Monday, May 17, 2010

මධු සාද සිනා

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ. . හිරු පායා
නිවා. . සඳ තරු නිවා

පිපෙන හැඟුම් දෑසේ ඇවිලී
ලොවම සැලී සිහිනෙන් පිබිදී
සරා ගිනි නැගේ . .සිසිලසේ

පෑළ වියේ හිරු මියෙන පැයේ
සිහින බිඳී පිබිදී අඳුරේ
හඬා ඉකි බිඳී . . යෞවනේ

ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
සංගීතය: සුරේෂ් මාලියද්ද

මේ ගීතය අසන විටම ඔබට වෙනසක් දැනී යා යුතුමය. දීපිකා ප්‍රියදර්ශණී යනු ශාස්ත්‍රීය ගීත වල ආභාෂයෙන් ඉදිරියට ආ ගායිකාවකි. නමුත් ඈ ඒ සම්ප්‍රදාය උඩු යටිකුරු කරමින් "පොප්" සංගීත තනුවකට මේ ගීතය ගයන්නීය. මෙහි සංගීත ආභාෂය "පොප්" පමණකැයි කීමද එක අතකට වැරදිය. මන්ද මෙහි එන "ගිටාර් ඩිස්ටෝර්ෂන්" හා "ඩ්‍රම්ස්" වඩාත් කිට්ටු වන්නේ "මෙටල්" සංගීත ශෛලියට බැවිනි. එනමුත් සංගීතය හැසිරවීම හා නාද මාලා තුල මෙය "පොප්" ගීතයක් බව අවිවාදයෙන්ම පිළිගත හැකිය. ගීතය පුරාවටම සැක්සොෆෝනය වාදනය වෙයි. එමගින් බටහිර ඇමෙරිකානු අවන්හල් සංස්කෘතියට නෑකම් කියන වටපිටාවක් ගීතය මගින් ඇති කරයි. මෙසේ අති නවීන තනුවකට ගීය ගැයුවද ඇගේ හඬේ තවමත් ශාස්ත්‍රීය ලක්ෂණ ගැබ්වී ඇත. ඒ අනුව බලන කල මෙය අපූරු නිර්මාණයකි.

ඉන්පසුව දැනෙන වෙනස නම් ගීතයේ ශබ්ද සංස්කරණයයි. ඉකෝ (echo) වැනි ශබ්ද ප්‍රයෝග අසා පුරුදු ප්‍රබුද්ධ සහෘදයාට මෙහිදී මාලියද්ද විසින් "ෆේසර් (phaser)" වැනි නව ශබ්ද ප්‍රයෝග ගෙන එයි ("රැයේ හිරු පායා" යන කොටස ගයන විට මේ ප්‍රයෝගය අසා ගත හැකිය). සෙන්ටිග්‍රේඩ්ස් වැනි නව සංගීත කණ්ඩායම් මෙම ශබ්ද ප්‍රයෝග අතොරක් නැතිව භාවිත කිරීම නිසා ඒවා විහිළුවක් බවට පත්වී ඇති කාලයක, මේ ප්‍රයෝග අර්ථාන්විතව භාවිත කරන්නේ කෙසේද යන්න සුරේෂ් මාලියද්ද අපට පෙන්වා දෙයි.

මේ රැයකි. මධු සාදයකි. එහි අනුරාගී සිනා නැගේ. විදුලි බුබුළු නිසා රැයෙහි හිරු පෑයූ ලෙස පෙනේ. ඒ විදුලි හිරු විසින් සඳ හා තරු බොඳ කර නිවා දමා ඇත. මේ රාත්‍රී යාමයේ (එනම් පෑළ දිග අහසේ හිරු සැඟව යන මොහොතේ) ඇගේ සිහින බිඳී ඇත. එනමුත් නව සිහිනද ඒ සමග පිබිදේ (මේවා සමාජ විරෝධී සිහිනයන් වීමට ඉඩ ඇත). ලොව පිබිදී සැලෙයි. විකසිත වන හැඟුම් දැසෙන් පෙනෙයි. සරා ගිනි නැගේ. නමුත් යෞවනය ඉකිබිඳී. මේ ගීය ඇසෙන විට සිතෙනුයේ සමාජයේ ඉහළ පැලැන්තියේ තරුණියක් ආදරයෙන් පැරදීම නිසා හටගත් වේදනාවය. සාමාන්‍ය සමාජයේ මෙන් නොව ඉහළ සමාජයේ ඔවුන් විඳින වැඩි නිදහස සමග මෙවන් ලෙස වරදට යොමු වීම නිතැතින්ම සිදු විය හැකිය. මේ එවන් හැඟුම් සිත තුල පෙරැළි කරන මොහොතක ලියැවුණු ගීතයකි.

මේ ගීයට උචිත වන පරිදි නිමැවූ දෘෂ්‍ය පථයක් (video track) වසර කීපයකට කලින් ජාතික රූපවාහිනියේ දුටුවෙමි. ඒ සමග මේ ගීතය අපූරු සංයෝගයක් සාදයි.


Monday, May 10, 2010

ගීයෙන් ගයන්නෙ


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්
ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවා වී
ඒ මිහිකත ගෙන් සමු ගන්නට හෙට යළි ඒවී
ඒ ලෙසකින් හැකි නම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේ වී

පෑයූ ඉර සඳු එළියයි ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට හමු වෙමු හද ගිමන නිවා ලූ
පායන්න හැකි ද සඳ සේ ගණ අඳුර මකා ලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවා ලූ

පද රචනය, ගායනය හා සංගීතය - ෂර්ලි වෛජයන්ත

හැත්තෑව දශකය සිහළ ගීයේ ස්වර්නමය යුගය බවට මා හා බොහෝ දෙනෙකු එකඟ වනු ඇත. ඒ ස්වර්ණමය යුගයේ ආභාෂය 80 දශකය තුලට කාන්දු වීම තුල විශිෂ්ට නිර්මාණ, කලින් තරම් නොවූවත්, සෑහෙන ප්‍රමාණයකින් තව දුරටත් සැකසිණි. අසූව දශකය මුල් භාගයේ ඉලෙක්ට්‍රොනික වාදන භාණ්ඩ කරළියට ඒමත් සමගම නාද රටා වලද වෙනසක් ඇති විය. අළුතින් පැමිණි මේ රැල්ල ග්‍රහණය කර ගනිමින්ම, වින්දනීය බවින් අඩුවක් නොවන ගීත නිර්මාණය කිරීම සමග ෂර්ලි වෛජයන්තයන් ගී ලොවට ප්‍රවිෂ්ඨ විය.

ෂර්ලි ගායනයේ අත් පොත් තැබූවේ තරුණ සේවා සභාව හරහාය. වසර 1981 දී, හොඳම තරුණ ගායකයා ලෙස කිරුළු පළන් ෂර්ලි, එම වසරේම ගායන දිවියද ඇරඹීය. "මට එපා ඔබේ හසරැල්" ගීතය ඔහුගේ මුල්ම ගීතයයි. ගායකයන් බොහූ සිටියද, ගායනය, වාදනය හා පද රචනය යන තුන් අංශයම නිපුණ ලෙස හසුරුවන ශිල්පීන් බොහෝ අඩුය. සෝමතිලක ජයමහ සහ ෂර්ලි හැරුණු විට මෙතරම් ගීත ප්‍රමාණයක් තමන් විසින්ම නිර්මාණය කල ශිල්පීන් නැති තරම්ය.

මේ ගීතය ෂර්ලි ගේ පළමු ගීත ඇල්බමයට අඩංගු වූවකි. ගීයේ පැරණි පටිගත කිරීම තුල පවා විද්‍යුත් ඕගනය බහුල ලෙස ඔහු යොදා ගනී. විද්‍යුත් භාණ්ඩ පවා සංයමයකින් භාවිත කළ හැකි බව ඔහු විසින් මොනවට ඔප්පු කර පෙන්වන ලදී.

පෙම්වතා තම හදේ ඇති ආදරය කියා ගත නොහැකිව ලතවෙයි. ඇය දකින විට ඔහු ගේ සිත සැලෙයි. එනිසා ගීයක් ගයා තම ආදරය පැවසීමට ඔහු සිතයි. ඇය ගැන හදේ උපන් ආදරය පද වැලකට පෙරළා තනුව යොද ඔහු ගයයි. ඔහු ගයන්නේ ඔහු වෙත පෙම පුද කරන ලෙසයි. ඉර හා තරු කඳු වැටි වලට මුවා වෙමින් බැස යයි, නැග එයි. එලෙසින් ඉර හා තරු මිහිකතගෙන් සමුගන්නා විට තම සිතට මුවා වී හිනැහෙමින් සිත් සනසා ගැනීමට ඔහු ඇරයුම් කරයි. එසේම හිරු සඳු ලොව ගන අඳුර මකයි. එවන් හිරු, සඳු හා තරු යට හමුවී හදෙහි ගිමන් නිවා ගන්නට ඔහු සිතයි. එවන් ගණ අඳුර දුරලන හිරු - සඳු සේ තම පෙම් පවස නිවන්නට ඔහු අයැදියි.

අසූවේ දශකෙයෙන් ගමන් ඇරඹූ ෂර්ලි, වසර පහළොවක් පමණ පුරා කළ නිර්මාණ ආශ්‍රයෙන් ගීත සමුච්චයන් හතරක් පමන එළි දක්වා ඇත. ඉන් පසුව නිහඬව සිටියත්, ලඟකදි ඔහු විසින් නැවත ගීත කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ ගී, නව යොවුන් වියේ සිටි අප සිත් කම්පනය කළ ගීතයන් වූයේය. අසා බලන්න, ඔබටත් එසේ දැනේද කියා.


Sunday, May 2, 2010

සඳු ද අවදියෙන්


සඳු ද අවදියෙන්
තරු ද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනි වුණ වසන්තයේ

සීතල ඇතිරුණු මිහිලිය ළය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම අද මා තනිවම

පහන් නොදැල්විණි ඔබ පැල්පත තුළ
නිදිමත අඩ නෙතු පිය සනහා
මගේම කඳුලක් මේ පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මත


ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: ප්‍රේමසිරි කේමදාස

 
මේ රැයේ තරු ද, තරුපති ද මා සමගම අවදියෙන් සිටිති. මේ එසේ ගෙවෙන පළමු රැයද නොවේ. නොනවතින වේදනාවෙන් පිරුන තවත් දවසක් මෙලෙස ගෙවී යයි. මම නිදි නොමැතිව බලා ඉඳිමි. කුමුදු මල් (කොඳ) කෙමි පැණියෙන් පිරී පිපිරී යයි. ඒ සීතල ගලාවිත් මිහි තලය වසා ගනිද්දීය. ඔබ සිටියා නම් එහි උණුසුමක් සොයා ගැන්මට හැකි වනු ඇත. නමුත් ඔබ නැත. ඔබ කුඩා නිවසේ පහන් නොදැල්වෙයි. (ඒ ඔබද දුකින් වෙළී සිටින නිසා බව දනිමි). නිදි මත ගලන අඳුර එය වසා සිටියි. බලන්න, මගේ කඳුළු ඔබ උයනේ මල් මත පවා වැටී සිටියි!

වසර දහතුනකට පෙර මේ වේදනාව මෙලෙසම මා වින්දෙමි. නො එන්නට වෙන්ව ගිය සුහදිනිය පිළිබඳ වූ පශ්චත්තාප ඇති සිතින් ගෙවුණු රාත්‍රී බොහෝය. මල්වල සුවඳ, කුරුළු නදෙහි පවා මිහිර නොවිඳින කලක් ද විය. විරහව යනු එවන් අති බලවත් හැඟීමකි. ඇගේ නිවසෙහි මේ වනතුරුත් පහන් නොදැල්වෙයි. (ඒ නිවසේ පහන ඈ වූ බැවිනි ). කුරිරු ලෙස සිඳ දමනු ලැබූ ඒ සබැඳියාවෙන් හිත වූ වණ සුව වීමට වසර ගණනක් ගත් වී ගියේය. වසර පහමාරක සරසවි ජීවිතය පවා එයට ප්‍රමාණවත් නොවීය. අපමණ දයාවක්, සෙනෙහසක් අද මා ලැබූවද, ඉඳ හිට ඒ මතකයන් හොල්මන් කර සිත පෙළයි. මේ අටුවාව ලියන්නට සිත් වූයේ අප බ්ලොග් සහෘදයකුට සිදු වූ, කිසිවෙකුට සිදු නොවිය යුතු වූ සිදුවීමක් දැකීමෙනි. මා ගැන කියන්නට මා අකමැතිය. නමුත් මේ සිදුවීම මා එතරම්ම කළඹාලූයේය.

මේ ගීයේ හඬ අමරසිරි පීරිස් ගෙනි. ඒ මෝහනීය හඬ මේ ගීයේ මිහිර දෙගුණ තෙගුණ කරයි. කේමදාසයන්ගේ සංගීතයද එයටම නොදෙවෙනිය. ගීය පුරා දිවෙන සංගීත ඛණ්ඩ කියා පාන්නේ තනිකමයි. මේ ගීය අසා බලා ගොලු වූ හා ගොලු කල හදවත් වල වේදනාවන් හා ඒකාත්මික වනු ඇතැයි සිතමි.
 

Monday, April 26, 2010

ලබන්න බැරි සුව සහනය

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

හෙට ද දවසකි
හෙට මේ ලෙසම හිරු නැඟේ
නොයනු මැන ප්‍රියේ
පොදි බැඳ තිළිණ ඔබ මගේ

සිසිලෙ උණුසුමේ
මම ඔබ ලඟ සිටින්නෙමි
විසිර ගිය කුසුම්
පෙති දෝතට අරන් එමි

පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: ? රොක්සාමි මාස්ටර්
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

හැත්තෑව දශකයේ අපූරු භාව ප්‍රකාශකයකු වූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියා ගැන මා කලින් සඳහන් කරනු මතක ඇතැයි සිතමි. මිල්ටන් විසින් ඔහුගේ පළමු ගීත එකතුවට ගායනා කල ගීතයක් ලෙස මෙය හඳුනවා දිය හැකිය. මෙහි පද සිංහල ගීත රචකයන් අතර අග්‍රස්ථානයක් හිමි කර ගන්න කරුණාරත්න අබේසෙකරයන්ය. මා දන්න තරමට මෙහි සංගීතය කේ. රොක්සාමි මාස්ටර් ගෙනි. සුවහසක් ශ්‍රාවක සවන් බැඳ ගන්නා සංගීත ඉතිහාසයක් මිල්ටන් ගොඩ නගා ගත්තේ මේ ගීත හරහාය.

තම පෙම්වතිය ගේ පහස විඳින්නට නොහැකිය. එය ඔහුට සිතින් පමණක් අත් විඳිය හැකි දෙයකි. විඳින්නට ඉතිරිව ඇත්තේ ඇගේ මිහිරි සුවඳ පමණි. ඒ ඇය ඉවත් ගියහොත්ය. හෙට තවත් දවසකි. අද මෙන්ම හෙටද වෙනසක් නැතිව හිරු නැගේ. එනම් හෙට යනුත් තවත් විශේෂයක් නැති දවසක් පමණි. එසේ වුවත් නොයන්නට ඔහු ඇයද සිටියි. මන්ද ඇය ඔහු ලද අමිල තිළිණය බැවිනි. එසේ ඔහු හැර නොගිය හොත් (ජීවිතයේ) සිසිලේත් උණුසුමේත් එක සේ ලඟ සිටින්නට ඔහු පොරොන්දු වෙයි. (දබරයක් නිසා හෝ සිත් රිදවීමක් නිසා) විසිර ගිය (ආදරය නම් වූ) කුසුමෙහි පෙති එක් කර නැවත දෝතින් ඇය වෙත ගෙන එන බව ඔහු පවසයි. හෙට වෙනස් දවසක් නොවනු ඇත්තේ රැකියාවට යාම හා ජීවන සංග්‍රාමයේ නොනැවතී යෙදෙන්නට වන නිසා විය හැකිය. සමහර විට ඇය මේ ජීවන ක්‍රමය නිසා විඩාපත්ව සිටින්නී එයින් මිදීමට උත්සාහ ගන්නවා විය හැකිය. ඒ ජීවන සංග්‍රාමය අතරතුර ඔහුගේ සිතට සහනය ගෙන එන්නේ ඇයයි. මේ ගීතය ගෙන එන්නේ තාවකාලිකව අමනාප වූ පෙම්වතුන් යුවලකගේ සිතුවිලිය.

මේ ගීතය සවන වැකෙන විටම දැනී යන පලමු කරුන නම් එහි වූ තනුවේ පැරණි ස්වභාවයි. මිල්ටන් තබ්ලාව සමග එතරම් ගණු දෙනුවක් තිබූ ගායකයකු නොවේ. නමුත් ශාස්ත්‍රීය තනු ගැයීමට වුවද හැකි බව මනාව විදහා දක්වමින් මිල්ටන් තබ්ලාව සමග මෙය ගයයි. මිල්ටන් විසින් ගයන ලද අමරණීය ගී අතරට මෙයද අනිවාර්යයෙන්ම එක වන ගීතයකි.

Thursday, April 22, 2010

පිතු සෙනෙහේ

පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ

හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ


ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී


මව් ගුණ ගැන ගැයුණු ගී අපමණය. මව් සෙනෙහසේ මතකය නැවත
අප වෙත ගෙන එන ඒ ගී සමහරක් අති විශිෂ්ට ගීතයන්ද වේ. නමුත් පිය ගුණ ගී ඇත්නම් ඒ ඉතා සුළු සංඛ්‍යාවකි. කපුගේ ගෙ "වන්නි වන පෙතේ", ටී. එම්. ගෙ "පවනට සැලෙනා " වැනි, එවන් අල්ප වූ පිය ගුණ ගී අතරින් මා සිත වැඩිපුරම සංවේදි කරවන්නට සමත් වූ ගීය වූයේ මෙයයි. මගේ පියා මඳක් රෝගීවුවද තවමත් යහතින් කල් ගෙවයි. එනමුත් මේ ගීතය මුලින්ම ඇසූදා මා සිත තුළ ඇති කලේ මහත් කම්පනයකි. පිය සෙනෙහස නොමති දින දරුවන් හිනැහුණේ කවදා දැයි ගීත රචකයා අපෙන් ප්‍රශ්න කර සිටී. දරුවන් ගේ සිතේ රැඳුණ තනිය මකන්නට මවුවරුන්ට පමණක් නොහැකි හෙයිනි. පියවරු මහ සයුරක් ලෙස ගිනියම් වූ ලොවම නිවා දමති. හිරු කිරණක් සේ ආලෝකයත්, මහ විසල් නුග ගසක් මෙන් සිසිල, සෙවණ හා ආරක්ෂාවත් ලබා දෙයි. පිය කෙනෙකුගේ පවුල තුල වූ කාර්‍යභාරය ඒ පද පෙළට එක් කර ඇති හැටි අපූරුය. ගීතයේ සංවේදීම කොටස වන්නේ ඊලඟ අන්තරාවයි. අම්මා බුදු වේවා යන්න අප ව්‍යවහාරයේ එන යෙදුමකි. මෛත්‍රිය, මුදිතාව වැනි අනත ගුණ සිතේ දරා සිටින මවු වරු මතු බුදු වන බව රචකයාද පිළි ගනියි. නමුත් ඒ මතු බුදු වන මවුවරුන්ට, ඒ පිළිබඳව නියත විවරණ ලබා දෙන්නේ තවත් පිය කෙනෙකු බව රචකයා සඳහන් කරයි.එනම් මවු වරුන්ගේ අවසන් ප්‍රාර්ථනාව පවා ඉටු වීමට පියවරුන් උදවු කළ යුතු බවකි. මෙහිදී පියා ගේ නිහඬ කාර්‍යය මහත් සේ අගයා පෙන්වනු ලබයි.

කුමාරදාස සපුතන්ත්‍රී නොහොත් සපූ, ගුවන් විදුලි සංස්ථාවේ සුළු නිළධාරියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, තම හැකියාවන්ගෙන් ඉදිරියටම පැමිණි අයෙකි. රෝහණ වීරසිංහයන් අප සරල සංගීතයේ රජු බව නොවළහා පැවසිය හැකි සත්‍යයකි. ගීත 2500 කට අධික සංඛ්‍යාවකට ඔහු සංගීතයෙන් දායක වී ඇත. එෆ්.එම්. මාෆියාව නිසා වත්මන් කාලයේ මඳක් නිහඬව හා උකටලීව සිටින රෝහණ නැවත තම නිර්මාණ කාර්‍යයන් අරඹනු ඇතැයි අප සිතමු. දීපිකා ප්‍රියදර්ශනී, නිරෝශ විරාජිනී, සමිතා එරන්දතී හා නෙලූ අධිකාරි යන ගායිකාවන් සමග අප සංගීතය ඉදිරියට ගෙන යන හඬවල් ලෙස දැක්විය හැකිය. එයිනුත් දීපිකා විවිධ ශෛලීන් වල සංගීතයන්ට ගී ගැයීමට මහත් හැකියාවක් දක්වයි. "මධු සාද සිනා", "සමණල රෑනයි" වැනි පොප් සංගීත ආභාෂය ඇති ගී වලට ඇය ඇගේ මහා සම්ප්‍රදායට අනුගත හඬ මනාව මුසු කරයි. මේ ගීතය ඇයගේ සාමාන්‍ය සංගීත ශෛලිය වන ශාස්ත්‍රීය ගීතයක් වේ. එනිසාම ඇය ඉත සුලලිතව මේ ගීතය ගයයි. ඔබත් ගීය අසා බලන්න. සියුම් හිරිය ඔබේ පපු පෙදෙසේ ඇති විය යුතුමය.

අහන්න

බා ගෙනම අහන්න

Thursday, April 15, 2010

රතු පාට මල්

රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි

සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ

ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ


පාසල් සමයේ වූ අසිරිය අප විඳ ඇත්තෙමු. පාසලෙන් වෙන්වී යන විට දෝරේ ගලා ගිය හැඟුම් සමුදාය ගීතයන්ට කැටි වූ අයුරු දැක ඇත්තෙමු. එලෙස හැඟුම් දෝරේ ගලා යාමෙන් පසු කලෙකදී, ඒ අසිරිමත් පාසල් සමය දෙස මැදහත්ව බලන්නෝ පිරිසක්ද වෙති. ඔවුහු රතු මල් පිපී, බිම වැටි, රතු මල් පලසින් හැඩවූ ගුරු පාර දිගට පියමන් කලේ ඒ අතීතයේදී ය. එනමුත් දැන් කලක් ගතවී ඇත. එදා සෑම දිනක ම ගඳපාන, පේර වැනි පළතුරු තිබුණේය. එනමුත් දැන් අවාරයට මෙන් ඒවා නැත. එනම් ජීවිතයේ සරුසාරතම කාලය වූ ඒ වසත් සමය දැන් නිමා වී ඇත. සුදු පාට ගවුමේ රැලිත් කරදාසි සිරි සිරියත් වැස්සෙන් තෙමූ කලෙක මෙන් නිහඬය. සිතුවම් අඳින්නට හුණු කූරු ගත්තත් ඒවා ගෙවී යනතුරුම ඇඳෙන්නේ බලි රූප පමණි. එය චිත්‍ර ඇඳීමට නොහැකියාව නොව, නිර්මාණශීලීත්වය, හා ජීවිතයේ සතුට නැතිවීමකි. පන්තියේ මිතුරියන් අතර එකල සිටියත් ඔවුන් දැන් නැත. කාලය විසින් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි පවා අමතක කර ඇත.

60 දශකයේ අග භාගයේ ඉන්ද්‍රානි සේනාරත්න ශිල්පිණිය විසින් ගුවන් විදුලියට මේ ගීය ගයා ඇත. මෙහි පිටපත් සොයා ගැනම ඉතා අපහසුය. අන්තර්ජාලය පීරා යන්තමින් සොයා ගත් පිටපත් මේ සමග අමුණමි. අපේ හෙළ සංගීත කෙත පෝෂණය කල මෙවන් සරල් ගීත වා තලයට මුසු වී වියැකී නොයනු වස් ගන්නා සුභාවිත ප්‍රයත්නයක එක් පියවරක් ලෙස මේ සටහන සළකනු මැනවි.
 
 

Monday, April 12, 2010

මාගෙ මතකේ ඔබේ රුව



මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි

ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා


සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා

ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී


ගායනය: සුජාතා අත්තනායක හා එච්. ආර්. ජෝතිපාල
සිනමා පටය: මිනිසුන් අතර මිනිසෙක්
රඟපෑම: ගාමිණී ෆොන්සේකා හා වීණා ජයකොඩි


ආසියාතිකයෝ ස්වභාවයෙන්ම කුඩා මිනිසුන් වෙති. එනිසා ආසියානු ගායකයෙක්ට රළු කටහඬක් හිමි වනුයේ කලාතුරකිනි. අමරදේව, කසුන් කල්හාර හා අමරසිරි පීරිස් ඉතාම කුඩා දේහ ඇත්තෝ වෙති. නමුත් අප ජාතියේ පිනට අපට අසල්වැසි භාරතයේවත් ගයකයෙකුට නොමැති තරමේ ගැඹුරු කට හඬක් මොවුන් තිදෙනාට හිමිව ඇත. එනමුත් කුඩා ගායකයන් අතර පාංශු දේහධාරි එක් මිනිසෙක් සිටියේය. ඔහු ගයන විට ගුවන් විදුලි සංස්ථාවේ රිසීවර් යන්ත්‍ර දෙදරුම් කෑවේය. එකල ගුවන් විදුලි සංස්ථාවේ හා චිත්‍රපට වල භාවිත කල හර්ට්ස් 100 - 4000 රාමුව තුල ඔහුගේ කටහඬේ නියම පෞරුෂය පෙනී ගියේ නැත. අපගේ වාසනාවට 70 දශකයේ අග හයි - ෆයි වර්ධක සහිත කැසට් යන්ත්‍ර කරළියට පැමිණියේය. ජෝතිපාලයන් ගේ කටහඬේ නියම පෞරුෂය පෙනෙන්නට ගත්තේ හර්ට්ස් 20 - 20,000 වාදනය කල හැකි කැසට් යන්ත්‍ර පැමිණි පසුය. 

සුජාතා අත්තනායක ශිල්පිණිය කරළියට එන්නේද 70 දශකයේ මුල් භාගයේය. උච්ච ස්වර සහිත ගීත ගැයීමට ඇගේ ඇති නිපුණතාවය බොහෝ අයගේ ඇගයීමට ලක් විය. ඇන්ජලීන් ගුණතිලක සමග එකල සිනමාවේ රිදී ස්වරය වූයේ සුජාතාය. මේ අපූරු ද්වයයේ සුසංයෝගය මතක පොත මත සදා සැමරුම් ඇති කල ගීයක් අපට තිළිණ කර ඇත. මේ ගීතය අඩංගු වූයේ ජෝ දේව් ආනන්ද ගේ "මිනිසුන් අතර මිනිසෙක්" සිනමා පටයටයි. සිහිනයක් තුළ ගැයෙන ගීතයක් වන මෙහි නිරූපණය වීණා ජයකොඩි හා ගාමිණී ෆොන්සේකාගෙනි. මෙහි එන රූප පෙළ රැඟුමකි. මෙහි රිද්මය ද "මන්දගාමි පොප්" ලෙස හඳුන්වන ආලිංගන නැටුමට යොදන "තාලයක්" එනම් "බීට්" එකක් වෙයි. ප්‍රේමයෙහි සොඳුරු කඩ ඉමක් මේ ගීතය පුරා නිරූපණය වෙයි.

මගේ මතකයේ ඇත්තේ ඔබ රුව පමණි. එනිසා මගේ ජීවිතයද ඔබගේය. ඈත එපිටින් ඇසෙන පෙම් ගීතය, සීත සඳපානේ කිරි සයුර කලතා සොයන්නේ ඔබයි. ඕලු මානෙල් සීත තුෂාරෙන් වැසී යන්නේ ඔබේ මුහුණ සිහි කරමිනි. ඔබ මා හදේ කවුළුව දොරින් පැමිණි, මට ලංව සිටින්න, මන්ද සීත සුළඟක් ලෙස මේ ඇදී එන්නේ එක්ව සිටින්නට ඈත භවයේ සිට පැතු පැතුම් හෙයිනි.

ජෝතිපාල මියැදී දැන් වසර විස්සක් පමණ වේ. ඔහුගේ අඩුව පුරවන්නට හැකි හඬක් අදට ද ඇතිවී නැත. අමරසිරි හා කසුන් ගයන්නේ ජනප්‍රිය සරල සංගීතය නොවේ. එම සංගීතයට අනුගත ජෝතිපාල වැනි හඬක් අසන්නට අද ද අපි ආසාවෙන් සිටිමු. සුජාතා අත්තනායක ශිල්පිනිය දැන් සැට වැනි වියට පමණ ළංව සිටින්නීය. කුරිරු ත්‍රස්තවාදීන් විසින් ඇගේ දෙටු පුත් බිලි ගැනීමෙන් අනතුරුව ඇය ගායනට සමු දී සුදු වත සිය වත කර ගත්තාය. ඒ දෛවෝපගත සිද්ධිය වී දැනට වසර 15ක් පමණ වේ. එදා පටන් අපි ඇගේ ගොළු වී ගිය නද අසන්නට  බලා සිටිමු. ඈ නැවත ගයාවි දැයි මා දන්නේ නැත. එනිසා ඇය විසින් අපට තිළිණ කල මේ මිණි රැක ගත යුතුය. 

70 දශකයේ සිදු කල පර්යේෂණාත්මක ගීතයන් ගේ රසය අදද විඳිමු. මහා සම්ප්‍රදායයෙන් බැහැරවී ගීත ගැයිය හැකිදැයි බලන්නට කළ මේ ගීත වල සැබෑ රසය අපට දැනෙන්නේ අදය. ඒ අද ඇති නිර්මාණ රික්තය නිසාය. මේ ගීය අසමින්ම අප ඒ මිනිසුන් අතර සිටි ඒ උත්තුංග දේහධාරී සොඳුරු මිනිසාට මල් මිටක් පිදිය යුත්තේ ඒ නිසාමය.