Monday, August 2, 2010

සුදු නෙළුම කෝ


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව


"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය විටෙක කන් කරච්චලයක් සේ දැනේ. නමුත් දියේ කිමිද, මල් කඩා, ඒවා සුළු මුදලකට විකුණන්නේ මොවුන්ට වෙනත් රැකියාවක් නොමැතිකම නිසාමය. මේ රැකියාවේ අප නුදුටු පැත්තක්, ශෝකාන්තයක අයුරින් රත්න ශ්‍රී හා අමරදේව ශූරීන් අප වෙත ගෙන එයි.

සොර බොර වැව අසල වාසය කළ සුදු නෙළුම අද නැත. ඇය මහියංගනයේ මල් සුවඳයි. පාළොස්වක දාට මහියංගන සෑය වඳින මහ පිරිසට මල් ඇය අලෙවි කරන්නී, ඉන් දිවි සරි කර ගන්නීය. එවන් සොර බොර වැවට කලුවර පායා එයි. මේ වනාහි හිරු බැස යාමෙන් එන කළුවරක් නොවේ. පාළුව නිසා එන්නා වූ කළුවරෙකි. සිහින් සිරිපොද වැටෙයි. ඉන් වැවේ දෙකොපුල් වැනි ඉවුරුද සේදෙයි. එනමුත් සුදු නෙළුම දක්නට නැත. ඈ විසින් නෙළු මල් මිට එහා ඉවුරට පාවී ගොසිනි. ඇගේ දෙකොපුල් ඉවුරු සොදා ගලන සිරිපොද යටින්, දෑස පියවුණු (මිය ගිය) ඈ මෙහා ඉවුරට පාවී එන්නීය. මේ පද වැල මල් විකුණන තරුණියකගේ ඉරණම ගැන කඳුළු කතාවක් කියවෙන ශෝකාන්තයක් බවට පත් වන්නේ එලෙසිනි. මේ ගීතය ප්‍රබල හැඟුම් ජනිත කරවන ගීතයකි. මේ හා සමාන වෙනත් එවැනි ගීත ඇතොත් ඒ මඩවල එස්. රත්නායක - පණ්ඩිත අමරදේව සුසංයෝගයෙන් බිහිවූ රුවන්මලී ගීතයත්, විමල් ජයශාන්ත
හා සනත් නන්දසිරි සුසංයෝගයෙන් නිමැවුනු එදා මෙදා තුර ගීතයත් පමණි.

රත්න ශ්‍රී වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙකි. එබැවින් මෙවන් පද වැලක් තුල රත්න ශ්‍රී විසින් සඟවන ලද පනිවුඩය සෙවීමද සිත් ගන්නා කරුණක් වනු ඇත. මේ මුළු ගීය පුරාම රත්න ශ්‍රී පෙන්වන්නේ ජීවිතයේ ආටෝපයේ පුහු භාවය හා අස්ථිර භාවයයි. අපගේ ආශාවන් මූර්තිමත් කෙරෙන මල් පොකුර සසරේ මහා වැවෙහි එහා ඉවුරට පාවෙද්දී මරණයෙන් පසු අප මලකුණ පාවී එන්නේ මෙහා ඉවුරටට්යි. තදින් බදා සිටියද මේ දේවල් එකිනෙකා ගෙන් අවසන වෙන් වන බව ගීයෙන් ඉඟි කෙරේ.

මේ ගීතය අමර්දේවයන් විසින් 80 දශකයේ ගයන ලද නව ගීතයකි. මේ ගීය ලියන විට රත්න ශ්‍රී නවක කවියකු පමණක් වන්නට ඇත. එනමුත් අරුත් සපිරි පදවැලක්, අනන්‍ය වූ හඬකින් ගැයෙන් මේ දුක්ඛාන්තයේ ශෝකී රසය අප විඳ ගනිමු.


8 comments:

වැම්පයර් said...

niyamai

යූත්මැක්ස් said...

මේ සිංදුව මමත් ගොඩක් රස විඳපු එකක්. මේක ඇහෙනකොට මොකක්දෝ ශෝකාන්තයකින් ශරීරය වෙලා යන බව දැනෙනවා.

තිස්ස දොඩන්ගොඩ said...

මේක මං අහලා නැති සිංදුවක්... පියේහි විප්පයෝගේ තරම් මගේ හිත කලඹවන දෙයක් තවත් නැහැ... කිත්සිරි ගේ සින්දුව යන අහල පහලක වත් මම ඉන්නේ නෑ....
බොහොම ස්තූතියි මට ගීය අන්දුන්නල දුන්නාට...

``` Outsider``` said...

මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහ මහතා සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කල බව ඔහු හෝ මේ ගීතය සම්බන්ධයෙන් විවරණයක් කල කිසිවෙක් කොතනකදී හෝ පැවසූවා. පන්සලක් ළඟ මල් විකුණා ජීවිතය ගැටගහගත්ත දැරියක් මල් නෙලීමට ගිය අවස්ථාවක වැවේ ගිලීමෙන් මියගිය බවත් ඒ සිදුවීම ඔහු තුල ඇති කල කම්පනය මේ ගීතය ලියවීමට හේතුව බවත් කියවුණා.
මෙහි පවතින ජීව ගුණයේත් හදවතට දැනෙන සංවේදනාවේත් එතරම් ගැඹුරක් පවතින්නේ කවියාගේ හදවතින්ම පැන නැගුණක් නිසා විය යුතුය.
ගීතය සොයාගෙන ඉදිරිපත් කලාට ස්තූතියි.

“කල්පනා” said...
This comment has been removed by the author.
රනිල් මුදුන්කොටුව said...

මෙවැනි වටිනා ගීතවල පසුබිම් සටහන් අපවෙත කියවන්නට සැලැස්වීම ගැන ඔබට ස්තුතියි..එදා මෙදා තුර ගීතය ඔබ පවසා ඇතත් එය කිත්සිරි නිමල්ශාන්ත නොව විමල් ජයශාන්ත ලෙස නිවරදි විය යුතුයි නේද..

මිගාර said...

@ තිස්ස, යූත් මැක්ස්, වැම්පයර්, අවුට්සයිඩර් - බොහොම ස්තූතුයි දිරි ගැන්වීමට.

@ රනිල් - මම හිතන්නේ ඔබ හරි. ඔන්න වෙනස් කලා එහෙනම්.

TG said...

මුලින්ම මම මේ ගීතය දැක්කේ රත්න ශ්‍රී ගේ පද්‍ය සංග්‍රහයක එහි නමත් සුදු නෙලුම් වගෙයි මට මතක

මේ ගීතය අහනකොට ශෝකය ගලා එන උච්ඡතම අවස්ථාව

වැවට කලුවර බෝවුනා ....
සංසාර දුක යාවුණා

කලුවර හා සංසාර දුක ශෝකී රසය තීව්‍ර කරනවා .සිදුවුණ දේ ගැන සංකේතාත්මක අරුත් දෙනවා

ඒ කොටස අපූරුවට අමරදේව ගායනාකරනවා හරිම ලයාන්විතව