Showing posts with label එච්. එම්. ජයවර්ධන. Show all posts
Showing posts with label එච්. එම්. ජයවර්ධන. Show all posts

Tuesday, May 17, 2016

තාදු ගණ ජන මනා

තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන්ය ගයන්නේ වයන්නේ

කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි

නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා
ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්

කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳහළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දෙශයක්, රාජ්‍යයක්

අනන්තවූ දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි
අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පළා ගිය මධුර ගී . . .


රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: නන්දා මාලිනී


ඒ ලංකාවේ අඳුරු සමයකි. අසූ ගණන් වල මුල් හරියේ ලංකාව දෙකොණින් දැවෙන විලක්කුවක සිරි ගත්තේ උතුරේත්, දකුණේත් සටන් ඇවිලී ගිය නිසාය. මේ සටන් වල නායකයන් අතිශය ෆැසිස්ට්වාදී, මිනීමරු පන්නයේ වුන් වූ මුත්, මහ පොළොව මත සටන් කල "සටන් කාමීන් / කාඩරයන් / කොම්රේඩ්ලා" දුප්පත් බවින් මිරිකී ගිය සමාජ අසාධාරණයට ලක්වූ පන්තියක් විය. මේ සමාජ පීඩනය පාදක කර ගණිමින් බොහෝ නිර්මාණ බිහිවිණි. "පවන" ප්‍රසංගය එයින් එකකි. දැඩි විප්ලවවාදී ස්වරූපයක් ගත් පවනේ අද්විතීය භාවමය රසැති ගීත කිහිපයක්ද අඩංගුව පැවතිණි. මේ ගීත රචනය කළෙ මහැදුරු සුනිලුන් බවට සඳන් වුවත්, මේ ගීතය සුනිලුන්ගේ රටාවෙන් අත්ගිශයින්ම වෙනස් එකකි. ඇතැම් විචාරකයන් දක්වන පරිදි මෙය ජනතා විමුක්ති පෙරමුණේම සාමාජිකයකු විසින් ලියන්නට ඇතය යන මතයද බැහැර කල නොහැකිය.

විප්ලවවාදිනිය ගයන්නේ නොසැලෙන (තාදු) ජන සමූහයකට. වැයෙන්නේ යකඩ ගොඩවල්ය. ගයන්නේ මිනිසුන්ය. ලෙයින්, යකඩින් කෙරෙතැයි කියනා විප්ලවය ඉන් සනිටුහන් වේ.

"තාදු ගන ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්"

දැහැනෙන් මිදී විප්ලවය ගැන ඇස හැරගන්නා ලෙස ගීයෙන් බල කර සිටියි. සීරුවෙන් සිටින්නේ පුටු මත නොව පුටු කබල් මතය. දරිද්‍රතාවයේ සංකේතයක් අපට එහිදී හමුවේ.

"කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි"

ඇය කියන ගී දල, රළු ඒවා වේ. (ඇත්තෙන්ම වචන භාවිතය ඉතාම රළුය. එහෙත් මිණි කැට වැනි යෙදුම් මේ ගීය තුල එමට දකින්නට ඇත.) ගී ලියා ඇත්තේ ක්මහලේ බිත්තියේ අඟුරු කැටයෙන් මිස මහා කිවියරන් විසින් පොත් වල නොවේ. තමන් ගයන්නේ පීඩිතයාගේ ගීයක් බව එයින් ගම්‍ය වේ.

"ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි"

නැවතත් විප්ලවවාදිනිය කියා සිටින්නේ තමා කම්කරු සමාජයේ කෙනෙකුම මිසෙක, ගීත කෝකිලාවියක් නොවන බවයි. එම ගී වලින් කියැවෙන්නේ ගී නොව, තලන, මඬින ලද, සුවහසක් ආත්මයන්ගෙන් නැගෙන හැඬුම් සහ බැණුම් වල හඬයි. මෙහිදී රාවය නැගෙන්නේ සිතේ ඇති වන හඬට වඩා ආත්මයෙන් ඇති වන හඬෙනි. "තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා - ඉකි බිඳින බැණ නැගෙන රාවයයි" යන්න රළු පරළු යෙදුම් අතර ඇති මිණි කැටයක් වැනි සුන්දර යෙදුමකි.

අපට මිත්‍ර වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැත. ඒ නිසා අතිශයින් මහාර්ඝ වූ රසභාවයන් විඳීමට අපට ඉඩක් නැත. එනිසා එවන් උත්තම කලාවේ ගැඹුරු රස භාව සොයන ජනී ජනයන් ඇතොත් ඉවත්වී යන්නට ඇය ආරාධනා කරයි. මන්ද එවන් ගී ඈ'තින් ගැයෙන්නේ දුලබ ලෙසින් නිසාය. "පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා - ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්" යන්න නැවතත් සුන්දර යෙදුමකි.

කලා මල්දම් යදම් ලෙස, චණ්ඩ මැරවරියක් ලෙසින් බිඳහරින බව කීමෙන් අදහස් වෙන්නේ ඇය සම්ප්‍රදායන්ගෙන් ඔබ්බට යන බවයි. අපට මිතුරු (භද්‍ර) වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැති බව ඈ සඳහන් කරන්නීය.

අවසන් ගී පද වලින් මුළු ගීයම තීව්‍ර අන්තයකට ගෙන එයි. මහත් විස්සෝපයෙන් වුව භාව නිශ්‍රිත ගී ඇත හැර, කම්කරුවන් විසින් කම්හලේ බිත්තියේ ගී පොතෙන් උපුටා ගත්, රළු පරළු ගී පද ඇය ගයන්නේ අනාගත පරපුර වෙනුවෙනි. විප්ලවය සාර්ථක, භද්‍ර වූ කාලයක සහ දේශයක, ඇගේ පරපුර වෙතින් පළවා හරින ලද ඒ මධුරතර වූ ගී, අනාගත පරපුර විසින් ගයනු දකින්නට ඈ සිහින මවන්නීය. ඒ සමගම ගීය එක්වරම කෙළවර වීමේන් විපලවයට සුපුරුදු ක්ෂණික මරණය සංකේතවත් කරනවා විය හැකිය.

පවනේ ගීත අසන විට දැනෙන පළමු කාරණය වන්නේ අසූ ගණ වල මැද හරියේ තරුණ පරපුරේ රසඥතා මට්ටමයි. මෙවන් සංකීර්ණ පද ඇති ගීයක් වටහාගෙන එහි සාරය උරා ගැනීමට තරම් ඔවුහු දැනුමින් පොහොසත් වූ අතර, මේ ගීය පුරා වැයෙන සංගීතයේ විප්ලවීය භාවය වටහා ගැනීමට තරම් විඳීමක් ඇත්තෝද වූහ. විප්ලවය නම් මිරීඟුව විසින් වනසා දැමුණේ මෙවන් රසඥතාවක් සහිත තරුණ පරපුරකි. අනාගත පරම්පරාවල රසඥතාවය කෙළෙසීයාමට ඔවුන්ගේ අඩුව හේතුවක් නොවී යැයි කාට නම් කිව හැකිද? 

Thursday, April 1, 2010

රජ මැදුරක


රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිලි
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ


පද: ලුෂන් බුලත්සිංහල
තාල: එච්. එම්. ජයවර්ධන
නද: මාලිනී බුලත්සිංහල


දිළිඳු කම බොහෝ දෙනෙකුට බලපාන්නා වූ ප්‍රශ්නයකි. නමුත් සමහරුන් එයින් ඉතාම තදින් බැට කති. දිළිඳු කමේ පතුලේම ගිලී සිටින්නෝ මවු වරු සහ දරුවෝය. එවන් මවක හා දරුවකු පිළිබඳ වූ සංවේදී ගීතයක් ඉහත ශිල්පී ත්‍රිත්වය බිහි කර ඇත.

මේ දරුවා ඉතා කීකරු දරුවෙකි. කුඩා වුවද නැති බැරිකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇත. මග දිගට ඇති රස කැවිලි, සෙල්ලම් බඩු වලට ආශාව ඇතත් ඒ දෙස වත් නොබලමින් ඔහු පාසල් යන්නේ එහෙයිනි. ඔහු අළුත් ඇඳුම් ඉල්වමින් තම මවට කරදර කරන්නේ නැත. වැරහැලි ඇඳගෙනම සිටී. ගෙදර ලිප මෙළවෙන්නේ ඉඳහිටය. එහි පිසින්නේත් සුණු සහල් කැඳය. නමුත් එය රස කරමින් මේ දරුවා පානය කරයි. ඉන් නොනැවති, ඔහු නොදුටු සැප සම්පත් නොපතා හීනෙන් පවා සිනාසෙයි. තම පුතු ඉපිද ඇත්තේ අතු පැලකය. නිකම්ම පොල් අතු පැලක නොව සුළඟට ගසා ගෙන යන පොල් අතු සහිත, හිරිකඩ ගසන,  අබලන් පොල් අතු පැලකය. ඔහු රජ මැදුරක ඉපිද සිටියා නම් ඔහු රජ වන්නට පවා හැකිවනුයේ ඔහු දිරිය දරුවකු නිසාය. එවන් දරුවකුට මීට වඩා සැප සම්පත් නොදීමට හැකි වීම ගැන මව සොවින් තැවේ. හීනෙන් සිනා නොවී මව හඬවන්නට කියන්නේ එබැවිනි.

වඩාත් සියුම්ව බැලූ කල්හි මේ ගීයේ ඇතැම් වචන වලින් එහි අරුත් කුළු ගැන්වෙන අන්දම මනාව දැකිය හැකිය. රස කැවිලි "සිල්ලර" ය. "පුංචි පැටික්කන්" මග දිගට ඒවා ඉල්ලමින් හඬයි. නමුත් ඉන් කුස පිරෙන්නේ නැත. මේ දරුවා සමාජයේ පුහු ආටෝපයන් කෙරෙන් ඉවත බලා යන්නෙකි. රජකමට ඔහු සුදුසු වන්නේ එබැවිනි. "ඉඳහිට මොළවන" ලිප දක්වන්නේ ඔවුන් කෑම වේලක් ලබන්නේ ඉඳහිට බවයි. වේලක් ලැබූවත් ඒ මිලෙන් අඩු කැඩුණු (සුණු) සහල් පමණකි. එයද බතක් පිස ගැන්මට තරම් නොවේ. එනිසා කැඳ සාදා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. මේ පද කිහිපය මගින් මේ දරුවා මුහුණ පාන දරිද්‍ර බවේ තීව්‍රතාව මනා ලෙස දක්වා සිටී. එනමුත් එවන් වූ අහරක් පවා දිව බොජුනක් ලෙස මේ දරුවා සලකයි. ඔහු පාසල් යාමටද කිසි විටෙක මැලි නොවේ. මෙයින් මේ දරුවාගේ දිරිය මනාව පෙන්වා සිටී. කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි. 

මුළු ගීය පුරාම පියා ගැන වදනකදු සඳහන් නොවේ. අනෙක් කරුණුද සමග එකව ගත් කල්හි, මේ දරුවා අවජාතක දරුවකුදෝ යන සැකය සහෘදයා තුල ජනිත කරවයි. ලූෂන් බුලත්සිංහල යනු කවදත් විප්ලවීය පද ගීයට ගෙන ආ රචකයෙකි. එනමුත් ඔහු විසින් මෙවන් භාව පූර්ණ ගී ලියැවී ඇත්නම්, ඒ ස්වල්පයක් විය යුතුය. අකාලයේ අප අතරින් වියෝ වූ මාලිනී බුලත්සිංහල ශිල්පිණිය මේ ගීයේ අරුත කුළු ගැන්වෙන භාවයන්  සමගින් මේ ගීය ගයන්නීය. ඇගේ අකල් වියෝව අප සංගීත කෙතට එල්ල වූ මහ පහරක්ම වන්නේය.


Thursday, February 25, 2010

මතු සංසාරේ


මතු සංසාරේ අප දෙදෙනා
හද සන්තානේ අද විඳිනා
දුක සන්තාපේ සංසිඳෙනා
පෙම ප්‍රාර්ථනා කරම්

මතු සංසාරේ අප දෙදෙනා
හද පෙම් තාපෙන් හිත දවනා
මේ වෙන් වීමේ දුක් නිවනා
පෙම ප්‍රාර්ථනා කරම්

බැඳිලා ප්‍රේමේ හද නිම්නේ
කවුදෝ කිසිදා ජයගන්නේ
අප මෙන් කඳුලේ ලතවෙන්නේ
ජය සීනු නාදේ නෑ ඇසී
මේ ප්‍රේමයේ විජිතේ

උදයේ හමුවී හිනැහෙනවා
නොනිදා සයනේ වැලපෙනවා
දෙදෙනා දෙපසේ තනිවෙනවා
කවදාද ප්‍රේමේ ගීතයේ
දුක් වේදනා නැසුනේ

 
ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න

සමහරුන් ආදරය නොලබති. ඔවුහු ආදරයේ අරුම නොදන්නෝය. සමහරු ආදරය ලබති. විවාහ ද වෙති. ඔවුහු වෙන් වීමේ දුක නොදන්නෝය. ආදරයේ අරුම දැන වෙන්වීමේ දුකින් තැවෙන්නෝද වෙති. මේ ගීතය එවැන්නන් උදෙසා ලියවුණු එකකි.

ආදරයට බොහෝ දෙනා අකුල් හෙළිය හැකිය. නමුත් බොහෝ විට ආදර වන්තයෝ ඒ බාධා මැඩ ඉන් ජය  ලබති. එනමුත් සමහර සටන් දිනන්නට බැරි අවස්ථාද වෙයි. මේ එවැනි අවස්ථාවකි. හද නිම්නයන් ප්‍රේමයෙන් බැඳුනත් ඔවුහු කඳුළු සලමින් ලතවෙති. ප්‍රේමයෙන් ජය ගන්නා අය ඇති බව ඇසීමත් ඔවුන්ට අරුමයකි. ජීවිතයේ ජය සීනු නාදය (මංගල සීනු විය හැකිය) ඔවුන්ට ඇසි නැත. උදයේ හමුවී සවසට වෙන්වී, තම දෛවය ගැන ඔවුහු රාත්‍රිය පුරා නිදි නොමැතිව සුසුම් සලන්නෝය. දෙදෙනා තනි වන බව ඔවුන්ටම ඉවෙන් මෙන් දැනේ. මේ පෙම් ගීතයේ දුක් වේදනා නැසෙන්නේ කවදාදැයි ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කර සිටිති. එබැවින් මතු ආත්මයකදී හෝ හද සංතාපය දවන, පෙම් තාපයෙන් සිත තවන මේ පෙම ඉටු කර ගැන්මට ලැබෙන ලෙස ඔවුහු පතති.

මේ ගීතය කුලරත්න ආරියවංශයන්ගේ පන්හිඳින් ලියැවී එච්.එම්. ජයවර්ධනයන්ගේ නාද සිත්තමින් හැඩ වුනකි. ටී.එම්. ජයරත්නයන් විසින් 1980 මුල් භාගයේ ගයන්නට යෙදුනු වෙනස් ආරයේ ගී ගොන්නෙන් එකක් ලෙස මෙය සැලකිය හැකිය. සරල පද, සරල තාලය හා බටහිර වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගනිමින් බටහිර ආරයට මෙම ගීත ගැයී ඇත. එනමුත් එම සරල බව තුලම මේ ගීතය අමුතු මිහිරක් ජනිත කරයි.


Thursday, November 12, 2009

හේමන්තයේ දී

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් දැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ ගෙවී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් නුරා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී

ආදරය ඇති වනුයේ යොවුන් වියේදීය. එය දිවියේ නව දලු මල් පුබුදන, සිහින් සරින් කුරුළු ගීත ඇසෙන, හිරිපොද වැස්සෙන් තෙමෙන ආදරණීය වසන්තයක් ලෙස ඇතැම්හු හඳුන්වති. මේ නවතාවය තුලට අලුත්ම අත්දැකීමක් ලෙසට ආදරය එකතු වෙයි.

නමුත් සියළු දෙනාටම දිවියේ වසන්තයේදී ආදරය හමු වන්නේ නැත. පාසල අවසන් කර, උසස් ඉගෙනුම ලබා ගත් පසු ආදරය හඳුනා ගන්නා අයද වෙති. මේ වනාහි දිවියේ ශක්තිමත් පදනමක් සහිතව සිටින කාලයකි. ගිම්හානයේ මුද්‍රාව තැවරුණු ආදරය ඔවුන් හඳුනා ගන්නේය.

නමුත් දිවියේ මැදි වයසේදී ආදරය හඳුනන අතළොස්සක්ද වෙති. වසත් කළ නිදා සිටි යෞවනයේ කොවුලන් ගී ගයන්නේ හා මුකුලිතව ගිය මල් කැකුළු අවදි වන්නේත් දිවියේ හේමන්තයේදිය. මැදි වයසේ කාන්තාවක ආදරය හඳුනා ගැනීමෙ ප්‍රහර්ෂය සිය ආදර වන්තයාට ප්‍රකාශ කරන අයුරු මේ ගීයෙන් කියැවේ.

හඬා වැටීමෙන් (ප්‍රතික්ෂේප වීම නිසා විය හැකිය) විඩා වී, අයාලේ යන වළාවක් මෙන් ද, පින්න සහිත රැයෙක නොපෙනී ගිය සඳක් මෙන් ද, ජිවිතයේ අතරමංව සිටි ඇයට මං සොයන නෙත ලබා දෙනුයේ ඇගේ පෙම්වතාය. එසේම ගැරහුම් මැද ජීවිතයෙන් පළා ගිය ඇයට නැවත මඟ සොයා ගැන්ම නෙත් සදන්නේ ද ඔහුමය.

1983 පමණ කාලයේ මතභේදාත්මක ගීත සමුච්චයක් රැගත් "හේමන්තයේ" ගීත ඇල්බමයට මෙමෙ ගීය ඇතුලත් විය. මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනා කෞශල්‍යය මොනවට විදහා පාන ජීවමාන සාධකයකි මේ ගීය. එච්. එම්. ජයවර්ධනයන් අති විශාල වාදක කණ්ඩායමක් යොදවා මේ ගීත සමුච්චයට සංගීතය සැපයීය. ගීය අසන විට තාල තරංග, ගිටර, සිතාර ආදී තත් භාණ්ඩ එක වර්ගයකින් එකකට වඩා වැයෙනු ඇසිය හැකිය. මේ ගීතය අප සංගීත ඉතිහාසයේ වැදගත් තැනක් සනිටුහන් කරන්නේ ආදරයේ අමුතුම මානයන් සොයා ගිය අපූරු අත්දැකීමක් හෙයිනි

අසන්න
.

Tuesday, May 5, 2009

දස මසක්

දස මසක් මා කුස තුල සිටි පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබට දෑස පියා ගෙන
නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා
වග වළසුන්ගෙන් පියෙකු ලබාවා

දැඩිවී වග වළසුන් අතරේ
වළසකු වී අවුදින්
පුතුනේ . . . වීසි කරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ

සැතපී නයි පොළොඟූන් දරණේ
පොළඟෙකු වී අවුදින්
පුතුනේ. . . අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසනු පුතුනේ

ඔබ කෙදිනක හෝ රෝහලක ප්‍රසව සහ නාරිවේද වාට්ටුවකට ගොස් තිබේද? නිතර එබඳු වාට්ටු වල දකින්නට ලැබෙන සිද්ධියක් මෙම ගීතයට පාදක වී ඇත. දුප්පත්කම නිස හෝ අවජාතක දරුවකු වීම නිසා සමහර බිලිඳන් මව්වරුන් විසින් අත්හැර දමා යනු ලැබෙයි. මෙම බිලිඳුන් ගේ ඉරණම කුමක්ද?
මවක් දස මසක් ආදරයෙන් කුස තුල රුවාගෙන සිටි දරුවා බිහි කර ඇත. නමුත් යම් හෙතුවක් ඉසා මෙම දරුවා රැගෙන යාමට ඇයට නොහැකිය. එබැවින් දරුවා වන වදුලකට විසි කර යාමට ඇය සිතයි. නමුත් අම්මා කෙනෙකු වශයෙන් එය එකවරම කළ නොහැකිය. එනිසා නයි පොලොඟූන් ගෙන් මවකත්, වග වළසුන්ගෙන් පියෙකුත් ලැබෙන ලෙස ඇය පතයි. එම දරුවා වියපත් වූ දිනෙක වළසකු සේ හපාකෑමෙන් හෝ පොලොඟකු ලෙස දෂ්ඨ කිරීමෙන් මෙම සමාජය නසා දමන ලෙස ඇය අයැදියි. ඒ වීසි කරන්නටත්, අහක දමන්නටත්, දරුවන් වදනා හෝ තනනා බැවිණි.

මෙම ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබඳිනු ලදුව, එච්. එම්. ජයවර්ධනයන්ගේ සංගීතයෙන් හැඩව, නන්දා මාලිනිය විසින් ගයන්නකි. බොහෝ මත භේදයන්ට පාත්‍ර වූ "පවන" ගීත ඇල්බමයට මෙය ඇතුලත් විය. නිසි ඇගයීමට ලක් නොවු "පවන" තුල වූ මෙබඳු නිර්මාණ ගෙනහැර දක්වීම අප යුතුකමක් වන්නේය.

අසන්න