Sunday, January 19, 2014

Will you be there

ගී රස විනිසෙන් සිංහල ගීත පමණක් ඉදිරිපත් කරන්නේ මන්දැයි පාඨකයෝ මගෙන් ප්‍රශ්න කර සිටිති. සංගීතය විශ්ව භාෂාවක් බැවින්, විදේශීය ගීත රස විඳීම්ද ගී රස විනිසට ඇතුලත් විය යුතු බවට ඔවුහු තර්ක කරන්නෝය. එවන් පාඨකයන්ගේ අභිරුචීන්ට අනුගත වීමක් ලෙස විදේශීය ගීත වල රස විනිසක් ඉදිරිපත් කිරීමට ටීරණය කළෙමි.

මේ ගීතය ගයන්නේ මයිකල් ජැක්සන් අන්ද්‍රේ සහ සැන්ඩ්‍රා ක්‍රවුච් විසිනි. ගීතයේ වචන සහ සංගීතය මයිකල් ජැක්සන්ගෙනි. 1993දී තිරගත වූ "ෆ්‍රී විලී" (Free Willy) නම් චිත්‍රපටය උදෙසා ගීතය සම්පාදනය කෙරුණකි. "ෆ්‍රී විලී" යනු "විලී" නම් ඔර්කාවකු (තල්මස් ගණයේ සතෙකි) වටා ගෙතෙන කතාවකි. ඔර්කාවන් ඩොල්ෆින්ටත් වඩා බුද්ධිමත් ලෙස විද්‍යාඥයන් විසින් සලකනු ලබන අතර මේ සතුන් සංදර්ශන වල බෙහෙවින් භාවිත වේ. මීටර ද
යක් තරම් දිගට වැඩෙන, ප්‍රචන්ඩ ලෙස මසුන් දඩයම් කරන ඔර්කා, කුඩා දරුවකු ලෙස මිනිසුන් සමග පණිවුඩ හුවමාරු කර ගනීම අරුමයක් නොවේ. ෆ්‍රී විලී චිත්‍රපටය ගොඩ නැගෙන්නේ එවන් ඔර්කාවකු නැවත සාගරයට මුදා හැරීමේ කතාවක් පසුබිම් කරගෙනයි.



Hold me
like the river jordan
and i will then say to thee
you are my friend

carry me
like you are my brother
love me like a mother
will you be there?

Weary
tell me will you hold me
when wrong, will you scold me
when lost will you find me?

But they told me
a man should be faithful
and walk when not able
and fight till the end
but i'm only human

everyone's taking control of me
seems that the world's
got a role for me
i'm so confused
will you show to me
you'll be there for me
and care enough to bear me

(hold me)
(lay your head lowly)
(softly then boldly)
(carry me there)

(lead me)
(love me and feed me)
(kiss me and free me)
(i will feel blessed)

(carry)
(carry me boldly)
(lift me up slowly)
(carry me there)

(save me)
(heal me and bathe me)
(softly you say to me)
(i will be there)

(lift me)
(lift me up slowly)
(carry me boldly)
(show me you care)

(hold me)
(lay your head lowly)
(softly then boldly)
(carry me there)

(need me)
(love me and feed me)
(kiss me and free me)
(i will feel blessed)


in our darkest hour
in my deepest despair
will you still care?
Will you be there?
In my trials
and my tribulations
through our doubts
and frustrations
in my violence
in my turbulence
through my fear
and my confessions
in my anguish and my pain
through my joy and my sorrow
in the promise of another tomorrow
i'll never let you part
for you're always in my heart.

Vocals: Michael Jakson, Andrae Crouch, Sandra Crouch
Music and Lyrics: Michael Jackson
Film: Free Willy
Album: Dangerous
 

සරුසාර ජොර්දාන් නදිය මෙන් මා රඳවා ගන්න. ඔබ මගේ මිතු කියා එවිට මා කියන්නම්. මා ඔසොවා ගන්න, සහෝදර පෙමින්, මවක මෙන් ආදරය කරන්න, ඔබ ඉන්නවාද? වෙහෙසුන විටෙක ඔබ මා සනසන්න. වැරදි කල විටෙක ඔබ මට බණිනවාද? අතරමං වූ දා මග සොයා දෙනවාද? මිනිසෙකු භක්තිවන්ත විය යුතු බව ඔවුහු කියන්නෝය. වැටුණු විටෙක නැවත නැගිට ඇවිදිය යුතු බවත්, අවසන් මොහොත දවා සටන් කල යුතු බවත් ඔවුහු කියන්නෝය. එනමුත්, මා මිනිසෙක්ම පමණකි! හැමදෙනම මා පාලනය කරන්නට උත්සාහ කරති. මා කළයුතු චරිතය කුමක්දැයි මා වෙනුවෙන් ලියා තබති. මේ අවුල්ජාලය මැද, ඉවසා සිටින්නට, මග පෙන්වන්නට හා මා වෙනුවෙන් සිටින්නට ඔබ ඉන්නවාද? මා අල්ලාගෙන, හිස සෙමෙන් පහත් කොට, සෙමෙන්, නමුත් ශක්තිමත්ව, මා එහි ගෙන යන්න. මග පෙන්වන්න, මගේ ආදරයට ආදරයත්, ආහාරත් ලබා දෙන්න, සිප ගෙන මා නිදහස් කරන්න, මා ආශීර්වාද ලද්දකු වේවි. මගේ තුවාල සුව කර, මා (ආදරයෙන්) නහවන්න. රහසින් මගේ කණට කොඳුරා, ඔබ මා වෙනුවෙන් සිටින බව පවසා මා රැක ගන්න.

අපේ අඳුරුම පැයේදී, මගේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුණු කලෙක, ඔබ මා ගැන සැලකිලිමතද? ඔබ මා වෙනුවෙන් සිටිනවාද? මා විනිශ්චයට ලක්වෙද්දී, අති මහත් කරදර ගොන්නකට මැදිව සිටිද්දී, අපගේ සැකයන් සහ කලකිරීම් මැදින්, මගේ ප්‍රචණ්ඩත්වයේදී සහ කැළඹීම්වලදී, මගේ බිය හා පාපොච්චාරනයන් මැදින්, මගේ වේදනාවන්, දුක සහ සතුට මැද, තවත් හෙට දවසක් පතමින්, ඔබට කිසි දිනෙක වෙන්ව යන්නට නොදෙන්නෙමි. ඒ මන්ද, ඔබ මගේ හදවතේ සදා රැඳී සිටින නිසාවෙනි.

මේ ගීතයේ රූප පෙළ නරඹන විට ඔබට පෙනෙන්නේ විලී නම් ඔර්කාවාගේ වෙනව යාමයි. නමුත් ගීතයේ අරුත එයට සහමුලින්ම වෙනස් එකකි. ඔක්සිමෝරොනයක් (oxymoron) ලෙස හඳුන්වන්නේ මෙවන් සංසිද්ධීන්ය. එම ප්‍රතිවිරෝධතාව චිත්‍රපටයට එක් කරන්නේ ගැඹුරු අර්ථයකි. විලී නම් ඔර්කාවා අයිති කුඩා දරුවා ගේත්, විලීගේත් සිත් තුල සටහන් වන වෙන්ව යාමේ දුක මේ ගීතය තුලින් මනාව ප්‍රකට කරවයි.

චිත්‍රපටයෙන් ස්වායත්තව ගත් කල්හි මේ ගීතය බහු අරුත් සපයන්නක් වෙයි. එහි පද පෙළ දෙස බැලීමෙන්ම එයින් හට ගන්නා වෙනත් අරුත් ලබා ගත හැක. විටෙක එය ආදරවන්තයන් දෙදෙනකු අතර සිදු වන හුවමාරුවක් ලෙස හැඟේ. විටෙක මිනිසක දෙවියන් වහන්සේගෙන් කරන ඉල්ලිමක් ලෙසත් හැඟේ. ගීතයේ සොඳුරු බව වැඩි වන්නේ එවිටයි. මයිකල් ජැක්සන් ගේ සැඟවුණු සාහිත්‍යමය කුසලතා පුදුම එළවන සුළු බව නම් නොකියාම බැරිය.

මේ ගීතය 1990 මුල් යුගයේ අති මහත් ජනප්‍රියත්වයට පත්වූ එකකි. ලොව හොඳම චිත්‍රපට ගීත අතරට මේ ගීතය නිතැතින්ම එක්වන්නකි.

Sunday, December 8, 2013

සුලං හමයි

සුලං හමයි - ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුලී

බිම වැතිරෙයි - යාය නිදයි
අතු හැකිළෙයි -  පිණි බේරෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී

ලොව සසලයි - නුඹ නිසලයි
ලොව නිසලයි - නුඹ හිනැහෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී


ගායනය: මහාචාර්ය සනත් නන්දසිරි
සංගීතය: ගුණදාස කපුගේ

නුඹ මල් කැකුලකි. නුඹ දන්නේ හඬන්නට පමණි. කුසගින්නටත්, වේදනාවටත්, සතුටටත්, බියටත් නුඹ දන්නේ හඬන්නටම පමණි. එනමුත් නුඹ හඬන්නේ මගේ දුකට යයි වරෙක සිතේ. අවට ලෝකයේ මඳ සුලං හමද්දී ලොව නැලැවී යයඉ. එවිට නුඹ සුවෙන් නිදයි. නමුත් සැම විටම ලොව සුව දායක නැත. බිම වැතිරෙන තරම් දරුණු පහරවලට ලක්වන්නට සිදුවෙයි. එය දැක දැක පාත්‍රවර්ගයා නිදනුද පෙනේ. එවිට සීත පින්නෙන් බොඳවී යන කඳුලු සඟවා අතු හකුලා ගනිමි. සසල ලොවේ නුඹ විටෙක නිසලය. ලොව නිසල වන විට නුඹ මා හා හිනැහෙයි. එනමුත් මගේ දුකට නුඹ නොහඬන්න. මගේ දුක මමම සඟවාගෙන විඳගන්නම්. 

බාගෙන අහන්න

Sunday, December 1, 2013

පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ -  මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්


ගායනය: නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්


මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!

අසූව දශකයේ නන්දා මාලිනිය විසින් ගැයූ සිත් පාරවන වියෝ ගීතයකි පෙර දා මහ රෑ. අසම්මත පෙම්වතුන්ගේ වෙන්ව යාම හද පාරවන අන්දමින් ගෙන හැර දක්වන පද වැලක් මේ ගීතය සතුය. නමුත් මේ ගීය සාධනීය වන්නේ එහි වූ සංගීතය නිසාවෙනි. මිනිස් කටහඬ සංගීතය ලෙස යොදා ගත් ශ්‍රී ලාංකික සංගීතඥයින් අතර මුල් තැන් ගන්නේ කේමදාස හා ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. ස්ටැන්ලි පීරිස් මේ මග අනුව යමින් මිනිස් කටහඬ සංගීතය ලෙස මෙහිදී යොදා ගන්නේ විප්‍රයෝගයේ භාවයන් තීව්‍ර ලෙසම දැක්වීමටය. මා සිතන අන්දමට මේ ගීතය ස්ටැන්ලිගේ අනගිතම ගීතයද වෙයි.

Wednesday, December 19, 2012

වැටෙන් එහා

වැටෙන් එහා මල් පඳුරේ
නුඹ පිපී වැනේ අත නුදුරේ
මිලින වුණත් ගණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන් 
නොවසා ඇති දොර කවුළු තුළින්
සුවඳ දිදී පිපුණත් මිදුලේ 
මල් නෙලන්න නම් තහනම්

තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්

ගායනය: දයාන් විතාරණ

ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ලිංගික නිදහස නම් පදය තහනම් වචනයකට කිට්ටු එකකි. එය ගැන සමහරු කතා නොකරති. කථා කරන්නන් ඒ කරනුයේ අවර ගණයේ අපට නොගැලපෙන නිදහසක් ගැන හෝ මුදල් පිළිබඳ හුදු ගිජු කමින් හෝ පමණි. එබඳු පරිසරයක ගීතය සඳහා ද මෙම නියමය එලෙසින් ම වලංගු වේ. ඉතාම කලාතුරෙකින් කථා කෙරෙන මෙබඳු මාතෘකාවක් ගැන ලියැවුණු විරල ගණයේ ගීතයකි මෙය.

සුවඳ දෙන මලක් නෙළා ගන්නා ලෙස ඇරැයුම් කරයි. මෙහි දී අප දන්නා සංස්කෘතිය හා මිනිස් හැගීම් අතර ගැටීමක් ඇති වේ. මෙම ගැටුම සියුම් ලෙස නිරූපණයට ගීත රචකයා සමත්ව ඇත. සුවඳ දැනුනත්, දොර නොවසා තිබුණත්, උණු කඳුලෙන් දෙකොපුල් තෙමුණත් මල අන් සතු නිසා නෙළා ගත නොහැක. රුවැති මල ඇත්තේ අත නුදුරේමය. එය නෙළා ගැනීමද ඉතා පහසු කාර්යයකි. එලෙස නෙළා නොගන්නා මල්, (ආදරයේ හෝ රාගයේ) හිරු එළිය නොදැක ජීවන ගණ අඳුරේ මිලින වී යයි. දයාන් විතාරණ වැනි නවක ගායකයකු මෙබඳු ගීතයක් ගායනයට නිර්භය වීම ගැන ඔහුට අප උපහාරය පිදිය යුතුය. මෙම ගීතය ගයා වසර 10 කට කිට්ටු කාලයක් ගත වුවත් මෙබඳු ගීතයක් ඇති බව වත් හෝ අප ප්‍රබුද්ධ විචාරකයන් අතින් නො කියවෙන්නේ ඔවුන් මෙම මාතෘකාව ගැන දක්වන බිය නිසා දැයි සිතා ගත නොහැක.

Wednesday, November 28, 2012

නීල අහසේ සැඳෑ වලා


නීල අහසේ සැඳෑ වලා
ඇදෙනා යාමේ සිහිලේ ළංවී
ගංගා තීරේ ඉඳිමූ තනිවී
ආදර සෙනෙහේ සුවේ මවා
සීත සෙවනේ මුවා වෙලා

ආදර දෑසේ සිනා සලා
බැඳිලා වෙළිලා මාගේ දෑතේ
කොඳුරා රහසින් කියනා වදනින්
මා සිත සැනහී නිවේ නිවේ

මා වෙත යාවී සෙනේ පුදා
ඉඳිනූ සැමදා මාගේ ලෝකේ
ළඳුනේ ඔබගේ සුවඳේ රැඳිලා
මා සිත සැනහී නිවේ නිවේ


ස්වර රටා සහ ගායනය: කීර්ති පැස්කුවෙල්

විටෙක එය දෙගොඩතලා ගලා යයි. විටෙක එය පැද්දෙමින් ලතාවට ගමන් ගනී. විටෙක සිහින්ව පැහැදිලි දියෙන් යුක්ත වෙයි. අති දුෂ්කර වූ කළුතර දිස්ත්‍රික්කයේ මැදි පෙදෙසෙහි හමු වූ දෙවනුවට මා සිත් දිනා ගත් දේ කළු ගඟයි. කළු ගඟ අඟුරුවාතොටදී කුඩා කඳු ගැට දෙකක් අතරින් ගලා යද්දී ඒ මතින් අඩ කවාකාර පාලමක් තැනෙයි. මේ පාලම මත සිට සොඳුරු සවස් යාමයන්දී, මට හමුවූ ඉතාමත්ම සිත්ගත් ඇය සමග තනි වී සිටියෙමි. නීල අහසේ සැඳා වලා බටහිර දෙසට ඇදී යයි. ඒ අතරින් බැස යන හිරුගේ මන්දාලෝකය තවමත් දිසෙයි. සමණල අඩවියෙන් පටන්ගෙන කළුතර බෝ සමිඳු වඳිනු වස් ඇදී යන කළු ගඟෙහි සැඩ දිය දහර අපට පහළින් පෙනෙයි. පාලම් ඇන්දට වාරු දී මම ඇය දෙස බලා සිටියෙමි. දින පතා නිදි මරා ගෙන යෙදෙන සේවයෙන් ඉඩ ලද විගස මේ මනෝහර දසුනෙහි මඳක් ඈ සමග තනිවන්නට මගේ සිත ඉමහත් සේ ප්‍රිය කරයි. නිදි මැරීමෙන් සහ රිය පැදවීමෙන් ඔද්දල් වූ සිත ඇගේ සින්හවකින්, කොඳුරා කියන වදනකින් නිවී සැනසී යයි. ඇගේ සුවඳ දැනෙන විට නොසන්සුන් සිත සන්සුන් වේ. ඈ තවමත් මා වෙත යාවී ඇත. ඇය මගේ ලෝකයේ සැමදා සිටිනු ඇත. කීර්ති පැස්කුවෙල් ගේ මේ ගීතය ඇසෙන සැම වාරයක්ම පාසා ඒ සුන්දර සිහිනය නැවත නැවත සිහියට නැගෙයි. මේ ගීතය ඒ තරම්ම ප්‍රේමණීය එකකි.


අහන්න

Friday, August 17, 2012

හමුවුණා අප වෙන්වුණා

හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්
හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණා
හදවතේ සුමිහිරි හැඟුම්
දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලා
පෙරදා එන සුසුම් වි‍යැකුණා
හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්

ජීවිතේ මල් මාවතේ
එකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකා
සෙනෙහසේ පැතුමන් පිරූ
පිවිතුරු දෙ හදේ අමරණීය වේ
ආදරේ . . .

අප ලොවේ වසන්තයේ
පිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවා
ආදරේ සොමනස සොයා
පිය නගනා මග ආසිරි ගී
වැයුනාවදෙන් . . .


පද, හඬ හා ගායනය: ෂර්ලි වෛජයන්ත


ෂර්ලි වනාහි අපූරු කලා කරුවෙකි. හෙතෙම ගීත තමන් විසින් ම රචනා කර ගත්තෙකි. ඒවාට පද'රුත් සපයා සංගීතය මුසු කලේත් ඔහුම ය. අවසන ඒවා ගැයුවේද ඔහුම ය. ෂර්ලිට තිබුනේ තාරුණ්‍යය වශී කරන කට හඬකි. අතිශය හැඟීම් බර, එනමුත් සංවර කට හඬකි.  එනිසාම 80 දශකය මැද භාගය වන විට ෂර්ලි ඉතා ජනප්‍රිය ගායකයකු බවට පත්ව සිටියේය. 

නමුත් ෂර්ලි මා දකින්නේ වෙනත්ම කෝණයකිනි. කී බෝඩ්, ඉලෙක්ට්‍රික් ගිටාර් සහ ඩ්‍රම් සෙට් ශාස්ත්‍රීය ගීතය වෙතට ගෙන ආවේ ෂර්ලි බව මගේ හැඟීමයි. ෂර්ලි අත්‍යවශ්‍යයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාෂය ලැබූ ගායකයෙකි. නමුත් රැල්ලට එරෙහිව යමින් 70 දශකයේ අග භාගයේ ඔහු කරළියට පැමිණියේ මේ නව හඬ විප්ලවය සමගමය. "මට එපා ඔබේ හසරැල්" ලෙස මුලින්ම කරළියට ආ ඒ ගීතය පවා පටන් ගන්නේ විද්‍යුත් ගිටාර ඉන්ට්‍රෝ (intro) එකකිනි. 80 දශකය මුල් භාගය වන විට ෂර්ලි දහසක් දුෂ්කරතා මැද සිය පළමු කැසට් පටය එළි දක්වයි. මෑතක් වනතුරුම මා අත තිබූ ඒ කවරය (රතු හා කළු මිශ්‍ර වර්ණයෙන් මුද්‍රිත) දැන් නම් විනාශ වී ගොසිනි. නමුත් සිතාර, බට නළා, සහ තබ්ලාවට හුරුවූ ශාස්ත්‍රීය ගී රසිකයා ඉන් නව මානයකට කැඳවාගෙන ගියේ ෂර්ලි බව මගේ හැඟීමයි. 

ෂර්ලි ඉමහත් දුෂ්කරතා මැද කරන ලද කැසට් පටයක් ගැන මම කලින් සඳහන් කළෙමි. ඒ කැසට් පටයේ අඩංගු වූයේ පුදුම එළවන සුළු මිහිරි ගීත සමූහයකි. "මට එපා ඔබේ හසරැල් බිඳක්", "ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ", "ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්" යන ගීත  එකල තරුණ සිත් පැහර ගත්තේ නිරායාසයෙන්ම ය. නමුත් මා ඔබ වෙත මේ ගෙන එන ගීතය, එම ගීත සමුච්චයේ අඩංගු වැඩිපුර කතා බහට ලක් නොවන ගීතයකි. මෙහි පද මාලාව සරල ය. හමු වීම, වෙන්වීම, හිනැහීම අතර ඇඳෙන අමරණීය යයි සිතෙන් බොලඳ ආදරයක් ගැන මේ ගීතයෙන් කියැවේ. ආදරේ අනුහසින් හමුවී වෙන්වූවත්, ඔවුහු නැවත හමුවන්නාහ. ජීවිතේ මල්මාවතේ පිය නගමින් ප්‍රේම ගීතිකා ගයමින්, වසන්තයෙන් ඇරඹි මේ ගමන නිම වන්නේ ආසිරි ගී මැද අතිනත ගැනීමෙනි. නමුත් මේ ගීතය අතිශය වැදගත් එකක් වන්නේ මෙහි ඇති සුවිශේෂී ආකෘතිය නිසාමය. 

මුලින් ම මෙය සිවු පදය ගීතයට නොනගන ලද ගීයකි. එහි මුලින් ම (chorus) කියන කොටස හා අන්තරා මාත්‍රා ගණන අනුව වෙනස් බව පැහදිලි වනු ඇත. එමෙන් ම අන්තරා කොටස් ගැයෙන්නේත් අසමමිතික පද පේළි අන්දමිනි. එනිසා පද රචනය අතින් මෙහි වෙනසක් දකින්නට ඇත. නමුත් ෂර්ලි මෙහි දී රැඩිකල් වන්නේ සංගීතයෙනි. විද්‍යුත් ගිටාර, ඕගන, ඩ්‍රම් සෙට් වලින්ම පමණක් මේ ගීතය ඇසේ. එසේම ගිටාර් ඩිස්ටෝර්ෂන් (guitar distortion) යන ශබ්ද ප්‍රයෝගයද මෙහිදී මනාව අසන්නට ලැබේ. මේ ප්‍රයෝග අද නම් ඉතාමත් සුලබ හා නොවැදගත් ඒවා ලෙස පෙනී ගිය හැකි නමුත්, මා මේ සඳන් කරන්නේ 1982, එනම් මීට වසර 30කට පෙර, ගිටාර් ඩිස්ටෝර්ෂන් ශාස්ත්‍රීය සංගීතය තුල යෙදීම ගැනයි! 

එකල සිටි කැලිප්සො සංගීත කණ්ඩායම් තුලින් අප මේ භාණ්ඩ වැයෙනු අසා තිබූ මුත්, ඒවායේ නියම ශාස්ත්‍රීය භාවිතය අපට පෙන්වා දුන්නේ ෂර්ලිය. සමහර විට කේමදාස මාස්ටර් මීට කලින් මේ භාණ්ඩ යොදා ගත් නමුත්, සම්පූර්ණයෙන් බටහිරකරය වූ මෙවන් ගීත කේමදාස මාස්ටර් අතින් නිමැවුනේ නැත. ෂර්ලි ගේ සමකාලීන කීර්ති පැස්කුවල් වැනි ශිල්පීන් ද මේ භණ්ඩ යොදා ගත් මුත් ඔවුන්ට ෂර්ලි මෙන් රාගධාරී සංගීතයේ පරිචයක් තිබූයේ නැත. එනිසා ෂර්ලි වෛජයන්තයන් 80 භාගයේ මුලදී කල සොඳුරු, එනමුත් නිහඬ විප්ලවය, දශක තුනකට හෝ පසුව අප යම්තමින් හෝ අගය කළ යුතු වෙමු.

Thursday, March 22, 2012

සරා සඳේ සිනා සේලේ

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා

සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ සිනා වාසනා


සිනමා පයට: මිහිදුම් සිහින
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්. ජෝතිපාල
රංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකා



ජෝතිපාලයන් ගැන කිහිප වරෙක අපි කතා කොට ඇත්තෙමු. ඔහුගේ හඬ පෞරුෂය, ස්වර පරාසය සහ ගැඹුරු හඬ අපට හුරු පුරුදු ඒවාය. එනමුත් ජෝතිපාලයන්ගේ කූටප්‍රාප්තිය යම් ගීතයක් සමග වේද ඒ මේ ගීතය බව නොවළහා පැවසිය හැකිය. ජෝතිපාල ගැයූ අනුකාරක තනු වලින් මිදී, ස්වතන්ත්‍ර තනුවකට ගී ගයද්දී ඔහුගේ ප්‍රතිභාව ගැන හොඳ අදහසක් මේ ගීතය ලබා දේ. මේ ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැත. අසා බලන්න.