Showing posts with label නන්දා මාලිනී. Show all posts
Showing posts with label නන්දා මාලිනී. Show all posts

Tuesday, May 17, 2016

තාදු ගණ ජන මනා

තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන්ය ගයන්නේ වයන්නේ

කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි

නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා
ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්

කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳහළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දෙශයක්, රාජ්‍යයක්

අනන්තවූ දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි
අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පළා ගිය මධුර ගී . . .


රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: නන්දා මාලිනී


ඒ ලංකාවේ අඳුරු සමයකි. අසූ ගණන් වල මුල් හරියේ ලංකාව දෙකොණින් දැවෙන විලක්කුවක සිරි ගත්තේ උතුරේත්, දකුණේත් සටන් ඇවිලී ගිය නිසාය. මේ සටන් වල නායකයන් අතිශය ෆැසිස්ට්වාදී, මිනීමරු පන්නයේ වුන් වූ මුත්, මහ පොළොව මත සටන් කල "සටන් කාමීන් / කාඩරයන් / කොම්රේඩ්ලා" දුප්පත් බවින් මිරිකී ගිය සමාජ අසාධාරණයට ලක්වූ පන්තියක් විය. මේ සමාජ පීඩනය පාදක කර ගණිමින් බොහෝ නිර්මාණ බිහිවිණි. "පවන" ප්‍රසංගය එයින් එකකි. දැඩි විප්ලවවාදී ස්වරූපයක් ගත් පවනේ අද්විතීය භාවමය රසැති ගීත කිහිපයක්ද අඩංගුව පැවතිණි. මේ ගීත රචනය කළෙ මහැදුරු සුනිලුන් බවට සඳන් වුවත්, මේ ගීතය සුනිලුන්ගේ රටාවෙන් අත්ගිශයින්ම වෙනස් එකකි. ඇතැම් විචාරකයන් දක්වන පරිදි මෙය ජනතා විමුක්ති පෙරමුණේම සාමාජිකයකු විසින් ලියන්නට ඇතය යන මතයද බැහැර කල නොහැකිය.

විප්ලවවාදිනිය ගයන්නේ නොසැලෙන (තාදු) ජන සමූහයකට. වැයෙන්නේ යකඩ ගොඩවල්ය. ගයන්නේ මිනිසුන්ය. ලෙයින්, යකඩින් කෙරෙතැයි කියනා විප්ලවය ඉන් සනිටුහන් වේ.

"තාදු ගන ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්"

දැහැනෙන් මිදී විප්ලවය ගැන ඇස හැරගන්නා ලෙස ගීයෙන් බල කර සිටියි. සීරුවෙන් සිටින්නේ පුටු මත නොව පුටු කබල් මතය. දරිද්‍රතාවයේ සංකේතයක් අපට එහිදී හමුවේ.

"කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි"

ඇය කියන ගී දල, රළු ඒවා වේ. (ඇත්තෙන්ම වචන භාවිතය ඉතාම රළුය. එහෙත් මිණි කැට වැනි යෙදුම් මේ ගීය තුල එමට දකින්නට ඇත.) ගී ලියා ඇත්තේ ක්මහලේ බිත්තියේ අඟුරු කැටයෙන් මිස මහා කිවියරන් විසින් පොත් වල නොවේ. තමන් ගයන්නේ පීඩිතයාගේ ගීයක් බව එයින් ගම්‍ය වේ.

"ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි"

නැවතත් විප්ලවවාදිනිය කියා සිටින්නේ තමා කම්කරු සමාජයේ කෙනෙකුම මිසෙක, ගීත කෝකිලාවියක් නොවන බවයි. එම ගී වලින් කියැවෙන්නේ ගී නොව, තලන, මඬින ලද, සුවහසක් ආත්මයන්ගෙන් නැගෙන හැඬුම් සහ බැණුම් වල හඬයි. මෙහිදී රාවය නැගෙන්නේ සිතේ ඇති වන හඬට වඩා ආත්මයෙන් ඇති වන හඬෙනි. "තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා - ඉකි බිඳින බැණ නැගෙන රාවයයි" යන්න රළු පරළු යෙදුම් අතර ඇති මිණි කැටයක් වැනි සුන්දර යෙදුමකි.

අපට මිත්‍ර වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැත. ඒ නිසා අතිශයින් මහාර්ඝ වූ රසභාවයන් විඳීමට අපට ඉඩක් නැත. එනිසා එවන් උත්තම කලාවේ ගැඹුරු රස භාව සොයන ජනී ජනයන් ඇතොත් ඉවත්වී යන්නට ඇය ආරාධනා කරයි. මන්ද එවන් ගී ඈ'තින් ගැයෙන්නේ දුලබ ලෙසින් නිසාය. "පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා - ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්" යන්න නැවතත් සුන්දර යෙදුමකි.

කලා මල්දම් යදම් ලෙස, චණ්ඩ මැරවරියක් ලෙසින් බිඳහරින බව කීමෙන් අදහස් වෙන්නේ ඇය සම්ප්‍රදායන්ගෙන් ඔබ්බට යන බවයි. අපට මිතුරු (භද්‍ර) වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැති බව ඈ සඳහන් කරන්නීය.

අවසන් ගී පද වලින් මුළු ගීයම තීව්‍ර අන්තයකට ගෙන එයි. මහත් විස්සෝපයෙන් වුව භාව නිශ්‍රිත ගී ඇත හැර, කම්කරුවන් විසින් කම්හලේ බිත්තියේ ගී පොතෙන් උපුටා ගත්, රළු පරළු ගී පද ඇය ගයන්නේ අනාගත පරපුර වෙනුවෙනි. විප්ලවය සාර්ථක, භද්‍ර වූ කාලයක සහ දේශයක, ඇගේ පරපුර වෙතින් පළවා හරින ලද ඒ මධුරතර වූ ගී, අනාගත පරපුර විසින් ගයනු දකින්නට ඈ සිහින මවන්නීය. ඒ සමගම ගීය එක්වරම කෙළවර වීමේන් විපලවයට සුපුරුදු ක්ෂණික මරණය සංකේතවත් කරනවා විය හැකිය.

පවනේ ගීත අසන විට දැනෙන පළමු කාරණය වන්නේ අසූ ගණ වල මැද හරියේ තරුණ පරපුරේ රසඥතා මට්ටමයි. මෙවන් සංකීර්ණ පද ඇති ගීයක් වටහාගෙන එහි සාරය උරා ගැනීමට තරම් ඔවුහු දැනුමින් පොහොසත් වූ අතර, මේ ගීය පුරා වැයෙන සංගීතයේ විප්ලවීය භාවය වටහා ගැනීමට තරම් විඳීමක් ඇත්තෝද වූහ. විප්ලවය නම් මිරීඟුව විසින් වනසා දැමුණේ මෙවන් රසඥතාවක් සහිත තරුණ පරපුරකි. අනාගත පරම්පරාවල රසඥතාවය කෙළෙසීයාමට ඔවුන්ගේ අඩුව හේතුවක් නොවී යැයි කාට නම් කිව හැකිද? 

Sunday, December 1, 2013

පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ -  මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්


ගායනය: නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්


මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!

අසූව දශකයේ නන්දා මාලිනිය විසින් ගැයූ සිත් පාරවන වියෝ ගීතයකි පෙර දා මහ රෑ. අසම්මත පෙම්වතුන්ගේ වෙන්ව යාම හද පාරවන අන්දමින් ගෙන හැර දක්වන පද වැලක් මේ ගීතය සතුය. නමුත් මේ ගීය සාධනීය වන්නේ එහි වූ සංගීතය නිසාවෙනි. මිනිස් කටහඬ සංගීතය ලෙස යොදා ගත් ශ්‍රී ලාංකික සංගීතඥයින් අතර මුල් තැන් ගන්නේ කේමදාස හා ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. ස්ටැන්ලි පීරිස් මේ මග අනුව යමින් මිනිස් කටහඬ සංගීතය ලෙස මෙහිදී යොදා ගන්නේ විප්‍රයෝගයේ භාවයන් තීව්‍ර ලෙසම දැක්වීමටය. මා සිතන අන්දමට මේ ගීතය ස්ටැන්ලිගේ අනගිතම ගීතයද වෙයි.

Sunday, December 18, 2011

සරුංගලේ

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි


ගී පද: මහැදුරු සුනිල් ආරියරත්න
ගී නද: විශාරද නන්දා මාලිනී


මේ ගීය 80 දශකයේ බිහිවූ සුභාවිත වූ ගීතයකි. සරුංගලයක ඉපදීම, පාලනය සහ එය උඩ හැරීමත්, ඒ හා සම්බන්ධ සමාජයීය තත්ත්වයනුත් මේ ගීතය තුලින් මනාව කියා පායි. එනමුත් මහැදුරු ආරියරත්නයන්, සරුංගලයෙන් එහා දෙයක් දක්නා බව නම් පැහැදිලිය. ඒ අනුව මේ ගී පද බහු අරුත් දන්වන ආකාරයේ එකක් වේ. මේ ගීතය ගැනම විවරණයක් සපයන අසරණයා කියා සිටිනුයේ රට හැර යන ළමයින් ගැන මූර්තිමත් කෙරෙන පද වැලක් හැටියට හඳුන්වා දිය හැකි බවයි. ඇත්තෙන්ම පවුල හැර යන ළමයෙකුට සරුංගලය සම කළ හැකි වුවත්, මහැදුරු ආරියරත්නයන් මෙයට එහා ගිය පරමාදර්ශී මාතෘකාවක් දකින බැව් මට සිත්වේ. එසේ වුවත් මේ ගීය පිළිබඳ රස විනිසක් කිරීමට මා පෙළඹවීම ගැන එම බ්ලොග්කරුට මම ස්තූතිවන්ත වෙමි.

බුද්ධි ගලනය දකුණු ආසියාවටම පොදු සාධකයකි. විවිධ හේතු නිසා තම රට අතහැර දියුණු යයි සම්මත රටවල් වල ආකර්ෂණීය වැටුප් සොයාගෙන විද්‍යාර්ථීහු තම මව් රටෙන් පිටවෙති. එලෙසේ පිටවන විද්‍යාර්තීන් යනු මෙරට සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් උගැනුම ලබා සමාජ තලයේ ඉහළට නැග ගන්නා අයයි. මහැදුරු ආරියරත්නයන් සරුංගලය තුලින් රට හැර යන විද්‍යාර්ථියෙක් පෙන්වා සිටින බව මගේ හැඟීමයි.

මේ විද්‍යාර්ථියා බිහි වන්නේ බිම් මට්ටමේය. එනම් බිම් මට්ටමේ සිටින දුප්පත් දෙමාපියන් තුලිනි. සරුංගලය බටපතුරෙන් කපා, ලාටු උලා, රැළි අලවා හැඩ කරන්නේ "අපේ" ළමයින්ය. "අපේ" යන පදය මෙහිදී යෙදෙන්නේ රටේ පීඩිත පන්තිය නිරූපණයටයි. ඔහුට උගන්වන්නේ, ඔහුගේ නැණැස පාදන්නේත් සාමාන්‍ය ජනයාගේ මුදලින් නඩත්තු වන ගුරුවරුන්ය. ඔහු බිම් මට්ටමෙන් ඉහළට උඩ අරින්නට නූල් දුන්නේත් "අපේ" ළමයින්මය. විද්‍යාර්ථියාට ඉගෙන ගැනීමට සුදුසු පරිසරය සකසා දීමට කල අරගල වලදී ගුටි කෑවේ, සිත් වේදනාවට පත් වූයේ සහ මිය ගියේත් "අපේ" ළමයින්මය. එනමුත් සරුංගලය මෙන්ම සමාජ පිරමීඩයේ ඉහළට නැගගෙන වරල් සලමින් නිසංසලව සිටින විද්‍යාර්ථියාට රට හැර යන විට තමා උපන් බිමත්, උපන් සමාජ පන්තියත් අමතක වී යයි.

බුද්ධි ගලනය වැනි මාතෘකා ගැන ගීයක් තබා සංවාදයක් පවා ඇති නොවන සමයෙක දුර දක්නා නුවණින් මහැදුරු ආරියරත්නයන් විසින් ලියන ලද "සරුංගලේ" ගීතය, ඉහත මාතෘකාව පිළිබඳ සංවේදී කතිකාවතල අවශ්‍යතාවයට අප යොමුකරවයි.

Thursday, July 14, 2011

හිරු දැවී

හිරු දැවී සඳු ගිලී
කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා
හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින් . . .

සිටු මැදුරු යස ඉසුරු
පිරුණු ලොවකට - මහරු
කදෝපැණියෙක්මි මා
ඇඳිරියේ
කෙලෙස නම් එලිය දෙම්
කුමරියේ . . .

කතරකට පිණිබිඳකි
කුමුදකට පුරසඳකි
මතකයෙන් ගිලිහිලා
කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි
මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකළු කල මැන
මහද සෙනෙහසින් . . .


ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනී
සංගීතය: රෝහණ වීරසිංහ
ටෙලිය: අවසඳ (1990)


ඇය ධනවත් සිටු පවුලක උගත් තරුණියකි. සිය දෙමාපියන්ට නොපිහිටි රැඩිකල් ගති ඈ සතු විය. එනිසාම ඇගේ සරසවි පෙම්වතා ඇගේ දෙමාපියන් අණින් "අතුරුදහන්" කෙරවෙයි. ඉන් පසු ඇය ගෙවන්නේ උමතු තත්වයකට ආසන්න දිවියකි. ඔහු උපාධිධරයෙකි. විරැකියාවෙන් ඇති වූ ජීවන බර උසුලා ගත නොහී හෙතෙම රියැදුරකු ලෙස රැකියාව කරන්නේය. ඔහු ඇයගේ රියැදුරා වෙයි. මොවුන් අතර ඇති වන සංකීර්ණ සම්බන්ධතාවයත්, ඇගේ දෙමාපියන් එය අසම්මත පෙමකැයි වටහා ගැන්මත්, 1990 මුල් භාගයේ පුංචි තිරයට එක් වූ අවසඳ ටෙලි වෘතාන්තයට පාදක විය. දැන් ඇති මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය මෙන් නොව එකල තිරගත නාට්‍ය ඉතාම තියුණු තේමාවන් රැගත් ඒවා විය. හිරු දැවී ගීතය මේ නාට්‍යයේ තේමා ගීතය වන අතර, මුළු නාට්‍යයම එම ගීතය තුලට කැට කර ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. 
ඇගෙ ලොව අඳුරු වී ඇත. ඒ හිරු දැවී ගොස් සඳු ගිලී යාමෙන් නොනැවතී අසංඛ්‍ය වූ තරු ද නිවී යාමෙනි. හිරු වැසී නැත, ඇත්තේ දැවී විනාශ වීය. සඳු ද වැසී නැත. එය යළි ගොඩ නො එන්නට ගිලී ගොස් ය. එ මගින් මේ ඇගේ සිතෙහි ඇති වන පාළුව පිලිබඳ වූ දැඩි භාවයන් ප්‍රකාශ කෙරෙයි. ඔහු නැතිව යාමෙන් විමානය අඳුරු වී ඇය මග නොමග හඳුනා ගැනීමට නොහැකී වල්මත්ව ඇත. ඇය වල්මත්ව ඇත්තේ පුහු ආටෝපය නම් වනයේය. ඔහුට හිරු සඳු වී ඇයගේ එළිය කරන්නට ඇය ඇරැයුම් කරයි. එ නමුත්, ඔහු සිය තත්වය මනාව තේරුම් ගත් අයෙකි. මේ යස ඉසුරෙන් පිරුණු ලොවට ඔහුගේ එළිය කදෝපැනියකු හා සමානය. එනිසා ලොවට එළිය දෙන්නට කෙරෙන ඇගේ ඇරැයුම් නිසරු එකක් බව ඔහු පවසයි. ඇයට අනුව ඔහු කුමුදකට පුරසඳක් මෙන්ය. එනම් ඔහු දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි. නමුත් ඔහුට අනුව ඔහු කතරකට පිණි බිඳුවකි. කතර තෙත් කිරීමට එය නොසෑහෙන අතර නිරුදක කතර හා ගැටුණු සැනින් පිණි බිඳුව මිය යයි. එනිසා හිරු දැවෙන, සඳු ගිලෙන ඇගේ ලොව එළිය කිරීම ඔහුට කළ නොහැක්කකි. 
මේ ගීය පුරාම දිවෙන භාවයන් එහි වචන මගින් මනාවට විස්තර වේ. පංති ගැටුම හා ආදරය ගැන මනා කියැවීමක් මේ ගීතයෙන් ලැබේ. එසේම ශ්‍රී ලාංකික යුග ගීත ඉතිහාසයේ උච්චස්ථානය ලෙස මේ ගීතය සැලකීමටද මම පසුබට නොවෙමි. තනුව හා සංගීතය වඩාත් හොඳ වූ ගීත තිබිය හැකිය. එනමුත් භාවයන් දැනවීම අතින් හා පද රචනය අතින් නම් කිසිදු යුග ගීයකට මේ හා ලං වීමටවත් නොහැකි වන තරමටම මේ ගීය සාරවත්ය. ගීය පුරාම අසන්නාට දැනෙන්නේ මෙවන් පුවතකට පිළිණ දෙන අයෙකු වීමට සිදු වීමේ කාළකණ්නි කමේ හැඟීමයි. කිසිදා විසඳිය නොහැකි ප්‍රහේළිකාවක අසන්නා මෙ ගීතය විසින් අතරමං කර දැමෙන අතර, එමගින් තැනෙන භාවමය අගාධය තුල තමා ඇත්තේ කොතනැදැයි සෙවීමට අසන්නාව මේ ගීතය තුලින් දිරි ගන්වයි. අසා බලන්න, මෙය හෙළ යුග ගීයේ සිළුමිණයි.

Saturday, February 12, 2011

පහන් කන්ද


පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි

කටුක දුකින් ගිණි ගැණුනු ආත්මය
පුපුරා ගලනා සෝ ගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මා වෙත දුන මැනවි

අඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්
හදවත නොපහන් සිතුවිලි දුරු කොට
පහන් සිතින් දලවා පහනක්
ආලෝකය මට දුන මැනවි


පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: විශාරද නන්දා මාලිනී
ඇල්බමය: පහන් කන්ද


රාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ගස්වන බහුබූතයෙකි. රාජු හමු වන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කල "මේරා නාම් ජෝකර්" සිනමා පටයේදීය. කුඩා කල පටන්ම තමා ඉපදී ඇත්තේ අනුන් හිනස්වන්නට බව ත් රාජු තේරුම් ගනී. තෙවරක්ම ප්‍රේමයෙන් පරදින ඔහු ඒ සියල්ල සිතේ දරාගෙන නරඹන්නන් හිනස්වයි. වෙනෙකක් තබා තම මව මිය ගිය පුවත ලැබුණු මොහොතේදී සිදු කරන සංදර්ශනයේදී "අම්මා" කියමින් හඬයි. එය දකින නරඹන්නන් කරන්නේ කොක් හඬ නගමින් සිනා සීමය. රාජු  නම් බහු බූතයා මෙන්ම තම සිත තුල ඇති දුක් වේදනා සන්ගවා ගෙන අනුන් හිනස්සන්නන් අප සමාජයේ විරල නොවේ. එලෙස තමන් හඬමින් අනුන් හිනසවන, තමන් විඳවමින් අනුන් පිනවන කෙනෙකුගේ ප්‍රකාශනයක් ලෙස "පහන් කන්ද" ගීතය ලියවී ඇත.

පහන් කන්ද සතර දෙස ආලෝකය පතුරයි. එනමුත් පහන් කන්ද පාමුල ඇත්තේ බියකරු අන්ධකාරයයි. එහි පාමුල අඳුර කිසිවෙකු දකින්නේද නැත. හද අඳුරු තැනැත්තේගේ පැල ද අඳුරුය. කටුක දුක් දරා, ඒවා ඵැසවමින් පිටතට ගලා එන වේදනාව පද වැල වී ගැයීමෙන් අසා සිටින්නන් මන් මත් වේ. එය ඔවුන් ගේ හදවත් අඳුරෙන් එළියටද ගෙන යයි. එයින් හදවතෙ අඳුරු සිතිවිලිද නැත. මේ ගීත අසා ලබන සතුටේ ආලෝකයෙන් බිඳුවකින්, නව පහනක් දල්වා අඳුරු වූ පහන් කන්ද පාමුලට, හදවතට, පැලට එළියක් ගෙන එන් මෙන් ඉල්ලා සිටියි. මේරි, මරීනා, මීනා යන තුන් දෙනගේමත්, සිය මවගේත් ආදරය අහිමි වී රාජු නම් බහු බූතයා සිටින්නේද මෙවන් අඳුරකමය.

පහන් කන්ද නන්දා මාලිනියගේ ස්වර්ණමය යුගයේ නිර්මාණයකි. ඇය සමහර විට එකල ආසියාවේ මධුරතම හඬ හිමි කාන්තාව වන්නටද ඇත. නන්දා මාලිනිය මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ගී කලාවේ උච්චතම ලක්ෂ්‍යය නිරූපණය කරන්නේ "පහන් කන්ද" ඇල්බමයයි. මේ ගීතය අසා බලන්න, රාජු බහුබූතයාගේ රුව ඔබ අබියස පෙනී යනු ඇත.

බාගෙන අහන්න

Thursday, July 15, 2010

සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ 
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

 
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී


නන්දා මාලිනිය ගීත ගායනයට පිවිසියේ 1960 දශකයේ තිරගත වූ රන් මුතු දූව සිනමා පටය හරහා ය. එතැන් පටන් අද දකවා වසර 40කට අධික කාලයක් ඇය අප වෙනුවෙන් ගී ගයන්නීය. ඇයගේ ගී නදෙහි ස්වර්ණමය යුගය උදා වූයේ සිංහල ගීතයේ ස්වර්ණමය යුගයට දශකයක් පමාවීය. වර්ෂ 1975 දී පිට කළ කප් සුවහස් කල් , 1977 දී පිට කළ යාත්‍රා, 1980 දී පිට කළ යුගයෙන් යුගයේ හා 1984 දී පිට කල හේමන්තයේ යන ගීත සමුච්චයන් නන්දා මාලිනියගේ කටහඬෙහි උපරිම භාවමය රසය ගෙනෙන ගීතයන් ඇතුලත් වේ. අප කතා කරන මේ ගීතයත් 1979 පමණ කාලයේදී සුනිල් ආරියරත්නයන් විසින් ලියවුනකි.  

මෙම ගීයේ පද රචනය අතිශයින්ම සංකේතාත්මක වෙයි. එනිසා ගීයෙහි සැබෑ රසය විඳ ගැනීමට නම් මේ සංකේතයන් ගැන මනා දැනුමක් ලබා ගත යුතුය. මෙහි කිරිල්ලිය හා කුරුල්ලා ලෙස හැඳින්වෙනුයේ තරුණයකු තා තරුණියක බව වටහා ගැනීම අපහසු නැත. මේ කිරිල්ලිය කූඩුව එනම්, සිය පවුල් ජීවිතය ගෙන යන්නේ සුලං කපොල්ලකය. සුලං කපොල්ල භූ විද්‍යාත්මකව විග්‍රහ කරන විට දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. එමෙන් ම  මේ ගීතයේ සුලං කපොල්ලත්, ජීවිතයේ නේක දුෂ්කරතා වලින් කැළඹුන, පවුල් දෙකක් අතර සිර වුණු ස්ථානයකි. සිදු විය යුතු ලෙසින් ම ඇගේ පවුල් ජීවිතය නම් කැදැල්ල කැඩී ඉහිරී යයි. මෙලෙස කූඩුව කැඩී තැනින් තැන ගමන් ගන්නා කිරිල්ලිය (ආදරය සොයා විය හැකියි ), එක්තරා කුරුල්ලකු ලඟ නවතී. ඇය දැන් අන්නථය. යාමට තැනක් නැත. කූඩුව කැඩී සුලං කපොල්ල හැරදා ගිය නිසා ඇයට මව පියා හෝ නෑදෑයන් නොමැත. ඇයට තනියට ඇත්තේ කඳුල පමණි. ඇය මෙතරම් දුර සොයා ආවේ නිදැල්ලේ වෙසෙන මේ තනිකඩ කුරුළු රජුම ය. එබැවින් ඇයට ඔහුගේ කැදැල්ලේ ඉඩ දිය යුතුය. මෙහිදී කැදැල්ලේ ලැබෙනුයේ ලැගුම් ගැනීමට ඉඩක් පමණකි. එය පෙර පරිදි තැනූ කැදැල්ලක් ද නොවේ. එබැවින් මේ සබඳතාවය සමාජ සම්මතයන් ඉක්මවා යන්නක් බව යන්තමින් ඉඟි කරනු ලැබේ.

ගීයේ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි. පියානෝව, ෂේකර්ස් හා මැන්ඩලීනය යහමින් උපයෝගී කරගන්නා රෝහණ එතෙක් මෙරට ප්‍රබුද්ධ ගීතයට එතරම් එකනොවූ සංගීත භාණ්ඩ වල හඬෙහි අරුමය මනාව දන්වා සිටී. මේ ගීතය අසන විට මේ ගීතය සුනිල් හා නන්දා තමන් වෙනුවෙන් ගායනය කල එකක් දැයි වරෙක සිතේ. නන්දා මාලිනිය ගේ අසාර්ථක විවාහයත්, සුනිල් ආරියරත්නයන්ගේ තනිකඩ කමත්, ඔවුන් ගේ ඉන් පසුව ගෙවූ පුද්ගලික ජීවිතත් ගැන සලකන විට මේ අදහස බැහැර කළ නොහැකි එකක් බවට පත්වේ.

Thursday, November 12, 2009

හේමන්තයේ දී

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් දැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ ගෙවී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් නුරා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී

ආදරය ඇති වනුයේ යොවුන් වියේදීය. එය දිවියේ නව දලු මල් පුබුදන, සිහින් සරින් කුරුළු ගීත ඇසෙන, හිරිපොද වැස්සෙන් තෙමෙන ආදරණීය වසන්තයක් ලෙස ඇතැම්හු හඳුන්වති. මේ නවතාවය තුලට අලුත්ම අත්දැකීමක් ලෙසට ආදරය එකතු වෙයි.

නමුත් සියළු දෙනාටම දිවියේ වසන්තයේදී ආදරය හමු වන්නේ නැත. පාසල අවසන් කර, උසස් ඉගෙනුම ලබා ගත් පසු ආදරය හඳුනා ගන්නා අයද වෙති. මේ වනාහි දිවියේ ශක්තිමත් පදනමක් සහිතව සිටින කාලයකි. ගිම්හානයේ මුද්‍රාව තැවරුණු ආදරය ඔවුන් හඳුනා ගන්නේය.

නමුත් දිවියේ මැදි වයසේදී ආදරය හඳුනන අතළොස්සක්ද වෙති. වසත් කළ නිදා සිටි යෞවනයේ කොවුලන් ගී ගයන්නේ හා මුකුලිතව ගිය මල් කැකුළු අවදි වන්නේත් දිවියේ හේමන්තයේදිය. මැදි වයසේ කාන්තාවක ආදරය හඳුනා ගැනීමෙ ප්‍රහර්ෂය සිය ආදර වන්තයාට ප්‍රකාශ කරන අයුරු මේ ගීයෙන් කියැවේ.

හඬා වැටීමෙන් (ප්‍රතික්ෂේප වීම නිසා විය හැකිය) විඩා වී, අයාලේ යන වළාවක් මෙන් ද, පින්න සහිත රැයෙක නොපෙනී ගිය සඳක් මෙන් ද, ජිවිතයේ අතරමංව සිටි ඇයට මං සොයන නෙත ලබා දෙනුයේ ඇගේ පෙම්වතාය. එසේම ගැරහුම් මැද ජීවිතයෙන් පළා ගිය ඇයට නැවත මඟ සොයා ගැන්ම නෙත් සදන්නේ ද ඔහුමය.

1983 පමණ කාලයේ මතභේදාත්මක ගීත සමුච්චයක් රැගත් "හේමන්තයේ" ගීත ඇල්බමයට මෙමෙ ගීය ඇතුලත් විය. මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනා කෞශල්‍යය මොනවට විදහා පාන ජීවමාන සාධකයකි මේ ගීය. එච්. එම්. ජයවර්ධනයන් අති විශාල වාදක කණ්ඩායමක් යොදවා මේ ගීත සමුච්චයට සංගීතය සැපයීය. ගීය අසන විට තාල තරංග, ගිටර, සිතාර ආදී තත් භාණ්ඩ එක වර්ගයකින් එකකට වඩා වැයෙනු ඇසිය හැකිය. මේ ගීතය අප සංගීත ඉතිහාසයේ වැදගත් තැනක් සනිටුහන් කරන්නේ ආදරයේ අමුතුම මානයන් සොයා ගිය අපූරු අත්දැකීමක් හෙයිනි

අසන්න
.

Wednesday, August 19, 2009

මේ මල් උයනේ

මේ මල් උයනේ මල් වාරයයි
උන්මාදයෙන් මල් මල් කොඳුරන කාලයයි
මේ මල් උයනේ මල් වාරයයි

උයන අසබඩ නිසල ගං තෙර
රාග රාගිනී රාව දෙයි
පිණි බිඳ බිඳ රූරා ගලයි

තනිවූ ඔරුවක් ගී හඬ ඔස්සේ
ගං ඉවුරට අඳුරේ ඇදේ
මුණු මුණු ගෑ මල් මුනු මුනු නවතා
තුරු සිදුරෙන් එබිකම් කරයි

රාග රාගිනී නවතී - තරු කැට ගඟට වැටේ
හංසයෙක් ගාටයි - රත්සර කැකුලට තුඩු දෙයි

"ගං ඉවුරක මල් උයනක හිඳ ගත් සිත්තරෙක් අවට පරිසරය සිත්තම් කිරීමට සූදානම් විය. හදිසියේම සිත්තරා කවියෙක් විය. මේ ඒ සිත්තරා කවියෙන් කල සිතුවමයි" නන්දා මාලිනිය මෙම ගීතය හඳුන්වා දෙනුයේ එලෙසයි. සැබැවින් ම මෙම ගීතය පද වැලකින් කල සිත්තමකි. මල් උයනේ මල් වාරය එළැඹී ඇත. මල් උමතුවෙන් මෙන් මුමුණයි. රාග රාගිනී (ගීත) නිසල ගං ඉවුර අසල ඇසේ. පිණි බිඳු වැටේ. මේ අතර ඔරුවක් අඳුරේ ම ගං ඉවුරට ඇදෙයි. ඒ දකින මල් මුණු මුණුව නවතා ගස් අතරින් එබිකම් කරයි. ගීත නවතින, තරු බැස යන රෑ යාමයේ හංසයෙක් තනිව හිඳ මල් කැකුළකට තුඩ තබයි.

මතුපිටින් පෙනෙන අරුත අනුව මෙය අලංකාරවත් වූ පරිසර වැනුමකි. නමුත් සංකේතාත්මකව එයින් ඔබ්බට වූ අරුතක් මින් දනවයි. මල් යනු තරුණියන් ය. මල් උයනේ මල් වාරය, එනම් තරුණ විය එළැඹෙන විට ඔවුන් ප්‍රේමයෙන් උන්මාද වී කොඳුරති. පෙම් ගී ද වැයේ. ඒ අතර බිංදුවෙන් බිංදුව සිත් හි ආශාවන් ද වැඩිවේ. එනිසා ම රාග රාගිනී රාව වැයේ. මේ අතර තනි වූ ඔරුවක් රහසේ ම ගං ඉවුරට (මල් උයන දෙසට ඇදේ). එහි එනුයේ කවුද? ඒ එන පුද්ගලයා දෙස මෙම පිරිස කතා නවතා තුරු සිදුරෙන් (ගස් අතරින්) හොරෙන් බලයි. තරු ගිලෙන රෑ යාමයේ දී හංසයා (තනිව ඔරුවේ ආ පුද්ගලයා) රත්සර කැකුළකට තුඩ තබයි. අවසන රාග රාගිනී ගී ද නවතී. නිර්මාණාත්මක පුද්ගලයාට ඕනෑම මාතෘකාවක් අලංකාරව ඉදිරිපත් කළ හැකිය. ශෘංගාරය පිළිබඳ වූ නිර්මාණ ද එලෙසම ය. මෙම ගීතය නවක ගීත රචකයකු විසින් නන්දා මාලිනිය ගේ අරලිය ලන්දට ඇල්බමය වෙනුවෙන් ලියැවුණකි. රාගධාරී සංගීතයෙන් ආභාෂය ලබා ඇති මෙහි සංගීතය මෙහි පද වැලට අමුතුම මිහිරක් සපයයි.

අසන්න

Tuesday, August 11, 2009

මුළු නුවරම



මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
ඉඟි කරනා කල රාති‍්‍රයේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නේ
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - ලයනල් අල්ගම

මුළු නගරයම නිදයි. එ නමුත් ඔබ යහනේ අවදිව සිටියි. මේ පාළුව දැනෙනුයේ ඔබත් මමත් වෙන්ව සිටින බැවිනි. වන උයන් පුරා වසන්ත සමයේ මල් පිපී, මියුරු ගීත ඇසුණත් අප හමුවන්නේ කවදාදැයි අප නොදනිමු. පෙර ආත්මයක සිට පැවතෙන බැඳීමක් ලෙස දැණුන ද, මේ පාළු රාත‍්‍රියේ හද සොවින්, නිදි නොලබා වැලපෙන මම උන්මාද චිත‍්‍රා දැයි මට සිතේ. ඒ ඔබත් මමත් එක්ව නොසිටින බැවිනි.

නන්දා මාලිනිය විසින් කප් සුවහස් කල් ගීත සමුච්චය උදෙසා ගායනා කරන ලද මෙම ගීතය ශ‍්‍රී ලාංකික ගායිකාවකගේ ගායනයෙහි මුදුන් මල්කඩ ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මෙය එතරම්ම පිරිපුන් ගීතයක් වන බැවිනි. ගීතය පුරාවට දිවෙන්නේ තනිකමේත් වියෝගයේත් වේදනාවයි. පරිසරයේ අසිරියට මෙම විෂයය නොගැලපෙන අන්දමට දිවෙන වේදනාව මින් ධ්වනිත වෙයි.

කවියාගේ පෙම්වතා නිදි නොලබා පැලෙහි තනිව සිටිනුයේ මුළු නුවරක් ම නිදිගත් මොහොතක, එකම හඳකුත් එකම තරුවකුත් යට ය. සඳ හා තරුව පවා තනිව සිටින බව කීමෙන් ගීතය පුරා දිව යන තනිකම පිළිබඳ හැඟීම තීව‍්‍ර වේ. මුළු පරිසරයම මෙම යුවළගේ පේ‍්‍රම සමාගමයට සැදී පැහැදී සිටින බවක් කවියාට දැනේ. ඔවුන්ගේ මධුරතර වූ එක් වීම සඳහා සොබාදම විසින් ගයනු ලබන ස්තුති (තියු) ගීත රාවය කවදා අසන්නේ දැයි කවියා තැවෙන්නේ ය. කවදා ද අප හමු වන්නේ යන පදය දෙවරක් ගායනා කිරීමෙන් අදහස තව දුරටත් තීව‍්‍ර කරනු ලැබේ. ඉන් පසුව ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන්නෙන් මෙම වෙන්වීම උච්චස්ථානයක් දක්වා ගෙන එනු ලබයි. මෙම යුවළට ඔවුන් පෙර ආත්මයක සිට ඔවුනොවුන් පතා පැමිණි බවක් හැගේ. නමුත් නිදි නොලබා සිහින මාළිගා තනමින් සිත සොවින් වැලැපේ. දීඝ ගාමිණි වෙතින් සඟවනු ලැබූ උන්මාද චිත‍්‍රා තමා දැයි කවියා නැවත ප‍්‍රශ්න කර සිටින්නීය.

මෙම ගීතයෙහි ගායන විලාශය සලකා බලන විට ඉතා පුළුල් ස්වර පරාසයක ගැයෙන පද මෙයට ඇතුලත් ය. කට හඬෙහි දක්වන භාව ප‍්‍රකාශය ද ඉතා ඉහළ මට්ටමක පවතී. එකම හඳක් එක තරුවක් යට යන පද ගැයෙන විට තනිකම පිළිබඳ භාවයත් ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන පදය ගැයෙන විට වෙන් වීම පිළිබඳ භාවයත් මනාව පිළිබිඹු වේ. ගීය අවසානය වන විට විප‍්‍රයෝගයෙහි වේදනාව දක්වා සිටින මුත් ඔවුන් දුරස් වීමට හේතු ඉදිරිපත් නොකරයි. ඇත්තෙන්ම ගීය අවසන් වන විට රසිකයා එම හේතුව දැන ගැන්මට උනන්දු නොවන තත්ත්වයක පසුවෙයි. ගීය එතරම් ම සිත තුළට එවිට කිඳා බැස ඇති බැවිනි.

අසන්න

Tuesday, May 5, 2009

සුසුම්

ආඩි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ
නාඹර තල් ගෙඩි වල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරල් මෝරන විට පාට දෙන්නෙ ලේ
නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ

ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු

දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු
අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලවු
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලවු
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලවු

උතුරේ යුද්ධයට වසර විසි පහකට ආසන්නව ඇත. නොකඩවා කෙරුණු යුද්ධයෙන් සමාජ ජීවිතය හා සිවිල් සමාජය කැඞී බිඳී යන තත්ත්වයට ආසන්නව ඇත. ෂෙල් වෙඩි හා මල්ටි බැරල් වලට ත් කොටි සංවිධානයේ මිනීමරු භීෂණයටත් යටත් ව සැබැවින්ම දුක් විඳින්නෝ වන්නියේ දෙමළ වැසියෝ ය. වන්නියේ වැසියන්ගේ සිත් හි බුර බුරා නගින කෝපය මෙලෙස නන්දා මාලිනිය විසින් ගයන්නා වූ ගීයක පද වැලට නැගී ඇත.
වන්නියේ සුලභ දර්ශන වන ආඩි ලිඳේ වතුර, තල් ගෙඩිය, මිරිස් කරල හා නළලේ තිලකය යන සියල්ලලේ ම රතුපාට ඇති කරනුයේ ලේ බව රචකයා කියයි. එතරම්ම ප්‍රමාණයක් ලේ හැලී ඇති බව එයින් ගම්‍යවේ. ඉන් පසුව ඔවුන් ඉල්ලන දේ පද වැලින් කියැවේ. ලේ නොගලන බිමක ජීවත් වන්නට ඔවුන් අයැදි යි. කැමැති කෝවිලක ට යන්න ට, එනම් ආගමික නිදහස ඉල්ලයි. දරු පැටවුන් බලෙන් අල්ලා ගෙන යුද්ධය ට ගෙන නොගොස් දෙමාපියන් සමගින් ඉන්නට ඉඩ දෙන මෙන් ඉල්ලයි. ඉන් පසුව නිදහසේ කතා කරන්නට ත්, නිදහසේ ඉන්නට ත් ඉඩ දෙන මෙන් ඉල්ලයි. මේ ඉල්ලීම් ඔවුන් ඉල්ලනුයේ ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් යැයි පෙනී සිටින ඊනියා සංවිධානයෙනි. දමිළ ජනතාව දිනා ගත යුතු දේ ඇතත් ආයුධ බලය හා ත්‍රස්තවාදය ඒ සඳහා මාර්ගය නොවේ. ඒ සඳහා වන නිවැරදි මග සොයා බැලිය යුතුය. මෙම යුද්ධයට යවා මිය යන්නේ වන්නියේ දහස් තරුණයන්ය. ඔවුන් ගේ මළ සිරුරු වලින් ගලා ගිය ලේ කඳින් සෙතක් වුණි ද යන්න ඉන් පසුව විමසා බැලේ. වැලි කතර විසින් ඒ සියළු ලේ උරා බී ඇත. අවසන අමු සොහොනක් දිනා ගැන්මෙන් ඇති ඵලය කුමක්ද යන්න් රචකයා පර කතශ්න කර සිටී.
කොටි සංවිධානයේ ෆැසිස්ට් වාදය ගැන පැහැදිලි ලෙසම විදහා පාන ගීතයක් වන මෙය සිංහල ගීත කලාවේ අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෘදංග හා සිතාරය ආශ්‍රයෙන් ශෝකී වූ, නමුත් ඉතා ශක්තිමත් වූ වාදනයක් මෙම ගීතය පුරාවට ම දැකිය හැක. එසේම ලේ යන පදය සමූහ ගායනයක් තුළින් ඉදිරිපත් වීමෙන් ද එහි පොදු භාවය ඔප් නංවනු ලබයි.

අසන්න

දස මසක්

දස මසක් මා කුස තුල සිටි පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබට දෑස පියා ගෙන
නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා
වග වළසුන්ගෙන් පියෙකු ලබාවා

දැඩිවී වග වළසුන් අතරේ
වළසකු වී අවුදින්
පුතුනේ . . . වීසි කරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ

සැතපී නයි පොළොඟූන් දරණේ
පොළඟෙකු වී අවුදින්
පුතුනේ. . . අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසනු පුතුනේ

ඔබ කෙදිනක හෝ රෝහලක ප්‍රසව සහ නාරිවේද වාට්ටුවකට ගොස් තිබේද? නිතර එබඳු වාට්ටු වල දකින්නට ලැබෙන සිද්ධියක් මෙම ගීතයට පාදක වී ඇත. දුප්පත්කම නිස හෝ අවජාතක දරුවකු වීම නිසා සමහර බිලිඳන් මව්වරුන් විසින් අත්හැර දමා යනු ලැබෙයි. මෙම බිලිඳුන් ගේ ඉරණම කුමක්ද?
මවක් දස මසක් ආදරයෙන් කුස තුල රුවාගෙන සිටි දරුවා බිහි කර ඇත. නමුත් යම් හෙතුවක් ඉසා මෙම දරුවා රැගෙන යාමට ඇයට නොහැකිය. එබැවින් දරුවා වන වදුලකට විසි කර යාමට ඇය සිතයි. නමුත් අම්මා කෙනෙකු වශයෙන් එය එකවරම කළ නොහැකිය. එනිසා නයි පොලොඟූන් ගෙන් මවකත්, වග වළසුන්ගෙන් පියෙකුත් ලැබෙන ලෙස ඇය පතයි. එම දරුවා වියපත් වූ දිනෙක වළසකු සේ හපාකෑමෙන් හෝ පොලොඟකු ලෙස දෂ්ඨ කිරීමෙන් මෙම සමාජය නසා දමන ලෙස ඇය අයැදියි. ඒ වීසි කරන්නටත්, අහක දමන්නටත්, දරුවන් වදනා හෝ තනනා බැවිණි.

මෙම ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබඳිනු ලදුව, එච්. එම්. ජයවර්ධනයන්ගේ සංගීතයෙන් හැඩව, නන්දා මාලිනිය විසින් ගයන්නකි. බොහෝ මත භේදයන්ට පාත්‍ර වූ "පවන" ගීත ඇල්බමයට මෙය ඇතුලත් විය. නිසි ඇගයීමට ලක් නොවු "පවන" තුල වූ මෙබඳු නිර්මාණ ගෙනහැර දක්වීම අප යුතුකමක් වන්නේය.

අසන්න

Monday, April 27, 2009

හෙවණැලි ද ඉකි බිඳී

හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ
ගහකොළ ද පණ අදී බිම වැතිරී
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමෙන්

ගිරි හිසින් උදා වූ මධු සඳ බැස යයි
වන හිසින් නැගී ආ පිළි රැවු වියැකෙයි
මුණින් තලාවේ සුධවල යහනත 
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන්

කුළුඳුලේ පිපී ආ මධු මල මැලැවෙයි
දොළ දිගේ ගලා ආ දිය වැල බොරවෙයි
පිදූ පාපයෙන් හද සැලමුතු පෙම
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන්

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - නන්දා මාලිනී


ඈ හැර ඇගේ පෙම්වතා කොහි යන්නට සැරසේ ද? ඔහු නොමැතිව ඈ කෙසේ දිවි ගෙවන්න ද? ඇගේ සුළු වරදක් උදෙසා මෙලෙස ඈ හැර යා යුතු ද? ප්‍රිය විප්පයෝගයෙන් වලප්නා තරුණියක ගේ හැඟීම් හද සසල වන අයුර දක්වන්නා වූ ගීතයකි මෙය. ඇගේ ආලය කුළුඳුලේ පිපී ආ මධු මලකි. දොළ දිග ඇදී ආ සුනිමල දිය දහරකි. පර්වත මතින් නැගී ආ පුර සඳකි. වන හිසින් නැගී හා පිළිරැවු දෙන (කුරුළු) හඬකි. ඒ මධු මල දැන් මැලැවෙයි. ඒ දිය වැල දැන් බොර වෙයි. ඒ මධු සඳ බැස යයි. ඒ පිළිරැුවු වියැකෙයි. හද සැලමුතු පෙම (ප්‍රථම ප්‍රේමය) වෙන අයෙකුට පිදූ පවින් ඈ අද සුදු යහන (මංගල යහන විය හැකිය, මිය යාමට සූදානමින් විය හැකිය) මත මුනින් තලාවී තැවෙයි. ඇගේ ලොවේ සෙවණැලි පවා දැන් ශෝකයෙන් ඉකි බිඳි. ඔහු ආලය මෙන් ම ඇගේ සිහින ලොවේ ගහකොළ ද දැන් මියෙන්නට ආසන්නව පණ අදී. ඇගේ ආලය (ඇගේ ජීවිතයට සම කර) අභය දෙන මෙන් ඉල්ලා සිටී.

ගීතයක් සතු ඉතා කෙටි කලක දී සුවිසල් හැඟුමක් ඇතිකරන්නා වු ගුණය මැනැවින් පරරේ කට කරන පද වැලකි. කැඞී බිඳී යන. වියැකී යන දේ උපමා රූපක ලෙස භාවිතා කර ඇත. සඳ, මල, දිය, නද යන මේ සියල්ල ආලය පිළිබඳ වූ සංකේතයන් ය. එසේ ම ඒවා අස්ථිරත්වය පිළිබඳ සංකේත ද වෙයි. මෙම ගුණයන් දෙකම දක්වන්නා වූ උපමා රූපක ඉතා පරිස්සමින් පද වැල සඳහා රචකයා භාවිත කර ඇත. මේ ගිතය අසන්න. ඉන් ජනිත වන හැඟීම මෙහි විස්තර කිරීමට අනවශ්ය තරමටම ප්රභලය.

අසන්න