Tuesday, January 12, 2010

සැන්දෑ කළුවර

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි


කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ


පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවේ



පද වැල - සුනිල් සරත් පෙරේරා
ගායනය හා සංගීතය - විශාරද සනත් නන්දසිරි

 

මෙයට වසර තිහ හතළිහකට පමණ පෙර මෙරට සාමාන්‍ය පවුලක දැකිය හැකි සංසිද්ධියක් විය. ස්වාමි පුරුෂයා උදෑසන රක්ෂාවට පිටත්ව යාමත්, බිරිඳ ගෙදර දොර කටයුතු බලා ගැනිමත් සාමාන්‍යයෙන් සිදු විය. අද මෙන් නොව, ප්‍රවාහන දුෂ්කරතා තිබු එකල කොලඹ යන අයකු සවස හතරට වැඩ ඇරීමෙන් පසුව නිවසට පැමිණෙන විට බොහෝ වේලා ගත විය. මෙලෙස වෙහෙස වී පැමිණෙන පුරුෂයකුගේ සිත සනහන දසුන වන්නේ තම බිරිඳයි. මේ දෛනික ජීවන චක්‍රය මනරම් පද වැලකට නැගීමෙන් මෙම ගීය බිහි වී ඇත.


සැන්දෑ කළුවර ගැලුවත් කවියාගේ නිවස ආලොකවත් වී ඇත. ඒ තම බිරිඳගේ සෙනෙහසේ ප්‍රභාවෙනි. එසේම පරිසරය ආලෝකවත් වී ඇත්තේ ඇගේ සිනාවෙන මුහුණ නම් සඳ මඬලෙනි. ජීවිතයේ දුක හා වෙහෙස නිමවී යන්නේ ඒ දකින විටය. අතු පැලක් වුවත් එහි කුරුළු කැදැල්ලක උණුහුම ඇත. ජීවිතයේ පීඩාවන්ගෙන් අසරණ වූ දින එක්ව හඬන්නට, සැනසුම සුඟක් ගෙන දෙන්නට සිටින්නේත් ඈ මය. මේ සුවය තාවකාලික බව කවියා දනී. එය පවතින්නේ පසුදා උදැසන තෙක් පමණි. ලෝකය හා එක්ව ජීවන තරඟය දිව යන්නට උදෑසනම ඔහු නිවසින් පිටවිය යුතුය. කවියා තම බිරිඳගෙන් ඈත්ව සිටින මොහොතේදි ඇගේ අගය වැඩිමනත් ඔහුට දැනේ. ඇගේ හදට තවත් ළං වී ආදරය කරන්නේ එබැවිනි.



වත්මන් සමාජය තුල තම සැමියා සේවයට ගොස් ආපසු එන තුරු බලා සිටිනා බිරින්ඳෑ වරු ගණන එන්න එන්නටම අඩු වේ. විෂේශයෙන්ම නගර බද ඉහළ මධ්‍යම පංතික දරුවන් හැදී වැඩෙන්නේ දෙමාපියන් දෙදෙනාම රැකියා කරන පරිසරයකය. උස් මහත් වී වැඩෙන ඔවුන් විවා පත්වූ කලද මෙබඳු සම්බන්ධතාවයක් ගැන අත්දැකීමක් ඔවුනට නැත. එබැවින් එවැනි අත් දැකීමක සුන්දරත්වය විඳ ගැනීම ඔවුනට අපහසු විය හැකිය. ඇත්තෙනම ඉතාම කාර්ය බහුල රැකියාවක යෙදී සිටින මම මේ අත් දැකීමේ සුන්දරත්වය විඳ ගැනීමට නොහැකි වූවෙක්මි. මා බිරිඳ ද ඉතා කාර්ය බහුල නිර්වින්දන වෛද්‍යවරියකි. ඉතා කලාතුරකින් ලැබෙන විවේකයකදී අප අප ගැනම කතා කරමින් සිටියදි අහම්බයෙන් මේ ගීතය අසන්නට ලැබිණ. අපෙන් ඈත් කරන ලද ඒ සුන්දර අත්දැකීම ගන මඳ හෝ වැටහීමක් මා සිතට ඇතුලු වූයේ එවිටය. මා බිරිඳ ද කියා සිටියේ බටහිර අනුකාරක මේ ජීවන තරඟය මඳකට හෝ නවතින විටෙක, මා රැකියාවට ගොස් එනතුරු ඈ හට බලා සිටින්නට ඇත්නම් කොපමණ සුන්දරද යන්නයි. එබැවින් මේ ගීතය මගේ පුද්ගලික අත්දැකීමක් ලෙස මා හට අහිමි සුන්දරත්වය විඳ ගැන්මට මා උත්සුක කළ ගීයක් විය.


මේ ගීතයේ හඬ හා නද විශාරද සනත් නන්දසිරි මහතාගෙනි. ඔහුගේ ගඹුරු හඬ පෞරුෂය ගීතය පුරාම මනාවට දිස් වේ. පද රචනය සුනිල් සරත් පෙරේරා මහතා ගේය. හර බර වචන යොදා කරන ගීත රචනා හා සරල සුගම වචන යොදා කරන නිර්මාණ යන විශාල පරාසයක ගීත රචනා කල ඔහුගේ රචනා කෞෂල්‍යය මේ පද වැල පුරම හොඳින් ප්‍රදර්ශනය වේ.

බාගෙන අහන්න

Monday, December 21, 2009

සඳ ඇවිත් මගේ මිදුලට

සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එලිය අරන් සිහිලැල්
ඔබ ඉන්නව නම් මා ලඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ලඟ
කොඳ මලින් සදා හසරැල්

දුර ඈත නිම්න කඳු වැටි
සුදු මීදුමින් වැසේවි
ලඟ දෙනෝ දහක් සිටියත්
මට තනිකමක් දැනේවි

රෑ නින්ද බිඳී ඇහැරී
පැණි කුරුල්ලන් හඬාවී
මගෙ සිහින හොරෙන් අරගෙන
මේ සඳත් යන්න යාවි



ආදරණීය ගීත අප සිත තුල සැමදා රැඳි පවතී. අමරසිරී පීරිස් ශිල්පියා විසින් ගයන්නා වූ මේ පද වැල එවන් සුභාවිත ආදර ගීතයක මහිම ගෙන හැර පායි. තම පෙම්වතිය ලඟින් සිටීම ඔහුට මහත් සතුටකි. ඇය නිලුපුල් ඇසි පිය නොසලා කුමුදු (කොඳ ) මල් වැනි වු දසන් දෙපළ පා සිනාසෙද්දී සඳ මඬල සීත සඳ කැළුම් විහිදුවමින් ගෙමිදුලට පැමිණි අයුරක් ඔහුට දැනේ. දුර පිහිටි කඳු වැටි මීදුමින් වැසෙන්නාක් මෙන්, ඇය නැති විටෙක ඔහු ගේ සිත තනි වේ. දෙනෝදාහක් දෙනා වට පිට සිටීයත් එය එසේම බව කවියා කියයි. එමෙන්ම ඇය නැතිවිට මිහිරි හඳින් ගී ගයන පැනි කුරුල්ලන් නින්දෙන් අවදි වී හඬනු ඇත. එවිට සඳ බැස යන්නේ කවියාගේ සිහිනයන් ඔහුටම හොරෙන් ක්ෂය කරමිනි. "හොරෙන් අරගෙන" යන යෙදුමෙන් කියැවෙන්නේ ඒ ඔහුගේ දැනුමක් නොමැතිව සිදු වන දෙයක් හෙයිනි.

මා බොහෝවිට තෝරා ගන්නේ සංයමයක් සහිත වූ පද රච්නාය. ඒ සංයමය තුලින් වුවද වින්දනීය වූ චිත්ත රූපයන් හා භාවයන් මැවීමට හැකියාව ඇති බව පෙන්වා දීමටය. මේ ගීතයත් එයින් වෙනස් නොවේ. අමරසිරි පීරිස් ශූරීන්ට මෙවැනී ගීත බොහොමයක් ගායනා කිරීමට හැකි වේවායි අපි පතමු. මන්ද මුදලට තම ආත්මයන් යට නොකර උඩුගං බලා පිහිනන කලා කරුවන් කිහිප දෙනාට ඔහුද අයත් බැවිනි.


Thursday, November 12, 2009

හේමන්තයේ දී

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් දැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ ගෙවී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් නුරා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී

ආදරය ඇති වනුයේ යොවුන් වියේදීය. එය දිවියේ නව දලු මල් පුබුදන, සිහින් සරින් කුරුළු ගීත ඇසෙන, හිරිපොද වැස්සෙන් තෙමෙන ආදරණීය වසන්තයක් ලෙස ඇතැම්හු හඳුන්වති. මේ නවතාවය තුලට අලුත්ම අත්දැකීමක් ලෙසට ආදරය එකතු වෙයි.

නමුත් සියළු දෙනාටම දිවියේ වසන්තයේදී ආදරය හමු වන්නේ නැත. පාසල අවසන් කර, උසස් ඉගෙනුම ලබා ගත් පසු ආදරය හඳුනා ගන්නා අයද වෙති. මේ වනාහි දිවියේ ශක්තිමත් පදනමක් සහිතව සිටින කාලයකි. ගිම්හානයේ මුද්‍රාව තැවරුණු ආදරය ඔවුන් හඳුනා ගන්නේය.

නමුත් දිවියේ මැදි වයසේදී ආදරය හඳුනන අතළොස්සක්ද වෙති. වසත් කළ නිදා සිටි යෞවනයේ කොවුලන් ගී ගයන්නේ හා මුකුලිතව ගිය මල් කැකුළු අවදි වන්නේත් දිවියේ හේමන්තයේදිය. මැදි වයසේ කාන්තාවක ආදරය හඳුනා ගැනීමෙ ප්‍රහර්ෂය සිය ආදර වන්තයාට ප්‍රකාශ කරන අයුරු මේ ගීයෙන් කියැවේ.

හඬා වැටීමෙන් (ප්‍රතික්ෂේප වීම නිසා විය හැකිය) විඩා වී, අයාලේ යන වළාවක් මෙන් ද, පින්න සහිත රැයෙක නොපෙනී ගිය සඳක් මෙන් ද, ජිවිතයේ අතරමංව සිටි ඇයට මං සොයන නෙත ලබා දෙනුයේ ඇගේ පෙම්වතාය. එසේම ගැරහුම් මැද ජීවිතයෙන් පළා ගිය ඇයට නැවත මඟ සොයා ගැන්ම නෙත් සදන්නේ ද ඔහුමය.

1983 පමණ කාලයේ මතභේදාත්මක ගීත සමුච්චයක් රැගත් "හේමන්තයේ" ගීත ඇල්බමයට මෙමෙ ගීය ඇතුලත් විය. මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනා කෞශල්‍යය මොනවට විදහා පාන ජීවමාන සාධකයකි මේ ගීය. එච්. එම්. ජයවර්ධනයන් අති විශාල වාදක කණ්ඩායමක් යොදවා මේ ගීත සමුච්චයට සංගීතය සැපයීය. ගීය අසන විට තාල තරංග, ගිටර, සිතාර ආදී තත් භාණ්ඩ එක වර්ගයකින් එකකට වඩා වැයෙනු ඇසිය හැකිය. මේ ගීතය අප සංගීත ඉතිහාසයේ වැදගත් තැනක් සනිටුහන් කරන්නේ ආදරයේ අමුතුම මානයන් සොයා ගිය අපූරු අත්දැකීමක් හෙයිනි

අසන්න
.

Tuesday, November 3, 2009

සිනිඳු සුදු මුතු



සිනිඳු සුදු මුතු තලාවේ

පිපෙන පෙණ පිඬු සිනා සේ


සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවී යේ


ගැඹුරු සත් සමුදුර පතුල බිඳ

ඇඹරි ඇඹරී වියරු දළ රළ

තුමුළ මහ මෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ

දෙරණ සම්පත ගිල ගනී


සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: ආචර්ය අමරදේව

පද වැල: මහගමසේකර

සිනමා පටය: සත් සමුදුර



ඒ 1967 වසරයි. සිංහල සංගීතය අනුකාරකත්වයෙන් මුදවා ගන්නට තැත් කල යුගයකි එය. සුනිල් ශාන්තයන් විසින් අරඹන ලද එම මහඟු කාර්යය මඳකට මෙකල නැවතී තිබිණි. නමුත් අමරදේවයන්ගේ නැගී ඒම සිදු වූයේ මෙකලය. භාරතීය මහා සම්ප්‍රදාය ගුරු කරගෙන ඒ අනුකූලව දේශීය නාද රටා මෙහෙයවීම ඒ වන විට අමරදේවයන් අරඹා තිබුනි. මෙකල ප්‍රේමසිරි කේමදාස සිටියේ තම සංගීත දිවියේ බිළිදු අවධියේය. සිම්ෆනි, කැන්ටාටා සහ ඔපෙරා යන වචන අසා නුපුරුදු ලාංකිකයාගේ දෙසවනට ප්‍රථම වරට මෙකී ශාස්ත්‍රීය සංගීතය ගෙන ආවේ සෝමදාස ඇල්විටිගලයන්ය. සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර සිනමා පටයට අඩංගු වූ මේ ගීතය සිංහල සංගීතයේ නොමැකෙන සළකුණක් තැබූවකි. පසු කලෙක ආ කේමදාසයන් මෙන් නොව ඇල්විටිගලයන්ගේ සංගීතය මුළුමණින්ම මහා සම්ප්‍රදායයේ එකකි. නමුත් එතුල සිටිමින් ඔහු නිමැවූ මේ අපූරු ගීතය වනාහි මිනිත්තු හතකට කිට්ටුව දිවෙන "සාගරික සිම්ෆනියකි". චණ්ඩ කුණාටුවක් සෙමින් සෙමින් නිශ්චලත්වයෙන් පිරි මුහුදින් ඇරඹි දෙරණ දෙදරවා ගොඩට ගලන ආකාරය මෙයින් සංගීතවත් වේ. කුඩා රළ, මහා රළ, අතර මැද නිශ්චලතාවය, හා සිවුරුහන් නගන කුණාටු සුළඟේ හඬ සියල්ලම මෙහි සංගීතය තුල අඩංගු වේ. අමරදේවයන් ඔපෙරා ගායකයකු වී නම්, ඔහු ලෝක පූජිත වන්නට තිබූ බව මේ ගීයට සවන් දෙන විට නිතැතින්ම වැටහේ. ඔහු අප රටේ උපන්නේ අප පිනටය. නමුත් ඔහු භාරතයේ උපන්නේ නම්, ආසියාවේ මහා ගන්ධර්වයා බවට ඔහු පත් වනු නො අනුමානය.

අපට අපේ දෑ අගය නැත. මේ ගීතයත් එසේමය. සාගරය පදනම් කරගෙන මෙබඳු නිර්මාණ ජගත් තලයේ පවා බිහි වී ඇත්තේ අල්ප වශයෙනි. නමුත් අප අද මේ ගීතය හෝ එහි නිර්මාපකයා ගැන කතා කරන්නේ නැත.ඒ වෙනුවට අප උඩ දමන්නේ වෙනත් නිර්මාණයන්ය. මේ නිර්මාණයට කිට්ටු කල හැකි නිර්මාණ ලංකාවේ ඇත්තේ අතළොස්සකි. ඒ කේමදාසයන් "බඹරු ඇවිත්" සිනමා පටයට නිමැවූ "උදුම්බරා" ගීතයත් කසුන් කල්හාරගේ "වර්ණ" ගීතයත් පමණි. වරක් අන්තර්ජාලය හරහා විදේශීය සංගීත ලෝලීන් පිරිසකට මම මේ ගීතය ඉදිරිපත් කළෙමි. ඉන් සමහරු ශ්‍රි ලංකාව ගැන අසා තිබුනේ ත්‍රස්තවාදය නිසා පමණකි. නමුත් සියලු දෙනාගේම වාගේ මතය වූයේ මේ ගීතය වසර 42ක් පුරා සඟවා තැබුවේ කොහිද යන්නයි. අපට අගය නොවූවත් සංගීතයේ විශ්ව සාධාරණීය රසය විදේශිකයන් විඳ ගත්තේ එලෙසය.මෙහි පද මාලාව විස්තර කරන්නේද කුණාටුවකි. නමුත් කුණාටුව ඇති වන්නේ මුහුදේද, සිත තුලද යන්න පද වැල දෙස බලන විට නොවැටහේ. ඇත්ටෙන්ම මෙමෙ ගීතයට පෙර වූ දර්ශන පෙල බලන්නේ නම්, ගීතය තුල කියැවෙන්නේද ඉන් කුමක්ද යන්න බහු අරුත් අනුව සිතා ගත හැකිය. මහගමසේකරයන් පද නිර්මාණයේ පෙන්වූ විශිෂ්ටතාවය මෙමගින් මොනවට පැහැදිලි වේ.

වසර 42ක් පුරා ශ්‍රී ලංකික ගීතයේ මුදුන් මල්කඩ වූයේ මේ ගීතය බව මම තරයේ අදහමි. තවත් සිය වසකටත් එය එසේම වනු ඇති බව මා විශ්වාසයයි.


අසන්න


බාගෙන අහන්න (@ ElaKiri.com)

. . .

Monday, October 5, 2009

කොහේදෝ පිපෙන්නේ

කොහේදෝ පිපෙන්නේ ඇගේ නයන නිලූපුල්
කොහේදෝ වැයෙන්නේ ඇගේ ගීත රසු දැල්

ඇගේ දෙනුවන නිසා ම්ලාන වූ නිලූපුලේ
යළි පිපී හිනැහියන් ඒ නයන දැන් නොවේ

ඇගේ පිය රැවු අසා පලා ගිය කොවුලනේ
යළි පැමිණ ගී ගයන් ඈ නැවත මෙහි නොඒ

පද රචනය හා ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - ඩන්ස්ටන් සිල්වා

ආදරය කරන්නන් ට සුන්දරතම දෙය කුමක් ද? ඒ තම පෙම්වතිය යි. ස්වභාව ධර්මයේ ඇති අලංකාරවත් ම දෙයටත් වඩා ඇය අලංකාරය. ඒ අලංකාරය මන් මත් කරවන සුළුය. ඒ අලංකාරය නැතිව ගියහොත්? ඈ ඇස් දැක්මෙන් මහනෙල් මිලින වී ගියේ ය. ඈ පා හඬ පමණක් ඇසුමෙන් ම (ගී හඬ ඇසුමට පෙර) කොවුලෝ ගීත ගැයීම නවත්වා ලජ්ජාවෙන් පළා ගියහ. නමුත් දැන් මහනෙල් මලට නැවත පිබිදිය හැකිය. කොවුලන්ට නැවත ගී ගැයිය හැකිය. මන් ද ඈ නුවන් නිලූපුල් මා සමීපයේ නොපිපෙන බැවිනි. ඇගේ පිය සටහන් මා සමීපයේ නැවත නො නැගෙන බැවිනි. ඈ ගී නැවත නො ඇසෙන බැවිනි. ගීත සාහිත්‍යය තුළ සංවර පද හැසිරවීම යනු කුමක් දැයි මොනවට විදහා දක්වන ගීතයකි මෙය. සෝමතිලක ජයමහ ශූරීන් ගායකයකු ලෙස පෙන්වූ පරිචය අපි දැක ඇත්තෙමු. ඔහු ගේය පද රචකයකු ලෙස දක්වන ප්‍රතිභාව මේ ගීයෙන් මනාව පෙනේ. ඩන්ස්ටන් සිල්වා යනු නිතර කතා නොකෙරෙන සංගීතඥයෙකි. එනමුත් ගීත සියයකට කට වැඩි ප්‍රමාණයකට ඔහු සංගීතය සපයා ඇත. වර්තමාන එෆ්. එම්. රැල්ල තුල මේ ගීත නොඇසී යන තත්වයට පත්වී ඇත්තේ රටේ ප්‍රබුද්ධ ශ්‍රාවකයාගේ අවාසනාවට විය යුතුය.

අසන්න


.

Sunday, October 4, 2009

ඇතින්නියේ

සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා රැඳි විලංගුවේ

වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි

පුතුන් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොම් දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි

ගායනය - අතුල අධිකාරි

ඔවුහු දිළිඳුකම නිසා ම, දරුවන් නිසා ම, පවුල නිසා ම මෙය කළහ. නොරටට ගොස් දහඩිය හෙළා නොවිඳිනා දුක් විඳින ඔවුහු රටට විදේශ විනිමය රැගෙන එන්නාහ. ඒ අතර අරාබින් විසින් තලා පෙලා හා මරා දමන ගණන ද සුළු පටු නොවේ. නමුත් මෙම වෑයමේ දී නිතර කතා බහට ලක් නොවන තවත් පිරිසක් පීඩාවට පත් වෙති. ඒ ඔවුන් ගේ දරුවන් ය. රට සල්ලි වෙනුවෙන් දරු සෙනෙහස හැර යාම ගැන මෙම ගීතයෙන් සාධනීය ලෙස ප්‍රශ්න කරයි.

සොඬින් නෙළුම ගෙය යන සුදු ඇතින්න අද බතික් ඇඳුමෙන් සැරසී රනින් හැඩ වී ඇත (හවෙනදා ඇයට එබඳු ඇඳුම් තිබුණේ නැත). බතික් ඇඳුමේ අලංකාරත්වයෙන් මත්වී සිටින ඇය ට ඇගේ පා බැඳි සංස්කෘතියේ විලංගු අමතකව ඇත. ඇයට මිනිසුන් වඳිනුයේ ඇය අම්මා (දරුවන් හදන්නියක්) නිසා මිස ඇතින්න (දරුවන් වදන්නියක්) නිසා නොවේ. දරු පැටවුන් ගේ සෙනෙහස ‍මවු නැති කුටුම්බයක ගාල් කරන මැද පෙරදිග මවු වරුන්ගේ භූමිකාව මෙමගින් නිර්දය විවේචනයකට ලක් කරයි. මෙම ගීතය අතුල අධිකාරි ශිල්පියා විසින් ගයන ලද්දකි. ලාංකික ගීත රචකයකු විසින් (රත්න ශ්‍රී විජේසිංහ) සිරස එෆ්. එම්. නාලිකාවේ අළුත් සිංදු වැඩසටහනට මෙය ඉදිරිපත් කරන ලදී. ප්‍රබුද්ධ විචාරකයන් කබ්බකු ලෙස හංවඩු ගැසූ යුගයක, ඇතින්නියේ, සිලිලාර සිත නයනා, මුතු ලතා හා දන්සැල් වල පෝලිම් වල ආදී ගීත ගයමින් ඔවුන්ට දැවැන්ත අතුල් පහරක් එල්ල කිරීමට ද අතුල අධිකාරි අමතක නොකළේ ය. පසු කලෙක ගීත ගැයීමෙන් මඳක් බැහැරව සිටියත් අතුල විසින් ලාංකික ගී කෙතට තිළිණ කල මේ ගීතය ඔහුට යා හැකිව තිබූ දුර ගැන මනා වැටහීමක් ලබා දෙයි.

අසන්න

.

Saturday, October 3, 2009

නාලිනී එන්න

නාලිනී එන්න - මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගි නෙතග - රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන - මල් මධු සමේ සුවඳ
සිත්සේ විඳින්න - නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ - හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ - නුඹට සිහිලක් නොවී
නිල් වන රොදේ නිලෙන - මල් මදහසින් දුලන
මල් වැල් පැණි - පුරන යෞවන වියේ

නුඹ දිරි දැවී තැවෙන - සිත සියුමැලී නොවන
දුටු තැන අනේ කවර - මිහිරක් ලොවේ
පිය රැවු සලා - සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතේ පෙමින් - වතළ සෞමිය මගේ


ගී පද: සමන්ත හේරත්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ


පෙම් ගීත බොහෝ වෙයි. ඒවා බොහොමයක් වාගාලාපයන් පමණකි. කලාතුරකින් අසන්නට ලැබෙන ඇතැම් පෙම් ගීත සිත මිහිරෙන් පුරවා ලයි. "නාලිනී එන්න" එබඳු එක ගීතයකි. සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගයන්නාවූ මේ ගීතය රෝහණ වීරසිංහයන්ගේ සංගීත සරින් හැඩවී ඇත. කවදත් අමුතු ආරෙක ගීත ලියන සමන්ත හේරත් මෙහි ගේය පද රචකයා වෙයි.

මල් පිපීදැයි බලන්නට නාලිනී එන ලෙස රචකයා කියා සිටියි. ඒ කුමකටද යත්, තරුණවියේ වූ ආදරයේ සුවය සිත් සේ විඳ ගන්නටය. මේ පෙම්වතුන් කිරෙන් කා තෙලෙන් අත සෝදන ගණයේ ධනවතුන් නොවේ. ඔවුන්ගේ ජීවිතය හැල්මේ ගලා යන ගංගාවකට සම කෙරේ. එය දුක් දොම්නසින් ගහණය. නාලිනී සියුමැලි යුවතියක්ද නොවේ. ඇය දුක් දරා ඇත්තියකි. එබැවින් ඈ දැකීම හැර අනෙක් සැපයක්ද රචකයාට නැත. නමුත් ඔවුන්ගේ ආදරය වන ගැබ නිල්වන් තුරු වදුලේ නිල්ලේ දිලෙන් පැණි පිරී ගිය මල් වැලකි. ලෝකය නම මහ විසල් විජිතයේ කුරුලු පියාපත් සැලෙන් රාවයද රචකයාට ඇයමය. මේ ගීතය අසන ඕනෑම කෙනෙකුට පළමුව දැනෙනුයේ එහි වූ මධුර තනුවයි. එය සාමන්‍යයෙන් අසන්නට නොලැබෙන ආකාරයේ තනුවකි. ඉන් පසු විෂය වන කාරණය ගායකය ගීතය ගැයීමෙ පෙන්වන දක්ෂතාවයයි. ගීතය නැවතත් අසන්න. ආදරයේ ප්‍රහර්ෂය ඔබට දැනී යා යුතුමය.

බා ගෙන අහන්න