Tuesday, May 17, 2016

තාදු ගණ ජන මනා

තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන්ය ගයන්නේ වයන්නේ

කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි

නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා
ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්

කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳහළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දෙශයක්, රාජ්‍යයක්

අනන්තවූ දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි
අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පළා ගිය මධුර ගී . . .


රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: නන්දා මාලිනී


ඒ ලංකාවේ අඳුරු සමයකි. අසූ ගණන් වල මුල් හරියේ ලංකාව දෙකොණින් දැවෙන විලක්කුවක සිරි ගත්තේ උතුරේත්, දකුණේත් සටන් ඇවිලී ගිය නිසාය. මේ සටන් වල නායකයන් අතිශය ෆැසිස්ට්වාදී, මිනීමරු පන්නයේ වුන් වූ මුත්, මහ පොළොව මත සටන් කල "සටන් කාමීන් / කාඩරයන් / කොම්රේඩ්ලා" දුප්පත් බවින් මිරිකී ගිය සමාජ අසාධාරණයට ලක්වූ පන්තියක් විය. මේ සමාජ පීඩනය පාදක කර ගණිමින් බොහෝ නිර්මාණ බිහිවිණි. "පවන" ප්‍රසංගය එයින් එකකි. දැඩි විප්ලවවාදී ස්වරූපයක් ගත් පවනේ අද්විතීය භාවමය රසැති ගීත කිහිපයක්ද අඩංගුව පැවතිණි. මේ ගීත රචනය කළෙ මහැදුරු සුනිලුන් බවට සඳන් වුවත්, මේ ගීතය සුනිලුන්ගේ රටාවෙන් අත්ගිශයින්ම වෙනස් එකකි. ඇතැම් විචාරකයන් දක්වන පරිදි මෙය ජනතා විමුක්ති පෙරමුණේම සාමාජිකයකු විසින් ලියන්නට ඇතය යන මතයද බැහැර කල නොහැකිය.

විප්ලවවාදිනිය ගයන්නේ නොසැලෙන (තාදු) ජන සමූහයකට. වැයෙන්නේ යකඩ ගොඩවල්ය. ගයන්නේ මිනිසුන්ය. ලෙයින්, යකඩින් කෙරෙතැයි කියනා විප්ලවය ඉන් සනිටුහන් වේ.

"තාදු ගන ජන මනා - සභා ගැබ හොබවනා
දැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්"

දැහැනෙන් මිදී විප්ලවය ගැන ඇස හැරගන්නා ලෙස ගීයෙන් බල කර සිටියි. සීරුවෙන් සිටින්නේ පුටු මත නොව පුටු කබල් මතය. දරිද්‍රතාවයේ සංකේතයක් අපට එහිදී හමුවේ.

"කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එ දළ රළු පද බැඳුම් විරචිතයි"

ඇය කියන ගී දල, රළු ඒවා වේ. (ඇත්තෙන්ම වචන භාවිතය ඉතාම රළුය. එහෙත් මිණි කැට වැනි යෙදුම් මේ ගීය තුල එමට දකින්නට ඇත.) ගී ලියා ඇත්තේ ක්මහලේ බිත්තියේ අඟුරු කැටයෙන් මිස මහා කිවියරන් විසින් පොත් වල නොවේ. තමන් ගයන්නේ පීඩිතයාගේ ගීයක් බව එයින් ගම්‍ය වේ.

"ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැණියයි"

නැවතත් විප්ලවවාදිනිය කියා සිටින්නේ තමා කම්කරු සමාජයේ කෙනෙකුම මිසෙක, ගීත කෝකිලාවියක් නොවන බවයි. එම ගී වලින් කියැවෙන්නේ ගී නොව, තලන, මඬින ලද, සුවහසක් ආත්මයන්ගෙන් නැගෙන හැඬුම් සහ බැණුම් වල හඬයි. මෙහිදී රාවය නැගෙන්නේ සිතේ ඇති වන හඬට වඩා ආත්මයෙන් ඇති වන හඬෙනි. "තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා - ඉකි බිඳින බැණ නැගෙන රාවයයි" යන්න රළු පරළු යෙදුම් අතර ඇති මිණි කැටයක් වැනි සුන්දර යෙදුමකි.

අපට මිත්‍ර වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැත. ඒ නිසා අතිශයින් මහාර්ඝ වූ රසභාවයන් විඳීමට අපට ඉඩක් නැත. එනිසා එවන් උත්තම කලාවේ ගැඹුරු රස භාව සොයන ජනී ජනයන් ඇතොත් ඉවත්වී යන්නට ඇය ආරාධනා කරයි. මන්ද එවන් ගී ඈ'තින් ගැයෙන්නේ දුලබ ලෙසින් නිසාය. "පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා - ඔබ සවන් පිනවන්න සමත් ගී දුලබ නම්" යන්න නැවතත් සුන්දර යෙදුමකි.

කලා මල්දම් යදම් ලෙස, චණ්ඩ මැරවරියක් ලෙසින් බිඳහරින බව කීමෙන් අදහස් වෙන්නේ ඇය සම්ප්‍රදායන්ගෙන් ඔබ්බට යන බවයි. අපට මිතුරු (භද්‍ර) වූ දේශයක්, රාජ්‍යයක් හෝ කාලයක් නැති බව ඈ සඳහන් කරන්නීය.

අවසන් ගී පද වලින් මුළු ගීයම තීව්‍ර අන්තයකට ගෙන එයි. මහත් විස්සෝපයෙන් වුව භාව නිශ්‍රිත ගී ඇත හැර, කම්කරුවන් විසින් කම්හලේ බිත්තියේ ගී පොතෙන් උපුටා ගත්, රළු පරළු ගී පද ඇය ගයන්නේ අනාගත පරපුර වෙනුවෙනි. විප්ලවය සාර්ථක, භද්‍ර වූ කාලයක සහ දේශයක, ඇගේ පරපුර වෙතින් පළවා හරින ලද ඒ මධුරතර වූ ගී, අනාගත පරපුර විසින් ගයනු දකින්නට ඈ සිහින මවන්නීය. ඒ සමගම ගීය එක්වරම කෙළවර වීමේන් විපලවයට සුපුරුදු ක්ෂණික මරණය සංකේතවත් කරනවා විය හැකිය.

පවනේ ගීත අසන විට දැනෙන පළමු කාරණය වන්නේ අසූ ගණ වල මැද හරියේ තරුණ පරපුරේ රසඥතා මට්ටමයි. මෙවන් සංකීර්ණ පද ඇති ගීයක් වටහාගෙන එහි සාරය උරා ගැනීමට තරම් ඔවුහු දැනුමින් පොහොසත් වූ අතර, මේ ගීය පුරා වැයෙන සංගීතයේ විප්ලවීය භාවය වටහා ගැනීමට තරම් විඳීමක් ඇත්තෝද වූහ. විප්ලවය නම් මිරීඟුව විසින් වනසා දැමුණේ මෙවන් රසඥතාවක් සහිත තරුණ පරපුරකි. අනාගත පරම්පරාවල රසඥතාවය කෙළෙසීයාමට ඔවුන්ගේ අඩුව හේතුවක් නොවී යැයි කාට නම් කිව හැකිද? 

1 comment:

උපේක්ෂා said...

මේ සින්දුව මම කොතරම් ඇහුවද කියල මට මතක නැති තරම්. ඒකෙ තියෙන වචනවල පුදුමාකාර කම්පනයක් තිබ්බා. නරක වචනයක් නැති උනත් ඒවා අහනකොට අපිව ගැස්සෙනවා. විලාප නැති උනාට දුකකින් මුසපත්වෙනවා.

මේක මට ලියාගන්න බැරි හැඟීම් තියෙන ගීතයක්. ඔබ ලියු එකට ස්තුතියි