Thursday, April 8, 2010

ආදර චාරිකා

ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා

 
ජීවන මාළිගා දේදුනු මාළිගා
ආදර සිතකින් හදනා
ජීවන මාළිගා

 
කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා

අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා

 
සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකා

තුෂාර කඳුලු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලා


ඔවුන් සිටියේ දුරස් වීය. පෙම කියා ගන්නට බැරිව ලැතවෙමින් සිටි යුගයක්ද විය. නමුත් ගමන් මග වසා ගත් අඳුරු පටල තුනී වී ඔවුන් එකිනෙකාට පෙනේ. එවන් උණුසුම් සුමධුර හමුවක් අමිතා වැදිසිංහ හ ඒ.එල්.බි. කන්දෙපොල විසින් මෙලෙස ගීයකට මුසු කෙරේ.

ජීවන චාරිකාව ආදර චාරිකාවකි. එසේම දේදුණු මාළිගාවකි. සිතුවිලි එකිනෙක පැටලි (අත් වැල් බැඳ) ආදර සිතකින් ඒවා තැනේ. (මුහුණේ) කෝමල රේඛාවන් අඩ නින්දෙන් පිබිදි වඩාත් මතුව පෙනේ. ඒ මිලාන සිත් අහසේ දේදුන්නක් ලෙසටය. මල් හී සර සමග ඇමිණී අසෝක මල් පෙත්තක් පාව එයි. එහි ලියැවී ඇති රහස කිමද? මෙතෙක් කල් පසන් නෙත් කැලුම් දුටුවේ සුමයුර වූ සිහින ලොව තුල සරන විට පමණි. මෙතෙක් කල් සිත් සිර කර තැබූ එක් ටැම් මැදුර මතින් දේ දුන්නක් පාය සැල කරනුයේ එම නෙත් සැබෑ ලොවදීත් දැකිය හැකි බවයි. 

ඒ.එල්.බී. කන්දෙපොල අප වැඩිපුර අසා පුරුදු ගායකයකු නොවේ. ලක් හඩ ගුවන් විදුලියේ සේවය කරන මා මිතුරකුගෙන් දැන ගැනීමට හැකි වූයේ ඔහු ගයා ඇත්තේ ගීත 12කටත් අඩු ගණනක් බවය. එනමුත් මෙම ගීතය තුල ප්‍රකාශිත ආදරයේ ප්‍රහර්ෂය මනාව දැක්වීමට සමත් වෙයි. "ආදර චාරිකා" ගායනා වූයේ මීට වසර 30 කට පමණ පෙර දීය. අමිතා වැදිසිංහ ඒවන විටත් රසික හද දිනා ගත් ගායිකාවක් ව සිටියාය. ඇයද අපට අමතක නොවන ගී රැසක් තිළිණ කල ගායිකාවකි. නැවතත් ගීතය අසන්න. ආදර චාරිකාවක ඔබටද ගමන් කරණු හැකි වන්නේය.


Thursday, April 1, 2010

රජ මැදුරක


රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිලි
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ


පද: ලුෂන් බුලත්සිංහල
තාල: එච්. එම්. ජයවර්ධන
නද: මාලිනී බුලත්සිංහල


දිළිඳු කම බොහෝ දෙනෙකුට බලපාන්නා වූ ප්‍රශ්නයකි. නමුත් සමහරුන් එයින් ඉතාම තදින් බැට කති. දිළිඳු කමේ පතුලේම ගිලී සිටින්නෝ මවු වරු සහ දරුවෝය. එවන් මවක හා දරුවකු පිළිබඳ වූ සංවේදී ගීතයක් ඉහත ශිල්පී ත්‍රිත්වය බිහි කර ඇත.

මේ දරුවා ඉතා කීකරු දරුවෙකි. කුඩා වුවද නැති බැරිකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇත. මග දිගට ඇති රස කැවිලි, සෙල්ලම් බඩු වලට ආශාව ඇතත් ඒ දෙස වත් නොබලමින් ඔහු පාසල් යන්නේ එහෙයිනි. ඔහු අළුත් ඇඳුම් ඉල්වමින් තම මවට කරදර කරන්නේ නැත. වැරහැලි ඇඳගෙනම සිටී. ගෙදර ලිප මෙළවෙන්නේ ඉඳහිටය. එහි පිසින්නේත් සුණු සහල් කැඳය. නමුත් එය රස කරමින් මේ දරුවා පානය කරයි. ඉන් නොනැවති, ඔහු නොදුටු සැප සම්පත් නොපතා හීනෙන් පවා සිනාසෙයි. තම පුතු ඉපිද ඇත්තේ අතු පැලකය. නිකම්ම පොල් අතු පැලක නොව සුළඟට ගසා ගෙන යන පොල් අතු සහිත, හිරිකඩ ගසන,  අබලන් පොල් අතු පැලකය. ඔහු රජ මැදුරක ඉපිද සිටියා නම් ඔහු රජ වන්නට පවා හැකිවනුයේ ඔහු දිරිය දරුවකු නිසාය. එවන් දරුවකුට මීට වඩා සැප සම්පත් නොදීමට හැකි වීම ගැන මව සොවින් තැවේ. හීනෙන් සිනා නොවී මව හඬවන්නට කියන්නේ එබැවිනි.

වඩාත් සියුම්ව බැලූ කල්හි මේ ගීයේ ඇතැම් වචන වලින් එහි අරුත් කුළු ගැන්වෙන අන්දම මනාව දැකිය හැකිය. රස කැවිලි "සිල්ලර" ය. "පුංචි පැටික්කන්" මග දිගට ඒවා ඉල්ලමින් හඬයි. නමුත් ඉන් කුස පිරෙන්නේ නැත. මේ දරුවා සමාජයේ පුහු ආටෝපයන් කෙරෙන් ඉවත බලා යන්නෙකි. රජකමට ඔහු සුදුසු වන්නේ එබැවිනි. "ඉඳහිට මොළවන" ලිප දක්වන්නේ ඔවුන් කෑම වේලක් ලබන්නේ ඉඳහිට බවයි. වේලක් ලැබූවත් ඒ මිලෙන් අඩු කැඩුණු (සුණු) සහල් පමණකි. එයද බතක් පිස ගැන්මට තරම් නොවේ. එනිසා කැඳ සාදා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. මේ පද කිහිපය මගින් මේ දරුවා මුහුණ පාන දරිද්‍ර බවේ තීව්‍රතාව මනා ලෙස දක්වා සිටී. එනමුත් එවන් වූ අහරක් පවා දිව බොජුනක් ලෙස මේ දරුවා සලකයි. ඔහු පාසල් යාමටද කිසි විටෙක මැලි නොවේ. මෙයින් මේ දරුවාගේ දිරිය මනාව පෙන්වා සිටී. කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි. 

මුළු ගීය පුරාම පියා ගැන වදනකදු සඳහන් නොවේ. අනෙක් කරුණුද සමග එකව ගත් කල්හි, මේ දරුවා අවජාතක දරුවකුදෝ යන සැකය සහෘදයා තුල ජනිත කරවයි. ලූෂන් බුලත්සිංහල යනු කවදත් විප්ලවීය පද ගීයට ගෙන ආ රචකයෙකි. එනමුත් ඔහු විසින් මෙවන් භාව පූර්ණ ගී ලියැවී ඇත්නම්, ඒ ස්වල්පයක් විය යුතුය. අකාලයේ අප අතරින් වියෝ වූ මාලිනී බුලත්සිංහල ශිල්පිණිය මේ ගීයේ අරුත කුළු ගැන්වෙන භාවයන්  සමගින් මේ ගීය ගයන්නීය. ඇගේ අකල් වියෝව අප සංගීත කෙතට එල්ල වූ මහ පහරක්ම වන්නේය.


Tuesday, March 23, 2010

ඔබ වෙනුවෙන් මා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුනාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

 

සිහළ ගීයේ රන්වන් යුගය වූයේ 70 දශකය බව කලින් සඳහන් කර ඇත්තෙමි. අමරදේව, වික්ටර්, සුනිල්, නන්දා මාලිනි වැනි ශාස්ත්‍රීය ගායකයන් ශ්‍රාවක සවන් පත් සන්හාලන කලෙකදී , සරල ගී ගායකයකු ලෙස ඔහු ගුවන් විදුලිය හරහා දොරට වැඩියේය. ශ්‍රී ලංකාවට කැසට් පට සංස්කෘතිය මුලින්ම හඳුන්වා දුන්නේත් ඔහුය. 70 දශකය විසින් බිහි කරන ලද තවත අපූරු භාව ප්‍රකාශකයකු වූයේ මෙම මිනිසාය. ඒ කවරෙකුත් නොව මිල්ටන් මල්ලවාරච්චිය. විරහ ගීතයන් තුලින් දහස් ගණන් හදවත් ප්‍රකම්පිත කිරීමට ඔහු සමත් වූයේය. මේ ඔහුගේ එම අපූරු හැකියාව දක්වන එක් නිදසුනක් පමණක් වන්නේය. 

ඇය වෙනුවෙන් පෙර දාක ගයන ලද ගී නැවත කිසිදිනෙක ඇය සවනේ නොවැකෙනු ඇත. ඒ ගීයන් සුළඟේ මිලින වී යනු ඇත. සඳ කිරණ පවා, සැඩ හිරු කිරණ (ගත දවන) අයුරින් සිත දවයි.  මඳ පවනෙහි ද සිසිලක් නැත්තේමය. ඇගේ සුවඳ උදය හවා මතකයට නැගේ. ඒ සමග නෙත තෙත් වීමත් සිදු වේ. ඇයගේ (නෙළුමකට සමාන) තොල් පෙති අතරේ රැඳී ඇත්තේ වෙනෙකෙකුගේ නම බැවිනි. එනම් ඇය ඔහුට අහිමි වී ඇති බැවිනි. 

මිල්ටන් ජීවත් වූයේ අප නිවසට මීටර 750 පමණ දුරිනි. ඉඳ හිට ඔහුගේ නිවසට යාමට මටද අවස්තාව ලැබී ඇත. මිල්ටන් නම් මේ අපූරු මිනිසා සජීවීව ගයනු දැකීමට තරම් මම වාසනාවන්ත වීමි. මිල්ටන් ගේ මේ අපූරු විරහ ගී ගැයීමෙ හැකියාව ඔහු ජීවිත්යේ ප්‍රථම ප්‍රේමය පැරදීම නිසා හටගත් එකකැයි ඇතැම් විචාරකයෝ කියති. පන්ති පරතරය නිසා වෙන් කෙරෙනු ඔවුන් ගේ පෙමෙහි අමරණීය මතක සටහන් ලෙස මේ ගීත සැලකේ. ජෝතිපාල ගැයුවේ හින්දි අනුකාරක ගීය. නමුත් මිල්ටන් ගැයුවේ ස්වතන්ත්‍ර තනුය. ලංකාවේ සරල සුගම තනු බිහිවීමට මහත් මෙහෙයක් මිල්ටන් ගෙන් සිදු වූ බව ඔහු ගී දෙස බලන විට පෙනේ. මේ ගීය අසා බලන්න. විරහවෙන් මඩ්නා ලද ඔහු චිත්ත සන්තානයේ වේදනාවන් පද වැල් හරහා කෙතරම් අපූරුවට ඔහු අපට පවසන්නේද?

අසන්න

Sunday, March 21, 2010

කොත්තිලාක්කු පහන


කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියට

රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
ඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නට
අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට

ඉස්සර විදියට මගෙ අයියට සලකන්නට
නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිට
වෙනස් කමක් කරන්න එපා කවදාවත් මට

ගායනය - නිරංජලා සරෝජිනී
 

ජීවිතයේ විවිධ කාලයන්න්හීදී අපට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. පවුලක් තුල ඇති ස්ථානය ඉන් එකකි. කලින් පවුලක් තුල සිටි වැදගත් පුද්ගලයන් කාලානුරූපීව නොවැදගත් බවට පත් විය හැකිය. මේ සනාතන සත්‍යය, මෙම ගීය තුලින් මනාව විස්තර කර දෙයි.

කොත්තිලාක්කු පහන එනම් පොල්තෙල් පහන පැරණිය. එහි එළිය අඩුය. එය වඩාත් නවීන කුප්පි ලාම්පුවෙන් ආදේශනය වී ඇත. මේ අතර තවත් එළිය වැඩි ලාම්පුවක් ගෙනා විට කුප්පි ලාම්පුවද එළිය දෙන උපකරණ වල වැදගත් කමින් අඩු එකක් බවට පත් වේ. පහන උපමා රූපකයක් ලෙස යොදා ගනිමින් රචකයා ගැඹුරු විවරණයක් ජීවිතය ගැන සිදු කරයි.

පොල්තෙල් පහණ දැන් ඇත්තේ පෙට්ටගම යටය. එනම් කිසිම වැදගැම්මකට නැති තැනක එය ත්බා ඇත. තවදුරටත් එයින් ප්‍රයෝජනද නැත. කොත්තිලාක්කු පහන යනු ආච්චී ය. ඇය මිය ගොස් හො ඔත්පලව සිටිනවා විය හැකියි. මෙතරම් කල සාලයට එළිය ලබා දුන්නේ කුප්පි ලාම්පුවයි. එමෙන්ම මෙතෙක් කල් පවුලට එලිය ලබා දුන්නේ මවයි. නමුත් නව ලේලිය (අලුත් ලාම්පුව) විසින් ඇය කුස්සිය වෙත තල්ලු කර ඇත. එමෙන්ම සියළු දෙනා කතා වන්නේත් මේ අළුත් ලාම්පුව ගැන මිස පරණ ලාම්පු ගැන නොවේ. මේ නැගණිය පෙර පරිදි සිය සොයුරා සමග කල් ගෙවීමට නොහැකියාවෙන් දුක් වන්නීය. එමෙන්ම ඇය පවුලෙන් කොන්වී යාදැයි බියද ඇය සමීපයේ පවතියි. කුප්පි ලාම්පු එළියේ මවගේ දෙපසින් සිට කතා අහන්නට, අඩක් ඉතුරු කළ බත් පතේ රස බලන්නට ආදියට දැන් ඇයට ඉඩක් නැත. එතැන දැන් අයියාගේ බිරිඳ විසින් සොරා ගෙන ඇත.

සරල උදාහරණයක් උපමා රූපකයක් ලෙස භාවිත කරමින් සුවිසල් පණිවුඩයක් දෙන මෙවන් ගී අතිශයින්ම අගය කළ යුතු වන්නේය.

Saturday, March 20, 2010

මීන නුවන් යුග

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුනේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන්වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ


අප රට ආර්ථිකව පොහොසත් රටක් නොවේ. දරිද්‍රතාවයෙන් මිරිකී ගිය කල්හි, අන් සරණ නැති කල්හි, දුරු රටවලට ඔව්හු යති. ඉන් සමහරුන් නෑඹුල් යෞවන විය නො ඉක්මවූවෝ වෙති. එසේ දුර රටකට යන තරුණියන් තම ගම රට සිහිවි නෙතු අග කඳුළ නගති. ඔවුන්ගේ පෙම්වත්තු හෝ සැමියෝ එලෙසම ඔවුන් මතක් කරන අතර ඇතැම්හු දුක තුනී කර ගැන්මට මධු විතක සරණ පතති. ඇතැම් විට ඔවුන් බාල වියේ සිට හඳුනන්නෝ වෙති. ඇතැම් විට දුරු කතර ගෙවා පැමිණ හමුවන්නෝ වෙති. නමුත් මේ වෙන්ව යාම තුල ඇගේ දෑස තුලම සැඟවී ඉන්නට පෙම්වතාට සිත්වේ. ඔවුන්ගේ ජීවිත වල අහසෙහි කළු වලා නැග එයි. ඔවුන්ගේ මුදු වදන් අද එකිනෙකාට අසෙනුයේ වයරයන් දිග එන බොඳ වූ හඬක් ලෙසිනි. 
විප්‍රයෝගයේ හැඟීම් කුළු ගන්වන ලෙස ඊට උචිතම හඬකින් වේරලියද්ද ශිල්පියා විසින් ගයනු ලබයි. "කාල වලා නැග එන්නා . ." හා "දැසේ වෙළී . ." යන පද ගායනයේදී ඔහු ඉහල ස්වර පරාස වලට ගමන් ගන්නේ ශෝකී හැඟීම් තිව්‍ර කරමිනි. භාව ප්‍රකාශනය උපරිම ලෙස දැක්විය හැකි මෑත පරපුරේ ගායකයෙක් වන වේරලියද්ද විරල හැකියාවන්ගෙන් පිරිපුන් ගායකයෙකි. ඔහුගේ ගීත සෑහෙන ගණනකට ඔහුම සංගීතය සපයා ඇති අතර එම ගී වල තාලයන්ගේ පරාසය විශ්මය ජනක වේ. වෘත්තීය හා අති විශිෂ්ට ගණයේ උඩරට නැටුම්කරුවකු වන වේරලියද්ද, තම කුඩා කල සිට ප්‍රගුණ කල ජන ගී තාලයන් එකක් වත් ඔහුගේ ගී වලට යොදා නොගන්නා අතර ඔහුගේ ගායන විලාශය පවා එම ලක්ෂණ නොදක්වයි. ඒ වෙනුවට ඔහු යොදා ගන්නේ බටහිර ආරයේ තාලයන්ය. නමුත් ඔහුගේ ගැමි, හා භාවපූර්ණ කටහඬ එම සංගීතය සමග ඔහු මනාව මුසු කරයි. මෙම ගීයද එම ලක්ෂණ මනාව ප්‍රකට කරයි. මෙහි සංගීත භාණ්ඩ මුළුමණින්ම බටහිර ඒවා වේ. නමුත් ඔහු කට හඬ හසුරුවන අයුර තුල අව්‍යාජ ගැමි කමක් ගැබ්වී ඇත.

මෙම ගීය ඔහුගේ අවසාන ගීත එකතුවට අයත් වූවකි. මැත වසර 2 - 3 තුල ඔහු මඳක් නිහඬව සිටිනු දක්නට ලැබිණි. මේ නිහැඬියාව තවත් අති විශිෂ්ට ගී එකතුවක් නිකුත් කිරීමේ පූර්ව සළකුණකැයි අප උදක්ම පතමු.

අහන්න

බා ගෙනම අහන්න

Monday, March 15, 2010

පවන් සුසුම්

පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා


පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ 
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න

අභිෂේක යාමේ උදාවේ


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව
පද -  ධර්මසිරි ගමගේ
සිනමා පටය -  තරංගා


සිංහල ගීතයේ ස්වර්ණමය යුගය එළඹියේ 1970 දශකයේ පමණය. ශාස්ත්‍රීය ගායකයන් මෙන්ම සරල ගී ගයක ගායිකාවන්ද මෙකල ඉහළ දක්ෂ කම් දැක්වූහ. මෙම ගීතය ගයන ලද්දේ එවකට ප්‍රවීණ ගායකයකුව සිටි, එනමුත් වැඩිපුර කතා බහට ලක් නොවන චරිතයක් වූ දේවානන්ද වෛද්‍යසේකර ශිල්පියා ය. කැලිප්සෝ සංගීත ධාරාවේ ගමන් කල ඉන්ද්‍රාණි පෙරේරා ඉන් මදකට ඉන් ඉවතට ගෙන ඇගේ කටහඬේ සුමධුරත්වය සරල ගීයකට එක් කිරීමට අමරදේවයන්ට හැකි වී ඇත.

ඇස කොනින් ගලන හැඟුම්, පවන් රැලි වැදී නැටවෙන දිය රැලි හා ශෘංගාර රාවය හා නින්නාද වෙයි. මීමැසි මුවින් නැගෙන රාවයන්, ලඳුන්ගේ සුසුම් හා එකව ප්‍රසන්න වූ නීල වැව් තීරයේ නාද තරංග නංවයි. පෙම් ගීත වරෂාව,  වැව් තලාවට වැටේ. මනමාලියක් වීමට පැතු පැතුම් සඵලව තිබේ. මල්හාරියන්ගේ පෙම්වතුන් හා තුරුල් ව සිටී. මුව සිප එහි උණුසුම ලැබීමට කාලයද එළඹී ඇත. මන්ද මේ අභිෂේක යාමය බැවිනි. 

මේ ගීතයේ පද ධර්මසිරි ගමගේ ගෙනි. සංගීතය දේවානන්ද වෛද්‍යසේකරයන් සතුය. තරංගා සිනමා පටය වෙනුවෙන් මේ ගීතය නිමැවී ඇත. විවාහයට අවසර ලද හෝ අලුත විවාහ වූ යුවළකගේ උණුසුම් හැඟුම් උණුසුම් අයුරෙන් ගීතය තුලින් කියැවේ. මෙහි තනුව එයටම ගැලපෙන පරිදි ලයාන්විතය. වෛද්‍යසේකරයන් වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර අද ඔහු මහනුවර ප්‍රදේශයේ විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි. ඉන්ද්‍රානි පෙරේරා ශිල්පිණියද දැන් විශ්‍රාම ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. ඇයද පසු ගිය වසර 10 ක් 15 ක් කාලය තුලම කිසිදු නව ගීතයක් හඳුනවා දුන්නේ නැත. නමුත් සිංහල ගීතයේ ස්වර්ණමය යුගයෙන් සිහිවටනයක් ලෙස මේ ගීතය බොහෝ කල් සහෘද සිත් සතන්හි රැඳී පවතිනු ඇත.

Thursday, February 25, 2010

මතු සංසාරේ


මතු සංසාරේ අප දෙදෙනා
හද සන්තානේ අද විඳිනා
දුක සන්තාපේ සංසිඳෙනා
පෙම ප්‍රාර්ථනා කරම්

මතු සංසාරේ අප දෙදෙනා
හද පෙම් තාපෙන් හිත දවනා
මේ වෙන් වීමේ දුක් නිවනා
පෙම ප්‍රාර්ථනා කරම්

බැඳිලා ප්‍රේමේ හද නිම්නේ
කවුදෝ කිසිදා ජයගන්නේ
අප මෙන් කඳුලේ ලතවෙන්නේ
ජය සීනු නාදේ නෑ ඇසී
මේ ප්‍රේමයේ විජිතේ

උදයේ හමුවී හිනැහෙනවා
නොනිදා සයනේ වැලපෙනවා
දෙදෙනා දෙපසේ තනිවෙනවා
කවදාද ප්‍රේමේ ගීතයේ
දුක් වේදනා නැසුනේ

 
ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න

සමහරුන් ආදරය නොලබති. ඔවුහු ආදරයේ අරුම නොදන්නෝය. සමහරු ආදරය ලබති. විවාහ ද වෙති. ඔවුහු වෙන් වීමේ දුක නොදන්නෝය. ආදරයේ අරුම දැන වෙන්වීමේ දුකින් තැවෙන්නෝද වෙති. මේ ගීතය එවැන්නන් උදෙසා ලියවුණු එකකි.

ආදරයට බොහෝ දෙනා අකුල් හෙළිය හැකිය. නමුත් බොහෝ විට ආදර වන්තයෝ ඒ බාධා මැඩ ඉන් ජය  ලබති. එනමුත් සමහර සටන් දිනන්නට බැරි අවස්ථාද වෙයි. මේ එවැනි අවස්ථාවකි. හද නිම්නයන් ප්‍රේමයෙන් බැඳුනත් ඔවුහු කඳුළු සලමින් ලතවෙති. ප්‍රේමයෙන් ජය ගන්නා අය ඇති බව ඇසීමත් ඔවුන්ට අරුමයකි. ජීවිතයේ ජය සීනු නාදය (මංගල සීනු විය හැකිය) ඔවුන්ට ඇසි නැත. උදයේ හමුවී සවසට වෙන්වී, තම දෛවය ගැන ඔවුහු රාත්‍රිය පුරා නිදි නොමැතිව සුසුම් සලන්නෝය. දෙදෙනා තනි වන බව ඔවුන්ටම ඉවෙන් මෙන් දැනේ. මේ පෙම් ගීතයේ දුක් වේදනා නැසෙන්නේ කවදාදැයි ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කර සිටිති. එබැවින් මතු ආත්මයකදී හෝ හද සංතාපය දවන, පෙම් තාපයෙන් සිත තවන මේ පෙම ඉටු කර ගැන්මට ලැබෙන ලෙස ඔවුහු පතති.

මේ ගීතය කුලරත්න ආරියවංශයන්ගේ පන්හිඳින් ලියැවී එච්.එම්. ජයවර්ධනයන්ගේ නාද සිත්තමින් හැඩ වුනකි. ටී.එම්. ජයරත්නයන් විසින් 1980 මුල් භාගයේ ගයන්නට යෙදුනු වෙනස් ආරයේ ගී ගොන්නෙන් එකක් ලෙස මෙය සැලකිය හැකිය. සරල පද, සරල තාලය හා බටහිර වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගනිමින් බටහිර ආරයට මෙම ගීත ගැයී ඇත. එනමුත් එම සරල බව තුලම මේ ගීතය අමුතු මිහිරක් ජනිත කරයි.