Showing posts with label අමරදේව. Show all posts
Showing posts with label අමරදේව. Show all posts

Friday, December 9, 2011

අතු අගැ දිලි වන මල්


අතු අගැ දිලි වන මල්
පිපෙන්නා විඳැ විඳැ
සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල්

දෝතලු තුරු එල් වැල්
එලෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල්
වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්

සිඹැ සිඹැ මී අඹ මල්
උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්
මගෙ පෙම් ගී රසු දැල්
එළන්නේ ඔබ වෙනුයෙන් කැරැ ලොල්


ගායනය හ සංගීතය: ආචාර්ය අමරදේව
පද බැඳුම: මුනිදාස කුමාරතුංග


කුමරතුඟු මුනිදස් සිහල කලා කෙතට පහළ වූ මහ පඬි රුවනකි. අදිරද වාදී අදහස් ඔළුවේ දමාගෙන සිටි බඩ ගැත්තන්ට සිනා වූ එතුමා සකු බසින් තොර වූ එළු බස සොයන්නට මහත් වෙහෙසක් ගත්තෝය. බස් කිහිපයක් වහරන්නට හැකියාවෙක් තිබූ කුමරතුඟුවෝ විප්ලවීය මාවතෙක යමින් සිය සාහිත නිමැවුම් ඉදිරිපත් කළෝය. එනමුදු කුමරතුඟුවන්ගේ ගී රචනා ගී ලෙස ඇසෙන්නේ කලාතුරකිනි. එපමණකුදු නොව, ඔහු විසින් කල් පෙම් ගීයෙක් වේද එය "අතු අග පිපි වන මලට" පමණක්ම සීමා වූයේද වෙයි. එනිසාම, අතු අග පිපි වන මලෙක් වූ මේ ගීය සිහල ගී කෙතෙහි සුවිසල් පිය සටහනෙක් වන්නේය.

කුමරතුඟුවන් මේ ගීය පුරාම යොදන්නේ සුපිරිසිදු එළු බසමැ පමණෙකි. සිහිගිරි කුරුටු ගීයෙහි "නිල් කට් රොල් මල්ක" ආදී වූ පැදියෙහි හැඩ තල ගනිමින් හල් අකුරු විසල් ගණනෙක් සහිතව ගීය ලියැවී ඇත්තේය. අතු අග පිපුණ වන මල් සඳ එළියේ සිහිල ලබමින් පිබිදෙයි. එනමුත් ඔබ දුටු කල්හි මා සිත ඒ මල් පවා පරයමින් විකසිත වන්නෙමය. දෝතලු වැල්, එළ වැල්, තුරු ලිය මත වැවී ඇතත් ඒ කිසිවෙක් අත්වැලක් ලෙස ගත නොහීය. එනමුත් ඔබ මට අත්වැලක් නිසාම් ඔබ හා මා (පෙමින්) වෙලෙන්නෙමි. මී අඹ මල්හි මධු උරන මියැසි කැල ගුම් නද නංවන්නෝය. එනමුත් ඔබ කෙරෙහි ලොල්ව මා සිත නැගෙන පෙම් ගී වැල් වලින් එලෙසින්ම රසු දැල් (සිලි සිලි හඬ නැගෙන වාද්‍ය භාණ්ඩයක්) නැගෙන්නේය.

ගී ලියන්නට සකු බසෙහි රළු පද අනැවැසි බව මොනවට පෙන්වන ගීයකි අතු අග දිලි වන මල. කුමරතුඟුවන්ට පසුව ආ අරිසෙන් අහුබුදුවන් වැනි පද රචකයෝ හෙළ හවුල තව දුරටත් ගෙන ගිය අතර ඔවුනතින් ගී රැසක් ලියැවිණි.

ගීයෙහි සංගීතයද '70 දශකයේ ගීයක යයි සිතිය නොහැකි තරමටම නවීනය. යුගයට වඩා නවීන තනුව හා සංගීත සංයෝජනය නිසාම මේ ගීතය අපූර්ව ගීතයක්ද වෙයි.


බාගෙන අහන්න

Thursday, July 14, 2011

හිරු දැවී

හිරු දැවී සඳු ගිලී
කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා
හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින් . . .

සිටු මැදුරු යස ඉසුරු
පිරුණු ලොවකට - මහරු
කදෝපැණියෙක්මි මා
ඇඳිරියේ
කෙලෙස නම් එලිය දෙම්
කුමරියේ . . .

කතරකට පිණිබිඳකි
කුමුදකට පුරසඳකි
මතකයෙන් ගිලිහිලා
කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි
මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකළු කල මැන
මහද සෙනෙහසින් . . .


ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනී
සංගීතය: රෝහණ වීරසිංහ
ටෙලිය: අවසඳ (1990)


ඇය ධනවත් සිටු පවුලක උගත් තරුණියකි. සිය දෙමාපියන්ට නොපිහිටි රැඩිකල් ගති ඈ සතු විය. එනිසාම ඇගේ සරසවි පෙම්වතා ඇගේ දෙමාපියන් අණින් "අතුරුදහන්" කෙරවෙයි. ඉන් පසු ඇය ගෙවන්නේ උමතු තත්වයකට ආසන්න දිවියකි. ඔහු උපාධිධරයෙකි. විරැකියාවෙන් ඇති වූ ජීවන බර උසුලා ගත නොහී හෙතෙම රියැදුරකු ලෙස රැකියාව කරන්නේය. ඔහු ඇයගේ රියැදුරා වෙයි. මොවුන් අතර ඇති වන සංකීර්ණ සම්බන්ධතාවයත්, ඇගේ දෙමාපියන් එය අසම්මත පෙමකැයි වටහා ගැන්මත්, 1990 මුල් භාගයේ පුංචි තිරයට එක් වූ අවසඳ ටෙලි වෘතාන්තයට පාදක විය. දැන් ඇති මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය මෙන් නොව එකල තිරගත නාට්‍ය ඉතාම තියුණු තේමාවන් රැගත් ඒවා විය. හිරු දැවී ගීතය මේ නාට්‍යයේ තේමා ගීතය වන අතර, මුළු නාට්‍යයම එම ගීතය තුලට කැට කර ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. 
ඇගෙ ලොව අඳුරු වී ඇත. ඒ හිරු දැවී ගොස් සඳු ගිලී යාමෙන් නොනැවතී අසංඛ්‍ය වූ තරු ද නිවී යාමෙනි. හිරු වැසී නැත, ඇත්තේ දැවී විනාශ වීය. සඳු ද වැසී නැත. එය යළි ගොඩ නො එන්නට ගිලී ගොස් ය. එ මගින් මේ ඇගේ සිතෙහි ඇති වන පාළුව පිලිබඳ වූ දැඩි භාවයන් ප්‍රකාශ කෙරෙයි. ඔහු නැතිව යාමෙන් විමානය අඳුරු වී ඇය මග නොමග හඳුනා ගැනීමට නොහැකී වල්මත්ව ඇත. ඇය වල්මත්ව ඇත්තේ පුහු ආටෝපය නම් වනයේය. ඔහුට හිරු සඳු වී ඇයගේ එළිය කරන්නට ඇය ඇරැයුම් කරයි. එ නමුත්, ඔහු සිය තත්වය මනාව තේරුම් ගත් අයෙකි. මේ යස ඉසුරෙන් පිරුණු ලොවට ඔහුගේ එළිය කදෝපැනියකු හා සමානය. එනිසා ලොවට එළිය දෙන්නට කෙරෙන ඇගේ ඇරැයුම් නිසරු එකක් බව ඔහු පවසයි. ඇයට අනුව ඔහු කුමුදකට පුරසඳක් මෙන්ය. එනම් ඔහු දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි. නමුත් ඔහුට අනුව ඔහු කතරකට පිණි බිඳුවකි. කතර තෙත් කිරීමට එය නොසෑහෙන අතර නිරුදක කතර හා ගැටුණු සැනින් පිණි බිඳුව මිය යයි. එනිසා හිරු දැවෙන, සඳු ගිලෙන ඇගේ ලොව එළිය කිරීම ඔහුට කළ නොහැක්කකි. 
මේ ගීය පුරාම දිවෙන භාවයන් එහි වචන මගින් මනාවට විස්තර වේ. පංති ගැටුම හා ආදරය ගැන මනා කියැවීමක් මේ ගීතයෙන් ලැබේ. එසේම ශ්‍රී ලාංකික යුග ගීත ඉතිහාසයේ උච්චස්ථානය ලෙස මේ ගීතය සැලකීමටද මම පසුබට නොවෙමි. තනුව හා සංගීතය වඩාත් හොඳ වූ ගීත තිබිය හැකිය. එනමුත් භාවයන් දැනවීම අතින් හා පද රචනය අතින් නම් කිසිදු යුග ගීයකට මේ හා ලං වීමටවත් නොහැකි වන තරමටම මේ ගීය සාරවත්ය. ගීය පුරාම අසන්නාට දැනෙන්නේ මෙවන් පුවතකට පිළිණ දෙන අයෙකු වීමට සිදු වීමේ කාළකණ්නි කමේ හැඟීමයි. කිසිදා විසඳිය නොහැකි ප්‍රහේළිකාවක අසන්නා මෙ ගීතය විසින් අතරමං කර දැමෙන අතර, එමගින් තැනෙන භාවමය අගාධය තුල තමා ඇත්තේ කොතනැදැයි සෙවීමට අසන්නාව මේ ගීතය තුලින් දිරි ගන්වයි. අසා බලන්න, මෙය හෙළ යුග ගීයේ සිළුමිණයි.

Monday, August 2, 2010

සුදු නෙළුම කෝ


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව


"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය විටෙක කන් කරච්චලයක් සේ දැනේ. නමුත් දියේ කිමිද, මල් කඩා, ඒවා සුළු මුදලකට විකුණන්නේ මොවුන්ට වෙනත් රැකියාවක් නොමැතිකම නිසාමය. මේ රැකියාවේ අප නුදුටු පැත්තක්, ශෝකාන්තයක අයුරින් රත්න ශ්‍රී හා අමරදේව ශූරීන් අප වෙත ගෙන එයි.

සොර බොර වැව අසල වාසය කළ සුදු නෙළුම අද නැත. ඇය මහියංගනයේ මල් සුවඳයි. පාළොස්වක දාට මහියංගන සෑය වඳින මහ පිරිසට මල් ඇය අලෙවි කරන්නී, ඉන් දිවි සරි කර ගන්නීය. එවන් සොර බොර වැවට කලුවර පායා එයි. මේ වනාහි හිරු බැස යාමෙන් එන කළුවරක් නොවේ. පාළුව නිසා එන්නා වූ කළුවරෙකි. සිහින් සිරිපොද වැටෙයි. ඉන් වැවේ දෙකොපුල් වැනි ඉවුරුද සේදෙයි. එනමුත් සුදු නෙළුම දක්නට නැත. ඈ විසින් නෙළු මල් මිට එහා ඉවුරට පාවී ගොසිනි. ඇගේ දෙකොපුල් ඉවුරු සොදා ගලන සිරිපොද යටින්, දෑස පියවුණු (මිය ගිය) ඈ මෙහා ඉවුරට පාවී එන්නීය. මේ පද වැල මල් විකුණන තරුණියකගේ ඉරණම ගැන කඳුළු කතාවක් කියවෙන ශෝකාන්තයක් බවට පත් වන්නේ එලෙසිනි. මේ ගීතය ප්‍රබල හැඟුම් ජනිත කරවන ගීතයකි. මේ හා සමාන වෙනත් එවැනි ගීත ඇතොත් ඒ මඩවල එස්. රත්නායක - පණ්ඩිත අමරදේව සුසංයෝගයෙන් බිහිවූ රුවන්මලී ගීතයත්, විමල් ජයශාන්ත
හා සනත් නන්දසිරි සුසංයෝගයෙන් නිමැවුනු එදා මෙදා තුර ගීතයත් පමණි.

රත්න ශ්‍රී වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙකි. එබැවින් මෙවන් පද වැලක් තුල රත්න ශ්‍රී විසින් සඟවන ලද පනිවුඩය සෙවීමද සිත් ගන්නා කරුණක් වනු ඇත. මේ මුළු ගීය පුරාම රත්න ශ්‍රී පෙන්වන්නේ ජීවිතයේ ආටෝපයේ පුහු භාවය හා අස්ථිර භාවයයි. අපගේ ආශාවන් මූර්තිමත් කෙරෙන මල් පොකුර සසරේ මහා වැවෙහි එහා ඉවුරට පාවෙද්දී මරණයෙන් පසු අප මලකුණ පාවී එන්නේ මෙහා ඉවුරටට්යි. තදින් බදා සිටියද මේ දේවල් එකිනෙකා ගෙන් අවසන වෙන් වන බව ගීයෙන් ඉඟි කෙරේ.

මේ ගීතය අමර්දේවයන් විසින් 80 දශකයේ ගයන ලද නව ගීතයකි. මේ ගීය ලියන විට රත්න ශ්‍රී නවක කවියකු පමණක් වන්නට ඇත. එනමුත් අරුත් සපිරි පදවැලක්, අනන්‍ය වූ හඬකින් ගැයෙන් මේ දුක්ඛාන්තයේ ශෝකී රසය අප විඳ ගනිමු.


Monday, March 15, 2010

පවන් සුසුම්

පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා


පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ 
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න

අභිෂේක යාමේ උදාවේ


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව
පද -  ධර්මසිරි ගමගේ
සිනමා පටය -  තරංගා


සිංහල ගීතයේ ස්වර්ණමය යුගය එළඹියේ 1970 දශකයේ පමණය. ශාස්ත්‍රීය ගායකයන් මෙන්ම සරල ගී ගයක ගායිකාවන්ද මෙකල ඉහළ දක්ෂ කම් දැක්වූහ. මෙම ගීතය ගයන ලද්දේ එවකට ප්‍රවීණ ගායකයකුව සිටි, එනමුත් වැඩිපුර කතා බහට ලක් නොවන චරිතයක් වූ දේවානන්ද වෛද්‍යසේකර ශිල්පියා ය. කැලිප්සෝ සංගීත ධාරාවේ ගමන් කල ඉන්ද්‍රාණි පෙරේරා ඉන් මදකට ඉන් ඉවතට ගෙන ඇගේ කටහඬේ සුමධුරත්වය සරල ගීයකට එක් කිරීමට අමරදේවයන්ට හැකි වී ඇත.

ඇස කොනින් ගලන හැඟුම්, පවන් රැලි වැදී නැටවෙන දිය රැලි හා ශෘංගාර රාවය හා නින්නාද වෙයි. මීමැසි මුවින් නැගෙන රාවයන්, ලඳුන්ගේ සුසුම් හා එකව ප්‍රසන්න වූ නීල වැව් තීරයේ නාද තරංග නංවයි. පෙම් ගීත වරෂාව,  වැව් තලාවට වැටේ. මනමාලියක් වීමට පැතු පැතුම් සඵලව තිබේ. මල්හාරියන්ගේ පෙම්වතුන් හා තුරුල් ව සිටී. මුව සිප එහි උණුසුම ලැබීමට කාලයද එළඹී ඇත. මන්ද මේ අභිෂේක යාමය බැවිනි. 

මේ ගීතයේ පද ධර්මසිරි ගමගේ ගෙනි. සංගීතය දේවානන්ද වෛද්‍යසේකරයන් සතුය. තරංගා සිනමා පටය වෙනුවෙන් මේ ගීතය නිමැවී ඇත. විවාහයට අවසර ලද හෝ අලුත විවාහ වූ යුවළකගේ උණුසුම් හැඟුම් උණුසුම් අයුරෙන් ගීතය තුලින් කියැවේ. මෙහි තනුව එයටම ගැලපෙන පරිදි ලයාන්විතය. වෛද්‍යසේකරයන් වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර අද ඔහු මහනුවර ප්‍රදේශයේ විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි. ඉන්ද්‍රානි පෙරේරා ශිල්පිණියද දැන් විශ්‍රාම ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. ඇයද පසු ගිය වසර 10 ක් 15 ක් කාලය තුලම කිසිදු නව ගීතයක් හඳුනවා දුන්නේ නැත. නමුත් සිංහල ගීතයේ ස්වර්ණමය යුගයෙන් සිහිවටනයක් ලෙස මේ ගීතය බොහෝ කල් සහෘද සිත් සතන්හි රැඳී පවතිනු ඇත.

Tuesday, November 3, 2009

සිනිඳු සුදු මුතු



සිනිඳු සුදු මුතු තලාවේ

පිපෙන පෙණ පිඬු සිනා සේ


සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවී යේ


ගැඹුරු සත් සමුදුර පතුල බිඳ

ඇඹරි ඇඹරී වියරු දළ රළ

තුමුළ මහ මෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ

දෙරණ සම්පත ගිල ගනී


සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: ආචර්ය අමරදේව

පද වැල: මහගමසේකර

සිනමා පටය: සත් සමුදුර



ඒ 1967 වසරයි. සිංහල සංගීතය අනුකාරකත්වයෙන් මුදවා ගන්නට තැත් කල යුගයකි එය. සුනිල් ශාන්තයන් විසින් අරඹන ලද එම මහඟු කාර්යය මඳකට මෙකල නැවතී තිබිණි. නමුත් අමරදේවයන්ගේ නැගී ඒම සිදු වූයේ මෙකලය. භාරතීය මහා සම්ප්‍රදාය ගුරු කරගෙන ඒ අනුකූලව දේශීය නාද රටා මෙහෙයවීම ඒ වන විට අමරදේවයන් අරඹා තිබුනි. මෙකල ප්‍රේමසිරි කේමදාස සිටියේ තම සංගීත දිවියේ බිළිදු අවධියේය. සිම්ෆනි, කැන්ටාටා සහ ඔපෙරා යන වචන අසා නුපුරුදු ලාංකිකයාගේ දෙසවනට ප්‍රථම වරට මෙකී ශාස්ත්‍රීය සංගීතය ගෙන ආවේ සෝමදාස ඇල්විටිගලයන්ය. සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර සිනමා පටයට අඩංගු වූ මේ ගීතය සිංහල සංගීතයේ නොමැකෙන සළකුණක් තැබූවකි. පසු කලෙක ආ කේමදාසයන් මෙන් නොව ඇල්විටිගලයන්ගේ සංගීතය මුළුමණින්ම මහා සම්ප්‍රදායයේ එකකි. නමුත් එතුල සිටිමින් ඔහු නිමැවූ මේ අපූරු ගීතය වනාහි මිනිත්තු හතකට කිට්ටුව දිවෙන "සාගරික සිම්ෆනියකි". චණ්ඩ කුණාටුවක් සෙමින් සෙමින් නිශ්චලත්වයෙන් පිරි මුහුදින් ඇරඹි දෙරණ දෙදරවා ගොඩට ගලන ආකාරය මෙයින් සංගීතවත් වේ. කුඩා රළ, මහා රළ, අතර මැද නිශ්චලතාවය, හා සිවුරුහන් නගන කුණාටු සුළඟේ හඬ සියල්ලම මෙහි සංගීතය තුල අඩංගු වේ. අමරදේවයන් ඔපෙරා ගායකයකු වී නම්, ඔහු ලෝක පූජිත වන්නට තිබූ බව මේ ගීයට සවන් දෙන විට නිතැතින්ම වැටහේ. ඔහු අප රටේ උපන්නේ අප පිනටය. නමුත් ඔහු භාරතයේ උපන්නේ නම්, ආසියාවේ මහා ගන්ධර්වයා බවට ඔහු පත් වනු නො අනුමානය.

අපට අපේ දෑ අගය නැත. මේ ගීතයත් එසේමය. සාගරය පදනම් කරගෙන මෙබඳු නිර්මාණ ජගත් තලයේ පවා බිහි වී ඇත්තේ අල්ප වශයෙනි. නමුත් අප අද මේ ගීතය හෝ එහි නිර්මාපකයා ගැන කතා කරන්නේ නැත.ඒ වෙනුවට අප උඩ දමන්නේ වෙනත් නිර්මාණයන්ය. මේ නිර්මාණයට කිට්ටු කල හැකි නිර්මාණ ලංකාවේ ඇත්තේ අතළොස්සකි. ඒ කේමදාසයන් "බඹරු ඇවිත්" සිනමා පටයට නිමැවූ "උදුම්බරා" ගීතයත් කසුන් කල්හාරගේ "වර්ණ" ගීතයත් පමණි. වරක් අන්තර්ජාලය හරහා විදේශීය සංගීත ලෝලීන් පිරිසකට මම මේ ගීතය ඉදිරිපත් කළෙමි. ඉන් සමහරු ශ්‍රි ලංකාව ගැන අසා තිබුනේ ත්‍රස්තවාදය නිසා පමණකි. නමුත් සියලු දෙනාගේම වාගේ මතය වූයේ මේ ගීතය වසර 42ක් පුරා සඟවා තැබුවේ කොහිද යන්නයි. අපට අගය නොවූවත් සංගීතයේ විශ්ව සාධාරණීය රසය විදේශිකයන් විඳ ගත්තේ එලෙසය.මෙහි පද මාලාව විස්තර කරන්නේද කුණාටුවකි. නමුත් කුණාටුව ඇති වන්නේ මුහුදේද, සිත තුලද යන්න පද වැල දෙස බලන විට නොවැටහේ. ඇත්ටෙන්ම මෙමෙ ගීතයට පෙර වූ දර්ශන පෙල බලන්නේ නම්, ගීතය තුල කියැවෙන්නේද ඉන් කුමක්ද යන්න බහු අරුත් අනුව සිතා ගත හැකිය. මහගමසේකරයන් පද නිර්මාණයේ පෙන්වූ විශිෂ්ටතාවය මෙමගින් මොනවට පැහැදිලි වේ.

වසර 42ක් පුරා ශ්‍රී ලංකික ගීතයේ මුදුන් මල්කඩ වූයේ මේ ගීතය බව මම තරයේ අදහමි. තවත් සිය වසකටත් එය එසේම වනු ඇති බව මා විශ්වාසයයි.


අසන්න


බාගෙන අහන්න (@ ElaKiri.com)

. . .

Tuesday, September 1, 2009

රුවන්මලී

තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුදුන් වලින්
සිහින් වලාවක් හෙමින් නැගීලා
ඒ තොටමුණ බද රැඳී සිටී

සුදු ඔසරිය ඇඳ වලා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුළෙ තබා ගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ

ගායනය හා සංගීතය - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
රචනය - මඩවල එස්. රත්නායක

වසර 1970 හෝ ඊට ආසන්න සමයෙක මෝසම් වැසි ඉතා තදින් ඇද හැලුණි. වෙනදා පුරුදු තොටමුණෙන් දිය ගන්නට එන ඈ සැඩ පහරට අසුවන්නීය. තරුණ ජවයෙන් හෙබි රුවන්මලී මහවැලිය අරක් ගෙන සිටි ජල රකුසා හා පොර බැදුවද, ඈ ඉන් පරාජිත වන්නී, ජල රකුසා ගේ මුවෙහි සැඟව යන්නීය. රුවන්මලී මුහුණ දුන් මේ ඛේදාන්තය මඩවල එස්. රත්නායකයන් අතින් සුන්දර ගී පෙළකට නඟුණේ ඉන් වසර කිහිපයකට පසුය. රුවන්මලී නැති සොවින් ඇගේ ප්‍රියයා ඈ සැම තැන්හි සොයයි. තොටමුණෙහි, දුම්බර කඳු වැටි අතර හා වලා පෙළෙහි ඇගේ මතක සටහන් ඔහුට හමුවේ. එම ප්‍රියයා ගේ බලාපොරොත්තු තුළ රුවන්මලී නව ජීවිතයක් ලබමින් තවත් ජීවත් වෙයි. වලාකුළු පෙළින් බසින ඇය නැවත දිය ගෙන ඒමට තොටමුණට පා නඟනු පෙනේ. විරහව තූළ මැවෙන අපූරු සොබා සුන්දරත්වය ද මෙම ගීය පුරාම මොනවට දිස්වේ. අමරදේවයන්ගේ සංවර, සෝකාකූල සංගීත රටාව අර්ථය තීව්‍රද කරයි. සිතෙහි රැඳුනා වූ සත්‍ය සෙනෙහස පරයා මරණයටවත් යා නොහැකි බව පසක් කර දෙන අපූරු නිර්මාණයක් ලෙස මේ ගීය හඳින්විය හැකිය.

අසන්න

Monday, August 10, 2009

චන්දෝ මා බිලිඳේ

පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්ඳේ
නාඬන් දැන් එනු බෑ

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
බැන්දෝ කොමලත නිරිඳුට දාවුන්

දැන් ගොවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් බැඳි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද බැන්ඳලු සුන්දර රූපා

තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා

අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

ගායනය - පන්ඩිත් අමරදේව හා අමිතා වැදිසිංහ

දෙවන රාජසිංහ රජුට බොහෝ බිසෝවරුන්ගෙන් සැදුම්ලත් අන්තඃපුරයක් විය. මේ අතර එක් වැදි බිසවක් ද වූවාය. කලක් ඇවෑමෙන් ඇයට රජුට දාව පුතකු ලැබිණ. එදා මෙදා තුර සියළුම මවුවරුන් සේ ඇයද තම දරුවා නැළවීමට නැළවිලි ගීත ගැයුවාය. තමා නිතර දකින ලද වන වදුළු තුල වූ පරිසරය තම නැලැවිලි ගීයට නගා එහී අලංකාරත්වයත් රජුගේ තෙදවත් බවත් එක්විටම පැවසෙන සේ ඇය තම දරුව නැළවූයේ ඉහත ලෙසටය. පද රචකයා මේ පුරවෘත්තය අලංකාර කාව්‍යමය චිත්‍රයකට නගා ඇත. මේ බිසවට රජු විසින් ගරු නම්බු නාමයක් දී ඇත. කුංකුම ආදි අබරණ ලබාදී ඇත. එනිසා ඇගේ රැහැට හිරූ පැයූ සේ ආලෝකයක් ඇති වී තිබේ. මේ සියල්ලම ලක පතල බල ඇති රජු නිසාය. මා ඔහු සමීපයේ නිසා නොහඳා නිදියා ගන්නා ලෙස මේ මව දරුවාට කියයි.

අනතුරුව ඇය වනයේ රිලවුන් සැරිසරන අයුරු තම දරුවාට කියා දෙන්නීය. රිළවුන් පිළිබඳ විස්තරය චිත්‍රයක් මෙන් මනාව ගලපා ඇති'යුරු බලන්න. රිළවා අතු අග සිට බුදින ආකාකය, උසුළු විසුළු ස්වභාවය හා අනතුරකදී පැටවුන් ලං කර ගන්න අන්දම සිද්ධි දාමයක් ලෙස මවා පෙන්වීමට කවියා සමත් වෙයි. අනතුරුව කුකුළන් ගේ දින චරියාව ලෙස පැටවුන් සමග සාරමින් අහුලමින් කෑම, රාත්‍රියේ ගස් මත නිදා ගැනීම හා උදෑසනට හැඬලීම එලෙසම මනාව චිත්ත රූප ජනනය වන අන්දමින් පෙන්වා ඇත. ඕලාරික ශුෂ්ක, වන්ධ්‍ය හා සක්ක පද කිසිවක් නොමැතිව කර ඇති මේ නිර්මාණය ඕනෑම අංකුර නිර්මාණ කරුවකුට ගුරු හරුකම් ගත හැකි අගනා නිර්මාණයකි

අසන්න

Tuesday, June 2, 2009

පායන් රන් සඳ

පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැග එන පාළුව මකා දමා
කොතෙක් වෙලා මම බලා හිඳින්න ද
ඔබ එනතුරු හිස් දෙනෙත යොමා

නිල් මිණි තරු කැට නෙතු යුග පියැවී නිදිබර වී ඉන්නේ
පුන් සඳ වෙනුවට මේ කුළු නැඟිලා අඳුරයි මේ එන්නේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙලූ කඳුළු කැට
එකතු වෙලා දෝ කඩා හැලෙන මේ
මහ වරුසා මැවුනේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙලූ සුසුම් වැල්
එකතු වෙලාදෝ හමා යනෙන මේ
කුණාටු වැල් මැවුනේ

ඉඳහිට මුවගේ නැගුණු සිනා රැළි
අතරමංව යන එන මං නැති වී
වියරු වැටී දෝ විදුලිය වාගේ
දුව පැන මේ යන්නේ

පදරචනය - මහගම සේකර
ගායනය හා සංගීතය - ආචාර්ය අමරදේව


පාළුව යනු කුමක් ද? පාළුවට අකැමැති අයට එය දැනෙනුයේ ත්, තනි වීමට කැමැත්තන්ට එය නොලැබෙන්නේ ත් ඇයි දැයි නොදනිමු. මෙම රුදුරු පාළුව දැනෙනුයේ වියෝගය නිසාය. පාළුව මකන්නට සඳ නැගෙන තුරු මම හිස් දෙනෙතින් අහස දෙස බලා ඉඳිමි. මා බැල්ම හිස් වන්නේ නුඹ නොමැති බැවිනි. නමුත් පුන් සඳ වසා ගෙන එන්නේ රුදුරු කළු මේඝ වලා පෙළයි. මේ හමන කුණාටු සැදුණේ මා වැනි පෙම්වතුන් හෙලූ සුසුමිනි. මේ මහ වරුසා ලෙස වැටෙනුයේ මා වැනි පෙම්වතුන් නෙතින් ගලා ගිය කඳුළු වැල් ය. මේ පැන නටන විදුලිය මැවුණේ මා සිනාවන්ට යන එන මං නැති වී වියරු වැටීමෙනි. මුවගේ නැගෙන සිනාරැළි පෙන්වීමට කෙනෙක් නොමැත. එනිසා සිනාවන් වියරු වී දුව පැන ඇවිදියි. මේ සියල්ලම ඔබ එන තුරුය. ඔබ කවදා ඒ දැයි මම බලා සිටිමි.

තනිවූ මිනිසකු ගේ සිතෙහි පෙරැලි කරන්නා වූ හැඟුමන් මෙම ගීතය තුළින් පිළිබිඹු වේ. ගරා වැටුණු සිතුම් පෙළ තුළින් නැගෙන කඳුළු වරුසාවකින් සිත තෙමා දමයි. අමරදේවයන් සතු භාවමය ගුණය මනාව පෙන්වන අවස්ථාවක් ලෙස මේ ගීතය හඳුන්වා දීමට හැකිය. භාෂාව නොදන්නකුට වුවද ඔහු හඬ තුලින් මතු වන තනි කම පිළිබඳ භාවමය ගුණය දැනෙනු ඇත. නිතර නොඇසෙන මෙබඳු ගීත වල ඇති මිහිර කෙතරම් දැයි බලන්න.

අසන්න

Monday, April 27, 2009

වසන්තයේ මල්

වසන්තයේ මල් පොකුරු නෙළා 
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා 
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළෙඟ් විසිරෙනු මා දුටුවා
සුළෙඟ් විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා

ගී පද - මහගමසේකර
සංගීතය හා ගායනය - අමරදේව

ආදරයේ සුන්දරත්වය හිමි හිරිමල් තරුණ වියට පමණක් නොවේ. ආදරය වයස් භේදයකින් තොරව පවතින්නකි. එබඳු වූ ජීවිතයේ වසන්තය ඉක්මවා පවත්නා වූ නොමියෙන ආදරයක් ගැන මෙම ගීතයෙන් කියැවේ. (ජීවිතයේ) වසන්තයේ දී ඇගෙන් පෙම පිළි ගැන්මට බලාපොරොත්තුව සිටින ඔහුට සොඳුරු වූ එම වසන්තය ගෙවෙන තුරුම බලා ඉන්නට සිදු වේ. පෙම්වතිය අතැ වූ මල් වල පෙති සේම ඇගේ යෞවනය ද වියැකී යයි. ගහකොළ මැලැවෙන (ජීවන) ගිම්හානයේ දාහය විසින් තරුණකම ද මළවා දමයි. ඒ ගිම්හානයේ අග දී ඇය ඔහු වෙත පැමිණෙයි. එසේ වුවත් යෞවනය නම් මලෙහි අවසාන විසිර ගියත් ආදරය තුළින් ඔහු ඇය ව දකී. මෙම ගිතය අසන විට සිතට නැගෙන හැඟීම ඉතා තීව්ර එහෙත් විස්තර කර දීමට අපහසු එකකි. ගිම්හානයේ මුදරාව තැවරුණු ගීත වලට ගුරු වූයේ මෙම ගීතය බැව් තරයේ ම අදහමි. උත්තර භාරතීය රාගයක් පදනම් කරගෙන ගැයෙන මෙම ගීතය සිංහල ගීත ඉතිහාසයේ අද්විතීය තැනක් හිමි කර ගන්නකි. 

 

අසන්න

Friday, April 24, 2009

හිම කඳු අතරින්

හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා

මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා

එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ
දෑත නඟා නිල් වරල මුදා හැර 
බලන්න මා දෙස මඳහස පාලා

ගී පද - සරත් අමුණුගම
සංගීතය හා ගායනය - ආචාර්ය අමරදේව

අප සැම දෙනාගේ සිත තුළ වෙසෙන සිහින කුමරියක් හෝ කුමරකු වෙයි. මෙම ගීතය එබඳු සිහින කුමරියක ගැන කියැවෙන්නකි. දෑස පියා ගෙන මෙම ගීතයට මඳක් සවන් දෙන්න. ඔබ සැබෑවටම ආදරය කරන තැනැත්තිය ගේ රුව ඔබට සිතතුළ ඇඳී පෙනිය යුතුය. ගී පද හා සංගීතය එක්ව මෙයට වඩා කම්පනයක් සිත තුළ ඇති කරන ගීත සොයා ගැනීම ඉතාමත් අපහසු ය. රුවැති තරුණියක් පිය සලන සුමුදු තාලය මෙහි සංගීතය තුළින් මනාව පෙනෙයි. මෙයට වඩා වැඩි විස්තර ම විසින් ලිවීම අනවශ්ය ය. ගීතයට කන් දෙන්න. ඒ අතර ඔබේ හදවතට ත් කන් දෙන්න.

අසන්න