Tuesday, May 5, 2009

සුසුම්

ආඩි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ
නාඹර තල් ගෙඩි වල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරල් මෝරන විට පාට දෙන්නෙ ලේ
නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ

ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු

දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු
අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලවු
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලවු
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලවු

උතුරේ යුද්ධයට වසර විසි පහකට ආසන්නව ඇත. නොකඩවා කෙරුණු යුද්ධයෙන් සමාජ ජීවිතය හා සිවිල් සමාජය කැඞී බිඳී යන තත්ත්වයට ආසන්නව ඇත. ෂෙල් වෙඩි හා මල්ටි බැරල් වලට ත් කොටි සංවිධානයේ මිනීමරු භීෂණයටත් යටත් ව සැබැවින්ම දුක් විඳින්නෝ වන්නියේ දෙමළ වැසියෝ ය. වන්නියේ වැසියන්ගේ සිත් හි බුර බුරා නගින කෝපය මෙලෙස නන්දා මාලිනිය විසින් ගයන්නා වූ ගීයක පද වැලට නැගී ඇත.
වන්නියේ සුලභ දර්ශන වන ආඩි ලිඳේ වතුර, තල් ගෙඩිය, මිරිස් කරල හා නළලේ තිලකය යන සියල්ලලේ ම රතුපාට ඇති කරනුයේ ලේ බව රචකයා කියයි. එතරම්ම ප්‍රමාණයක් ලේ හැලී ඇති බව එයින් ගම්‍යවේ. ඉන් පසුව ඔවුන් ඉල්ලන දේ පද වැලින් කියැවේ. ලේ නොගලන බිමක ජීවත් වන්නට ඔවුන් අයැදි යි. කැමැති කෝවිලක ට යන්න ට, එනම් ආගමික නිදහස ඉල්ලයි. දරු පැටවුන් බලෙන් අල්ලා ගෙන යුද්ධය ට ගෙන නොගොස් දෙමාපියන් සමගින් ඉන්නට ඉඩ දෙන මෙන් ඉල්ලයි. ඉන් පසුව නිදහසේ කතා කරන්නට ත්, නිදහසේ ඉන්නට ත් ඉඩ දෙන මෙන් ඉල්ලයි. මේ ඉල්ලීම් ඔවුන් ඉල්ලනුයේ ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් යැයි පෙනී සිටින ඊනියා සංවිධානයෙනි. දමිළ ජනතාව දිනා ගත යුතු දේ ඇතත් ආයුධ බලය හා ත්‍රස්තවාදය ඒ සඳහා මාර්ගය නොවේ. ඒ සඳහා වන නිවැරදි මග සොයා බැලිය යුතුය. මෙම යුද්ධයට යවා මිය යන්නේ වන්නියේ දහස් තරුණයන්ය. ඔවුන් ගේ මළ සිරුරු වලින් ගලා ගිය ලේ කඳින් සෙතක් වුණි ද යන්න ඉන් පසුව විමසා බැලේ. වැලි කතර විසින් ඒ සියළු ලේ උරා බී ඇත. අවසන අමු සොහොනක් දිනා ගැන්මෙන් ඇති ඵලය කුමක්ද යන්න් රචකයා පර කතශ්න කර සිටී.
කොටි සංවිධානයේ ෆැසිස්ට් වාදය ගැන පැහැදිලි ලෙසම විදහා පාන ගීතයක් වන මෙය සිංහල ගීත කලාවේ අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෘදංග හා සිතාරය ආශ්‍රයෙන් ශෝකී වූ, නමුත් ඉතා ශක්තිමත් වූ වාදනයක් මෙම ගීතය පුරාවට ම දැකිය හැක. එසේම ලේ යන පදය සමූහ ගායනයක් තුළින් ඉදිරිපත් වීමෙන් ද එහි පොදු භාවය ඔප් නංවනු ලබයි.

අසන්න

3 comments:

Ramachandra said...

නියම සින්දුවක්.සටහනට තුති.
ඔබේ සටහන ගැන පොඩි විවේචනයක් දක්වන්න ඉඩ දෙනවා නම් - යුද්ධයේ භීෂනය ගැන පැහැදිලි කිරීම සමග එකග වෙන්න පුලුවන් වුනත් ගීතය කොටි සංවිධානයට පමනක් ඉලක්ක ගත වූවක් කියල කියන්න අමාරුයි.මට නම් හිතෙන්නෙ යුද්ධයේ පාර්ශවකරුවන් වුන දෙපැත්තටම-කොටි සංවිධානයේ ප්‍රචන්ඩත්වය සහ රාජ්‍යයේ ප්‍රචන්ඩත්වය කියන දෙකටම මෙම ගීතයේ අරුත අදාල වෙනවා.
"අපිට කැමති කෝවිලකට යන්න ඉඩ දියවු"
මෙවැනි යෙදුමක් වඩාත් අදාල වෙන්නෙ නිදහසෙන් පස්සෙ දෙමල ජනයාගේ ඇතැම් අයිතින්ට එරෙහිව රාජ්‍යය පැත්තෙන් එල්ල වූ සීමා කිරීම් වලට.
ඒ වගේම රාජ්‍යයේ ප්‍රචන්ඩත්වයට විරුද්ධ කොටි සංවිධානයේ භූමිකාවත් මෙතනින් ප්‍රශ්න කෙරෙනවා.
"දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු
අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලවු"
කොටි සංවිධානය ගත් මග "නිවැරදි"මග නොවන බවට මින් ඉගි කෙරෙනවා.ඒ හින්ද මට හිතෙන්නෙ මේ ගීතය දෙපාර්ශවය පිලිබදවම විවේචනාත්මකව ලියැවුන එකක්.සුනිල් මේ කාලාසන්නයේම ලියන "උතුරේ දරුවන් හිනැහෙන දවසක"වගේ ගීතයක අරුත-එතනදි ඔහු සිටින ස්ථාවරය සලකා බලද්දි එය වඩාත් පැහැදිලි වෙනවා.

මිගාර said...

සටහනට බොහොම තුති. කැමැති කෝවිලකට යන්ට ඉඩ දියව් යන්නේ ප්‍රධාන අරුත යාපනයේ සමාජය තුළ දැ‍වෙන කුල ‍බේදය නිරූපණය කිරීමයි. දෙමළුන් කුමන කොවිලකට ගියත් සිහලුන්ට එහි වෙනසක් නැත. නමුත් යානයේ වෙල්ලාර් කුලයට සීමා වූ හරිජනයන්ට යාමට නොහැකි කෝවිල් ද පවතී. මේ ගීතයේ එම පදයෙන් අරුත් ගැන්වෙන්නේ එම අදහස බව මගේ හැගීමයි.

සූස්ථි said...

එලකිරි....මට සෙට් උනේ නැති අලුත් ගීතයක්..ස්තූතී ඔබට....