Sunday, December 8, 2013

සුලං හමයි

සුලං හමයි - ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුලී

බිම වැතිරෙයි - යාය නිදයි
අතු හැකිළෙයි -  පිණි බේරෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී

ලොව සසලයි - නුඹ නිසලයි
ලොව නිසලයි - නුඹ හිනැහෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී


ගායනය: මහාචාර්ය සනත් නන්දසිරි
සංගීතය: ගුණදාස කපුගේ

නුඹ මල් කැකුලකි. නුඹ දන්නේ හඬන්නට පමණි. කුසගින්නටත්, වේදනාවටත්, සතුටටත්, බියටත් නුඹ දන්නේ හඬන්නටම පමණි. එනමුත් නුඹ හඬන්නේ මගේ දුකට යයි වරෙක සිතේ. අවට ලෝකයේ මඳ සුලං හමද්දී ලොව නැලැවී යයඉ. එවිට නුඹ සුවෙන් නිදයි. නමුත් සැම විටම ලොව සුව දායක නැත. බිම වැතිරෙන තරම් දරුණු පහරවලට ලක්වන්නට සිදුවෙයි. එය දැක දැක පාත්‍රවර්ගයා නිදනුද පෙනේ. එවිට සීත පින්නෙන් බොඳවී යන කඳුලු සඟවා අතු හකුලා ගනිමි. සසල ලොවේ නුඹ විටෙක නිසලය. ලොව නිසල වන විට නුඹ මා හා හිනැහෙයි. එනමුත් මගේ දුකට නුඹ නොහඬන්න. මගේ දුක මමම සඟවාගෙන විඳගන්නම්. 

බාගෙන අහන්න

Sunday, December 1, 2013

පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ -  මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්


ගායනය: නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්


මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!

අසූව දශකයේ නන්දා මාලිනිය විසින් ගැයූ සිත් පාරවන වියෝ ගීතයකි පෙර දා මහ රෑ. අසම්මත පෙම්වතුන්ගේ වෙන්ව යාම හද පාරවන අන්දමින් ගෙන හැර දක්වන පද වැලක් මේ ගීතය සතුය. නමුත් මේ ගීය සාධනීය වන්නේ එහි වූ සංගීතය නිසාවෙනි. මිනිස් කටහඬ සංගීතය ලෙස යොදා ගත් ශ්‍රී ලාංකික සංගීතඥයින් අතර මුල් තැන් ගන්නේ කේමදාස හා ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. ස්ටැන්ලි පීරිස් මේ මග අනුව යමින් මිනිස් කටහඬ සංගීතය ලෙස මෙහිදී යොදා ගන්නේ විප්‍රයෝගයේ භාවයන් තීව්‍ර ලෙසම දැක්වීමටය. මා සිතන අන්දමට මේ ගීතය ස්ටැන්ලිගේ අනගිතම ගීතයද වෙයි.

Wednesday, December 19, 2012

වැටෙන් එහා

වැටෙන් එහා මල් පඳුරේ
නුඹ පිපී වැනේ අත නුදුරේ
මිලින වුණත් ගණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන් 
නොවසා ඇති දොර කවුළු තුළින්
සුවඳ දිදී පිපුණත් මිදුලේ 
මල් නෙලන්න නම් තහනම්

තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්

ගායනය: දයාන් විතාරණ

ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ලිංගික නිදහස නම් පදය තහනම් වචනයකට කිට්ටු එකකි. එය ගැන සමහරු කතා නොකරති. කථා කරන්නන් ඒ කරනුයේ අවර ගණයේ අපට නොගැලපෙන නිදහසක් ගැන හෝ මුදල් පිළිබඳ හුදු ගිජු කමින් හෝ පමණි. එබඳු පරිසරයක ගීතය සඳහා ද මෙම නියමය එලෙසින් ම වලංගු වේ. ඉතාම කලාතුරෙකින් කථා කෙරෙන මෙබඳු මාතෘකාවක් ගැන ලියැවුණු විරල ගණයේ ගීතයකි මෙය.

සුවඳ දෙන මලක් නෙළා ගන්නා ලෙස ඇරැයුම් කරයි. මෙහි දී අප දන්නා සංස්කෘතිය හා මිනිස් හැගීම් අතර ගැටීමක් ඇති වේ. මෙම ගැටුම සියුම් ලෙස නිරූපණයට ගීත රචකයා සමත්ව ඇත. සුවඳ දැනුනත්, දොර නොවසා තිබුණත්, උණු කඳුලෙන් දෙකොපුල් තෙමුණත් මල අන් සතු නිසා නෙළා ගත නොහැක. රුවැති මල ඇත්තේ අත නුදුරේමය. එය නෙළා ගැනීමද ඉතා පහසු කාර්යයකි. එලෙස නෙළා නොගන්නා මල්, (ආදරයේ හෝ රාගයේ) හිරු එළිය නොදැක ජීවන ගණ අඳුරේ මිලින වී යයි. දයාන් විතාරණ වැනි නවක ගායකයකු මෙබඳු ගීතයක් ගායනයට නිර්භය වීම ගැන ඔහුට අප උපහාරය පිදිය යුතුය. මෙම ගීතය ගයා වසර 10 කට කිට්ටු කාලයක් ගත වුවත් මෙබඳු ගීතයක් ඇති බව වත් හෝ අප ප්‍රබුද්ධ විචාරකයන් අතින් නො කියවෙන්නේ ඔවුන් මෙම මාතෘකාව ගැන දක්වන බිය නිසා දැයි සිතා ගත නොහැක.

Wednesday, November 28, 2012

නීල අහසේ සැඳෑ වලා


නීල අහසේ සැඳෑ වලා
ඇදෙනා යාමේ සිහිලේ ළංවී
ගංගා තීරේ ඉඳිමූ තනිවී
ආදර සෙනෙහේ සුවේ මවා
සීත සෙවනේ මුවා වෙලා

ආදර දෑසේ සිනා සලා
බැඳිලා වෙළිලා මාගේ දෑතේ
කොඳුරා රහසින් කියනා වදනින්
මා සිත සැනහී නිවේ නිවේ

මා වෙත යාවී සෙනේ පුදා
ඉඳිනූ සැමදා මාගේ ලෝකේ
ළඳුනේ ඔබගේ සුවඳේ රැඳිලා
මා සිත සැනහී නිවේ නිවේ


ස්වර රටා සහ ගායනය: කීර්ති පැස්කුවෙල්

විටෙක එය දෙගොඩතලා ගලා යයි. විටෙක එය පැද්දෙමින් ලතාවට ගමන් ගනී. විටෙක සිහින්ව පැහැදිලි දියෙන් යුක්ත වෙයි. අති දුෂ්කර වූ කළුතර දිස්ත්‍රික්කයේ මැදි පෙදෙසෙහි හමු වූ දෙවනුවට මා සිත් දිනා ගත් දේ කළු ගඟයි. කළු ගඟ අඟුරුවාතොටදී කුඩා කඳු ගැට දෙකක් අතරින් ගලා යද්දී ඒ මතින් අඩ කවාකාර පාලමක් තැනෙයි. මේ පාලම මත සිට සොඳුරු සවස් යාමයන්දී, මට හමුවූ ඉතාමත්ම සිත්ගත් ඇය සමග තනි වී සිටියෙමි. නීල අහසේ සැඳා වලා බටහිර දෙසට ඇදී යයි. ඒ අතරින් බැස යන හිරුගේ මන්දාලෝකය තවමත් දිසෙයි. සමණල අඩවියෙන් පටන්ගෙන කළුතර බෝ සමිඳු වඳිනු වස් ඇදී යන කළු ගඟෙහි සැඩ දිය දහර අපට පහළින් පෙනෙයි. පාලම් ඇන්දට වාරු දී මම ඇය දෙස බලා සිටියෙමි. දින පතා නිදි මරා ගෙන යෙදෙන සේවයෙන් ඉඩ ලද විගස මේ මනෝහර දසුනෙහි මඳක් ඈ සමග තනිවන්නට මගේ සිත ඉමහත් සේ ප්‍රිය කරයි. නිදි මැරීමෙන් සහ රිය පැදවීමෙන් ඔද්දල් වූ සිත ඇගේ සින්හවකින්, කොඳුරා කියන වදනකින් නිවී සැනසී යයි. ඇගේ සුවඳ දැනෙන විට නොසන්සුන් සිත සන්සුන් වේ. ඈ තවමත් මා වෙත යාවී ඇත. ඇය මගේ ලෝකයේ සැමදා සිටිනු ඇත. කීර්ති පැස්කුවෙල් ගේ මේ ගීතය ඇසෙන සැම වාරයක්ම පාසා ඒ සුන්දර සිහිනය නැවත නැවත සිහියට නැගෙයි. මේ ගීතය ඒ තරම්ම ප්‍රේමණීය එකකි.


අහන්න

Friday, August 17, 2012

හමුවුණා අප වෙන්වුණා

හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්
හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණා
හදවතේ සුමිහිරි හැඟුම්
දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලා
පෙරදා එන සුසුම් වි‍යැකුණා
හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්

ජීවිතේ මල් මාවතේ
එකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකා
සෙනෙහසේ පැතුමන් පිරූ
පිවිතුරු දෙ හදේ අමරණීය වේ
ආදරේ . . .

අප ලොවේ වසන්තයේ
පිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවා
ආදරේ සොමනස සොයා
පිය නගනා මග ආසිරි ගී
වැයුනාවදෙන් . . .


පද, හඬ හා ගායනය: ෂර්ලි වෛජයන්ත


ෂර්ලි වනාහි අපූරු කලා කරුවෙකි. හෙතෙම ගීත තමන් විසින් ම රචනා කර ගත්තෙකි. ඒවාට පද'රුත් සපයා සංගීතය මුසු කලේත් ඔහුම ය. අවසන ඒවා ගැයුවේද ඔහුම ය. ෂර්ලිට තිබුනේ තාරුණ්‍යය වශී කරන කට හඬකි. අතිශය හැඟීම් බර, එනමුත් සංවර කට හඬකි.  එනිසාම 80 දශකය මැද භාගය වන විට ෂර්ලි ඉතා ජනප්‍රිය ගායකයකු බවට පත්ව සිටියේය. 

නමුත් ෂර්ලි මා දකින්නේ වෙනත්ම කෝණයකිනි. කී බෝඩ්, ඉලෙක්ට්‍රික් ගිටාර් සහ ඩ්‍රම් සෙට් ශාස්ත්‍රීය ගීතය වෙතට ගෙන ආවේ ෂර්ලි බව මගේ හැඟීමයි. ෂර්ලි අත්‍යවශ්‍යයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාෂය ලැබූ ගායකයෙකි. නමුත් රැල්ලට එරෙහිව යමින් 70 දශකයේ අග භාගයේ ඔහු කරළියට පැමිණියේ මේ නව හඬ විප්ලවය සමගමය. "මට එපා ඔබේ හසරැල්" ලෙස මුලින්ම කරළියට ආ ඒ ගීතය පවා පටන් ගන්නේ විද්‍යුත් ගිටාර ඉන්ට්‍රෝ (intro) එකකිනි. 80 දශකය මුල් භාගය වන විට ෂර්ලි දහසක් දුෂ්කරතා මැද සිය පළමු කැසට් පටය එළි දක්වයි. මෑතක් වනතුරුම මා අත තිබූ ඒ කවරය (රතු හා කළු මිශ්‍ර වර්ණයෙන් මුද්‍රිත) දැන් නම් විනාශ වී ගොසිනි. නමුත් සිතාර, බට නළා, සහ තබ්ලාවට හුරුවූ ශාස්ත්‍රීය ගී රසිකයා ඉන් නව මානයකට කැඳවාගෙන ගියේ ෂර්ලි බව මගේ හැඟීමයි. 

ෂර්ලි ඉමහත් දුෂ්කරතා මැද කරන ලද කැසට් පටයක් ගැන මම කලින් සඳහන් කළෙමි. ඒ කැසට් පටයේ අඩංගු වූයේ පුදුම එළවන සුළු මිහිරි ගීත සමූහයකි. "මට එපා ඔබේ හසරැල් බිඳක්", "ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ", "ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්" යන ගීත  එකල තරුණ සිත් පැහර ගත්තේ නිරායාසයෙන්ම ය. නමුත් මා ඔබ වෙත මේ ගෙන එන ගීතය, එම ගීත සමුච්චයේ අඩංගු වැඩිපුර කතා බහට ලක් නොවන ගීතයකි. මෙහි පද මාලාව සරල ය. හමු වීම, වෙන්වීම, හිනැහීම අතර ඇඳෙන අමරණීය යයි සිතෙන් බොලඳ ආදරයක් ගැන මේ ගීතයෙන් කියැවේ. ආදරේ අනුහසින් හමුවී වෙන්වූවත්, ඔවුහු නැවත හමුවන්නාහ. ජීවිතේ මල්මාවතේ පිය නගමින් ප්‍රේම ගීතිකා ගයමින්, වසන්තයෙන් ඇරඹි මේ ගමන නිම වන්නේ ආසිරි ගී මැද අතිනත ගැනීමෙනි. නමුත් මේ ගීතය අතිශය වැදගත් එකක් වන්නේ මෙහි ඇති සුවිශේෂී ආකෘතිය නිසාමය. 

මුලින් ම මෙය සිවු පදය ගීතයට නොනගන ලද ගීයකි. එහි මුලින් ම (chorus) කියන කොටස හා අන්තරා මාත්‍රා ගණන අනුව වෙනස් බව පැහදිලි වනු ඇත. එමෙන් ම අන්තරා කොටස් ගැයෙන්නේත් අසමමිතික පද පේළි අන්දමිනි. එනිසා පද රචනය අතින් මෙහි වෙනසක් දකින්නට ඇත. නමුත් ෂර්ලි මෙහි දී රැඩිකල් වන්නේ සංගීතයෙනි. විද්‍යුත් ගිටාර, ඕගන, ඩ්‍රම් සෙට් වලින්ම පමණක් මේ ගීතය ඇසේ. එසේම ගිටාර් ඩිස්ටෝර්ෂන් (guitar distortion) යන ශබ්ද ප්‍රයෝගයද මෙහිදී මනාව අසන්නට ලැබේ. මේ ප්‍රයෝග අද නම් ඉතාමත් සුලබ හා නොවැදගත් ඒවා ලෙස පෙනී ගිය හැකි නමුත්, මා මේ සඳන් කරන්නේ 1982, එනම් මීට වසර 30කට පෙර, ගිටාර් ඩිස්ටෝර්ෂන් ශාස්ත්‍රීය සංගීතය තුල යෙදීම ගැනයි! 

එකල සිටි කැලිප්සො සංගීත කණ්ඩායම් තුලින් අප මේ භාණ්ඩ වැයෙනු අසා තිබූ මුත්, ඒවායේ නියම ශාස්ත්‍රීය භාවිතය අපට පෙන්වා දුන්නේ ෂර්ලිය. සමහර විට කේමදාස මාස්ටර් මීට කලින් මේ භාණ්ඩ යොදා ගත් නමුත්, සම්පූර්ණයෙන් බටහිරකරය වූ මෙවන් ගීත කේමදාස මාස්ටර් අතින් නිමැවුනේ නැත. ෂර්ලි ගේ සමකාලීන කීර්ති පැස්කුවල් වැනි ශිල්පීන් ද මේ භණ්ඩ යොදා ගත් මුත් ඔවුන්ට ෂර්ලි මෙන් රාගධාරී සංගීතයේ පරිචයක් තිබූයේ නැත. එනිසා ෂර්ලි වෛජයන්තයන් 80 භාගයේ මුලදී කල සොඳුරු, එනමුත් නිහඬ විප්ලවය, දශක තුනකට හෝ පසුව අප යම්තමින් හෝ අගය කළ යුතු වෙමු.

Thursday, March 22, 2012

සරා සඳේ සිනා සේලේ

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා

සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ සිනා වාසනා


සිනමා පයට: මිහිදුම් සිහින
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්. ජෝතිපාල
රංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකා



ජෝතිපාලයන් ගැන කිහිප වරෙක අපි කතා කොට ඇත්තෙමු. ඔහුගේ හඬ පෞරුෂය, ස්වර පරාසය සහ ගැඹුරු හඬ අපට හුරු පුරුදු ඒවාය. එනමුත් ජෝතිපාලයන්ගේ කූටප්‍රාප්තිය යම් ගීතයක් සමග වේද ඒ මේ ගීතය බව නොවළහා පැවසිය හැකිය. ජෝතිපාල ගැයූ අනුකාරක තනු වලින් මිදී, ස්වතන්ත්‍ර තනුවකට ගී ගයද්දී ඔහුගේ ප්‍රතිභාව ගැන හොඳ අදහසක් මේ ගීතය ලබා දේ. මේ ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැත. අසා බලන්න.

Sunday, December 18, 2011

සරුංගලේ

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි


ගී පද: මහැදුරු සුනිල් ආරියරත්න
ගී නද: විශාරද නන්දා මාලිනී


මේ ගීය 80 දශකයේ බිහිවූ සුභාවිත වූ ගීතයකි. සරුංගලයක ඉපදීම, පාලනය සහ එය උඩ හැරීමත්, ඒ හා සම්බන්ධ සමාජයීය තත්ත්වයනුත් මේ ගීතය තුලින් මනාව කියා පායි. එනමුත් මහැදුරු ආරියරත්නයන්, සරුංගලයෙන් එහා දෙයක් දක්නා බව නම් පැහැදිලිය. ඒ අනුව මේ ගී පද බහු අරුත් දන්වන ආකාරයේ එකක් වේ. මේ ගීතය ගැනම විවරණයක් සපයන අසරණයා කියා සිටිනුයේ රට හැර යන ළමයින් ගැන මූර්තිමත් කෙරෙන පද වැලක් හැටියට හඳුන්වා දිය හැකි බවයි. ඇත්තෙන්ම පවුල හැර යන ළමයෙකුට සරුංගලය සම කළ හැකි වුවත්, මහැදුරු ආරියරත්නයන් මෙයට එහා ගිය පරමාදර්ශී මාතෘකාවක් දකින බැව් මට සිත්වේ. එසේ වුවත් මේ ගීය පිළිබඳ රස විනිසක් කිරීමට මා පෙළඹවීම ගැන එම බ්ලොග්කරුට මම ස්තූතිවන්ත වෙමි.

බුද්ධි ගලනය දකුණු ආසියාවටම පොදු සාධකයකි. විවිධ හේතු නිසා තම රට අතහැර දියුණු යයි සම්මත රටවල් වල ආකර්ෂණීය වැටුප් සොයාගෙන විද්‍යාර්ථීහු තම මව් රටෙන් පිටවෙති. එලෙසේ පිටවන විද්‍යාර්තීන් යනු මෙරට සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් උගැනුම ලබා සමාජ තලයේ ඉහළට නැග ගන්නා අයයි. මහැදුරු ආරියරත්නයන් සරුංගලය තුලින් රට හැර යන විද්‍යාර්ථියෙක් පෙන්වා සිටින බව මගේ හැඟීමයි.

මේ විද්‍යාර්ථියා බිහි වන්නේ බිම් මට්ටමේය. එනම් බිම් මට්ටමේ සිටින දුප්පත් දෙමාපියන් තුලිනි. සරුංගලය බටපතුරෙන් කපා, ලාටු උලා, රැළි අලවා හැඩ කරන්නේ "අපේ" ළමයින්ය. "අපේ" යන පදය මෙහිදී යෙදෙන්නේ රටේ පීඩිත පන්තිය නිරූපණයටයි. ඔහුට උගන්වන්නේ, ඔහුගේ නැණැස පාදන්නේත් සාමාන්‍ය ජනයාගේ මුදලින් නඩත්තු වන ගුරුවරුන්ය. ඔහු බිම් මට්ටමෙන් ඉහළට උඩ අරින්නට නූල් දුන්නේත් "අපේ" ළමයින්මය. විද්‍යාර්ථියාට ඉගෙන ගැනීමට සුදුසු පරිසරය සකසා දීමට කල අරගල වලදී ගුටි කෑවේ, සිත් වේදනාවට පත් වූයේ සහ මිය ගියේත් "අපේ" ළමයින්මය. එනමුත් සරුංගලය මෙන්ම සමාජ පිරමීඩයේ ඉහළට නැගගෙන වරල් සලමින් නිසංසලව සිටින විද්‍යාර්ථියාට රට හැර යන විට තමා උපන් බිමත්, උපන් සමාජ පන්තියත් අමතක වී යයි.

බුද්ධි ගලනය වැනි මාතෘකා ගැන ගීයක් තබා සංවාදයක් පවා ඇති නොවන සමයෙක දුර දක්නා නුවණින් මහැදුරු ආරියරත්නයන් විසින් ලියන ලද "සරුංගලේ" ගීතය, ඉහත මාතෘකාව පිළිබඳ සංවේදී කතිකාවතල අවශ්‍යතාවයට අප යොමුකරවයි.