Thursday, July 15, 2010

සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ 
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

 
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී


නන්දා මාලිනිය ගීත ගායනයට පිවිසියේ 1960 දශකයේ තිරගත වූ රන් මුතු දූව සිනමා පටය හරහා ය. එතැන් පටන් අද දකවා වසර 40කට අධික කාලයක් ඇය අප වෙනුවෙන් ගී ගයන්නීය. ඇයගේ ගී නදෙහි ස්වර්ණමය යුගය උදා වූයේ සිංහල ගීතයේ ස්වර්ණමය යුගයට දශකයක් පමාවීය. වර්ෂ 1975 දී පිට කළ කප් සුවහස් කල් , 1977 දී පිට කළ යාත්‍රා, 1980 දී පිට කළ යුගයෙන් යුගයේ හා 1984 දී පිට කල හේමන්තයේ යන ගීත සමුච්චයන් නන්දා මාලිනියගේ කටහඬෙහි උපරිම භාවමය රසය ගෙනෙන ගීතයන් ඇතුලත් වේ. අප කතා කරන මේ ගීතයත් 1979 පමණ කාලයේදී සුනිල් ආරියරත්නයන් විසින් ලියවුනකි.  

මෙම ගීයේ පද රචනය අතිශයින්ම සංකේතාත්මක වෙයි. එනිසා ගීයෙහි සැබෑ රසය විඳ ගැනීමට නම් මේ සංකේතයන් ගැන මනා දැනුමක් ලබා ගත යුතුය. මෙහි කිරිල්ලිය හා කුරුල්ලා ලෙස හැඳින්වෙනුයේ තරුණයකු තා තරුණියක බව වටහා ගැනීම අපහසු නැත. මේ කිරිල්ලිය කූඩුව එනම්, සිය පවුල් ජීවිතය ගෙන යන්නේ සුලං කපොල්ලකය. සුලං කපොල්ල භූ විද්‍යාත්මකව විග්‍රහ කරන විට දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. එමෙන් ම  මේ ගීතයේ සුලං කපොල්ලත්, ජීවිතයේ නේක දුෂ්කරතා වලින් කැළඹුන, පවුල් දෙකක් අතර සිර වුණු ස්ථානයකි. සිදු විය යුතු ලෙසින් ම ඇගේ පවුල් ජීවිතය නම් කැදැල්ල කැඩී ඉහිරී යයි. මෙලෙස කූඩුව කැඩී තැනින් තැන ගමන් ගන්නා කිරිල්ලිය (ආදරය සොයා විය හැකියි ), එක්තරා කුරුල්ලකු ලඟ නවතී. ඇය දැන් අන්නථය. යාමට තැනක් නැත. කූඩුව කැඩී සුලං කපොල්ල හැරදා ගිය නිසා ඇයට මව පියා හෝ නෑදෑයන් නොමැත. ඇයට තනියට ඇත්තේ කඳුල පමණි. ඇය මෙතරම් දුර සොයා ආවේ නිදැල්ලේ වෙසෙන මේ තනිකඩ කුරුළු රජුම ය. එබැවින් ඇයට ඔහුගේ කැදැල්ලේ ඉඩ දිය යුතුය. මෙහිදී කැදැල්ලේ ලැබෙනුයේ ලැගුම් ගැනීමට ඉඩක් පමණකි. එය පෙර පරිදි තැනූ කැදැල්ලක් ද නොවේ. එබැවින් මේ සබඳතාවය සමාජ සම්මතයන් ඉක්මවා යන්නක් බව යන්තමින් ඉඟි කරනු ලැබේ.

ගීයේ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි. පියානෝව, ෂේකර්ස් හා මැන්ඩලීනය යහමින් උපයෝගී කරගන්නා රෝහණ එතෙක් මෙරට ප්‍රබුද්ධ ගීතයට එතරම් එකනොවූ සංගීත භාණ්ඩ වල හඬෙහි අරුමය මනාව දන්වා සිටී. මේ ගීතය අසන විට මේ ගීතය සුනිල් හා නන්දා තමන් වෙනුවෙන් ගායනය කල එකක් දැයි වරෙක සිතේ. නන්දා මාලිනිය ගේ අසාර්ථක විවාහයත්, සුනිල් ආරියරත්නයන්ගේ තනිකඩ කමත්, ඔවුන් ගේ ඉන් පසුව ගෙවූ පුද්ගලික ජීවිතත් ගැන සලකන විට මේ අදහස බැහැර කළ නොහැකි එකක් බවට පත්වේ.

9 comments:

තිස්ස දොඩන්ගොඩ said...

හප්පොච්චියේ බොහොම කාලෙකින් නොවෑ... නිවාඩුවට ලංකාවට ආවහම ඔබව මුණගැහෙන්න හිටියා.... මමත් මහරගම... ඊලඟ නිවාඩුවේ මුණගැහෙමු....

මම ආසම කරන ගීයක්... මුලින් ඇති පියානා වාදනය අතිශයින් මනෝරම්‍යයි... ඔබට ස්තූතියි...

පුදුම වැඩක්... මම ඔබට කොමෙන්‍ටුවක් යතුරුකරනය කරන කොට ඔබෙන් මට කොමෙන්‍ටුවක්..සතු‍ටුයි සොයුර...

ජීවිතේමල් said...

කලකට පසු ඉතා හරවත් බසින් ලියවුන අපූරු බ්ලොගයක් සොයා ගතිමි.. සතු‍ටුයී.. ඔබේ බස අතිශය පූර්ණයි.. ජය වේවා!

මිගාර said...

@ ජීවිතේ මල් - බොහොම ස්තූතියි

@ තිස්ස - ඇත්තෙන්ම. අපි වෙලාවක හමු වෙමු. සොඳුරු පුද්ගලයෙක් හඳුනා ගැනීමට ආශාවෙන් සිටිනවා

වැම්පයර් said...

සෑහෙන්න කාලෙකින්... මමත් ගොඩක් ආසාකරන ගීයක් තමයි මේක. සුපර්බ් බ්ලෙන්ඩ් ඔෆ් ආර්ට් ඇන්ඩ් ටැලන්ට්.. ආයෙ කතා දෙකක් නෑ. උපරිමයි.

ramachandra said...

නන්දා මාලිනීගේ "හේමන්තයේදී" සිංදුවත් සමහරවිට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිරූපනය කරන එකක් වෙන්න පුලුවන්.වසන්තයේදී (තාරුන්‍යයේදී) හමු නොවුනු ජීවිතයේ රසය හේමන්තයේදී හමුවීමක් ගැන කියනකොට ඒක නිතැතින්ම එතෙනට ආදේශ වෙනවා.මේ ගීතයත් ඒ විදිහට හිතන්න කල්පනා කරලා තිබුනේ නැහැ.මේ සටහන කියැවීමත් සමගයි එහෙම අදහසක් හිසට නැගුනෙ.මෙම බ්ලොග් අඩවිය වටිනා වැඩක්.

මිගාර said...

@රාමා

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. ඔය අදහස එම ගීතය තුලින් මතු කරන්නට හිටියත්, මේ දෙපළ වෙත මා තුළ ඇති ගෞරවය විසින් එය වළක්වනු ලදී. එනමුත් අවසන සිතේ තද කර සිටි සිතුම් හැරදා මේ සටහන ලිවීමි. අවසන අප බ්ලොග් ලියන්නේ ද ඒ වෙනුවෙන් නොවේද?

මිගාර said...

@ වැම්පයර්

බොහොම ස්තූතියි.

TG said...

මම ආස කරන සින්දුවක් .මේ ගැන කියවද්දී "රුවල් බිඳී ගිය නෞකාවේ ' ගීතයත් මතක් වුණා

pushpa kumara said...

ස්තුතියි මිගාර.