Saturday, February 12, 2011

පහන් කන්ද


පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි

කටුක දුකින් ගිණි ගැණුනු ආත්මය
පුපුරා ගලනා සෝ ගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මා වෙත දුන මැනවි

අඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්
හදවත නොපහන් සිතුවිලි දුරු කොට
පහන් සිතින් දලවා පහනක්
ආලෝකය මට දුන මැනවි


පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: විශාරද නන්දා මාලිනී
ඇල්බමය: පහන් කන්ද


රාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ගස්වන බහුබූතයෙකි. රාජු හමු වන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කල "මේරා නාම් ජෝකර්" සිනමා පටයේදීය. කුඩා කල පටන්ම තමා ඉපදී ඇත්තේ අනුන් හිනස්වන්නට බව ත් රාජු තේරුම් ගනී. තෙවරක්ම ප්‍රේමයෙන් පරදින ඔහු ඒ සියල්ල සිතේ දරාගෙන නරඹන්නන් හිනස්වයි. වෙනෙකක් තබා තම මව මිය ගිය පුවත ලැබුණු මොහොතේදී සිදු කරන සංදර්ශනයේදී "අම්මා" කියමින් හඬයි. එය දකින නරඹන්නන් කරන්නේ කොක් හඬ නගමින් සිනා සීමය. රාජු  නම් බහු බූතයා මෙන්ම තම සිත තුල ඇති දුක් වේදනා සන්ගවා ගෙන අනුන් හිනස්සන්නන් අප සමාජයේ විරල නොවේ. එලෙස තමන් හඬමින් අනුන් හිනසවන, තමන් විඳවමින් අනුන් පිනවන කෙනෙකුගේ ප්‍රකාශනයක් ලෙස "පහන් කන්ද" ගීතය ලියවී ඇත.

පහන් කන්ද සතර දෙස ආලෝකය පතුරයි. එනමුත් පහන් කන්ද පාමුල ඇත්තේ බියකරු අන්ධකාරයයි. එහි පාමුල අඳුර කිසිවෙකු දකින්නේද නැත. හද අඳුරු තැනැත්තේගේ පැල ද අඳුරුය. කටුක දුක් දරා, ඒවා ඵැසවමින් පිටතට ගලා එන වේදනාව පද වැල වී ගැයීමෙන් අසා සිටින්නන් මන් මත් වේ. එය ඔවුන් ගේ හදවත් අඳුරෙන් එළියටද ගෙන යයි. එයින් හදවතෙ අඳුරු සිතිවිලිද නැත. මේ ගීත අසා ලබන සතුටේ ආලෝකයෙන් බිඳුවකින්, නව පහනක් දල්වා අඳුරු වූ පහන් කන්ද පාමුලට, හදවතට, පැලට එළියක් ගෙන එන් මෙන් ඉල්ලා සිටියි. මේරි, මරීනා, මීනා යන තුන් දෙනගේමත්, සිය මවගේත් ආදරය අහිමි වී රාජු නම් බහු බූතයා සිටින්නේද මෙවන් අඳුරකමය.

පහන් කන්ද නන්දා මාලිනියගේ ස්වර්ණමය යුගයේ නිර්මාණයකි. ඇය සමහර විට එකල ආසියාවේ මධුරතම හඬ හිමි කාන්තාව වන්නටද ඇත. නන්දා මාලිනිය මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ගී කලාවේ උච්චතම ලක්ෂ්‍යය නිරූපණය කරන්නේ "පහන් කන්ද" ඇල්බමයයි. මේ ගීතය අසා බලන්න, රාජු බහුබූතයාගේ රුව ඔබ අබියස පෙනී යනු ඇත.

බාගෙන අහන්න

Thursday, October 7, 2010

සිවු වසරක් තුල


සිවු වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු කඳුලක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා

සීතල පව්වේ කඳු රැලි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා

හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා


ගායනය හා සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග


අද ඒ දවසයි. සිවු වසරක් මේ බිමේ ගෙවීමු. සිනා, කඳුළු, සුසුම් මැද මහ පොත් වන පොත් කළෙමු. එක පත බෙදා ගෙන කෑවෙමු. එක්ව ගැයීමු, රැඟීමු, නැගී සිටියෙමු. ඔබ මා ජීවිතයට ආවේ ඒ අතරය. එයදු නවමු අත්දැකීමක් විය. පෙම් මග, දේවදාර ගස් අතර, මහවැලි දෑලේ අප ඇවිද්දෙමු. ඔබ මට කිසිවෙකුට වඩා ලං ව සිටියේය. මා හද ගැහෙන රාවයද ඔබ දැන සිටියේය. එනමුදු සරසවියෙන් පිට ලොවක් ඇත්දැයි අප අමතක කළෙමු. නැතිනම් අපට එය අමත විය. දැන් බිහි දොර අබියෙසට අපි පැමිණ සිටින්නෙමු. හෙට දීන අප වැළඳගන්නට හෝ හපාකන්නට හැකි ලොවකට පියමනින්නෙමු. අද අවසන් දවසයි. සීතල හන්තානේ මීදුම් සේල, මහවැලියේ දිය සීරාව, සරසවි පහයේ තුරු සෙවනැල්ලෙන් අප හෙට සමු ගනිමු. ඒ අපේ පෙම වෙනුවෙන් වැලපෙන සටහන් වන්නේය. සසර දිග පොඩි දරුවකු පසු පස එන්නාක් මෙන් ඔබ මා පසු පස එන්නට ඇත. එනමුත් අද අවසන් දිනයයි. මින් පසු නොහඳුනන ලොවක නොහඳුනන දෙදෙනෙකු මෙන් අපට ඉවත බලා ගැන්මට සිදු වනු ඇත.

සරසවි පෙමක ශෝකාන්තය රැගත් දයාරත්න රණතුංගයන් ගයන ගීය 70 දශකයේ ගැයුනකි. පේරාදෙණි‍ය සරසවිය හා එහි නිමල සුන්දරත්වය විසින් සඟවා ගෙන සිටිනා, නිහඬව වළ දැමුණු පෙම් කතාවකට නැවත පණ දීමක් මේ ගීය තුලින් අසන්නට ලැබේ. මෙහි භාවයන් හා සංගීතය ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඊට කන්දීම පමණක් සෑහේ.



Thursday, September 30, 2010

කුණ්ඩුමණී


මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .

නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී . . .

සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
කුණ්ඩුමණී. . .

ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
කුණ්ඩුමණී. . .

සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී. . .

 
සංගීතය: වික්ටර් රත්නායක
පද: ප්‍රේමකීර්ති ද අල්විස්
නද: ෆ්‍රෙඩී සිල්වා


ෆ්‍රෙඩී අප හඳුනන්නේ 1960 - 1990 කාලය අතර වූ දශක තුනක් තුල සිටි අපගේ අසහාය විකට නලුවා ලෙසය. එසේ වුවද ඔහුගේ රඟපෑම විකට චරිත වලට පමණක් සීමා නොවීය. සූකිරි කෙල්ල චිත්‍ර පටයේ ඔහු මන්ද බුද්ධික තරුණයකුගේ භූමිකාවද රැඟ පෑවේ කොටන කුකුළාට කොයි කොටුවත් එකය යන්න සනාථ කරමිනි. එසේ වුවත් ෆ්‍රෙඩී සිල්වා අප හඳුනා ගත්තේ ඔහුගේ ගායනයෙනි. ඔහු මුලින්ම ගුවන් විදුලි සංස්ථාවට පැමිණියේත් ගායනයේ මහිමයෙනි. ෆ්‍රෙඩී එතරම් ගීත සංඛ්‍යාවක් ගයා නැත. අප අතරින් වෙන් කරනු ලැබූ ඒ සහෘදයා, ප්‍රේමකීර්ති ගේ පද වැල් වලට ෆ්‍රෙඩී ගීත දුසිමක් පමණ ගැයීය. මේ සියල්ලම එකල අතිශය ජනප්‍රිය වූ ගීත විය. කුණුඩුමණී වනාහි ෆ්‍රෙඩී ගීතය සමග එක්වූ අවස්ථාවන්ගේ කූට ප්‍රාප්තියයි.

මේ ගීතය සංගීත සම්ප්‍රදාය දෙකක සම්මිශ්‍රණයකි. එකක කතරගම හා ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතර ප්‍රචලිත කාවඩි නැටුම් වල එන තාලයයි. නමුත් සංගීත භාණ්ඩ වැයෙන්නේ කෝවිල් වල හා හින්දු මංගලෝත්සව වල වැයෙන් ගැටම්, මෘදංග හා නළා වර්ග භාවිතයෙනි. මේ සංගීත සම්ප්‍රදාය තුලට ප්‍රේමකීර්තිගේ පද වැල මනාව ගලපා තිබේ. සංගීතය සමග ගැයෙන ආකාරයට ද්‍රවිඩ වදන් මෙහි යොදා තිබෙන හැටිද අපූරුය.

පිටිවැල්ල යනු මන්නාරම පෙදෙසේ ඇති සිහින් කහ පැහැති වැල්ලකි. හින්දු ගෙවල් වල ඇතුළු උයනේ බඳින ඔංචිල්ලාවක් ඇත. කුණ්ඩුමණී ගේ නිවෙසේ එය වැසී ඇත්තේ මදටිය වලින් කල සැරසිල්ලකිනි. කතා නායකයා මේ පැමිණ සිටින්නේ කුණ්ඩුමණීගේ විවාහ මංගල්‍යයටය. ඔහු ඇතැම් විට දුප්පත් පවුලක විය හැකිය, මන්ද උයනේ ඔංචිල්ලා බැඳීම ආදිය කරනුයේ ධනවත් පවුල් වල බැවිනි. කුන්ඩුමණී ගේ නැහැයේ කරාබුව, කඩුක්කම් දමා, මොට්ටැක්කිලියෙන් හිස වසා ගෙන තල වේලන අයුරු ඔහුට මතක් වේ. ආඬි ලිඳෙන් කළයට දිය ගෙන ලූණු පාත්තියට දමන අයුරු, කෝවිල් ගොස්, පොල් ගසා පූජා පවත්වන'යුරු ඔහුට මතක් වේ. එසේ වුවත් අද ඇගේ ගෙය ගොම ඉහ පිරියම් කර ඇත. කෙසෙල් ගස් දෙකක් කැන් පිටින් සිටවා ඇත (හින්දු මංගලෝත්සව වල කෙරෙන සැරසිල්ලකි). විවිධ බෙර වර්ග වැයේ. එනම් මංගල්‍යයක් එම ගෙදර පැවත්වේ. කලකට පෙර රණ්ඩු කරමින්, බැණුම් අහමින් සහ සැඟවෙමින් කරන ලද ප්‍රේමය අද අවසන්ය. කුණ්ඩුමණී ගේ අත ගන්නා පුද්ගලයා (ඔහු මහ රජකු ලෙස ඔහුට වැටහෙයි) එන කල ඔහුට සිදු වී ඇත්තේ කීකරු වී පසෙකට වී බලා සිටීමටයි. ගීතය තුල ප්‍රේමකීර්ති අලංකාර ලෙස වචන භාවිත කරයි. එසේම ද්‍රවිඩ ජනයගේ ඇවතුම්පැවතුම් ගැන ඔහුගේ ඇති දැනුමද මෙයින්ම ප්‍රදර්ශනය වේ.

පසු කලෙකදී ආර්ථික දුෂ්කරතා නිසා ෆ්‍රෙඩී සන්ෆ්ලවර් ආදී ගීත වනසන සංගීත කණ්ඩායම් සමග ගායනයේ යෙදුණි. අප අවාසනාවකට අද සුරැකී ඇත්තේ එම ගීත ද පමණි. එනමුත් අන්තර්ජාලය මඳක් පිරික්සීමේදී ෆ්‍රෙඩී "නන්දන වින්දන" වැඩසටහනට 1983 දී ගැයූ කුණ්ඩුමණී ගීතයේ කොටසක් හමු විය. බාගත කරන්නට ඇති ගීය හා සසඳන විට ෆ්‍රෙඩී එකල කොතරම් ප්‍රතිභා පූර්ණ ගායකයකුද යන්න වටහා ගත හැකි වනු ඇත. 

එමෙන්ම මෙහි මුල්ම පටිගත කිරීමද මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරමි. 

බටහිර සංගීත භාණ්ඩ වලින් තොරව ඝටම්, මෘදංග, තබ්ලා සහ නළා වලින් මුල්ම ගීතය වාදනය වේ. මෙහි මා මුලින් සඳන් කල කාවඩි හා කෝවිලේ පූජාවන් යන දෙකෙහිම ඇති ශබ්ද හඳුනා ගන්නට හැකි වනු ඇත. ෆ්‍රෙඩී ලා, විජයලා, ප්‍රේමකීර්තිලා නැතිව ගියේ අප අවාසනාවටය. ඔවුන්ට මෙවන් නිර්මාණ බොහෝ කරන්නට ඉඩ තිබිණි. නමුත් දෛවය ඔවුන්ට හරස් විය.

Monday, August 2, 2010

සුදු නෙළුම කෝ


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව


"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය විටෙක කන් කරච්චලයක් සේ දැනේ. නමුත් දියේ කිමිද, මල් කඩා, ඒවා සුළු මුදලකට විකුණන්නේ මොවුන්ට වෙනත් රැකියාවක් නොමැතිකම නිසාමය. මේ රැකියාවේ අප නුදුටු පැත්තක්, ශෝකාන්තයක අයුරින් රත්න ශ්‍රී හා අමරදේව ශූරීන් අප වෙත ගෙන එයි.

සොර බොර වැව අසල වාසය කළ සුදු නෙළුම අද නැත. ඇය මහියංගනයේ මල් සුවඳයි. පාළොස්වක දාට මහියංගන සෑය වඳින මහ පිරිසට මල් ඇය අලෙවි කරන්නී, ඉන් දිවි සරි කර ගන්නීය. එවන් සොර බොර වැවට කලුවර පායා එයි. මේ වනාහි හිරු බැස යාමෙන් එන කළුවරක් නොවේ. පාළුව නිසා එන්නා වූ කළුවරෙකි. සිහින් සිරිපොද වැටෙයි. ඉන් වැවේ දෙකොපුල් වැනි ඉවුරුද සේදෙයි. එනමුත් සුදු නෙළුම දක්නට නැත. ඈ විසින් නෙළු මල් මිට එහා ඉවුරට පාවී ගොසිනි. ඇගේ දෙකොපුල් ඉවුරු සොදා ගලන සිරිපොද යටින්, දෑස පියවුණු (මිය ගිය) ඈ මෙහා ඉවුරට පාවී එන්නීය. මේ පද වැල මල් විකුණන තරුණියකගේ ඉරණම ගැන කඳුළු කතාවක් කියවෙන ශෝකාන්තයක් බවට පත් වන්නේ එලෙසිනි. මේ ගීතය ප්‍රබල හැඟුම් ජනිත කරවන ගීතයකි. මේ හා සමාන වෙනත් එවැනි ගීත ඇතොත් ඒ මඩවල එස්. රත්නායක - පණ්ඩිත අමරදේව සුසංයෝගයෙන් බිහිවූ රුවන්මලී ගීතයත්, විමල් ජයශාන්ත
හා සනත් නන්දසිරි සුසංයෝගයෙන් නිමැවුනු එදා මෙදා තුර ගීතයත් පමණි.

රත්න ශ්‍රී වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙකි. එබැවින් මෙවන් පද වැලක් තුල රත්න ශ්‍රී විසින් සඟවන ලද පනිවුඩය සෙවීමද සිත් ගන්නා කරුණක් වනු ඇත. මේ මුළු ගීය පුරාම රත්න ශ්‍රී පෙන්වන්නේ ජීවිතයේ ආටෝපයේ පුහු භාවය හා අස්ථිර භාවයයි. අපගේ ආශාවන් මූර්තිමත් කෙරෙන මල් පොකුර සසරේ මහා වැවෙහි එහා ඉවුරට පාවෙද්දී මරණයෙන් පසු අප මලකුණ පාවී එන්නේ මෙහා ඉවුරටට්යි. තදින් බදා සිටියද මේ දේවල් එකිනෙකා ගෙන් අවසන වෙන් වන බව ගීයෙන් ඉඟි කෙරේ.

මේ ගීතය අමර්දේවයන් විසින් 80 දශකයේ ගයන ලද නව ගීතයකි. මේ ගීය ලියන විට රත්න ශ්‍රී නවක කවියකු පමණක් වන්නට ඇත. එනමුත් අරුත් සපිරි පදවැලක්, අනන්‍ය වූ හඬකින් ගැයෙන් මේ දුක්ඛාන්තයේ ශෝකී රසය අප විඳ ගනිමු.


Thursday, July 15, 2010

සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ 
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

 
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී


නන්දා මාලිනිය ගීත ගායනයට පිවිසියේ 1960 දශකයේ තිරගත වූ රන් මුතු දූව සිනමා පටය හරහා ය. එතැන් පටන් අද දකවා වසර 40කට අධික කාලයක් ඇය අප වෙනුවෙන් ගී ගයන්නීය. ඇයගේ ගී නදෙහි ස්වර්ණමය යුගය උදා වූයේ සිංහල ගීතයේ ස්වර්ණමය යුගයට දශකයක් පමාවීය. වර්ෂ 1975 දී පිට කළ කප් සුවහස් කල් , 1977 දී පිට කළ යාත්‍රා, 1980 දී පිට කළ යුගයෙන් යුගයේ හා 1984 දී පිට කල හේමන්තයේ යන ගීත සමුච්චයන් නන්දා මාලිනියගේ කටහඬෙහි උපරිම භාවමය රසය ගෙනෙන ගීතයන් ඇතුලත් වේ. අප කතා කරන මේ ගීතයත් 1979 පමණ කාලයේදී සුනිල් ආරියරත්නයන් විසින් ලියවුනකි.  

මෙම ගීයේ පද රචනය අතිශයින්ම සංකේතාත්මක වෙයි. එනිසා ගීයෙහි සැබෑ රසය විඳ ගැනීමට නම් මේ සංකේතයන් ගැන මනා දැනුමක් ලබා ගත යුතුය. මෙහි කිරිල්ලිය හා කුරුල්ලා ලෙස හැඳින්වෙනුයේ තරුණයකු තා තරුණියක බව වටහා ගැනීම අපහසු නැත. මේ කිරිල්ලිය කූඩුව එනම්, සිය පවුල් ජීවිතය ගෙන යන්නේ සුලං කපොල්ලකය. සුලං කපොල්ල භූ විද්‍යාත්මකව විග්‍රහ කරන විට දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. එමෙන් ම  මේ ගීතයේ සුලං කපොල්ලත්, ජීවිතයේ නේක දුෂ්කරතා වලින් කැළඹුන, පවුල් දෙකක් අතර සිර වුණු ස්ථානයකි. සිදු විය යුතු ලෙසින් ම ඇගේ පවුල් ජීවිතය නම් කැදැල්ල කැඩී ඉහිරී යයි. මෙලෙස කූඩුව කැඩී තැනින් තැන ගමන් ගන්නා කිරිල්ලිය (ආදරය සොයා විය හැකියි ), එක්තරා කුරුල්ලකු ලඟ නවතී. ඇය දැන් අන්නථය. යාමට තැනක් නැත. කූඩුව කැඩී සුලං කපොල්ල හැරදා ගිය නිසා ඇයට මව පියා හෝ නෑදෑයන් නොමැත. ඇයට තනියට ඇත්තේ කඳුල පමණි. ඇය මෙතරම් දුර සොයා ආවේ නිදැල්ලේ වෙසෙන මේ තනිකඩ කුරුළු රජුම ය. එබැවින් ඇයට ඔහුගේ කැදැල්ලේ ඉඩ දිය යුතුය. මෙහිදී කැදැල්ලේ ලැබෙනුයේ ලැගුම් ගැනීමට ඉඩක් පමණකි. එය පෙර පරිදි තැනූ කැදැල්ලක් ද නොවේ. එබැවින් මේ සබඳතාවය සමාජ සම්මතයන් ඉක්මවා යන්නක් බව යන්තමින් ඉඟි කරනු ලැබේ.

ගීයේ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි. පියානෝව, ෂේකර්ස් හා මැන්ඩලීනය යහමින් උපයෝගී කරගන්නා රෝහණ එතෙක් මෙරට ප්‍රබුද්ධ ගීතයට එතරම් එකනොවූ සංගීත භාණ්ඩ වල හඬෙහි අරුමය මනාව දන්වා සිටී. මේ ගීතය අසන විට මේ ගීතය සුනිල් හා නන්දා තමන් වෙනුවෙන් ගායනය කල එකක් දැයි වරෙක සිතේ. නන්දා මාලිනිය ගේ අසාර්ථක විවාහයත්, සුනිල් ආරියරත්නයන්ගේ තනිකඩ කමත්, ඔවුන් ගේ ඉන් පසුව ගෙවූ පුද්ගලික ජීවිතත් ගැන සලකන විට මේ අදහස බැහැර කළ නොහැකි එකක් බවට පත්වේ.

Monday, June 7, 2010

ඉක්මන් නොවුනා


ඉක්මන් නොවුනා නම් අපි
අපි අපගෙයි තාමත් හිතවතී
මේ වසන්තය නෑවිදින් සිටියා නම්
මේ තරම් දුක නෑ සඳවතී

මල් කැකුළු පුරවා අතු ඉතී
අපෙ මූණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යලී
ඔබ කොහිද කියපන් හිතවතී

ගෙට එන්ට කල් බැලු සේ අපි
වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
ඒ වසන්තය ආයෙම ඉතින්
හිමි නැතිද අප වෙත හිතවතී


ගායනය: ක්‍රිෂාන්ත එරන්දක

වසර පහකට පසුව කලින් සේවය කල සේවා ස්ථානයට ගියෙමි. වසර පහකට පෙර ලෙසම එම ස්ථානය ඇත. ගහ කොලද එසේමය. සමහරුන් විශ්‍රාම ගොස් ඇත. නවක මුහුණුද දකින්නට ඇත. මේ සියල්ල අතර වසර පහකට පෙරදී බලන්නට පෙරුම් පුරමින් සිටි මුහුණද විය. ඇය මදක් වයස් ගතව ඇත. නමුත් පෙර සේම සුන්දරය. මාද වයස්ගතව ඇත. එකල මෙන් නොව දැන් මා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. මගේ මතකය අතීතයට දිව යයි. එකට එක්වී සිනා සුණු, කතා බහ කල, අතිනත පටලා සක්මන් කල යුගය හීනයක් වාගේ මතකයට නැගෙයි. අපි පෙමින් වෙළී සිටියෙමු. නමුත් ඒ අපට එක්වන්නට ඉඩ නැති බව දන්නා අතරතුරදීමය. වසන්තය එකල අප වෙත විය. කුරුළු කිචි බිචිය කරච්චලයක් නොව ගීතයක්ම වූයේය. හැම පාටකම එළියක් අපි දැක්කෙමු. හෙට වන දේ නොසිතා අද පෙම් කළෙමු.

හෙට වන දෙය ගැන සිතන්නට වන් කල්හි අප පෙම දෙදරා ගියේ ඇයි? අපට ඇති ප්‍රශ්න විසඳා ගත නොහැකි බවට ඉක්මන් තීරණ අප ගත්තේ ඇයි? සමහර විට ටිකක් ඉවසුවා නම් ඔබ මා පියන් කැමති කරවා ගැන්මට හැකියාව තිබිණි. දුර රටක සිටින ඔබ විවාහ කර ගැන්මට බලා පොරොත්තු වන පුද්ගලයා නො එන්නට ඉඩ තිබිණි. අපි ඉක්මන් වූයේ ඇයි? ඒ ඉක්මන නිසාම එදා අප දෙපසට වීමු. ඔබත් ඉක්මන් විය, මමත් ඉක්මන් වීමි. කාලය ගෙවී ගොස් ඇත. අද මා විවාහකය. ජීවිතයේ වසන්තය අග ගිම්හානයට පිවිස ඇත්තෙමි. නමුත් මේ බිම තුල වසන්තයේ සොඳුරු සුවඳ තවමත් මා හට දැනෙයි. එහි සොඳුරු පැහැය ඔබ දකින විට සිතට නැගෙයි. ඔබ ඇඟිලි තවමත් හිස්ය. ඔබ විවාහ ගිවිස ගත් කෙනා වසර පහකට පසුත් පැමිණ නැත. ඔබ දෑසේ ඇත්තේ එක පැණයකි. "අපි ඉක්මන් වූයේ මන්ද" යන්නයි. එනමුත් මේ වසන්තය අපට හිමි නැත. ඒ වසන්තය නැවත කිසිදාක නො එයි. මල පුරා ගත් අතු රිකිලි නැවත අප දෙස බලා හිනැහෙන්නේ නැත. ඔබෙත් මගේත් දිවි මග ඒ සොඳුරු මොහොතක අතිපිහිත විය. නමුත් දැන් අප අපෙන් තව තවත් ඈතට ගමන් කරමින් සිටින්නෙමු.නැවත අප හමු නොවීමටද ඉඩ ඇත. එනිසා හිතවතිය ඒ වසන්ත නෑවිදින් සිටියා නම් හොඳ යයි නොසිතන්නේද?

Saturday, June 5, 2010

වළාකුළු පෙළින් බසින්න




වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ

දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැමදින
සදා හිනැහෙමි ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ
නුඹට ආදරේ

ගායනය - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා
පද පෙළ - වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය - නවරත්න ගමගේ

ඇය සිටිනුයේ ඈතකය. ගතින් හෝ සිතින් නොවේ. ඇයත් ඔහුත් අතර මහත් වූ ප්‍රාකාරයක් සෑදී ඇත. ඇය අහස් තලයේ සරනා සඳ කුමරියකි. ඔහු දේවදාර තුරු පාමුල හිඳගෙන සිටින සාමාන්‍ය මිනිසෙකි. එනමුත් පෙමට එය ප්‍රශ්නයක් නොවේ. මේ අදිසි ප්‍රාකාරය හරහා පැන ඒමට ඔහු ඇරයුම් කර සිටියි. වළාකුළු පෙළින් බැස ඔහුගේ හද නැමති මල් ගැබේ නිදන්නට ඇරයුම් කරයි. ඇය දේවතාවියක් විලසින් (ඉහළ සිට) මදහස නගන්නීය. ඔහු දේවදාර තුරු පාමුල තනිව ඉඳ ඇයගේ ආදරය දිනන අන්දම ගැන තැවෙන්නේය. ඔහු තමන්ට ආදරය කරන බව සඳ කුමරිය දනි. ඔහු තුන් යම පවසනෙන එයයි. නමුත් ඇයට අහසින් (තම සමාජ තත්වයෙන්) බැස පොළොවට (වඩාත් පහත් සමාජ තත්වයකට) ඒමටද නොහැකිය. එබැවින් තමන් ඉන්න තැනම සිට ඔහුට ආදරය කරන්නට ඈ උත්සාහ දරන්නීය. එකී අහස් කුසේ රැඳෙමින්ම ඔහු වෙනුවෙන් දිලෙන්නට ඇය ඉටා ගනී.

මෙහි ගායකයන් යුවල අප එතරම් අසා පුරුදු ගායකයන් නොවේ. ඩබ්ලිව්.ඩී. ආරියසිංහ යන නම කී පමණින් සිතට එන්නේ "කාඩ්බෝඩ් අමරදේව" යන යෙදුමයි. කලෙකට ඉහටහ් මුදල් උදෙසා ඔහු හා ප්‍රේමසිරි කේමදාස එක්ව අමරදේවයන්ගේ ගීත නැවත් ගැයීම තුළ ඔහු කළු පැල්ලමක් එක් කර ගත්තෙකි. එනමුත් ආරියසිංහ යනු ප්‍රතිභා පූර්ණ ගායකයෙකි. ඒ බවට ඇති යාව ජීව උදාහරණය නම් මේ ගීතයයි. ඔහුගේ හඬ භාවිතය කොතරම් අලංකාරද යන්න මේ ගීතය අසන විට සිතට නැඟේ. රශ්මි සංගීතා යනු සංගීත දැනුමෙන් පරිපූර්ණ කථිකාචාර්යවරියකි. ඇය ගයා ඇත්තේ ගීත ස්වල්පයකි. නමුත් ඇය ගායිකාවක් ඉස්තරම් දක්ෂතා ඇත්තියකි.

යසනාත් ජයවර්ධනපුර වෛද්‍ය පීඨයෙන් බිහිවූ තරුවකි. ඔහු විසින් රචිත ගීත අර්ථ ශබ්ද දෙරසයෙන්ම යුක්තය. ඔහුත් ගයාමන් දිසානායකත්, ප්‍රභා කුමාරත් හැර ගීත රචකයන් ලෙස කටයුතු කරන වෛද්‍යවරුන් නොමැති වීම නම් වෛද්‍යවරයෙක් ලෙස මට නම් ලජ්ජාවට කරුණකි. ජ'පුර සරසවියේ දේවදාර යාය මේ ගීතයට එක්වී තිබීම ද ගීතයේ සම්භවය ගැන ඉඟියක් සපයයි. නවරත්න ගමගේ කවදත් අළුත් ශබ්දයන් තම ගීත වලට එක් කර ගන්න අයෙකි. මේ ගීතයට බටහිර වාද්‍ය භාණ්ඩ ඔහු එක් කර ගන්නේ එහි ශබ්ද රසය මනාව ප්‍රයෝජනයට ගනිමිනි.

ඉහිහාසය විසින් උරුම කල ඒ කලු පැල්ලම මකා ගැන්මට ආරියසිංහයන්ට හොඳටම හැකියාව තිබේ. මෙවන් ගීත දුසිමක් ඔහුට ගයන්නට හැකිනම්, ඔහු ගේ නම් ශ්‍රාවක සවන් පත් අතර සදා රැඳෙනු ඇත. එය එසේම වේවා යන්න අපේ පැතුමයි.