Tuesday, March 22, 2011

සමණල රෑනක් සේ

සමණල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

පොදි වුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ලා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලේ

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලං වේ

සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳ වත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

රිදී මල් සිනා පා
සීගිරි ලඳක් පිබිද ලංවේ

පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා


මේ කතාව අවුරුදු 17ක් පැරණිය. නමුත් ඒ කථාව පැරණි නොවේ. ස්ථානය වූයේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. අද තට්ටු බර ගණනක ගොඩනැගිල්ලක් වුවත් එකල ලයිසියමය වනාහි හිස එසැවීමට යත්න දරන ජාත්‍යන්තර පාසලක් හා ටියුෂන් මධ්‍යස්ථානයක් වීය. පොත පත යන්තමින් අල්ලා සම්ත් වූ සාමාන්‍ය පෙළින් පසුව අපි උසස් පෙළ පන්තියට පැමිණ සිටියෙමු. අද මෙන්ම අප කලත් ටියුෂන් වන්දනාව නො අඩුව තිබුණ නිසාදෝ මටත් එකී ටියුෂන් පන්තියට යාමට සිදු විය. මා එකල පොත් ගුල්ලෙක් වූ අතර, අනෙක් වුන් කෙල්ලන් දිහා බල්ද්දී මා කලේ කලා කෘති රස විඳීමයි. එනමුත් අනෙකුත් කොල්ලන් සමග "වල බැසීම" නම් පුරුද්දක් ලෙසම කල බව අදටත් මතකය. අපේ ටියුෂන් පන්තියට අළුතින්ම හැඩ කෙල්ලෙක් පැමිණීමත් සමගම උපාසක වෙස් ගෙන සිටි මා මිතුරා ගේ හැසිරීම වෙනස් වන්නට විය. ඔහු මේ ගැහැණු ළමයා ගැන දැක්වූයේ බොහෝ උනන්දුවකි. නමුත් මේ කෙල්ල එසේ මෙසේ නොව ටිකක් ආඩම්බරකාර එකියක් බැවින් මගේ මිතුරා ඇය හා දොඩන්නට ගත් සියළු උත්සාහ ගඟට කැපූ ඉණි මෙන් විය. කපු කම කරන්නට මට බලපෑම් පැමිණි මුත් කපු කම් තියා කෙල්ලන් සමග හරියට දොඩන්නටවත් නොදන්නා මට මෙය ඉතා අමාරු කාරියක් විය. කෙසේ හො මගේ වාරය පැමිණියේය. පන්තියේ අවුරුදු නිවාඩුවට කලින් සාදයක් පැවැත්විණි. මෙහිදී ගීයක් ගයන ලෙස ආරාධනාවක් ලැබිණි. එකල මට ඉතා හොඳ යෙහෙළියක් විය. ඇය නමින් වින්ධ්‍යාය. (ඇය කොහි දැයි අද ද මා නොදන්නෙමි) මගේම අච්චුවේ පොත් ගුල්ලකු වූ ඇයට ඇසක් ගසා කතා කොට හෙමින්ම මම සිද්ධිය විස්තර කළෙමි.

"මෙහෙ වරංකො බං, පොඩි රහසක් තියෙනව" මම කීවෙමි.
"දන්නවද අර අපේ චින්තක වත්සලාට ලයින් නෙ. වත්සලා ඉතින් හෙන ගණන් නෙ. දැන් මේක අපට පොඩ්ඩක් ඉන්ඩිරෙක්ට් විදියට ඔළුවට දාන ඕන"
"වත්සලා සින්දු වලට හරි කැමතියි. හොඳ සින්දුවක් කියල වැඩේ දෙමු" වින්ධ්‍යා කීවාය.
"මොකද්ද කියන්න හොඳ?" මම ඇසීමි.
"සමණල රෑන්ක සේ" වින්ධ්‍යා කීවාය.
"ඒකට දෙන්නෙක් ඕනනෙ බන්"
"ඇයි උඹයි මමයි ඉන්නේ!" කීවේ වින්ධ්‍යාය.
"මේක මට කියන්න පුළුවන් එකක්ද බන්, මගේ කට හඬ මේකට ගොරෝසු වැඩියිනේ" මම කීවෙමි.
"කමක් නෑ බන්, බළල මැටියෙන් වුණත් මොකෝ මීයො අල්ලනව නම්" වින්ධ්‍යා කීවාය.

ඉතින් අපි චින්තකටත්, වත්සලාටත් පුදමින් මේ ගීතය ගායනා කළෙමු. (ගායනා කළා කීවාට සින්දුව කිව්වා පමණක් වන්නට ඇත!). අද චින්තක හා වත්සලා දරුමල්ලන් පිරිවරා ගත් සතුටුදායක පවුලකි.

මේ ගීයේ ඉතිහාසය එබඳුය. පළමු වරට මා පිරිසක් ඉදිරියේ ගායනා කලේද මෙම ගීතයයි. මෙහි ගැයුම මිල්ටන්
මල්ලවාරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා ගෙනි. පද රචනය මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. ආදරයේ ප්‍රහර්ෂය සමණල රෑනක් සේ අනන්තය. එය කීමට වචන අප සතුව නැත. දිව දෙතොලේ පැටලෙන්නේ එහෙයිනි. ඒ රුව දකින විට පොදි බැඳගත් සිතුවිලි තෙරපෙමින් අවදි වෙන නිසා සුලඟේ සැලෙන ලපල්ලක් මෙන් මහද සැලේ. දේදුණු දහසක් සේ ආලය ප්‍රසන්න හැඟුමකි. රිදී සිනා මල් පාන සීගිරි ලියක්, නැතහොත් ඩින දින පතන ඔබේ සොමි වුවන මෙන් පණ නල ඇති තුරුම ඔබ සිහිවේ.

මේ ගීතය 1980 මුල් භාගයේ නිර්මාණය වූ ගීයකි. මිල්ටන් ගැන අපි ඇති තරම් කතා කොට ඇත්තෙමු. එසේම කැලිප්සෝවෙන් මිදුණ ඉන්ද්‍රාණි පෙරේරා යනු කෙතරම් සුන්දර හඬක් දැයි අපට මතක් කොට දෙන්නේ මේ ගීතයි.

7 comments:

තිස්ස දොඩන්ගොඩ said...

ශහ් මම කැමතිම සින්දුවක්... මතක හැටියට චිත්‍රපටියක වෙන්න ඕනේ... පද රචනයනම් ඉතින් පුදුම විචිත්‍රයි තමා.... ගීතය එක්ක සබැඳුනු ඔබේ මතකයනුත් අපූරුයි... බොහොම ස්තූතියි මතකය අවදි කලාට...

Kasun said...

සින්දුව නම් අහල නෑ සහෝ. ඒත් කතාව නියමයි. සිරා ගේමක් දීල තියෙන්නෙ.

වැම්පයර් said...

ඕක මට මතකෙ හැටියට 73 තිරගතවෙච්ච සැණකෙළිය චිත්‍රපටියෙ සින්දුවක් බොස්.

මිගාර said...

@ තිස්ස, කසුන්

බොහොම තුති අදහස් දැක්වීමට

@ වැම්පයර්

ඔබ නිවැරදියි. මෙය සැණකෙලිය චිත්‍රපටියේ සින්දුවක් තමයි. වරද පෙන්වා දුන්නට තුති.

වැම්පයර් said...

http://blogvampa.blogspot.com/2010/10/milton-mallawarachchis-songs-written-by.html

cheeta said...

එතකොට තෝ බැස්ස දිළිණි??

මිගාර said...

ඔය කියන්නේ චීට බැහැලා නෝන්ඩි වෙච්ච කේස් එකක් ගැනද?