Sunday, December 1, 2013

පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ -  මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්


ගායනය: නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්


මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!

අසූව දශකයේ නන්දා මාලිනිය විසින් ගැයූ සිත් පාරවන වියෝ ගීතයකි පෙර දා මහ රෑ. අසම්මත පෙම්වතුන්ගේ වෙන්ව යාම හද පාරවන අන්දමින් ගෙන හැර දක්වන පද වැලක් මේ ගීතය සතුය. නමුත් මේ ගීය සාධනීය වන්නේ එහි වූ සංගීතය නිසාවෙනි. මිනිස් කටහඬ සංගීතය ලෙස යොදා ගත් ශ්‍රී ලාංකික සංගීතඥයින් අතර මුල් තැන් ගන්නේ කේමදාස හා ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. ස්ටැන්ලි පීරිස් මේ මග අනුව යමින් මිනිස් කටහඬ සංගීතය ලෙස මෙහිදී යොදා ගන්නේ විප්‍රයෝගයේ භාවයන් තීව්‍ර ලෙසම දැක්වීමටය. මා සිතන අන්දමට මේ ගීතය ස්ටැන්ලිගේ අනගිතම ගීතයද වෙයි.

6 comments:

Anonymous said...

when I heard this song first time I was on 20yrs boy till I remember the concert which was named "sattiye geethaya" in Bandaranayaka collage in Gampha in as my remember 1989.

Bim.G said...

How come this is an asammatha affair?

මිගාර said...

//ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද

යන්නෙන් අරුත් සුන් පැතුමක් ගැන කියැවේ. එක්කෝ මේ පෙම්වතුන් දෙදෙනා තුන්වන පාර්ශවයන්ගේ බල පෑම බත බලෙන් වෙන් කරවනු ලැබුවාවු පෙම්වතුන්. අනෙක් පැහැදිලි කිරීම වන්නේ ඔවුන් අසම්මත පෙම්වතුන් නිසා කෙදිනකවත් එක් නොවිය හැකි බව.මේ ගීතය සුනිල් ආරියරත්නයන් විසින් ලියා ඇති නිසා දෙවැනි මතයට මගේ මනාපය වැඩිපුර යොමුවුනි.

M B Ajith Nilmina said...

මෙය අසම්මත ප්‍රේමයක් නොවන බවයි මගේ අදහස.

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

මෙහි සැබෑම අරුත කුමක්ද යන්න දැන ගැනීමට කැමතී.මෙහි විචාරාත්මකව තම තමන් දකින ආකාරයට ගෙන දෙන අදහස් පමණක්ම තිබේද.රචකයා විසින් ඉදිරිපත්කල අරුත දන්නා යමෙක් සිටීද?