Showing posts with label එච්.එම්. ජයවර්ධන. Show all posts
Showing posts with label එච්.එම්. ජයවර්ධන. Show all posts

Sunday, May 1, 2016

පිරිත් පොත සේ


පිරිත් පොත සේ පිවිතුරුයි
බණ කතා මෙන් පින්බරයි
සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ
මං නුඹට පානා ආදරේ

රුවන් වැලි සෑයට උසයි - මහා පැරකුම් වැව වගෙයි
ඉසුරුමුණි පෙම් යුවලවත් විඳ නෑ
අපි අපිට පානා ආදරේ

තුන් රුවන් සරණින් බෙලෙන් - සිව් වරම් දෙවි අනුහසින්
සෙත් පිරිත් සේ වාසනා වේවා
මං නුඹට පානා ආදරේ
නුඹ මටම පානා ආදරේ

පද: ආනන්ද හේවා රංහිඳගේ
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: ජානක වික්‍රමසිංහ

ආදරයේ අගය සහ ප්‍රහර්ෂය වචනයට නැගීම අපහසුය. වෙසෙසින්ම තමා අවට ඇති සියළු දෙනාටම තේරුම් ගත හැකි බසෙකින් එය කිරීම තවත් අසීරුය. මේ ගීය, ආදරයේ ප්‍රහර්ෂය විස්තර කිරීමට දැවැන්ත වචන, උපමා, උපමේය අවැසි නොවන බව පෙන්වන වර්තමාන නිදසුනක් බව මා මතයයි. වචන සරල වනවා මෙන්ම, මේ ගීතය තුල උතුරු දිග තැනිතලාවේ ජනයාගේ ජීවන සුවඳ ද මනාව කැටිවී තිබෙනු දක්නට හැකිය.

කථා නායකයාගේ ආදරය පිවිතුරු, අගය කලයුතු, අති වෙසෙස් එකකි. එය පිරුවාණා පොත් වහන්සේ මෙන් පිවිතුරු එකකි. බණ කතා මෙන් පින්බර, කව් සිළුමිණ මෙන් සුන්දර එකකි. පිරුවාණා පොත්වහන්සේ, ජාතක කතා පොත සහ කව් සිළුමිණ යනු සිහළ සාහිත්‍යය තුල අමරණීය සලකුණු තබන නිර්මාණයන්ය. පිරුවානා පොත් වහන්සේ භක්තියත්, පන්සිය පණස් ජාතක කතා පොත, ව්‍යවහාර සාතිත්‍යයත්, කව්සිළුමින් ව්‍යාකරණ සම්බන්ධයෙනුත් ඉහළම පොත් වේ. එසේම මේ ආදරයේ පිවිතුරු බව, එහි විශාලත්වය සහ ගැඹුර දැක්වීමට රචකයා මේ උපමා භාවිත කරයි.

රුවන්වැලි සෑය සහ පැරකුම් සමුදුර යනු නැවතත් උතුරු දිග තැනිතලාවේ ජනී ජනයාගේ එදුනෙදා ජීවිතයේ හමුවන දැවැන්තම වස්තූන්ය. මේ ආදයර ඒවාටද වඩා විසල්ය. ඉසුරුමුණි පෙම් යුවල යොදන්නේ, ඔවුන් දීර්ගකාලීන්ව පෙමින් වෙලී සිටින නිසාවෙනි. නමුත් කථා නායකයාගේ කෙටි කාලීන ප්‍රේමය තරම් එකක් ඔවුන් ද විඳ නැත! මෙවන් පිවිතුරු සහ ගැඹුරු පෙමක් තුණුරුවන් බලයෙන් සහ සිව් වරම් දේව අනුහසින් හා සෙත් පිරිත් බෙලෙන් රැක දෙන මෙන් කථා නායකයා ඉල්වයි.

මේ ගීතය පුරාවටම යෙදෙන වචන ඉතාම සරල මෙන්ම, අනුරාධපුර පළාතට ආවේණික ගතියක් සහිත ඒවාද වෙයි. මේ ගීතය වසර දහයකට පමණ පෙර ජානක වික්‍රමසිංහයන් විසින් ගායනා කල එකකි. අද ජානක නිහඬව සිටින්නේ ඇයිද යන්න අපට ප්‍රශ්නයකි. ඒ හඬ පෞරුෂය අසීමට අපි අද ද ආශා ඇත්තෙමු.

Saturday, February 12, 2011

පහන් කන්ද


පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි

කටුක දුකින් ගිණි ගැණුනු ආත්මය
පුපුරා ගලනා සෝ ගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මා වෙත දුන මැනවි

අඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්
හදවත නොපහන් සිතුවිලි දුරු කොට
පහන් සිතින් දලවා පහනක්
ආලෝකය මට දුන මැනවි


පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: විශාරද නන්දා මාලිනී
ඇල්බමය: පහන් කන්ද


රාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ගස්වන බහුබූතයෙකි. රාජු හමු වන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කල "මේරා නාම් ජෝකර්" සිනමා පටයේදීය. කුඩා කල පටන්ම තමා ඉපදී ඇත්තේ අනුන් හිනස්වන්නට බව ත් රාජු තේරුම් ගනී. තෙවරක්ම ප්‍රේමයෙන් පරදින ඔහු ඒ සියල්ල සිතේ දරාගෙන නරඹන්නන් හිනස්වයි. වෙනෙකක් තබා තම මව මිය ගිය පුවත ලැබුණු මොහොතේදී සිදු කරන සංදර්ශනයේදී "අම්මා" කියමින් හඬයි. එය දකින නරඹන්නන් කරන්නේ කොක් හඬ නගමින් සිනා සීමය. රාජු  නම් බහු බූතයා මෙන්ම තම සිත තුල ඇති දුක් වේදනා සන්ගවා ගෙන අනුන් හිනස්සන්නන් අප සමාජයේ විරල නොවේ. එලෙස තමන් හඬමින් අනුන් හිනසවන, තමන් විඳවමින් අනුන් පිනවන කෙනෙකුගේ ප්‍රකාශනයක් ලෙස "පහන් කන්ද" ගීතය ලියවී ඇත.

පහන් කන්ද සතර දෙස ආලෝකය පතුරයි. එනමුත් පහන් කන්ද පාමුල ඇත්තේ බියකරු අන්ධකාරයයි. එහි පාමුල අඳුර කිසිවෙකු දකින්නේද නැත. හද අඳුරු තැනැත්තේගේ පැල ද අඳුරුය. කටුක දුක් දරා, ඒවා ඵැසවමින් පිටතට ගලා එන වේදනාව පද වැල වී ගැයීමෙන් අසා සිටින්නන් මන් මත් වේ. එය ඔවුන් ගේ හදවත් අඳුරෙන් එළියටද ගෙන යයි. එයින් හදවතෙ අඳුරු සිතිවිලිද නැත. මේ ගීත අසා ලබන සතුටේ ආලෝකයෙන් බිඳුවකින්, නව පහනක් දල්වා අඳුරු වූ පහන් කන්ද පාමුලට, හදවතට, පැලට එළියක් ගෙන එන් මෙන් ඉල්ලා සිටියි. මේරි, මරීනා, මීනා යන තුන් දෙනගේමත්, සිය මවගේත් ආදරය අහිමි වී රාජු නම් බහු බූතයා සිටින්නේද මෙවන් අඳුරකමය.

පහන් කන්ද නන්දා මාලිනියගේ ස්වර්ණමය යුගයේ නිර්මාණයකි. ඇය සමහර විට එකල ආසියාවේ මධුරතම හඬ හිමි කාන්තාව වන්නටද ඇත. නන්දා මාලිනිය මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ගී කලාවේ උච්චතම ලක්ෂ්‍යය නිරූපණය කරන්නේ "පහන් කන්ද" ඇල්බමයයි. මේ ගීතය අසා බලන්න, රාජු බහුබූතයාගේ රුව ඔබ අබියස පෙනී යනු ඇත.

බාගෙන අහන්න