Saturday, February 12, 2011

පහන් කන්ද


පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි

කටුක දුකින් ගිණි ගැණුනු ආත්මය
පුපුරා ගලනා සෝ ගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මා වෙත දුන මැනවි

අඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්
හදවත නොපහන් සිතුවිලි දුරු කොට
පහන් සිතින් දලවා පහනක්
ආලෝකය මට දුන මැනවි


පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: විශාරද නන්දා මාලිනී
ඇල්බමය: පහන් කන්ද


රාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ගස්වන බහුබූතයෙකි. රාජු හමු වන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කල "මේරා නාම් ජෝකර්" සිනමා පටයේදීය. කුඩා කල පටන්ම තමා ඉපදී ඇත්තේ අනුන් හිනස්වන්නට බව ත් රාජු තේරුම් ගනී. තෙවරක්ම ප්‍රේමයෙන් පරදින ඔහු ඒ සියල්ල සිතේ දරාගෙන නරඹන්නන් හිනස්වයි. වෙනෙකක් තබා තම මව මිය ගිය පුවත ලැබුණු මොහොතේදී සිදු කරන සංදර්ශනයේදී "අම්මා" කියමින් හඬයි. එය දකින නරඹන්නන් කරන්නේ කොක් හඬ නගමින් සිනා සීමය. රාජු  නම් බහු බූතයා මෙන්ම තම සිත තුල ඇති දුක් වේදනා සන්ගවා ගෙන අනුන් හිනස්සන්නන් අප සමාජයේ විරල නොවේ. එලෙස තමන් හඬමින් අනුන් හිනසවන, තමන් විඳවමින් අනුන් පිනවන කෙනෙකුගේ ප්‍රකාශනයක් ලෙස "පහන් කන්ද" ගීතය ලියවී ඇත.

පහන් කන්ද සතර දෙස ආලෝකය පතුරයි. එනමුත් පහන් කන්ද පාමුල ඇත්තේ බියකරු අන්ධකාරයයි. එහි පාමුල අඳුර කිසිවෙකු දකින්නේද නැත. හද අඳුරු තැනැත්තේගේ පැල ද අඳුරුය. කටුක දුක් දරා, ඒවා ඵැසවමින් පිටතට ගලා එන වේදනාව පද වැල වී ගැයීමෙන් අසා සිටින්නන් මන් මත් වේ. එය ඔවුන් ගේ හදවත් අඳුරෙන් එළියටද ගෙන යයි. එයින් හදවතෙ අඳුරු සිතිවිලිද නැත. මේ ගීත අසා ලබන සතුටේ ආලෝකයෙන් බිඳුවකින්, නව පහනක් දල්වා අඳුරු වූ පහන් කන්ද පාමුලට, හදවතට, පැලට එළියක් ගෙන එන් මෙන් ඉල්ලා සිටියි. මේරි, මරීනා, මීනා යන තුන් දෙනගේමත්, සිය මවගේත් ආදරය අහිමි වී රාජු නම් බහු බූතයා සිටින්නේද මෙවන් අඳුරකමය.

පහන් කන්ද නන්දා මාලිනියගේ ස්වර්ණමය යුගයේ නිර්මාණයකි. ඇය සමහර විට එකල ආසියාවේ මධුරතම හඬ හිමි කාන්තාව වන්නටද ඇත. නන්දා මාලිනිය මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ගී කලාවේ උච්චතම ලක්ෂ්‍යය නිරූපණය කරන්නේ "පහන් කන්ද" ඇල්බමයයි. මේ ගීතය අසා බලන්න, රාජු බහුබූතයාගේ රුව ඔබ අබියස පෙනී යනු ඇත.

බාගෙන අහන්න

4 comments:

තිස්ස දොඩන්ගොඩ said...

ඔහ්.. මගේ නොසැලකිල්ල නිසා මට නොඅහුවුනු අර්ථ විවරනයක් මේ ගීතය තුල... ස්තූතියි මිගාර...බොහොමත්ම...

Shyaman said...

මම මේ ගීයටත් ආසයි. ඒ වගේම ඔබ සඳහන් කරන මේ පැරණි චිත්‍රපටයටත් ආසයි. ඒත් ඇත්තටම කවදාවත් මේ දෙකේ මෙතරම් සමානකමක් මම දුටුවේ නෑ. ඇත්තටම ඔවුනේ. පහන හාත් පස ආලෝකමත් කළත් පහන් කන්ද පා මුල අඳුරුයි. රංග ඔබේ මේ සොඳුරු ව්‍යායාමය හරිම අපූරුයි. මගේ උණුසුම් සුභපැතුම්.

සූස්ථි said...

පට්ටම බ්ලොගක් නේ.අහම්බෙන් දැක්කේ......මේ ගිතය කාලයක් මම පිස්සුවෙන් වගේ රසවින්දා. ඒත් හරියටම අර්තය සෙට් උනේ දැන් තමයි.ස්තූතී ඔබට.........

pushpa kumara said...

ස්තූතියි මිගාර