කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුනා
රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ
පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා
මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.