කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා
හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින් . . .
සිටු මැදුරු යස ඉසුරු
පිරුණු ලොවකට - මහරු
කදෝපැණියෙක්මි මා
ඇඳිරියේ
කෙලෙස නම් එලිය දෙම්
කුමරියේ . . .
කතරකට පිණිබිඳකි
කුමුදකට පුරසඳකි
මතකයෙන් ගිලිහිලා
කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි
මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකළු කල මැන
මහද සෙනෙහසින් . . .
ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනී
සංගීතය: රෝහණ වීරසිංහ
ටෙලිය: අවසඳ (1990)
ඇය ධනවත් සිටු පවුලක උගත් තරුණියකි. සිය දෙමාපියන්ට නොපිහිටි රැඩිකල් ගති ඈ සතු විය. එනිසාම ඇගේ සරසවි පෙම්වතා ඇගේ දෙමාපියන් අණින් "අතුරුදහන්" කෙරවෙයි. ඉන් පසු ඇය ගෙවන්නේ උමතු තත්වයකට ආසන්න දිවියකි. ඔහු උපාධිධරයෙකි. විරැකියාවෙන් ඇති වූ ජීවන බර උසුලා ගත නොහී හෙතෙම රියැදුරකු ලෙස රැකියාව කරන්නේය. ඔහු ඇයගේ රියැදුරා වෙයි. මොවුන් අතර ඇති වන සංකීර්ණ සම්බන්ධතාවයත්, ඇගේ දෙමාපියන් එය අසම්මත පෙමකැයි වටහා ගැන්මත්, 1990 මුල් භාගයේ පුංචි තිරයට එක් වූ අවසඳ ටෙලි වෘතාන්තයට පාදක විය. දැන් ඇති මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය මෙන් නොව එකල තිරගත නාට්‍ය ඉතාම තියුණු තේමාවන් රැගත් ඒවා විය. හිරු දැවී ගීතය මේ නාට්‍යයේ තේමා ගීතය වන අතර, මුළු නාට්‍යයම එම ගීතය තුලට කැට කර ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ඇගෙ ලොව අඳුරු වී ඇත. ඒ හිරු දැවී ගොස් සඳු ගිලී යාමෙන් නොනැවතී අසංඛ්‍ය වූ තරු ද නිවී යාමෙනි. හිරු වැසී නැත, ඇත්තේ දැවී විනාශ වීය. සඳු ද වැසී නැත. එය යළි ගොඩ නො එන්නට ගිලී ගොස් ය. එ මගින් මේ ඇගේ සිතෙහි ඇති වන පාළුව පිලිබඳ වූ දැඩි භාවයන් ප්‍රකාශ කෙරෙයි. ඔහු නැතිව යාමෙන් විමානය අඳුරු වී ඇය මග නොමග හඳුනා ගැනීමට නොහැකී වල්මත්ව ඇත. ඇය වල්මත්ව ඇත්තේ පුහු ආටෝපය නම් වනයේය. ඔහුට හිරු සඳු වී ඇයගේ එළිය කරන්නට ඇය ඇරැයුම් කරයි. එ නමුත්, ඔහු සිය තත්වය මනාව තේරුම් ගත් අයෙකි. මේ යස ඉසුරෙන් පිරුණු ලොවට ඔහුගේ එළිය කදෝපැනියකු හා සමානය. එනිසා ලොවට එළිය දෙන්නට කෙරෙන ඇගේ ඇරැයුම් නිසරු එකක් බව ඔහු පවසයි. ඇයට අනුව ඔහු කුමුදකට පුරසඳක් මෙන්ය. එනම් ඔහු දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි. නමුත් ඔහුට අනුව ඔහු කතරකට පිණි බිඳුවකි. කතර තෙත් කිරීමට එය නොසෑහෙන අතර නිරුදක කතර හා ගැටුණු සැනින් පිණි බිඳුව මිය යයි. එනිසා හිරු දැවෙන, සඳු ගිලෙන ඇගේ ලොව එළිය කිරීම ඔහුට කළ නොහැක්කකි.
මේ ගීය පුරාම දිවෙන භාවයන් එහි වචන මගින් මනාවට විස්තර වේ. පංති ගැටුම හා ආදරය ගැන මනා කියැවීමක් මේ ගීතයෙන් ලැබේ. එසේම ශ්‍රී ලාංකික යුග ගීත ඉතිහාසයේ උච්චස්ථානය ලෙස මේ ගීතය සැලකීමටද මම පසුබට නොවෙමි. තනුව හා සංගීතය වඩාත් හොඳ වූ ගීත තිබිය හැකිය. එනමුත් භාවයන් දැනවීම අතින් හා පද රචනය අතින් නම් කිසිදු යුග ගීයකට මේ හා ලං වීමටවත් නොහැකි වන තරමටම මේ ගීය සාරවත්ය. ගීය පුරාම අසන්නාට දැනෙන්නේ මෙවන් පුවතකට පිළිණ දෙන අයෙකු වීමට සිදු වීමේ කාළකණ්නි කමේ හැඟීමයි. කිසිදා විසඳිය නොහැකි ප්‍රහේළිකාවක අසන්නා මෙ ගීතය විසින් අතරමං කර දැමෙන අතර, එමගින් තැනෙන භාවමය අගාධය තුල තමා ඇත්තේ කොතනැදැයි සෙවීමට අසන්නාව මේ ගීතය තුලින් දිරි ගන්වයි. අසා බලන්න, මෙය හෙළ යුග ගීයේ සිළුමිණයි.