Showing posts with label පුණ්‍යා කත්‍රිආරච්චි. Show all posts
Showing posts with label පුණ්‍යා කත්‍රිආරච්චි. Show all posts

Sunday, August 30, 2009

මට මතකයි

මට මතකයි ඔබ පිපිලා උන්නා දුණුකේ ගසක සුදෝ . . .
මට මතකයි ඔබ සොයලා ආවා බමරෝ සුවඳ මගේ . . .

වත්සුණු තවරා කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා - මතකයි අත වැනුවා
අත්තල හඬ ගා මහ මග කුර ගා
ඔබ යද්දී දවසක් දා - මතකයි අත වැනුවා

දිය සුළි නැගිලා වෙරළට එද්දී
බෙලි කටුවේ සැඟවීලා - මුතු ඇටයක් තිබුණා
සසරේ පෙරදා වරම් ලැබූ ලෙස
බෙල්ලකු වී සඟවාලා - මම ඔබ රැක ගත්තා

මේ ගීතය මගේ සවණ වැකුනේ මෙයට වසර 25 කට පමණ පෙරය. කුඩා දරුවකුව සිටි මගේ සිත මුළින්ම ඇදී ගියේ එහි තාලයට සහ ගායන විලාශයටය. නැවත වසර ගණනකට පසුව හිරිමල් යොවුන් වියෙදී, ආදරයේ සුවඳ දැනෙන මොහොතක මේ ගීතය මට නැවතත් අසන්නට ලැබිණ. හුරු පුරුදු වූ තාලයට ගැයෙන ගී පද වල අරුත වැටහුණේ ඉන් පසුවය. සිතක ආදර හැඟීම් මෝදු කරන්නා වූත්, මෝදු වූ හැඟීම් කුළු ගන්වන්නා වූත් අපූරු ගීතයක් ලෙස මට එය එදා වැටහි ගියේය. නැවත වසර පහළොවකට පමණ පසුව "ආරාධනා" ගීතාවලියෙන් නැවත මේ අපූරු ගීතය මට අසන්නට ලැබිණ. මෙවන් ගීයක් ගැන සටහනක් තබන්නට සිතුනේ ඉන් පසුව යයි කීමෙහි වරදක් නොවේ.

හෙක්ටර් සිල්වා නම් අප නොහඳුනන ගායකයා ගේ හඬින් හා පුණ්‍යා කත්‍රිආරච්චි නම් ප්‍රතිභා පූර්ණ ශිල්පිණිය විසින් ගයන ලද මේ ගීතය අද දිනයේ නො ඇසෙන ගීතයකි. පෙම්වති‍ය දුනුකේ මලකටද, පෙම්වතා එහි සුවඳ සොයා එන බමරකු ලෙසද උපමා කරමින් ගීය ඇරඹේ. ඔවුන්ගේ අහඹු හමුවීම ගැන සොඳුරු මතකය අවදි කිරීමත් ඉන්පසු සිදු කරයි. මහ පාරේ ගමන් කරමින් සිටි පෙම්වතාට කවුලුවකින් හිස දමා අත වැනුමකින් ප්‍රේමය ඇරඹේ. මෙලෙස ඇරඹෙන ප්‍රේමය සසරේ පතා ගෙන ආ පරිදි මුතු ඇටයක් රකින බෙල්ලකු මෙන් මේ ප්‍රේමය ඔවුන් විසින් රැක ගෙන ඇත. මෙහි එන වචන ඉතාම සරල, සුගම මෙන්ද සුන්දර ද වෙයි. මෙහි පද රචකයා සොයා ගැනීමට බොහෝ උත්සාහ කළත් එය අසීරු විය. මෙහි සංගීතය ආචර්ය අමරදේවයන්ගේ බව මිතුරකු පැවසීය.

70 දශකයේ ගැයුණු මෙම ගීය, 70 දරුවන්ගේ ජීවිත සමග ඒකාත්මික වන්නාවු ගීයකි. අමරදේව, වික්ටර් රත්නායක, ටී. එම්., සනත් නන්දසිරි හා සුනිල් එදිරිසිංහ, මාලිනි බුලත්සිංහල, ගුණදාස කපුගේ, නන්දා මාලිනී යන ශාස්ත්‍රීය ගායක ගායිකාවන් මෙන්ම පුණ්‍යා කත්‍රිආරච්චි වැනි සරල ගී ගායිකාවන් අතින්ද බිහි වූ ගීයන්ගේ ද සහෘදයා සමග ඒකාත්මික වීමෙ මේ ගුණය නොඅඩුවම පවතී. මෙහි සරල, සුගම ස්වභාවය, කඨෝර සංගීත ඛණ්ඩ පිරිණු වත්මන් ගී අතරට නවමු වෙනසක් ගෙන නො එන්නේද?

අසන්න

Monday, July 27, 2009

දෑස වසා ගමි


දෑස වසා ගමි ඔබ නො පෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කර ගමි ඔබට නොඑන්නට
සිතිවිල්ලක් වී ඔබ එනවා

අහසට ඔසවන විටක දි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ ගැලපෙනවා

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා

අහසත් පොළොවත් ඔබම ද මා හට
නැතිව ද ඔබ මා හැර යන්නේ
තහනම් දේසෙ දි බැඳි පෙම් බිඳ දා
කෙදින ද ඔබ මා හමු වන්නේ

පද: දයා ද අල්විස්
සංගීතය: ගුණදාස කපුගේ
හඬ: පුණ්‍යා කත්‍රිආරච්චි

මා ඔබට එතරම් ආදරය කරමි. කෙතරම් ද යත්, ඔබ වෙනතක ගිය ද, ඒ ආදරය මට අමතක කළ නොහැක. විටෙක දෑස පියා ගෙන ඔබ රුව නොදැක සිටීමට වෙහෙස දරමි. විටෙක ඔබ නො එන පරිදි ඉඳුරු දොරටු වසා ගනිමි. එනමුත් සිහිනයක් සමග හෝ සිතිවිල්ලක් වී ඔබ මසිතට ඇතුළු වේ. අහස දෙස හිස ඔසවා බැලූ කල්හි පවා හිරු-සඳු මුවෙහිත් ඔබ පෙනේ. ලොවෙහි ඇති කුමන සුන්දර දසුනක් සමග වුවද ඔබ රුව ගැලපෙයි. පාළුවෙන් මා තනිව සිටිනා කල්හි සුසුමක් වී මා සමග ඇදෙයි. මගේ අහසත් පොළොවත් ඔබම ය. ඔබ මා හැර දමා යන්නේ ද නැත. ඒ තහනම් ආදරයෙන් මිදී මා වෙත පැමිණෙනුයේ කවදා දා?

1970 මැද භාගයේ දී සරල ගී ශිල්පිනියක් වූ පුණ්‍යා කත‍්‍රිආරච්චි විසින් ගයන ලද, දයා ද අල්විස් විසින් රචිත මෙය සිංහල ගීත සාහිත්‍යය තූළ බිහිවූ අනුවේදනීය හැඟුම් දනවන ගීතයකි. තහනම් ආදරයක වෙළුණු තම සහකරු වෙත දක්වන්නා වූ අප‍්‍රමාණ වූ ආදරය වචන වලට පෙරළන ලද අවස්ථාවකි. ආදරයේ තරම දක්වන්නට ගීතය පුරා යෙදෙන පද, සුවිශාලත්වය, අචල බව හා තිරසර බව දක්වන පදයන් ය. හිරු-සඳු, අහස-පොළොව, සිතිවිලි හා සුසුම්, මේ ආදරයේ සුවිශාලත්වය දැක්වීමට රචකයා භාවිතා කරයි. කල්පිත ලොවෙහි ගී පොත පෙරළන්නේත් ඔහුම ය. අවසන එහි ම වූ ගීයක් වී ඔහු පිළිබඳ මතකය වැලැපෙයි.

ගීතය පුරාවටම දක්වන වචනයන් හි සංවර භාවය නිසා ආදරයෙන් මුසපත් වූ තැනැත්තියක ගේ සිතිවිලි ලෙසම ගීය ගලා යයි. ගීයෙහි කොතැනක දී වත් දොස් පැවැරීම ක් හෝ ද්වේෂ කිරිමක් දක්නට නො ලැබේ. ගීය අවසන් වන්නේ ද බහු අරුත් සපයා ගත හැකි ස්ථානයකට ශ්‍රාවකයා ඇද දමමිනි. තව ද "කල්පිත ලෝකේ ගී පොත පෙරළා - ගීයක් වී ඔබ වැළපෙනවා" යන්න ගැයෙනා විට මේ පෙමවතියගේ සිත තුළ නැගෙන අදහස් රල පෙළක් මෙන් උච්ඡ ස්ථානයකට පත්වෙයි.

ඉතාම සරල වූ සංගීතයකට අනුව ගැයෙන මෙම ගීය, අදාල ශිල්පිනිය විසින් ගයන ලද අතේ ඇඟිලි ගණනටත් අඩු ගීත ගණනින් එකකි. වන ගැබ පිපී, වන ගැබ පරව ගිය ඇය වැනි පුෂ්පයන් හි සුවඳ හෝ යම් තරමක් ලොව වෙත ගෙන ඒම ඒම ශිල්පීන් වෙනුවෙන් අපට කල හැකි දේ වන්නේ ය.