Friday, April 24, 2009

සොඳුරිය

කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය


පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය


ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


ගේය පද - සමන්ත හේරත්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස්


ප්‍රේමය වනාහි නිත්‍යම වූ ස්ථිර වූ දෙයක් ලෙස බොහෝ තන්හි දැක්වේ. මෙම ප්‍රසිද්ධ අදහසට අනුගත නොවී කාලය විසින් ආදරය දිරාපත් කරවන අන්දම ගැන අප මනස කුළු ගන්වන ගීතයකි මෙය. ප්‍රේමය, කාලය විසින් කා දමා ගිය පසු කවියා ප්‍රේමයේ නටබුන් දෙස වත් බලා සතුටු වීමට උත්සාහ දරයි. ප්‍රේමයේ අවසාන නෂ්ටාවශේෂ වන පෙම්වතියගේ සිත ඇඳි රුවත් ඈ සමග බෙදා හදා ගත් සතුට පමණක් නොව දුක ද කාලයේ වැලි තලයට යටව ගොස් ඇත. එම නටබුන් වත් දක්නට නොලැබීමෙන් කවියා මහත් සන්තාපයට පත්වේ.

මෙහි පද රචනයට මහත් වූ සාධාරණත්වයක් කරමින් අමරසිරි පීරිස් ශිල්පියා මෙය ගායනා කරනු ලබයි. අද ලංකාවේ ප්‍රමුඛතම ගායන ගීල්පියා (vocalist) ඔහු බව මෙම ගීතයට සවන් දෙන විට නිතැතින් ම දැනෙයි. කවදත් වෙනස් ආරක සංගීත නිර්මාණ කරන කේමදාසයන් මෙම ගීතය සඳහා ද පෙර නො ඇසූ විරූ සම්ප්‍රදායයක් බිහි කරයි. ගීතයේ අවසන් භාගයේ දී ගීතය ගායකයා හා වයලීන් හා චෙලෝ වාදකයන් අතර තරඟයක් බවට පත්වේ. ගීතයේ සැබෑ අලංකාරය දෙගුණ තෙගුණ කීරීමට මෙම සංගීත සම්ප්‍රදායය ඉවහල් වී ඇත.


5 comments:

රනිල් මුදුන්කොටුව said...

මෙම ගීතය රචනා කර ඇත්තේ සමන්ත හේරත් විසින්. ඔහු දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යලයේ කථිකාචාර්ය වරයෙකි..දැනට ඔබ අසන ගීතය පටිගත කරන අවස්ථාවේ දී වයලීනය වාදනය කරන්නේ ආනන්ද දාබරේ ශිල්පියා බව අප රටේ ඉතා ප්‍රවීන සංගීත ගුරුවරයෙක් මා සමග පැවසුවා...

මිගාර said...

රනිල් Gunasekara - ඔබට බොහොම ස්තුතියි. ගී වල රචකයන් සොයා ගැනීම මේ දවස් වලඉතාම අමාරු කාර්යයක්

තිස්ස දොඩන්ගොඩ said...

අලුත් පෝස්ට් එකකුත් ලියමු ඔය අතරේ නේද...?

රෝසා said...

මචං රංග
කඳුලැලි පුරවා "ගෙන" වෙන්න ඕනේ නේද ?
අහල බලන්න

http://youtu.be/Qv1abJKdA8g

Dilshan Malitha Manaranga said...

ඔව් ඒ වගේම මෙහි චෙලෝව වාදනය කරන්නේ කේමදාසයන් ගේ දියණිය. වයන්ති අනූපා..