Thursday, July 14, 2011

හිරු දැවී

හිරු දැවී සඳු ගිලී
කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා
හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කල මැන
මහද සෙනෙහසින් . . .

සිටු මැදුරු යස ඉසුරු
පිරුණු ලොවකට - මහරු
කදෝපැණියෙක්මි මා
ඇඳිරියේ
කෙලෙස නම් එලිය දෙම්
කුමරියේ . . .

කතරකට පිණිබිඳකි
කුමුදකට පුරසඳකි
මතකයෙන් ගිලිහිලා
කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි
මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකළු කල මැන
මහද සෙනෙහසින් . . .


ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනී
සංගීතය: රෝහණ වීරසිංහ
ටෙලිය: අවසඳ (1990)


ඇය ධනවත් සිටු පවුලක උගත් තරුණියකි. සිය දෙමාපියන්ට නොපිහිටි රැඩිකල් ගති ඈ සතු විය. එනිසාම ඇගේ සරසවි පෙම්වතා ඇගේ දෙමාපියන් අණින් "අතුරුදහන්" කෙරවෙයි. ඉන් පසු ඇය ගෙවන්නේ උමතු තත්වයකට ආසන්න දිවියකි. ඔහු උපාධිධරයෙකි. විරැකියාවෙන් ඇති වූ ජීවන බර උසුලා ගත නොහී හෙතෙම රියැදුරකු ලෙස රැකියාව කරන්නේය. ඔහු ඇයගේ රියැදුරා වෙයි. මොවුන් අතර ඇති වන සංකීර්ණ සම්බන්ධතාවයත්, ඇගේ දෙමාපියන් එය අසම්මත පෙමකැයි වටහා ගැන්මත්, 1990 මුල් භාගයේ පුංචි තිරයට එක් වූ අවසඳ ටෙලි වෘතාන්තයට පාදක විය. දැන් ඇති මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය මෙන් නොව එකල තිරගත නාට්‍ය ඉතාම තියුණු තේමාවන් රැගත් ඒවා විය. හිරු දැවී ගීතය මේ නාට්‍යයේ තේමා ගීතය වන අතර, මුළු නාට්‍යයම එම ගීතය තුලට කැට කර ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. 
ඇගෙ ලොව අඳුරු වී ඇත. ඒ හිරු දැවී ගොස් සඳු ගිලී යාමෙන් නොනැවතී අසංඛ්‍ය වූ තරු ද නිවී යාමෙනි. හිරු වැසී නැත, ඇත්තේ දැවී විනාශ වීය. සඳු ද වැසී නැත. එය යළි ගොඩ නො එන්නට ගිලී ගොස් ය. එ මගින් මේ ඇගේ සිතෙහි ඇති වන පාළුව පිලිබඳ වූ දැඩි භාවයන් ප්‍රකාශ කෙරෙයි. ඔහු නැතිව යාමෙන් විමානය අඳුරු වී ඇය මග නොමග හඳුනා ගැනීමට නොහැකී වල්මත්ව ඇත. ඇය වල්මත්ව ඇත්තේ පුහු ආටෝපය නම් වනයේය. ඔහුට හිරු සඳු වී ඇයගේ එළිය කරන්නට ඇය ඇරැයුම් කරයි. එ නමුත්, ඔහු සිය තත්වය මනාව තේරුම් ගත් අයෙකි. මේ යස ඉසුරෙන් පිරුණු ලොවට ඔහුගේ එළිය කදෝපැනියකු හා සමානය. එනිසා ලොවට එළිය දෙන්නට කෙරෙන ඇගේ ඇරැයුම් නිසරු එකක් බව ඔහු පවසයි. ඇයට අනුව ඔහු කුමුදකට පුරසඳක් මෙන්ය. එනම් ඔහු දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි. නමුත් ඔහුට අනුව ඔහු කතරකට පිණි බිඳුවකි. කතර තෙත් කිරීමට එය නොසෑහෙන අතර නිරුදක කතර හා ගැටුණු සැනින් පිණි බිඳුව මිය යයි. එනිසා හිරු දැවෙන, සඳු ගිලෙන ඇගේ ලොව එළිය කිරීම ඔහුට කළ නොහැක්කකි. 
මේ ගීය පුරාම දිවෙන භාවයන් එහි වචන මගින් මනාවට විස්තර වේ. පංති ගැටුම හා ආදරය ගැන මනා කියැවීමක් මේ ගීතයෙන් ලැබේ. එසේම ශ්‍රී ලාංකික යුග ගීත ඉතිහාසයේ උච්චස්ථානය ලෙස මේ ගීතය සැලකීමටද මම පසුබට නොවෙමි. තනුව හා සංගීතය වඩාත් හොඳ වූ ගීත තිබිය හැකිය. එනමුත් භාවයන් දැනවීම අතින් හා පද රචනය අතින් නම් කිසිදු යුග ගීයකට මේ හා ලං වීමටවත් නොහැකි වන තරමටම මේ ගීය සාරවත්ය. ගීය පුරාම අසන්නාට දැනෙන්නේ මෙවන් පුවතකට පිළිණ දෙන අයෙකු වීමට සිදු වීමේ කාළකණ්නි කමේ හැඟීමයි. කිසිදා විසඳිය නොහැකි ප්‍රහේළිකාවක අසන්නා මෙ ගීතය විසින් අතරමං කර දැමෙන අතර, එමගින් තැනෙන භාවමය අගාධය තුල තමා ඇත්තේ කොතනැදැයි සෙවීමට අසන්නාව මේ ගීතය තුලින් දිරි ගන්වයි. අසා බලන්න, මෙය හෙළ යුග ගීයේ සිළුමිණයි.

Wednesday, March 23, 2011

සුවඳ සලනවා

සුවඳ සලනවා
කටු අකුලක මලක් පිබිදිලා
බමරු බමනවා
සුවඳ වැදී මත්වෙලා

තරු යුවලක් සිනා සලයි
ලඟා වෙන්න බෑ
පියාපත් ඇතත්
ඒ දුර පියාඹන්න බෑ
කිසිවක් මට සිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා

වෙනසක් නැති ආදරයයි
සිතක් සොයන්නේ
කඳුලක් නැති ආදරයයි
ලොවක් පතන්නේ
කිසිවක් මට සිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා


ගායනය: දයාරත්න පෙරේරා

සාමාන්‍ය පෙළ පන්තිය වනාහි නව අත්දැකීම් ලබා ගන්නා කාලයකි. එසේම රැඩිකල් අදහස් මෝදු වන කාලයක්ද වෙයි. සම්භාව්‍ය සංගීතයට කොතරම් ඇලුම් කළත් වේග රිද්මයට හිත ඇදී යන කාලයයි. එසේම ආදරය ගැන නැවුම් හැඟුම් මෝදු වන කාලයයි. ඒ නිසාම නව සංගීතය හා ගායකයන්ගේ ගීත කෙරෙහි සිත යොමු වන කාලයයි. 
අපට ද මෙවන් කාලයක් විය. රාජකීය විදුහලේ මා උගත් පන්තිය කලාගාරයෙකැයි කීම අතිශයෝක්තියක් නොවේ. එතරම් දක්ෂ කලා හැකියාව ඇති පිරිසක් මේ පන්තියේ වූහ. සුපුන්, අස්තික, ඉලීෂ හා සන්තුෂ් අපේ සිටි හොඳම ගායකයෝය. සුපුන් අද භෞතික විද්‍යා පශ්චාත් උපාධිධරයෙක් ලෙස එක්සත් ජනපදයේ වසයි. අස්තික නීතිවේදියෙකි. බරපතල ලෙස රෝගාතුර වී සිටි ඉලීෂ කොහේදැයි නොදනිමි. සන්තුෂ් අද භාතිය සමග එකව ගීත ගයයි. එමෙන්ම වාදකයෝ රාශියක් ද එහි සිටියහ. බණ්ඩාර, මනෝජ්, ගයාන් ඇතුලු බොහෝදෙනෙක් එහි වූහ. මා සිදු කලේ ඩෙස්ක් එක උපයෝගී කරගෙන බෙර ගැසීමය. පන්තියේ නිදහස් කාල ඡේදයක් ලැබූ ගමන් අප සිදු කලේ ගීත ගැයීමය. පන්තියේ ගයන ගීත වලින් බහුතරය මෙවන් වේග රිද්ම සරල ගීත විය. 
එදාත් එවන්ම දිනයකි. උදේ පාන්දරම හැඩ කෙල්ලෙක් දැක් ගෙන ආ විකුම් පුවත අප සැමට හෙළි කලේය. වෙනදා මෙන් නොව විකුම් සිටින්නේ අද අමුතු සන්තෝෂයකින් නිසා, ඇණෙන්නට සින්දුවක් කිව යුතු බව අප කාගේත් අදහස විය. අප පටන් ගත්තේ මේ ගීතයයි. සුපුන් වයලීනයත්, බණ්ඩාර බට නළාවත්, සන්තුෂ් ඕගනයත් වාදනය කළහ. මම බෙර ගැසූ අතර අපේ අනෙක් සොයුරෝ අත්පුඩි තලමින් තාලය ඇල්ලූහ. 
අපේ සින්දුව හදිසියේ නැවතී ගියේ උප විදුහල්පති පන්තියට කඩා වැදීමත් සමගය. "ඕයි, මේක රෝයල් එක, මේක කෝලම් මඩුවක් නෙවෙයි" යනුවෙන් කෑගාගෙන ආ ඔහු බණ්ඩාරගේ බටනලාව ගෙන පොළොවේ ගැසුවේ කෑලි කෑලි යන්නටය. බණ්ඩාර ජීවිතයේ අපමණ කම්කටොලු මැදින් උගත් නොසැලෙන සිසුවෙකි. වලි වලදී ගුටි කන නමුත් ඔහු කිසිදා අඬනු මම නම් දැක නැත්තෙමි. නමුත් ඔහු එතරම් ආදරය කල බටනලාව කැබලි වීයාම නම් ඔහුට කිසිසේත් දරා ගන්නට නොහැකි විය. ඔහු සෙමින් හඬමින් සිටියේ අප සැමට නොපෙනෙන ලෙසය! පසුව අපි ටක් ෂොප් එකට දෙන මුදල සති කීපයක් තිස්සේ ඉහුරු කර අපි බණ්ඩාරට බට නලාවක් මිළදීගෙන දීමු. 
වසර විස්සකට පසුව දයාරත්න පෙරේරාගේ මේ ගීතය අසද්දී මට ක්ෂණයෙන් මතක් වූයේ මේ සිදු වීමයි. දයාරත්න පෙරේරා අප සවණට ආවේ අප සා.පෙළ. සිසුවන්ව සිටි කාලයේදීය. "දිගු නෙත් හසරැල්ලේ", "නොදොඩා මුවින්" වැනි ගීත එකල වෙනසක් සෙවූ අප සිත් වලට ආමන්ත්‍රණය කලේය. "සුවඳ සලනවා" ගීතයත් එසේ අප නව යොවුන් හදවත් ආදරයේ ප්‍රහර්ෂයෙන් පුරවා ලූ ගීයක් වූයේය. මේ ගීයේ ඇහ්තේ ඉතාම සරල පද වැලකි. තරුණියක් දැකීමෙන් සිත මන්මත් වන තරුණයකුගේ අහිංසක සිතිවිලි මේ ගීතයේ ව්‍යංගාර්ථයෙන් සඳන් වේ. කටු අකුලක මලක් පිපී සුවඳ දෙයි. එය අප සිටි පශ්චාත් ජේ.වී.පී. භීෂණ සමයෙන් පසුවද එහි බලපෑම අප සිත් තුලින් පහ නොවීය. එවන් විටෙකදී හැඩ කෙල්ලක් යනු කටු අකුලක මලක් දැකීම වැන්නක්මය. ඇගේ ඇස් සිනාසෙන තරු යුවලක් වැනිය. සිත මන්ත් වී ඉගිල ගියත් එහි යන්නට පියාපත් මට නැත්තේය. මේ කෙල්ලන් සමහර විට සැප රියවල ගමන් ගනු අප දකිනා දෙයකි. 138 බසයේ සැමන් මාළුන් මෙන් තෙරපී ගිය පාසල් සිසුන් වූ අපට එහි පියඹන්නට පියාපත් කොයින්ද? ඒ වයසට අප සෙවූයේ වෙනසක් නොවන ආදරයක් නම් මුසාවකි. එනමුත් ඒ වයසට එය සුන්දර අත් දැකීමක්ද විය. මේ කිසිවක් අපට සිතා ගන්නට බැරි වූයේ අප සිත් සුන්දරතාවය හමුවේ ඉගිලී ගොස් තිබීම නිසාය. 
දයාරත්න පෙරේරා වැඩිපුර ගීත ගය නැත. නමුත් ඔහු විසින් ගැයූ සමහර ගීත නව යෞවනයන් ලෙස අප ඉත සිතින් වැලඳ ගත් ඒවා බව නම් කිව යුතුමය.


Tuesday, March 22, 2011

සමණල රෑනක් සේ

සමණල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

පොදි වුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ලා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලේ

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලං වේ

සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳ වත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා


මේ කතාව අවුරුදු 17ක් පැරණිය. නමුත් ඒ කථාව පැරණි නොවේ. ස්ථානය වූයේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. අද තට්ටු බර ගණනක ගොඩනැගිල්ලක් වුවත් එකල ලයිසියමය වනාහි හිස එසැවීමට යත්න දරන ජාත්‍යන්තර පාසලක් හා ටියුෂන් මධ්‍යස්ථානයක් වීය. පොත පත යන්තමින් අල්ලා සම්ත් වූ සාමාන්‍ය පෙළින් පසුව අපි උසස් පෙළ පන්තියට පැමිණ සිටියෙමු. අද මෙන්ම අප කලත් ටියුෂන් වන්දනාව නො අඩුව තිබුණ නිසාදෝ මටත් එකී ටියුෂන් පන්තියට යාමට සිදු විය. මා එකල පොත් ගුල්ලෙක් වූ අතර, අනෙක් වුන් කෙල්ලන් දිහා බල්ද්දී මා කලේ කලා කෘති රස විඳීමයි. එනමුත් අනෙකුත් කොල්ලන් සමග "වල බැසීම" නම් පුරුද්දක් ලෙසම කල බව අදටත් මතකය. අපේ ටියුෂන් පන්තියට අළුතින්ම හැඩ කෙල්ලෙක් පැමිණීමත් සමගම උපාසක වෙස් ගෙන සිටි මා මිතුරා ගේ හැසිරීම වෙනස් වන්නට විය. ඔහු මේ ගැහැණු ළමයා ගැන දැක්වූයේ බොහෝ උනන්දුවකි. නමුත් මේ කෙල්ල එසේ මෙසේ නොව ටිකක් ආඩම්බරකාර එකියක් බැවින් මගේ මිතුරා ඇය හා දොඩන්නට ගත් සියළු උත්සාහ ගඟට කැපූ ඉණි මෙන් විය. කපු කම කරන්නට මට බලපෑම් පැමිණි මුත් කපු කම් තියා කෙල්ලන් සමග හරියට දොඩන්නටවත් නොදන්නා මට මෙය ඉතා අමාරු කාරියක් විය. කෙසේ හො මගේ වාරය පැමිණියේය. පන්තියේ අවුරුදු නිවාඩුවට කලින් සාදයක් පැවැත්විණි. මෙහිදී ගීයක් ගයන ලෙස ආරාධනාවක් ලැබිණි. එකල මට ඉතා හොඳ යෙහෙළියක් විය. ඇය නමින් වින්ධ්‍යාය. (ඇය කොහි දැයි අද ද මා නොදන්නෙමි) මගේම අච්චුවේ පොත් ගුල්ලකු වූ ඇයට ඇසක් ගසා කතා කොට හෙමින්ම මම සිද්ධිය විස්තර කළෙමි.

"මෙහෙ වරංකො බං, පොඩි රහසක් තියෙනව" මම කීවෙමි.
"දන්නවද අර අපේ චින්තක වත්සලාට ලයින් නෙ. වත්සලා ඉතින් හෙන ගණන් නෙ. දැන් මේක අපට පොඩ්ඩක් ඉන්ඩිරෙක්ට් විදියට ඔළුවට දාන ඕන"
"වත්සලා සින්දු වලට හරි කැමතියි. හොඳ සින්දුවක් කියල වැඩේ දෙමු" වින්ධ්‍යා කීවාය.
"මොකද්ද කියන්න හොඳ?" මම ඇසීමි.
"සමණල රෑන්ක සේ" වින්ධ්‍යා කීවාය.
"ඒකට දෙන්නෙක් ඕනනෙ බන්"
"ඇයි උඹයි මමයි ඉන්නේ!" කීවේ වින්ධ්‍යාය.
"මේක මට කියන්න පුළුවන් එකක්ද බන්, මගේ කට හඬ මේකට ගොරෝසු වැඩියිනේ" මම කීවෙමි.
"කමක් නෑ බන්, බළල මැටියෙන් වුණත් මොකෝ මීයො අල්ලනව නම්" වින්ධ්‍යා කීවාය.

ඉතින් අපි චින්තකටත්, වත්සලාටත් පුදමින් මේ ගීතය ගායනා කළෙමු. (ගායනා කළා කීවාට සින්දුව කිව්වා පමණක් වන්නට ඇත!). අද චින්තක හා වත්සලා දරුමල්ලන් පිරිවරා ගත් සතුටුදායක පවුලකි.

මේ ගීයේ ඉතිහාසය එබඳුය. පළමු වරට මා පිරිසක් ඉදිරියේ ගායනා කලේද මෙම ගීතයයි. මෙහි ගැයුම මිල්ටන්
මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා ගෙනි. පද රචනය මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. ආදරයේ ප්‍රහර්ෂය සමණල රෑනක් සේ අනන්තය. එය කීමට වචන අප සතුව නැත. දිව දෙතොලේ පැටලෙන්නේ එහෙයිනි. ඒ රුව දකින විට පොදි බැඳගත් සිතුවිලි තෙරපෙමින් අවදි වෙන නිසා සුලඟේ සැලෙන ලපල්ලක් මෙන් මහද සැලේ. දේදුණු දහසක් සේ ආලය ප්‍රසන්න හැඟුමකි. රිදී සිනා මල් පාන සීගිරි ලියක්, නැතහොත් ඩින දින පතන ඔබේ සොමි වුවන මෙන් පණ නල ඇති තුරුම ඔබ සිහිවේ.

මේ ගීතය 1980 මුල් භාගයේ නිර්මාණය වූ ගීයකි. මිල්ටන් ගැන අපි ඇති තරම් කතා කොට ඇත්තෙමු. එසේම කැලිප්සෝවෙන් මිදුණ ඉන්ද්‍රාණි පෙරේරා යනු කෙතරම් සුන්දර හඬක් දැයි අපට මතක් කොට දෙන්නේ මේ ගීතයි.

Saturday, February 12, 2011

පහන් කන්ද


පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි

කටුක දුකින් ගිණි ගැණුනු ආත්මය
පුපුරා ගලනා සෝ ගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මා වෙත දුන මැනවි

අඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්
හදවත නොපහන් සිතුවිලි දුරු කොට
පහන් සිතින් දලවා පහනක්
ආලෝකය මට දුන මැනවි


පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: විශාරද නන්දා මාලිනී
ඇල්බමය: පහන් කන්ද


රාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ගස්වන බහුබූතයෙකි. රාජු හමු වන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කල "මේරා නාම් ජෝකර්" සිනමා පටයේදීය. කුඩා කල පටන්ම තමා ඉපදී ඇත්තේ අනුන් හිනස්වන්නට බව ත් රාජු තේරුම් ගනී. තෙවරක්ම ප්‍රේමයෙන් පරදින ඔහු ඒ සියල්ල සිතේ දරාගෙන නරඹන්නන් හිනස්වයි. වෙනෙකක් තබා තම මව මිය ගිය පුවත ලැබුණු මොහොතේදී සිදු කරන සංදර්ශනයේදී "අම්මා" කියමින් හඬයි. එය දකින නරඹන්නන් කරන්නේ කොක් හඬ නගමින් සිනා සීමය. රාජු  නම් බහු බූතයා මෙන්ම තම සිත තුල ඇති දුක් වේදනා සන්ගවා ගෙන අනුන් හිනස්සන්නන් අප සමාජයේ විරල නොවේ. එලෙස තමන් හඬමින් අනුන් හිනසවන, තමන් විඳවමින් අනුන් පිනවන කෙනෙකුගේ ප්‍රකාශනයක් ලෙස "පහන් කන්ද" ගීතය ලියවී ඇත.

පහන් කන්ද සතර දෙස ආලෝකය පතුරයි. එනමුත් පහන් කන්ද පාමුල ඇත්තේ බියකරු අන්ධකාරයයි. එහි පාමුල අඳුර කිසිවෙකු දකින්නේද නැත. හද අඳුරු තැනැත්තේගේ පැල ද අඳුරුය. කටුක දුක් දරා, ඒවා ඵැසවමින් පිටතට ගලා එන වේදනාව පද වැල වී ගැයීමෙන් අසා සිටින්නන් මන් මත් වේ. එය ඔවුන් ගේ හදවත් අඳුරෙන් එළියටද ගෙන යයි. එයින් හදවතෙ අඳුරු සිතිවිලිද නැත. මේ ගීත අසා ලබන සතුටේ ආලෝකයෙන් බිඳුවකින්, නව පහනක් දල්වා අඳුරු වූ පහන් කන්ද පාමුලට, හදවතට, පැලට එළියක් ගෙන එන් මෙන් ඉල්ලා සිටියි. මේරි, මරීනා, මීනා යන තුන් දෙනගේමත්, සිය මවගේත් ආදරය අහිමි වී රාජු නම් බහු බූතයා සිටින්නේද මෙවන් අඳුරකමය.

පහන් කන්ද නන්දා මාලිනියගේ ස්වර්ණමය යුගයේ නිර්මාණයකි. ඇය සමහර විට එකල ආසියාවේ මධුරතම හඬ හිමි කාන්තාව වන්නටද ඇත. නන්දා මාලිනිය මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ගී කලාවේ උච්චතම ලක්ෂ්‍යය නිරූපණය කරන්නේ "පහන් කන්ද" ඇල්බමයයි. මේ ගීතය අසා බලන්න, රාජු බහුබූතයාගේ රුව ඔබ අබියස පෙනී යනු ඇත.

බාගෙන අහන්න

Thursday, October 7, 2010

සිවු වසරක් තුල


සිවු වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු කඳුලක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා

සීතල පව්වේ කඳු රැලි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා

හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා


ගායනය හා සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග


අද ඒ දවසයි. සිවු වසරක් මේ බිමේ ගෙවීමු. සිනා, කඳුළු, සුසුම් මැද මහ පොත් වන පොත් කළෙමු. එක පත බෙදා ගෙන කෑවෙමු. එක්ව ගැයීමු, රැඟීමු, නැගී සිටියෙමු. ඔබ මා ජීවිතයට ආවේ ඒ අතරය. එයදු නවමු අත්දැකීමක් විය. පෙම් මග, දේවදාර ගස් අතර, මහවැලි දෑලේ අප ඇවිද්දෙමු. ඔබ මට කිසිවෙකුට වඩා ලං ව සිටියේය. මා හද ගැහෙන රාවයද ඔබ දැන සිටියේය. එනමුදු සරසවියෙන් පිට ලොවක් ඇත්දැයි අප අමතක කළෙමු. නැතිනම් අපට එය අමත විය. දැන් බිහි දොර අබියෙසට අපි පැමිණ සිටින්නෙමු. හෙට දීන අප වැළඳගන්නට හෝ හපාකන්නට හැකි ලොවකට පියමනින්නෙමු. අද අවසන් දවසයි. සීතල හන්තානේ මීදුම් සේල, මහවැලියේ දිය සීරාව, සරසවි පහයේ තුරු සෙවනැල්ලෙන් අප හෙට සමු ගනිමු. ඒ අපේ පෙම වෙනුවෙන් වැලපෙන සටහන් වන්නේය. සසර දිග පොඩි දරුවකු පසු පස එන්නාක් මෙන් ඔබ මා පසු පස එන්නට ඇත. එනමුත් අද අවසන් දිනයයි. මින් පසු නොහඳුනන ලොවක නොහඳුනන දෙදෙනෙකු මෙන් අපට ඉවත බලා ගැන්මට සිදු වනු ඇත.

සරසවි පෙමක ශෝකාන්තය රැගත් දයාරත්න රණතුංගයන් ගයන ගීය 70 දශකයේ ගැයුනකි. පේරාදෙණි‍ය සරසවිය හා එහි නිමල සුන්දරත්වය විසින් සඟවා ගෙන සිටිනා, නිහඬව වළ දැමුණු පෙම් කතාවකට නැවත පණ දීමක් මේ ගීය තුලින් අසන්නට ලැබේ. මෙහි භාවයන් හා සංගීතය ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඊට කන්දීම පමණක් සෑහේ.



Thursday, September 30, 2010

කුණ්ඩුමණී


මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .

නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී . . .

සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
කුණ්ඩුමණී. . .

ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
කුණ්ඩුමණී. . .

සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී. . .

 
සංගීතය: වික්ටර් රත්නායක
පද: ප්‍රේමකීර්ති ද අල්විස්
නද: ෆ්‍රෙඩී සිල්වා


ෆ්‍රෙඩී අප හඳුනන්නේ 1960 - 1990 කාලය අතර වූ දශක තුනක් තුල සිටි අපගේ අසහාය විකට නලුවා ලෙසය. එසේ වුවද ඔහුගේ රඟපෑම විකට චරිත වලට පමණක් සීමා නොවීය. සූකිරි කෙල්ල චිත්‍ර පටයේ ඔහු මන්ද බුද්ධික තරුණයකුගේ භූමිකාවද රැඟ පෑවේ කොටන කුකුළාට කොයි කොටුවත් එකය යන්න සනාථ කරමිනි. එසේ වුවත් ෆ්‍රෙඩී සිල්වා අප හඳුනා ගත්තේ ඔහුගේ ගායනයෙනි. ඔහු මුලින්ම ගුවන් විදුලි සංස්ථාවට පැමිණියේත් ගායනයේ මහිමයෙනි. ෆ්‍රෙඩී එතරම් ගීත සංඛ්‍යාවක් ගයා නැත. අප අතරින් වෙන් කරනු ලැබූ ඒ සහෘදයා, ප්‍රේමකීර්ති ගේ පද වැල් වලට ෆ්‍රෙඩී ගීත දුසිමක් පමණ ගැයීය. මේ සියල්ලම එකල අතිශය ජනප්‍රිය වූ ගීත විය. කුණුඩුමණී වනාහි ෆ්‍රෙඩී ගීතය සමග එක්වූ අවස්ථාවන්ගේ කූට ප්‍රාප්තියයි.

මේ ගීතය සංගීත සම්ප්‍රදාය දෙකක සම්මිශ්‍රණයකි. එකක කතරගම හා ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතර ප්‍රචලිත කාවඩි නැටුම් වල එන තාලයයි. නමුත් සංගීත භාණ්ඩ වැයෙන්නේ කෝවිල් වල හා හින්දු මංගලෝත්සව වල වැයෙන් ගැටම්, මෘදංග හා නළා වර්ග භාවිතයෙනි. මේ සංගීත සම්ප්‍රදාය තුලට ප්‍රේමකීර්තිගේ පද වැල මනාව ගලපා තිබේ. සංගීතය සමග ගැයෙන ආකාරයට ද්‍රවිඩ වදන් මෙහි යොදා තිබෙන හැටිද අපූරුය.

පිටිවැල්ල යනු මන්නාරම පෙදෙසේ ඇති සිහින් කහ පැහැති වැල්ලකි. හින්දු ගෙවල් වල ඇතුළු උයනේ බඳින ඔංචිල්ලාවක් ඇත. කුණ්ඩුමණී ගේ නිවෙසේ එය වැසී ඇත්තේ මදටිය වලින් කල සැරසිල්ලකිනි. කතා නායකයා මේ පැමිණ සිටින්නේ කුණ්ඩුමණීගේ විවාහ මංගල්‍යයටය. ඔහු ඇතැම් විට දුප්පත් පවුලක විය හැකිය, මන්ද උයනේ ඔංචිල්ලා බැඳීම ආදිය කරනුයේ ධනවත් පවුල් වල බැවිනි. කුන්ඩුමණී ගේ නැහැයේ කරාබුව, කඩුක්කම් දමා, මොට්ටැක්කිලියෙන් හිස වසා ගෙන තල වේලන අයුරු ඔහුට මතක් වේ. ආඬි ලිඳෙන් කළයට දිය ගෙන ලූණු පාත්තියට දමන අයුරු, කෝවිල් ගොස්, පොල් ගසා පූජා පවත්වන'යුරු ඔහුට මතක් වේ. එසේ වුවත් අද ඇගේ ගෙය ගොම ඉහ පිරියම් කර ඇත. කෙසෙල් ගස් දෙකක් කැන් පිටින් සිටවා ඇත (හින්දු මංගලෝත්සව වල කෙරෙන සැරසිල්ලකි). විවිධ බෙර වර්ග වැයේ. එනම් මංගල්‍යයක් එම ගෙදර පැවත්වේ. කලකට පෙර රණ්ඩු කරමින්, බැණුම් අහමින් සහ සැඟවෙමින් කරන ලද ප්‍රේමය අද අවසන්ය. කුණ්ඩුමණී ගේ අත ගන්නා පුද්ගලයා (ඔහු මහ රජකු ලෙස ඔහුට වැටහෙයි) එන කල ඔහුට සිදු වී ඇත්තේ කීකරු වී පසෙකට වී බලා සිටීමටයි. ගීතය තුල ප්‍රේමකීර්ති අලංකාර ලෙස වචන භාවිත කරයි. එසේම ද්‍රවිඩ ජනයගේ ඇවතුම්පැවතුම් ගැන ඔහුගේ ඇති දැනුමද මෙයින්ම ප්‍රදර්ශනය වේ.

පසු කලෙකදී ආර්ථික දුෂ්කරතා නිසා ෆ්‍රෙඩී සන්ෆ්ලවර් ආදී ගීත වනසන සංගීත කණ්ඩායම් සමග ගායනයේ යෙදුණි. අප අවාසනාවකට අද සුරැකී ඇත්තේ එම ගීත ද පමණි. එනමුත් අන්තර්ජාලය මඳක් පිරික්සීමේදී ෆ්‍රෙඩී "නන්දන වින්දන" වැඩසටහනට 1983 දී ගැයූ කුණ්ඩුමණී ගීතයේ කොටසක් හමු විය. බාගත කරන්නට ඇති ගීය හා සසඳන විට ෆ්‍රෙඩී එකල කොතරම් ප්‍රතිභා පූර්ණ ගායකයකුද යන්න වටහා ගත හැකි වනු ඇත. 

එමෙන්ම මෙහි මුල්ම පටිගත කිරීමද මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරමි. 

බටහිර සංගීත භාණ්ඩ වලින් තොරව ඝටම්, මෘදංග, තබ්ලා සහ නළා වලින් මුල්ම ගීතය වාදනය වේ. මෙහි මා මුලින් සඳන් කල කාවඩි හා කෝවිලේ පූජාවන් යන දෙකෙහිම ඇති ශබ්ද හඳුනා ගන්නට හැකි වනු ඇත. ෆ්‍රෙඩී ලා, විජයලා, ප්‍රේමකීර්තිලා නැතිව ගියේ අප අවාසනාවටය. ඔවුන්ට මෙවන් නිර්මාණ බොහෝ කරන්නට ඉඩ තිබිණි. නමුත් දෛවය ඔවුන්ට හරස් විය.

Monday, August 2, 2010

සුදු නෙළුම කෝ


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව


"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය විටෙක කන් කරච්චලයක් සේ දැනේ. නමුත් දියේ කිමිද, මල් කඩා, ඒවා සුළු මුදලකට විකුණන්නේ මොවුන්ට වෙනත් රැකියාවක් නොමැතිකම නිසාමය. මේ රැකියාවේ අප නුදුටු පැත්තක්, ශෝකාන්තයක අයුරින් රත්න ශ්‍රී හා අමරදේව ශූරීන් අප වෙත ගෙන එයි.

සොර බොර වැව අසල වාසය කළ සුදු නෙළුම අද නැත. ඇය මහියංගනයේ මල් සුවඳයි. පාළොස්වක දාට මහියංගන සෑය වඳින මහ පිරිසට මල් ඇය අලෙවි කරන්නී, ඉන් දිවි සරි කර ගන්නීය. එවන් සොර බොර වැවට කලුවර පායා එයි. මේ වනාහි හිරු බැස යාමෙන් එන කළුවරක් නොවේ. පාළුව නිසා එන්නා වූ කළුවරෙකි. සිහින් සිරිපොද වැටෙයි. ඉන් වැවේ දෙකොපුල් වැනි ඉවුරුද සේදෙයි. එනමුත් සුදු නෙළුම දක්නට නැත. ඈ විසින් නෙළු මල් මිට එහා ඉවුරට පාවී ගොසිනි. ඇගේ දෙකොපුල් ඉවුරු සොදා ගලන සිරිපොද යටින්, දෑස පියවුණු (මිය ගිය) ඈ මෙහා ඉවුරට පාවී එන්නීය. මේ පද වැල මල් විකුණන තරුණියකගේ ඉරණම ගැන කඳුළු කතාවක් කියවෙන ශෝකාන්තයක් බවට පත් වන්නේ එලෙසිනි. මේ ගීතය ප්‍රබල හැඟුම් ජනිත කරවන ගීතයකි. මේ හා සමාන වෙනත් එවැනි ගීත ඇතොත් ඒ මඩවල එස්. රත්නායක - පණ්ඩිත අමරදේව සුසංයෝගයෙන් බිහිවූ රුවන්මලී ගීතයත්, විමල් ජයශාන්ත
හා සනත් නන්දසිරි සුසංයෝගයෙන් නිමැවුනු එදා මෙදා තුර ගීතයත් පමණි.

රත්න ශ්‍රී වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙකි. එබැවින් මෙවන් පද වැලක් තුල රත්න ශ්‍රී විසින් සඟවන ලද පනිවුඩය සෙවීමද සිත් ගන්නා කරුණක් වනු ඇත. මේ මුළු ගීය පුරාම රත්න ශ්‍රී පෙන්වන්නේ ජීවිතයේ ආටෝපයේ පුහු භාවය හා අස්ථිර භාවයයි. අපගේ ආශාවන් මූර්තිමත් කෙරෙන මල් පොකුර සසරේ මහා වැවෙහි එහා ඉවුරට පාවෙද්දී මරණයෙන් පසු අප මලකුණ පාවී එන්නේ මෙහා ඉවුරටට්යි. තදින් බදා සිටියද මේ දේවල් එකිනෙකා ගෙන් අවසන වෙන් වන බව ගීයෙන් ඉඟි කෙරේ.

මේ ගීතය අමර්දේවයන් විසින් 80 දශකයේ ගයන ලද නව ගීතයකි. මේ ගීය ලියන විට රත්න ශ්‍රී නවක කවියකු පමණක් වන්නට ඇත. එනමුත් අරුත් සපිරි පදවැලක්, අනන්‍ය වූ හඬකින් ගැයෙන් මේ දුක්ඛාන්තයේ ශෝකී රසය අප විඳ ගනිමු.