Monday, April 27, 2009

පබළු නගේ

පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇළ ලඟ වත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා 
පාන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඬේ ඉස්මත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ

ගී පද - අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය හා ගායනය - ගුණදාස කපුගේ


රජරට මහා තැනිතලාවේ උපන් ඔවුහු එහිම වැස එහිදී ම පෙමින් බැඳුණහ. නමුත් හදිසියේ ම ඉන් එක් අයෙක්, සුමනා වෙන්ව ගියා ය. යළි නො එන්නටම වෙන්ව ගියාය. ඈ වෙනුවෙන් ඇගේ පෙම්වතාගේ සිත් හි උපන් වේදනාව මෙම ගීය තුළ සනිටුහන් කර ඇත. මෙම ගීය පුරාවටම දිස්වෙන උපමා රූපක තනි කම, අහිමි සුන්දරත්වය, විනාශය යන සිද්ධි ත්‍රිත්වයම එක විට නිරූපණය කරයි. වැවෙහි පිපුණු නිකිණි, කෙකටිය සුන්දරය. නමුත් ඒවා ඉක්මණින්ම පරව යයි. කෙකටිය පිපෙන්නේ ද අඩ සඳ එළියට ය. පුන් සඳ මෙන් නොව අඩ සඳ ඉක්මණින් බැස යයි (සුමනා ගේ ජීවිතය ද අඩ සඳට සමානය). වැව් කන්දේ (කණ්ඩියේ) ගස් ඇත්තේ දුරින් පිහිටන සේය. බෝ ගසක් එහි ඉතාම දුර්ලභ ගසකි. එනිසා එය තනිව නැගී සිටියි. බෝ ගස වැව් කන්ද (සුමනා ගේ ජීවිතය මෙන්) පුපුරුවා දමයි. තල මල අලංකාරවත් දසුනකි. අලංකාර සුමනා ද තල මලකි. එක් වරක් පිපී මිය යි. මළ හිරු එලිය යන යෙදුම ද විනාශය හඟවන යෙදුමකි. මළ හිරු එළියෙන් තවමත් දිදුලන නිසා මිහින්තලා පව්ව බටහිර දෙසින් ඇත. කොක්කු පියාඹන්නේත් බටහිර දෙසටය. එය ද විනාශය හඟවන අසුබ ලකුණකි. 
වැව් කන්දේ බෝ ගසේ සෙවණත්, වැව් දියේ කෙකටිය වල අසිරියත්, තල මලේ සුන්දරත්වයත් විඳින්නට සුමනා අද නැත. රචකයා පෙන්වන්නා වූ අහිමි වූ සුන්දරත්වය යනු මෙයයි. එසේම ඇළ ඉස්මත්තේ වූ ඒ දණ්ඩ මත තනිව සිටින ඔහුට, මදටිය වැටී, සඳේ පිළිබිඹුව කැලතෙන අයුරු පෙනෙයි. මෙවිට සුමනා ඇත්තේ මිනී පෙට්ටියකය. ඈ දෙපස පොල්තෙල් පහන් දෙකක් ද දැල්වේ.
මෙතරම් කුඩා පද රචනාවකට මෙතරම් වූ උපමා රූපක සමුදායයක් යෙදීම තුළම ගීත රචකයකු ලෙස රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගේ විශිෂ්ටතාවය මනාව ප්රකට වේ. ගීත ඉතා ස්වල්පයක් ලියන ලද නමුත් ඒ සියල්ලම අග්‍රගණ්‍ය ඒවා වන බවට ඔහු වග බලා ගෙන ඇත. මෙම ගීතයේ වචනයක් පාසාම ගීයෙහි අරුත නැවත නැවතත් කුළු ගැන්වෙයි. දේශීයව ඇසෙන මළ බෙරයෙහි තාලය පදනම්ව ගැයෙන මෙම ගීතය ගුණදාස කපුගේ ශූරීන් ගේ සදානුසමරණිය නිර්මාණයකි.

අසන්න

6 comments:

Narada said...
This comment has been removed by the author.
Narada said...

අපිට නො කියාම දහයක් දාලා නේද? දිගටම දාගෙන යාාාාාන්!

වැකි සත්‍යාපනය අයින් කරන්නේ නම් මැනවි.

Ramachandra said...

කපු‍ගේ ගායනා කර ඇති ඉතාම සුන්දර ගිතයක්.කපුගේගේ හඩ තුල මහා ශෝකාකූල ස්වරයක් ගැබ්වෙලා තියනවා කියල දැනෙනවා.විශේෂයෙන් ඔහු ගායනා කල මෙවැනි තේමාවනට අදාල ගීත ගොඩාක් සාර්ථක වුනේ ඒ නිසා.රන්බන්ඩා සෙනෙවිරත්නම රචනා කල උලලේනෝ ගීතයත් මෙහිදි විශේෂයෙන් සටහන් කල යුතුයි.මගේ නම් අදහස කපුගේට තිබුන අනන්‍යතාවය අනෙත් සියලුම ගායකයන්ට වඩා වෙනස් range එකකට අයත් එකක් බවයි
සටහනට ස්තුතියි

Anonymous said...

මේ ගීතය හොද සුසංයෝගයක්, වුණාම ඵලය ගැන කුමන කතාද? ඔයාගෙ මේ උත්සාහයට මගෙන් සුභ පැතුම්

රනිල් මුදුන්කොටුව said...

ඔබ මෙවර තෝරා ගෙන ඇති ගීතය, ශ්රි ලංකික ගීත ක්ෂේත්රයේ අග්රඵලයක් ලෙස සැලකිය හැකියි..පෞද්ගලිකව මාද මෙම ගීයට බොහෝ සෙයින් ඇලුම් කරමි.ගීතයේ පද මාලාව ඔබ ඉතා ප්රවේශමින් අසා උපුටා දක්වා ඇත.. මාගේ දැනීමේ හැටියට ඔබ සපයා ඇති වචන ඉතා නිවැරදිය.නමුත් ගීතයේ අර්ථ නිරූපණයේදී නම් ඔබ පස්ස බිම ඇණ ගෙන තිබේ..
ඔබ මෙහි අර්ථ දක්වා ඇති ආකාරයට, පද රචකයා සුමනා තල මලකට හෝ අඩ සඳ කට සමාන කර නැත, තල මල යනු අශුභ නිමිත්තකි..තවද ඔබ මෙහි අව කැපෙන කතා කිහිපයක් ලියාතබා ඇත..
“බෝ ගස වැව් කන්ද (සුමනා ගේ ජීවිතය මෙන්) පුපුරුවා දමයි” “කොක්කු පියාඹන්නේත් බටහිර දෙසටය”
නම් ඒවාය. බෝ ගස් හෙවනේ ඔවුන් සිත් සේ පෙමින් බැදුනා මිස, බෝ ගස කිසිදු ආකාරයකින් වැව් ගම්මාන වල ඇත්තන්ට තඹ දොයිතුවක අහිතක් කර නැත.බෝ ගස ඔවුන්ට වන්දනීය වෘක්ශයකි.
වැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
ඔහු පවසන්නේ ස්වභාවයේ ඇති සුන්දරත්වයයි...මෙවනි සුන්දර පරිසරයක ඔහු දින කිහිපයකට පෙර සිටියේ ඇයත් සමග ඔලිද ගනිමිනුයි ..අද ඔහු ඔලිද ගනින්නේ කා සමගද....

ස්තුතියි...!

Unknown said...

,රනිල් මුදුන් කොටුව නියමයි