉතා ජනප්‍රිය ගායකයකු බවට පත්ව සිටියේය. 

නමුත් ෂර්ලි මා දකින්නේ වෙනත්ම කෝණයකිනි. කී බෝඩ්, ඉලෙක්ට්‍රික් ගිටාර් සහ ඩ්‍රම් සෙට් ශාස්ත්‍රීය ගීතය වෙතට ගෙන ආවේ ෂර්ලි බව මගේ හැඟීමයි. ෂර්ලි අත්‍යවශ්‍යයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාෂය ලැබූ ගායකයෙකි. නමුත් රැල්ලට එරෙහිව යමින් 70 දශකයේ අග භාගයේ ඔහු කරළියට පැමිණියේ මේ නව හඬ විප්ලවය සමගමය. "මට එපා ඔබේ හසරැල්" ලෙස මුලින්ම කරළියට ආ ඒ ගීතය පවා පටන් ගන්නේ විද්‍යුත් ගිටාර ඉන්ට්‍රෝ (intro) එකකිනි. 80 දශකය මුල් භාගය වන විට ෂර්ලි දහසක් දුෂ්කරතා මැද සිය පළමු කැසට් පටය එළි දක්වයි. මෑතක් වනතුරුම මා අත තිබූ ඒ කවරය (රතු හා කළු මිශ්‍ර වර්ණයෙන් මුද්‍රිත) දැන් නම් විනාශ වී ගොසිනි. නමුත් සිතාර, බට නළා, සහ තබ්ලාවට හුරුවූ ශාස්ත්‍රීය ගී රසිකයා ඉන් නව මානයකට කැඳවාගෙන ගියේ ෂර්ලි බව මගේ හැඟීමයි. 

ෂර්ලි ඉමහත් දුෂ්කරතා මැද කරන ලද කැසට් පටයක් ගැන මම කලින් සඳහන් කළෙමි. ඒ කැසට් පටයේ අඩංගු වූයේ පුදුම එළවන සුළු මිහිරි ගීත සමූහයකි. "මට එපා ඔබේ හසරැල් බිඳක්", "ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ", "ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්" යන ගීත  එකල තරුණ සිත් පැහර ගත්තේ නිරායාසයෙන්ම ය. නමුත් මා ඔබ වෙත මේ ගෙන එන ගීතය, එම ගීත සමුච්චයේ අඩංගු වැඩිපුර කතා බහට ලක් නොවන ගීතයකි. මෙහි පද මාලාව සරල ය. හමු වීම, වෙන්වීම, හිනැහීම අතර ඇඳෙන අමරණීය යයි සිතෙන් බොලඳ ආදරයක් ගැන මේ ගීතයෙන් කියැවේ. ආදරේ අනුහසින් හමුවී වෙන්වූවත්, ඔවුහු නැවත හමුවන්නාහ. ජීවිතේ මල්මාවතේ පිය නගමින් ප්‍රේම ගීතිකා ගයමින්, වසන්තයෙන් ඇරඹි මේ ගමන නිම වන්නේ ආසිරි ගී මැද අතිනත ගැනීමෙනි. නමුත් මේ ගීතය අතිශය වැදගත් එකක් වන්නේ මෙහි ඇති සුවිශේෂී ආකෘතිය නිසාමය. 

මුලින් ම මෙය සිවු පදය ගීතයට නොනගන ලද ගීයකි. එහි මුලින් ම (chorus) කියන කොටස හා අන්තරා මාත්‍රා ගණන අනුව වෙනස් බව පැහදිලි වනු ඇත. එමෙන් ම අන්තරා කොටස් ගැයෙන්නේත් අසමමිතික පද පේළි අන්දමිනි. එනිසා පද රචනය අතින් මෙහි වෙනසක් දකින්නට ඇත. නමුත් ෂර්ලි මෙහි දී රැඩිකල් වන්නේ සංගීතයෙනි. විද්‍යුත් ගිටාර, ඕගන, ඩ්‍රම් සෙට් වලින්ම පමණක් මේ ගීතය ඇසේ. එසේම ගිටාර් ඩිස්ටෝර්ෂන් (guitar distortion) යන ශබ්ද ප්‍රයෝගයද මෙහිදී මනාව අසන්නට ලැබේ. මේ ප්‍රයෝග අද නම් ඉතාමත් සුලබ හා නොවැදගත් ඒවා ලෙස පෙනී ගිය හැකි නමුත්, මා මේ සඳහන් කරන්නේ 1982, එනම් මීට වසර 30කට පෙර, ගිටාර් ඩිස්ටෝර්ෂන් ශාස්ත්‍රීය සංගීතය තුල යෙදීම ගැනයි! 

එකල සිටි කැලිප්සො සංගීත කණ්ඩායම් තුලින් අප මේ භාණ්ඩ වැයෙනු අසා තිබූ මුත්, ඒවායේ නියම ශාස්ත්‍රීය භාවිතය අපට පෙන්වා දුන්නේ ෂර්ලිය. සමහර විට කේමදාස මාස්ටර් මීට කලින් මේ භාණ්ඩ යොදා ගත් නමුත්, සම්පූර්ණයෙන් බටහිරකරණය වූ මෙවන් ගීත කේමදාස මාස්ටර් අතින් නිමැවුනේ නැත. ෂර්ලි ගේ සමකාලීන කීර්ති පැස්කුවල් වැනි ශිල්පීන් ද මේ භණ්ඩ යොදා ගත් මුත් ඔවුන්ට ෂර්ලි මෙන් රාගධාරී සංගීතයේ පරිචයක් තිබූයේ නැත. එනිසා ෂර්ලි වෛජයන්තයන් 80 භාගයේ මුලදී කල සොඳුරු, එනමුත් නිහඬ විප්ලවය, දශක තුනකට හෝ පසුව අප යම්තමින් හෝ අගය කළ යුතු වෙමු.

Sunday, May 2, 2010

සඳු ද අවදියෙන්


සඳු ද අවදියෙන්
තරු ද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනි වුණ වසන්තයේ

සීතල ඇතිරුණු මිහිලිය ළය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම අද මා තනිවම

පහන් නොදැල්විණි ඔබ පැල්පත තුළ
නිදිමත අඩ නෙතු පිය සනහා
මගේම කඳුලක් මේ පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මත


ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: ප්‍රේමසිරි කේමදාස

 
මේ රැයේ තරු ද, තරුපති ද මා සමගම අවදියෙන් සිටිති. මේ එසේ ගෙවෙන පළමු රැයද නොවේ. නොනවතින වේදනාවෙන් පිරුන තවත් දවසක් මෙලෙස ගෙවී යයි. මම නිදි නොමැතිව බලා ඉඳිමි. කුමුදු මල් (කොඳ) කෙමි පැණියෙන් පිරී පිපිරී යයි. ඒ සීතල ගලාවිත් මිහි තලය වසා ගනිද්දීය. ඔබ සිටියා නම් එහි උණුසුමක් සොයා ගැන්මට හැකි වනු ඇත. නමුත් ඔබ නැත. ඔබ කුඩා නිවසේ පහන් නොදැල්වෙයි. (ඒ ඔබද දුකින් වෙළී සිටින නිසා බව දනිමි). නිදි මත ගලන අඳුර එය වසා සිටියි. බලන්න, මගේ කඳුළු ඔබ උයනේ මල් මත පවා වැටී සිටියි!

වසර දහතුනකට පෙර මේ වේදනාව මෙලෙසම මා වින්දෙමි. නො එන්නට වෙන්ව ගිය සුහදිනිය පිළිබඳ වූ පශ්චත්තාප ඇති සිතින් ගෙවුණු රාත්‍රී බොහෝය. මල්වල සුවඳ, කුරුළු නදෙහි පවා මිහිර නොවිඳින කලක් ද විය. විරහව යනු එවන් අති බලවත් හැඟීමකි. ඇගේ නිවසෙහි මේ වනතුරුත් පහන් නොදැල්වෙයි. (ඒ නිවසේ පහන ඈ වූ බැවිනි ). කුරිරු ලෙස සිඳ දමනු ලැබූ ඒ සබැඳියාවෙන් හිත වූ වණ සුව වීමට වසර ගණනක් ගත් වී ගියේය. වසර පහමාරක සරසවි ජීවිතය පවා එයට ප්‍රමාණවත් නොවීය. අපමණ දයාවක්, සෙනෙහසක් අද මා ලැබූවද, ඉඳ හිට ඒ මතකයන් හොල්මන් කර සිත පෙළයි. මේ අටුවාව ලියන්නට සිත් වූයේ අප බ්ලොග් සහෘදයකුට සිදු වූ, කිසිවෙකුට සිදු නොවිය යුතු වූ සිදුවීමක් දැකීමෙනි. මා ගැන කියන්නට මා අකමැතිය. නමුත් මේ සිදුවීම මා එතරම්ම කළඹාලූයේය.

මේ ගීයේ හඬ අමරසිරි පීරිස් ගෙනි. ඒ මෝහනීය හඬ මේ ගීයේ මිහිර දෙගුණ තෙගුණ කරයි. කේමදාසයන්ගේ සංගීතයද එයටම නොදෙවෙනිය. ගීය පුරා දිවෙන සංගීත ඛණ්ඩ කියා පාන්නේ තනිකමයි. මේ ගීය අසා බලා ගොලු වූ හා ගොලු කල හදවත් වල වේදනාවන් හා ඒකාත්මික වනු ඇතැයි සිතමි.
 

Friday, April 24, 2009

සොඳුරිය

කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය


පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය


ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


ගේය පද - සමන්ත හේරත්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස්


ප්‍රේමය වනාහි නිත්‍යම වූ ස්ථිර වූ දෙයක් ලෙස බොහෝ තන්හි දැක්වේ. මෙම ප්‍රසිද්ධ අදහසට අනුගත නොවී කාලය විසින් ආදරය දිරාපත් කරවන අන්දම ගැන අප මනස කුළු ගන්වන ගීතයකි මෙය. ප්‍රේමය, කාලය විසින් කා දමා ගිය පසු කවියා ප්‍රේමයේ නටබුන් දෙස වත් බලා සතුටු වීමට උත්සාහ දරයි. ප්‍රේමයේ අවසාන නෂ්ටාවශේෂ වන පෙම්වතියගේ සිත ඇඳි රුවත් ඈ සමග බෙදා හදා ගත් සතුට පමණක් නොව දුක ද කාලයේ වැලි තලයට යටව ගොස් ඇත. එම නටබුන් වත් දක්නට නොලැබීමෙන් කවියා මහත් සන්තාපයට පත්වේ.

මෙහි පද රචනයට මහත් වූ සාධාරණත්වයක් කරමින් අමරසිරි පීරිස් ශිල්පියා මෙය ගායනා කරනු ලබයි. අද ලංකාවේ ප්‍රමුඛතම ගායන ගීල්පියා (vocalist) ඔහු බව මෙම ගීතයට සවන් දෙන විට නිතැතින් ම දැනෙයි. කවදත් වෙනස් ආරක සංගීත නිර්මාණ කරන කේමදාසයන් මෙම ගීතය සඳහා ද පෙර නො ඇසූ විරූ සම්ප්‍රදායයක් බිහි කරයි. ගීතයේ අවසන් භාගයේ දී ගීතය ගායකයා හා වයලීන් හා චෙලෝ වාදකයන් අතර තරඟයක් බවට පත්වේ. ගීතයේ සැබෑ අලංකාරය දෙගුණ තෙගුණ කීරීමට මෙම සංගීත සම්ප්‍රදායය ඉවහල් වී ඇත.