Showing posts with label ෂර්ලි වෛජයන්ත. Show all posts
Showing posts with label ෂර්ලි වෛජයන්ත. Show all posts

Friday, August 17, 2012

හමුවුණා අප වෙන්වුණා

හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්
හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණා
හදවතේ සුමිහිරි හැඟුම්
දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලා
පෙරදා එන සුසුම් වි‍යැකුණා
හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්

ජීවිතේ මල් මාවතේ
එකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකා
සෙනෙහසේ පැතුමන් පිරූ
පිවිතුරු දෙ හදේ අමරණීය වේ
ආදරේ . . .

අප ලොවේ වසන්තයේ
පිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවා
ආදරේ සොමනස සොයා
පිය නගනා මග ආසිරි ගී
වැයුනාවදෙන් . . .


පද, හඬ හා ගායනය: ෂර්ලි වෛජයන්ත


ෂර්ලි වනාහි අපූරු කලා කරුවෙකි. හෙතෙම ගීත තමන් විසින් ම රචනා කර ගත්තෙකි. ඒවාට පද'රුත් සපයා සංගීතය මුසු කලේත් ඔහුම ය. අවසන ඒවා ගැයුවේද ඔහුම ය. ෂර්ලිට තිබුනේ තාරුණ්‍යය වශී කරන කට හඬකි. අතිශය හැඟීම් බර, එනමුත් සංවර කට හඬකි.  එනිසාම 80 දශකය මැද භාගය වන විට ෂර්ලි ඉතා ජනප්‍රිය ගායකයකු බවට පත්ව සිටියේය. 

නමුත් ෂර්ලි මා දකින්නේ වෙනත්ම කෝණයකිනි. කී බෝඩ්, ඉලෙක්ට්‍රික් ගිටාර් සහ ඩ්‍රම් සෙට් ශාස්ත්‍රීය ගීතය වෙතට ගෙන ආවේ ෂර්ලි බව මගේ හැඟීමයි. ෂර්ලි අත්‍යවශ්‍යයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාෂය ලැබූ ගායකයෙකි. නමුත් රැල්ලට එරෙහිව යමින් 70 දශකයේ අග භාගයේ ඔහු කරළියට පැමිණියේ මේ නව හඬ විප්ලවය සමගමය. "මට එපා ඔබේ හසරැල්" ලෙස මුලින්ම කරළියට ආ ඒ ගීතය පවා පටන් ගන්නේ විද්‍යුත් ගිටාර ඉන්ට්‍රෝ (intro) එකකිනි. 80 දශකය මුල් භාගය වන විට ෂර්ලි දහසක් දුෂ්කරතා මැද සිය පළමු කැසට් පටය එළි දක්වයි. මෑතක් වනතුරුම මා අත තිබූ ඒ කවරය (රතු හා කළු මිශ්‍ර වර්ණයෙන් මුද්‍රිත) දැන් නම් විනාශ වී ගොසිනි. නමුත් සිතාර, බට නළා, සහ තබ්ලාවට හුරුවූ ශාස්ත්‍රීය ගී රසිකයා ඉන් නව මානයකට කැඳවාගෙන ගියේ ෂර්ලි බව මගේ හැඟීමයි. 

ෂර්ලි ඉමහත් දුෂ්කරතා මැද කරන ලද කැසට් පටයක් ගැන මම කලින් සඳහන් කළෙමි. ඒ කැසට් පටයේ අඩංගු වූයේ පුදුම එළවන සුළු මිහිරි ගීත සමූහයකි. "මට එපා ඔබේ හසරැල් බිඳක්", "ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ", "ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්" යන ගීත  එකල තරුණ සිත් පැහර ගත්තේ නිරායාසයෙන්ම ය. නමුත් මා ඔබ වෙත මේ ගෙන එන ගීතය, එම ගීත සමුච්චයේ අඩංගු වැඩිපුර කතා බහට ලක් නොවන ගීතයකි. මෙහි පද මාලාව සරල ය. හමු වීම, වෙන්වීම, හිනැහීම අතර ඇඳෙන අමරණීය යයි සිතෙන් බොලඳ ආදරයක් ගැන මේ ගීතයෙන් කියැවේ. ආදරේ අනුහසින් හමුවී වෙන්වූවත්, ඔවුහු නැවත හමුවන්නාහ. ජීවිතේ මල්මාවතේ පිය නගමින් ප්‍රේම ගීතිකා ගයමින්, වසන්තයෙන් ඇරඹි මේ ගමන නිම වන්නේ ආසිරි ගී මැද අතිනත ගැනීමෙනි. නමුත් මේ ගීතය අතිශය වැදගත් එකක් වන්නේ මෙහි ඇති සුවිශේෂී ආකෘතිය නිසාමය. 

මුලින් ම මෙය සිවු පදය ගීතයට නොනගන ලද ගීයකි. එහි මුලින් ම (chorus) කියන කොටස හා අන්තරා මාත්‍රා ගණන අනුව වෙනස් බව පැහදිලි වනු ඇත. එමෙන් ම අන්තරා කොටස් ගැයෙන්නේත් අසමමිතික පද පේළි අන්දමිනි. එනිසා පද රචනය අතින් මෙහි වෙනසක් දකින්නට ඇත. නමුත් ෂර්ලි මෙහි දී රැඩිකල් වන්නේ සංගීතයෙනි. විද්‍යුත් ගිටාර, ඕගන, ඩ්‍රම් සෙට් වලින්ම පමණක් මේ ගීතය ඇසේ. එසේම ගිටාර් ඩිස්ටෝර්ෂන් (guitar distortion) යන ශබ්ද ප්‍රයෝගයද මෙහිදී මනාව අසන්නට ලැබේ. මේ ප්‍රයෝග අද නම් ඉතාමත් සුලබ හා නොවැදගත් ඒවා ලෙස පෙනී ගිය හැකි නමුත්, මා මේ සඳන් කරන්නේ 1982, එනම් මීට වසර 30කට පෙර, ගිටාර් ඩිස්ටෝර්ෂන් ශාස්ත්‍රීය සංගීතය තුල යෙදීම ගැනයි! 

එකල සිටි කැලිප්සො සංගීත කණ්ඩායම් තුලින් අප මේ භාණ්ඩ වැයෙනු අසා තිබූ මුත්, ඒවායේ නියම ශාස්ත්‍රීය භාවිතය අපට පෙන්වා දුන්නේ ෂර්ලිය. සමහර විට කේමදාස මාස්ටර් මීට කලින් මේ භාණ්ඩ යොදා ගත් නමුත්, සම්පූර්ණයෙන් බටහිරකරය වූ මෙවන් ගීත කේමදාස මාස්ටර් අතින් නිමැවුනේ නැත. ෂර්ලි ගේ සමකාලීන කීර්ති පැස්කුවල් වැනි ශිල්පීන් ද මේ භණ්ඩ යොදා ගත් මුත් ඔවුන්ට ෂර්ලි මෙන් රාගධාරී සංගීතයේ පරිචයක් තිබූයේ නැත. එනිසා ෂර්ලි වෛජයන්තයන් 80 භාගයේ මුලදී කල සොඳුරු, එනමුත් නිහඬ විප්ලවය, දශක තුනකට හෝ පසුව අප යම්තමින් හෝ අගය කළ යුතු වෙමු.

Monday, May 10, 2010

ගීයෙන් ගයන්නෙ


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්
ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවා වී
ඒ මිහිකත ගෙන් සමු ගන්නට හෙට යළි ඒවී
ඒ ලෙසකින් හැකි නම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේ වී

පෑයූ ඉර සඳු එළියයි ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට හමු වෙමු හද ගිමන නිවා ලූ
පායන්න හැකි ද සඳ සේ ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවා ලූ

පද රචනය, ගායනය හා සංගීතය - ෂර්ලි වෛජයන්ත

හැත්තෑව දශකය සිහළ ගීයේ ස්වර්නමය යුගය බවට මා හා බොහෝ දෙනෙකු එකඟ වනු ඇත. ඒ ස්වර්ණමය යුගයේ ආභාෂය 80 දශකය තුලට කාන්දු වීම තුල විශිෂ්ට නිර්මාණ, කලින් තරම් නොවූවත්, සෑහෙන ප්‍රමාණයකින් තව දුරටත් සැකසිණි. අසූව දශකය මුල් භාගයේ ඉලෙක්ට්‍රොනික වාදන භාණ්ඩ කරළියට ඒමත් සමගම නාද රටා වලද වෙනසක් ඇති විය. අළුතින් පැමිණි මේ රැල්ල ග්‍රහණය කර ගනිමින්ම, වින්දනීය බවින් අඩුවක් නොවන ගීත නිර්මාණය කිරීම සමග ෂර්ලි වෛජයන්තයන් ගී ලොවට ප්‍රවිෂ්ඨ විය.

ෂර්ලි ගායනයේ අත් පොත් තැබූවේ තරුණ සේවා සභාව හරහාය. වසර 1981 දී, හොඳම තරුණ ගායකයා ලෙස කිරුළු පළන් ෂර්ලි, එම වසරේම ගායන දිවියද ඇරඹීය. "මට එපා ඔබේ හසරැල්" ගීතය ඔහුගේ මුල්ම ගීතයයි. ගායකයන් බොහූ සිටියද, ගායනය, වාදනය හා පද රචනය යන තුන් අංශයම නිපුණ ලෙස හසුරුවන ශිල්පීන් බොහෝ අඩුය. සෝමතිලක ජයමහ සහ ෂර්ලි හැරුණු විට මෙතරම් ගීත ප්‍රමාණයක් තමන් විසින්ම නිර්මාණය කල ශිල්පීන් නැති තරම්ය.

මේ ගීතය ෂර්ලි ගේ පළමු ගීත ඇල්බමයට අඩංගු වූවකි. ගීයේ පැරණි පටිගත කිරීම තුල පවා විද්‍යුත් ඕගනය බහුල ලෙස ඔහු යොදා ගනී. විද්‍යුත් භාණ්ඩ පවා සංයමයකින් භාවිත කළ හැකි බව ඔහු විසින් මොනවට ඔප්පු කර පෙන්වන ලදී.

පෙම්වතා තම හදේ ඇති ආදරය කියා ගත නොහැකිව ලතවෙයි. ඇය දකින විට ඔහු ගේ සිත සැලෙයි. එනිසා ගීයක් ගයා තම ආදරය පැවසීමට ඔහු සිතයි. ඇය ගැන හදේ උපන් ආදරය පද වැලකට පෙරළා තනුව යොද ඔහු ගයයි. ඔහු ගයන්නේ ඔහු වෙත පෙම පුද කරන ලෙසයි. ඉර හා තරු කඳු වැටි වලට මුවා වෙමින් බැස යයි, නැග එයි. එලෙසින් ඉර හා තරු මිහිකතගෙන් සමුගන්නා විට තම සිතට මුවා වී හිනැහෙමින් සිත් සනසා ගැනීමට ඔහු ඇරයුම් කරයි. එසේම හිරු සඳු ලොව ගන අඳුර මකයි. එවන් හිරු, සඳු හා තරු යට හමුවී හදෙහි ගිමන් නිවා ගන්නට ඔහු සිතයි. එවන් ගණ අඳුර දුරලන හිරු - සඳු සේ තම පෙම් පවස නිවන්නට ඔහු අයැදියි.

අසූවේ දශකෙයෙන් ගමන් ඇරඹූ ෂර්ලි, වසර පහළොවක් පමණ පුරා කළ නිර්මාණ ආශ්‍රයෙන් ගීත සමුච්චයන් හතරක් පමන එළි දක්වා ඇත. ඉන් පසුව නිහඬව සිටියත්, ලඟකදි ඔහු විසින් නැවත ගීත කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ ගී, නව යොවුන් වියේ සිටි අප සිත් කම්පනය කළ ගීතයන් වූයේය. අසා බලන්න, ඔබටත් එසේ දැනේද කියා.